අමරකීර්ති ඝාතන නඩුවේ 12 දෙනෙක් පෝරකයට යැවූ තාක්ෂණික හා වෝහාරික සාක්ෂි : භාවිතා කළේ ලංකාවේ මුල්ම වරටයි
(11.02.2026 – hirunews.lk)
අරගලය පැවැති අවස්ථාවේදී පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට නිට්ටඹුව නගරයේදී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේදී චුදිතයින් 12 දෙනකුට මරණීය දණ්ඩනය ද, සිව් දෙනකුට (4) අත්හිටවූ සිරදඬුවම් ද, තවත් චුදිතයින් 23 දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට ද නියෝග නිකුත් වුණා.

ඒ, ගම්පහ ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම නඩුවේ තීන්දුව අද (11) ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදීයි.
අයුතු ජනරාශිය, මනුෂ්‍ය ඝාතනය, පොදු දේපලවට හානි කිරීම යන චෝදනා 14 කට අදාළව නිතිපතිවරයා විසින් මෙම නඩුවේ චුදිතයින් 41 දෙනාට එරෙහිව අධිචෝදනා ගොනු කරනු ලැබ තිබුණා.
මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු සහන් මාපා බණ්ඩාර සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබුණේ ඉදිරිපත් කර තිබු සියළු චෝදනාවලින් සියළුම චුදිතයින් නිදොස් කොට නිදහස් කරන බවයි.
ඒ අනුව මෙම නඩුවේ තීන්දුව බෙදුණු තීන්දුවක් බවට ප්‍රකාශයට පත් වුණා.
මෙම නඩුවේ දී අත්හිටවූ සිරදඬුවම් නියම වූ චුදිතයින් සිව් දෙනාට (4) අධිකරණයෙන් දඩ හා වන්දි මුදල් ද නියම කෙරුණා.
ඒ අනුව, එක් අයකුට රුපියල් 10,000 ක දඩයක් හා අගතියට පත් පාර්ශ්වය වෙත රුපියල් 50,000 බැගින් වූ වන්දි මුදලක් ගෙවීමට අධිකරණයෙන් නියෝග කෙරුණා.
එම දඩ මුදල සහ වන්දි මුදල අද (11) දිනයේදීම ගෙවා නිම කළ යුතුව ඇති බවටත් අධිකරණයෙන් චුදිතයින් සිව් දෙනාට (4) නියෝග කෙරුණා.
මෙලෙස වන්දි ගෙවීමට නියම කෙරුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලගේ බිරිඳට සහ හිටපු මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියා වූ පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන යන අයගේ බිරිඳටයි.
මෙම දීර්ඝ නඩු විභාගය ගම්පහ මහාධිකරණය හමුවේ විභාග කෙරුණේ සභාපති විනිසුරු සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීයි.
ඒ අනුව එහි නියෝගය අද (11) නිකුත් කෙරුණා.
මෙම නඩුවේදී වරදකරුවන් වී මරණීය දණ්ඩනය නියම වූයේ, ධනුෂ්ක ලක්ෂාන්ත, මොහොමඩ් ඩිල්ෂාන්, සාගර ප්‍රනාන්දු, තරිඳු සුනිල්රත්න, ඉන්දික තුෂාර විජේසිංහ, රාසයියා සත්‍ය කුමාර්, චාරුක දේශාන්, සනත් වීර ප්‍රසන්න, මධු භාෂිත ජයවීර, රංගන රුවන් නන්දසේන, දිලූක ප්‍රභාත් ජයතිලක, ඉරේශ අෂාන් පීරිස් නමැත්තන්ටයි.
මෙහිදී ඉරේශ අෂාන් පීරිස් නමැති චුදිත නොමැතිව නඩු විභාගය පැවැත්වුණා.
මෙම නඩුවේ චූදිතයින් සිව් දෙනකුට (4) අත්හිටවූ සිරදඩුවම් නියම කෙරුණා. ඒ අනුව, එක් අයකුට මාස හයක (6) බරපතල වැඩ සහිත සිරදඬුවම් වසර පහකට (5) අත්හිටවූ අධිකරණය, රුපියල් 10,000 ක දඩයක් නියම කළා. අගතියට පත් පාර්ශ්වය වෙත රුපියල් 50,000 ක වන්දි මුදලක් ද නියම කළා.
එකී දඩ මුදල නොගෙවන්නේ නම්, තවත් අමතර මාස තුනක (3) සිර දඬුවමක් ද අධිකරණයෙන් චුදිතයින්ට නියම කළා.
අධිකරණයෙන් නියම කළ අදාළ වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් මාස 12 ක අමතර සිර දඬුවමක්ද නියම කළ විනිසුරුවරුන් එකී වන්දි මුදල් හා දඩ මුදල් අද (11) දිනයේදීම ගෙවන ලෙසට අත්හිටවූ සිරදඬුවම් නියමවූ සිව්දෙනාට (4) නියෝග කළා.
මෙලෙස අත්හිටවු සිරදඬුවම් නියම කෙරුණේ ඉශාන් සරවනාස් දිල්ෂාන්, අනුරංග සූරසිංහ, උජිත් සාගර ප්‍රසන්න හා සුවිනීත් ප්‍රියංකර කුමාරසිංහ නමැත්තන්ටයි.
මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවනූ ලැබූ අවස්ථාවේදී නිතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට තාක්ෂණික හා වෝහාරික පරීක්ෂණ උපයෝගී කරගෙන සිදු කළ නඩු විභාගය මෙය බවයි.
ඉකුත් 2022 ජුනි මස 09 වැනිදා නිට්ටඹුව නගරයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කිරීමේ මෙම සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් චුදිතයින් 12 දෙනාට මරණීය දණ්ඩනය නියම කිරීමට ප්‍රථම විනිසුරු මඩුල්ල එක් එක් චූදිතයින්ගෙන් නිදහසට කරුණු විමසීමක් කළා.
මෙහිදී එක් එක් චූදිතයින් විත්තිකූඩුවේ සිටිමින් සඳහන්කර සිටියේ, තමන් මේ සියළු චෝදනාවලට නිවැරදිකරුවන් බවත්, කිසිදු ඝාතනයකට හෝ වෙනත් ක්‍රියාවකට සම්බන්ධ නොමැති බවත් ය. තමන් සියළු දෙනා පැමිණියේ මෙම සිද්ධිය නැරඹීම සඳහාම පමණක් බව ද ඔවුන් විවෘත අධිකරණයේදී ප්‍රකාශ කර සිටියා. එමෙන්ම තම දරුපවුල් නඩත්තු වන්නේ තමන් නිසා බැවින් තමන්ට නියම කරන මරණීය දණ්ඩනය ලිහිල් කර දෙන ලෙසද ඔවුන් ඉල්ලා සිටියා.
පසුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ, මරණීය දණ්ඩනය නියම කළ චුදිතයින් 12 දෙනා ජනාධිපතිවරයා එල්ලා මැරීමට නියෝග කරන තෙක් වැලිකඩ බන්ධනාගාරයේ බිත්ති හතරක් තුළ රඳවා තබන ලෙසයි.
අරලියගහ මන්දිරයේ පැවැති ජන හමුවකට සහභාගී වී යළි පොළොන්නරුව බලා යමින් සිටියදී, නිට්ටඹුව නගරයේදී විරෝධතාකරුවන්ගේ පහරදීමකට ලක්ව මියගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ගේ නඩුව ගම්පහ මහාධිකරණය හමුවේ විභාගයට ගැනුණේ ඉකුත් 2023 වසරේ සිටයි.
මනුෂ්‍ය ඝාතනය, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම සහ වාහනයකට ගිනි තබා දේපළ කොල්ලකෑම යන අධි චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 41 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.
නඩු විභාගය අතරතුර 13 සහ 31 වන විත්තිකරුවන් මියගොස් ඇති අතර, 39 සහ 40 වන විත්තිකරුවන් අධිකරණය මඟහැර සිටියදී නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන ගියා.
නඩු විභාගය අතරතුර එක් (1) දිනකදී අධිකරණය මඟහැරීම හේතුවෙන් 03 වන විත්තිකරු නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ද විනිසුරු මඩුල්ල පියවර ගෙන තිබිණා.
මෙම නඩු විභාගය්දී විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගෙන විමර්ශන මෙහෙයවා තිබූ අතර, එහිදී පුද්ගල සාක්ෂිවලට අමතරව සීසීටීවී දර්ශන, ඩී.එන්.ඒ. පරීක්ෂණ, සොකෝ නිලධාරීන්ගේ වාර්තා, මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය සහ වීඩියෝ දර්ශන ඇතුළු තාක්ෂණය මූලික කරගනිමින් එක් එක් සැකකරු සම්බන්ධයෙන් වෙන වෙනම විමර්ශනය කර තිබු බවට අධිකරණයේදී කරුණු තහවුරු කෙරුණා.
මෙම නඩුවට අදාළව පොලිස් සහ යුද හමුදා නිලධාරීන්, ප්‍රභූවරුන්, ග්‍රාම නිලධාරීන්, භික්ෂූන් වහන්සේලා ඇතුළු සිවිල් පුද්ගලයන් 200 කට ආසන්න සාක්ෂි ප්‍රමාණයක් සටහන් කරගෙන තිබූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දි තිබුණා.
විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු (2), ව්‍යාපාරිකයින්, ත්‍රිරෝද රථ රියැදුරන්, වෙළෙඳ ආයතන සේවකයන් ඇතුළු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මෙම සිද්ධියේ චෝදනා ලැබූ 41 දෙනා අතර සිටියා.
නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා, සචින්තන ප්‍රනාන්දු සහ යසාරා කෝදාගොඩ යන නිතීඥවරු පෙනී සිටියා.
විත්ති පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි, චමින්ද අතුකෝරළ, ලාල් කුමාරපේලි, ශිරාණි දිසානායක සහ සුරංග ගුණතිලක, ප්‍රදිප් පෙරේරා, තිවංක තින්තක, නාමල් බමුණුආරච්චි යන නීතිඥවරුන් ඇතුළු කණ්ඩායමක් කරුණු ඉදිරිපත් කළා ෴
+++
අමරකීර්ති ඝාතනයේ වැරදිකරුවන් ඇතුළට යද්දී හිඟුරක්ගොඩ පිරිසක් රතිඤ්ඤා පත්තු කරයි (11.02.2026)
+++
මරණ දඬුවම ලැබුණු කොල්ලන්ට – අන්තිමේ ඉතුරු වුණේ අම්මා විතරයි (11.02.2026)
+++
අමරකීර්තිව මැරුව තරුණන්ගේ ජීවිත ඉවරයි – පොහොට්ටු රජයකින් ජේවීපී නායකයන්ට දඩුවම් – වගකියන්න ඕනේ ජේවීපි ය (11.02.2026)
+
නිධානයක් මතුකර දෙන බව පවසා රු. කෝටි 50 ක් වංචා කළ ‘හොර කපුවා’ ඇතුළු 6 ක් දැලේ
(11.02.2026 – hirunews.lk)
දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා නිධානයන් ලබා දෙන බව පවසා රුපියල් කෝටි 50 කට ආසන්න මුදලක් වංචා කළැයි කියන කපුවෙක් (1) ඇතුළු පුද්ගලයන් හය දෙනෙක් (6) සූරියවැව, අලිඔළුආර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ පවසනවා.
මෙම වැටලීම පොලිස් විශේෂ කාර්ය බලකායේ සූරියවැව කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකරනු ලැබුවේ අද (11) අලුයම 3 ට පමණයි.

මෙම වැටලීමේදී නාරංවල, ඇඹිලිපිටිය, සෙවනගල, කලවිටිගම, කළුතර සහ සූරියවැව යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35 ත් 51 ත් අතර පසුවන සැකකරුවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ පවසන්නේ.
වැටලීම සිදුකරන අවස්ථාවේදී නිදන් හෑරීම සඳහා යොදාගත් පූජා භාණ්ඩ සහ වංචාව සඳහා භාවිත කළ ව්‍යාජ ‘ගල් පෙට්ටියක්’ ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් සූරියවැව ප්‍රදේශයේ නිවසකට පැමිණ එහි නිධානයක් ඇති බව පවසා නිවෙස් හිමියා රවටා ඇති අතර, පසුව අඩි 5 ක් පමණ වලක් හාරා තිබේ. ඉන් අනතුරුව නිධානය පිළිබඳ තොරතුරු ‘අඳුනෙන්’ බැලිය යුතු බව පවසා ව්‍යාජ ඇදුරා සහ නිවෙස් හිමියා කාමරයකට ගොස් තිබූ බවට හෙළිවුණා.
එම අවස්ථාවේදී සෙසු ජාවාරම්කරුවන් දෙදෙනෙකු (2) රහසේ වල තුළට ගොස් ව්‍යාජ මැණික් ඇතුළත් ගල් පෙට්ටියක් එහි සඟවා ඇතැයි වාර්තා වෙනවා.
පසුව නිවෙස් හිමියා ලවාම එම ගල් පෙට්ටිය ගොඩට ගෙන එහි මැණික් ගල් ඇති බව පෙන්වා ඔහුට විශ්වාසය ඇති කර ඇති අතර, එම මැණික්වල වස්දොස් ඇරිය යුතු බව පවසා කිරි කළයක දමා සුදු රෙද්දකින් ඔතා තැබීමට උපදෙස් දී තිබේ.
පසුව මෙම මැණික් අධික මිලකට විකිණිය හැකි බව පවසා මොවුන් නිවෙස් හිමියාගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ඉල්ලා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මෙම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ මොවුන් කාලයක සිට දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් මෙලෙස රවටමින් රුපියල් කෝටි 50 කට ආසන්න මුදලක් වංචා කර ඇතැයි යන්න බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.
වංචාවට හසු වූවන් මුදල් දීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවලදී ‘වස්දොස් ඇති වන බව’ පවසමින් ඔවුන්ට තර්ජනය කර මුදල් ලබා ගැනීමට ද මොවුන් ක්‍රියා කර තිබෙනවා.
විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා සූරියවැව පොලිසියට භාර දී තිබෙනවා.
සැකකරුවන් හෙට (12) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
වැල ගෙඩියක් දියණියකට මරු කැඳවයි
(11.02.2026 – hirunews.lk)
මාර්ගයේ වැටී තිබූ වැල ගෙඩියක් මත යතුරුපැදිය ලිස්සා යාමෙන් සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, අවුරුදු දෙකයි මාස 11 ක් වයසැති කෑගල්ල, අත්තනගොඩ, කරඩුපනවත්ත ප්‍රදේශයේ පදිංචි දැරියක්.
පියා සහ මව සමග කෑගල්ල, මොළගොඩ හරහා අත්තනගොඩ මාර්ගයේ ගමන් කරමින් සිටියදී මොළගොඩ ඉන්ධන පිරවුම්හල අසලදී මෙම අනතුර සිදුව තිබුණේ පසුගිය 02 දෙවනදායි.
අනතුර සිදු වූ ස්ථානයේ මාර්ගය බෑවුම් සහිත ප්‍රදේශයක් බව පොලිසිය කියා සිටියා.
මෙම දැරිය පවුලේ එකම දරුවා වන අතර සිද්ධියෙන් කම්පනයට පත්වූ, කෑගල්ල ගලිගමුව කාර්මික විද්‍යාලයේ උපදේශකවරයකු ලෙස සේවය කරන ඇගේ පියා අනතුරින් පසු වස පානය කර කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය කියා සිටියේ ෴
අමෙරිකානු වීසා අයැදුම්කරුවන්ගේ වීසා පසුබිම් පරික්ෂාවන් දැඩි වේ – සමාජ මාධ්‍ය භාවිතය ගැනත් හොයයි
(11.02.2026 – hirunews.lk)
එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, එරටට ඇතුළුවීමට අපේක්ෂා කරන සියලුම වීසා අයදුම්කරුවන්ගේ පසුබිම් පරීක්ෂාවන් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා,.
මෙහි තීරණාත්මක පියවරක් ලෙස, සියලුම සංක්‍රමණික සහ සංක්‍රමණ නොවන වීසා අයදුම්කරුවන් තමන් භාවිත කරන සමාජ මාධ්‍ය හඳුනා ගැනීම් (Social Media Identifiers) සැපයීම අනිවාර්ය කර ඇති බවයි සඳහන් වෙන්නේ.
එක්සත් ජනපද ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ ජාතික ආරක්ෂාවට හෝ මහජන සාමයට තර්ජනයක් විය හැකි, එරටට ඇතුළුවීමට නුසුදුසු පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා ලබාගත හැකි සියලුම තොරතුරු භාවිතා කරන බවයි.
වීසා පරීක්ෂණ සහ සත්‍යාපන ක්‍රියාවලියේදී මෙම දත්ත ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබනවා.
වීසා අයදුම්කරුවන් තමන් භාවිත කරන සමාජ මාධ්‍ය ගිණුම් පිළිබඳ විස්තර සැපයීම 2019 වසරේ සිට එක්සත් ජනපදය විසින් අනිවාර්ය කරනු ලැබුවා.
ඒ අනුව අයදුම්කරුවන් සිය වීසා අයදුම්පත්‍රවල තමන් සතු සමාජ මාධ්‍ය ගිණුම් පිළිබඳ නිවැරදි තොරතුරු ඇතුළත් කළ යුතුයි ෴
වනඅලියාගේ ජායාරූප ගන්න ගිය රුසියානු කතකට අලි ප්‍රහාරයක්
(11.02.2026 – hirunews.lk)
බුත්තල – කතරගම මාර්ගයේ සංචාරය කරමින් සිටි විදේශීය යුවළක් මාර්ගයේ රැඳී සිටි වනඅලියෙකුගේ ඡායාරූප ගැනීමට ඊයේ (10) කළ උත්සාහයකදී අලියා ප්‍රහාරයක් එල්ල කර ඇතැයි කතරගම පොලිසිය පවසනවා.
මෙම අනතුරින් රුසියානු ජාතික කාන්තාව බරපතල තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.
අනතුරින් තුවාල ලබා ඇත්තේ 45 හැවිරිදි වියේ පසුවන අරියානා නැමැති රුසියානු ජාතික කාන්තාවක්.
ඇය සිය 48 හැවිරිදි සැමියා වන ඩෙනෙස් මෙල්ශන් සමඟ ත්‍රිරෝද රථයකින් බුත්තල සිට කතරගම දක්වා ගමන් කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දී තිබූ බවයි වාර්තා වන්නේ.
මාර්ගය අසල රැඳී සිටි වන අලියෙකු දුටු විදේශීය යුවළ, එම සත්වයාගේ ඡායාරූපයක් ලබා ගැනීමේ අරමුණින් ත්‍රිරෝද රථයෙන් බැස වනඅලියා දෙසට ගොස් ඇති බවත්, එම අවස්ථාවේදී කුපිත වූ වනඅලියා ඔවුන් දෙසට කඩා වැදී ප්‍රහාරය එල්ල කර ඇති බවට කරුණු හෙළිවූ බව පොලිසිය සඳහන් කරනවා.
එහිදී සැමියා දිවගොස් බේරී ඇති නමුත්, කාන්තාව වන අලියාගේ ප්‍රහාරයට මැදිව තිබුණා.
ප්‍රහාරයෙන් රුසියානු කාන්තාවගේ දකුණු අතට බරපතල තුවාල සිදුව තිබූ අතර, ඇය වහාම කතරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබුණා. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය හම්බන්තොට මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴