නොසැලකිල්ල නිසා අහිමි වූ ජීවිත

නොසැලකිල්ල නිසා අහිමි වූ ජීවිත

*********************************************

නොසැලකිල්ල නිසා අහිමි වූ ජීවිත

(16.04.2021 – 19:50 +0530 – hirunews.lk/sinhala)

හල්දුම්මුල්ල – කළුපහන – වේලී ඔයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පිය පුතු දෙපළගේ (2) මළ සිරුරු අද (16) පෙරවරුවේ සොයා ගැනීමට හැකිවුණා.

මේ අතර, අවුරුදු නිවාඩු සමයේ අවදානම් ප්‍රදේශවල සංචාරය කළ කිහිපදෙනෙකුටම විවිධ අනතුරුවලට මුහුණදීමටයි සිදුව ඇත්තේ.

කුළියාපිටිය , හළාවත සහ මහනුවර යන ප්‍රදේශවල සිට බෝමුරු ඇල්ල නැරඹීමට පැමිණි පිරිසක් ඊයේ (15) පස්වරුවේ පැවති අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් බෝමුරු ඇල්ල අසල සිරවී තිබෙනවා.

ඇල්ලේ සැඩ පහර රළු වීමට ඉඩ ඇති හෙයින් එම ස්ථානයෙන් ඉවත් වන ලෙසයි ප්‍රදේශවාසීන් ඔවුන්ට දැනුම් දී තිබුණේ.

නමුත් බෝමුරු ඇල්ල අසල සිටි පිරිස එම අවවාදය තැකුවේ නැත.

අඹගස්දෝව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව අදාළ පිරිස බේරා ගැනීමට සමත් වුණේ පැය 7 ක මෙහෙයුමකින් පසුවයි.

මේ අතර මාතලේ විල්ගමුව හීං ගඟේ දිය නෑමට ගොස් මත්පැන් සාදයක් පැවැත්වූ තරුණයින් 13 දෙනෙකු ද බේරා ගැනීමට විල්ගමුව පොලිසිය සහ වස්ගමුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට සිදුවුණා.

ඒ ඊයේ (15) පස්වරුවේ හීං ගඟ මැද පිහිටා ඇති ගල් තලාවක් මත ඔවුන් රැදී සිටියදී වර්ෂාපතනය හේතුවෙන් ග‍ඟේ ජල මට්ටම ඉහළ ගිය බැවින්.

පසුව ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීම මත පොලිසිය සිදුකළ පැය 7 ක පමණ මෙහෙයුමකින් අනතුරුවයි එම පිරිස බේරා ගෙන ඇත්තේ.

මේ අතර මොනාරාගල සිරිගල ප්‍රදේශයේ ගම්මානයක දුෂ්කර ප්‍රවේශ මාර්ගය ද ඊයේ (15) පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් ජලයෙන් යටවී තිබුණා.

තම වසය අවුරුදු 4 ක කුඩා දරුවා ද සමඟ පුද්ගලයෙකු මොණරාගල නගරයේ සිට සිරිගල ගම්මානයට යෑමට අදාළ ජල පහර තරණය කරමින් සිටියදී සැඩ පහරට හසූ වී දරුවා අතුරුදන්ව තිබෙනවා.

පැය ගණනාවක් සිදුකළ මෙහෙයුමකින් අනතුරුව අදාල ජල පහරේ සිට මීටර් 200 ක් පමණ දුරින් රැඳී තිබියදී දරුවාගේ මළ සිරුර අද (16) උදෑසන සොයා ගැනුනා.

මේ අතර , හල්දුම්මුල්ල – කළුපහන පාලම් දෙක අතර වේලී ඔයේ දිය නෑමට ගොස් ඊයේ (15) අතුරුදන් වූ පියාගේ සහ දරුවාගේ මළ සිරුරු අද (16) පෙරවරුවේ සොයා ගත්තා.

පාළමේ සිට මීටර් 800 ක් පමණ දුරින් ගල් පරයක සිර වී තිබියදී ඔවුනේගේ මළ සිරුරු සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ වසය අවුරුදු 14 ක දරුවෙක් සහ ඔහුගේ 52 හැවිරිදි පියායි.

මියගිය පුද්ගලයා මෙම විනෝද චාරිකාව සඳහා එක්ව තිබුණේ සිය බිරිඳ සහ දරු දෙදෙනා (2) ද සමඟින්.

ඔවුන් ඊයේ (15) මෙම අනතුරට මුහුණ පෑ අවස්ථාවේදී සැඩ පහරට හසුව ගසා ගෙන ගිය ඔවුන්ගේ ඥාතීන් දෙදෙනෙකු (2) බේරා ගැනීමට ප්‍රදේශවාසීන් සමත් වුණා.

මේ අතර, ගෙවුනු දිනයේ පමණක් රිය අනතුරුවලින් පුද්ගලයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

ඉන් මරණ 8 ක් සිදුව ඇත්තේ ඊයේ (15) සිදුවූ අනතුරුවලින්.

අනෙක් 8 දෙනා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පෙර දින කිහිපයේදී රිය අනතුරුවලට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටියදී.

ඊයේ (15) දිනයේ මියගිය 16 දෙනාගෙන් 12 දෙනෙකුම යතුරුපැදිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

******************************************

(16.04.2021 – 19:06 +0530 – hirunews.lk/sinhala)

ගලෙන්බිඳුණුවැව – පඩුකාරමඩුව – රත්මල්වැටිය ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු (2) නීතිවිරෝධී මත්පැන් පානය කිරීමෙන් අනතුරුව ඇතිවූ සංකූලතා හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිතුරන් තුන්දෙනෙකු (3) එක් අයෙකුගේ නිවසේ පැවති අවුරුදු සාදයකදී මෙලෙස නීතිවිරෝධි මත්පැන් පානය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එහිදී ඔවුන් ක්ලාන්ත වී ඇති අතර, පසුව යකල්ල – හුරුළුවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරනු ලැබුවා. එම අවස්ථාවේ දෙදෙනෙකු (2) මියගොස් ඇති බවයි ගලෙන්බිඳුනුවැව පොලීසිය සඳහන් කළේ.

අනෙක් පුද්ගලයා තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ 55 හැවිරිදි සහ 36 හැවිරිදි දෙදෙනෙක්.

මේ අතර, කොත්මලේ – වෙදමුල්ල වත්ත – කැමිල්ටන් කොටසේ තිබු අවුරුදු සාදයකදී ඇතිවූ බහින් බස් වීමක් දුරදිග ගොස් බිරිඳගේ පියා විසින් කළ පහරදීමකින් 35 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබුණා ෴

******************************************

(16.04.2021 – 19:39 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මේ වනවිට 15 අධික පෙත්සම් සංඛ්‍යාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇත්තේ එහි ඇතැම් වගන්ති මගින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව පවසමින්.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන වේදිකාවේ දැඩි කතාබහක් හටගෙන තිබෙනවා.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ඊයේ (15) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී අදාළ පනත් කෙටුම්පත විවේචනය කරමින් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ එවන් පසුබිමක් තුළයි.

කෙසේ වෙතත්, කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සඳහන් කළේ අදාළ පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේද අනුමැතිය හිමිව ඇති බවයි.

******************************************

(17.04.2021 – 06:43 +0530 – hirunews.lk/sinhala)

ජාතික ජල සම්පාදන මන්ඩලය විසින් දැරණියගල කඹුරුගොමුව ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ජල ව්‍යාපෘතියකට අයත් ජල මනු 477 සහ තවත් උපකරණ කිහිපයක් සොරකම් කිරීමක් පිළිබඳව පසුගිය මාර්තු තිස් වෙනිදා (30) දැරනියගල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මෙම පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ දැරණියගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම ගබඩාව භාර ලිපිකරුවෙක් සහ රියදුරෙක් සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරනු ලැබුවා.

සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඊයේ (16) දිනයේ දී සොරකම්කළ බවට සැක කෙරෙන ජල මනු අනු හතක් (97)දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සතුව තිබී සොයාගෙන තිබෙනවා.

සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම ජල මනු සොරබඩු බව දැන ඒවා ළඟ තබාගැනීමේ වරදටයි.

ඔහු අද (17) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

ජල සම්පාදන මණ්ඩලයට අයත්, ජල මාපක සොරකම් කළ සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගත්, දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අප්‍රේල් 19 තෙක් රිමාන්ඩ් කර තිබෙනවා.

ඊයේ (16) සභාපතිවරයා අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සතුව තිබී ජල මාපක 98 ක් සොයාගෙන තිබුණා ෴

******************************************

(17.04.2021 – 07:39 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (16) දිනයේ තුළදීත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ රිය අනතුරු හේතුවෙන් මරණ දහයක් (10) සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මේ අතරින් ඊයේ (16) දින සිදු වූ අනතුරු හේතුවෙන් මරණ පහක් (5) වාර්තා වී ඇති අතර අනෙක් මරණ පහ (5) වාර්තා වී ඇත්තේ ඊට පෙර සිදු වූ අනතුරුවලින් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයින්ගෙන්.

මේ අනුව පසුගිය දින තුන (3) ඇතුළත රිය අනතුර හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 40 ක් දක්වා ඉහළ යනවා.

සිංහල හා දමිල අලුත් අවුරුදු දින (14) රිය අනතුරු හේතුවෙන් මරණ දාහතරක් (14) වාර්තා වූ අතර ඊයේ (15) රිය අනතුරු හේතුවෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව දහසයක් (16).

එම බොහෝ රිය අනතුරුවලට හේතුව අවිනීත රියදුරන් අධික වේගයෙන් රිය ධාවනය කිරීම සහ නොසැලකිල්ල බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

එබැවින් මේ එළඹ ඇති සති අන්තයේ මාර්ගයේ ගමන් කිරීමේදී සහ රිය ධාවනයේ දී වඩාත් සැලකිලිමත්ව ජීවිත ආරක්ෂා කර ගැනීමට කැපවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සියලුම රියැදුරන්ගෙන් සහ යතුරුපැදි කරුවන් ගෙන් ඉල්ලා සිටිනවා ෴

******************************************

(17.04.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2006 වසරේදී රුපියල් මිලියන 31.71 ක් වැය කර මිලදී ගෙන තිබුණු ඇගිලි සලකුණු සටහන් යන්ත්‍ර 224 ක් වසර 15 කට වැඩි කාලයක් ප්‍රයෝජනයට ගෙන නොමැති බව රජයේ ගිණුම්කාරක සභාවේදී අනාවරණ වුණා.

ඒ සම්බන්ධයෙන් කාරක සභාව සිය නොසතුට පළ කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

එසේම, නව සොයා ගැනීම්, ව්‍යාපෘතීන් කිහිපයක් එකම පුද්ගලයෙකු විසින් සිදුකිරීම මගින් පර්යේෂණ ව්‍යාපෘති අකාර්යක්ෂම වී ඇති බව රජයේ ගිණුම්කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා.

2017 වසරේ දෙසැම්බර් 3 වනදා වනවිට නව සොයා ගැනීම් පර්යේෂණ යෝජනා 34 ක් සඳහා අනුමත කර ඇති මුදල රුපියල් මිලියන 399 ක්.

මේ පිළිබඳව කාරක සභාවේ විශේෂ අවධානය යොමුවූ අතර, අදාළ ව්‍යාපෘති කිහිපයක් එකම පුද්ගලයෙකු වෙත අනුමත කිරීම මගින් එම කටයුතු සාර්ථක වී නොමැති බව එහිදී අනාවරණ වී ඇති බව සඳහන්.

මේ අතර, කළුබෝවිල රෝහලේ මිලේනියම් වාට්ටු සංකීර්ණය ඉදිකිරීමේදී කොන්ත්‍රාත්කරු සම්බන්ධයෙන් මතුවූ ගැටලුවක් පිළිබඳව ද ගිණුම්කාරක සභාවේ අවධානය යොමුවී තිබෙනවා.

2006 වසරේ අදාළ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 398 කට ප්‍රදානය කර තිබුණේ 2008 මාර්තු 19 වනදා එහි වැඩ නිම කළ යුතු බව සඳහන් කරමින්.

අදාල දිනයේ සිට වසර 6 ක් ගතවනතුරු ඉදිකිරීම් අවසන් කර නොතිබූ අතර, ඒ අනුව, කොන්ත්‍රාත්කරු වෙත ගෙවා තිබූ මුදලින් රුපියල් මිලියන 51 ක් ආපසු අය කර ගැනීමට හැකියාව තිබුණා.

එසේ නොකිරීම පිලිබඳව අවධානය යොමුකළ රජයේ ගිණුම්කාරක සභාව කඩිනමින් අදාල මුදල් කොන්ත්‍රාත්කරුගෙන් අය කර ගන්නා ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන්නේ ෴

******************************************

(17.04.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

පොලිතින් නිෂ්පාදන කිහිපයක් රජය මගින් තහනම් කළද ඊට අදාල නීති ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බව සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.

එම සංගමය ප්‍රකාශ කළේ විධිමත් කළමනාකරණයකින් තොරව අදාල නිෂ්පාදන තහනම සිදු කර ඇති බවයි.

ෂැෂේ පැකට්ටු ඇතුලු පොලිතින් නිෂ්පාදන 6 ක් පසුගිය මාර්තු 31 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රජය මගින් තහනම් කරනු ලැබූවේ පරිසර දූෂණය අවම කර ගැනීමේ අරමුණින්.

කෙසේවෙතත් පොලිතින් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අනුර විජේසිංහ මහතා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ අදාල තහනම මගින් අපේක්ෂිත අරමුණ නිසි පරිදි ඉටු නොවන බවයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්තී අංශය කල විමසීමකදී පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ පරිසර පනතේ නව සංශෝධනය මගින් අදාල ගැටලු වලට නෛතික විසදුම් සකසා ඇති බවයි.

නව පරිසර පනත සදහා වන කෙටුම්පත මේ වන විට විෂය භාර අමාත්‍යවරයා වෙත යොමු කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර පරිසරය ආරක්ෂා කිරීමට ප්‍රජා සහභාගීත්ව පරිසර සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව සමගි ජන බලවේගය පවසනවා. එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව ප්‍රකාශ කළේ යාල ප්‍රදේශයේ ඊයේ පැවති වැඩසටහනකට එක් වෙමින් ෴

******************************************

(17.04.2021 – 08:37 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සදහා අද (17) සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා කියා සිටියේ දුර ගමන් සේවා දුම්රියට අමතරව තවත් දුම්රිය 4 ක් මෙලෙස යොදවා ඇති බවයි ෴

******************************************

(17.04.2021 – 08:44 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍රලාභී මූල්‍ය සමාගම් විසින් විදේශ මුදල් ණයට ගැනීමේ සීමාව මහ බැංකුව මගින් ඉහළ නංවා තිබෙනවා. මීට පෙර මහ බැංකු මූල්‍ය මණ්ඩලය මගින් ඒ සඳහා නියාමන රාමුවක් හඳුන්වාදුන් අතර, එහිදී මූල්‍ය සමාගම්වලට විදේශීය ණය ලෙස ලබාගත හැකිවූයේ මුළු වත්කම්වලින් සියයට 10 ක ප්‍රමාණයක්.

කෙසේ නමුත් බලපත්‍රලාභී මූල්‍ය සමාගම් තම ව්‍යාපාර කටයුතු සඳහා සාපේක්ෂව අඩු වියදමකින් විදේශ ණය ලබාගෙන තිබීම සහ ඔවුන්ගේ ණය ආපසු ගෙවීමේ වාර්තා සතුටුදායක වීම මෙන්ම වත්මන් වෙළඳපොල තත්වයන් සැළකිල්ලට ගෙන එම නියාමනයන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව සමාගමේ සමස්ත ක්‍රියාකාරීත්වය මත පදනම්ව අදියර තුනක් (3) යටතේ සමාගමේ මුළු වත්කම්වලින් සියයට විස්සක් (20%) දක්වා විදේශ මුදල් ණයට ගැනීමට බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වලට අවසර හිමිවනවා.

එහිදී සියයට 10 ඉක්මවන ණය ගැනීම් සඳහා මහ බැංකුවේ පුර්ණ අනුමැතිය අවශ්‍ය වන අතර, විදේශ මුදල් ණයට ගැනීමේ කාලය වසර දෙකක් (2) හෝ ඊට වඩා වැඩිවිය යුතුයි ෴

******************************************

(17.04.2021 – 08:51 +0530 – hirunews.lk/sinhala)

මෙවර යල කන්නයේ බඩ ඉරිඟු වගා කිරීම හෙක්ටයාර 25,000 දක්වා වැඩි කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වන විට සැලසුම් සකස් කර තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ සේනා දළඹු හානියද අවම කර ගනිමින් බඩ ඉරිඟු වගාව සාර්ථක කර ගැනීමට කටයුතු කරන බවයි ෴

******************************************

තහනම් කරන ලද අන්තවාදී සංවිධානවල වත්කම් රාජසන්තක කිරීමට පියවර

(17.04.2021 – 09:33 +0530 – sinhala.adaderana.lk)

තහනම් කරන ලද ඉස්ලාම් අන්තවාදී සංවිධාන සතු වත්කම් රාජසන්තක කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

ඔහු පවසන්නේ එම සංවිධානවල නායකයින්ගෙන් මේ වන විට ඒ පිළිබඳ තොරතුරු ලබා ගනිමින් සිටින බවය.

කොළඹ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නලට පිළිතුරු දෙමින් සරත් වීරසේකර අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදි ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ වන විට අන්තවාදි සංවිධාන 11 ක් තහනම් කර ඇති බවය.

“අන්තවාදී සංවිධාන 11 ක්ම අපි සම්පූර්ණයෙන්ම තහනම් කළා. ඒ අයගේ නායකයෝ ගෙන්නලා විමර්ශන කටයුතු කරගෙන යනවා. ඔවුන්ගේ තිබෙන වත්කම් සහ බැංකු ගිණුම් සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගත් හැටියෙම අපි ඒවා රාජසන්තක කරන්න කටයුතු කරනවා. ඒ වගෙම තමයි ඒවාගේ සාමාජිකයින්ට ඒ කටයුතුවල යෙදෙන්න බෑ. එහෙම ඒ කටයුතුවල යෙදීලා අන්තවාදය සහ ත්‍රස්තවාදය පතුරවන්න කටයුතු කළොත් අනිවාර්යයෙන්ම ඔවුන් සම්බන්ධයෙනුත් නීතිමය පියවර ගන්නවා. ඔවුන්ගේ වත්කම් සහ බැංකු ගිණුම්වල විමර්ශන වාර්තා ගත්තට පස්සේ ඒ වාර්තාව නීතිපතිවරයාට ඉදිපත් කරලා ඒවාත් රාජසන්තක කරන්න කටයුතු කරනවා. ඒ ආකාරයට ඔවුන් අන්තවාදය වැපුරු අයනම්, ආගමික අන්තවාදය සහ මිනිස්සු ඝාතනය කිරිමේ කුමන්ත්‍රණවලට යෙදිලා තියෙනවා නම් මේ වන විටත් ඒ අය අපි අත්අඩංගුවට ගෙන හමාරයි. මේ මතවාදයේ ඉන්නේ කවුරුන්ද කියලා අපට කියන්න බෑ. ඒක තියෙන්නේ තමාගේ මොළය ඇතුළේ. ඉතින් මතවාදීන් ඉන්න අය අපි විමර්ශනය කරනවා ඉදිරියේදීත් ඔවුන් එම මාතවාදය පතුරනවාද කියලා.”

******************************************

ටෙලිග්‍රෑම් තොගයක් කුඹුරක

(16.04.2021 – 18:49 +0530 – sinhala.adaderana.lk)

බෙදාහැරීමට නියමිත ටෙලිග්‍රෑම් සහිත බෑගයක් කුඹුරු යයාක දමා තිබියදී අද (16) සොයා ගැණුනි. ඒ වැලිගම බටවල පිටිදූව ප්‍රදේශයේ කුඹුරු යයාකදී ය. එහි ටෙලිග්‍රෑම් 100 කට අධික ප්‍රමාණයක් පැවැති බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම ප්‍රධාන තැපැල් කාර්යාලය පරීක්ෂණයක් ආරම්භකර තිබේ.

******************************************

ට්‍රැක්ටර් යොදා කෙරෙන මාදැල් ඇදීමට අවසර ලබාදී නැහැ – වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව

(15.04.2021 – 20:53 +0530 – sinhala.adaderana.lk)

මාදැල් ඇදීමට ට්‍රැක්ටර් උපයෝගී කර ගැනීමෙන් මීගමුවේ සිදුවන වෙරළ හානියක් පිළිබඳ ‘උකුස්සා’ ඊයේ (14) කළ අනාවරණයට සමස්ත ලංකා මාදැල් සංගමය අද (15) ප්‍රතිචාර දැක්වූවේය.

ඔවුන් පවසන්නේ එම කටයුතු නිසි අනුමැතීන්ට යටත්ව තමන් සිදුකරන බවය.

නමුත් අප නැවත කළ විමසීමකදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ එවැනි අනුමැතියක් දී නොමැති බැවින් එම ක්‍රියාව නීතිවිරෝධි වන බවය.

පමුණුගම, මීගමුව මුහුදු තීරයේ කැපුම්ගොඩ මහවැල්ල, සෙත්තප්පාඩුව පුංචිවැල්ල, දුම්ගල්පිටිය රජවැල්ල යන මුහුදු තීරයන් ආශ්‍රීතව ට්‍රැක්ටර් රථ යොදාගනිමින් මාදැල් භාවිත කිරීම නිසා සිදුවන මුහුදු ඛාදනයක් පිළිබඳව ‘අද දෙරණ’ ඊයේ (14) අනාවරණය කළේය.

කෙසේ වෙතත් එම පුවත සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සමස්ත ලංකා මාදැල් සංගමයේ සභාපති ගරු ලෙස්ටර් නෝනිස් පියතුමා සඳහන් කළේ ට්‍රැක්ටර් යොදාගනිමින් සිදුකරන මාදැල් ඇදීමේ කටයුතු සිදුකිරීමට මීට කලකට ඉහතදි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවසර දුන් බවය.

ඒ අනුව, අප එම පියතුමන්ගේ ප්‍රකාශය පිළිබඳව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසීමක් කළේය.

එහිදී ඔහු පැවසුවේ එවැනි අවසරයක් ලබා දී නොමැති බවය.

******************************************

බීමත් ගේට්ටු ක්‍රියාකරු සැප නින්දේ – දුම්රිය රියදුරු අනතුරක් වළක්වාගනී

(15.04.2021 – 20:04 +0530 – sinhala.adaderana.lk)

දුම්රිය හරස්මාර්ගයක සිදුවීමට ගිය විශාල අනතුරක් දුම්රිය රියදුරුගේ සැලකිලිමත් බව හේතුවෙන් වළක්වාගැනීමට හැකිවීමේ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් අපට වාර්තා වුණි.

දුම්රිය හරස්මාර්ගයේ ගේට්ටුව වසා නොතිබීම හේතුවෙන් ඊයේ (14) රාත්‍රී කොළඹ සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ තැපැල් දුම්රිය අම්බලන්ගොඩ, ඇල්පිටිය ප්‍රධාන මාර්ගයේ කන්දෙගොඩ දුම්රිය ස්ථානය අසල දී රියදුරා විසින් හදිසියේ නතරකර තිබුණි.

දුම්රියේ නළාව කිහිපවරක් නාද කළද, ගේට්ටු ක්‍රියාකරු රේල් ගේට්ටුව වසා නොදැමූ බව දුම්රිය රියදුරු පවසයි.

පසුව දුම්රියේ නියාමකවරයා දුම්රියෙන් බැස පැමිණ රේල් ගේට්ටු ක්‍රියාකරුට කථා කිරීමේන් අනතුරුව රේල් ගේට්ටුව වසා දැමීමට ඔහු ක්‍රියාකර තිබේ.

මේ පිළිබඳ අප කන්දෙගොඩ දුම්රිය ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ එම අවස්ථාවේ දී රේල් ගේට්ටු ක්‍රියාකරු බීමත් ව නිදා සිට ඇති බවය.

******************************************

(17.04.2021 – 11:44 +0530 – hirunews.lk/sinhala)

ගිනිගත්හේන පොලිස් වසමේ පිහිටි ඇබර්ඩීන් ඇල්ල නැරඹීමට පැමිණ එහි පහළ ජලාශයේ දිය නෑමට ගිය අවුරුදු 15 ක දරුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ ඊයේ (16) මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැල්ලවත්ත – නෙල්සන් පෙදෙසේ පදිංචි දරුවෙකු බවයි.

ඔහු පවුලේ සාමාජිකයන් ඇතුලු පිරිසක් සමඟ දිය නාමින් සිට ඇති අතර, ඡායාරූපයක් ගැනීමට යාමේදී මෙලෙස දියේ ගිලී මියගොස් තිබෙනවා ෴

******************************************

(17.04.2021 – 12:40 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල බේරේ වැවේ කොටුව දුම්රිය පොල ආසන්න ප්‍රදේශයේ දැඩි දුගඳක් පවතිනවා.

ඒ හේතුවෙන් දුම්රිය මගීන් මෙන්ම බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුමට පැමිණෙන මගීන්ද දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද සඳහන්.

කලින් කළට බේරේ වැවේ පැතිරෙන ඇල්ගී විශේෂයක් මෙම දුගඳට හේතුව ලෙස සැළකෙනවා.

ඒ සඳහා ස්ථීර විසඳුමක් නොමැතිදැයි නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගෙන් අප විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ බේරේ වැව වසර පහෙන් පහට සුද්ධ පවිත්‍ර කළ යුතු අතර, මේ වසරේ එම කටයුතු සිදුකිරීමේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මේ වනවිට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලුම් කර ඇති බවයි ෴

******************************************

(17.04.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (16) දහවල් කාලයේ මීගලෑව රැස්වෙහෙර රජමහා විහාරයට පැමිණි සැකකටයුතු පුද්ගලයකු පිළිබඳව මීගලෑව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම සැකකටයුතු පුද්ගලයා රැස්වෙහෙර විහාරස්ථානයට පැමිණ ඇත්තේ ශ්‍රමණ වේශධාරීයෙකු ලෙසයි.

මෙම පුද්ගලයා පිළිබඳව සැක සිතූ රැස්වෙහෙර රජ මහා විහාරස්ථානයේ නායක හිමියන් ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

මේ අවස්ථාවේදී අදාළ සැක කටයුතු පුද්ගලයා කහල්ල රක්ෂිතය දෙසට පලා ගිය බවයි වාර්තාවන්නේ.

ඊයේ (16) සවස් කාලයේ සිට පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කහල්ල රක්ෂිතයේ සොයාබැලීම් කළද මේ දක්වා මෙම පුද්ගලයා සොයාගැනීමට හැකි වී නැහැ.

මොහු අපරාධමය ක්‍රියාවකට සම්බන්ධ හෝ විහාරස්ථානයට පැමිණ යම්කිසි අපරාධයක් සිදු කිරීමට උත්සාහ කල පුද්ගලයෙක් බවටයි සැක කරන්නේ.

මෙම පුද්ගලයා පිළිබඳ යම්කිසි තොරතුරක් දන්නේ නම් මීගලෑව පොලිස් ස්ථානාධිපති, දුරකථන අංක 071 858 1287 අමතා දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ෴

******************************************

(17.04.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

අධිවේගී මාර්ග ආශ්‍රිතව අද (17) සහ හෙට (18) දිනවල විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළා.

අධිවේගී මාර්ගවල නීති උල්ලංඝනය කරන රියදුරන් සොයා මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මේ අතර පසුගිය දින තුන (3) තුළ දිවයින පුරා සිදුවූ රිය අනතුරුවලින් පුද්ගල මරණ 40 ක් වාර්තාවී තිබෙනවා ෴

******************************************

(17.04.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පතින් සිදුවන්නේ රටට ආයෝජන ගලා ඒම පමණක් බව රජය පවසනවා.

සූම් තාක්ෂණය ඔස්සේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව කියා සිටියා.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ රටට අහිතකර කිසිදු හෝ කටයුත්තක් වත්මන් රජය විසින් සිදු නොකරන බවට සහතික වන බවයි.

එසේම මෙම වැඩපිළිවෙල රට ඉදිරියට ගෙන යාමේ ශක්තිමත් ආයුධයක් බවද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

මේ අතර මෙම පනත් කෙටුම්පත අධ්‍යනය කිරීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ඉදිරියේදී ප්‍රකාශ කරන බවයි එහි ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

+++++++++++++++

වරාය නගරය ගැන විවිධ පාර්ශව දැක්වූ අදහස්

(17.04.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාල පනත් කෙටුම්පත පිළිබඳව මහා සංඝරත්නය මෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලඥයින් විවිධ අදහස් පළ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *