නාමල් රාජපක්ෂගේ ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු ඉවත්වෙයි

නාමල් රාජපක්ෂගේ ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු ඉවත්වෙයි


නාමල් රාජපක්ෂගේ ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු ඉවත්වෙයි

(27.03.2025 – 10:44 +0530 – hirunews.lk/sinhala)

‘ක්‍රිෂ් ගනුදෙනුව’ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න එම නඩු විභාගයෙන් ඉවත් වන බව අද (27) දැනුම් දුන්නා.

සනත් බාලසූරිය සහ පෝද්දල ජයන්ත යන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් තමන් සම්බන්ධයෙන් මුහුණු පොතේ පළ කර තිබූ අදහස් වලින් අනතුරුව තමන් මෙම තීන්දුව ගත් බවයි විනිසුරු මංජුල තිලකරත්න විවෘත අධිකරණයේ දැනුම් දුන්නේ.

ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා සුදුසු විනිසුරුවරයෙකු නම් කිරීම සඳහා එය කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ හමුවට යොමු කරන බවත් ඔහු විවෘත අධිකරණයේ දී කියා සිටියා ෴

+++

නාමල් රාජපක්ෂගේ ක්‍රිෂ් නඩුවෙන් දෙවන (2) විනිසුරුවරයාත් ඉල්ලා අස්වෙයි

(27.03.2025 – 11:43 +0530 – hirunews.lk/sinhala)

‘ක්‍රිෂ් ගනුදෙනුව’ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුව විභාග කරන දෙවන (2) විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණා.

මෙම නඩුව විභාග කළ විනිසුරු මංජුල තිලකරත්න එම නඩුවෙන් ඉවත්වන බව අද (27) පෙරවරුවේ දැනුම් දුන්නා.

ඉන් අනතුරුව එම නඩුව මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවනු ලැබුවා.

විනිසුරු සුජීව නිශ්ශංක ද සඳහන් කළේ තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවයි.

ඒ අනුව මෙම නඩුවට සුදුසු විනිසුරුවරයෙකු නම් කිරීම සඳහා එය මැයි මස 21 වන දා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ කැඳවන ලෙසත් නියෝග කෙරුණා ෴


පුංචි ඡන්දයේ දී අපේක්ෂකයෙකුට, ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කර හැකි උපරිම මුදල ගැසට් කෙරේ

(27.03.2025 – 10:58 +0530 – hirunews.lk/sinhala)

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ දී අපේක්ෂකයෙකුට එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව ‘මැතිවරණ කොමිෂන් සභාව’ පවසනවා.

ඒ අනුව අපේක්ෂකයෙකු විසින් එක් (1) ඡන්දදායකයෙකු වෙනුවෙන් රුපියල් 74 ත් 160 ත් අතර මුදලක් වියදම් කළ හැකි බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම පසුගිය 24 වනදා ආරම්භ කෙරුණු අතර ඡන්ද විමසීම මැයි මස 06 වැනිදා පැවැත්වීමට නියමිතයි ෴


රබර් කිරි රැගත් බවුසරයක් ප්‍රපාතයකට පෙරළී දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට

(27.03.2025 – 11:04 +0530 – hirunews.lk/sinhala)

බදුරළිය, කලවාන මාර්ගයේ කොඩිප්පිලිකන්ද සමන් දේවාලය ආසන්නයේදී කලවාන දෙස සිට බදුරළිය දක්වා ගමන් ගත් රබර් කිරි රැගත් බවුසර් රථයක් අඩි 30 ක පමණ ප්‍රපාතයට පෙරළී යාමෙන් එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (26) රාත්‍රී 12:00 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවටයි වාර්තා වෙන්නේ.

අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් (1) කලවාන රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල ප්‍රදේශයේ රබර් කිරි කර්මාන්ත ශාලාවකට අයත් සේවකයින් දෙදෙනෙක් (2).

ඔවුන් බුලත්සිංහල හා රඹුක්කන ප්‍රදේශවල පදිංචිකරුවන්.

අධික බෑවුම් සහිත මෙම ප්‍රදේශයේ දී බවුසර් රථයට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ලිස්සා යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි කලවාන පොලීසිය සැක කරනවා.

+


පදවි ශ්‍රීපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියකට කාන්තාවක් පහර දෙයි

(27.03.2025 – 11:42 +0530 – hirunews.lk/sinhala)

පදවි ශ්‍රීපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඊයේ (26) පැමිණි කාන්තාවක් එහි ඉඩම් අංශයේ නිලධාරිනියකට පහරදී තිබෙනවා.

අදාළ කාන්තාවගේ අයථා ඉඩම් පවරා ගැනීමකට මෙම නිලධාරිනිය සහයෝගය නොදැක්වීම නිසා මෙසේ පහරදී ඇති බවටයි වාර්තා වෙන්නේ.

පහරදීමත් සමග නිලධාරිනිය සතු ලිපිගොනු උදුරා ගැනීමටත් එකී කාන්තාව උත්සාහ දරා ඇති බව සඳහන්.

පහර කෑමට ලක්වූ නිලධාරිනිය ප්‍රතිකාර සඳහා පදවි ශ්‍රීපුර රෝහල ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම මෙම පහර දීම හෙලා දකිමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන් අද (27) උදෑසන නිහඬ විරෝධතාවයක නිරත වුණා ෴


වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට හොරෙක් එයි

(27.03.2025 – 12:13 +0530 – hirunews.lk/sinhala)

වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට අද (27) අලුයම සොරෙකු ඇතුළු වී තිබෙනවා.

එම නඩු භාණ්ඩ කාමරයේ ජනේලය විවෘත කිරීම සඳහා ඔහු උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේ දී ශබ්දයක් ඇසී ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරිවරයා විදුලි ලාම්පුව ඒ දෙසට යොමු කළ අවස්ථාවේදීයි ඔහු පැන ගොස් ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ සහාය, පොලිස් සුනඛ අංශයේ සහාය මෙන්ම ඇඟිලි සලකුණු අංශයේ සහාය ද ලබාගෙන තිබෙනවා.

වරකාපොල පොලිසිය සැකකරු සොයා පරීක්ෂණ පවත්වනවා.

+


මෙරට පාසල් සිසුන්ගෙන් 18% කට ‘විශාදය’ ඇති බවට අනාවරණයක්

(27.03.2025 – 12:35 +0530 – hirunews.lk/sinhala)

මෙරට පාසල් සිසුන්ගෙන් සියයට 18 කට ‘විශාදය’ පවතින බවට සමීක්ෂණයකින් අනාවරණය ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ නව යොවුන් සෞඛ්‍ය පිළිබද ජාතික වැඩසටහන් කළමණාකරු ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ චිරන්තිකා විතාන ප්‍රකාශ කළා.

ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (26) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

වයස අවුරුදු 13-14 සහ අවුරුදු 16-17 යන කාණ්ඩ දෙක (2) යටතේ සමීක්ෂණයක් සිදුකළ බවත්, ඉන් අනාවරණය වී ඇත්තේ වයස වැඩිවෙත්ම විශාදය රෝගී තත්ත්වය වැඩි වෙන බවයි.

එමෙන්ම සියදිවි හානිකර ගැනීම, ඒ ගැන සිතීම සහ එය සැලසුම් කිරීම 2016 වඩා වැඩි වී ඇති බවයි වෛද්‍යවරිය සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *