සඟ සමුළුව කඩාකප්පල් කරන්න බොරු ප්‍රචාර පතුරුවනවා – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
සඟ සමුළුව කඩාකප්පල් කරන්න බොරු ප්‍රචාර පතුරුවනවා – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
(19.02.2026 – hirunews.lk)
හෙට (20) පැවැත්වීමට නියමිත මහා සංඝ සමුළුව සම්බන්ධයෙන් සහ තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් අසත්‍ය කරුණු ප්‍රචාරය වෙමින් පවතින බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.
කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ, තමන් වහන්සේද හෙට (20) දිනයේදි අනිවාර්යයෙන් සඟ සමුළුවට සහභාගි වන බවයි.
සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වාර්තාවල දැක්වුණේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රෝගී වී රෝහල්ගතව සිටින බවත්, ඒ හේතුවෙන් හෙට (20) පැවැත්වීමට නියමිත සංඝ සමුළුව නොපැවැත්වෙන බවයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, “සමහරු කියනවා මට මහලු වයස, මම මැරෙන්න ළඟයි වගේ දේවල්. ඒත් මට කියන්න තියෙන්නේ, ඒ හැමදේම මම ‘ඩ්‍රොප්’ කළා. මට තවම මේ රටේ ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන්, සමාජය වෙනුවෙන් සහ අපේ ජනතාව වෙනුවෙන් ජාති, ආගම්, කුලභේදයකින් තොරව කතා කිරීමේ ශක්තිය සහ හැකියාව තවමත් තියෙනවා.” යනුවෙන්.
ඇතැම් පිරිස් මෙම සමුළුව කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙවැනි බොරු ප්‍රචාර පතුරුවන බව පෙන්වා දුන් උන්වහන්සේ, හෙට (20) දිනයේදී තමන් වහන්සේ අනිවාර්යයෙන්ම මහා සංඝ සමුළුවට සහභාගී වන බව සඳහන් කළා.
+++
+
හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 10 ක් හිරේට
(19.02.2026 – lankadeepa.lk)
ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් වංචනික ලෙස කූඨ ලේඛණ සකස් කරන ලද නීතිඥවරයකුට සහ ඔහුට සහාය දැක්වූ පුද්ගලයකුට විරුද්ධව හලාවත මහාධිකරණයේ විභාග වූ නඩුවකදී සැකකාර නීතිඥවරයාට සහ ඔහුට සහාය වූ අනෙක් පුද්ගලයා වරදකරු බවට තීන්දු කළ අධිකරණය සැකකරුවන්ට බරපතල වැඩ ඇතිව වසර දහයක (10) සිර දඬුවම් සහ රුපියල් ලක්ෂය (100,000) බැගින් දඩ මුදල්ද පැමිණිල්ලේ පළමු (1) සාක්ෂිකාරියට රුපියල් ලක්ෂ අට (800,000) බැගින් වන්දි ගෙවීමට හලාවත මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසිංහ විසින් නියම කළාය.
මෙසේ චෝදනා ලැබුවේ අදාල නඩුවේ පළමු (1) විත්තිකරු වන ‘රම්පටි දේවගේ සමන් කුමාර’ නමැති පුද්ගලයකු සහ දෙවන (2) විත්තිකරු වන ‘වර්ණකුලසූරිය ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දු’ නමැති නීතිඥවරයෙකි.
නඩුවේ දෙවන (2) විත්තිකරු වන නීතිඥවරයා නොතාරිස්වරයෙක් ද වන අතර වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කරන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසීය.
ඔහු තිදරු පියකු වන අතර ඔහුගේ දරුවන් දෙදෙනෙක් නීතිය හදාරමින් සිටින බවද ඔහුගේ නීතිඥවරයා පැවසීය.
2009 මාර්තු මස 03 හෝ ඊට ආසන්න දිනකදී පුද්ගලයකුට අයත් ඉඩමක් තවත් අයකුට සින්නක්කර ඔප්පුවක් මගින් පවරා දෙන බවට වංචනික ලෙස කූට ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබුණි.
මෙම නඩුවේ විත්තිකරුවන් දෙදෙනාට (2) චෝදනා පහක් (5) යටතේ නීතිපති විසින් අධි චෝදනා ගොනුකර තිබුණි.
මෙම නඩුවේ විත්තිකරුවන් දෙදෙනාටම (2) විරුද්ධව නගා තිබූ චෝදනා සියල්ලටම ඔවුන් වරදකරුවන් කරමින් මහාධිකරණ විනිසුරුවරිය නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළාය ෴
මූල්‍ය වංචාවකට, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක් අල්ලයි
(19.02.2026 – hirunews.lk)
රුපියල් දෙකෝටි විසිහත් ලක්ෂයක (2,27,00,000) මූල්‍ය වංචාවකට අදාලව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දෙහිවල ප්‍රදේශයේදී ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෛද්‍යවරයෙකු සිදුකළ පැමිණිල්ලකට අදාළවයි.
මෙම කාන්තාව පසුගිය වසරේදී (2025) වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක ලෙස කටයුතු කළ අවස්ථාවේ වෙන්දේසියකින් මෝටර් රථයක් ලබාදෙන බව පවසා වෛද්‍යවරයාගෙන් මෙම මුදල වංචා කර ඇති බව අනාවරණ වී තිබෙනවා ෴
රු. කෝටි 900 ක මූල්‍ය වංචාකට මූල්‍ය සමාගමක හිටපු අධ්‍යක්ෂවරයෙකුට ඇප
(19.02.2026 – hirunews.lk)
මෙරට පෞද්ගලික මූල්‍ය ආයතන දෙකක (2) තැන්පත්කරුවන් දහසකට (1000) අධික පිරිසකගේ රුපියල් කෝටි 900 කට අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු (පස්වන සැකකරු) රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (19) නියෝග කළා.
ඇප නියම වූ සැකකරුට සෑම මසකම අවසන් ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ද අධිකරණය නියම කළා.
සිද්ධියට අදාළව දැනට ඇප මත පසුවන අටවන සැකකරු (හිටපු අධ්‍යක්ෂවරයෙකු) මහේස්ත්‍රාත්වරයා හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා මෙහිදී අධිකරණයට දන්වා සිටියා.
මෙහිදී වැඩිදුර වාර්තාවක් ගොනු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ මෙම වංචාව සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යක්ෂවරුන් ඇතුළු සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇප මත පසුවන බවයි.
සැකකරුවන් විසින් වංචා කළ මුදල්වලින් අනුරාධපුරය ඇතුළු ප්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්හල් ඇතුළු දේපළ මිලදී ගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇති බැවින්, ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව විමර්ශන නිලධාරීහු පැවසූහ.
ඒ අනුව, අදාළ දේපළ තහනම් කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ද ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
එම ඉල්ලීමට අදාළ නියෝගය ලබා දීම හෙට (20) දින දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය ෴
ඔන්ලයින් දේශනවලට එරෙහිව අග්නිදිග සරසවි කළමනාකරණ සිසුන් අඛණ්ඩ විරෝධතාවක
(19.02.2026 – hirunews.lk)
අග්නිදිග විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ පීඨයේ අධ්‍යයන කණ්ඩායම් දෙකක් සඳහා මාර්ගගත (Online) ක්‍රමයට දේශන පැවැත්වීමට පීඨ පරිපාලනය ගෙන ඇති තීරණයට එරෙහිව සිසුන් ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවය අදත් (19) ක්‍රියාත්මක වෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ, ඊයේ (18) දහවල් විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිටින් ආරම්භ වූ මෙම විරෝධතාවයට සිසුන් 200 කට අධික පිරිසක් එක්ව සිටි බවයි.
2026 වසර සඳහා පීඨ පරිපාලනය විසින් හඳුන්වා දී ඇති මෙම මාර්ගගත දේශන ක්‍රමය හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බව සිසුන් පෙන්වා දෙන අතර, බොහෝ සිසුන් සතුව මාර්ගගත දේශන සඳහා අවශ්‍ය ලැප්ටොප් හෝ ස්මාර්ට් දුරකථන නොමැති වීම සහ ප්‍රමාණවත් අන්තර්ජාල පහසුකම් නොමැති වීම, ඔන්ලයින් ක්‍රමය නිසා විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා, පුස්තකාල පහසුකම් සහ අනෙකුත් බාහිර වැඩසටහන්වලට සහභාගී වීමට ඇති අවස්ථාව අහිමි වීම යන කරුණු මෙන්ම,
භෞතික දේශන මගින් ලැබෙන අධ්‍යාපන අත්දැකීම මෙමගින් නොලැබෙන බවට සිසුන් චෝදනා කරනවා.
මාර්ගගත දේශන වෙනුවට භෞතිකව දේශන පවත්වන ලෙස සිසුන් කිහිප වරක්ම ඉල්ලීම් කළ ද පීඨ පරිපාලනයෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත්, යේ දහවල් බලධාරීන් සමඟ පැවති සාකච්ඡා ද එකඟතාවයකින් තොරව අවසන් වීමත් සමඟ සිසුන් සිය විරෝධතාවය දැඩි කිරීමට තීරණය කළ බවයි වාර්තාකරු සඳහන් කළේ ෴
මීරිගම ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් : දිට්වා ආධාර සඟවාගෙන ඇති බවට විපක්ෂයෙන් චෝදනා
(19.02.2026 – hirunews.lk)
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා එකතු කළ ආධාර තොගයක් බෙදා නොදී ප්‍රදේශීය සභා උප සභාපතිවරයාගේ නිල කාමරයේ ගබඩා කර තබා ඇතැයි පවසමින් මීරිගම ප්‍රදේශීය සභාවේ අද (19) උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
මීරිගම ප්‍රදේශීය සභාවේ මාසික රැස්වීම අද පැවැත්වුණු අතර, එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මෙම ප්‍රශ්නය මතු කිරීමත් සමඟ සභාවේ නොසන්සුන්තාවයක් හටගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
විපක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ, දිට්වා සුළි කුණාටුව ඇති වී මේ වන විට මාස දෙකහමාරකට (2½) ආසන්න කාලයක් ගත වී ඇති බවයි.
විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා එකතු කරන ලද ආධාරවලින් කොටසක් මෙලෙස සභා පරිශ්‍රයේම ඇති උප සභාපතිවරයාගේ කාමරයේ ගබඩා කර තබා ඇත්තේ කුමන හේතුවක් නිසාද යන්න ඔවුන් එහිදී ප්‍රශ්න කරනු ලැබුවා.
+
අකුරේගොඩ නීතිඥ යුවළ ඝාතනය ගැන ‘පොල්ගස්ඕවිට ඩිලා’ ගෙන් දීර්ඝ පාපොච්චාරණයක්
(19.02.2026 – hirunews.lk)
අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය සම්බන්ධයෙන් ආධාර අනුබලදීමේ චෝදනාවට රඳවාගෙන ප්‍රශ්න කෙරෙන ‘දිලින ප්‍රමෝද්‍ය හපුආරච්චි’ හෙවත් ‘පොල්ගස්ඕවිට ඩිලා’ නමැති සැකකරුගෙන් ඝාතනය පිළිබඳ තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.
ඝාතනය සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා (2) පන්නිපිටිය සහ පිංහේන ප්‍රදේශයේ ලැගුම්හල් දෙකක (2) නවාතැන් ගෙන ඇති බවත්, ඔවුන්ට ගිනිඅවි රැගෙන ගොස් ඇත්තේද ‘පොල්ගස්ඕවිට ඩිලා’ නමැත්තා බවයි අනාවරණ වී ඇත්තේ.
ඔහුට ‘මල්වානේ ටුටූ’ නමැති සංවිධානාත්මක අපරාධකරු සම්බන්ධවී ඇත්තේ මීට වසරකට (1) පෙර බවත්, එතැන් සිට වට්ස්ඇප් ඔස්සේ ‘ඩිලා’ සහ ‘ටුටූ’ යන දෙදෙනා (2) සබඳතා ගොඩනගා ගෙන තිබෙනවා.
දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ‘දොලේකනත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු’ විසින් ‘පොල්ගස්ඕවිට ඩිලා’ නමැත්තාට ‘මල්වානේ ටුටූ’ නමැති සංවිධානාත්මක අපරාධකරු ප්‍රථමවරට දුරකථනය ඔස්සේ සම්බන්ධ කරදී තිබුනා.
‘පොල්ගස්ඕවිට ඩිලා’ නැමැත්තා වෙඩික්කරුවන් සම්බන්ධයෙන් ද තොරතුරු රැසක් විමර්ශන නිලදාරීන් හමුවේ අනාවරණ කර තිබෙනවා.
ඒ අනුව ඝාතනය සඳහා පැමිණි වෙඩික්කරුවන් පන්නිපිටිය හා පිංහේන ප්‍රදේශයේ ලැගුම් හල් දෙකක (2) ඝාතනයට පෙර දින රැඳී සිට ඇති බවයි ‘ඩිලා’ නමැත්තා සිය පාපොච්චාරණයෙන් ප්‍රකාශ කර ඇත්තේ.
මෙම ඝාතනයට අදාළ කටයුතු මෙහෙයවීම සඳහා ‘මල්වානේ ටුටූ’ විසින් ‘ඩිලා’ නමැත්තාට රුපියල් ලක්ෂ 2 කට අධික මුදලක් සහ ‘අයිස් මත්ද්‍රව්‍ය’ ලබාදී ඇති බවට තොරතුරු අනාවරණ වී තිබුණත් ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ තමන්ගේ බැංකු ගිණුම්වලට බැරකර ඇති මුදල කොපමණද යන්න පිළිබඳව තමා නොදන්නා බවයි.
එමෙන්ම, ඝාතනයට පෙර දින එනම් පසුගිය 12 වැනිදා වෙඩික්කරුවන්ට ටී-56 ගිනිඅවිය සහ පිස්තෝල වර්ගයේ ගිනි අවිය පරීක්ෂා කිරීම සඳහා රැගෙන ගොස් ලබාදී ඇත්තේද ‘පොල්ගස්ඕවිට ඩිලා’ නමැත්තා විසින් බව අනාවරණ වී තිබෙනවා.
මේ අතර, නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ සිය මෝටර් රථයෙන් ගමන් ගන්නා ස්ථාන සහ ඊට අදාළ තොරතුරු වෙඩික්කරුවන් වෙත ලබාදීම සඳහා නීතිඥවරයාගේ මෝටර් රථයේ අංකය ද ‘මල්වානේ ටුටූ’ විසින් ‘ඩිලා’ නමැත්තාට ලබාදී තිබෙනවා.
ඝාතනය සිදුවූ දින ගිනිඅවි ප්‍රවාහනය කළ සහ මෙම අපරාධයට ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ දැනට අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතුරුගිරියේ පදිංචි එකම පවුලේ සහෝදරයින් දෙදෙනා (2) ද ‘පොල්ගස්ඕවිට ඩිලා’ නමැත්තාට සම්බන්ධ කර දී ඇත්තේ ‘මල්වානේ ටුටූ’ නමැත්තා විසින් බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
‘පොල්ගස්ඕවිට ඩිලා’ නැමැත්තාගේ රැඳවුම් නියෝග හෙටින් අවසන් වීමට නියමිත අතර සැකකරු යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
කුලියට ගත් කැබ් රථයට ව්‍යාජ ලේඛන හදා රු. ලක්ෂ 50 කට උකස් කළ පුද්ගලයා රිමාන්ඩ්
(19.02.2026 – hirunews.lk)
වාහන කුලියට ලබාදෙන ආයතනයකින් ලබාගත් කැබ් රථයකට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර, රුපියල් ලක්ෂ 50 ක මුදලකට උකස් කළ බව කියන පුද්ගලයෙකු ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක ඉලංගරත්න අද (19) නියෝග කළා.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්.
මොරගහහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මොරගහහේන පොලිසිය සහ හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය එක්ව පෙරේදා (18) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
සැකකරු විසින් ගල්කිස්ස ප්‍රදේශයේ වාහන කුලියට ලබාදෙන ආයතනයකින් කැබ් රථයක් ලබාගෙන ඇති අතර, පසුව එහි ලියාපදිංචි සහතික ඇතුළු ලිපි ලේඛන තමාගේ නමට ව්‍යාජ ලෙස සකස් කර ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
එසේ සකස් කළ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර පැමිණිලිකාර මොරගහහේන ප්‍රදේශයේ පදිංචිකරුට රුපියල් ලක්ෂ 50 ක මුදලකට මෙම වාහනය උකස් කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වු බවයි පොලිසිය අධිකරණයට කරුණු සඳහන් කළේ.
මෙම වාහනය ව්‍යාජ ලේඛන සහිත එකක් බව හඳුනා ගැනීමෙන් පසු පැමිණිලිකරු විසින් 2025 වර්ෂයේදී මේ පිළිබඳ පොලිසියට පැමිණිලි කර ඇති බවත්, ඒ අනුව සිදුකළ දීර්ඝ විමර්ශනයේදී හෙළි වී ඇත්තේ, අදාළ කැබ් රථය අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් එකක් බවත් ඔහු විසින් එය ගල්කිස්සේ පිහිටි වාහන කුලියට දෙන ආයතනයට ලබාදී තිබූ එකක් බවත් පොලිසිය සඳහන් කරනවා.
අදාළ වංචාව සිදුකිරීමෙන් පසු සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ පොලිසිය මගහරිමින් සැඟව සිට තිබූ බවට වාර්තා වුණා.
පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා සහ හොරණ සහකාර පොලිස් අධිකාරී බී. ඒකනායක යන නිළධාරීන්ගේ උපදෙස් මත හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික නවරත්න සමඟ පොලිස් සැරයන්වරුන් වන ජයන්ත (58653), සංජීව (71385), අසංක (71389) සහ කාන්තා පොලිස් සැරයන් දිලීපා (2015) යන නිලධාරීන් මෙහි විමර්ශනවලට එක්වූණා ෴
ඉතාලි සිහින පෙන්වා මුදල් වංචා කළැයි එකම පවුලේ දෙදෙනෙක් (2) දැලේ
(19.02.2026 – hirunews.lk)
ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 23 ක මුදල් වංචාවක් සිදු කළ විදුලිබල මණ්ඩලයේ සේවයේ නියුතු එකම පවුලේ සහෝදරියක සහ සහෝදරයෙකු හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත් අඩංගුවට පත් වී ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 46 කාන්තාවක් සහ 36 හැවිරිදි වියේ පසුවෙන ඇගේ සහෝදරයායි.
ඉංගිරිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මේ පිළිබඳ විමර්ශන ආරම්භ කළ බව පොලිසිය පවසනවා.
සැකකරුවන්ගේ සහෝදරියක් ඉතාලියේ සිටින අතර පැමිණිලිකාරිය එම කාන්තාවගේ මිතුරියක් බවයි පොලිසිය පවසන්නේ.
ඉතාලියේ සිටින සහෝදරිය මාර්ගයෙන් පැමිණිලිකාර කාන්තාවට ඉතාලි රටේ රැකියාවක් ලබා දෙන බව පවසා 2025 වසරේදී මෙම සැකකරුවන් දෙදෙනා (2) විසින් රුපියල් ලක්ෂ 23 ක මුදලක් ඔවුන්ගේ ගිණුම් වලට බැංකු ගත කරගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.
එහෙත් ඇයව ඉතාලි රටට නොයවා මග හැරීමට කටයුතු කිරීම නිසා මෙම කාන්තාව විසින් පැමිණිලි කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වෙනවා.
සැකකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමෙන් පසු දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන ලද විමර්ශනයක් මගින් මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි පොලිසිය පවසන්නේ.
සැකකාර සහෝදරයා මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ එක හමාරක (1½) මුදලක් ගෙවීමට කටයුතු කිරීම නිසා ඇප මත මුදාහැරීමට නියෝග කර ඇති අතර 18 දා අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය 19 දා හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 05 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක ඉලංගරත්න මහතා විසින් නියෝග කර තිබුණා.
පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ අධීක්ෂණය මත හොරණ සහකාර පොලිස් අධිකාරී බී. ඒකනායකගේ උපදෙස් පරිදි හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික නවරත්න, පොලිස් පරීක්ෂක නාකන්දල, පොලිස් සැරයන්වරුන් වන (58653) ජයන්ත, (71385) සංජීව, (71389) අසංක, කාන්තා පොලිස් සැරයන් (2015) දිලීපා යන නිලධාරීන් මේ පිළිබඳ විමර්ශන සිදු කළා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴