GovPay : ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි – ජනපති අනුර කුමාර
GovPay : ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි – ජනපති අනුර කුමාර
(07.02.2025 – facebook.com/PresidentsMediaSriLanka)
ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් (3) හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (07) ආරම්භ විය.
ඒ අනුව රාජ්‍ය ඩිජිටල්කරණ ගෙවීම් වේදීකාවක් ඇති කිරීම (GovPay), ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා ගෙනයාම, තනාපති කාර්යාලවලින් උපත්, විවාහ හා මරණ (eBMD) සහතික ලබා ගැනීම මෙම මෘදුකාංග හරහා සිදු කළ හැකිය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ICTA ආයතනය හා ‘ලංකා පේ’ (Lanka Pay) ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර මහ බැංකුව මගින් ගෙවීම් වේදීකාව සුරක්ෂිත කිරීමටත් ජනතාවගේ විශ්වාසය ඇති කිරීමටත් කටයුතු කරයි.
‘Govpay’ වේදිකාව හරහා පළමු (1) අදියර ලෙස රාජ්‍ය ආයතන 16 ක සියලු සේවාවන්ට අදාළ ගෙවීම් කටයුතු සිදු කළ හැකි අතර, ලබන අප්‍රේල් මාසයේ සිට තවත් රාජ්‍ය ආයතන 30 ක් මෙම වේදිකාව භාවිතා කිරීමට සැලසුම් කර තිබේ. ඉදිරියේදී සියලුම රාජ්‍ය ආයතන මේ හා ඒකාබද්ධ කිරීමට බලපොරොත්තු වන අතර දැනටමත් රාජ්‍ය හා පෞද්ගලික බැංකු 12 ක්ද මේ හා එක්වී සිටී.
මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ තාක්ෂණය හා විද්‍යාව සමඟ ඇතිවන දියුණුව නිසා ජනතාවගේ ජීවිත පහසු කරවන බවත්, එමගින් කාර්යක්ෂම, ගුණාත්මක හා නාස්තිය අවම සේවාවක් ලබාගත හැකි බවත්ය.
ලෝකය අදියරෙන් අදියර පියවරෙන් පියවර ඉදිරියට පැමිණියේ තාක්ෂණය ලබාගත් ජයග්‍රහණ නිසා බව පැවසූ ජනාධිපතිවරයා, විද්‍යාවේ හා තාක්ෂණයේ නව සොයා ගැනීම් මිනිස් ශිෂ්ටාචාරය එක් අදිරයක සිට තවත් තලයකට ඔසවා තැබූ බවත් සඳහන් කළේය.
ජනාධිපති අරමුදලේ සේවා මෙතෙක් කාලයක් ක්‍රියාත්මක වූයේ කොළඹ සිට බවත්, නමුත් එහිදී ඈත ගම්මානවල සිටින පුරවැසියාට බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවූ බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) සිට එම ක්‍රමවේදය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිදු කිරීමට පියවර ගෙන තිබෙන බව පැවසීය.
මීට බොහෝ කාලයකට පෙර මෙවැනි තීන්දු තීරණ ගත යුතුව තිබූ බවත්, නිශ්චිත මොහොතේ තීන්දු තීරණ නොගැනීම නිසා ජනතාවගේ ජීවිත මෙන්ම රටේ ආර්ථිකයත් පසුගාමී තැනක පවතින බවත්, අද ඩිජිටල්කරණය නිසා නගරය සහ ගම ඒකාබද්ධ වී තිබෙන බවත්, ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට මෙන්ම ගමේ ප්‍රශ්න විසඳීමට ඩිජිටල්කරණය ඉතා වැදගත් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
අප රට පවතින තලයෙන් අලුත් තලයකට ඔසවා තැබිය හැකි එකම ක්ෂේත්‍රය ඩිජිටල්කරණය බවත්, එමගින් ජනතාවගේ අවශ්‍යතාවන් කිසිදු පීඩාවකින් හා රස්තියාදුවකින් තොරව ඉටු කරගත හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
යාන්ත්‍රික ජීවන රටාව හේතුවෙන් අපේ රටේ ජනතාවට සංස්කෘතිකමය ජීවිත අහිමි වී ගොස් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ජනතාවට සංස්කෘතිකමය ජීවිතයක් ඇති කර ගැනීමට ඩිජිටල්කරණය පහසුවක් වනු ඇති බවත්, එමනිසා මෙම වැඩසටහන සාර්ථක කර ගත යුතු බවත්, ඩිජිටල් හැඳුනුම්පත එහි ප්‍රධාන හැරවුම බවත් පැවසීය.
මේ වෙනස්කම් ඉතා වේගයෙන් ඇති කරගත යුතු බවත්, විනිවිදභාවය, කාර්යක්ෂමතාවය, ගම සහ නගරය අතර පවතින දුරස්ථභාවය තුරන් කිරීමට මෙන්ම ඩිජිටල්කරණය අප රට අලුත් තලයකට ඔසවා තබනු ඇති බවත්, ඒ වෙනුවෙන් රජය ඉතා කැපවීමෙන් කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ඩිජිටල්කරණය පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා මෙහිදී කියා සිටියේ ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා අවශ්‍ය කුසලතාවලින් 75% ක් ශ්‍රී ලංකාව සතුව ඇති බවයි. එහෙත්, එහි විභවය සම්පූර්ණයෙන් විවෘත කිරීමට නම්, රට ඉතිරි පරතරය පියවා ගත යුතු අතර ඉදිරි වසර තුන (3) තුළ සම්පූර්ණ කළ යුතු බවද විජේසූරිය මහතා සදහන් කළේය.
ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මට්ටමට ක්‍රියාත්මක කිරීම මෙහිදී ආරම්භ කළ අතර, එහිදී මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර භාර ගැනීම සංකේතවත්ව සිදු කෙරිණි.
මේ අතර නව ඩිජිටල්කරණ වැඩසටහන යටතේ විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල, සහතික කළ මුල් පිටපත් ඔවුන් සිටින රටවල තානාපති කාර්යාලය මඟින් ලබා ගැනීමට අවකාශය සලසා ඇත.
මෙහි ආරම්භයක් ලෙස දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයකුට උප්පැන්න සහතිකයක් නිකුත් කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙහිදී සිදු කෙරිණි .
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඔවුන් සිටින රටේ තානාපති කාර්යාලය හරහා උප්පැන්න, මරණ සහ විවාහ සහතිකවල සහතික කළ මුල් පිටපත් ලබා ගැනීමට හැකි වීම ඉතා වැදගත් පියවරක් වන අතර, එය ඔවුන්ගේ ජීවිත පහසු කරවීමට බොහෝ ආකාරවලින් බලපායි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබයරත්න, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ඩිජිටල්කරණය පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්, ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ ෴
සෞන්දර්ය සිසුවෝ ශ්‍රාවස්ති මන්දිරය ඉල්ලති
(07.02.2025 – 20:31 +0530 – hirunews.lk/sinhala)
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් කොළඹ 07, ශ්‍රාවස්ති මන්දිරය අත්පත්කර ගැනීමට අද (07) පෙරවරුවේ කටයුතු කළා.
ඒ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ අධ්‍යයන සහ පුහුණු කටයුතු සඳහා ඉඩ පහසුකම් නොමැති වීමේ ගැටලුවට නිසි විසඳුමක් මෙතෙක් නොලැබීම හමුවේයි.
කෙසේවෙතත්, අදාළ ගැටලුවට සාධනීය පිළිතුරක් ලැබීම හේතුවෙන් මේ වනවිට අදාළ සිසුන් එම පරිශ්‍රයෙන් ඉවත්ව යමින් සිටිනවා.
මෙලෙස සිසුන් ශ්‍රාවස්ති ගොඩනැගිල්ල අත්පත්කර ගැනීම සම්බන්ධයෙන් නර්තන හා නාට්‍ය කලා පීඨ ආචාර්ය සංගමය ජනාධිපතිවරයා වෙත ද ලිපියක් යවමින් දැනුම් දී තිබුණා.
එම ලිපිය මගින් නර්තන හා නාට්‍ය කලා පීඨ ආචාර්ය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණේ, මේ පිළිබඳව අවධානය යොමුකොට මේ සඳහා සථිර විසඳුමක් ලබා දෙන ලෙස හා විද්‍යාර්ථීන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසටයි.
මේ අතර, මේ සම්බන්ධව පාර්ලිමේන්තු වැඩබලන මහලේකම්වරයාගේ අත්සනින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර තිබූ අතර, සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ශ්‍රාවස්ති මන්දිරයේ ඉඩ පහසුකම් ලබා ගැනීම සම්බන්ධ ඉල්ලීම පසුගිය 05 වැනිදා පැවැති පාර්ලිමේන්තු කාර්යමණ්ඩල උපදේශක කාරක සභාවේදී සළකා බැලුණු බවද එමගින් දැනුම් දී තිබුණා.
එම ලිපියෙන් පාර්ලිමේන්තු වැඩබලන මහලේකම්වරයා දැනුම් දී තිබුණේ, තවත් රාජ්‍ය ආයතන කිහිපයක් තම කාර්යාල ස්ථාපනය කිරීම සඳහා ශ්‍රාවස්ති මන්දිර පරිශ්‍රය භාවිත කිරීමට ඉඩ පහසුකම් ඉල්ලා තිබූ නමුත්, ආයතන පරිශ්‍රයක් ලෙස භාවිතයට ගැනීමට පෙරාතුව එහි ඇතැම් ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදුකිරීමේ අවශ්‍යතාවක් පවතින බවයි.
නමුත් ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන පාර්ලිමේන්තුව සතුව නොමැති බැවින් එම ප්‍රතිසංස්කරණ සිදුකර ගැනීමට හැකි, ආයතනයකට එහි ඉඩපහසුකම් සලසා දීමට තීරණය කෙරුණු බව එහි සඳහන්.
ඒ අනුව, පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී සමග සම්බන්ධීකරණය වී ශ්‍රාවස්ති මන්දිර පරිශ්‍රයෙහි ස්ථානීය පරීක්ෂාවක් සිදුකර එහි ඉඩ පහසුකම් අවශ්‍යතාවට ගැලපෙන්නේද යන්න සොයා බලා දැනුම්දෙන ලෙස අදාළ ලිපියෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම්දී තිබුණා.
එසේම, එම මන්දිර පරිශ්‍රයේ ඓතිහාසික වටිනාකමට හානියක් නොවන පරිදි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග සම්බන්ධීකරණය වෙමින් සිය වියදමෙන් එකී අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකරගන්නා බවටත්, එම පරිශ්‍රයේ නඩත්තුව සහ අදාළ ජල, විදුලි, දුරකථන බිල්පත් ගෙවන බවටත් වන එකඟතාව ලබන පෙබරවාරි 20 වන දිනට පෙර පාර්ලිමේන්තුව වෙත ලිඛිතව ලබාදිය යුතු බව ද එම ලිපියේ සඳහන්.
ඒ අනුව, අදාළ ගැටලුවට උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සාධනීය පිළිතුරක් ලැබීම හේතුවෙන් ශිෂ්‍ය ක්‍රියාකාරීන් කොළඹ 07 ශ්‍රාවස්ති ගොඩනැගිල්ලෙන් ඉවත්වන බව දැනුම්දී තිබෙනවා.
+
අපරාධ නඩු දමන්න සාක්‍ෂි ප‍්‍රමාණවත් නෑ.. ඔවුන් නිදහස් කලා.. – නීතිපතිගෙන් නිවේදනයක්..
(07.02.2025 – 22:02 +0530 – lankacnews.com)
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව නිතිපතිවරයා විසින් පසුගිය මස 27 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති ලිපියේ නම් සදහන් සැකකරුවන්, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නීතිපති දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ එම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන අවසන් වී නොමැති බවයි.
අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය :
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක බී 92/2009 නඩුකරයට අදාළට නීතිපතිතුමා විසින් 2025.01.27 දිනැතිව අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමතා යොමු කොට ඇති ලිපියේ නම් සඳහන් සැකකරුවන් ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුට ගත් සැකකරුවන් නොවේ.
එම මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන අවසන් වී නොමැත.
ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් ලබා දී ඇති ප්‍රකාශවල පවතින අන්තර්ගතය නීතිපතිවරයා වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යොමු කොට ඇති විමර්ශන උද්ධෘත හා නොසැසඳේ.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සිදු වී වසර 06 කුත් ඉක්මවීමෙන් අනතුරුව එනම් 2015 වර්ෂයේ එම මහතා ඝාතනයේ ඇසින් දුටු සාක්ෂිකරුවකු නොවන ඔහුගේ රියදුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නැවත ප්‍රකාශයක් ලබාදෙන අතරවාරයේ දී යම් පිරිසක් විසින් 2009 වර්ෂය අග භාගයේ දී තමා පැහැරගත් බවට දැනුම් දී ඇත.
එම දැනුම දීම මත විමර්ශනයක් ආරම්භ කරමින් ඒ වන විට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවූ නඩු අංක බී 92/2009 යටතේම කරුණු වාර්තා කිරීමට පියවර ගෙන ඇත.
එකී විමර්ශනයේ දී සැකකරුවකු ලෙස නම් කරන ලද ‘ප්‍රේම ආනන්ද උදලාගම’ යන අය, ඉදිරිපත් වූ කරුණු අනුව සහ එම හඳුනා ගැනීම සම්බන්ධයෙන් උද්ගත වූ නෛතික දුර්වලතා හේතු කොට ගෙන අපරාධ චෝදනා ගොනු කිරීමට තරම ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම මත නිදහස් කිරීමට තීරණය කරන ලදී.
තවද, ලසන්ත වික්‍රමතුංග මහතා ධාවනය කරන ලද වාහනයේ තිබූ ලේඛනයක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශනයේ දී අත් අඩංගුවට ගත් පහත නම් සඳහන් සැකකරුවන්;
- හෙට්ටිආරච්චිගේ දොත් තිස්ස සිරි සුගතපාල
- විතාරණ ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර,
අපරාධ චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම මත නිදහස් කිරීමට ද තීරණය කරන ලදී.
මෙම නිදහස් කිරීම නව සාක්ෂි හෙළිදරව වීම මත අපරාධ චෝදනා ගොනු කිරීම සලකා බැලීමට බාධාවක් නොවන බව මෙයින් දන්වා සිටිමි.
ඇන්ජලෝ වැන්නොෆ්.
රජයේ අධි නීතිඥ (පරිපාලන)
නීතිපති වෙනුවට
+
අදාල සම්පූර්ණ නිවේදනය : [ පිටුව 1 ] – [පිටුව 2]
+
දුම්රිය මග නවතා ගෙදර ගිය රියදුරුගේ සේවය අත්හිටුවයි
(07.02.2025 – 19:56 +0530 – hirunews.lk/sinhala)
කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා ධාවනය කරමින් සිටි දුම්රියක් කොග්ගල දුම්රිය ස්ථානයේ දී නවතාගිය රියදුරුගේ සේවය අත්හිටවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොළගේ සඳහන් කරනවා.
එහිදී, එම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බවත්, එම පරීක්‍ෂණයේ ප්‍රතිඵල මත රියදුරු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.
මරදාන දුම්රිය ස්ථානයෙන් ඊයේ (06) පෙරවරුවේ ධාවනය ආරම්භ කළ එම දුම්රිය කොග්ගල දුම්රිය ස්ථානයේ නැවැත්වීමෙන් අනතුරුව අදාල රියදුරු අසනීප යැයි දැනුම්දී ඉවත්ව ගොස් ඇති අතර, දුම්රියේ සිටි මගීන් 500 කට අධික සංඛ්‍යාවක් පසුව වෙනත් දුම්රියකින් පිටත්කර හැරිය බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ ෴
කොළඹ කොටුවේ ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අදත් (07) ගින්නක්
(07.02.2025 – 19:54 +0530 – hirunews.lk/sinhala)
කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 24 වැනි මහළේ අදත් (07) සුළු ගින්නක් හටගෙන තිබෙනවා.
එහිදී ගිනි නිවීමේ රථ කිහිපයක් එම ස්ථානයට පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කෙසේ වෙතත් ඊයේ (07) දිනයේදී ද ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක් හටගත් අතර, එම ගින්න ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සහ ගුවන් හමුදාව විසින් මහත් පරිශ්‍රමයක් දරා පාලනය කරනු ලැබුවා.
එහිදී මෙම ගොඩනැගිල්ල පවතින්නේ දැඩි අනාරක්ෂිත තත්ත්වයක බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
ඔවුන් අවාධරණය කරන්නේ හදිසි ගින්නක් පාලනය කිරීමට අවශ්‍ය අවම පහසුකම් හෝ අදාළ ගොඩනැගිල්ලේ නොතිබූ බැවින් ගින්න පාලනය කිරීම අතිශය දුෂ්කර වූ බවයි.
කොළඹ – කොටුවේ පිහිටි මහල් 55 කින් සමන්විත ක්‍රිෂ් චතුරස්‍ර ගොඩනැගිල්ලේ ඊයේ (06) පස්වරු 06:30 ට පමණ ගින්නක් හටගෙන තිබුණා.
තිස්දෙවැනි (32) මහලේ සිට තිස්පස්වෙනි (35) මහල දක්වා ව්‍යාප්ත වී තිබූ ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 7 ක් යෙදවීමටයි පියවර ගෙන තිබුණේ.
+
+
ජල පිරිපහදුව සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය ගැන දැනුම්දීමක්
(07.02.2025 – 18:47 +0530 – hirunews.lk/sinhala)
විවිධ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජල පිරිපහදුව සඳහා භාවිත කරනු ලබන රසායන ද්‍රව්‍යවල ගුණාත්මකභාවය පිළිබඳ පුවත සම්බන්ධයෙන් එම මණ්ඩලය විසින් සවිස්තරාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, ජල පවිත්‍රීකරණයට අවශ්‍ය කරන ‘පිළිස්සු හුණු’ ටොන් 1,500 ක් මිලදී ගැනීම සඳහා ජාතික පුවත්පත් හරහා විවෘත ලංසු කැඳවූ බවත්, එම ටෙන්ඩර් පත් සමග ලබාදුන් සාම්පල පරීක්ෂාවට ලක්කර ඉන් සමත්වූ සම්පූර්ණ සුදුසුකම් ලත් හා අවම ලංසුව ලබා දුන් ලංසුකරුවෙකු වෙත අදාල ටෙන්ඩරය ප්‍රධානය කළ බවත් එම නිවේදනයේ සඳහන්.
ඒ අනුව, පළමුව හුනු ටොන් 380 ක් කොන්ත්‍රාත්කරු විසින් මෙරටට ගෙන්වා මණ්ඩලයේ ගබඩා වෙත භාරදුන් බවත්, පිළිපදින ක්‍රමවේදයන් පරිදි එම තොගයෙන් නැවත වරක් අහඹු සාම්පල් රැගෙන පරීක්ෂා කිරීමේදී එම හුණුවල ඇති ක්‍රෝමියම් ප්‍රමාණය පිරිවිතරයේ සඳහන් 10 mg/kh ප්‍රමාණය ඉක්මවා ඇති බවට අනාවරණය වූ බවයි එම මණ්ඩලය පවසන්නේ.
එහිදී, මෙම තොගය පිරිවිතරයන්ට අනුකූල නොවන බැවින් මණ්ඩලයේ තොගවලට නොගෙන වෙනම ගබඩා කළ බවත්, මෙම තොගය කිසිඳු පවිත්‍රීකරණ ක්‍රියාවලියක් සඳහා යොදානොගත් බවත් එම මණ්ඩලය නිවේදනය ඔස්සේ සඳහන් කරනවා.
ඒ අනුව, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් විශාල පිරිවැයක් දරා සපයන ජලය භාවිතයට ගැනීම සම්බන්ධව කිසිදු අනියත බියක් ඇති කර නොගත යුතු බව එම නිවේදනයෙ වැඩිදුරටත් සඳහන් ෴
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා මැතිසබයට යෝජනාවක්
(07.02.2025 – 16:25 +0530 – hirunews.lk/sinhala)
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සදහා වන යෝජනාවක් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකයි.
එහිදී ඔහු සඳහන් කළේ, යම් දේශපාලන පක්ෂයක් විසින් මතයක් දරා මෙම වැටුප් ක්‍රමය සමාජයේ ද්‍රෝහිකමක් බවට පත් කර ඇති බවත්, මන්ත්‍රීවරුන් පිළිබඳව ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වී ඇති බැවින් එය යථා තත්ත්වයට පත් කිරීමට තමන් මෙම යෝජනාව ගෙන ආ බවයි.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴