විනිමය හුවමාරු ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 2.5 ක් අපේක්ෂාවෙන්

විනිමය හුවමාරු ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 2.5 ක් අපේක්ෂාවෙන්

*********************************************

විනිමය හුවමාරු ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 2.5 ක් අපේක්ෂාවෙන්

(08.02.2021 – 10:56 +0530 – hirunews.lk/sinhala)

ද්විපාර්ශවික විනිමය හුවමාරු ක්‍රමය යටතේ චීනයෙන් සහ ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක මුදලක් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල පවසනවා.

හින්දු පුවත්පත සමඟ සාකච්ඡාවකට සහභාගිවෙමින් ඔහු සඳහන් කළේ එලෙස විනිමය හුවමාරු ක්‍රමය යටතේ චීනයෙන් අපේක්ෂා කරන ඩොලර් බිලියන 1.5 ක මුදල කඩිනමින් ලැබෙනු ඇති බවයි.

ඒ සඳහා ද්විපාර්ශවික සාකච්ඡා අවසන් වී ඇති අතර, ලේඛණගත කටයුතු මේ මස අවසන්වීමට පෙර සමාප්ත කිරීමට හැකිවනු ඇති බවද භාණ්ඩාගාර ලේකම්වරයා කියා සිටියා.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව චීනයෙන් අපේක්ෂා කරන මූල්‍යාධාරවලින් එක් මුලාශ්‍රයක් වන්නේ මෙම විනිමය හුවමාරුවයි.

පසුගිය වසරේ මාර්තු මාසයේ චීනය ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500 ක මූල්‍යාධාරයක් අනුමත කළ අතර, තවත් ඩොලර් මිලියන 700 ක ණය මුදලක් අයදුම් කර තිබෙනවා.

ඊට අමතරව චීන රජයේ සහය ලබන ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 180 ක මූල්‍යාධාරයක් අපේක්ෂා කරන්නේ කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර පහසුකම යටතේයී.

***************************************

(08.02.2021 – 09:29 +0530 – hirunews.lk/sinhala)

රක්වාන – මහපන්නිල ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් ඇතුළු අවි ආයුධ කිහිපයක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීමේදී ඩෙටනේටර් 04ක් සහ සජීවී පතරොම් 03 ක්ද සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

රක්වාන – මහපන්නිල පදිංචි තිස් හැවිරිදි සැකකරුවන් තුන් දෙනා අද රක්වාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

***************************************

(08.02.2021 – 09:46 +0530 – hirunews.lk/sinhala)

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව සැලසුම් කළ බස් වර්ජනය සතියකින් කල් දැමීමට බස් සංගම් තීරණය කර තිබෙනවා.

බස් සංගම් වල නියෝජිතයින් සහ රාජ්‍ය අමාත්‍යවරයා අතර, අද (08) පෙරවරුවේ ඔහුගේ නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වුණේ බස් සංගම් දියත් කිරීමට සූදානම් කර තිබූ වර්ජනය සම්බන්ධවයි.

එහිදී ලැබුණු විසඳුම් අනුව, බස් වර්ජනය සතියකින් කල් දැමීමට බස් සංගම් තීරණය කළ බව එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළා.

***************************************

(08.02.2021 – 11:26 +0530 – hirunews.lk/sinhala)

මෙරට සනීපාරක්ෂක භාණ්ඩ නිෂ්පාදකයන් සහ ආනයනකරුවන් අතර, ඉහළ යන ඉල්ලුමට සරිලන නිෂ්පාදන පෙළක් වෙළඳපොලට නිකුත් කිරීම සම්බන්ධයෙන් එකඟත්වයක් ඇති වී තිබෙනවා.

එහිදී ආනයනික සනීපාරක්ෂක භාණ්ඩ සහ දේශීය නිෂ්පාදන අතර සමතුලිතතාවක් පවත්වා ගැනීමටයි අවධානය යොමුවී ඇත්තේ.

ශ්‍රී ලංකා පිගන් සහ වීදුරු භාණ්ඩ සම්මේලනය, ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ, ආනයනකරුවන්ගේ සංගමය මෙම එකඟත්වයට පැමිණ ඇත්තේ ජනාධිපතිවරයා ද දැනුවත් කිරීමෙන් අනතුරුවයි.

විශේෂයෙන් සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ දේශීය නිෂ්පාදන ඉහළ නැංවීමට සහ දිරිගැන්වීමට කටයුතු කිරීම මෙන්ම, වෙළඳපොල ඉල්ලුම සපුරාලීම පිළිබඳව ඔවුන් සාකච්ඡා කළ බව සඳහන්.

මෙරට සනීපාරක්ෂක භාණ්ඩ ඉල්ලුමෙන් සියයට 50 ක් සපුරා ගනු ලබන්නේ ආනයනවලින්.

කෙසේ නමුත්, දැනට පවතින සනීපාරක්ෂක භාණ්ඩ ආනයනික බදු සියයට 15 සිට සියයට 30 දක්වා ඉහළ නැංවීමට ආනයනකරුවන් එකඟ වී ඇති අතර සෙස් බද්ද ද කිලෝග්‍රෑමයකට රුපියල් 125 ක් ලෙස සමාකාරව පවත්වා ගැනීමට ද එකඟ වී තිබෙනවා.

***************************************

(08.02.2021 – 11:43 +0530 – hirunews.lk/sinhala)

සිය නිජබිම් මහවැලි අධිකාරිය යටතට පවරා ගෙන එහි බඩඉරිඟු වගා කිරීම සඳහා පුද්ගලික සමාගමකට පවරා දීමට ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා.

අද (08) ඉදිරිපත් කළ එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී අමාත්‍ය සී බී රත්නායක සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් වරයා ඇතුළු පිරිසක්.

පෙත්සම්කාර ආදිවාසී නායකයා කියා සිටින්නේ ශතවර්ශ ගණනාවක් තමන් පදිංචිව සිටින නිජ බිම් වලට අදාල බිම් කොටස් මහවැලි අධිකාරිය යටතට පවරාගෙන ඒවා බඩඉරිඟු‍ වගා කිරීම සඳහා සමාගම් වෙත පවරා දීමට පියවර ගෙන ඇති බවයි.

ඒ යටතේ අක්කර පන්දාහකට අධික සිය පාරම්පරික ඉඩම් අහිමි වීමේ තත්ත්වයක් මතුව තිබෙන බව ද ආදිවාසී නායකයා සඳහන් කරනවා.

මේ තුළින් තම ජීවිනෝපාය කටයුතු වලට මෙන්ම වගාබිම් වලට ද දැඩි අගතියක් සිදුවන බව පෙන්වා දෙන ආදිවාසී නායකයා මහවැලි අධිකාරිය විසින් ගනු ලබන මෙම තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

***************************************

(08.02.2021 – 11:58 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අද (08) උදෑසන සිදු වූ අනතුරකින් යතුරුපැදියක ගමන් ගත් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ , හාලිඇල, උඩුවර, හයේ කනුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වූ බවයි වාර්තා වන්නේ.

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක අපරික්ෂාකාරී ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි පොලිසිය පැවසුවේ.

අනතුරින් තුවාල ලබා ඇත්තේ උඩුවර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක තරුණයෙක්.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ප්‍රතිකාර සඳහා බදුල්ල මහා රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හාලිඇල පොලිසිය සිදු කරනු ලබනවා.

***************************************

(08.02.2021 – 12:58 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට යෝජිත බිමෙහි ගම්පහ – දාරලුව දුම්රිය ස්ථානයට නුදුරු ඉඩමක පිහිටි ආන්දෝලනයට තුඩු දී ඇති ශාකය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු සම්පාදනය කළේ නිසි අනුමැතියකට යටත්ව බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.

ඒ අනුව, ඉදිරි දින කිහිපයේදී අදාළ ශාකය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි එම අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ. කොඩිතුවක්කු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මෙරටට ආවේණික ශාකයක් ලෙස මෙන්ම, ලොව දැනට ඉතිරිව ඇති දුර්ලභම ශාකයක් බවට හඳුනාගෙන ඇති කෲඩියා සෙලනිකා නමැති මෙම ශාකය අදාල ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමේදී එය වැළැක්වීමට ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක ඊයේ කටයුතු කර තිබුණා.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ. කොඩිතුවක්කු වැඩිදුරටත් සඳහන් කළේ අදාළ ශාකය මුල පිටින් උදුරා වෙනත් ස්ථානයක සිටුවීමට මේ වනවිට අනුමැතිය ලැබී ඇති බවයි.

වනජිවි දෙපාර්තමේන්තුව, පේරාදෙණිය උද්භිද උද්‍යානය හා මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතනවලින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත එම අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, අදාළ ශාකය මුල පිටින් උදුරා වෙනත් තැනක යළි සිටුවීමට කටයුතු කරන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

1868 වසරේදී මුලින්ම සොයා ගත් මෙම ශාකයේ නියැදියක් 1911 වසරේ හමුවී ඇති බවට, වාර්තා වී තිබෙනවා.

පසුව මෙම ශාකය යළිත් සොයා ගනු ලැබුවේ ශාක පර්යේෂක හිමේෂ් ජයසිංහ විසින්.

***************************************

(08.02.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාරයේ සිට මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (07) රාත්‍රියේ ගල්කිස්ස ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් දැනට බන්ධනාගාර ගත කර සිටි රොෂේන් හෙවත් සොබාගේ ගෝලයන් බවට සැක කරන බවයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

සැකකකරුවන් ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි අවුරුදු 31 සහ 24 හැවිරිදි වියේ පසුවන ත්‍රිරෝද රථ රියදුරන්.

මොවුන් කලක සිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව අයිස් ග්‍රෑම් 90ක්, හෂීස් ග්‍රෑම් 35ක්, මත්පෙති 08ක් සහ එල්.එස්.ඩී. මුද්දර 70ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර, ව්‍යාජ ලිපි ලේඛණ සකස් කරමින් රථවාහන ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු කඩුවෙල ප්‍රදේශයේදී මිරිහාන විශේෂ විමර්ශන ඒකකය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

***************************************

(08.02.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

බස් කර්මාන්තකරුවන් මුහුණපාන ගැටළු සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සමඟ අද (08) පැවති සාකච්ඡාවකින් පසු සැලසුම් කර තිබූ වැඩවර්ජනය තාවකාලිකව කල් දැමීමට බස් සංගම් නියෝජිතයින් තීරණය කරනු ලැබුවා.

කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ බිඳ වැටී තිබූ බස් කර්මාන්තය සහ ලීසිං පහසුකම් ගෙවීමේදී මුහුණපාන ගැටළු පිළිබඳව රජයේ අවධානය නිසි පරිදි යොමු නොවන බවට චෝදනා කරමින් බස් සංගම් අද මධ්‍යම රාත්‍රියේ සිට ධාවනයෙන් ඉවත් වීමටයි තීරණය කර තිබුණේ.

ඊට පෙර අද දිනයේදී ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බස් සංගම් නියෝජිතයින් මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොල රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ගේ කොළඹ පිහිටි නිවසට පැමිණියා.

කෙසේ වෙතත්, සාකච්ඡාව අවසන්වීමෙන් පසු එකඟතාවයකට පැමිණීමට නොහැකි වූ බස් සංගම් නියෝජිතයින් අතර ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.

පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බස් සංගම් නියෝජිතයින් සඳහන් කළේ ගැටළුකාරී තත්ත්වය මධ්‍යයේ වූවද බස් රථ ධාවනයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් සතියකින් කල් දැමීමට අද පැවති සාකච්ඡාවේදී තීරණය කළ බවයි.

කෙසේ වෙතත්, සාකච්ඡාවට එක්වූ මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොල රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කළේ මේ සතිය තුළදී අදාළ ගැටළුවට විසඳුම් ලබාදීම සඳහා කටයුතු කරන බවයි.

@@@@@@@@@@@@@@@

(08.02.2021 – 09:35 +0530 – hirunews.lk/sinhala)

මෙරට වයස්ගතම කොරෝනා මරණය ඊයේ (07) ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල, පීටර් කිරිංගොඩ මාවතේ පදිංචිව සිටි වයස අවුරුදු 103 ක් වූ තිදරු මවක්.

ඇය පසුගිය 06 වනදා නිවසේ දී මියයාමෙන් අනතුරුව කරාපිටිය ශික්ෂණ රෝහලට මෘත ශරීරය ගෙනවිත් කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී ඇයට කොරෝනා ආසාදනය වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඊයේ (07) පස්වරුවේ දඩැල්ල ආදාහනාගාරයේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව ඇයගේ අදාහන කටයුතු සිදුකළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

+++++++++++++++++++++

(08.02.2021 – 10:26 +0530 – hirunews.lk/sinhala)

තම බිරිඳ වෙනත් විවාහක පුද්ගලයකු සමග පැන යෑම සම්බන්ධයෙන් සිත් තැවුලට පත්වූ සැමියෙකු අධි රුධිර පීඩනයෙන් මොළයෙහි නහරයක් පුපුරා මියයාමේ පුවතක් තිස්සමහාරාම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

තිස්සමහරාම, එකමුතුගම ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවන් තිදෙනෙකුගේ පියෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

36 හැවිරිදි මෙම පුද්ගලයා නිවසේ නොසිටි මොහොතක ඔහුගේ බිරිඳ සිය දරුවන් තිදෙනා ද සමඟ වෙනත් විවාහක පුද්ගලයකු සමග පැන ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් සිත් තැවුලට පත් සිටි මෙම පුද්ගලයා නිවසේ වැටී සිටින බව දුටු මව ඔහුව රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තිස්සමහරාම මූලික රෝහලේදී සිදුකරනු ලැබූ හදිසි මරණ පරීක්ෂයේ දී මොළයෙහි නහරයක් පිපිරීයාම මෙම මරණයට හේතු වී ඇති බවයි අනාවරණය වුණේ.

++++++++++++++++++

(08.02.2021 – 10:59 +0530 – hirunews.lk/sinhala)

මාර්තු මුල් සතියේ සිට වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට සහ වයස අවුරුදු 30 ත් 60 ත් අතර කාණ්ඩයේ පිරිස්වලට ද කොරෝනා මර්දන එන්නත් ලබාදීමට අපේක්ෂා කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළා.

ඇය කියා සිටියේ ඒ සඳහා මධ්‍යස්ථාන 4000 ක් පිහිටුවන බවයි.

දිනකට මධ්‍යස්ථාන 2000 ක් ක්‍රියාත්මක වන අයුරින් එම කටයුතු සැලසුම් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළා.

++++++++++++++++++++

(08.02.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

මාර්තු පළමුවනදා සිට ස්ථාන 4000 කදී කොරෝනා එන්නත්කරණය ඇරඹීමට සැලසුම් – වයස අවුරුදු 30ත් 60ත් අතර පිරිසටත් එන්නත්

මාර්තු මුල් සතියේ සිට වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට සහ වයස අවුරුදු 30 ත් 60 ත් අතර කාණ්ඩයේ පිරිස්වලට ද කොරෝනා මර්දන එන්නත් ලබාදීමට අපේක්ෂා කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළා.

ඇය කියා සිටියේ ඒ සඳහා මධ්‍යස්ථාන 4000 ක් පිහිටුවන බවයි.

දිනකට මධ්‍යස්ථාන 2000 ක් ක්‍රියාත්මක වන අයුරින් එම කටයුතු සැලසුම් කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළා.

මේ අතර, ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හත්සිය හැත්තෑ දෙදෙනා අතරින් වැඩිම සංඛ්‍යාව වූ 245 දෙනෙකු වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 214 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයෙන්ද ඊයේ දිනයේදීත් ආසාදිතයින් 53 දෙනෙකු වාර්තා වීම විශේෂත්වයක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණු ආසාදිතයින් අතරින් වැඩිම පිරිස වාර්තා වී ඇත්තේ කොළඹ කොටුව අවට ප්‍රදේශයෙන්.

එම සංඛ්‍යාව 25 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වූ වැඩිම ආසාදිතයින් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 51 ක් ලෙස සටහන් වනවා.

නිට්ටඹුවෙන්ද ආසාදිතයින් 27 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

පුද්ගල මරණ 05 ක් ඊයේ වාර්තා වූ අතර, ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත මුළු මරණ සංඛ්‍යාව 356 දක්වා ඉහළ ගියා.

ඊයේ මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් සිව් දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු සිටිනවා. ඔවුන් කොළඹ 15, වැලිමඩ, වක්වැල්ල, පමුණුගම සහ දුම්මලසූරිය ප්‍රදේශවල පදිංචිකරුවන්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කළේ බස්නාහිර පළාතෙන් පිටත ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ දැනට වැඩිම පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *