මාරුවෙන් මාරුවට දෙගොල්ලොම කරන්නේ එකම දේමයි – ආචාර්ය සූරිය ගුණසේකර

(24.06.2019 – mawbima.lk)

විශේෂාංගයතීරු ලිපිය : විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවා නිලධාරි ආචාර්ය සූරිය ගුණසේකර මහතා සමග සාකච්චා කළේ ජයසූරිය උඩුකුඹුර

ලංකාවේ ජන වාර්ගික ගැටලුවක් තිබෙනවද?

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවක් නෑ. අද අපේ රටේ තිබෙන්නේ සිංහල ජනතාවට විරුද්ධව මෙරටට විදේශිකයන් රැගෙන ආපු දෙමළ හා තම්බි කියන ජනතාව සිංහලයන්ට හිරිහැර කරමින් එදා සුද්දා ඔවුන්ට දුන්නු උපදෙස් අදටත් ක්‍රියාත්මක වන තත්ත්වයකුයි.

තවදුරටත් පැහැදිලි කළොත්?

එදා රැගෙන ආපු දමිළ හා තම්බි ජනයාගෙන් පැවැත එන අය තමයි අද ලංකාවේ දමිළ හා මුස්ලිම් කියන්නේ. මුස්ලිම් කියන ජන කොට්ඨාසයක් ලංකාවේ නෑ. ලංකාවේ ඉන්නේ ඉන්දියාවේ මලබාර් ප්‍රදේශයෙන් මෙහාට රැගෙන ආව තම්බින්. ඔවුන් පසුව ඉස්ලාම් ආගම වැලඳ ගත්තා. මේ ජන කොට්ඨාස දෙක රකින්නත් සිංහලයා පාගා යටපත් කරන්නත් එදා ඉංග්‍රීසීන් සකස් කළ නීතිය හා පාලන ක්‍රමය තමයි අදටත් සිංහල නායකයෝ ක්‍රියාත්මක කරන්නේ.

ඔබ කියන දේ පිළිගන්න බෑ. 1972 දී ජනරජ ව්‍යවස්ථාව සකස් කරලා ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ස්වාධීන රාජ්‍යයක් බවට ප්‍රකාශ කළානේ?

ඕක තමයි අපේ හුඟක් අය පටලවා ගෙන ඉන්න තැන. 1972 ජනරජ ව්‍යවස්ථාවට පෙර තිබූ ලංකාව හා සිංහල ජාතිය කියන නාමයන් 1972 ව්‍යවස්ථාවෙන් වෙනස් කළා. රටේ නම ශ්‍රී ලංකාව හැටියටත් ජාතිය ශ්‍රී ලාංකික හැටියටත් වෙනස් වුණේ මේ ජනරජ ව්‍යවස්ථාවෙන්. එතකොට ශ්‍රී ලාංකික ජාතියේ එක් ජනවර්ගයක් බවට සිංහලයා පත්වුණා. ඊට ඉස්සෙල්ලා 1951 දී බණ්ඩාරනායක කමිටුව දෙමළ හා ඉස්ලාම් අයට ජාතිකත්වය තුළට ඇතුළත් වියහැකි ආකාරයට ජාතික කොඩියට වර්ණ දෙකක් එකතු කරලා අපේ රටේ ජාතික කොඩිය අලුත් වුණා. ඒ වගේම 1987 දී එවක ජනාධිපති උතුරු හා නැඟෙනහිර මේ ජන වර්ග දෙකේ නිජබිම බවට ප්‍රකාශ කරන ප්‍රකාශනයකට අස්සන් කරලා තිබෙනවා. 1948 ඉඳලාම අපි නිදහස ලබා ගත්තා කීවත් අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ සුද්දාගේ ප්‍රතිපත්ති බව පැහැදිලියි.

ඔබ කියන්නේ මේ රටේ ඇති වන ගැටුම් නිර්මාණය කරන්නේ විදේශ රටවල් කියලද?

අපේ රට යටත් කරගෙන සිටි ඉංග්‍රීසීන් එදා මෙරටේ ඉඳලා කරපු දේ අද එහෙ ඉඳලා කරනවා. සිංහලයා පාගා විනාශ කිරීම ඔවුන්ගේ වුවමනාවයි. ඒ නිසා මේ සිද්ධ වෙන්නේ සිංහලයා විනාශ කරන ආක්‍රමණයක් මිස ජන වර්ග හෝ ජාතිවාදී ප්‍රහාරයක් නොවේ. සිද්ධ වෙන දේ දිහා හොඳින් විවෘත මනසකින් බලන්න. අපේ රටේ අයිතිය ගන්න අභ්‍යන්තර ආක්‍රමණයක් සිදුවෙමින් තිබෙනවා. එක් පැත්තකින් ප්‍රහාර එල්ල කරලා සිංහලයා විනාශ කරනවා. අනෙක් පැත්තෙන් විද්‍යාව යොදා ගෙන සිංහලයාගේ බෝවීම වළක්වනවා. මේ සිදුවන දෙය සිංහල ජාතියට එල්ල වන ප්‍රහාරයක් වුණත් එය එවැන්නක් නොවන බව අඟවන්න විදේශයන්හි සිට සිංහල නායකයන් සූක්‍ෂ්මව මෙහෙය වනවා. මේක මතුපිටින් නොපෙනුණත් අපේ රටේ මහ පොළොවේ සිදුවෙමින් තිබෙන සත්‍යය එයයි.

හොඳයි මේ තත්ත්වය වෙනස් කරන්න බැරිද?

පුළුවන්. මේ තත්ත්වය නිවැරැදි කරන්න නම් අපි හරියටම අවබෝධ කරගන්න ඕනේ, මේ සිද්ධ වෙමින් තිබෙන්නේ මොනවද කියලා. 1830 ජනවාරි 29 දා යාපනයේ දිසාපති කෝල්බෲක් කොමිසම හමුවේ කරුණු දක්වමින් කියා තිබෙන්නේ යාපනයේ ස්ථීර ජනගහනයක් නෑ. තිබෙන්නේ රජයේ කැලෑ පමණයි කියලා. 1831 දී කෝල්බෲක් කොමිසම දිසාපතිගේ කරුණු අනුව යාපනයේ දෙමළ ජනතාව පදිංචි කරවන්න කටයුතු කළා. කොළඹ – නුවර පාර හදන්න ඉන්දියාවෙන් රැගෙන ආපු දෙමළ ජනතාව ප්‍රථම වතාවට යාපනයේ පදිංචි කළේ කෝල්බෲක් කොමිසම හඳුන්වා දුන් තේසවලාමේ නීතිය අනුවයි.

ඔබ කියන්නේ උතුරේ දමිළ ජනතාව පදිංචි වුණේ ඒ විධියට කියලද?

ඔව්. ඊට පෙර උතුරේ ස්ථීර පදිංචිකරුවන් නොසිටි බවත් දකුණු ඉන්දියාවෙන් පැමිණෙන පිරිස් වෙළෙඳාම් කර ආපසු ඉන්දියාවට ගිය බවත් යාපනය දිසාපති එදා කෝල්බෲක් කොමිසමට කියලා තියෙනවා. ඒ විතරක් නොවෙයි නැඟෙනහිර පළාතේ ඉස්ලාමීය ජන වර්ගය පදිංචි වුණෙත් එහෙමයි. බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා 1848 අගෝස්තු 11 දා බ්‍රිතාන්‍යයට දන්වා තිබෙනවා නැඟෙනහිරත් මලබාර් ජාතිකයන් පදිංචි කිරීම සුදුසුයි කියලා. නමුත් එහෙ ජනතාව පදිංචි කරන්න පෙර වැව් දෙකක් හැදුවා. කන්තලේ වැව ආශ්‍රිතව ඉඩම් කොටස් 6000 ක් බෙදා වෙන් කර තිබූ බව සඳහන් වෙනවා. 1871 දී මඩකළපුව දිසාපති ඩබ්.ඩබ්. හියුම් සඳහන් කර තිබෙනවා 1865 සිට 1871 දක්වා නැඟෙනහිර පළාතේ මලබාර්වරු 70,000 ක් පදිංචි කර තිබෙන බව. මේ අය තමයි නැඟෙනහිර පදිංචි වූ මුල්ම විදේශ කණ්ඩායම. ඒ වාගේම 1865 වනවිට නැඟෙනහිර පළාතේ තිබූ සිංහල ගම්මාන 168 ක් අතුරුදන් වී ඇති බවත් හියුම් දිසාපතිවරයා සඳහන් කර තිබෙනවා. ඒ අනුව අපි අවබෝධ කරගත යුතු වෙනවා අතීතයේදී නැඟෙනහිර මොනවද වෙලා තියෙන්නේ කියලා.

නැඟෙනහිර පළාතේ තිබූ සිංහල ගම්මාන 168 ක් අතුරුදන් වුණේ කොහොමද?

විලියම් ලොරි කියන විනිශ්චයකාරවරයා සඳහන් කර තිබෙනවා 1865-1871 කාලය තුළ නැඟෙනහිර ගම්මාන 168 ක් අතුරුදන් වුණේ කොහොමද කියලා. ඔහු පෙන්වා දී තිබෙනවා මිනිසුන් දෙදෙනෙක් මරලා වැවට දැම්මාම ඒ සිරුරු කුණුවෙලා ජලයට මුසුවෙලා ප්‍රදේශය පුරා වසංගත රෝග බෝවෙනවා. ඒ රෝගවලින් මිනිස්සු මියයනවා. ජීවත්ව ඉන්න මිනිස්සු ජීවිත රැකගන්න ප්‍රදේශය අතහැරලා යනවා කියලා. ඒ විධියට තමයි වසර 5 ක් ඇතුළත නැඟෙනහිර සිංහල ගම්මාන 168 ක් පාළුවට ගිහින් තිබෙන්නේ. ඒ ගම්වල තමයි මලබාර්වරු පදිංචි කළේ. 1882 දී තමයි ඔවුන් ඉස්ලාම් ආගම වැලඳ ගෙන තිබෙන්නේ. මලබාර්වලින් ආපු දමිළ අය මුස්ලිම් වුණේ එහෙමයි.

හොඳයි. ඔබ කියන විධියට දමිළ ජනතාව උතුරේත් ඉස්ලාම් ජනතාව නැඟෙනහිරත් පදිංචි වුණා. කොහොමද ඔවුන් රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට එක්වුණේ?

ඔව්. උතුරු – නැඟෙනහිර පදිංචි වූ දමිළ ජනතාව මෙරටේ ප්‍රධාන ජන වර්ග දෙකක් බව 1900 වනවිට තහවුරු කරගෙන තිබුණා. ඒ අනුව ඔවුන්ද අධ්‍යාපනය ලබාගෙන රටේ සිංහල ජාතිය සමඟ එක්ව කටයුතු කරන්න පටන් ගත්තා. බ්‍රිතාන්‍යයෙන් සැලසුම් කළ පරිදි දමිළ ඉස්ලාම් ජන වර්ගවල උගතුන්ට රජයේ රැකියා ලබාගත හැකි වුණා. එදා වැඩි අවස්ථා ලැබුණේ ඔවුන්ටයි. 1946 වනවිට සිංහල ජනතාව සිංහල මහ සභාව දේශපාලන සංවිධානයක් ලෙස ගොඩනඟාගෙන තිබුණා. ටැමිල් කොංග්‍රස් එක දමිළ ජනතාවත් මුස්ලිම් ලීග් එක ඉස්ලාම් ජනතාවත් දේශපාලන සංවිධාන ලෙස ගොඩනඟා ගෙන තිබුණා. 1946 සැප්තැම්බර් 06 දා මේ දේශපාලන සංවිධාන තුනම එකතු කරලා නව දේශපාලන සන්ධානයක් හදාගත්තා. ඒ සන්ධානය තමයි එක්සත් ජාතික පක්‍ෂය.

මම මීට කලිනුත් ඔබෙන් ඇහුවේ අතීතයේ ඇති වූ මේ තත්ත්වය අනාගතයේ නිවැරැදි කර ගන්නේ කොහොමද කියලයි?

මේ සඳහා අපිට විශාල කැප කිරීමක් කරන්න වෙනවා. ආනයන නතර කරන්න ඕනේ. අපි අපේ රටේ කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන්න ඕනේ. ඉස්ලාම් ගමේ අයට ඒ ගමේ විධියට ජීවත් වෙන්න ඉඩ දෙන්න ඕනේ. දෙමළ ගමේ අයට ඒ ගමේ විධියට ජීවත් වෙන්න ඉඩ දෙන්න ඕනේ. සිංහල අයට ඒ ගමේ විධියට ජීවත් වෙන්න දෙන්න ඕනේ. එහෙම වුණොත් මේ තුන් වර්ගයම කෘෂිකර්මය ජීවනෝපාය කරගන්න වෙනවා. එතකොට සියලුදෙනා සමානයි. එහෙම වුණොත් සිංහල, දෙමළ, ඉස්ලාම් කියලා පිරිසක් නැතිව ශ්‍රී ලාංකිකයෝ පිරිසක් ඇති වෙනවා. වවාගෙන කෑම තමයි වෙනස් වෙනස් අනන්‍යතා නැති කරන්න තිබෙන ක්‍රමය.

ඔබ කියන්නේ මෙරටේ ජනවාර්ගික ගැටලුවට තිබෙන විසඳුම කෘෂිකර්මාන්තය කියලද?

විදේශ බොහෝ රටවල ගොවිතැන් කරන්න බෑ. දිරාපත් වීමේ ක්‍රියාවලියක් නෑ. ඒ රටවල ස්වාභාවික සම්පත් නෑ. ඒ නිසා තමයි ඔවුන් විවිධ පර්යේෂණ කරලා කාර්මික නිෂ්පාදන සොයා ගත්තේ. ඒක ස්වභාවධර්මයට විරුද්ධයි. නිවර්තන කලාපයේ අපේ රටේ අවුරුද්ද පුරා ගස් කොළන් වැවෙනවා. ස්වභාවධර්මයේ දායාදයන් ලෙස ලැබෙන අව්ව වැස්ස අපේ රටේ වගාවන් කරන්න හොඳ පසුබිමක් සකස් කරලා තිබෙනවා. ඒ නිසා මේ රටේ ජනතාව වවාගෙන කන ජනතාවක් වෙන්න ඕනේ.

මේ ක්‍රමය වෙනස් කරන්න ලංකාවේ මෙතෙක් බිහි වූ ආණ්ඩු අසමත් වී තිබෙන්නේ ඇයි?

පාර්ලිමේන්තුව වෙස්මිනිස්ටර් ක්‍රමයේ කොළඹ ශාඛාව ලෙස තමයි සැලකෙන්නේ. ගමේ මිනිහෙක් පාර්ලිමේන්තුවට ගියත් ඒ ක්‍රමයට වෙනස් වන්න සිදුවෙනවා. 1972 සෙනෙට් සභාව වෙනස් කළා. ඩොමීනියන් තත්ත්වය ජනරජයක් කියලා වෙනස් කළා. ඒ නිසා අග්‍රාණ්ඩුකාරයා වෙනුවට ජනපතිවරයෙක් ඕනෑ වුණා. වෙන කිසි දෙයක් වෙනස් වෙලා නෑ. අනෙක් හැමතැනම තියෙන්නේ 1948 ට පෙර තිබූ වැඩපිළිවෙළමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගෙනාවා මිස සුද්දන්ගේ ව්‍යවස්ථාව වෙනස් කරලා නෑ. මේ නිසා තමයි මේ රටේ විටින් විට දෙමළ, මුස්ලිම් ජන වර්ගය සිංහලයා ආක්‍රමණය කරන ගැටුම් ඇති වෙන්නේ.

මේ ක්‍රමය වෙනස් කරන්න අපේ රටේ නායකයන්ට වුවමනාවක් නැත්ද?

ඔවුන් බ්‍රිතාන්‍ය ක්‍රමය අනුගමනය කරන අය. ඔවුන් බ්‍රිතාන්‍ය ක්‍රමයට හැඩගැසුණු අය. ඒ නිසා මේ ක්‍රමය ඔවුන් වෙනස් කරයි කියලා හිතන්න බෑ.

ඔබ කියනවා අපේ නායකයෝ බ්‍රිතාන්‍යයට ගැතිකම් කරනවා කියලා. නමුත් දැන් චෝදනා එල්ල වන්නේ ඇමෙරිකාවට ගැතියි කියලයි?

එංගලන්තයට අපේ රට 1970 වන තුරු ගෙඩිය පිටින්ම පාලනය කරන්න භාරදී තිබුණා. අද රටේ ඇති වී තිබෙන සංවර්ධනය නිසා අපේ රටට ඇමෙරිකාවත් රිංගුවා. සංවර්ධනය කියන්නේ විදේශීය සංවිධාන දුසින් එකහමාරක විතර එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් ලංකාවට රිංගලා කරන දේ තමයි. මේ අයට ඕනෑ දේට ජනපතියි, අගමැතියි අස්සන් කරලා අනුමැතිය දෙනවා. ඒකට තමයි සංවර්ධනය කියලා කියන්නේ.

රටේ සමස්ත ජනතාවට පාලනයට එකතු වෙන්න බැරි නිසයි ප්‍රජාතන්ත්‍රවාදීව ජනතා කැමැත්තට නායකයෝ පත් කරගන්නේ. ඒක වැරැදිද?

ජනතා කැමැත්තට පත්වන නායකයෝ පත්වුණාට පස්සේ ජනතාවට ඕනෑ දේද කරන්නේ ? ජනතාව කැමැති දේද කරන්නේ ? එහෙම කරනවා නම් ජනතාව දුක් විඳින්න ඕනෑද ? අතීතයේදී අපේ රටේ ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක වුණා. රටේ අර්බුයක් ඇති වූ සෑම අවස්ථාවකදීම සාමාන්‍ය ජනතාව අතරින් නායකයෙක් මතු වුණා. ඔහු තමයි රටේ නායකයා වුණේ. ඔහු නායකයා වුණාට බලය තිබුණේ ජනතාව අතේ. ඒ නිසා ජනතා කැමැත්තට තමයි හැමදේම සිද්ධ වුණේ. අද ජනතා කැමැත්තෙන් පත්වන නායකයන් ජනතාවට පිටුපා වැඩ කරන කොට ඒකට විරුද්ධ වුණොත් ඒ ජනතාව අල්ලලා හිරේ දානවා. ඒකටද ජනතා පරමාධිපත්‍යය කියන්නේ?

වත්මන් ආණ්ඩුවේ අර්බුදයක් තිබෙනවා නේද?

නෑ. අර්බුදයක් කියන්නේ ඕකට නොවෙයි. දැන් තියෙන්නේ ජනපති, අගමැති හා මැතිඇමැතිවරු අතර පෞද්ගලික ප්‍රශ්න විතරයි. එ.ජා.ප.ය ඇතුළේ මොන අර්බුද තිබුණත් රනිල් වික්‍රමසිංහ හිටු කිව්ව ගමන් සියල්ල ඉවරයි.

ඔබ පිළිගන්නවාද අගමැති වික්‍රමසිංහ හොඳ නායකයෙක් කියලා ?

ඒ අයට හොඳයි. අපිට නම් හොඳ නෑ. රනිල් දක්‍ෂ නායකයෙක් නොවෙයි. ඔහු බටහිරට හිතවත්ව සේවය කරන හොඳ සේවකයෙක්.

වත්මන් ජනාධිපති ගැන මොනවද හිතන්නේ ?

වත්මන් ජනපති ඒ ධුරයට අවශ්‍ය දැනුම, බුද්ධිය ඇති අයෙක් විධියට කටයුතු කරන්නේ නෑ. පුංචි ළමයි වගේ රණ්ඩු වෙන ජනාධිපති කෙනෙකු ගෙන් අපේක්‍ෂා කරන්න පුළුවන් වෙන්නේ මොනවද?

විපක්‍ෂය ගැන ඔබේ මතය කුමක්ද?

විපක්‍ෂය හා ආණ්ඩු පක්‍ෂය අතර වෙනසක් මම නම් දකින්නේ නෑ. එංගලන්තයට ඕනෑ විධියට රට පාලනය කරන්න ඉන්න කණ්ඩායම් දෙකක් තමයි ආණ්ඩු පක්‍ෂය හා විපක්‍ෂය කියන්නේ. මාරුවෙන් මාරුවට මේ දෙගොල්ලම කරන්නේ එකම දේමයි. පසුගිය වසර 73 ක කාලය තුළට අපි ආපසු හැරී බලපුවාම තේරුම් ගන්න පුළුවන් අපිට මේ දෙපිරිසම කරලා තියෙන්නේ එකම දේ කියලා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *