ගම්පොල, ගෙළිඔය ප්‍රදේශයේදී පෙරේදා (11) උදෑසන වෑන් රථයකින් පැමිණ පැහැරගත් සිසුවිය අම්පාරෙන් හමුවෙයි

ගම්පොල, ගෙළිඔය ප්‍රදේශයේදී පෙරේදා (11) උදෑසන වෑන් රථයකින් පැමිණ පැහැරගත් සිසුවිය අම්පාරෙන් හමුවෙයි


ගම්පොල, ගෙළිඔය ප්‍රදේශයේදී පෙරේදා (11) උදෑසන වෑන් රථයකින් පැමිණ පැහැරගත් සිසුවිය අම්පාරෙන් හමුවෙයි

(13.01.2025 – 10:37 +0530 – hirunews.lk/sinhala)

ගම්පොල, ගෙළිඔය ප්‍රදේශයේදී පෙරේදා (11) උදෑසන වෑන් රථයකින් පැමිණ පැහැරගත් දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ 19 හැවිරිදි දියණිය සොයා ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා.

ඒ අම්පාර බස් නැවතුම්පළේ බස් රථයක සිටියදී වන අතර, ඇය සමඟ සිටි සැකකරුද එම අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරු අදාල සිසුවිය පැහැර ගැනීමෙන් අනතුරුව ත්‍රිරෝද රථ තුනක් (3) ස්ථාන කිහිපයකදී මාරු වෙමින් ඇයව අම්පාර ප්‍රදේශයට රැගෙනවිත් තිබෙනවා.

එහිදී අද (13) උදෑසන අදාල සැකකරු විසින් මෙම සිසුවියට ඇයව නිවෙස වෙත නැවත ඇරලවන බව පවසා අම්පාර බස් නැවතුම්පොලට පැමිණ නුවර බලා ධාවනය වීමට නියමිත බස් රථයකට ගොඩවී ඇති අතර, එහිදී ඇයට නිහඬව සිටින ලෙසට තර්ජනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

උසස් පෙළ පෞද්ගලික පංතියකට සහභාගි වීම සඳහා යෙහෙළියක සමඟ දවුලගල නගරයට යමින් සිටිය දී කළු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් පෙරේදා (11) පෙරවරුවේ පෙරවරු 07:15 ට පමණ මෙම පැහැර ගැනීම සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පැහැර ගැනීම සිදුවූ අවස්ථාවේදී ඇයව පෙම්වතා විසින් පැහැරගත් බවට තොරතුරු වාර්තා වූ නමුත් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය විවාහා කර ගැනීමේ අපේක්ෂාවෙන් කලක පටන් පසු වූ මස්සිනා විසින් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි.

සිසුවිය පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටින මෙම ඥාති සහෝදරයා මුලින් රුපියල් ලක්ෂ 50 ක කප්පම් මුදලක් ඉල්ලා තිබෙන අතර පසුව ඔහු එය රුපියල් ලක්ෂ 30 දක්වා අඩුකර තිබෙනවා.

මෙලෙස පැහැරගැනීමට ලක්වූ සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

+

+


පොළොන්නරුවේ ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් 10 ක් අත්අඩංගුවට

(12.01.2025 – 14:08 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුවේ පැවති ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් 10 දෙනෙකු අද (12) අලුයම අරලගංවිල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොළොන්නරුව – බැඳිවැව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සංචාරක හෝටලයක මෙම සාදය පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී නීති විරෝධීව රැගෙන විත් තිබු විදේශීය සහ දේශීය මත්පැන් බෝතල් 45 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 550 ක් සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 18 ත් 30 ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන්.

ඔවුන් අද (12) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


දකුණේ තවත් වෙඩිතැබීමක්

(13.01.2025 – 07:52 +0530 – sinhala.adaderana.lk)

දෙවිනුවර, තල්පාවිල ප්‍රදේශයේ කරවල ව්‍යාපාරිකයෙකු ඉලක්ක කරගනිමින් එම පුද්ගලයාගේ නිවස ඉදිරිපිට දී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු (2) විසින් වෙඩිතැබීමක් සිදුකර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ ඊයේ (12) සවස 04:45 ට පමණ වෙඩිතැබීම සිදුව ඇති අතර වෙඩිතැබීමෙන් ජීවිත හානි හෝ තුවාලවීමක් වාර්තා වී නොමැති බවය.

රතුපැහැති යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) පිස්තෝලයකින් වෙඩිතැබීම සිදුකර තිබුණි.

කරවල මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා ගේට්ටුව විවෘත කළ අවස්ථාවේදී වෙඩිප්‍රහාරය එල්ල කර ඇත.

එල්ල කරන ලද වෙඩිල්ල ගේට්ටුව අසල තාප්පයට වැදී ඇති අතර, වෙඩි උණ්ඩයේ හිස් කොපුවද වෙඩික්කරුවන් විසින් රැගෙන ගොස් ඇතැයි පොලීසිය පැවසීය.

වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය හඳුනාගෙන ඇති අතර, ගන්දර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

+


අද (13) දුරුතු පුන් පොහෝ දින සදහම් පණිවුඩය.. – පූජ්‍ය බලංගොඩ කස්සප හිමි (13.01.2025)

+


දෙවිනුවර, තල්පාවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් – ජීවිත හානි හෝ තුවාල සිදුව නැත

(13.01.2025 – 09:23 +0530 – hirunews.lk/sinhala)

දෙවිනුවර, තල්පාවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඉලක්ක කරගනිමින් ඊයේ (12) පස්වරුවේ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු (2) විසින් වෙඩිතැබීමක් සිදුකර ඇති බව පොලිසිය පවසනවා.

එම ව්‍යාපාරිකයාගේ නිවස ඉදිරිපිට දී මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර, ඉන් කිසිවෙකුටත් ජීවිත හානි හෝ තුවාල සිදුව ඇත්තේ නැහැ.

මෙම ව්‍යාපාරිකයා කරවල වෙළඳාමේ නිරතවන අයෙකු බවත්, ඊයේ (12) පස්වරුවේ කරවල මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මොහු ඉලක්ක කර වෙඩි තබා පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, එම වෙඩිපහර නිවසේ තාප්පයට වැදී ඇති බවත්, වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය සීසීටීවී දර්ශන ඔස්සේ හඳුනාගෙන ඇති බවත් පොලිසිය පැවසුවා.

මෙලෙස වෙඩි තැබූ වෙඩික්කරුවන් කවුරුන්ද යන්න සහ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවයි ගන්දර පොලිසිය සඳහන් කලේ.

+


හෝමාගම ෆේස්බුක් සාදයක් වටලා හයක් (6) අත්අඩංගුවට

(13.01.2025 – 07:39 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම, මාගම්මන ප්‍රදේශයේ සුඛෝභෝගී මහල් නිවාස සංකීර්ණයක නිවසක් කුලී පදනම මත ලබාගෙන මුහුණු පොත හරහා සංවිධානය කළ මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ තරුණයන් හය දෙනෙකු (6) කහතුඩුව පොලිසිය විසින් ඊයේ (12) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් එම තරුණයන් සන්තකයේ තිබී ‘කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය’, ‘ස්ටෑම්ප්ස්’ හා ‘විදේශීය දුම්වැටි’ පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

තරුණ තරුණියන් පිරිසක් නිවාස සංකීර්ණයේ නිවසක් තුළ මත්ද්‍රව්‍ය සාදයක් පවත්වන බවට කහතුඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

එම අවස්ථාවේදී එම නිවස තුළ තරුණියන් දෙදෙනකු (2) සහ තරුණයන් හයදෙනෙකු (6) සිටි බවත්, ඉන් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගත් තරුණයන් හයදෙනා (6) පමණක් අත්අඩංගුවට ගත් බව‍යි පොලිසිය සඳහන් කළේ ෴


15 වසරකට පසු සැඟව සිටි ‘ගඩාෆි’ අත්අඩංගුවට

(12.01.2025 – 22:01 +0530 – hirunews.lk/sinhala)

2010 වර්ෂයේදී කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිට නඩු කටයුත්තක් සඳහා කැස්බෑව අධිකරණය වෙත රැගෙන එමින් සිටියදී පළාගිය රැදවියෙකු 15 වසරකට පසුව අත්අඩංගුවට ගැනීමට පිළියන්දල පොලිසිය සමත්ව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල, කටුකුරුන්ද වත්ත පදිංචි ‘දෙනගමගේ දොන් උපේක චන්ද්‍රගුප්ත’ නොහොත් ‘ගඩාෆි’ නැමැති 43 හැවිරිදි අයෙක්.

කළක් යුද හමුදා පාබල සේනාංකයේ සේවය කර ඇති මොහු කැස්බෑව, මාකන්දන ප්‍රදේශයේ ග්‍රාමීය බැංකුවක් කොල්ලකෑමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගත කර තිබෙනවා.

එහිදී 2010 වර්ෂයේ එක්තරා දිනෙක අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන එමින් සිටියදී බස් රථයේ තට්ටුවේ යකඩ තහඩුවක් ගලවා ධාවනය වෙමින් තිබූ බස් රථයෙන් කිලෝමීටර් 6 පමණ දුරක් යකඩ රාමුවේ එල්ලී පැමිණ කැස්බෑව අධිකරණය ආසන්නයේදී බස් රථය යටින් පිටතට පැමිණ පළාගොස් තිබෙනවා.

අනතුරුව මීට දෙදිනකට පෙර පිළියන්දල මාම්පේ ප්‍රදේශයේ නිවසක මොහු සැඟව සිටින බවට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කලේ.

ගඩාෆිගෙන් පොලිසියට පාපොච්චාරණයක්

(13.01.2025 – 07:23 +0530 – hirunews.lk/sinhala)

2010 වසරේදී බන්ධනාගාර බස් රථයක ගමන් කරමින් සිටියදී ඇතුළත තහඩුව ඉවත්කර පලාගොස් සිට වසර 15 කට පසු අත්අඩංගුවට ගත් ‘උපේක චන්ද්‍රගුප්ත’ හෙවත් ‘ගඩාෆි’ නමැති සැකකරු සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

සැකකරු විදෙස්ගතව සිට මෙරටට පැමිණ පිළියන්දල මාම්පේ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදීයි පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණේ.

එහිදී බන්ධනාගාර බස් රථයෙන් පලාගිය අයුරු සැකකරු විසින් පොලීසියට පාපොච්චාරණය ද කර ඇති බව වාර්තා වනවා.

එමෙන්ම, ඔහු විසින් සිදුකරන ලද තවත් අපරාධ රැසක් සම්බන්ධයෙන් ද මේ වන විට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

2010 වසරේ අගෝස්තු මාසයේ දිනක කැස්බෑව මාකන්දන ප්‍රදේශයේ ග්‍රාමීය බැංකුවක් කොල්ලකෑමට පැමිණි සැකකරුවන් අතර ප්‍රධාන සැකකරු ලෙස චෝදනා එල්ල වී ඇත්තේ මොහුටයි.

මීට අමතරව සැකකරුට එරෙහිව පානදුර මහාධිකරණ හමුවේ 2017 වසරේ දී නඩුවක් ද ගොනුකර තිබෙනවා.

කෙසේ වෙතත්, සැකකරු වසර 10 ක් පමණ විදේශයක සැඟව සිට මීට වසර කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති අතර පසුව ඔහු විවිධ ප්‍රදේශවල සැඟව සිට ඇති බවටයි පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, ඔහු පසුගියදා පිළියන්දල මාම්පේ කටුකුරුන්දවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා. 43 හැවිරිදි ‘උපේක චන්ද්‍රගුප්ත’ හෙවත් ‘ගඩාෆි’ මාම්පේ ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු පසුගියදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා ෴


දකුණේ පාතාලයට යතුරුපැදි උස්සපු ‘ගාල්ලේ ගඩ්ඩා’ කොටුවෙයි

(12.01.2025 – 19:34 +0530 – hirunews.lk/sinhala)

දකුණේ අපරාධ කල්ලිවලට අපරාධ සිදුකිරීම සඳහා යතුරු පැදි සොරකම් කොට සපයමින් සිටි අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු සොරකම් කරන ලද යතුරු පැදි මංකොල්ලකෑම්, පුද්ගල පහරදීම් සහ මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සඳහා දකුණේ ප්‍රධානතම අපරාධ කල්ලි සාමාජිකයන් වෙත ලබා දී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගිනුයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘ගාල්ලේ ගඩ්ඩා’ යන අනවර්ථ නාමයෙන් හඳුන්වන අයෙක්.

සැකකරු සමග සොරකම් කළ යතුරු පැදි 4 ක් සොයාගෙන තිබෙන බවයි පොලිසිය පවසුවේ.

යතුරු පැදි සොරාගන්නා අයෙක් කළුතර, පන්විලහේන වත්ත ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරක් මතයි වැටලීම සිදුකර තිබෙන්නේ.

සැකකරුගේ පාපොච්ඡාරණය මත ගාල්ල, අහුංගල්ල සහ කළුතර ප්‍රාදේශවල සඟවා තිබූ යතුරු පැදි හතරක් (4) සොයාගැනීමට හැකිවූ බවයි පොලිසිය පැවසුවේ ෴


වාහන ගෙන්වීම ගැන දැනගෙන හිටියට මේ කියන දේ ගැන දැනගෙන හිටියද? | වාහන ගෙන්වීම ගැන වෙනස්ම කතාවක් (13.01.2025)

+++

අඩුම වාහනයත් රුපියල් ලක්ෂ 50 පනී

(13.01.2025 – aruna.lk)

ඉන්ධන හා විද්‍යුත් වාහන ආනයනය කිරීමේදී සිලින්ඩර් ධාරිතාව සහ ආයු කාලය පදනම් කරගෙන අය කරන බදු (Excise Duty) ඉහළ නංවා ඇති අතර, සියලු බදු සමග සාමාන්‍ය පුරවැසියකුට මිලදී ගත හැකි මෝටර් රථයක අවම මිල රුපියල් ලක්ෂ 50 ඉක්මවනු ඇතැයි වාහන ආනයනකරුවෝ කියා සිටිති.

මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම බදු ඉහළ නංවා තිබෙන අතර, අදාළ ගැසට් නිවේදනය පෙරේදා (11 වැනිදා) සිට බලපැවැත්වේ.

මෙම අති විශේෂ ගැසට් පත්‍රයට අනුව, අදාළ වාහනයේ නිෂ්පාදිත දිනයේ සිය අවුරුදු 10 කට නොවැඩි වාහන සඳහා සියයට 200 ත් 300 ත් අතර ප්‍රතිශතයකින් බදු පනවා තිබේ.

සෑම වසරකම Excise Duty මෙලෙස ඉහළ දැමූවද වාහන ආනයනයට අවසරය ලබාදීමට කටයුතු කර නැතැයි වාහන ආනයනකරුවෝ පවසති. කෙසේ නමුත්, මෙය වාහන ආනයනයේදී අය කිරීමට නිශ්චිත අවසන් බද්ද නොවන බවද ඔවුහු කියා සිටිති.

වාහන ආනයනය කරන්නේ නම් අලුතින් ඊට අදාළව නීති සම්පාදනය කර කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් අනතුරුව ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතු බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

මෙම බදුවලට අමතරව එකතු කළ අගය මත බද්ද (VAT) සහ පිරිවැය, රක්ෂණය සහ භාණ්ඩ ප්‍රවාහනය මත වටිනාකමට අදාළවද බදු එකතු කෙරේ. මේ අනුව, ආනයනික වාහනවල මිල ගණන්ද, වර්තමාන වෙළෙඳපොළේ වාහන සඳහා පවතින මිලට සමාන හෝ ඊට වඩා වැඩිවනු ඇතැයිද වාහන ආනයනකරුවෝ කියති.

කෙසේ නමුත්, වාහන ආනයනයේදී අය කරන වැට් ඇතුළු සියළු බදු ප්‍රතිශතය සියයට 50 කින් පමණ ඉහළ යනු ඇතැයිද ඔවුහු කියා සිටිති.

මෙම බදු සංශෝධන අනුව ආර්ථික විශ්ලේෂකයන් කියා සිටින්නේ එන්ජින් ධාරිතාවය 1500 CC වාහනයකට වැට් සහ අනෙකුත් බදුවලට අමතරව Excise Duty පමණක් රුපියල් ලක්ෂ 20 කට වැඩි මුදලක් ගෙවීමට සිදුවන බවය. එමෙන්ම එන්ජින් ධාරිතාවය 1000 CC වාහනයකට Excise Duty පමණක් රුපියල් ලක්ෂ 10 කට වැඩි මුදලක් ගෙවීමට සිදුවේ.

මේ අනුව, ‘වැගන් ආර්’ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 70 ක් දක්වා ඉහළ යනු ඇතැයිද ඔවුන් පවසති. එමෙන්ම, නව ‘ඇක්වා’ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 100 ඉක්මවනු ඇතැයිද ඔවුහු සඳහන් කරති.

‘ප්‍රියස්’ නව මෝටර් රථයක් රුපියල් ලක්ෂ 200 ඉක්මවනු ඇතැයිද ඔවුහු පවසති ෴


දුමින්ද සිල්වා යලි සුපුරුදු බන්ධනාගාර රෝහලට..

(13.01.2025 – 09:20 +0530 – lankacnews.com)

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී ‘හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක්’ මත කොළඹ ජාතික රෝහලට යොමු කරන ලද ‘හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා’ නැවතත් බන්ධනාගාර රෝහල වෙත යොමු කර තිබේ.

ඒ ජාතික රෝහලේ දින දෙකක (2) කාලයක් ලබාගන්නා ලද ප්‍රතිකාර වලින් පසුවයි.

ජාතික රෝහලෙන් මුදා හැරීමෙන් පසු බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ රැඳවිය යුතු බවටයි.

කෙසේ වෙතත් බන්ධනාගාර රෝහලේ සිටියදී ඔහු සම්බන්ධයෙන් කරනලද විශේෂඥ වෛද්‍ය නිර්දේශයන් මත බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට පසුගිය දහවෙනිදා (10) දුමින්ද සිල්වා ඇතුළත් කරන ලදී.

නමුත් ඔහුට එහිදී ඇති වූ අසාධ්‍ය රෝගී තත්වයක් මත කොළඹ ජාතික රෝහලට ඇතුළු කරන ලදී ෴

+
‘හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක්’ = අපස්මාරය
+

දුමින්ද සිල්වා විඳපු සැප මෙන්න | යකඩෝ මෙහෙම සැපවිඳින හිරකරුවෙක් දැක්කමයි | හැමෝම හොල්මන් වෙන කතාවක් – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර (13.01.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *