‘බටලන්ද කොමිෂන් සභා වාර්තාව’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

‘බටලන්ද කොමිෂන් සභා වාර්තාව’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි


‘බටලන්ද කොමිෂන් සභා වාර්තාව’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

(14.03.2025 – 10:35 +0530 – hirunews.lk/sinhala)

මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ‘බටලන්ද කොමිෂන් සභා වාර්තාව’ සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එහිදී ඔහු අවධාරණය කළේ මෙම වාර්තාව ඉදිරියේදී නීතිපතිවරයා වෙත යොමුකිරීමට කටයුතු කරන බවයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ‘අල් ජසීරා නාලිකාව’ සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී ‘බටලන්ද කොමිසමේ වාර්තාව’ යළි කරළියට පැමිණියා.

එහිදී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවයි.

1980 දශකය අවසානයේ සිදු කරන ලද නීති විරෝධී මිනී මැරුම්, කෲර වධ හිංසාවට ලක් කිරීම්, අනීතිකව රඳවා තබා ගැනීම් සම්බන්ධයේ එක්සත් ජාතික පක්ෂයට චෝදනා එල්ල වූ අතර එවක පාලනය බිඳ වැටීමටද එය ප්‍රබල සාධකයක් බවට පත් වුණා.

1994 දී බලයට පත්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ රජයෙන් බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාවක් පත්කළ අතර, එවක විපක්ෂ නායකව සිටි රනිල් වික්‍රමසිංහ ද එම කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා.

සාක්ෂි විභාගයෙන් අනතුරුව අදාළ වාර්තාව 1998 මැයි 05 වැනිදා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ලබා දී තිබුණද එවක රජය එම වාර්තාව සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් ගනු ලැබුවේ නැහැ.

එවැනි පසුබිමකයි බටලන්ද වධකාගාරය පිළිබඳව සමාජයේ දැඩි කථාබහක් ඇතිවද්දී පිටු 208 කින් සමන්විත එම කොමිෂන් සභා වාර්තාව සභානායක අමාත්‍ය බිමල් රත්නායක අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ.

මෙම වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක (2) පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමටත්, ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටවුක් පත් කරන බවද ඔහු කියා සිටියා.

එවැනි පසුබිමකයි ‘බටලන්ද වධකාගාරය’ පිළිබඳව සමාජයේ දැඩි කථාබහක් ඇතිවද්දී පිටු 208 කින් සමන්විත එම කොමිෂන් සභා වාර්තාව සභානායක අමාත්‍ය බිමල් රත්නායක අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ.

මෙම වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක (2) පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමටත්, ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටවුක් පත් කරන බවද ඔහු කියා සිටියා.

+++

‘බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ’ නිර්දේශ මෙන්න

(14.03.2025 – 20:42 +0530 – hirunews.lk/sinhala)

අද (14) පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණු ‘බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ’ නිර්දේශ මොනවාද?

මේ සම්බන්ධයෙන් විවිධ වාර්තා අනාවරනය වන පසුබිමක අප ඒ සම්බන්ධයෙන් ද සොයා බැලුවා.

ඒ අනුව දැක්වෙන්නේ ‘බටලන්ද නිවාස සංකීර්ණයේ’ නීති විරෝධී රැඳවුම් ස්ථාන සහ වධකාගාර පැවැත්වීමට ‘රනිල් වික්‍රමසිංහ’ අනියමින් වගකිවයුතු බවයි.

‘රනිල් වික්‍රමසිංහ’ කඩාකප්පල්කාරී ක්‍රියා මර්ධන කටයුතු සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියාකලාපයට අදාලව උපදෙස් දී ඇති බවත් එබඳු නියමයන් කිරීමට ඔහුට නෛතික බලයක් නොමැති බවත් ඒ අනුව ‘රනිල් වික්‍රමසිංහ’ බලය අයථා ලෙස භාවිත කර ඇති බව කොමිසමේ අදහස බව එහි සඳහන්.

‘රනිල් වික්‍රමසිංහ’ විසින් රාජ්‍ය පොහොර නිෂ්පාදන සංස්ථාවේ ඈවරකරුට ‘බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ’ නිවාස වෙන්කර මුදා හරින ලෙසට දෙන ලද උපදෙස්වලින් අංක B2, B8, B34, A1/8 යන නිවාසවල නීතිවිරෝධී රැඳවුම් මධ්‍යස්ථාන පිහිටුවීමට පහසුකම් සැලසුනු බවයි එහි දක්වා ඇත්තේ.

එහි දැක්වෙන්නේ B2, B8, B34, A1/8 යන නිවාසවල නීති විරෝධී රැඳවුම් ස්ථාන සහ වදකාගාර පැවැත්වීමට ‘රනිල් වික්‍රමසිංහ’ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ‘නලීන් දෙල්ගොඩ’ අනියමින් වගකිවයුතු බවයි.

එවක සහකාර පොලිස් අධිකාරී ‘ඩග්ලස් පීරිස්’ සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ‘රංජිත් වික්‍රමසිංහ’ ‘බටලන්ද යෝජනා ක්‍රමයේ’ ඉහත සඳහන් නීති විරෝධී රැඳවුම් ස්ථාන සහ වධකාගාර පිහිටුවීම සම්බන්ධයෙන් සෘජුවම වගකිවයුතු බවත් එම වාර්තාවේ සඳහන් වේ. එම වාර්තාවේ පෙන්වා දෙන්නේ ‘ජනතා විමුක්ති පෙරමුණේ’ හෝ ඊට සම්බන්ධ ‘දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය’ හෝ සාමාජිකයින් විසින් සිදුකරන ලද ත්‍රස්ත ක්‍රියාවලට කිසි ලෙසකිනුත් සමාව නොදෙන බව ස්ථිරවම ප්‍රකාශ කරන බවයි.

‘ජනතා විමුක්ති පෙරමුණේ’ ප්‍රචණ්ඩ ක්‍රියාවල ප්‍රතිඵලය ලෙස දේශපාලනඥයින්, දේශපාලන ක්‍රියාකාරීන් පොලිස් නිලධාරීන් හා සිවිල් වැසියන් සිය ගණනක් ජීවිතක්ෂයට පත් වූ අතර ප්‍රචණ්ඩ ක්‍රියා රජයේ ක්‍රියාකාරීත්වයට අහිතකර ලෙස බලපෑ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පොදු ජනතාවට දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වූ බව අදාළ වාර්තාවේ සඳහන්.

එලෙස අරාජික තත්ත්වයක් පැවතියත් වගකීමේ හැඟීමෙන් යුතු රජයක් ඊට ප්‍රතිචාර දැක්විය යුත්තේ නීතියේ ආධිපත්‍යයට අනුකූලව බවයි කොමිෂන් සභාව පවසා ඇත්තේ.

= උපුටා ගැනීම =

‘ජනතා විමුක්ති පෙරමුණු’ ක්‍රියාවන්ට ප්‍රතික්‍රියාවක් වශයෙන් එකල රජය විසින් අධිකරණ ක්‍රමයෙන් බාහිර ක්‍රියාවන්ට අනුමැතිය දී මෙහෙයවීමක් සිදු නොවිය යුතු විය. එකල රජය ඇත්ත වශයෙන්ම ‘ජනතා විමුක්ති පෙරමුණෙන්’ සිදුකරනු ලැබූ ත්‍රස්තවාදී ක්‍රියා රැල්ල පාලනය කිරීම සඳහා අධිකරණ ක්‍රමයෙන් බාහිර ක්‍රම අනුගමනය කර තිබෙන බව අප සැලකිල්ලට ගන්නේ කණගාටුවෙනි. ඉහතින් සඳහන් කාලසීමාවේ සිදුවූ කරුණු පිළිබඳව ‘බටලන්ද සිද්ධිය’ එක් උදාහරණයක් පමණකි.

= උපුටා ගැනීම අවසන් =

වදකාගාර පිහිටුවා පවත්වාගෙන යාමට තුඩු දුන් ප්‍රධාන හේතුවක් ලෙස එවක පැවති රජයේ දේශපාලනඥයින් සහ පොලිසිය 1987 සිට 1990 දක්වා පැවති කැරැල්ලට ප්‍රතිචාරයක් වශයෙන් හැසිරුණු ආකාරය පෙන්වාදී ඇති අතර ‘බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ’ නිර්දේශවලට අනුව ප්‍රකෝප කරනු ලැබූ ප්‍රමාණය කොපමණ වුවත් සිදුකරන සියලුම ක්‍රියා නීතියේ ආධිපත්‍යයට අනුකූල විය යුතු බවයි.

ඒ අනුව පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පිට පිටම උල්ලංඝණය කර ඇත්දැයි හඳුනාගනු ලබන පුද්ගලයන්ගේ ‘ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීමේ’ ස්වරූපයෙන් වූ සුදුසු දඬුවම් එම පුද්ගලයින්ට පැමිණවීමට අවශ්‍ය අතිරේක බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරීමද බටලන්ද කොමිසම විසින් නිර්දේශ කර තිබෙනවා.

විවිධ පොලිස් නිලධාරීන් පුද්ගලයින් පැහැරගෙන යෑම, ඝාතනය කිරීම, අයුක්තිසහගත ලෙස සිරගතකර තිබීම ඇතුළු බරපතළ වැරදි සිදුකර ඇති බව කොමිෂන් සභා පරීක්ෂණයේදී හෙළි වූ බවත් එම නිසා කොමිෂන් සභාවට ඉදිරිපත් කරනු ලැබූ සියලුම පැමිණිලි සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකිරීමට සලස්වන ලෙසට පොලිස්පතිවරයාට නියෝග කරන්නැයිද එහි නිර්දේශ කර තිබෙනවා.

පොලිස් නිලධාරීන්ගේ විනය පිළිබඳ බරපතළ දෝෂ සහ ඔවුන් විසින් පොලිස් දෙපාර්තමේන්තු ව්‍යවස්ථා බරපතළ ලෙස උල්ලංඝණය කර ඇති අවස්ථා ලැයිස්තුගත කර ඇති බවත්, මෙම කොමිෂන් සභාවේ වාර්තාව සහ එහි පරීක්ෂණ කටයුතු වාර්තාද සමග අදාළ විනය අධිකාරියට සහ පොලිස්පතිවරයාට අදාළ පොලිස් නිලධාරීන්ට විරුද්ධව අවශ්‍ය විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීම සලකා බැලීම සඳහා ඉදිරිපත් කිරීමට බටලන්ද කොමිෂන් සභා වාර්තාව මගින් නිර්දේශ කර තිබෙනවා ෴

+++

‘බටලන්ද වධකාගාරය’ පිහිටි භූමියේ අද තත්ත්වය කෙබඳුද?

(14.03.2025 – 20:54 +0530 – hirunews.lk/sinhala)

බටලන්ද මේ නම ඇසූ සැණින් කාගේත් මතකයට එන්නේ භීෂණය රජ කළ අඳුරු මතකයක්.

එම වධකාගාරය පිහිටි භූමියේ අද තත්ත්වය කෙබඳුද ?

ඒ ගැන සොයා බලන්න ‘හිරු ප්‍රවෘත්ති කණ්ඩායමක්’ අද (14) බටලන්දට ගියා.

1980 දශකයේ අගභාගයේදී රජය විසින් සිදු කරන ලද බවට චෝදනා එල්ල වූ මිනී මැරුම්, කෲර වධ හිංසාවට ලක් කිරීම් සහ අනීතික රඳවා තබා ගැනීම් මෙම වධකාගාරය මුල් කරගෙන සිදු වූ බවටයි වාර්තා පළ වුණේ.

මෙම නිවාස සංකීර්ණයේ A2/2 නිවස 1983 මාර්තු මස 02 වැනිදා සිට 1994 අගෝස්තු මාසය දක්වා ‘රනිල් වික්‍රමසිංහ’ විසින් දැරූ ‘යෞවන කටයුතු සහ රැකී රක්ෂා අමාත්‍යංශයේ’ සංචාරක බංගලාව වශයෙන්ද කර්මාන්ත අමාත්‍යගේ නිල නිවස වශයෙන්ද භාවිත කර තිබෙන බව එම කොමිෂන් වාර්තාවේ දැක්වෙනවා.

එමෙන්ම එම නිවාස සංකීර්ණයේ B2, B8, B34 හා A1/8 යන නිවාස ‘නීතිවිරෝධි ස්ථාන සහ වධකාගාර’ ලෙස පවත්වාගෙන ගොස් ඇති බවටයි බටලන්ද කොමිසම් වාර්තාවේ දැක්වෙන්නේ.

‘හිරු ප්‍රවෘත්ති’ ගිය මෙම ගමනේදී බටලන්ද වධකාගාරයේ වද හිංසාවට ලක් වූ පුද්ගලයෙක්ද මුණ ගැසුණු අතර මේ ඔහු කරන අනාවරණයයි.

‘බටලන්ද කොමිසම’ හමුවේ සාක්ෂි දුන් අයෙකු වන එවකට කැලණිය කොට්ඨාසයේ සේවය කළ පොලිස් නිලධාරියෙකු වූ චන්ද්‍රසිරි විතානගේ ඒ සම්බන්ධයෙන් සිය බිහිසුණු අත්දැකීම් අනාවරණ කළා.

+

+

+


කාකදූපතේ පොලිස් වෙඩි තැබීම ගැන කරුණු රැසක් අධිකරණය හමුවේ අනාවරණය වෙයි

(14.03.2025 – 16:31 +0530 – hirunews.lk/sinhala)

පසුගියදා කොටහේන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකින් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු (2) අවි ආයුධ සෙවීම සඳහා මට්ටක්කුලිය, කාකදූපත ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේදී පොලිස් වෙඩි පහරින් මරණයට පත්වීමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (14) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වුණා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද ඉදිරියේ මෙම පරීක්ෂණය සිදුවණා.

එහිදී කොටහේන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලියනාරච්චිගේ රවී සමන්ත සාක්ෂි දෙමින් ඉකුත් පෙබරවාරි මස 21 වනදා රාත්‍රී විශේෂ මෙහෙයුම් රාජකාරියක නිරත වී සිටියදී කොටහේන, බොන්ජියන් හන්දිය ප්‍රදේශයෙහි වෙඩි තැබීමක් සිදුවී ඇති බවට දුරකථන ඇමතුමක් ලැබුණු බව පැවසුවා.

පසුව වෙඩිතැබීම සිදුවූ වෙළඳ සැල වෙත තමා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ගිය බවත් වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයා රෝහලට රැගෙන ගොස් තිබූ බව දැනගත් බවත් ඔහු කියා සිටියා.

වෙඩි තැබූ සැකකරුවන් යතුරු පැදියකින් ආමරවීදිය දෙසට පලා ගිය බව එහි සිටි පිරිස ප්‍රකාශ කළ බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියා.

ඒ අනුව එම සැකකරුවන් දෙදෙනා (2) ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වී ඇති බව දුරකථන ඇමතුමක් ලැබුණු අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ තමා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඔරුගොඩවත්ත ප්‍රදේශයට ගිය බවත් පැවසුවා.

එම ස්ථානයට ළඟාවන විට එහි කලබලකාරී තත්වයක් පැවැති අතර, පසුව එම සැකකරුවන් දෙදෙනා (2) තමන් භාරයට ගෙන ආරක්ෂිත ලෙස කොටහේන පොලිස් ස්ථානයට රැගෙන ආ බව ඔහු කියා සිටියා.

පසුව එම සැකකරුවන්ගෙන් එක් (1) අයෙකු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි ‘අශෝක ලක්මාල් ජයවර්ධන’ ලෙස අනාවරණය කරගත් අතර, ඔහු යුද හමුදාවේ යුද අවි පුහුණුව ලබා තිබූ අයෙකු බව අනාවරණය වූ බවත් සාක්ෂිකරු කියා සිටියා.

ඔහු විසින් අදාල වෙඩි තැබීම සිදුකර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වූ බවත්, අනෙක් සැකකරු ‘විජය කුමාර් ප්‍රකාශ්’ යනුවෙන් හඳුනා ගත් බවත් සාක්ෂිකරු සඳහන් කළා.

ප්‍රශ්න කිරීම්වලදී මේ වන විට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින සංවිධානාත්මක අපරාධ මෙහෙයවන්නෙකු වන ‘ශිරාන් පලනි’ නමැත්තාගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සිදුකළ බව සැකකරුවන් ප්‍රකාශ කළ බවත්, ඒ සඳහා ගිණි අවිය මාලිගාවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු විසින් ලබා දුන් බව ඔවුන්ගෙන් අනාවරණය කරගත් බවත් සාක්ෂිකරු සඳහන් කළා.

‘ශිරාන් පලනි’ යනු සංවිධානාත්මක අපරාධ මෙහෙයවන්නෙකු වන අතර, ඔහු විසින් ජම්පටා වීදිය, මෝදර, මට්ටක්කුලිය, ප්‍රදේශවල ඉකුත් කාලයේ සිදු වූ අපරාධ ක්‍රියා රැසක්ම මෙහෙයවා තිබෙන ප්‍රබල සංවිධානාත්මක අපරාධ මෙහෙයවන්නෙක් බවත් සාක්ෂිකරු අනාවරණය කළා.

වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අවි ආයුධ සමහරක් මට්ටක්කුලිය, කාකදූපත ප්‍රදේශයේ සඟවා ඇති බව සැකකරුවන් ප්‍රකාශ කළ අතර, ඉන් පසුව ඔවුන්ගේ මගපෙන්වීම යටතේ දැඩි ආරක්ෂක රැකවරණ මැද මෙම සැකකරුවන් දෙදෙනා (2) රැගෙන නිලධාරීන් කණ්ඩායමක් සමග එම ස්ථානයට ගිය බවත් සාක්ෂිකරු සඳහන් කළා.

සැකකරුවන් සඳහන් කළ කාකදූපත ප්‍රදේශයේ පිහිටි අදාළ ස්ථානයට ගිය විට එහි ඝණ අන්ධකාරයක් පැවති අතර. විදුලි පන්දම් ආධාරයෙන් සැකකරුවන් විසින් පෙන්වා සිටි පොල් පැලයක් අසල පරීක්ෂාවක් සිදුකළ බවත් එම ස්ථානයේ සිට සුදු පැහැති බෑගයක දමා තිබූ යමක් හමු වූ බවත් සාක්ෂිකරු සඳහන් කළා.

වැඩිදුරටත් සාක්ෂි දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා “ඒ සමගම සැකකරුවන් දෙදෙනා (2) මා සමග පොර බදන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේදී මගේ අතේ තිබූ ගිනි අවිය ගිලිහී ගිය බව දැනුනා. ‘ලක්මාල් ජයවර්ධන’ නමැති සැකකරු විසින් ගිනි අවිය පැහැර ගත් බව මට තේරුම් ගියා.”

“වෙපන් එක අරගත්තා. වෙඩි තියයි” කියලා මම කෑගැසුවා.

ඒ සමගම වෙඩි ශබ්ද කීපයක් ඇසුණා. ‘ජයශංක’ නැමති නිලධාරියා විසින් සැකකරුවන්ට වෙඩි තබා තිබූ බවත් පසුව අනාවරණය වුණා.

‘ලක්මාල් ජයවර්ධන’ කියන සැකකරු යුධ හමුදාවේ අවි ආයුධ පුහුණු ලැබූ තැනැත්තෙක්.

ඔහු අතට මේ ගිනි අවිය පත්වී තිබුණා නම් ඔහු වෙඩි තබා අප සියලු දෙනා මරා දමනවා.

සැකකරුවන් වෙත වෙඩි ප්‍රහාර එල්ල නොකළා නම් එවැනි තත්ත්වයක් උද්ගතවීමට හැකියාව තිබුණා.” යනුවෙන් සාක්ෂිකාර ප්‍රධාන පොලිස් ප්‍රධාන පරීක්ෂකවරයා කියා සිටියා.

මෙම සිද්ධියේදී ‘මධුසංඛ’ නමැති පොලිස් කොස්තාපලයා ගේ කකුල්වලටද තුවාල සිදුවූ අතර, සැකකරුවන් හා වෙඩි වැදුණු පොලිස් නිලධාරියා රැගෙන ගොස් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවත් සාක්ෂිකරු පැවසුවා.

ඉන්පසුව එම සැකකරුවන් දෙදෙනා (2) මියගිය බවයි සාක්ෂිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ.

මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා ප්‍රශ්නයක් මතු කරමින් පොලිස්පතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව මෙවැනි ආයුධ පෙන්වීමේ අවස්ථාවක් සඳහා සැකකරුවන් රැගෙන යන විට එම අවස්ථාව වීඩියෝ ගත කළ යුතු බවට දක්වා ඇතැයි පෙන්වා දුන්නා.

ඒ අනුව මෙම සිද්ධිය වූ අවස්ථාව වීඩියෝ ගත කළේදැයි නීතිඥවරයා සාක්ෂිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගෙන් විමසුවා.

“ස්වාමීනී.. එවැනි වීඩියෝ ගත කිරීමක් කරන්න හැකියාව ලැබුණේ නෑ. මොකද මේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ප්‍රසිද්ධියට පත්වුණා. ඒ අනුව ඔවුන් සඟවා තිබෙන ආයුධ ක්ෂණිකව සොයා ගැනීමට කටයුතු නොකලොත් ඒවා වෙනත් පාර්ශවයක් විසින් ලබා ගෙන අපරාධ ක්‍රියාවල යෙදවීමට හැකියාව තිබුණා. එම තත්වය මත වීඩියෝ ගත කිරීමට නොහැකි වුණා. මෙවැනි වීඩියෝ ගත කිරීමක් කරනවා නම් ඒ සඳහා පොලිස් අපරාධ වාර්තා අංශයේ පළපුරුදු වීඩියෝ පටිගත කරන්නෙකුගේ සහාය ලබාගත යුතුයි.” යනුවෙන් සඳහන් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මතුවී තිබූ හදිසි තත්ත්වය මත එවැන්නක් කිරීමට නොහැකි වූ බවත් අධිකරණය හමුවේ සඳහන් කළා.

නීතිඥ සේනක පෙරේරා තවත් ප්‍රශ්නයක් මතු කරමින් මෙම සැකකරුවන් දෙදෙනා (2) අදාල ස්ථානයට රැගෙන ගිය අවස්ථාවේ දී ඔවුන්ගේ අත්වල මාංචු දමා තිබූ බව පොලිසිය විසින් ප්‍රකාශ කළ අතර එවැනි තත්ත්වයක් යටතේ ඔවුන් පොලිස් නිලධාරීන් සතුව තිබූ අවි ආයුධ උදුරා ගන්නේ කෙසේදැයි සැකයක් මතුවන බව සඳහන් කළා.

ඊට පිළිතුරු දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා “ස්වාමීනී… එක් මාංචු කුට්ටමක එක් කොනක් එක් සැකකරුවකුගේ අතට දමා තිබූ අතර අනිත් කොන අනිත් සැකකරුගේ අතට දමා තිබුණා. ඉතින් සැකකරුවන් දෙදෙනා (2) ගේ එක් අතක් නිදහස්වයි තිබුණේ.” යනුවෙන් සඳහන් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එබැවින් ඔවුන්ට යමක් කිරීමට හැකියාව තිබූ බවත් සඳහන් කළා.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 21 වනදා තෙක් කල් තිබුණා ෴


සුපිරි ජපන් කාර් එකක ඔප්ෂන් තියන ලංකාවේ විදුලි ත්‍රීවීල් එකක් ඉන්දියන් වීල් එකේ මිලටම – KD RISE ELECTRICAL MOTORS PVT LTD (12.03.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *