අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 10 කට නඩු – චෝදනා පිටු මිලියනයක්

(28.06.2019 – 13:21 +0530 – hirunews.lk/sinhala)

බැඳුම්කර වංචාවට අදාළව හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය – අංක 01හි අද අධිචෝදනා ගොනුකළා.

එම අධිචෝදනා පත්‍රයට අදාළව නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කෙරුණු ලේඛණ පිටු සංඛ්‍යාව ලක්ෂ 10 කට අධික වීම විශේෂත්වයක්.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පසුගියදා අගනිවිසුරුවරයා වෙත ඉදිරිපත් කළ ලිපියක් මගින් ඉල්ලා තිබුණේ මහබැංකු බැදුම්කර සිදුවීම හරහා මෙරට ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී ඇති බැවින් ඊට අදාළව විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ අධි චෝදනා පත්‍ර ගොනු කිරීමට අවසර ලබාදෙන ලෙසයි.

ඊට අවසර හිමිවීමෙන් පසු නීතිපතිවරයා අද මෙලෙස අධි චෝදනා ගොනු කළේ ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, හිටපු නියෝජ්‍ය අධිපති පී.සමරසිරි, පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම, එහි හිමිකරු අර්ජුන් ඇලෝසියස්, ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන, සභාපති ජෙෆ්රි ඇලෝසියස්, මිත්‍ර ගුණවර්ධන, රන්ජන් හුළුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන් සහ ගාර්දිය පුංචිහේවා යන අයටයි.

මුහුණත වටිනාකම රුපියල් බිලියන 10 ක් වූ භාණ්ඩාගාර බැදුම්කර වංක ලෙස අත්පත් කර ගැනීමට කුමන්ත්‍රණය කිරීම හා අනුබල දීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන් 10 දෙනාට එරෙහි අධි චෝදනා ගොනුකර තිබෙනවා.

පළමු හා දෙවන විත්තිකරුවන් වන හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ නියෝජ්‍ය අධිපති පී.සමරසිරි යන දෙදෙනාට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ 2015 පෙබරවාරි 27 වන දින පැවති බැදුම්කර වෙන්දේසියේදී රජයට රුපියල් හැට අටකෝටි අසූ හත් ලක්ෂ 62,100 ක පාඩුවක් සිදුකර පොදු දේපල පනත යටතේ සාපරාධි විශ්වාසය කඩ කිරීමයි.

රුපියල් බිලියන 5 ක් වටිනා භාණ්ඩාගාර බැදුම්කර වංක ලෙස අත්පත් කර ගැනීම සහ ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ වරදක් වන අභ්‍යන්තර තොරතුරු භාවිත කර ලංසු තැබීම තෙවැනි විත්තිකරු වන පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට එල්ල වී ඇති චෝදනාවයි.

සෙසු විත්තිකරුවන් සදහා අධි චෝදනා ගොනුකර ඇත්තේ මෙම සිදුවීමට අනුබල දීමේ චෝදනා යටතේයි.

මේ අනුව, නීතිපතිවරයා අද දින කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනුකළ මෙම අධි චෝදනා පත්‍රය චෝදනා 23 කින් සමන්විතයි.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න සදහන් කළේ මෙම අධි චෝදනා පත්‍රය සාක්ෂිකරුවන් 115 දෙනෙකුගෙන් යුක්ත හා නඩු භාණ්ඩ 236 කින් සමන්විත බවයි.

එසේම, නඩු භාණ්ඩ ලැයිස්තුව අඩංගු ලේඛණ සම්භාරය පිටු ලක්ෂ 10 කට අධික ලේඛණ ප්‍රමාණයකින් සමන්විත බව ද එම ලේඛන වෙළුම් 15 කින් සහ බැදුම්කර කොමිසමේ කාර්ය සටහන් වලින් සමන්විත බව ද ඇය වැඩිදුරටත් සදහන් කළා.

මෙම අධි චෝදනා අද ගොනුකළ අවස්ථාවේ සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් 10 දෙනා වෙත සිතාසි නිකුත් කළේ ජුලි මස 19 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

***************************************

ගාල්ල ඩිපෝවේ ප්‍රවේශපත්‍ර වංචාව සම්බන්ධයෙන් කළමනාකරු ඇතුළු සිව් දෙනෙකුගේ වැඩ තහනම්

(28.06.2019 – 16:35 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල ශ්‍රී ලංගම ඩිපෝවේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ යන්ත්‍රයක් සොරකම් කර මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඩිපෝ කළමනාකරු ඇතුළු සිව් දෙනෙකුගේ වැඩ තහනම් කළ බව ශ්‍රී ලංගම දකුණු පළාත් ප්‍රාදේශීය කළමනාකරණ කාර්යාලය ප්‍රකාශ කළා.

ලංගම ප්‍රධාන කාර්යාලයෙන් පැමිණි නිලධාරින් පිරිසක් මෙම පියවර ගෙන තිබෙනවා.

අදාළ වංචාව සම්බන්ධයෙන් බස් කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර පොලීසිය ප්‍රකාශ කළේ තවත් ප්‍රවේශපත්‍ර යන්ත්‍ර දෙකක් අතුරුදන්වී ඇති බවට පැමිණිලි ලැබී ඇති බවයි.

කොන්දොස්තරවරුන් කිහිපදෙනෙකු සම්බන්ධ වී මෙම වංචාව සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා ෴

***************************************

ලංකාවේ මැතිවරණ කොමිසමට ඇමෙරිකාව රිංගයි

(29.06.2019 – mawbima.lk)

ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවීමෙන් පසු ඒ තුළට ප්‍රවේශ වී ඇති ඇමෙරිකානු හස්තයන් හේතුකොට ගෙන එහි ස්වාධීනත්වයට නොයෙක් ආකාරයේ ගැටලු ඇතිවෙමින් පවතින බව මෙරට ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල දැඩි අවධානය යොමු වී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ මෙරට ස්ථාපිත කරන ලද මැතිවරණ ක්‍රමෝපායන් පිළිබඳ ජාත්‍යන්තර පදනම (International Foundation of Electoral Systems) හරහා ඇමෙරිකානු අත පෙවීම් මෙරට මැතිවරණ ක්‍රියාවලිය තුළට පිවිස තිබෙන බවද සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමවේදය සමඟ නිරන්තර සබඳතා පවත්වන මැතිවරණ ක්‍රමෝපායන් පිළිබඳ ජාත්‍යන්තර පදනමේ මෙරට ඇමෙරිකානු ජාතික අධ්‍යක්ෂවරිය දැනට දෙසතියකට පෙර මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දෙවැනි නිලධාරියා සමඟ විවාපත් වී ඇති අතර ඒ අනුව ඇමෙරිකාවට මෙරටේ මැතිවරණ ක්‍රමවේදය තුළට පිවිසීමට තිබෙන ඉඩකඩ තවත් පුළුල් වී ඇති බවද එම ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙරට ස්වාධීන මැතිවරණ ක්‍රමෝපායන් හා එහි රහස්‍යභාවය ආරක්ෂා කරගැනීම පිළිබඳ ප්‍රායෝගික ගැටලුකාරී තත්ත්වයන් ඇතිවෙමින් පවතින බවද වාර්තා වෙයි.

ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන්ට විවිධ වරදාන, වරප්‍රසාද, රට සවාරි ආදිය ලබාදෙමින් ඒ තුළ මෙම ඇමෙරිකානු හස්තයන් සිය බලය තහවුරු කර ගැනීමේ සූක්ෂ්ම ක්‍රියාවලියක නිරත වන බවද එම නිරීක්ෂණ සංවිධාන චෝදනා කරයි.

එමෙන්ම මෙරට ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල ව්‍යාපෘති සඳහා ලැබෙන ඇමෙරිකානු අරමුදල්වල පාලනය සියතට ගනිමින් එම සංවිධාන මෙතෙක් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති අකර්මණ්‍ය කිරීමේ වැඩපිළිවෙළක්ද ඔවුන් ක්‍රියාවට නංවා ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

විවිධ රටවල මැතිවරණ ක්‍රමෝපායන් සංවර්ධනය කිරීමට සහාය පළ කරන මුවාවෙන් මෙම පදනම (IFES) මේ වනවිට ඉන්දියාව, නේපාලය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, භූතානය හා පිලිපීනය වැනි ආසියානු කලාපයේ රටවල අභ්‍යන්තර මැතිවරණ පද්ධති තුළට ප්‍රවේශ වී ඇති බවද එම ආරංචි මාර්ග අවධාරණය කරයි.

එම පදනම (IFES) දශක දෙකක පමණ කාලයක පටන් මේ රට තුළ විවිධාකාරයෙන් මැතිවරණ දෙපාර්තමේන්තුවේ පරිගණක ජාලගත කිරීම් ඇතුළු ව්‍යාපෘති ගණනාවකම ක්‍රියාත්මක වුවද ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවීමෙන් පසු වඩාත් බලපෑම්සහගත ක්‍රියාවලියක නිරත වන බව ඔවුන්ගේ අනවශ්‍ය මැදිහත්වීම් තුළින් තහවුරු වෙමින් පවතින බවද නිරීක්ෂණ සංවිධාන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ඉදිරි මාස කීපය තුළදී ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන අවස්ථාවක මැතිවරණ කොමිසම තුලට ඇමෙරිකානු හස්තයක ප්‍රවේශය මෙරට රාජ්‍ය පාලනයේ අභ්‍යන්තර කටයුතුවලට අනිසි බලපෑමක් විය හැකි බවට එම මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අනතුරු ඇඟවීමක්ද කරයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *