පොලිස් වෙසින් ඇමතුම් දී ජනතාව රවටා මුදල් ගරන කල්ලියක් – සියලු දෙනා දැනුවත් වී සිටින්න

පොලිස් වෙසින් ඇමතුම් දී ජනතාව රවටා මුදල් ගරන කල්ලියක් – සියලු දෙනා දැනුවත් වී සිටින්න


පොලිස් වෙසින් ඇමතුම් දී ජනතාව රවටා මුදල් ගරන කල්ලියක් – සියලු දෙනා දැනුවත් වී සිටින්න

(24.02.2026 – hirunews.lk)

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දුරකතන ඇමතුම් ලබාදී මහජනතාව රවටා මුදල් ලබා ගන්නා වංචාකරුවන් පිරිසක් පිළිබඳව පැමිණිලි කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබෙනවා.

මේ වනවිටත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන විමර්ශන පවත්වාගෙන යන අතර එමගින් අනාවරණය වූ තොරතුරු අනුව මෙම වංචනිකයින් ශ්‍රී ලංකාවේ ස්ථාවර දුරකථන අංක වලට සමානකමක් දක්වන විදේශීය දුරකථන අංක භාවිතා කරමින් මෙරට බැංකු, මුල්‍ය සමාගම් නිලධාරීන් ලෙස ගිණුම් හිමියන් වෙත ඇමතුම් ලබා ගෙන ගිනුම් හිමියන්ගේ ගිණුම් සම්බන්ධව පැමිණිලි පවතින බව දැනුම්දීම සිදුකරන බවයි පොලිසිය පවසන්නේ.

ගිණුම සම්බන්ධව පවතින පැමිණිලි පිලිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ක්‍රීයාකරන ශ්‍රී ලංකා පොලිසියේ විමර්ශන අංශ නිලධාරීන් වෙත දුරකථන ඇමතුම යොමුකරන බව පවසමින් ඇමතුම ව්‍යාජ ලෙස පොලස් නිලධාරීන් ලෙස පෙනී සිටින වංචනකයින් වෙත යොමුකරන (Transfer) අතර ශ්‍රී ලංකා පොලිසියයේ නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී එම වංචනිකයින්, WhatsApp Video දුරකතන ඇමතුම් ඔස්සේ රැවටීමට ලක්කරන ගිණුම් හිමියන් ඉදිරියේ පෙනී සිට ප්‍රශ්න කිරීම්, ප්‍රකාශ සටහන් කිරීම් WhatsApp ඇමතුම් මගින්ම දුරස්ථව සිදුකරනු ලබනවා.

පොලිස් විමර්ශන අංශ තුළ පවතින කාර්යබහුල පරිසරය Video Call අතරතුර ගිනුම් හිමියාට දර්ශනය වීමට නිරූපණය කිරීමද මෙම වංචාකරුවන් විසින් සිදුකරනු ලබනවා.

ඇමතුම මගින් ප්‍රශ්න කිරීම්, ප්‍රකාශ සටහන් කිරීම් සිදුකරන අතරතුර ගිණුම් හිමියාගෙන් ගිණුමේ රහස්‍ය තොරතුරු කාඩ්පත් අංක විමසා දැනගැනීමට මෙම ව්‍යාජ පොලිස් නිලධාරීන් සූක්ෂමව, කිසිදු සැකයක් ඇති නොවන පරිදි ක්‍රියාත්මක වීම අවසන් පියවර වන අතර රහස්‍ය තොරතුරු ලබාගත් සැනින් බැංකු ගිණුමේ මුදල් සොරාගැනීම සිදුකරන බවයි වාර්තා වෙන්නේ.

මෙම වංචනිකයින් විසින් ලබා ගෙන ඇති මුදල් බැංකු ගිණුම් කිහිපයක් ඔස්සේ හුවමාරු වී Binance ගිණුම් හරහා CRYPTO – CURRENCY (අතත්‍ය මුදල් – භෞතිකව භාවිතා නොවන ඩිජිටල්කරණය වූ මුදල් ඒකකයක්) බවට පරිවර්ථනය කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

දැනට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්, අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වූ පුද්ගලයෙකු විසින් දැනුම් දුන් පරිදි සොරාගන්නා මුදල් වෙනත් බැංකු ගිණුම් වෙත යොමු කර ඊට අදාලව කොමිස් මුදලක් ද ලබා ගන්නා බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

මෙලෙස මහජනතාවගේ මුදල් වංචා කිරීම දිගින් දිගටම සිදුවන බවට නිරීක්ෂණය වන බැවින් තමන්ගේ පුද්ගලික තොරතුරු භාවිතා කර සකස් කරනු ලබන බැංකු ගිණුම් තොරතුරු හෝ අන්තර්ජාල ගණුදෙනු සිදු කිරීමට භාවිතා කරනු ලබන ගිණුම් පිලිබඳ තොරතුරු, මෙවැනි රැවටීම්වල ගොදුරන් වී, කිසිවෙකුට ලබා නොදීමට සැලකිලිමත් වෙන ලෙසයි ශ්‍රී ලංකා පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴


වෙළෙඳ අමාත්‍යංශයේ හිටපු ලේකම් ඇතුළු තිදෙනාට ඇප

(24.02.2026 – hirunews.lk)

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් වෙළඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඇතුලු සැකකරුවන් තිදෙනා (3) ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (24) නියෝග කළා.

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ලේකම් අතපත්තු මුදියන්සේලාගේ ප්‍රියංක මද්දුම බණ්ඩාර අතපත්තු , හිටපු අතිරේක ලේකම් දොරෙයිසාමි ජීවානන්දම් හා හිටපු ප්‍රධාන මූල්‍ය නිලධාරි කලුදේව අරවින්ද ප්‍රියර්දශනී ද සිල්වා යන සැකකරුවන් මෙසේ ඇප මත මුදා හැරිණා.

සැකකරුවන්ට රුපියල් ලක්ෂ පනහ (50) බැගින් වූ ශරීර ඇප දෙක (2) බැගින් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළා.

මහපොල ශිෂ්‍යත්ව අරමුදල තරකර ගැනීමට ලොතරැයියක් මුද්‍රණය කිරීම සඳහා නීත්‍යානුකූලව තෝරාගත් ආයතනය ප්‍රතික්ෂේප කර රුපියල් ලක්‍ෂ දහයක (10) අල්ලසක් ලබා ගත් ආයතනයක් වෙත එම ලන්සුව පිරිනමා රජයට පාඩුකළේ යැයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම කරුණු දක්වමින් කියා සිටියේ 2021 වසරේ ලලිත් ඇතුළත් මුදලී මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යාධාර අරමුදල ශක්තිමත් කර ගැනීම උදෙසා වෙළඳපළට හඳුන්වා දෙන ලොතරැයිය මුද්‍රණය කිරීමේ ලංසු කැඳවීමේදී රජයට පාඩු කර මෙම දූෂණය නම් වරද සිදු කර ඇති බවයි.

අල්ලස් කොමිසම වෙනුවෙන් සහකාර නීතිඥ තුසිතා ජයනෙත්ති කරුණු දක්වමින් කියා සිටියේ අදාල ලොතරැයි පත මුද්‍රණය කිරීම සඳහා ප්‍රසම්පාදනයේදි සාර්ථකව තෝරාගන්නා ආයොජකයා වෙත ලංසුව පිරිනැමීමෙන් තොරව නැවත ලංසු කැඳවීමේදී පළමු ලංසු කැඳවීමෙන් අසාර්ථක හා ප්‍රතික්‍ෂේපිත ආයතනයකට අනුබද්ධ සමාගමගකින් රුපියල් 1,000,000 ක මුදලක් අල්ලස් අයැදීම සහ ලබා ගැනීම සැකකරුවන් විසින් සිදුකොට ඇති බවයි.

විමර්ශනය තවදුරටත් සිදු කරන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ද ඉල්ලා සිටියා.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන කරුණු දක්වමින් කියා සිටියේ තම සේවා දායකයින් මෙම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

අදාල ලොතරැයිය මුද්‍රණය කිරීම කැබිනට් අනුමැතියකින් සිදුකොට ඇති බවත්, ලොතරැයිය මුද්‍රණය කරනරන විට පළමු (1) සැකකරු විශ්‍රාම ගොස් ඇති බවත් පෙන්වා දුන්නා.

ව්‍යාජ පැමිණිල්ලක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් සාක්ෂිකරුවන්ට කිසිදු බලපෑමක් කළ නොහැකි තම සේවාදායකයින් ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලා සිටියා.

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ඇප නියම කරමින් සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසට අවවාද කළා.

විමර්ශන ප්‍රගතිය අප්‍රේල් 28 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද අල්ලස් කොමිසමට නියෝග කළා.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන නීතිඥ චමිත් මාරපන ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියා ෴


හෝමියෝපති වෙදකම මුවාවෙන් පවත්වාගෙන ගිය ‘විකෘති කාම මධ්‍යස්ථානයක්’ වටලයි

(24.02.2026 – hirunews.lk)

විකෘති කාමාශාවන් සඳහා ලිංගික සේවා සපයන මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් තිදෙනෙකු (3) හා එහි හිමිකරු අද (24) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ, මෝදර සහ හංවැල්ල ප්‍රදේශවල පදිංචි කාන්තාවන් තිදෙනකු (3) හා එහි හිමිකරු ලෙස පෙනී සිටි හෝමියෝපති වෛද්‍යවරයෙකු බවයි පොලිසිය පවසන්නේ.

හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර මුවාවෙන් විකෘති කාමාශාවන් ඉටු කර ගැනීම සඳහා සේවා සපයන මධ්‍යස්ථානයක් පිළිබඳව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශයට තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුව අධිකරණයන් සෝදිසි වරෙන්තුවක් ලබාගෙන මුල්ලේරියාව අඹතලේ හන්දිය ආසන්නයේ දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලක් පවත්වාගෙන යන මෙම විකෘති කාමාශාවන් ඉටුකරන මධ්‍යස්ථානය උපාය දූතයක යොදවා වටලා පරීක්ෂා කර ඇති බව සඳහන්.

උපාය දූතයා රුපියල් හත්දහසක (7000) මුදලක් ගෙවා කාමාශාවන් ඉටුකර ගැනීමට සූදානම් වනවාත් සමඟම ලබාදුන් දුරකථන සංඥාව අනුව ආවේශන රාජකාරියෙන් අවට රැඳී සිටි නිලධාරීන් එම ගොඩනැගිල්ල තුළට පැමිණ පරීක්ෂා කර තිබෙනවා.

එම අවස්ථාවේදී හෝමියෝපති වෛද්‍ය ක්‍රම මුවාවෙන් විවිධ කාමාශාවන් ඉටුකර ගැනීමට පැමිණෙන ගනුදෙනුකරුවන්ගේ කාමාශාවන් විකෘති ලෙස ඉටුකර ගැනීමට පහසුකම් සැලසෙන උපකරණ තොගයක් පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

ඒ අතර ප්ලාස්ටික් ලිංගික අවයව, වේවැල් දම්වැල්, මාංචු, රබර් පටි, රබර් ලිංගික අවයව, ලණු, කඹ ඇතුළු විවිධ මාදිලියේ උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ සඳහා පැමිණෙන පුද්ගලයින්ගෙන් පැයකට රුපියල් හත්දහසේ (7000) සිට දස දහස (10,000) දක්වා මුදල් අය කොට කාන්තාවන් ලවා මෙම විකෘති කාමාශාවන් ඉටු කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴


රුමේනියා ‘රැකියා සිහින’ පෙන්වා කෝටියක් වංචා කළ කතක් උපාය දූතයකුට කොටු වෙයි

(24.02.2026 – hirunews.lk)

  • විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැමිණිලි 15 ක් – සැකකාරිය ලබන මස 03 දක්වා රිමාන්ඩ්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් එක් කෝටි හැට ලක්ෂයකට (රු. 16,000,000) ආසන්න මුදලක් වංචාකළැයි කියන කාන්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

මෙම කාන්තාව අදාල වංචාව සිදුකර සැඟව සිට ඇති අතර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මීට පෙර රුමේනියාවේ සේවය කර ඇති මෙම කාන්තාව, එරට පවතින සබඳතා උපයෝගී කරගනිමින් මෙම ජාවාරම කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.

‍පොරොන්දු වූ පරිදි රැකියා ලබා නොදීම හේතුවෙන් ඇයට එරෙහිව කාර්යාංශය වෙත පැමිණිලි 15 ක් ලැබී තිබූ අතර, විමර්ශන නිලධාරීන් මගහරිමින් ඇය කාලයක සිට සැඟව සිට තිබූ බවට වාර්තා වුණා.

සැකකාරිය පිළියන්දල, වැල්ලම්පිටිය, කොළොන්නාව සහ කහතුඩුව යන ප්‍රදේශවල සැරිසරන බවට ලද තොරතුරු මත වැටලීම් කිහිපයක්ම සිදු කළ ද නිලධාරීන් පැමිණීමට පෙර ඇය එම ස්ථානවලින් පලාගොස් තිබෙනවා.

මෙම ජාවාරම සඳහා ඇයට සහය වූ තවත් පුද්ගලයන් සිව්දෙනෙකු (4) මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට ද විමර්ශන නිලධාරීහු පියවර ගෙන තිබුණා.

අවසානයේදී විමර්ශන නිලධාරීන් විසින් යොදවන ලද උපාය දූතයෙකු මගින් සැකකාරිය සම්බන්ධ කරගෙන ඇති අතර, එහිදී විදේශ රැකියා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා ඇය කොළොන්නාව ප්‍රදේශයේ නීතිඥවරයෙකුගේ නිවසකට පැමිණි අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය කොළඹ අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මාර්තු මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෙම මහා පරිමාණ ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයන් සිටීදැයි සෙවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුර විමර්ශන මෙහෙයවයි ෴


රු. පනස්දහක (50,000) අල්ලස් ගත්තැයි කොළඹ ජාතික රෝහලේ සේවකයන් දෙදෙනා (2) යළි රිමාන්ඩ්

(24.02.2026 – hirunews.lk)

වැඩ තහනමකට ලක් ව ඇති පුද්ගලයෙකුට සෞඛ්‍ය කාරක සහයක තනතුරට අදාල පත්වීම සෞඛ්‍ය අමාත්‍යාංශය නිලධාරීන් ලවා නැවත සකස් කර දීම සඳහා අල්ලස් ලෙස රුපියල් 50,000 ක මුදලක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් කොළඹ ජාතික රෝහලේ සුළු සේවා පාලක වැඩ බලන නිලධාරියෙකු සහ එම අංශයේ කාර්ය සහායකවරයෙකු ලබන 10 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම අද (24) නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අද (24) දහවල් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

එසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ කොළඹ ජාතික රෝහලේ සුළු සේවා පාලක වැඩ බලන වශයෙන් කටයුතු කළ දිසානායක මුදියන්සේලාගේ රංජිත් සුමේධ සහ එම රෝහලේ සුලු සේවා පාලන අංශයේ සෞඛ්‍ය කාර්ය සහායක වශයෙන් කටයුතු කරන ලද මලින්ද බන්දුජීව නමැති අයවේ.

එසේ වැඩ තහනමට ලක්ව සිටින අජිත් සුරංග කළුආරච්චි නමැති තැනැත්තා විසින් අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුයේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ කොළඹ ජාතික රෝහලේ වැඩ තහනමට ලක්වී ඇති පුද්ගලයෙකුට එම රැකියාව නැවත ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ලවා නැවත සකස් කර දීමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා අල්ලස් ලෙස රුපියල් පනස්දහක (50,000) මුදලක් පැමිණිලිකරුගෙන් ලබාගෙන ඇති බවයි.

එම සිද්ධියට අදාළව මෙම සැකකරුවන් දෙදෙනා (2) රු. ලක්ෂයක (100,000) මුදලක් ඉල්ලා ඇති බවත් මින් පෙර රු. පනස්දහක (50,000) මුදලක් චෙක්පතක් මගින් ලබාදී ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

දෙවැනි (2) අවස්ථාවේදී ඉතුරු රු. පනස්දහක (50,000) මුදල ලබා ගන්නා විට උපාය දූතයෙකු මගින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා ලබන 10 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කළා ෴


රුපියල් 500 ක අල්ලසක් ගත් වැඩබලන රෙජිස්ට්‍රාර්වරිය යළි රිමාන්ඩ්

(24.02.2026 – hirunews.lk)

රුපියල් පන්සියයක (500) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගත් බවට එල්ල වූ චෝදනාවක් මත, ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ බලන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරියක ලබන මාර්තු මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(24) නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මරදමුනේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදු කර සැකකාරිය අත්අඩංගුවට ගත් බව එම කොමිසම පවසනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ ආලයඩිවෙම්බු ප්‍රාලේකම් කාර්යාලයේ වැඩ බලන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරියක්.

පැමිණිලිකරු සිය දියණියගේ උප්පැන්න සහතිකය ලියාපදිංචි කරවා ගැනීමට ගිය අවස්ථාවේදී, සැකකාර රෙජිස්ට්‍රාර්වරිය ඒ සඳහා රුපියල් 1,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ.

අදාළ මුදලින් රුපියල් 500 ක් මුලින් ලබාගෙන ඇති සැකකාරිය, ඉතිරි රුපියල් 500 ක මුදල ඉකුත් 16 වැනිදා උප්පැන්න සහතිකය ලබා ගැනීමට පැමිණෙන විට රැගෙන එන ලෙස දන්වා ඇති බවත් ඒ අනුව ඉකුත් (16) වැනිදා සැකකාරියගේ නිවසේ පවත්වාගෙන යනු ලබන කාර්යාලයේදී ඉතිරි මුදල ලබාගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවත් අල්ලස් කොමිසම සඳහන් කරනවා.

ඒ අනුව, අත්අඩංගුවට ගත් සැකකාරිය අක්කරෛපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ලබන මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴


පොරොත්තු ලේඛනයේ තිබූ රියදුරු බලපත්‍ර 491,000 ක් මුද්‍රණය කෙරේ – ලක්ෂ 4 ක් තැපෑලට

(24.02.2026 – hirunews.lk)

වසර දෙකක් (2) පොරොත්තු ලේඛන ගතව තිබූ රියදුරු බලපත්‍ර 491,000 ක් මුද්‍රණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පවසනවා.

ඉන් ලක්ෂ 04 ක බලපත්‍ර කාඩ්පත් තැපෑලට යොමු කර ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා සිටියේ ෴


රුසියානු සංචාරකයකුගේ ඩොලර් 2000 ක් සොරකම් කළ නිකේතන හිමිකාරියගේ දියණිය අත්අඩංගුවට – සොරකම රහසිගත කැමරාවක සටහන් වේ

(24.02.2026 – hirunews.lk)

උණවටුන, ගණහේන ප්‍රදේශයේ සංචාරක නිකේතනයක නවාතැන් ගෙන සිටි රුසියානු ජාතිකයෙකු සතු ඇමරිකානු ඩොලර් 2,000 ක මුදලක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් හය ලක්ෂ විසිදහසක් පමණ) සොරකම් කිරීම සම්බන්ධයෙන් එම නිකේතනය හිමි කාන්තාවගේ 18 හැවිරිදි දියණිය අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසනවා.

අදාල රුසියානු ජාතික සංචාරකයා මෙම සංචාරක නිකේතනයේ නවාතැන් ගන්නා අතරතුර, එහි අයිතිකරුවන්ට නොදන්වා තමා නවාතැන් ගෙන සිටි කාමරය තුළ රහසිගත ආරක්ෂිත කැමරාවක් (CCTV) සවි කර ඇති බව පොලිසිය සඳහන් කරනවා.

පසුගිය ඉරිදා (22) මොහු සිය කාමරයෙන් බැහැරව ගොස් නැවත පැමිණ පරීක්ෂා කිරීමේදී, එහි තිබූ රුපියල් හය ලක්ෂ විසිදහසකට (6,20,000) අධික මුදල කිසිවෙකු විසින් සොරකම් කර ඇති බව දැනගෙන තිබුණා.

පසුව විදේශිකයා තමා සවි කළ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කර ඇති අතර, එහිදී නිකේතන හිමිකාරියගේ දියණිය කාමරයට ඇතුළු වී මුදල් සොරකම් කරන ආකාරය පැහැදිලිව රූගත වී තිබී ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ සංචාරකයා උණවටුන සංචාරක පොලිසියට මේ පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ලැබුණු පැමිණිල්ලට අනුව උණවටුන සංචාරක පොලිසියේ උප පොලිස් පරීක්ෂක ප්‍රියංකර ඇතුළු කණ්ඩායමක් අදාල හෝටලයට ගොස් පරීක්ෂණ පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා සැකකාරිය හබරාදුව පොලිසිය වෙත භාර දී ඇති අතර, හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ උපදෙස් පරිදි විමර්ශන සිදුකෙරනවා.

සැකකාරිය අද (24) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *