තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ්අඩවිය සහ නාමය අවභාවිතා කරමින් මහා පරිමාණ SMS වංචාවක්

තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ්අඩවිය සහ නාමය අවභාවිතා කරමින් මහා පරිමාණ SMS වංචාවක්


තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ්අඩවිය සහ නාමය අවභාවිතා කරමින් මහා පරිමාණ SMS වංචාවක්

(31.03.2026 – hirunews.lk)

තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ්අඩවිය සහ නාමය අවභාවිතා කරමින්, ජංගම දුරකථන SMS මගින් පාර්සලයක් ලබා ගැනීම සඳහා මුදලක් ගෙවිය යුතු බව දන්වා, එම මුදල Online Payment ක්‍රමය හරහා Bank Card (Debit / Credit Card) භාවිතයෙන් ගෙවීමට පාරිභෝගිකයන් ඉලක්ක කරන Phishing Scam ක්‍රියාත්මක වෙමින් පවතින බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම වංචනික ක්‍රියාවලිය යටතේ, පාරිභෝගිකයන් විසින් Payment Gateway හරහා තම Card Details ඇතුළත් කරන අවස්ථාවේදී, ඔවුන්ගේ බැංකු ගිණුම්වල ඇති මුදල් වංචනික ලෙස අත්පත් කර ගැනීම සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ පිළිබඳව අගතියට පත්වූ හා අදාල කෙටි පණිවුඩ ලද මහජන පැමිණිලි බොහෝමයක් ලැබී ඇති අතර මෙම Phishing Scam පිළිබඳව මීට පෙර අවස්ථා කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාල ආයතන දැනුවත් කර තිබුණා.

මෙම වංචනික ක්‍රියාවලිය අඩු වැඩි වශයෙන් පවතින අතර මේ දිනවල එය බහුලව පවතින බව නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ හේතුවෙන් රජයටත් තැපැල් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයටත් හානියක් සිදුවන අතර, පාරිභෝගිකයන්ගේ මූල්‍ය ආරක්ෂාවට ද බරපතල අවදානමක් පවතිනවා.

එබැවින් මහජනතාවට මෙම වංචාකාරී කෙටි පණිවුඩ සබැඳි (SMS Links), ව්‍යාජ වෙබ් අඩවි සහ මාර්ගගත ගෙවීම් ඉල්ලීම් පිළිබඳව සැලකිලිමත් වන ලෙසත්, නොහඳුනන links මත click නොකරන ලෙසත්, තම බැංකු කාඩ්පත් තොරතුරු හෝ OTP අංක කිසිදු අවස්ථාවක තෙවන පාර්ශව හෝ වෙබ් අඩවි (Third party web sites) වලට ලබා නොදෙන ලෙසත් දැනුම් දෙනවා ෴


RMV හිටපු සහකාර කොමසාරිස් ධර්මසිරි ජයවර්ධන අත්අඩංගුවට

(31.03.2026 – hirunews.lk)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර කොමසාරිස් ‘රම්මෙත්තගේ ධර්මසිරි ජයවර්ධන’ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ජීප් රථයකට අදාලව කූඨලේඛන සකස්කිරීම සිදුකල බවට එරෙහි චෝදනාවටයි.

ව්‍යාජ ලේඛන මගින් ලියාපදිංචි කර තිබූ ජීප් රථයක් කෑගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර ඒ සම්බන්ධ විමර්ශනයකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව සඳහන් ෴


රු. කෝටි දෙකක (2) අල්ලසක් ලබා ගත්තැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන ලිපිකරුවෙක් රිමාන්ඩ්

(31.03.2026 – hirunews.lk)

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයට ලබාගත් සත්මහල් (7) ගොඩනැගිල්ලක කුලී මුදල් ගෙවීමේ චෙක්පත් ප්‍රමාදයකින් තොරව ලබාදීමේ කටයුතු කරදීම සඳහා රුපියල් කෝටි දෙකක (2) අල්ලසක් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන ලිපිකරුවකු වන ආපනශාලා හිමිකරු ලබන 06 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (31) නියෝග කළා.

අල්ලස් කොමිසම විසින් අමාත්‍යාංශ ආපනශාලා පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බණ්ඩාරගම පදිංචි උක්වත්තගේ ඩග්ලස් නමැති සැකකරුවකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම කියා සිටියේ 2018 වර්ෂයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයට කුලියට ලබාගෙන තිබූ තට්ටු හතක (7) ගොඩනැගිල්ලක් සඳහා මාසිකව කුලී මුදල් ගෙවීමේදී රුපියල් කෝටි දෙකක (2) අල්ලසක් චෙක්පත් 7 ක් මගින් ලබා ගැනීමේ සැකයට සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවය.

සැකකරු අදාල අමාත්‍යාංශයේ ප්‍රධාන ලිපිකරුවකු ව සිට විශ්‍රාම ගිය පසුව අමාත්‍යාංශයේ ආපනශාලා හිමිකරු වී ඇති බවද, රුපියල් ලක්ෂ පන්සීයකට (500) ආසන්න වටිනාකමින් යුත් කුලී මුදල් චෙක්පත් පැමිණිලිකරුට ලබාදීමේදී රු. ලක්ෂ විසිපහ (25) බැගින් මෙම අල්ලස් මුදල් ලබාගෙන ඇති බවද කරුණු ඉදිරිපත් කළා.

2023, 2024 හා2025 වර්ෂ වලට අදාල එම චෙක්පත් ප්‍රමාදයකින් තොරව ලබාදීමට එක් අවස්ථාවකදී රු. ලක්ෂ විසිපහ (25) ඛැගින් වූ මුදලක් සැකකරුට ලබා දුන් බවට විමර්ශන මගින් කරුණු අනාවරණය වී ඇති බවද කරුණු ඉදිරිපත් කර ඇත. සැකකරු විසින් අදාල චෙක්පත් වෙනත් පුද්ගලයින් හරහා බැංකු මගින් මාරු කරගෙන ඇති බවත්, එම සාක්ෂිකාර පුද්ගලයින්ට සැකකරුගෙන් බලපෑම් ඇති විය හැකි බැවින් විමර්ශන අවසන් වන තෙක් බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන අවසන් නොමැති බැවින් හා සාක්ෂිකරුවන්ට සැකකරුගෙන් එල්ල විය හැකි බලපෑම් සලකා බලා ලබන 06 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසටද අල්ලස් කොමිසමට දන්වා සිටියා ෴


සිසුවෙක් අපයෝජනය කළැයි මාතලේ අකුරම්බොඩ ජාතික පාසලේ විදුහල්පති රිමාන්ඩ්

(31.03.2026 – hirunews.lk)

මාතලේ අකුරම්බොඩ ජාතික පාසලේ 14 හැවිරිදි පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළැයි කියන සිද්ධියකට අදාළව මහවෙල පොලිසිය අත්අඩංගුවට ගත් එම පාසලේ විදුහල්පතිවරයා ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නාවුල මහේස්ත්‍රාත් නාලක ජයසූරිය මහතා අද (31) නියෝග කර තිබෙනවා.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළ අධිකරණය මහාම සැකකරු මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර මානසික වෛද්‍ය වාර්තා කැඳවන ලෙසටද අධිකර‍ණයෙන් නියෝග නිකුත් කෙරුණා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මාතලේ අකුරම්බොඩ වීරකැප්පෙට්ටිපොල ජාතික පාසලේ විදුහල්පතිවරයා මෙන්ම ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වන මතෙලේ නාගහපොළ පදිංචි ‘ෂෙහාන් දිසානායක’ (50) නමැත්තායි.

අදාළ සිසුවාට අවස්ථා කිහිපයකදීම මෙම විදුහල්පතිවරයා විසින් බරපතල ලිංගික අපයෝජනයන් සිදුකර ඇති බවට සිසුවාගේ දෙමව්පියන් විසින් ඊයේ (30) මහවෙල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

පැමිණිල්ල ලැබීමත් සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබුණද ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් තිබූ බවත් පසුව අද (31) උදෑසන පොලිසියට පැමිණ භාරවී ඇති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

අපයෝජනයට ලක් වූ 14 හැවිරිදි සිසුවා මේ වන විට වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා මාතලේ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

මෙම පාසලේ සිසුන් 2000 ක් පමණ අධ්‍යාපනය හදාරණ බවත්, නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ කැඩෙට් පුහුණුවීම් අතරතුර මෙම සිද්ධිය සිදුව ඇති බවත් මහවෙල පොලිසියේ අධිකරණ අංශයේ පොලිස් සැරයන් (403030) දිසානායක අධිකරණයට දැනුම් දුන්නා.

මෙම සිදුවීම හේතුවෙන් මහජන කැළඹීමක් ඇති විය හැකි බැවින් සහ මොහු සිදුවීමෙන් පසු පදිංචි ස්ථානයෙන් පලා ගොස් සිටි බැවින් විමර්ශනවලට බාධා විය හැකි බව පැවසූ පොලිසිය සැකකරුට ඇප ලබා දීම සම්බන්ධයෙන් තරයෙන් විරුද්ධවන බව අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ ලියානි රන්කොත්ගේ සඳහන් කර සිටියේ තම සේවාදායකයා සමග පිරිසක් දැඩි ද්වේෂයකින් යුතුව කටයුතු කරමින් සිට ඇති බවත්, කිසියම් සංවිධානාත්මක පිරිසක් මෙය සංවිධානාත්මක කළ ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස මෙවැනි චෝදනාවක් එල්ල කර ඇති බවත්ය.

කෘමි සතෙක් වන කඩියෙක් විදීම හේතුවෙන් දරුවාට මෙවැන්නක් සිදුව ඇති බව සඳහන් කළ නිතීඥවරිය ඕනෑම කොන්දේසියක් මත තම සේවාදායකයාට ඇප ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලීය.

මෙහිදී පොලිසිය සඳහන් කළේ වින්දිත දරුවා මෙන්ම සාක්ෂිකරුවන්ගේ සාක්ෂි මත සහ මූලික විමර්ශන මත පදනම්ව සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබීය.

මහවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත ජයරත්න ඇතුළු නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴


ඔත්තේ ඉරට්ටේ නැතිව හෙට (01) වාහනවලට ඉන්ධන නිකුත් කෙරේ

(31.03.2026 – hirunews.lk)

හෙට (01) දිනට පමණක් වාහන අංක තහඩුවේ අවසන් අංකය ඔත්තේ සහ ඉරට්ටේ යන ඕනෑම අංකයකට පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමට හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ වාහන අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන ලබා ගැනීමටයි මීට පෙර අවසර හිමි වුණේ ෴


‘අර්ථ ‘ වැඩසටහනට ළමුන් තෝරන ක්‍රමය එළිදැක්වෙයි

(31.03.2026 – hirunews.lk)

ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ සිටින ළමයින් සහ වීදි ළමයින් සඳහා රුපියල් 5,000 ක මාසික ජීවන වියදම් දීමනාවක් ලබා දීම අරමුණු කර ගනිමින් ‘අර්ථ’ නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස 2025-06-16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

එකී ‘අර්ථ’ වැඩසටහන තව දුරටත් පුළුල් කරමින් දැනට ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින ළමයින්ට අමතරව, පහත සඳහන් කණ්ඩායම්වලට අයත් වන ළමයින් ද එම වැඩසටහනෙහි ප්‍රතිලාභීන් ලෙස ඇතුළත් කරමින් ‘අර්ථ’ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබුණා.

  • ‘දිට්වා’ සුළි කුණාටුව සහ ඉන් පසුව ඇති වූ ව්‍යසනකාරී ගංවතුර සහ නායයෑම් තත්ත්වය හේතුවෙන් මව සහ පියා යන දෙදෙනාම (2) අහිමි වූ හෝ මව හෝ පියා යන දෙදෙනාගෙන් එක් (1) අයෙකු හෝ අහිමි වූ ළමයින්.
  • ආර්ථිකමය හා සමාජීය දරිද්‍රතාවය, බිඳුණු පවුල් සහ වෙනත් සමාජමය හේතූන් මත ජීවත් වීමට සුදුසු ආරක්ෂිත පරිසරයක් නොමැති වීම මත අනාරක්ෂිත තත්ත්වයට හා අවදානමට ලක්ව ඇති බවට පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් හඳුනා ගන්නා ළමයින් ෴

රටවල් 39 කට මෙරට සංචාරක වීසා නොමිලේ

(31.03.2026 – hirunews.lk)

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තෝරාගනු ලැබූ රටවල් 39 ක විදේශ ගමන් බලපත්‍ර දරන්නන්ට ගාස්තු අය කිරීමකින් තොරව මාස 06 ක කාලසීමාවක් සඳහා නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීම සඳහා ආගාමික හා විගාමික පනතේ විධිවිධාන අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති කෙටුම්පත් නියෝග, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවටයි මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ ෴


ගාල්ල දුම්රිය ස්ථානයේ ගාල්කර තිබූ දුම්රිය මැදිරි දෙකක (2) ගින්නක්

(31.03.2026 – hirunews.lk)

ගාල්ල දුම්රිය ස්ථානයේ ගාල්කර තිබූ දුම්රිය මැදිරි දෙකක (2) ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න පාලනයට ගිනි නිවන රථ දෙකක් (2) යොදවා ඇති බවයි වාර්තා වෙන්නේ ෴

+++

+


‘සලේ’ දුක් විඳිද්දී ‘ඉෂාරා’ CID එකේ කේක් කනවා – ඔන්න රටට ලැබුණු ‘සිස්ටම් චේන්ජ්’ එක (31.03.2026)

+


මේ ආණ්ඩුව දෙමළ මිනිස්සුන්ට බයයි – මඩකළපුවේ සිංහල මිනිස්සු විඳින දුක මෙන්න (31.03.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *