ව්‍යවස්ථාව කඩපු අරගලකරුවන් නිවැරදි නම් කොටිත් නිවැරදි ද? : සාගර ආණ්ඩුවෙන් විමසයි

ව්‍යවස්ථාව කඩපු අරගලකරුවන් නිවැරදි නම් කොටිත් නිවැරදි ද? : සාගර ආණ්ඩුවෙන් විමසයි


ව්‍යවස්ථාව කඩපු අරගලකරුවන් නිවැරදි නම් කොටිත් නිවැරදි ද? : සාගර ආණ්ඩුවෙන් විමසයි

(24.02.2026 – hirunews.lk)

‘කොටි සංවිධානය රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් වැදීම සාධාරණ ද?’ කියා අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටින වර්තමාන ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් තමන් විමසා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් ප්‍රකාශ කරනවා.

අරගලකරුවන් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සාධාරණ බව වර්තමාන ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් ප්‍රකාශ කරන්නේ කුමන පදනමකින් ද කියා තමන් ප්‍රශ්න කරන බවත් ඒ ආකාරයට ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටීම සාධාරණ බව කොටි හිතවාදීන් ප්‍රකාශ කළහොත් ඊට ලබාදෙන පිළිතුර අදාල මැති ඇමතිවරුන්ගෙන් තමන් විමසා සිටින බවද සාගර කාරියවසම් සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සාගර කාරියවසම් මෙසේ ද පැවසුවා :

“රටක ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න කිසිවෙකුට බැහැ. අවශ්‍ය නම් ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන්. එය කළ යුත්තේ පාර්ලිමේන්තුව මගින්. එහෙම නැතුව රටේ නීතිය කඩලා නීතිය අතට අරගෙන ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න කාටවත් අයිතියක් නෑ. එහෙම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.

මේ රටේ අධිකරණය සාධාරණයි. අධිකරණය ගැන ලොකු විශ්වාසයක් මේ රටේ ජනතාවට තියෙනවා. අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අනෙකුත් සැකකරුවන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරන බව නීතිපතිවරයා දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ඝාතනයට වැරදිකරුවන් වූ දොළොස් දෙනකුට (12) මරණ දඬුවම නියම කර තිබෙනවා. තවත් පැත්තකින් කියනවා ඔවුන්ගේ ඥාතීන් ජනාධිපතිවරයාගෙන් මෙම පිරිසට ජනාධිපති සමාව ගන්න යනවා කියලා. ඉතින් ජනාධිපති සමාව දෙනවා ද නැද්ද කියන එක ජනාධිපතිතුමාගේ කාර්යයක්. අපි ඒ ගැන මුකුත් කියන්න යන්නේ නැහැ.

ඒවගේම 2022 මැයි 09 දවසේදී මුලු රටපුරා දේපළ විනාශ කරමින් ගිනිබත් කරමින් මෙම ඝාතනයන් සිදුකිරීමට උපදෙස් ලබා දුන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් තමයි අද රට පාලනය කරන්නේ.

ජනාධිපති, අගමැති , ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු වෙලා ඉන්නේ අරගලයට උපදෙස් දීල ඒ ජනතාව පොළඹවලා මේ විනාශය කරපු උදවියයි. ඒ සඳහා අවශ්‍ය කරන සාක්‍ෂිත් තියෙනවා.

ඒ නිසා ‘උපදෙස් ලබා දීමත් ඒ වරද හා සමානයි’ නීතියෙන් ගත්විට.

එම නිසා ඒ සඳහා උපදෙස් ලබා දීපු පිරිස්වලට එරෙහිවත් අපේ ආණ්ඩුවක් යටතේ අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබාදීමට කටයුතු කරනවාමයි ෴


පිරමීඩ ජාවාරමක නිරත වූ චීන ජාතිකයෝ 16 ක් කුරුඳුවත්තේදී කොටු

(24.02.2026 – hirunews.lk)

වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටිමින් අන්තර්ජාලය හරහා සිදුකරන මහා පරිමාණ පිරමීඩ මුදල් වංචාවක නිරත වූ චීන ජාතිකයන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසනවා.

කොළඹ 05, ජාවත්ත පාර සහ දොන් කරෝලිස් පාර ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම පිරිස වැටලීමකට ලක් කර ඇත්තේ කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුවයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ තිබී ලැප්ටොප් පරිගණක 23 ක්, ජංගම දුරකථන 11 ක්, රවුටර් 07 ක් සහ හඬ පරිවර්තන යන්ත්‍ර (Voice Translators) 09 ක් පොලිස් භාරයට ගෙන තිබුණා.

මීට අමතරව, තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද විදේශීය දුම්වැටි 3,280 ක් ද ඔවුන් රැඳී සිටි ස්ථානය පරීක්ෂා කිරීමේදී සොයාගත් බව පොලිසිය පවසනවා.

පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, වයස අවුරුදු 23 ත් 40 ත් අතර පසුවන මෙම චීන ජාතිකයන් මෙරට රැඳී සිටිමින් විදේශීය රටවල පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් විවිධ උපක්‍රම හරහා පිරමීඩ ජාවාරමේ නිරත වී ඇති බවයි.

මොවුන් මීට දින කිහිපයකට පෙර අදාළ ලිපිනයට තාවකාලිකව පදිංචියට පැමිණ ඇති අතර, ඔවුන්ගේ හැසිරීම් පිළිබඳ ඇති වූ සැකය මත මෙම වැටලීම සිදු කර තිබුණා.

කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්. සුජීව කුමාරගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිරෝෂන් වික්‍රමරත්නගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක වන්නිආරච්චි, පොලිස් කොස්තාපල්වරුන් වන ලක්මාල් (19116), චතුරංග (1910) සහ වීරකෝන් (97771) යන නිලධාරීන් මෙම පරීක්ෂණ පවත්වනවා.

සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


ව්‍යාජ අංක තහඩු දැමූ සොරකම් කළ යතුරුපැදියක් සමඟ සැකකරුවෙක් දැලේ

(24.02.2026 – hirunews.lk)

ගාල්ල, බටපොල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ව්‍යාජ අංක තහඩු සවි කරන ලද යතුරුපැදියක් සමඟ සැකකරුවෙකු ඊයේ (23) අත්අඩංගුවට ගැනීමට ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබෙනවා.

ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයට ලැබුණු විශේෂ බුද්ධි තොරතුරකට අනුව බටපොල ප්‍රදේශයේ අදාළ නිවස වටලා පරීක්ෂා කිරීමේදී මෙම යතුරුපැදිය සොයාගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.

සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාල යතුරුපැදිය 2024 වර්ෂයේදී කරන්දෙණිය පොලිස් වසමේදී සොරකම් කරන ලද්දක් බවයි.

එසේම, අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් කිහිපදෙනෙකු සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.

මෙම යතුරුපැදිය යොදා ගනිමින් පසුගිය කාලසීමාව තුළ කිසියම් අපරාධ ක්‍රියාවන් සිදු කර තිබේද යන්න සම්බන්ධයෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මේ වන විට වැඩිදුර විමර්ශන මෙහෙයවන බව පොලිස්මූලස්ථානය සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


රෝග රැසකට එකම එන්නතක් – ලාංකික මහාචාර්යවරයෙක් ලොවක් මවිත කරයි

(24.02.2026 – hirunews.lk)

කැස්ස, හෙම්බිරිස්සාව, ඉන්ෆ්ලුවෙන්සාව (Flu) පමණක් නොව, පෙනහළු ආසාදනය කරන බැක්ටීරියා සහ ඇදුම වැනි අසාත්මිකතාවන්ට පවා එරෙහිව සටන් කළ හැකි තනි ‘විශ්වීය එන්නතක්’ (Universal Vaccine) ඇමරිකානු පර්යේෂකයන් පිරිසක් විසින් නිපදවා තිබෙනවා.

ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකාවේ උපන් ප්‍රතිශක්ති විද්‍යාඥ මහාචාර්ය බාලි පුලේන්ද්‍රන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකළ මෙම පර්යේෂණය, වසර 200 ක එන්නත් ඉතිහාසය වෙනස් කරන ‘විප්ලවීය පියවරක්’ ලෙසයි විද්‍යාඥයෝ හඳුන්වන්නේ.

සාමාන්‍යයෙන් එන්නතක් නිපදවන්නේ එක් නිශ්චිත රෝගයකට (උදා: සරම්ප හෝ පැපොල) එරෙහිව පමණි.

නමුත් මෙම නව එන්නත ‘නාසයට විදින ස්ප්‍රේ එකක්’ (Nasal Spray) ලෙස ලබා දෙන අතර, එමගින් ඕනෑම වෛරසයකට හෝ බැක්ටීරියාවකට එරෙහිව සටන් කිරීමට ශරීරය සූදානම් කරන බවයි වාර්තා වෙන්නේ.

මෙය ශරීරයේ ප්‍රතිශක්තිකරණ සෛල එකිනෙකා සමඟ සන්නිවේදනය කරන ආකාරය අනුකරණය කරයි. එමගින් පෙනහළුවල ඇති සුදු රුධිරාණු ඕනෑම ආක්‍රමණිකයෙකුට එරෙහිව සටන් කිරීමට සීරුවෙන් (Amber Alert) තබනවා.

සතුන් යොදාගෙන කළ පරීක්ෂණවලදී පෙනී ගොස් ඇත්තේ, මෙමගින් වෛරස් ශරීරයට ඇතුළු වීම 100 ගුණයක සිට 1000 ගුණය දක්වා ප්‍රමාණයකින් අඩු කරන බවයි.

එමෙන්ම එහි බලපෑම මාස තුනක් (3) පමණ පවතින බවත් සොයාගෙන තිබෙනවා.

මෙම එන්නත මගින් නිවාසවල දූවිලි මයිටාවන් නිසා ඇතිවන අසාත්මිකතා සහ ඇදුම රෝගී තත්ත්වයන් පවා පාලනය කිරීමට හැකි බවයි මහාචාර්ය පුලේන්ද්‍රන් පවසන්නේ.

“අපි මෙය හඳුන්වන්නේ ‘විශ්වීය එන්නතක්’ ලෙසයි. මෙය ඉන්ෆ්ලුවෙන්සා හෝ කොවිඩ්වලට පමණක් නොව, සාමාන්‍ය හෙම්බිරිස්සාවට වගේම අප පරීක්ෂා කළ සෑම බැක්ටීරියාවකටම එරෙහිව පුළුල් ආරක්ෂාවක් ලබා දෙනවා.”

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩැනියෙලා ෆෙරේරා පවසන්නේ මෙය ශ්වසන රෝගවලින් මිනිසුන් ආරක්ෂා කරන ආකාරය සහමුලින්ම වෙනස් කළ හැකි ‘ඉතා උද්යෝගිමත් පර්යේෂණයක්’ බවයි.

මෙම එන්නත මිනිසුන් යොදාගෙන සිදුකරන සායනික පරීක්ෂණ (Clinical Trials) ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත අතර, එය සාර්ථක වුවහොත් අනාගතයේදී රෝග රැසකට වෙන් වෙන්ව එන්නත් ලබා ගැනීමේ අවශ්‍යතාවය නැති වී යනු ඇති ෴


බාල ගල් අඟු‍රු පාඩුව ගණින්න කමිටුවක්

(24.02.2026 – hirunews.lk)

ප්‍රමිතියෙන් තොර ගල් අඟු‍රු ආනයනය නිසා සිදුව ඇතැයි කියන අලාභය ගණනය කිරීම සඳහා කමිටුවක් පත් කිරිමට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා පියවර ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (24) ප්‍රකාශ කළා.

මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ඒ.එස්. රොද්‍රිගෝ ඇතුලු 07 දෙනෙකු මෙම කමිටුවට ඇතුළත් අතර අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ද එහි සාමාජිකයින් බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ෴


අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන වෙඩික්කරුත් අත්අඩංගුවට

(24.02.2026 – 23:05 +0530 – sinhala.adaderana.lk)

මොනරාගල, හුළංදාව ප්‍රදේශයේදී අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ දෙවන (2) වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මොනරාගල, පොලීසිය මගින් සිදුකළ විශේෂ විමර්ශනයකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, අත්අඩංගුවට ගත් මෙම සැකකරු මේ වනවිට පොලීසියේ රඳවාගෙනෙ වැඩිදුර ප්‍රශ්නකිරීමේ කටයුතු සිදුකරමින් සිටින බව වාර්තා වෙයි.

මෙම සැකකරු අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සම්බන්ධ දෙවන (2) වෙඩික්කරුද යන්න පිළිබඳව මුහුණු හඳුනාගැනීමේ අවේක්ෂණ පද්ධතිය ඔස්සේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *