ඉඩම් ආරවුලක් විසඳන්න ගිය ‘පොලිස් හොරා’ ‘හොර පෙමක’ පැටලිලා

ඉඩම් ආරවුලක් විසඳන්න ගිය ‘පොලිස් හොරා’ ‘හොර පෙමක’ පැටලිලා


ඉඩම් ආරවුලක් විසඳන්න ගිය ‘පොලිස් හොරා’ ‘හොර පෙමක’ පැටලිලා

(19.04.2024 – 06:28 +0530 – hirunews.lk/sinhala)

‘ස්විට්සර්ලන්ත කාන්තාවක’ සමඟ පෙමින් බැඳී රුපියල් ලක්‍ෂ 60 ක් හා රන් භාණ්ඩ තොගයක් වංචා කළ යාපනය පොලිසියේ පොලිස් නිලධාරියකු 16 දා සිට අතුරුදන් වී ඇති බව පොලිසිය පවසනවා.

යාපනයේ පදිංචිව සිටි ‘ස්විට්සර්ලන්තය තරුණියක්’ (?) ස්විට්සර්ලන්තයට ගොස් එහි ජීවත් වන අතරවාරයේ ඇගේ ඉඩකඩම් කීපයක් පවුලේ ඥාතීන් විසින් ඇයට හොර රහසේ වංචනික ලෙස ඔවුන්ගේ නම්වලට හරවා ගෙන ඇති අතර මීට වසර තුනකට (3) පමණ ඉහතදී ඇය ස්විට්සර්ලන්තයේ සිට යාපනයට පැමිණි අවස්ථාවක ඒ සම්බන්ධයෙන් යාපනයේ පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

පැමිණිල්ල විභාග කිරීමට ගිය පොලිස් නිලධාරියා හා එම කාන්තාව අතර ඉතා සමීප සබඳකමක් හට ගෙන ඇති අතර පසුව එය ආදරයක් දක්වා වර්ධනය වී ඇති බවයි එම කාන්තාව පොලිසියට සඳහන් කර ඇත්තේ.

ඇයට ආදරය කළ බව කියන පොලිස් නිලධාරියා එක් ඉඩමක අයිතිය ආපසු කාන්තාව අතට පත් කිරීමෙන් පසුව ඇය හා පොලිස් නිලධාරියා අතර සම්බන්ධය තවත් වර්ධනය වී ඇති අතර කාලයක් යෑමේදී විවිධ අවශ්‍යතා කියමින් යාපනය පොලිසියේ පොලිස් නිලධාරියා ස්විට්සර්ලන්ත කාන්තාවගෙන් ණයට මුදල් ඉල්ලා ගෙන තිබෙනවා.

ඇය පොලිස් නිලධාරියාට ලබාදී ඇති ණය මුදල පමණක් රුපියල් ලක්‍ෂ 60 ක් වන අතර ඊට අමතරව රන් භාණ්ඩ තොගයක්ද සාද හා තෑගි සඳහාද කාන්තාව තවත් මුදලක් වැය කොට තිබෙන බවයි හෙළිවී ඇත්තේ.

කාලයත් සමඟ පොලිස් නිලධාරියා ඇය සමඟ පැවැත්වූ පෙම් සබඳතාවයෙන් දුරස් වීමට පටන් ගැනීම නිසා කාන්තාව ඇගෙන් ණයට ගත් මුදල ඉල්ලා ඇති බවද පැමිණිල්ලේ සඳහන්.

මේ සමඟම පොලිස් නිලධාරියා දුරකථන අංකය වෙනස් කිරීම නිසා ස්විට්සර්ලන්ත කාන්තාව ඇගේ ණය මුදල ලබා දෙන මෙන් මෙවර යාපනයට පැමිණි අවස්ථාවේදී යාපනය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙනවා.

එම පැමිණිල්ල දැමීමත් සමඟ අදාළ පොලිස් නිලධාරියා යාපනයෙන් අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ ෴


රුසියානු යුක්රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් යවන්න ටෙලිනාට්‍ය නිළියන් කිහිපදෙනකු ප්‍රවර්ධනයට යොදාගෙන

(19.04.2024 – 06:51 +0530 – hirunews.lk/sinhala)

රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් රැගෙන යෑමේ සංවිධානාත්මක ජාවාරමේ ඔහුන්ගේ ඒජන්සියේ ප්‍රවර්ධකයන් ලෙස සේවය කර ඇත්තේ සුරූපී තරුණියන් බවත් ඒ අතර මෑතකදී ජනප්‍රිය වූ ටෙලිනාට්‍ය රැසක රඟපාන තරුණ ජනප්‍රිය නිළියන් කිහිපදෙනකු ද සිටින බවත් තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

රුසියානු යුක්රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් යැවීම සම්බන්ධයෙන් විශ්‍රාමික මේජරයෙකු ඇතුළු දෙදෙනෙකු (2) CID අත්අඩංගුවට ගෙන ඇති අතර මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

යුද හමුදා විශේෂ බළකායේ සේවය කර ඇති මේජරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ වාරියපොළදී වන අතර ඒජන්සිකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ දිගනදී වන අතර ඒ ඔවුන් පදිංචි නිවසේදී ෴


දමිතාට හා සැමියාට එරෙහිව තවත් වංචා පැමිණිල්ලක්

(19.04.2024 – 07:13 +0530 – hirunews.lk/sinhala)

කොරියාවේ රැකියාවක් සඳහා යවන බව සඳහන් කරමින් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 34 ක මුදලක් ලබාගෙන වංචා කිරීමක් සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාරගත කර සිටින ප්‍රකට නිළි දමිතා අබේරත්න සහ ඇගේ සැමියාට එරෙහිව තවත් පැමිණිල්ලක් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ වත්තල පදිංචිකරුවකු බවත් ඔහුගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 34 ක මුදලින් රුපියල් ලක්ෂ 04 ක් පසුව එම පුද්ගලයාට ලබාදී ඇති බවත් අදාළ පුද්ගලයා පොලිසියට සඳහන් කර තිබෙනවා.

ඒ අනුව සැබෑ ලෙස සිදුව ඇති වංචාවේ ප්‍රමාණය රුපියල් ලක්ෂ 30 ක් වන බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇති බවත් අද පුවත් පත් වාර්තා කර තිබුණා.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරියේදී කරුණු වාර්තා කර ඒ සම්බන්ධයෙන් ද දමිතා සහ ඇගේ සැමියාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිසිය පැවසුවා ෴


මිනිසුන්ට ආදරය කළ ‘කළුතර දඩබ්බරයා’ අද (19) අවසන් ගමනේ

(19.04.2024 – 07:58 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

ඒ ඔහු විසින්ම සකසා ගත් සොහොන් භූමියේදීයි.

විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ ඔහුගේ දේහය මතුගම – යටදොළවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබෙන අතර දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් ඔහුගේ නිවසට පැමිණෙමින් සිටිනවා.

දේශපාලන නියෝජිතයන් රැසක් ද ඊයේ (18) දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ ඇතුලු පිරිසක් පැමිණ සිටියා.

මේ අතර සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී. ආරියරත්නගේ අවසන් කටයුතු හෙට (20) නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය ගෞරවය සහිතව පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා ෴


දුම්රිය ගමන්වාර 4 ක් අවලංගුයි

(19.04.2024 – 08:07 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් (2) හා කැළණිවැලි මාර්ගයේ ගමන් වාර දෙකක් (2) ලබන 25 වන දින දක්වා මෙලෙස අවලංගු කළ බවයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ උදෑසන 07:02 ට කොළඹ – කොටුව සිට රාගම බලා ධාවනය වන දුම්රිය සහ රාගම සිට උදෑසන 07:30 ට කොළඹ – කොටුව බලා ධාවනය වන දුම්රිය අවලංගු කර තිබෙනවා.

එමෙන්ම කැලණිවැලි මාර්ගයේ පාදුක්ක දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05:20 ට කොළඹ – කොටුව බලා ධාවනය වන දුම්රිය සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 07:15 පාදුක්ක බලා ධාවනය වන දුම්රිය මෙලෙස අවලංගු කිරීමටයි පියවර ගෙන ඇත්තේ ෴


කෘමියෙක් නිසා ජීවිතයක් අහිමි වෙයි

(19.04.2024 – 10:31 +0530 – hirunews.lk/sinhala)

යාපනය ප්‍රදේශයේ පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා 52 හැවිරිදි පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ.

කෘමියෙකු ඔහුගේ කණට ආසන්නයේ තැනකට දෂ්ඨ කර ඇති බවයි වාර්තා වන්නේ.

දෂ්ඨ කරනු ලැබු කෘමියා කුමන වර්ගයේ කෘමියෙක් ද යන්න හඳුනා ගැනීමට ද නොහැකි වී තිබෙනවා.

අධික වේදනාව හේතුවෙන් ඔහු රෝහල් ගත කිරීමෙන් පසු ප්‍රථීකාර ලබමින් සිටින අතරවාරයේ දී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ෴


විදේශිකයින් රවටන වෙළෙන්දන්ට වැඩ වරදී

(19.04.2024 – 13:03 +0530 – hirunews.lk/sinhala)

විදේශිකයන් ඇතුළු සංචාරකයින් රවටමින් ආහාර අලෙවි කරන වෙළඳසැල් සොයා පුලුල් වැටලීම් සිදුකරන බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

ඒ අනුව, මෙහි පළමු අදියර ගාලු‍ මුවදොර, හික්කඩුව, ඇල්ල වැනි ප්‍රදේශ ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කරන බවයි එම අධිකාරිය සඳහන් කළේ.

විදේශිකයෙකු රවටා රුපියල් 800 ක මුදලකට තේ කෝප්පයක් සහ වඩෙයක් අලෙවි කිරීමට පුද්ගලයෙකු කටයුතු කළ ආකාරය අප පසුගියදා ‘හිරු ප්‍රවෘත්ති’ තුළින් අනාවරණය කළ අතර, මොරගොල්ල සංචාරක පොලිසිය ඊයේ (18) පස්වරුවේ එම පුද්ගලයාව අත්අඩංගුවට ගත්තා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන අංශය ද එම වැටලීම සඳහා එක් වූ අතර, එහිදී හෙළි වුණේ අදාළ පුද්ගලයා එම වෙළෙඳසැළේ සේවකයෙකු නොව ත්‍රිරෝද රථ රියැදුරෙකු බවයි.

එමෙන්ම, කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේදී සංචාරකයෙකුට අධික මුදලකට කොත්තුවක් අලෙවි කිරීමට උත්සහ කළ පුද්ගලයෙකු ‘හිරු’ අනාවරණයෙන් පසු අත්අඩංගුවට ගැනුණා.

මෙවැනි පුද්ගලයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභොගික සේවා අධිකාරියේ වැටලීම් සහ විමර්ශන අංශය අධ්‍යක්ෂක සංජය ඉරසිංහ කියා සිටියා ෴


ළඟදීම කොළඹට එක්වෙන තවත් සුපිරි හෝටලයක්

(19.04.2024 – 13:36 +0530 – hirunews.lk/sinhala)

අතිසුඛෝපභෝගී සුපිරි හෝටල් සංකීර්ණය වන ITC Ratnadipa Colombo එළඹෙන සතියේ දී විවෘත වීමට නියමිත බව වාර්තා වෙනවා.

මෙම හෝටල් සංකීර්ණය ඉදිකර ඇත්තේ ඉන්දියානු සමාගමක් වන ITC Ltd හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන WelcomHotels Lanka Ltd විසින්.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙරට පළමුවරට දැකගත හැකි AHASA ONE Sky Bridge අහස් පාලමෙන් යුක්ත වීමයි.

ඉන්දියාවෙන් පිටත විවෘත කෙරෙන පළමු ITC හෝටලය ද මෙය වීම විශේෂත්වයයි ෴


අධ්‍යාපනය පෞද්ගලික අංශයට විකිණීමේ සූදානමක් ගුරු සංගමයෙන් චෝදනා

(19.04.2024 – 14:27 +0530 – hirunews.lk/sinhala)

නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළින් මෙරට අධ්‍යාපනය පෞද්ගලික අංශයට විකිණීමේ සූදානමක් පවතින බවට ‘ලංකා ගුරු සංගමය’ චෝදනා කරනවා.

එම සංගමයේ නියෝජිතයින් මේ අදහස් පළකළේ නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව අධ්‍යාපනය විකිණීමටද ? යන මැයෙන් පැවැති සාකච්ඡාවකදීයි.

+


පාසල් දරුවන් වෙනුවෙන් පෝෂ්‍යදායි සහල් බෙදාහැරීම අද (19) සහ හෙට (20)

(19.04.2024 – 15:05 +0530 – hirunews.lk/sinhala)

පාසල් දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන සඳහා ලෝක ආහාර වැඩසටහන විසින් ප්‍රදානය කළ ‘සබලකරණය කරන ලද සහල්’ තොගයක් පළාත් ප්‍රධාන ලේකම්වරුන් වෙත නිකුත් කිරීම අද (19) සහ හෙට (20) සිදු කෙරෙනවා.

ඒ, වේයන්ගොඩ ආහාර ගබඩා පරිශ්‍රයේදියි. ‘සහල් සබලකරණය’ යනු සහල්වල මුලින් නොමැති අනෙකුත් විටමින් සහ ඛනිජ ලවණ එකතුකර පෝෂ්‍ය මට්ටම ඉහළ නැංවීමයි.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ‘සබලකරණය කරන ලද සහල්’ මෙට්‍රික්ටොන් 735 ක් මෙහිදී නිකුත් කෙරෙන බවයි.

ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක ලෝක ආහාර වැඩසටහනේ සහයෝගීතාව සඳහා වූ හවුල්කාරිත්ව ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ එම කටයුතු සිදු කෙරෙනවා.

මේ අතර, සබලකරණය කරන ලද ඉතිරි සහල් ප්‍රමාණය මෙන්ම රතු පරිප්පු, සූරියකාන්ත තෙල් සහ රටඉඳි ඇතුලු අනෙකුත් ආහාර ද්‍රව්‍ය තොග බෙදාදීම නව පාසල් වාරය ආරම්භ වූ පසු සිදුකිරීමටයි සැලසුම් කර ඇත්තේ ෴


ප්‍රදේශ කිහිපයකට ලබන 24 වැනිදා ජල කප්පාදුවක්

(19.04.2024 – 17:04 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද විදුලි උප පොළෙහි හදිසි අළුත්වැඩියාවක් හේතුවෙන් පැය 12 ක් බියගම ජල පවිත්‍රාගාරයට ජල පැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය දැනුම් දෙනවා.

මෙම ජල කප්පාදුව සිදුකරනු ලබන්නේ අප්‍රේල් 24 වන බදාදා පෙ.ව. 08:30 සිට ප.ව. 08:30 දක්වා බවයි සඳහන් වන්නේ.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා- ඇල, කටුනායක / සීදූව නගර සභා බල ප්‍රදේශයටත්, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ කොටසකටත් ජල සැපයුම අත්හිටුවනු ලබනවා.

ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *