ත්‍රිකුණාමලයේ බුදු පිළිම සිද්ධියට අදාලව ගොනු කළ චෝදනා මහා ශාසනික අපරාධයක් : ඉත්තෑපානේ මහ නාහිමියෝ ජනපතිට ලියති
(10.02.2026 – hirunews.lk)
ත්‍රිකුණාමලය බෝධිරාජාරාම විහාරයේ බුදු පිළිමය තැන්පත් කිරීම පාදක කරගෙන සිදුවිය නොහැකි ආකාරයේ චෝදනා ගොනු කොට, රජයේ මැදිහත්වීම සහිතව කරන ලද ක්‍රියාව සිතා මතා ශාසනය සම්බන්ධයෙන් කරන ලද මහා අපරාධයක් බව සිය විශ්වාසය බව දක්වමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර හිමියන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා.

එමෙන්ම ත්‍රිකුණාමලය බෝධිරාජාරාම විහාරයේ බුදු පිළිමය තැන්පත් කිරීම සම්බන්ධයෙන් දෙමළ ඩයස්පෝරාවේ මන්ත්‍රීවරයෙකු හා වත්මන් රජයේ මන්ත්‍රීවරයෙකු අතුලු පිරිසක් විසින් ගොඩනගන ලද විරෝධයක් මිස වෙනත් කිසිදු ජාතිකයෙකු හෝ ආගමිකයෙකු විසින් විරෝධයක් ප්‍රකාශ කොට නැති බවද මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ පෙන්වා දෙනවා.
මේ අතර එම සිද්ධියේදී පොලීසිය අත්තනෝමතිකව ක්‍රියා කිරීම නිසාත් කිසියම් දේශපාලනික උපදේශ මත කටයුතු කිරීම නිසා මෙම ගැටළුව උද්ගත වූ බව සිය විශ්වාසය බවද උන් වහන්සේ පවසනවා.
එම සිද්ධිය සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේලා ඇතුළු දස දෙනෙකු (10) සිරගත කිරීම පිළිබඳව උන් වහන්සේ සිය කණගාටුව පළ කරන බව එම ලිපියේ සඳහන් කරනවා.
සුනාමි ව්‍යසනයෙන් විනාශ වූ පැරණි ධර්ම ශාලාවේ පාදම මත ඉතා කුඩා ප්‍රමාණයේ බුදු පිළිමයක් තැන්පත් කිරීම නිසා එම ස්ථානයට කිසිදු හානියක් සිදු නෙවන බව සිය විශ්වාසය බවද සඳහන් කර තිබෙනවා.
මේ අතර සුනාමි ව්‍යසනයට පෙර එහි තිබූ පැරණි ගොඩනැගිල්ල වෙනුවට එතැනම ගොඩනැගිල්ලක් ඉදිකිරීම අලුත් ඉදිකිරීමක් සේ හුවා දැක්වීම අමනෝඥ ක්‍රියාවක් බවයි පෙන්වා දෙන්නේ.
අදාළ භික්ෂූන් වහන්සේලා බුදු පිළිමයක් තැන්පත් කර ඇත්තේ පෙර රජවරුන් විසින් දිවි හිමියෙන් රැක ගත්, සසුනට පූජා කරන ලද එම පින්බිමේ දී බවත් ඔවුන් පහරකෑමට ලක්වූයේ ද බුදු පිළිමයක් තැබීමට ගොස් මිස වෙනත් කිසිදු අපරාධයක් සිදු කිරීමෙන් නොවන බව එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ජනමාධ්‍යවලින් දැනගත් තොරතුරුත් මහාවිහාරවංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාවේ නියෝජිත පිරිසක් එම ස්ථානයට යැවීමෙන් පසුව දැනගත් කරුණු මත ලිපිය සටහන් කළ බවයි එහි දැක්වෙන්නේ.
අතීතයේ ඇතැම් යුගවල දී ජාතික හා ආගමික වශයෙන් ශ්‍රී ලංකාව තුළ යම් යම් ගැටළු උද්ගත වුවද ඒවා නිරාකරණය වී වර්තමානය වන විට එබඳු කිසිදු ගැටළුවක් නැති බවද උන් වහන්සේ පෙන්වා දෙනවා.
එබැවින් රජය මැදිහත් වී එම භික්ෂූන් වහන්සේලා ඇතුළු දස දෙනා (10) වහාම නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසයි උන්වහන්සේ ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ෴
+++
එම ලිපිය : [පිටුව 1] – [පිටුව 2]
ඉංජිනේරුවන් දෙදෙනෙක් හා සමාගම් ලොක්කෙක් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
(10.02.2026 – hirunews.lk)
ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේදී රජයට රුපියල් මිලියන 41 ක පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත එම සංස්ථාවේ ඉහළ නිලධාරීන් දෙදෙනෙකු (2) සහ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකු (1) ඊයේ (10) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පිරිස අතර ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ විශ්‍රාමික ප්‍රධාන ඉංජිනේරුවරයෙකු, එහි වත්මන් යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු සහ පෞද්ගලික සමාගමක සහකාර කළමනාකාර අධ්‍යක්ෂවරයෙක්ද වන බවයි අල්ලස් කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන්.
2016/2018 ‘පුනරුදය’ ජාතික වැඩසටහන යටතේ කෙරවලපිටිය කසල අංගනය සඳහා Long arm Excavators (දිගු බාහු සහිත කැනීම් යන්ත්‍ර) දෙකක් (2) මිලදී ගැනීමේදී මෙම දූෂණය සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අදාළ සමාගම විසින් නිෂ්පාදිත යන්ත්‍ර මෙරටට ආනයනය කර, පසුව ඒවායේ කොටස් ගලවා වෙනත් අමතර කොටස් සවිකර නවීකරණය කරන ලද යන්ත්‍ර රජයට සපයා ඇති අතර, රාජ්‍ය නිලධාරීන් විසින් නිසි පරීක්ෂාවකින් තොරව මෙම යන්ත්‍ර භාර ගැනීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 41 ක මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවයි අල්ලස් කොමිසම සඳහන් කරන්නේ.
අද (10) පස්වරු 01:30 ත් 01:40 ත් අතර කාලය තුළ සැකකරුවන් තිදෙනා (3) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා ෴
පිරිවෙන් ගුරුවරයෙකුගෙන් අල්ලස් ගත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් සහ ගුරු උපදේශකයෙක් දැලේ
(10.02.2026 – hirunews.lk)
පිරිවෙන් ගුරුවරයෙකුට ස්ථාන මාරුවීමක් ලබා දීම සඳහා රු. 50,000 අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු සහ ගුරු උපදේශකවරයෙකු අද (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේම පදිංචි අවුරුදු 57 ක් සහ 59 ක් වයසැති නිලධාරීන් දෙදෙනෙක් (2).
අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ වැටලීමකදී අදාළ මුදල ලබාගන්නා අවස්ථාවේදීම සැකකරුවන් කොටු කරගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ ගුරු උපදේශකවරයා හෙට (11) දින දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ ෴
ජල සම්පාදනයේ අතිරේක සාමාන්‍යාධිකාරී ඇතුළු දෙදෙනෙක් (2) රිමාන්ඩ්
(10.02.2026 – hirunews.lk)
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී දර්ශන මැදවත්ත ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු (2) මේ මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළා.
ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයාට නිල වාහන දෙකක් තිබියදී Toyota Prado වර්ගයේ මෝටර් රථයක් කුලී පදනම මත ලබාගැනීමට කටයුතු කිරීම තුළින් සභාපතිවරයාට වාසි සැලසෙන ආකාරයෙන් ක්‍රියා කිරීම හරහා රජයට රුපියල් 12,750,000/- ක් පාඩු කොට දූෂණය නැමැති වරද සිදුකිරීමට කුමන්ත්‍රණය කළේ යැයි මෙම සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
මෙම සැකකාර අතිරේක සාමාන්‍යාධිකාරීවරයා තවමත් අදාල ආයතනයේ සේවය කරන බවත් ඔහු යටතේ සිටින සේවකයින් හය දෙනෙකු (6) ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙන බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව මෙම සැකකරුවන් ඇප මත මුදා හරිනු ලැබුවොත් ඔවුන් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකිරීමට හැකියාව තිබෙන නිසා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සැකකාර අතිරේක සාමාන්‍යාධිකාරිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු අදාළ ආයතනයේ වසර තිස් දෙකක (32) සේවා කාලය සම්පූර්ණ කළ අයකු බවත් ඔහු නුදුරේදීම විශ්‍රාම යාමට නියමිත බවත් පැවසුවා.
මෙම විමර්ශන පැවැත්වෙන අතරතුර සිය සේවා දායකයා සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කළ බවට කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නැති බැවින් සැකකරුවන්ට ඇප මත මුදා හරින ලෙසත් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් ලබන විසි වැනිදා (20) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා ෴
විදේශ රැකියා සිහිනය පෙන්වා රු. කෝටි දෙකකට (2) ආසන්න මුදලක් වංචා කළ අඹුසැමි යුවළක් සීදූවේදී කොටුවෙති
(10.02.2026 – hirunews.lk)
විදේශ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් රුපියල් එක් කෝටි අසූ ලක්ෂයකට (1,80,00,000) අධික මුදලක් වංචා කළ අඹුසැමි යුවළක් සීදූව ප්‍රදේශයේදී අද (10) අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය පවසයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයකින් තොරව ‘රේන්බෝ නෙක්සස්’ (Rainbow Nexus) නමින් වංචනික ආයතනයක් පවත්වාගෙන යමින් සැකකරුවන් මෙම ජාවාරම මෙහෙයවා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.
මෙම සැකකාරිය විසින් පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 40 ක් වංචා කර ඇති බවට ලද පැමිණිලි 12 ක් මත විමර්ශන ආරම්භ වූ අතර, ඇය වසරකට අධික කාලයක් විමර්ශන නිලධාරීන් මඟහරිමින් සැඟවී සිටි බවයි එම කාර්යාංශය පවසන්නේ.
අදාළ සැකකාර කාන්තාව සීදූව ප්‍රදේශයේ රැඳී සිටින බවට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ තම නිලධාරීන් ඇය සමඟ මෙම වංචාවට සහාය වූ ඇගේ සැමියාවද අත්අඩංගුවට ගන්නා ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.
මෙම වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබී විදේශ රැකියා ලබාදීමට අදාළ වංචනික ගිවිසුම් 200 ක්, වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කළ ලිපි සහ එක්ස්-රේ (X-Ray) වාර්තා 300 ක්, ජාවාරම සඳහා යොදාගත් ප්‍රචාරක පත්‍රිකා රැසක් සොයා ගත් බවද එම කාර්යාංශය පවසනවා.
සීදූව ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක සිට මෙම මහා පරිමාණ ජාවාරම සිදුකර ඇති බවත් මොවුන් සිදු කර ඇති මුළු වංචාවේ අගය රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් (1,80,00,000) පමණ වන බවත් විදේශ සේවා නියුත්ති කාර්යාංශය පවසනවා.
සැකකරුවන් දෙදෙනා (2) හෙට (11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආරියසිංහගේ අධීක්ෂණය යටතේ, පොලිස් පරීක්ෂක ටී.බී. ද අල්විස්, පොලිස් සැරයන් දිසානායක, නීති ක්‍රියාත්මක කිරීමේ නිලධාරී අමිතා කුමාරි සහ ශ්‍රීනිකා කරුණාරත්න යන නිලධාරීන් මෙම වැටලීමට සහභාගී වුණා ෴
හැකි නම් පළාත් සභා ඡන්දය පවත්වන ලෙසට නාමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්
(10.02.2026 – hirunews.lk)
හැකිනම් පළාත් සභා ඡන්දය පවත්වන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ආණ්ඩුවට අභියෝග කරනවා.
තරුණ වැඩසටහනකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විමසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනුයි නාමල් රාජපක්ෂ මේ බව පැවසුවේ.
මහා සංඝරත්නය මර්දනය කරමින්, විරුද්ධ පක්ෂය මර්දනය කරමින් ඩයස්පෝරාවට අවශ්‍ය ආකාරයේ ගමනක් ආණ්ඩුව ගමන් කරන බවත් නමුත් ආණ්ඩුව මේ වන විට රටේ පොදු ජනතාවගෙන් සීඝ්‍රයෙන් ඈත් වෙමින් පවතින බවද ඔහු පෙන්වා දුන්නා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මෙසේද පැවසුවා.
ආණ්ඩුව හිතනවනම් විපක්ෂය මර්දනය කරලා මහා සංඝරත්නය මර්දනය කරලා මේ රටේ සංස්කෘතිය විනාශ කරලා ඩයස්පෝරාවට ඕන විදියට තමන්ගේ ප්‍රතිපත්ති තීන්දු තීරණ අරගෙන මැතිවරණයක් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා ආණ්ඩුව වැරදියි.
ඕනෑම වෙලාවක ඕනෑම මැතිවරණයකට අපි සූදානම්. ආණ්ඩුවට කයිවාරු ගහලා දඟලන්න දෙයක් නෑනේ. අපිට බැන බැන ඉන්නැතුව අර ප්‍රාදේශිය සභා මැතිවරණය තිබ්බ වගේ පළාත් සභා මැතිවරණ තිබ්බ නම් ඉවරයි.
එතකොට පළාත් සභා මැතිවරණයේදී ජනතාවට ලැබෙයි තමන්ගේ මනාපය ප්‍රකාශ කරන්න. එතකොට බලන්න පුළුවන් ආණ්ඩුව ඉන්න තැන.
“අපේ තරුණ සංවිධානය ලෝටස් මූමන්ට් එක හරහා මේ රටේ දේශපාලනික වශයෙන් අපේ කඳවුරත් එක්ක සම්බන්ධ සහ සිවිල් සමාජ එක්ක සම්බන්ධ තරුණ පිරිස් ඒකරාශි කරමින් ඉදිරි කාලසීමාව තුළින් එක පැත්තකින් පක්ෂ ගොඩනැගෙන්නෙ කොහොමද අද සහ ඔවුන්ගේ සිතුම් පැතුම් බලාපොරොත්තු සහ අවශ්‍යතාවයන් මේ රට ගොඩනගන්නෙ කොහොමද කියන ආකාරය පිළිබඳව අධ්‍යනයක් කරනවා. ඒ වගේම අපි දේශපාලනික වශයෙන් පෙළගැහෙන්න ‘ලෝටස් මූමන්ට්’ එකේ එක අදියරක විශාල පිරිසක් සම්බන්ධ වෙනවා. ඉතින් ඒ අයගෙ අදහස් අපි හුවමාරු කර ගන්නවා.
දැන් ඔය ලිපිගොනු ගැන අහන්න ඕනේ … යහපාලන ආණ්ඩුව වෙලාවෙ සල්ලි අරන් බොරු කිව්වේ … ඒ බොරු කියන්න ලියලා දීපු අයගෙන් තමයි ඉස්සරවෙලාම අහන්න ඕන.
මොකද දැන් පහුගිය යහපාලන ආණ්ඩුවේ හිටපු ප්‍රධාන ඇමතිවරයෙක් අද ප්‍රසිද්ධියේ කියනවා ජේවීපී එකට සමහර සිවිල් සංවිධානවලටයි සල්ලි දුන්නා රාජපක්ෂලාට මඩ ගහන්න කියලා.
හැබැයි ඒ කාලේ අපි දැක්කනේ ඩුබායි මැරියට් හෝටලේ ඉස්සරහට ගිහිල්ලා සෙල්ෆි වීඩියෝ දාපු අය. ඉතින් ඒ අයගෙන් තමයි අහන්න ඕන.
අපිට මතකයි මේ ආණ්ඩුවේ වර්තමාන ජනාධිපතිවරයා එදා කියනවා ‘සමහර නිලධාරීන් ෆයිල් හංගගෙන හිටියා මේ ජනාධිපතිවරයාගේ බලයට පැමිණීම සහ ඔවුන්ගේ ආණ්ඩුවක් හදනකන් මේ පරීක්ෂණ කටයුතුවලට සාධාරණයක් කරන්න’ කියලා.
ඒ පරීක්ෂණ කටයුතු සාර්ථකව කරන්න ඕන කියල ඒ ෆයිල් හංගපු අයගෙන් තමයි අහන්න ඕන. අර කැබ් එක මතකයිනේ … ඒක පිටිපස්සේ ෆයිල් මිටි ගණන් ගෙනාවා. ඉතින් කැබ් එක එළවපු කෙනාගෙන් තමයි අහන්න වෙන්නේ මොකක්ද ෆයිල්වලට උනේ කියලා.
තමන් සල්ලිවලට බොරු කියලා ඒ බොරු ඇත්ත කරන්න මේ රටේ පොලිසිය පාවිච්චි කරනවා. දූෂණ මර්දන කමිටුවක් කියලා ඒ කාලේ දාලා ඒකේ හිටපු ලේකම් අද පොලිස් ඇමති කරලා. උපරිම කඩේ යන පුද්ගලයෙක් පොලිස්පතිවරයා බවට පත් කරගෙන. ඒ පොලිස්පතිවරයාට තමන්ගේම බොරු ටික ඔප්පු කරන්න කියලා බලපෑම් කරලා අද ඒක ඔප්පු කරගන්න බැරි වෙනකොට දැන් එක එක ඒවා ‘මිසින්’ කියනවා.
මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය බලන්නකෝ … මහා සංඝරත්නයට සලකන විදිය, ත්‍රිකුණාමලය ස්වාමීන්වහන්සේ බුදුපිළිම තැන්පත් කිරීම සම්බන්ධව එක වෙලාවක කිව්වා … බුදු පිළිමය ආරක්ෂා කරන්න පොලිසියට වැඩමෙව්වා කියලා, බුදුපිළිමය ආරක්ෂා කරන්න ආපු හාමුදුරුවෝ රිමාන්ඩ් කරලා. මේක තමයි මේ අය මේ රටේ දේශපාලනික වශයෙන් බංකොලොත් වෙනකොට එක පැත්තකින් හාමුදුරුවන්ට අපහාස කරනවා, තව පැත්තකින් ආගමික නායකයන්ට අපහාස කරනවා, දේශපාලන පක්ෂ විවේචනය කරනවා. ඒ ඔක්කොම බැරිවෙලා ෆේල් වේගෙන යනකොට දැන් ඊළඟට කියනවා … මේ ෆයිල්වල මේක නැහැ කියලා අරක නැහැ කියලා නහයෙන් අඬනවා. ඉතින් අර ජනාධිපතිතුමා කෙදිරි ගන්න එපා කියලා තියෙන්නේ මේ අයටමයටම තමයි.
අපි ප්‍රශ්නවලටම බය නෑ. මොකද ප්‍රශ්නවලට උත්තර හොයනවා මිසක් අපි ප්‍රශ්නවලින් අයින් වෙන අය නෙවෙයි.
මේ රටේ තරුණ පරම්පරාවට අසීමිත විදියට බොරු කියලා රවට්ටලා තමයි පහුගිය ආණ්ඩුව බලයට ආවේ. ඒ තරුණයන් එක්ක සාකච්ඡා කරලා අපේ අදහස් හුවමාරු කර ගැනීම අප සතු වගකීමක් කියලා අපි විශ්වාස කරනවා. අපේ රටේ තරුණයින්,වැඩිහිටියන් සහ මේ රටේ පක්ෂ විපක්ෂ හැම කෙනෙක්ම තේරුම් අරගෙන තියෙනවා ‘මේ ආණ්ඩුව අපොහොසත් වෙලා තියෙනවා තමන්ගේ පොරොන්දු ඉෂ්ට කරන්න’ කියලා. බොරු කියපුව දැන් එකින් එක අහුවෙනව. ඒ අහුවෙනකොට තමයි ආණ්ඩුවේ අය කෙඳිරි ගාන්නේ සමහර වෙලාවට ෴
+
+
රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ කිරීමේ ජාතික මෙහෙයුම ඇරඹේ
(10.02.2026 – 16:47 +0530 – sinhala.adaderana.lk)
මෙරට ප්‍රමුඛ රාජ්‍ය ආයතන ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (NCSOC) සමඟ සම්බන්ධ කිරීම සඳහා වූ කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (10) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා සර්ට් (CERT) ආයතනය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණි. නුතන ලෝකයේ සයිබර් ආරක්ෂණය යනු තවදුරටත් හුදු තාක්ෂණික කරුණක් පමණක් නොව, එය ජාතික ආරක්ෂාව, ආර්ථික ස්ථායිතාව සහ පොදුජන විශ්වාසය කෙරෙහි සෘජුව බලපාන ජාතික වැදගත්කමකින් යුත් කරුණක් බව මෙහිදී අවධාරණය කෙරිණි.
එමෙන්ම, තොරතුරු යටිතල පහසුකම ක්‍රියාත්මක වන සියලු ආයතනවලට සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය හරහා රජයේ වැදගත් තොරතුරු සඳහා ප්‍රවේශය ලබා දීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරිණි.
මේ සඳහා අදාළ ප්‍රතිපත්තිමය තීරණය දැනටමත් ගෙන ඇති අතර, මෙම වසර අවසාන වන විට සෙසු රාජ්‍ය ආයතනද සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ කිරීම මෙහි දෙවන අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
එහිදී ප්‍රමුඛ රාජ්‍ය ආයතන සඳහා මූලිකත්වය හිමි වන අතර එම ආයතන ජාතික විගණන කාර්යාලය මගින් විගණනයට ලක් කිරීමටද යෝජනා විය.
මීට අමතරව, සියලුම රාජ්‍ය නිලධාරීන් ඩිජිටල් ආරක්ෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවද, ඒ සඳහා පුහුණු වැඩසටහන් නිසි අයුරින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කෙරිණි.
ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනේදී සයිබර් ඔරොත්තු දීමේ හැකියාව රාජ්‍ය පාලනයේ සහ සේවා සැපයීමේ මූලික අංගයක් ලෙස සැලකිය යුතු බවත්, රාජ්‍ය වෙබ් අඩවි විවෘත කිරීම, ‘රැන්සම්වෙයාර්’ ප්‍රහාර සහ තොරතුරු සොරකම් කිරීම වැනි සයිබර් තර්ජන හමුවේ අත්‍යවශ්‍ය සේවා බිඳ වැටීම වැළැක්වීමට සහ කළමනාකරණයට මෙම නව ක්‍රමවේදය මගින් අවස්ථාව සැලසෙන බවත් සඳහන් විය.
ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය මගින් රාජ්‍ය ආයතනවලට තත්කාලීන තර්ජන අධීක්ෂණය, පූර්ව අනතුරු ඇඟවීම් සහ විධිමත් සම්බන්ධීකරණයකින් යුත් ප්‍රතිචාර දැක්වීමේ පහසුකම් සැලසෙන බැවින්, මෙය හුදෙක් අනුකූලතා අභ්‍යාසයක් නොව ආයතනික විශ්වාසනීයත්වය වෙනුවෙන් කරන ආයෝජනයක් ලෙසද හඳුන්වා දෙන ලදී.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වර්ණ ශ්‍රී ධනපාල, ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ සභාපති තිලක් පතිරගේ, ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය කණිෂ්ක කරුණාසේන යන මහත්වරුද, ජනාධිපති කාර්යාලයේ සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ රජයේ වැදගත් තොරතුරු යටිතල පහසුකම් ක්‍රියාත්මක වන බවට හඳුනාගෙන ඇති රාජ්‍ය ආයතන 37 ක ප්‍රධානීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴