පාස්කු ප්‍රහාරය ගැන සිරිල් ගාමිණී පියතුමන්ගෙන් CIDයට තොරතුරු රැසක්

පාස්කු ප්‍රහාරය ගැන සිරිල් ගාමිණී පියතුමන්ගෙන් CIDයට තොරතුරු රැසක්


පාස්කු ප්‍රහාරය ගැන සිරිල් ගාමිණී පියතුමන්ගෙන් CIDයට තොරතුරු රැසක්

(19.04.2024 – 16:04 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් මේ වනවිට ඉන් පිටව ගොස් තිබෙනවා.

ඒ පැය 4 කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුවයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට එම දෙපාර්තමේන්තුව සිදුකළ කැඳවීමකට අනුවයි උන්වහන්සේ අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණේ.

එහිදී එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව පියතුමන් සඳහන් කර සිටියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර සොයාගත් තොරතුරු රැසක් මුලාශ්‍ර සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ බවයි.

ලබන ඉරිදාට පාස්කු ප්‍රහාරය එල්ල වී වසර 5 ක් සපිරෙන බව සඳහන් කළ උන්වහන්සේ ඒ වෙනුවෙන් පාගමනක්ද සංවිධානය කර ඇති බවත්, සියලු ජනතාවට ඒ සමග එක්වෙන ලෙසත් එහිදී ආරාධනා කර සිටියා ෴

+++++++++

+


ප්‍රශ්නගත ඖෂධ සිද්ධියට අදාළව තවත් පෙත්සමක්

(19.04.2024 – 10:53 +0530 – sinhala.adaderana.lk)

‘හියුමන් ඉමියුනෝග්ලෝබියුලීන්’ ඇතුළු ඖෂධ වර්ග කිහිපයක් නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මිලදී ගැනීම තුළින් මුලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවට නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ‘ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ සංවිධානය විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු 66 දෙනෙකු වග උත්තරකරුවන් ලෙස නම් කර ඇති බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

එම ඖෂධ මිලදි ගැනීමේ ක්‍රියාවලියේදී මුල්‍යමය හෝ වෙනත් වාසි ලබාගත් පුද්ගලයින් හඳුනාගැනීම සඳහා විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්කාර පාර්ශ්වය ඉල්ලා තිබේ.

එමෙන්ම වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් වන්දි අයකිරිමේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද අදාළ පෙත්සමෙන් ඉල්ලා ඇති බව ‘අද දෙරණ’ අධිකරණ වාර්තාකරු පැවසීය.


ස්ථාන දෙකකදී (2) ඝාතන දෙකක් (2)

(19.04.2024 – 11:14 +0530 – sinhala.adaderana.lk)

කුලී නිවසක පදිංචිව සිටි පුද්ගලයෙකුව ඊයේ (18) රාත්‍රියේ ඝාතනය කර තිබේ.

ඇඹිලිපිටිය මඩුවන්වෙල ජනපද ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර ඇත.

ඔහු කෑල්ල, කොලොන්න ප්‍රදේශයේ පදිංචිය සහිත පුද්ගලයෙකි.

එම පුද්ගලයා අදාළ කුලී නිවසේ තනිව පදිංචිව සිටිමින් ඉදල් සහ කොසු නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර තියුණු ආයුධයකින් පහරදී ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

+

මේ අතර ඊයේ (18) උදෑසන අරලගංවිල පිඹුරත්තෑව වැවේ මුල්ගල තොටුපලේ පාවෙමින් තිබූ පුද්ගල මළසිරුරක් සොයාගෙන ඇත.

මියගොස් ඇත්තේ 41 හැවිරිදි මුල්ගල යාය 01 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු පසුගිය 17 වනදා පිඹුරත්තෑව වැවට ධීවර කටයුතු සඳහා ගොස් ඇති අතර එහිදී තවත් පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ සමග මත්පැන් පානය කර ඇති බවත් එම අවස්ථාවේදී ඇතිවූ පුද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් ඔවුන් විසින් හබලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවටත් අනාවරණයවී ඇතැයි පොලීසිය පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් 67 හැවිරිදි සැකකරු සහ 47 හැවිරිදි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත ෴


ඉංජිනේරුවා ඝාතනයේ වරදකරුවෙක් වසර 35 කට පසු හසුවෙයි

(19.04.2024 – 13:40 +0530 – sinhala.adaderana.lk)

මීට වසර 35 කට පමණ පෙර ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවෙකු ව ඝාතනය සම්බන්ධයෙන් මරණ දණ්ඩනය හිමි වූ වරදකරුට ව්‍යාජ උප්පැන්න සහතිකයක් සහ ජාතික හැඳුනුම්පතක් සකස් කිරීමට උදව්කළ පුද්ගලයින් සොයා පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

තම බිරිඳ සමග ඇතිකරගෙන තිබූ අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ සේවය නිරතව සිටි ඉංජිනේරුවෙක් ව අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස් සඟවා තැබීම සම්බන්ධයෙන් ඔහුට මහාධිකරණ මගින් මරණ දඩුවම නියම කර තිබුණි.

වසර 35 ක් පමණ සැඟව සිටි ප්‍රධාන සැකකරු පූගොඩ ප්‍රදේශයේ දී ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය’ මගින් අත් අඩංගුවට ගැනුණි.

පසුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ව ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (19) දින නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ 68 හැවිරිදි කොළඹගේ සරත්චන්ද්‍ර සුමනසේකර නොහොත් නන්දන සුමනසේකර නමැති පුද්ගලයෙකි.

සැකකරු උප්පැන්න සහතිකය සහ ජාතික හැඳුනුම්පත මියගිය පුද්ගලයෙකුගේ නමින් ව්‍යාජව සකස් කර පාවිච්චි කර ඇතැයි ද තහවුරු වූ බව පොලිස් නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඩුවම ලැබූ මෙම ප්‍රධාන සැකකරුගේ බිරිඳව ද ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය’ මගින් ඉකුත් පෙබරවාරි මාසයේදී බණ්ඩාරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන හෝමාගම මහාධිකරණය ට ඉදිරිපත් කිරීමෙන් පසු අභියාචනයක් ඉදිරිපත් කළ සැකකාරියක ලෙස බන්ධනාගාරගත කිරීමට මහාධිකරණ නියෝග කළේය.

එකළ අතුරුගිරිය පොලිස් වසමේ පනාගොඩ ඇඹුල්ගම මාර්ගයේ වැලිපිල්ලෑව ශ්‍රි සුමන මාවතේ නිවසකට මරණකරුව ගෙන්වා ගෙන බිරිඳ සමගින් එක් වී මෙම සැකකරු විසින් එම ඝාතනය සිදුකර තිබුණි.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් නොවීම නිසාවෙන් විත්තිකරුවන් නොමැතිව නඩුව විභාගයට ගෙන ඉකුත් 2019 වර්ෂයේදී සැකකරුවන් දෙදෙනාටම (2) මහාධිකරණ මගින් මරණ දඬුවම නියම කළේය ෴

++++++++

+


පොලීසියෙන් බේරෙන්න දිවගිය දෙදරු පියාට දිවි අහිමි වෙයි

(19.04.2024 – 16:21 +0530 – sinhala.adaderana.lk)

කොට්ටාව, රුක්මලේ ප්‍රදේශයේදී පිරිසක් ඊයේ (18) රාත්‍රි මුදල් ඔට්ටුවට කැට සෙල්ලම් කරමින් සිටි ස්ථානයකට පොලීසිය කඩා පැන තිබේ.

එම අවස්ථාවේ දී කලබල වී දිවගිය පුද්ගලයෙකු ජලය පිරි ගල්වළකට වැටී මියගොස් ඇතැයි හෝමාගම පොලීසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ හෝමාගම නගර සීමා මාවත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 42 හැවිරිදි කුලී වැඩවල නිරතව සිටි දෙදරු පියෙකි.

පිරිස මුදල් ඔට්ටුවට කැට සෙල්ලමේ යෙදී සිටියදී මෙලෙස එක්වරම පොලීසිය එම ස්ථානයට පැමිණීමත් සමග මිය ගිය පුද්ගලයා සමගින් තවත් තිදෙනෙකු (3) දිව ගොස් ජලය පිරී තිබූ ගල්වලෙහි අඩි තිහක (30) පමණ උඩ සිට ගල්වළට පැන තිබිණි.

ඒ අතුරින් තිදෙනෙකු (3) පිහිනා ගල්වළින් ගොඩ වී නිවෙස් වෙත ගොස් ඇතත් එක් අයෙකු (1) නිවසට ගොස් නොතිබූ බව පොලීසිය පවසයි.

පසුව ඇති වූ සැකය මත ප්‍රදේශවාසීන් විසින් ගල්වළෙහි පිරී තිබු ජලය පොම්පයක් ආධාරයෙන් ඉවත් කිරීමේ දී මියගිය පුද්ගලයාගේ දේහය ගල්වළ තුළ සිරවී තිබෙනු දැක පොලීසිය දැනුවත් කර ඇත.

එම ස්ථානයට පැමිණි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් මූලික පරීක්ෂණ කටයුතු සිදුකිරීමෙන් පසු දේහය ඥාතීන් වෙත භාරදීමට කටයුතු කර තිබේ.

හෝමාගම මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි ෴


සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම

(19.04.2024 – 17:26 +0530 – sinhala.adaderana.lk)

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු 25 වනදා තරග විභාගයක් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් (4) ගොනු කරනු ලැබූ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව එම තරග විභාගය පැවැත්වීමට පෙර 2023 මාර්තු 23 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවන ලද අතුරු තහනම් නියෝගය හේතු කොටගෙන පැවැත්වීමට නියමිත ව තිබූ තරග විභාගය අත්හිටවනු ලැබීය.

මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ එම පෙත්සම් විභාග වෙමින් පවතින හෙයින් ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන තීන්දුව අනුව සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි ෴


බොරුකාරයන්ට අහුවෙන්න එපා – ‘ශ්‍රී ලංකා තැපෑල’ SMS එවන්නේ නෑ

(19.04.2024 – 18:14 +0530 – sinhala.adaderana.lk)

දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු SMS පණිවුඩයක් ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදුකර නොමැති බව තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී. සත්කුමාර මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ, එහෙත් වංචනිකව සකස් කළ වෙබ් අඩවියක් සහ උපක්‍රමිකව සකස් කරගත් ව්‍යාජ ජංගම දුරකථන අංක යොදා ගනිමින් මහජනතාව රවටන වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවය.

‘ශ්‍රී ලංකා තැපෑල, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව, SL POST, Sri Lanka Post’ ආදි නම් භාවිත කරමින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ද උපක්‍රමිකව අවභාවිත කරමින් මෙම ජාවාරම ක්‍රියාත්මක වන බව පැවසේ.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ කෙටි පණිවුඩ මඟින් කාඩ්පත් තොරතුරු විමසීමක් කිසිසේත් සිදුනොකරන අතර ණය කාඩ්පත් මඟින් පාර්සල් සම්බන්ධ කිසිදු ගනුදෙනුවක් සිදුනොකෙරේ.

මහජනතාව වෙත ලැබෙන කෙටි පණිවුඩයක් සඳහා සිය ණය කාඩ්පත් දත්ත වෙබ් අඩවියකට හෝ කෙටි පණිවුඩයක් මඟින් හෝ වෙනත් කිසිදු ආකාරයකින් ලබාදීම සිදුනොකරන ලෙසද තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

පහත සඳහන් දුරකථන අංක මඟින් වැඩිදුර විස්තර ලබාගත හැකියි.

තැපැල් දෙපාර්තමේන්තු උපකාරක සේවාව : 1950

තොරතුරු තාක්ෂණ අංශය : 011 254 2104 / 011 233 4728 / 011 233 5978 / 011 268 7229 / 011 233 0072


ගැබිනි මවක් මගී යාත්‍රාව තුළ දරුවෙකු ප්‍රසුත කරයි

(19.04.2024 – 18:53 +0530 – hirunews.lk/sinhala)

යාපනය, නාගදීප ප්‍රදේශයේ ප්‍රසව වේදනාවෙන් සිටි මවක් මුහුදු මාර්ගයෙන් රෝහලට රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුළ බිළිදා ප්‍රසුත කර තිබෙනවා.

අනතුරුව මව සහ බිළිඳා කූරිකඩ්ඩුවාන ජැටිය වෙතට රැගෙන විත් ගිලන්රථයක් සමගින් යාපනය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

මෙම කාන්තාව ප්‍රසව වේදනාවෙන් සිටි අවස්ථාවේ දී ‘ගිලන් මුහුදු යාත්‍රාවක්’ නොමැති වීම හේතුවෙන් නාගදීප වන්දනා කිරීම සඳහා යාත්‍රා කරනු ලබන මගී යාත්‍රාව තුළින් ඇයව රෝහලට ගෙනයාමට කටයුතු කර තිබෙනවා.

දරුවා ප්‍රසව කිරීමට සුදානම්වන අවස්ථාවේ දී මගී යාත්‍රාවේ සිටි පිරිමි පුද්ගලයින් සියල්ල උඩුමහලට ගොස් කාන්තාවන් සියල්ල යාත්‍රාවේ යටි මහලේ සිට එම මවට දරුවා ප්‍රසූත කිරීමට සහය ලබාදීමෙන් පසුව දරුවා ප්‍රසූත කොට ඇති බවයි සඳහන් වන්නේ ෴


ඉරාන ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඔත්තු සේවා අවධානය

(19.04.2024 – 21:08 +0530 – hirunews.lk/sinhala)

උමා ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීමට ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ලබන බදාදා (24) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඉරාන ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක්ද ක්‍රියාත්මක අතර ඒ පිළිබඳව සොයා බැලීමට ඉරාන ජ්‍යෙෂ්ඨ ආරක්ෂ අංශ සාමාජිකයන් පිරිසක්ද පසුගියදා මෙරටට පැමිණ තිබුණා.

මෙවන් පසුබිමක ඉරාන ජනපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් අමෙරිකාව ශ්‍රි ලංකා රජයට විරෝධය පල කර ඇති බවටද මාධ්‍ය වාර්තා පලවනවා.

රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කලේ ඉරාන ජනපතිගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් ‘ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවාව’ සහ ‘අමෙරිකානු එෆ් බී අයි ඔත්තු සේවාව’ විමසිල්ලෙන් පසුවන බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Father Gamini, CID & Easter Massacre. I bet the reason for this interview was Ranil’s way of trying to show catholic people that he cares . But in reality in his foxy way he is trying to canvass their votes. It is another ploy, just like the other main parties promises that they will investigate and bring to justice the Easter Massacre masterminds. Ranil was one of the leaders that neglected their duties of the security of this country during and before the massacre. I do not expect any positive outcome or action from these lying politicians. This enthusiasm would peter away after the forthcoming Presidential election and we would find that politicians would have made fools of us the citizens yet again. Damn this system of government and administration in this god forsaken country.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *