හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ බෙදුම්වාදීන් පිනවීමට හා ගල් අඟුරු වංචාව වහන්නයි : උදය ගම්මන්පිල
(25.02.2026 – hirunews.lk)
හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ වර්තමාන ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගත්තේ කොටි හිතවාදී බෙදුම්වාදී බලවේග සතුටු කිරීමට බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කරනවා.
කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට සුරේෂ් සලේ රණවිරුවා තීරණාත්මක කාර්යභාරයක් කළ බවද ගම්මන්පිල විසින් මෙහිදී පෙන්වා දුන්නා.
ඔහු මේ බව සඳහන් කළේ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අද (25) පෙරවරුවේ කොළඹදී මාධ්‍යවේදීන් විමසූ කාරණා කිහිපයකට පිළිතුරු ලබා දෙමින්.
මෙහිදී උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම සඳහා 2023 වර්ෂයේදී ‘චැනල් 4 නාලිකාව’ මගින් සිදු කරන ලද වැඩසටහනක් පාදක කරගෙන ඇති බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මෙසේද ප්‍රකාශ කළා :
එදා ‘චැනල් 4 නාලිකාව’ විසින් පාස්කු ප්‍රහාරයෙහි මහ මොළකරු කියලා කතාවක් ගෙතුවා. සුරේෂ් සලේගෙන් පළිගැනීමට තමයි ඒ කතාව ගෙතුවේ. ඒ කතාව පාවිච්චි කරලා තමයි වර්තමාන ආණ්ඩුව බලයට ආවේ . ඒක නිසා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නම් කිරීමේ පීඩනයක් ආණ්ඩුවට තිබෙනවා.
පාර්ලිමේන්තු මහ මැතිවරණයට කලින් තමයි පිල්ලෙයාන් සහ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට සැලසුම් කරල තිබුණේ .
නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පත් කරපු විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එම්. ඉමාම් මහතාගේ කමිටු වාර්තාව එළියට ආවම ගොතපු කතාව බොරුවක් කියලා හෙළි වුණා.
එම වාර්තාව වර්තමාන ජනපතිතුමා සඟවාගෙන ඉන්නකොට මම තමයි ඒ වාර්තාව ප්‍රසිද්ධ කළේ.
එතකොට මේ අත්අඩංගුවට ගැනීම වැළකුණා.
දැන් මේ අත්අඩංගුවට ගැනීමට හේතු දෙකක් හඳුන්වන්න පුළුවන්. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කතාව ආපහු කරළියට එනවා අප්‍රේල් 21 වෙනිදා සමඟ. ඒවගේම පාස්කු ප්‍රහාරය එල්ල වෙලා මේ වසරට අවුරුදු හතක් (7) වෙනවා.
පසුගිය (2025) වසරේ අප්‍රේල් මාසයේදී පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්නවා. මේ (2026) වසරේ අප්‍රේල් මාසයේදී තමයි සුරේෂ් සලේ අත්අඩංගුවට ගන්න සැලසුම් කරලා තිබුණේ. නමුත් ඒක ඉක්මන් උනා ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ල වී ඇති චෝදනා පිළිබඳව සමාජයේ තියෙන අවධානය වෙනස් කරන්න තමයි සුරේෂ් සලේ මේ අවස්ථාවේදි අත්අඩංගුවට ගත්තේ.
මහ මොළකරු කියලා බොරු චෝදනා එල්ල කරලා අහිංසක පුද්ගලයෙකුට දඬුවම් කරන්න හැදුවොත් විරුද්ධ පක්ෂය නීතියේ ආධිපත්‍ය හා රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අනිවාර්යෙන්ම පෙනී ඉන්නවා. කාවහරි මහ මොළකරු වශයෙන් පෙන්නලා මේ මහ මොළකරු රංගනය අවසන් කරන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නැහැ.
+++
+++
අද අත්අඩංගුවට ගත් සුරේෂ් සලේ ගැන එදා සරත් ෆොන්සේකා කල අනාවරණය මෙන්න (25.02.2026)
+++
ජනාධිපති කටවහගෙන ඉන්නවා කියන්නේ එයා මේක දන්නවා පාස්කු ප්‍රහාරය ගැන මුජිබර් අනාවරණ රැසක් (25.02.2026)
+++
සුරේෂ් සලේ ඇයි අත්අඩංගුවට ගත්තේ – පොලිස් මාධ්‍ය හමුවේ උණුසුම් තත්ත්වයක් – පොලිසිය නිරුත්තර වෙයි (25.02.2026)
+++
සුරේෂ් සලෙයි සහරාන් හමුවුණේ ඇයි ? | ශමීන්ද්‍ර සමඟ (25.02.2026)
+++
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම දේශපාලනිකයි – මහාචාර්ය රොහාන් ගුණරත්න
(25.02.2026 – hirunews.lk)
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ත්‍රස්තවාදය සහ ආරක්ෂාව පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න සඳහන් කර ඇත්තේ මෙම අත්අඩංගුවට ගැනීම දේශපාලනික ක්‍රියාවලියක් ලෙස පෙනෙන බවයි.
ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය ජාතික ආරක්ෂක වෘත්තිකයෙකු වන ජෙනරාල් සුරේෂ් සලේ මුළු ජීවිතයම ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම සඳහා කැප කළ අයෙක් බවයි ඔහු සඳහන් කරන්නේ.
ජෙනරාල් සලේ කිසිදු වරදක් කළ අයෙකු නොවන අතර 2019 වසරේ සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයට ද ඔහුගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව මහාචාර්යවරයා පවසනවා.
ප්‍රහාරය සිදුවන අවස්ථාවේ මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරමින් සිටි සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම දේශපාලනික වශයෙන් සිදුකළ කටයුත්තක් ලෙස පෙනී යන බවයි මහාචාර්ය රොහාන් ගුණරත්න වැඩි දුරටත් පවසන්නේ.
මේ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයට හේතු වූ නොසැලකිලිමත්කම සම්බන්ධයෙන් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම පිටුපස සිටින අය ගැනද විමර්ශනය කළ යුතු බවද ඔහු පවසනවා.
ජෙනරාල් සලෙයි අත්අඩංගුවට ගැනීම කණ්ඩායම් දෙකක් (2) විසින් සමරන බව පෙන්වා දෙන ඔහු පවසන්නේ ඉන් පළමු කණ්ඩායම පාස්කු ඉරිදා සංහාරය සිදු කළ ත්‍රස්තවාදීන් සහ අන්තවාදීන් බවත්, දෙවැනි කණ්ඩායම පාස්කු සංහාරය පිළිබඳ ව්‍යාජ ආඛ්‍යාන සහ කුමන්ත්‍රණ න්‍යායන් ගොතමින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට දොස් පවරන දේශපාලන රැඩිකල්වාදීන් බවයි.
මහාචාර්යවරයා වැඩිදුරටත් පවසන්නේ ‘ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා සංහාරය – ජාත්‍යන්තර ප්‍රජාවට පාඩම්’ යන ග්‍රන්ථයේ කතුවරයා ලෙස තමා එම ප්‍රහාරය පිළිබඳව ගැඹුරින් විමර්ශනය කර අපරාධකරුවන් හඳුනාගෙන ඇති බවයි.
ශ්‍රී ලංකාවේ නායකයින් ජාතික ආරක්ෂාව සමඟ සෙල්ලම් නොකළ යුතු බවත් ජාතියක් සුරක්ෂිත කිරීම සඳහා ද්විපාර්ශ්වික ප්‍රවේශයක් තිබිය යුතු බවත් පෙන්වා දෙන මහාචාර්ය රොහාන් ගුණරත්න පවසන්නේ පරිණත පාලනයක ස්වභාවය එය බවයි ෴
+++
පාස්කු ප්‍රහාර විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේට පැය 72 ක රැඳවුම් නියෝග
(25.02.2026 – hirunews.lk)
පාස්කු ප්‍රහාර විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේට පැය 72 ක රැඳවුම් නියෝග නිකුත්කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් ‘හිරු ප්‍රවෘත්ති’ වෙත සඳහන් කළේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන ඉදිරි විමර්ශනවලට අදාළව මොහු පෑලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.
සුරේෂ් සලේ, යුද්ධය පැවැති සමයේදී රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කළ අතර 2019 වසරේ අප්‍රේල් 21 වැනිදා පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව එල්ල වන විට මැලේසියාවේ තානාපති කාර්යාල නිලධාරියෙකු ලෙස කටයුතු කළා.
එවක රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන යි.
කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ රජය විසින් ඔහුව එම තනතුරින් ඉවත් කිරීමෙන් පසු මේජර් ජනරාල් සුරේෂ් සලේ, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තනතුරට පත් කෙරුණා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ‘බ්‍රිතාන්‍යයේ චැනල් 4’ රූපවාහිනී නාලිකාව විසින් විකාශය කරන ලද මතභේදාත්මක වාර්තා චිත්‍රපටය මගින් ද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හෙළිදරව් ගණනාවක් සිදු කළ අතර එහිදී සුරේෂ් සලෙයි පාස්කු ප්‍රහාරයට සෘජුව සම්බන්ධ බවටද කරුණු සඳහන් වුණා.
එම වීඩියෝව පදනම් කරගෙන සමාජ සහ සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා පියතුමන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ද ගොනු කර තිබුණේ එම චෝදනා පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින්.
එම පරීක්ෂණවල ප්‍රගතිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දෙමින් 2024 වසරේ නොවැම්බර් මාසයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ සුරේෂ් සලේ සම්බන්ධ විමර්ශන ක්‍රියාත්මක බවයි.
එවැනි පසුබිමක නව රජය පත්වීමෙන් පසු 2024 වසරේ ඔක්තෝබර් මාසයේදී සුරේෂ් සලේ, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තනතුරෙන් විශ්‍රාම ගැන්වීමට පියවර ගනු ලැබුවා ෴
+++
රටම කතාවෙන සුරේෂ් සලේව අත්අඩංගුවට ගත් හැටි
(25.02.2026 – 19:23 +0530 – sinhala.adaderana.lk)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ අනුව ඔහුව පැය 72 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව පොලීසිය සඳහන් කළේය.
2019 වසරේ අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරුදිනයේ සහරාන් හෂීම් ප්‍රමුඛ ම්ලේච්ඡ අන්තවාදීන් කණ්ඩායමක් දිවයිනේ ස්ථාන 08කදී සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාර 10 කදී පුද්ගලයින් 273 ක් ජීවිතක්ෂයට පත්විය.
අනතුරුව අදාළ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන ඇරඹි අතර, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් සහ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් ඔස්සේද විමර්ශන සිදු කෙරුණි.
එකී සියලු විමර්ශනවලින් අනාවරණය වූ කරුණු මත ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ කණ්ඩායම් සමග සෘජුව සම්බන්ධතා පවත්වා තිබූ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය.
ඊට අදාළ නඩුව මේ වනවිට දිනපතා විභාග කෙරෙමින් පවතී.
මෙවැනි පසුබිමක පාස්කු ඉරුදින ප්‍රහාරය පිටුපස දේශපාලන හස්තයක් ඇතැයි දිගින් දිගටම ඇතැම් පාර්ශ්ව චෝදනා කළේය.
ඒ අතරවාරයේ හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සහ තවුහිද් ජමාත් සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති හමුවකදී රාජපක්ෂවරුන් යළි බලයට ගෙනඒම සඳහා රට තුළ අනාරක්ෂිත තත්ත්වයක් ඇතිකිරීමට යෝජනා වූ බවට බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවේ වාර්තාමය වැඩසටහනකින් චෝදනා එල්ල කෙරුණි.
ඒ කලක් පිල්ලෙයාන්ගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ මේ වනවිට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ පතන අසාද් මව්ලානා සිදුකළ ප්‍රකාශයකින්ය.
ඒ අනුව පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ රහසිගත විමර්ශනයක් පිළිබඳ පසුගිය සමයේ අවස්ථා කිහිපයකදී කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට වැඩිදුර වාර්තා මගින් කරුණු දක්වා තිබුණි.
එවැනි පසුබිමක හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේව අද (25) පෙ.ව. 08:10 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට පත්විය.
සලේ මහතා පෑලියගොඩ පිහිටි පෞද්ගලික ආයතනයක සේවය සඳහා යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
අනතුරුව ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
එමෙන්ම ඔහු භාවිත කරන පරිගණක, ඔහුගේ නිවස, බැංකු ගිණුම් හා ඊමේල් පණිවිඩ පරීක්ෂා කිරීමට නියමිත බවය වාර්තා වේ.
සුරේෂ් සලේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතැම් තොරතුරු දැන සිට, ඒ පිළිබඳව අදාළ පාර්ශ්වයන් දැනුම්වත් කර නොමැතිද යන්න පිළිබඳව විමර්ශකයින්ගේ අවධානය යොමු වී ඇති බවද සඳහන්ය.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකෙරෙන තවත් ප්‍රබල චරිත කිහිපයක් සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවල අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
+++
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ගැන දිලිත් තැබූ X-සටහන
(25.02.2026 – 17:48 +0530 – sinhala.adaderana.lk)
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන පැය 72 ක් රඳවා තැබීමට කටයුතු කිරීම දැඩි සේ හෙළා දකිමින් සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර X-අවකාශයේ සටහනක් තබා තිබේ.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ කීර්තිමත් අතිදක්ෂ හමුදා නිලධාරියෙකු වන අතර දශක 3 ක් තිස්සේ ශ්‍රී ලංකාවේ පැවැති කුරිරු ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා කැපී පෙනෙන දායකත්වයක් දැක්වූ රණවිරුවෙකු බවය.
එවැනි විශිෂ්ට නිලධාරියෙකු මේ ආකාරයෙන් ප්‍රශ්න කිරීමට ලක්කිරීම දේශපාලන අරමුණක් සහිතව සිදුකළ බවක් පෙනීයන බවත් එහි සාධාරණත්වය සහ අභිලාෂය මෙන්ම රාජ්‍ය බලය අයුතු ලෙස යොදාගත් පියවරක්ද යන සැකය මතුවෙන බවත් දිලිත් ජයවීර පෙන්වා දෙයි.
මෙම පියවර විශ්වසනීය සාක්ෂි මත පදනම් නොවී හුදෙක් පටු දේශපාලන අරමුණු මත සිදුකර ඇත්නම් එය යුක්තිය හෑල්ලුවට ලක් කිරීමක් පමණක් නොව, අපේ සන්නද්ධ හමුදාවල චිත්ත ශක්තියට සිදුකරන බරපතළ හානියක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර සඳහන් කරයි.
ජාතියේ ආරක්ෂාව උදෙසා දිවිහිමියෙන් කටයුතු කරන මිනිසුන් සහ කාන්තාවන් දේශපාලන ක්‍රියාවලියේ ගොදුරු බවට පත්නොවිය යුතු බවද ඔහු අවධාරණය කරයි.
යුක්තිය පාරදෘශ්‍ය, අපක්ෂපාතී සහ විකෘති කිරීම්වලින් තොර වියයුතු බවත් එයින් තොර ඕනෑම පියවරක් ඊට වගකිව යුත්තන්ට නොමැකෙන අඳුරු පැල්ලමක් පමණක් ඉතිරි කරනු ඇති බවත් සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර වැඩිදුරටත් සඳහන් කර තිබේ ෴
සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ අලි සබ්රිගේ විරෝධය
(25.02.2026 – 17:03 +0530 – sinhala.adaderana.lk)
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහ මඟදී අත්අඩංගුවට ගැනීම තරයේ හෙලා දකින බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද (25) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා යුද හමුදා හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු වන කර්නල් කැලුම් මන්දුමගේ විසින් ඉදිරිපත් කළ පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මේ බව පවසා ඇත.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව අද කැඳවා තිබුණි.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා, සුරේෂ් සලේ මෙරට ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා දැවැන්ත කාර්යභාරයක් ඉටුකර තිබෙන බවත් කොටි නායක තමිල් සෙල්වම් විනාශ කිරීම සඳහා ඔහු මුල්වී ක්‍රියා කළ බවත් ඔහු පෙන්වා දී ඇත.
කොටි නායකයෙකු වන කුමරන් පද්මනාදන් මැලේසියාවට ගොස් මෙරටට රැගෙන එනු ලැබුවේද සුරේෂ් සලේ විසින් බවත් ජාතික ආරක්ෂාව සමග ක්‍රීඩා කිරීම නුසුදුසු බවත් එහිදී පවසා ඇත.
2015 වසරේ සිදු වූයේත් මෙවැනි තත්ත්වයේ ක්‍රියාවක් යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අවසානයේ දී මුළු ජාතික ආරක්ෂාවම අනතුරේ වැටුණු බවත් පවසා ඇත.
වවුනතීව් ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) මරා දැමීමේ සිද්ධියට අදාළ විමර්ශන නොමග යැවීමට කටයුතු කළේ යැයි චෝදනා කරමින් සිය සේවාදායකයාට එරෙහිව වර්තමානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එවැනි විමර්ශනයක් සිදු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවත් සඳහන් කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ මෙහෙයවීම යටතේ සිදු කරන මෙම විමර්ශනය හරහා සිය සේවාදායකයාට සාධාරණයක් අපේක්ෂා කළ නොහැකි බවත් ඔහු කියා ඇත.
අසාද් මවුලානා නමැති දේශපාලන සරණාගත භාවය අපේක්ෂා කරන අයෙකු බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාවකට කරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙන මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බවත් මෙවැනි විමර්ශන හරහා වින්දිතයින්ට කිසිදා යුක්තිය ඉටු නොවන බවත් ඔහු සඳහන් කර ඇත.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට ඉන්දීය බුද්ධි අංශ මෙන්ම මෙරට බුද්ධි අංශ කලින්ම අනතුරු අඟවා තිබියදී එය වළක්වා ගැනීමට පොලීසිය අවශ්‍ය පියවර නොගැනීම නිසා මෙම ඛේදවාචකය උද්ගත වූ බවත් ඔහු පෙන්වා දී තිබේ.
අද (25) දින ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ කරුණු දැක්වීම අවසන් කෙරුණු අතර වැඩිදුර කරුණු සලකා බැලීම මාර්තු මස 24 වනදා දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴