අද (31) දින සිදු කිරීමට නියමිත සංකේත වැඩ වර්ජනය – දොස්තරලාට දේශපාලන බලපෑම්..

අද (31) දින සිදු කිරීමට නියමිත සංකේත වැඩ වර්ජනය – දොස්තරලාට දේශපාලන බලපෑම්..


අද (31) දින සිදු කිරීමට නියමිත සංකේත වැඩ වර්ජනය – දොස්තරලාට දේශපාලන බලපෑම්..

(31.03.2026 – lankacnews.com)

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

= මාධ්‍ය නිවේදනය =

නීතිවිරෝධි ලෙස වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු සම්බන්ධ ක්‍රමවේදයන් සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් උල්ලංඝනය කිරීමට විරෝධය දක්වමින් 2026.03.31 දින සිදු කිරීමට නියමිත සංකේත වැඩ වර්ජනය සම්බන්ධවයි.

විශේෂඥ, පරිපාලන සහ ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් යන සියල්ලන්ගේ ස්ථානමාරු සිදු වන්නේ ආයතන සංග්‍රහය සහ කාර්ය පටිපාටි රෙගුලාසි ඇතුලත් නිත්‍යානුකූල සහ පිළිගත් ක්‍රමවේදයකට අනුව වේ.

එහිදි සියලු පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් යුතුව මාරු මණ්ඩල රැස්වීම් පවත්වා එම තීන්දු තීරණ සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමු කරමින් එම තිරණ සඳහා අනුමැතිය ලබාගනිමින් ස්ථානමාරු කටයුතු කරනු ලබයි.

නමුත්, මේ වන විට 2026 වර්ෂයට අදාල පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම් සහ දුෂ්කර සේවා ස්ථාන සඳහා වූ ස්ථානමාරු ලැයිස්තු මාරු මණ්ඩල අනුමැතියකින් තොරව පිළිගත් ක්‍රමවේදයෙන් බැහැරව, නීති විරෝධි ලෙස සහ අත්තනෝමතිකව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

393 ක් ව පැවති දුෂ්කර සේවා ස්ථාන 265 දක්වා කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව, පාර්ශවකරුවන්ගේ හෝ මාරු මණ්ඩල වල එකඟතාවක් නොමැතිව නීති විරෝධි ලෙස කප්පාදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර ඇත. මෙය අප දකින්නේ සංවර්ධනය සිදු කල බවට වෛද්‍යවරුන් සහ මහජනතාව රවටමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට දරන පටු දේශපාලනික අරමුණක් ලෙසය.

ඒවාගේම වෛද්‍යවරුන්ට දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව සඳහා මීට ඉහතදි සක්‍රිය සේවා කාලය වසරකට පසුව අයදුම් කිරීමට තිබු හැකියාව කිසිදු එකඟතාවකින් හෝ නිත්‍යානුකුල ක්‍රමවේදයකින් තොරව අත්තනෝමතිකව වෙනස් කරමින් වසර 2 දක්වා දීර්ඝ කිරීම නිසා එම ස්ථාන වල සේවය කරන වෛද්‍යවරුන් දැඩි අසාධාරණයකට ලක් වී තිබේ.

මෙම ඒකපාර්ශ්වික වැරදි තීරණ නිසා ඉදිරියේදි දුෂ්කර සේවා ස්ථාන රාශියක් වෛද්‍ය හිඟය හේතුවෙන් වැසියාමේ තර්ජනයකට මුහුණ පා ඇත. අවසානයේදි සෞඛ්‍ය අමාත්‍යංශය නීතිවිරෝධි සහ වැරදි තීරණ නිසා කබලෙන් ලිපට වැටෙන්නේ රටේ රෝගී ජනතාව වේ.

එමෙන්ම රට පුරා පවතින සියලුම රෝහල වල පාහේ සිටිය යුතු වෛද්‍යවරුන් ප්‍රමාණය තීරණය කරමින් අනුමත කල යුතු වෛද්‍ය තනතුරු ප්‍රමාණය වසර 10 කට ආසන්න කාලයකදි තවමත් යාවත්කාලීන වී නොමැත. ඒ නිසා දැඩි වෛද්‍ය හිඟයක් රට පුරා පවතින ලොකු කුඩා සියලුම රෝහල් තුල මේ වන විට පවතින නිසා රෝගී ජනතාව සහ වෛද්‍යවරුන් යන දෙකොට්ඨාශයම සේවා ලබා ගැනීමේදි සහ සේවා සැපයීමේදි දැඩි අර්බුදකාරි වතාවරණයකට මුහුණ පා තිබේ.

නමුත් ඒ කිසිවක් මායිම් නොකරමින් තළමණාකරණ සේවා කොමිෂන් සභාවේ නිත්‍යානුකූල අනුමැතියක් නොමැතිව වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක් හුදූ දේශපාලන සංදර්ශනයක් වන ආරෝග්‍යා ව්‍යාපෘතිය සඳහා පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ලෙස අනුයුක්ත කර තිබේ. මෙම වෛද්‍යවරුන්, වෛද්‍ය හිඟයෙන් දැඩි ලෙස පිඩා විඳින ප්‍රදේශ වල රෝහල් සඳහා අනුයුක්ත කරේ නම් එම ප්‍රදේශයන්හි රෝගී ජනතාවට සහනයක් ලබා දිය හැකිව තිබුනු නමුත් මෙම දේශපාලන සංදර්ශනයේ අනිටු විපාකයක් ලෙස ඉහත කී රෝගී ජනතාවට එම වෛද්‍යවරු අහිමි වී ඇත.

මේ වන විට මෙම නීති විරෝධි සහ අසාධාරණ ස්ථානමාරු ක්‍රියාවලිය නිසා රට පුරා රෝගී ජනතාවත්, වෛද්‍යවරුනුත් දැඩි අපහසුතාවයකට සහ අර්බුදයකට මුහුණ පෑමේ අවදානමක පසුවේ. මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් අප විසින් දිගින් දිගටම දැනුවත් කලද ඔවුන්ගෙන් සාධනීය ප්‍රතිචාරයක් මේ වන විටත් ලැබි නැත.

එම නිසා ඉහත නීති විරෝධි සහ අත්තනෝමතික තීන්දු තීරණ වලට සහ ජනතාවටත්, සෞඛ්‍ය සේවයටත්, වෛද්‍යවරුන්ටත් අත්වීමට නියමිත අර්බුදකාරි වතාවරණයටත් විරෝධය පාමින් 2026.03.31 වන දින උදෑසන 08:00 සිට සංකේත වැඩ වර්ජනයක් දීප්‍යාප්තව සිදු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව තිරණය කරන ලදී.

සියලු මාතෘ රෝහල්, සියලු ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, විශේෂ වකුගඩු ඒකක, ත්‍රිවිධ හමුධා රෝහල්, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනය යන ආයනතයන්හි මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන අතර සියලු හදිසි ප්‍රතිකාර සේවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන් තොරව දිවයින පුරා සිදු වනු ඇත.

ඉන් අනතුරුවත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මෙම ගැටලු විසදීම සදහා සාධනීය මැදිහත් වීමක් සිදු නොවන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තව දුරටත් දැඩිකිරීමට කටයුතු කරන බවට දන්වා සිටිමට කැමැත්තෙමු ෴


විදෙස් හිමිනම අපවත් කළේ මිනී කන කොටියෙක්ද, මෙන්න වීඩියෝව. හිටගෙන ඉද්දී බෙල්ලට පනින්නේ මිනී කන කොටි. (30.03.2026)

+


04.03.2026 දින සිට ලංකාවේ LGBTQ ප්‍රවර්ධනය තහනම්, අධිකරණ නියෝගයක් – ‍‍‍‍‍‍‍‍වෛද්‍ය වසන්ත බණ්ඩාර

+


හෝමාගම මහා පරිමාණ කැට සූදුවක් වටලයි : කෝටිපති ව්‍යාපාරිකයින් 23 කට හෝමාගම නගරයේ ප්‍රජා සේවය කිරීමට නියෝග!

(31.03.2026 – hirunews.lk)

හෝමාගම, දොළහේන ආරච්චිගොඩ ප්‍රදේශයේ ඉඩමක් කුලී පදනම මත ලබාගෙන කාලයක සිට මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය මුදලට කැට සූදුවේ නිරත වූ කෝටිපති ව්‍යාපාරිකයින් 23 දෙනෙකු රුපියල් ලක්ෂ පහකට (5) ආසන්න මුදලක් සමඟ අත්අඩංගුවට ගැනීමට හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබෙනවා.

අත්අඩංගුවට පත් වූ සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔවුන්ට දඩ මුදල් නියම කළ මහේස්ත්‍රාත්වරයා, මෙම සැකකරුවන්ව පැය පනහ (50) බැගින් හෝමාගම නගර මධ්‍යයේ ප්‍රසිද්ධියේ ප්‍රජා සේවයේ යොදවන ලෙසට ද ඊයේ (31) නියෝග කළා.

සූක්ෂම ලෙස සැකසූ සූදු පොළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මහා පරිමාණයෙන් මුදලට කැට සෙල්ලම් කරන සූදු පොළක් පිළිබඳව හෝමාගම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ රුපියල් ලක්ෂයක (100,000) මාසික කුලියට ඉඩමක් ලබාගෙන, එහි ආරක්ෂිත මඩුවක් තනා ඉතා සූක්ෂම ලෙස මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවයි.

මොවුන් එම ස්ථානය වැටලීම්වලින් ආරක්ෂා කිරීම සඳහා ප්‍රවේශ මාර්ගවල ඔත්තුකරුවන් පවා රඳවා සිටි බව පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ හෝමාගම, කැස්බෑව, හෝකන්දර, ගොඩගම, පාදුක්ක, අතුරුගිරිය, කොට්ටාව, කහතුඩුව, මොරගහහේන සහ පිළියන්දල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25 ත් 55 ත් අතර පසුවන පුද්ගලයින්.

ඔවුන් අතර ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන්, වාහන හා ඉඩම් සේල් හිමියන්, පොලියට මුදල් ලබාදෙන්නන්, බ්‍රෝකරුන් සහ වාහන හිමිකරුවන් වැනි කෝටිපති ව්‍යාපාරිකයින් ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

වැටලීම සිදුකරන අවස්ථාවේදී සූදු කෙළීම සඳහා යොදාගත් රුපියල් ලක්ෂ පහකට (5) ආසන්න මුදලක්, කැටයක් සහ ලෑල්ලක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

හෝමාගම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ නිලධාරියාගේ සෘජු අධීක්ෂණය යටතේ සහ සහකාර පොලිස් අධිකාරී සමන් ජයලත් ගේ නියෝග මත මෙම වැටලීම සිදු කෙරුණා.

කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්නගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂක පසන් දයානන්ද, පොලිස් සැරයන්වරුන් වන විමලවීර (34697), සමීර (10874), පොලිස් කොස්තාපල්වරුන් වන මෛත්‍රීපාල (28007), මධූෂ (100365), ගම්ලත් (101566), ජනිත් (105209) සහ පොලිස් කොස්තාපල් රියැදුරු සිල්වා (13950) යන නිලධාරීන් මෙම මෙහෙයුම සිදු කළා ෴


මීතොටමුල්ලේ කසල කන්දේ ඛේදවාචකය : කොළඹ සහ කොලොන්නාව නගර සභා ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා – ශ්‍රේෂ්ඨාධිකරණය

(31.03.2026 – hirunews.lk)

මීතොටමුල්ල “පොතුවිල් කුඹුර” නමැති භූමියට නීතියට පටහැනි ලෙස කැලි කසල බැහැර කිරීම තුළින් කොළඹ මහ නගර සභාව සහ කොලොන්නාව නගර සභාව එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) තීන්දු කළා.

නීතිඥ නුවන් බෝපගේ ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ, 2009 වසරේ සිට 2017 වසර දක්වා කාලසීමාව තුළ අදාළ භූමියට නීති විරෝධී ලෙස කසළ බැහැර කිරීම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් සහතික කර ඇති සමාන ආරක්ෂාව පිළිබඳ මූලික මිනිස් අයිතිවාසිකම උල්ලංඝනය වී ඇති බවයි.

2017 වසරේදී එම කුණු කන්ද පිපිරී යාමෙන් සිදු වූ මහා ඛේදවාචකයට මෙම නීති විරෝධී ක්‍රියාව සෘජුවම බලපෑ බවද අධිකරණය නිරීක්ෂණය කළේය.

ඒ අනුව 2009 වසරේ සිට 2017 වසර දක්වා කාලසීමාව තුළ අදාල ප්‍රදේශයේ නීතියට පටහැනි ලෙස කැලි කසල බැහැර කිරීම තුළින් කොළඹ මහ නගර සභාව සහ කොලොන්නාව නගර සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිය උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වෙනවා.

ඊට අමතරව අදාළ ප්‍රදේශයේ අක්කර දෙකක පමණ භූමි භාගයක කැලි කසළ බැහැර කිරීම සඳහා කොළඹ මහනගර සභාවට සහ කොලොන්නාව නගර සභාවට අවසර දීම තුළින් නාගරික සංවර්ධන අධිකාරිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය සිදුකර ඇති බවත් තීන්දුවේ ප්‍රකාශ වුණා.

මෙම නීති විරෝධී කැලි කසල බැහැර කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිය ව්‍යවස්ථාපිත වගකීම ඉටුකිරීම පැහැර හැරීම තුළින් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරන අධිකාරිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් තීන්දුවේ සඳහන් වෙනවා.

එහෙත් මෙම කැලි කසල කන්ද පිපිරියාමින් සිදුවූ ඛේදවාචකයෙන් වින්දිතයින් බවට පත් වූ පුද්ගලයින්ට වග උත්තරකරුවන් විසින් දැනටමත් රුපියල් 908,314,020.70 ක් වන්දි වශයෙන් ගෙවා ඇති නිසා මෙම නඩුකරවලට අදාළව වන්දි ගෙවන ලෙස වග උත්තරකරුවන්ට නියෝග නිකුත් නොකරන බවත් තීන්දුවේ සඳහන් වෙනවා.

කොළඹ මහනගර සභාව ඇතුළු වග උත්තරකරුවන්ගේ අසාර්ථක ක්‍රියා කලාපය හේතුවෙන් මෙවැනි බරපතල තත්ත්වයක් උද්ගත වූ අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් පසුතැවිලි විය යුතු බව සඳහන් කළ අධිකරණය මෙවැනි තත්ත්වයන් මතු සිදු නොවීමට වගබලා ගත යුතු බවත් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මෙම නඩු තීන්දුවේ 116 වන පරිච්ඡේදයේ විනිසුරු යසන්ත කෝදාගොඩ විසින් ඉදිරිපත් කරන නිරීක්ෂණ සම්බන්ධයෙන් තමන්ට එකඟ විය නොහැකි බවත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරු සිය නඩු තීන්දුවේ සඳහන් කර තිබෙනවා ෴


වල්ලපට්ටා මුවාවෙන් පිරමීඩාකාර මූල්‍ය සමාගමක් පවත්වා ගෙන ගිය අධ්‍යක්ෂවරුන් පස්දෙනාට (5) ඇප

(31.03.2026 – hirunews.lk)

කුලියාපිටිය නගරය කේන්ද්‍ර කර ගනිමින් දිවයින පුරා ව්‍යාප්ත කළ නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමක් පවත්වා ගෙන ගිය අධ්‍යක්ෂවරුන් පස්දෙනා (5) ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග(31) කළා.

අපරාධ පරීක්ෂණ පාර්ලිමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සිසිර සම්පත් කුමාර, සුභාෂිනි සිරිවර්ධන, ලහිරු බණ්ඩාර, චන්දන ප්‍රදීප් කුමාර, එන්. සාගරිකා යන සැකකරුවන් මෙසේ ඇප මත මුදාහැරියා.

එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් ශරීර ඇප දෙකක් (2) නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසටද නියෝග කළා.

අදාල නීති විරෝධී පිරමීඩාකාරී මූල්‍ය සමාගම තවදුරටත් ක්‍රියාත්මක නොවීම සහ සැකකරුවන් විමර්ශනයන්ට සහය දීම සම්බන්ධයෙන් අධිකරණයේදී එකඟත්වය පළකිරීම මත මෙසේ ඇප නියම කෙරිණා.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කරණු දක්වමින් කියා සිටියේ ‘වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක්’ ඔස්සේ ප්‍රතිලාභ අත්කර දෙන බවට ප්‍රචාරය කරමින් මෙම පිරමීඩාකාර මුල්‍ය ආයතනය පවත්වා පවත්වාගෙන ගොස් ඇති බවය.

අදාල සමාගම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් කොට ඇති බවද, සමාගමේ මුදල් ආයෝජනය කර අගතියට පත් තැන්පත්කරුවන් දස අට (18)දෙනකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පැවසුවා.

සැකකරුවන්ගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කළ යුතු හෙයින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද ඉල්ලා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතිඥවරුන් සඳහන් කර සිටියේ මේ වන විට සමාගමේ කටයුතු අත්හිටුවා ඇති බවය.

මෙම සමාගම පිරමීඩාකාරය මූල්‍ය සමාගමක් නොවන බවත් පැවසූවා.

පරිගණක මෘදුකාංගයක් මඟින් භාණ්ඩ අලෙවි කිරීමේ ව්‍යාපෘතියක් පමණක් බවද පැවසූවා.

සැකකරුවන් විසින් විමර්ශනයන්ට සහය දැක්වීම සහ අගතියට පත් තැන්පත් කරුවන්ට ප්‍රතිලාභ අත්කර දී ඇති බැවින් සුදුසු ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා සිටියා.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ දේපළ සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

සැකකරුවන්ට ඇප නියම කරමින් විමර්ශන ප්‍රගතිය ජුනි 25 අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළා ෴


සෙව්වන්දිගේ උපන්දින සිද්ධිය – ‍ වහාම ක්‍රියාත්මක වන පරිදි CCDයේ ස්ථානාධිපතිට ස්ථාන මාරු !

(31.03.2026 – hirunews.lk)

අපරාධ නඩු විධාන සංග්‍රහය පොතක් තුළ පිස්තෝල අවියක් සඟවාගෙන කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළට රැගෙන විත්, පාතාල කල්ලි නායක ‘ගනේමුල්ල සංජීව’ ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකාරිය වන ‘ඉෂාරා සෙව්වන්දි’ට, කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) තුළ උපන්දින සාදයක් පැවැත්වීමට ඉඩකඩ සලසා දුන්නැයි කියන සිද්ධියට අදාලව එහි ස්ථානාධිපතිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ නියෝගය පරිදි, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේතුංග මෙලෙස පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානය වෙත මාරුකර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී ‍ෆ්‍රෙඩ්රික් වුට්ලර් තහවුරු කළේ.

රඳවා තබා ගැනීමේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටින ඉෂාරා සෙව්වන්දි නමැති 27 හැවිරිදි සැකකාරිය, සිය උපන්දිනය වෙනුවෙන් කේක් ගෙඩියක් කපා එම කොට්ඨාසයේ කාමරයක් තුළ සාදයක් පැවැත්වීමට සූදානම් වන බවට කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු කණ්ඩායමක් කොළඹ අපරාධ කොට්ඨාසය වටලා අදාළ සාදය වැළැක්වීමට පියවර ගෙන තිබුණා.

මෙම බරපතළ විනය කඩකිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, සිද්ධියට අදාළව මේ වන විට පුද්ගලයින් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

අධිකරණ ශාලාවක් තුළදී මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරීමට මඟ සැලසූ බවට චෝදනා ලැබ සිටින මෙවැනි සැකකාරියකට, පොලිස් භාරයේ පසුවන අතරතුර මෙවැනි වරප්‍රසාද හිමිවීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වී ඇති අතර විමර්ශන වාර්තාව ලැබුණු පසු ඉදිරි විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද පොලිසිය පවසනවා ෴

+++

“කේක් කපලා ෆොටෝ ගන්නෙපා, ඕවා ඉන්ටනෙට් එකේ යයි,” OIC සහ සෙව්වන්දිගේ මල්ලිගේ දුරකතන සංවාද එළියට එයි (31.03.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *