ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධියේ කස්සප හිමි ඇතුළු පිරිස අද (11) අධිකරණයට
ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධියේ කස්සප හිමි ඇතුළු පිරිස අද (11) අධිකරණයට
(11.02.2026 – 06:47 +0530 – sinhala.adaderana.lk)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (11) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන්ද ඇතුළු 10 දෙනෙක් මෙලෙස අද (11) යළි අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
මෙම පිරිස පසුගිය 09 වැනිදා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී අද (11) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේයැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කර තිබූ පැමිණිල්ලට අනුව මෙම නීති කෘත්‍ය ක්‍රියාත්මක වේ.
+++
+++
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට ඇප
(11.02.2026 – 15:21 +0530 – sinhala.adaderana.lk)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් 10 දෙනා ඇප මත මුදාහරින ලෙස ත්‍රිකුණාමලය මහාධිකරණය නියෝග කර තිබේ.
ඒ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් පිරිස සම්බන්ධයෙන් අදාළ ඇප ඉල්ලීම අද (11) මහාධිකරණය හමුවේ සලකාබැලූ අවස්ථාවේදීය.
ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදුපිළිමයක් තැන්පත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ සිව්නමක් ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
ඉකුත් සඳුදා (09) මෙම පිරිස ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරිය ඔවුන්ගේ ඇප ඇයැදුම් සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට දින 02 ක කාලයක් ඉල්ලා සිටියාය.
අනතුරුව රජයේ නීතිඥවරියගේ ඉල්ලීමට අවසර ලබාදෙමින් මහාධිකරණය ඇප අයැදුම් සම්බන්ධයෙන් මූලික විරෝධතා වෙතොත් ඉදිරිපත් කරන ලෙස දන්වමින් ඇප අයදුම් සලකා බැලීම අද (11) දිනය දක්වා කල් තැබීය.
+++
දින 29 කට පසු පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස එළියට ආ හැටි
(11.02.2026 – hirunews.lk)
ත්‍රීකුණාමලය වෙරළ තීරයේ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට අයත් භූමියක බුදු පිළිමවහන්සේ නමක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුලු භික්ෂුන්වහන්සේලා සිව්නම සහ අනෙක් සැකකරුවන් පස්දෙනා මහාධිකරණ නියෝග මත මුදා හැරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්. එස්. එම්. සම්සුදීන් අද (11) සවස නියෝග කළා.
ඒ, මෙම සිද්ධියට අදාළව ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එන්. අබ්දුල්ලා මහරුෆ් විසින් කළ නියෝගයකට අනුවයි.
අද (11) පෙරවරුවේදී මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ඇප ඇයැදුම්පත සළකා බැලුනේ ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ දීයි. පසුව ඇප ලබා දෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් නියෝගය ප්‍රකාශයට පත් කිරීම අද (11) සවස 03:00 තෙක් කල් තැබීමට අධිකරණය නියම කර තිබුණා.
ඒ අනුව, අද (11) පස්වරු 03:00 ට මෙම නඩුව ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය ඇප නියෝගය නිකුත් කරමින් සැකකරුවන්ට ඇප ලබා දුන්නා.
එක් අයකුට රුපියල් දස දහසක (10,000) මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මෙම සැකකරුවන් දස දෙනා මුදා හැරීමටයි අධිකරණය නියෝග කළේ.
සාක්ෂි සහ විමර්ශනවලට බාධා නොකළ යුතු බවත්, නඩු දිනවලට අනිවාර්යෙන්ම පෙනී සිටිය යුතු බවත්, සහ ආගමික මෙන්ම පොදු කටයුතුවලට බාධා නොකළ යුතු බවටත් වන ඇප කොන්දේසි මෙම සැකකරුවන් 10 දෙනාට අමතර ඇප කොන්දේසි ලෙසින් මහාධිකරණය මගින් පනවනු ලැබුවා.
ඒ අනුව, දින 29 ක කාලයක් බන්ධනාගාර ගතව සිටි මෙම සැකකරුවන් අද (11) සවස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප කොන්දේසි කියවා තේරුම් ගැනීමෙන් පසු මෙලෙස මුදා හැරියා.
එලෙස ඇප මත මුදා හැරියේ, පූජ්‍ය බලංගොඩ කස්සප හිමි, පූජ්‍ය ත්‍රීකුණාමලය කල්යානවංශ හිමි, පූජ්‍ය ත්‍රීකුණාමලය සුඛිත වංශතිස්ස හිමි, පූජ්‍ය නන්ද හිමි යන භික්ෂුන් වහන්සේලා සිව් නම (4) සහ දීපානි ලියනගේ, නන්දික විදුරංග ලොකුගලප්පත්ති, එල්.ටී. පෙරේරා, පියල් හේමසිරි, දැකුම් දුලාර ගුණතිලක යන සැකකරුවන්.
ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ පෙරවරුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ, අද (11) පෙරවරු 10:30 ට මහාධිකරණයේ මෙම සැකකරුවන්ට අදාලව ඇප අයැදුම්පත විභාගයට ගන්නා බැවින් එම නඩුවේ තීරණය ලැබුණ තෙක් මෙම අධිකරණයේ නඩුව කල් තබන ලෙසයි.
ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණයේ එම නඩුව පසුව පසුව කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
පසුව, මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් නිතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නීතිඥ කලණ කොතලාවල දීර්ඝ කරුණු දැක්වීමක් කරමින් සඳහන් කර සිටියේ සැකකරුවන් වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කරමින් වෙරළට හානි කර ඇති බවයි.
එයට අමතරව අයුතු ජනරාශිය හා රාජකාරි ඉටු කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ට පහර දීම හා රාජකාරී බාධා කර ඇති බව ද රජයේ නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. මේ හේතුවෙන් මෙම සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් තරයේ විරුද්ධත්වය ප්‍රකාශ කරන බවද රජයේ නීතිඥරයා අධිකරණයට දැනුම් දුන්නා.
භික්ෂුන්වහන්සේලා හෝ දායක පිරිස කිසිදු වරදක් සිදු කර නොමැති බවත්, පූජා භූමි ඔප්පුවක් සහිත විහාරස්ථානයට අයත් භූමියේ පැවති දහම් පාසල් ගොඩනැගිල්ලේ අත්තිවාරම මත තාවකාලික ගොඩනැගිල්ලක් ඉදිකර බුදුපිළිමවහන්සේ නමක් තැන්පත් කිරීම කළ බවත් මෙහිදී සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥවරු කරුණු ඉදිරිපත් කළා.
මෙම සිද්ධියේදී පොලීසිය පැමිණ ගැටුමක් ඇති කළේ කාගේ උවමනාවටද යන්න සොයා බැලිය යුතු බවත් භික්ෂුන්වහන්සේලාට සහ දායක පිරිසට පහරදුන් පොලීසිය සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක විය යුතුව ඇති බවත් නිතීඥ මඬුල්ල අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු කරුණක් ඉදිරිපත් නොවී තම සේවාදායකයින්ට චෝදනා එල්ල කරමින් ඔවුන් දිගින් දිගටම රක්ෂිත භාරයේ තබාගෙන සිටි බවත් නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නා.
මෙම සිද්ධියට අදළාව වරාය පොලිසිය මගින් ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ඉකුත් 2025 නොවැම්බර් 16 දින ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට අයත් බව කියන භූමියේ බුදු පිළිමවහන්සේ නමක් තැන්පත් කිරීමෙන් අනතුරුව ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන්.
පසුව පොලිසිය සිදුකරන ලද විමර්ශනවලින් පසු බලංගොඩ කස්සප හිමි ඇතුලු භික්ෂුන්වහන්සේලා සිව් නමක් (4) සහ දායකයන් පස් දෙනෙක් (5) ඉකුත් 2026 ජනවාරී 14 වනදා ත්‍රීකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයට කැඳවා තිබූ අතර, එහිදී අධිකරණයෙන් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කිරීම සහ ත්‍රිකුණාමලය පොලිස් අධිකාරී සාමන්ත චන්ද්‍රපාල ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසකට පහරදීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය බාධාකිරීම කිරීම ඇතුලු චෝදනා හතක් (7) යටතේ සැකකරුවන් සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.
සැකකරුවන් වෙනුවෙන් නුවන් බැල්ලන්තුඩාව, මහේෂ් කොටුවැල්ල, සංජීව වීරවික්‍රම , චතුරි ධනංජනී, මහේන්ද්‍ර ඩයස්, මනෝජ් සෙබස්තියන්, කලන පින්නදූවහේවා යන නීතිඥ මණ්ඩලය පෙනී සිටියා.
ඒ අනුව, දින 29 ක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මෙම පිරිස අද (11) ඇපමත මුදාහැරීමටයි ත්‍රිකුණාමලය මහාධිකරණය නියෝග කළේ.
පසුව එම මහාධිකරණ තීන්දුව කියවා දී සැකකරුවන් මුදා හැරීම ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (11) සවස සිදු වුණා ෴
+++
බලාගනිල්ලා මඩ අවලාද මැදින් ශක්තියක් වෙලා – නොසැලී මහසඟරුවන පෙරට එනවා (11.02.2026)
+++
මේක සිංහල බෞද්ධ රාජ්‍යක් කියලා මතක තියාගන්න – ඇප ලබාගෙන කස්සප හිමි ඇතුළු පිරිස එළියට (11.02.2026)
+++
කස්සප හිමිට ඇප ලැබුණු හැටි නීතිඥයා එළියට ඇවිත් සියල්ල පැහැදිලි කරයි (11.02.2026)
+++
එදා අරගලේදී කිව්වා බෞද්ධ බලය අහෝසියි කියලා – අද ඇත්තටම සිංහල බෞද්ධ බලය අහෝසි වෙලා (11.02.2026)
+++
මේක බුදු හාමුදුරුවන්ට පූජා කරපු රටක් – මේකේ බුදුපිළිම තැන්පත් කරන්න අවසර මොකටද ?
+
මහින්ද මහත්තයගෙන් සල්ලි ගත්ත මාලිමා මන්ත්‍රී ලිස්ට් එක (10.02.2026)
+
ගමේ මාලිමා කුහකයෝ මැණික් ව්‍යාපාරයට කෙලියිද? (10.02.2026)
+
ඒ මෝඩ ජේලරයා අනාගතයේදී නීතිය හමුවට ගෙනෙනු ඇත (10.02.2026)
+
බොරු කියලා බලය අරගෙන, මුං තවමත් කියන්නෙ ඉන්ටනැෂනල් බේගල් (10.02.2026)
+
අනුර කියපු හින්ද ද පකිස්ථාන් කණ්ඩායම ලංකාවට එන්නෙ ? මොනවද හලෝ මේ විහිලු කතා ? (10.02.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴