වත්තලදී සොයාගත් අයිස් ඩුබායිවලට පලාගිය ‘නිපුණ’ගේ බවට හෙළිවේ

වත්තලදී සොයාගත් අයිස් ඩුබායිවලට පලාගිය ‘නිපුණ’ගේ බවට හෙළිවේ

*********************************************

වත්තලදී සොයාගත් අයිස් ඩුබායිවලට පලාගිය ‘නිපුණ’ගේ බවට හෙළිවේ

(16.04.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

වත්තල ප්‍රදේශයේදී ඊයේ (15) අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය, ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටින ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘නිපුණ’ නැමැත්තාට අයත් බවට අනාවරණ වී තිබෙනවා.

ඊයේ (15) අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට (2) අධිකයි.

එමෙන්ම මෙරටට එවූ තවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය සඳහන් කළේ.

මෙම ජාවාරම පිටුපස විදේශගතව සිටින ‘රූබන්’ සහ ‘කුඩු ලාල්’ නැමැත්තන්ද සිටින බවට මීට පෙර හෙළිවුණා.

ජාඇළ සහ සපුගස්කන්ද ප්‍රදේශවලින් මීට පෙරද අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 125 කට අධික ප්‍රමාණයක් සොයාගත්තා. එහි වටිනාකම රුපියල් කෝටි 100 කට අධිකයි. මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

******************************************

(16.04.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

සිංහල හා දෙමළ අලු‍ත් අවුරුදු නැකැත් චාරිත්‍රයේ පැළ සිටුවීමේ නැකත අද (16) පූර්ව භාග 06:40 ට යෙදී තිබුණා.

ඊට සමගාමීව දිවයින පුරා පැළ සිටුවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණු අතර එහි ප්‍රධාන උත්සවය පැවැත්වුණේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අගුණුකොළපැලැස්සේ නිවස කේන්ද්‍ර කර ගනිමින්.

අදට (16) යෙදී තිබුණ පැළ සිටුවීමේ නැකතට රෝපණය කිරීම සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සුදු හදුන් පැළයක් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ඊයේ (15) ප්‍රදානය කළේ තංගල්ල කාල්ටන් නිවසේදියි.

මේ අතර ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ අනුනායක මහාලේඛකාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත අතිපූජ්‍ය ඕමාරේ කස්සප නාහිමියන්ගේ මෙහෙයවීමෙන් සිදු කෙරෙන දිවයින පුරා පොල්පැල ලක්ෂයක් සිටුවීමේ වැඩසටහන අද (16) පැවැත්වුණේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදියි.

එහිදී පැල සිටුවීමේ නැකතට පොල්පැල රෝපණය ආරම්භ කෙරුණේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන්.

එම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ද එක්වුණා.

එහිදී ඔහු කියා සිටියේ ඩ්‍රෝන යානා මගින් පරිසර විනාශයන් සිදුකරන පුද්ගලයින් හඳුනාගෙන ගුවන් හමුදාවේද සහය ඇතිව වන විනාශයන් වැළැක්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් හංවැල්ල – ලබුගම – ඉදිකඩ රක්ෂිතය ආසන්න පරිශ්‍රයේ ඊයේ (15) පැල බෙදාදීමක් පැවැත්වුණේ පැල සිටුවීමේ නැකතට රෝපණය කිරීම සඳහා ලබාදීමටයි.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව පොලිස් දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් කොළඹ දිස්ත්‍රික්කය පුරා මීපැල සහ කුඹුක් පැල ලක්ෂයක් රෝපණය කිරීමේ වැඩසටහන යටතේයි.

******************************************

(16.04.2021 – 13:52 +0530 – hirunews.lk/sinhala)

ගල්නෑව පොලිසියට විරෝධය පළකරමින් පිරිසක් ඊයේ (15) පස්වරුවේ අනුරාධපුර ගල්නෑව ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වුණා.

මේ අතර අද (16) පෙරවරුවේ තෙබුවන පොලිසියට එරෙහිව ද විරෝධතාවයක් පැවැත්වුණා.

******************************************

(16.04.2021 – 13:58 +0530 – hirunews.lk/sinhala)

අප්‍රේල් 14 සිට සිදුකළ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ රථවාහන මෙහෙයුමේදී, බීමතින් රිය පැදවූ 783 ක් අත්අඩංගුවට. 2844 කට නඩු පවරා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා ෴

******************************************

(16.04.2021 – 14:07 +0530 – hirunews.lk/sinhala)

සංවර්ධනය කටයුතු සිදුකිරීමේදී පරිසරයට සහ භෞතික සම්පත්වලට හානි නොවන ලෙස තිරසාර අයුරින් සිදුකිරීම බලධාරීන් සතු වගකීමක්.

නමුත් මාර්ග සංවර්ධන කටයුත්තක් හේතුවෙන් විහාරයක බිතු සිතුවම් විනාශ වන බවට වන පුවතක් පොතුහැරින් වාර්තා වනවා.

පොතුහැර , අල්ගම පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුත් ශ්‍රී සංඝරාජ ගල්ලෙන් විහාරස්ථානය වසර 100 කට වැඩි ඉතිහාසයකට හිමිකම් කියනවා.

විහාරස්ථානයේ ඇති ගල්ලෙන් තුළ බිතිසිතුවම්ද දක්නට ලැබෙන අතර මේ වනවිට ඒවා විනාශ මුඛයට ගොස් තිබෙනවා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ විහාරස්ථානයේ සිට මීටර් 300 ක් පමණ දුරින් ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු මෙම තත්ත්වයට බලපා ඇති බවයි.

******************************************

(16.04.2021 – 14:55 +0530 – hirunews.lk/sinhala)

වේලි ඔයේ දියනෑමට ගොස් අතුරුදන්වූ පියා සහ පුතුගේ මළ සිරුරු සොයාගැනේ

හල්දුම්මුල්ල – කළුපහන පාලම් දෙක අතර වේලි ඔයේ දියනෑමට ගොස් ඊයේ (15) අතුරුදන්වූ පියාගේ සහ පුත්‍රයාගේ මළ සිරුරු අද (16) පෙරවරුවේ සොයාගැණූනා.

පාලමේ සිට මීටර 800 ක පමණ දුරින් ගල්පර අතර සිරවී තිබියදී ඔවුන්ගේ මළ සිරුරු සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූ පියාගේ වයස අවුරුදු 52 ක් වන අතර, පුත්‍රයාගේ වයස අවුරුදු 14 ක්. වේලි ඔයේ ඉහළ ධාරා ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාපතනයත් සමඟ එක්වරම එහි ජලය වැඩිවී ඊයේ (15) ඔවුන් මෙම අනතුරට ලක්ව තිබුණා.

එහිදී සැඩ පහරට හසුව ගසාගෙන ගිය ඔවුන්ගේ ඥාතීන් දෙදෙනෙකු (2) ප්‍රදේශවාසීන් විසින් බේරාගනු ලැබුවා.

මේ අතර, බක්මහ අකුණු වලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට යලි දැනුම් දෙනවා. ඒ, මේ දිනවල වැඩි වශයෙන් වාර්තා වන අකුණු සැර වැදීමේ සිද්ධි පිළිබඳව අවධානය යොමු කරමින්.

ඊයේ (15) පස්වරුවේ වැසි පැවති අවස්ථාවේ මුලතිව් – තන්නිමුරුප්පු – තුනේ කණූව ප්‍රදේශයේ වෙල්යායකදී අකුණු සැරයට ගොදුරුවීමෙන් ගොවීන් තුන් දෙනෙකු (3) ජීවිතක්ෂයට පත් වුණා. එලෙස මියගොස් තිබුණේ 35 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු (2) හා 46 හැවිරිදි පුද්ගලයෙක් (1).

එසේම වෙල්ලාවලි – රාණමඩුව ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි තවත් ගොවියෙකු (1) ද අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත් වුණේ ඊයේ (15) පස්වරුවේයි.

අකුණු අනතුරු අවදානම තවදුරටත් පවතින බැවින් ඒ පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ජනතාවට දැනුම් දෙනවා.

මේ අතර අධික වර්ෂාව අතරතුර මොණරාගල – සිරිගල වතුයායට යන මාර්ගයේ දී සැඩ පහරකට හසුව ඊයේ (15) පස්වරුවේ වයස අවුරුදු 4 ක කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත් වීමේ අවාසනාවන්ත සිද්ධියක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

පොලිසිය පැවසුවේ ඔහු සිය පියා සමඟ නිවස වෙත යමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ පා ඇති බවයි. අදාළ දරුවාගේ සිරුර මීටර් 200 ක් පමණ ඈත ප්‍රදේශයක තිබියදී අද (16) පෙරවරුවේ සොයාගෙන ඇති අතර, මේ වනවිට මොණරාගල සිරිගල රෝහලේ තැන්පත් කර තිබෙනවා.

එසේම, මාතලේ විල්ගමුව හිං ගඟේ ගිනිපෙට්ටි පාලම අසල දිය නෑමට ගොස් සිටිය දී සැඩ පහරකට හසුව එහි ගල්තලාවක් මත කොටුවී සිට ඊයේ (15) මුදාගත් තරුණයින් 13 දෙනා ඔවුන්ගේ දෙමාපියන් වෙත භාරදුන් බව පොලිසිය සඳහන් කළා.

ගතවූ පැය 24 ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කෑගල්ල – අල්ගම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, එහි අගය මිලිමීටර් 132 ක්. එසේම, මාතලේ කන්දේනුවර ප්‍රදේශයෙන්ද මිලිමීටර් 107 ක වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.

******************************************

(16.04.2021 – 15:11 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීමක් අද (16) දක්නට ලැබුණා.

මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 201.28 ක් ලෙසයි.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ (15) දිනයේ ඉතිහාසයේ අවම අගය සළකුණු කළ අතර, ඩොලරයක විකිණුම් මිල සටහන් වූයේ රුපියල් 204.62 ක් ලෙසයි.

මේ වසරේදී මේ දක්වා රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව සියයට අටකට (8%) වැඩි ප්‍රමාණකින් අවප්‍රමාණ වී තිබෙනවා ෴

******************************************

(16.04.2021 – 16:20 +0530 – hirunews.lk/sinhala)

මුහුණු පොත හරහා හඳුනාගත් 13 හැවිරිදි බාල වයස්කාර දැරියක් ගාල්ලේ සිට මිගමුව ප්‍රදේශයේ ලැගුම්හලකට ගෙන ගොස් දූෂණය කරන ලද සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිම සඳහා පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම දැරිය මුහුණු පොත හරහා මෙම සැකකාර තරුණයා හඳුනාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම දැරිය පසුගිය සතියේ අලුයම නිවසින් පිටව ගොස් ගාල්ල බස් නැවතුම් පොලට පැමිණ බස් රථයක නැගි කොළඹට ගොස් ඇති අතර එහිදි සැකකාර තරුණයා හමුවි තිබෙනවා.

පසුව ඔවුන් දෙදෙනා බස් රථයක නැගි මිගමුව ලැගුම් හලකට ගොස් ඇති අතර එහිදි සැකකරු විසින් මෙම දැරියව දූෂණය කර ඇති බවටයි වාර්තා වන්නේ.

පසුව මෙම සැකකාර තරුණයා දැරියව කොළඹ මධ්‍යම බස් නැවතුම් පොලට රැගෙනවිත් අතරමං කර පළාගොස් තිබෙනවා.

මෙම සැකකාර තරුණයා සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි ෴

******************************************

(16.04.2021 – 17:07 +0530 – hirunews.lk/sinhala)

පේදුරුතුඩුව – කොඩිකාමම් මාර්ගයේ මාර්ග බාධකයකදී අණ නොතකා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් යට කිරීමට තැත්කරමින් ධාවනය කළ කැබ් රථය පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

නෙල්ලිඅඩි – තුන්නාලේ ප්‍රදේශයේ තිබී එම කැබ් රථය සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අද (16) උදෑසන 07:30 ට පමණ ස්වභාවික වැලිනිධියක් පිහිටි අදාළ ප්‍රදේශයේ සිට මාර්ග බාධකය හරහා ධාවනය කළ කැබ් රථයක් නතර කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් අණ කළ ද, එය නොතකා කැබ් රථය පලාගොස් තිබුණා.

එලෙස පලා යන අවස්ථාවේ මාර්ග බාධකයට ඉදිරියෙන් සිටි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් ද අනතුරට ලක් කිරීමට උත්සාහ කිරීමත් සමඟ සිදුකළ වෙඩි තැබීමකින් කැබ් රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු (2) තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරුවන් පලාගොස් පේදුරුතුඩුව රෝහලට ඇතුළත් වී තිබූ අතර, පේදුරුතුඩුව පොලීසිය ඔවුන් එහිදී අත්අඩංගුවට ගත්තා.

අනවසර වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට යන අවස්ථාවලදී පේදුරුතුඩුව ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකවල රාජකාරියේ නිරත පොලිස් නිලධාරින් අනතුරට ලක් කර පලායාමේ සිද්ධීන් කිහිපයක් මීට පෙර ද වාර්තා වුණා.

******************************************

(16.04.2021 – 17:22 +0530 – hirunews.lk/sinhala)

පොල්තෙල් ඇතුළු මෙරටට ආනයනය කරනු ලබන ආහාර වර්ග වල හානිකර ද්‍රව්‍ය අඩංගුදැයි වහාම පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස රජයේ ගිණුම්කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ආහාර පරීක්ෂාව සඳහා රසායනාගාර පහසුකම් වැඩිදියුණු කළ යුතු බවත්, අදාළ නීති කඩිනමින් සංශෝධනය කළ යුතු බවත් ගිණුම්කාරක සභාව ප්‍රකාශ කළ බවයි.

ආහාර පරීක්ෂා කරන රසායනාගාර අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීම හේතුවෙන් පවතින තත්ත්වය උග්‍ර වී ඇති බව ගිණුම්කාරක සභාවේ හිටපු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙහිදී ප්‍රකාශ කර තිබුණා.

මෙරටට ආනයනය කරන රූපලාවන්‍ය ද්‍රව්‍යවල ද, ශරීරයට ඉතා අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය කාරක සභාවේදී සඳහන් කර තිබෙනවා.

රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමේදී නිසි නියාමන ක්‍රමයක් සැකසීම ඉතා වැදගත් බව මෙහිදී කාරක සභාවේ මතය වී ඇති බව සඳහන්.

ඊට අදාළව ද කඩිනමින් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබෙනවා.

******************************************

අවුරුදු 2 ක දැරියක් අතුරුදන්

(16.04.2021 – 18:51 +0530 – hirunews.lk/sinhala)

නිවසින් අතුරුදන්ව ඇති වයස අවුරුදු 2 යි මාස 10 ක් වයසැති දැරියක් සොයාගැනීම සදහා ජාතික ළමාරක්ෂක අධිකාරිය මහජනතාවගේ සහය ඉල්ලා සිටිනවා.

අංක 55, මීගමුව, තලාහේන ප්‍රදේශයේ නිවසේ පදිංචිව සිටි මිෂෙලි ප්‍රභාෂි සෙනෙත්මා දැරිය මෙලෙස අතුරුදන්ව ඇති බවන ඇයගේ මව වන මොහොමඩ් ෆෙනෝෂ් ෆාතිමා මහත්මිය විසින් ජාතික ළමාරක්ෂණ අධිකාරියට අද (16) සවස දැනුම් දෙනුලැබ තිබෙනවා.

ඇයගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කරමින්, ළමාරක්ෂක අධිකාරිය ඉල්ලා සිටින්නේ, මෙම දැරිය පිළිබඳ යම් තොරතුරක් වේ නම් ඒ තොරතුරු 011 274 8911 යන දුරකතන අංකයට හෝ ජාතික ළමාරක්ෂණ අධිකාරියේ ළමා උපකාරක ඇමතුම් අංකය වන 1929 ට දැනුම් දෙන ලෙසයි ෴

@@@@@@@@@@@@@@@

(16.04.2021 – 15:48 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 303 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 92,611 දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *