මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පොලිසියේ දෙදෙනෙකු (2) CID අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පොලිසියේ දෙදෙනෙකු (2) CID අත්අඩංගුවට


මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පොලිසියේ දෙදෙනෙකු (2) CID අත්අඩංගුවට

(18.04.2024 – 23:02 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවෙකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු දුරකථනයෙන් සම්බන්ධ කර දුන් බව කියන මාවතගම පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ දොරටියාව පොලිසියේ සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ‘ඩුබායි සම්පත්’ නැමැත්තකු සමග සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් එම උප පොලිස් පරීක්ෂකවරයා සහ සාජන්වරයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝග පරිදි විමර්ශනයක් පවත්වා මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරීන් දෙදෙනා (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


පාසල් සිසුවෙකුට අධිකරණය දුන් නියෝගය

(18.04.2024 – 17:58 +0530 – sinhala.adaderana.lk)

අම්බලන්ගොඩ ප්‍රදේශයේ නිවාස දෙකකින් (2) මුදල් සහ ජංගම දුරකථන සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පාසල් සිසුවෙක් අද (18) අධිකරණය විසින් පරිවාස භාරයට පත්කරනු ලැබ තිබේ.

සැකකාර පාසල් සිසුවා අද (18) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බළපිටිය මහේස්ත්‍රාත් ආර්.ඩී. ජනක මහතා මෙම නියෝගය ලබාදී තිබේ.

මෙලෙස පරිවාස භාරයට පත්කර ඇත්තේ අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 15 ක දරුවෙකි.

එම දරුවාගේ පියා විදේශගතව සිටින බවත් දරුවා මවට අවනත නොවන බවත් අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

නිවාස දෙකකින් (2) ලැබුණු පැමිණිල්ලක් විභාග කළ පොලිස් නිලධාරීන් විසින් මෙම දරුවා සිය භාරයට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

එහිදී දරුවා සන්තකයේ තිබී සොරකම් කරන ලද ජංගම දුරකථන දෙක (2) සොයාගෙන ඇතිමුත් මුදල් සොයාගෙන ඇත්තේ රුපියල් 800 ක් පමණක් වීම විශේෂත්වයකි.

ඒ පිළිබඳව දරුවාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සඳහන් කර ඇත්තේ සොරකම්කරන ලද මුදල්වලින් කොටසක් සිය නැගණියට ශ්‍රී පාදය වන්දනා කිරීමට යෑමට ලබාදුන් බවය.

පොලීසිය අධිකරණය වෙත වාර්තා කර ඇත්තේ දරුවා විසින් නිවාස දෙකෙන්ම රුපියල් 121,000 ක මුදලක් සහ මිලෙහි එකතුව රුපියල් ලක්ෂයක් (100,000) පමණ වටිනා ජංගම දුරකථන දෙකක් (2) මෙලෙස සොරකම් කර ඇති බවය.

දරුවා පොලීසියට පවසා ඇත්තේ ඇතිවූ ආශාව මත එම ස්මාට් ජංගම දුරකථන 2 සොරකම් කළ බවය.

සත්‍ය වශයෙන්ම සොරකම් කර ඇති මුදල දරුවා විසින් වියදම් කර තිබේද සහ ඒවා වෙනත් ස්ථානයක සඟවා ඇත්ද යන්න සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

අම්බලන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


කාස්ලරී ජලාශයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අතුරුදන්

(18.04.2024 – 17:36 +0530 – sinhala.adaderana.lk)

කාස්ලරී ජලාශයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ 17 හැවිරිදි වියේ පසුවූ කාසල්රී වතු යායේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි.

සිය පවුලේ සාමාජිකයින් සමග මෙම පාසල් සිසුවා අද (18) පස්වරු 03:30 ට පමණ ජලාශයේ දිය නෑමට ගොස් සිටි අවස්ථාවේ මෙම අනතුරට මුහුණදී තිබේ.

දරුවාගේ සිරුර සොයා කාසල්රී ජලාශය භාර ආරක්ෂක නිලධාරීන් ප්‍රදේශවාසීන් සහ ධීවරයින් එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇත.

කාසල්රී ජලාශය භාර ආරක්ෂක නිලධාරීන්ගේ දැනුවත් කිරීම් නොසළකා ජලාශය හරහා එගොඩ මෙගොඩ පිහිනමින් සිටියදී මෙම දියේ ගිලීම සිදුව ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි ෴


ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුර අන්තිමට හමුවූ තැන

(18.04.2024 – 17:17 +0530 – sinhala.adaderana.lk)

කුරුණෑගල, රිදීගම ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී ව්‍යාපාරිකයෙකුව ඝාතනය කර තිබේ.

මෙම ඝාතනය ඊයේ (17) රාත්‍රියේ සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරයි.

ඝාතනයට ලක්ව ඇති අදාළ පුද්ගලයාගේ මළ සිරුර පෞද්ගලික ඉඩමක තිබී අද (18) උදෑසන සොයාගෙන තිබේ.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 49 හැවිරිදි කුකුළු මස් ව්‍යාපාරියෙකු බවට අනාවරණය වී ඇත.

ඝාතනය සිදුකළ සැකකරුවන් පිළිබඳව අනාවරණය වී නොමැති අතර රිදීගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


සේවයට වාර්තා නොකළ හමුදා සාමාජිකයින්ට ‘පොදු සමා කාලයක්’

(18.04.2024 – 11:55 +0530 – sinhala.adaderana.lk)

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව යුද හමුදා සේවයෙන් ඉවත් වීමට ‘පොදු සමා කාලයක්’ ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින සාමාජිකයින් හට නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් වීමට අප්‍රේල් මස 20 වන දින සිට 2024 මැයි මස 20 වන දින දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.

එම ප්‍රකාශිත පොදු සමා කාලය තුළ තමන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථාන සමග සම්බන්ධවීමෙන් ඔවුන්ට නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් වීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

2024 අප්‍රේල් මස 02 දින සහ ඊට පෙර සිට නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකල නිලධාරි හා සෙසුනිලයින් පහත සඳහන් ලිපි ලේඛන සමගින් තමන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පමණක් රපෝර්තු කළ යුතු අතර, එහිදි අස්කිරීමේ මූලික පාලන කටයුතු පැය 72 ක කාලසීමාවක් තුළ සිදුකර යුද හමුදා සේවයෙන් නීත්‍යානූකූලව ඉවත් වීම සඳහා කටයුතු සලසා දී ඇත.

  • යුද හමුදා හැඳුනුම්පත (යුද්ධ හමුදා හැඳුනුම්පත අස්ථානගතව ඇත්නම් මෑතකදී ලබාගන්නා ලද පොලිස් වාර්ථාවක පිටපතක්)
  • ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රයේ පිටපතක්.
  • වැටුප් හා දීමනා බැරකරන ලද බැංකු පොතේ ඡායාස්ථ පිටපතක්.
  • අවසන් වරට වැටුප් හා දීමනා ලබාගන්නා ලද වැටුප් පත්‍රිකාවේ ඡායාස්ථ පිටපතක් (ඇත්නම් පමණක්)

නිවාඩු නොමැතිව සේවයට වාර්ථා කිරීම හැර වෙනත් කිසිදු විනය විරෝධී කටයුත්තකට සම්බන්ධ වී නොමැති, නීත්‍යානූකූලව යුද්ධ හමුදා සේවයෙන් ඉවත්වීමකින් තොරව විදේශගතව සිටින යුද හමුදා සාමාජිකයින්ට ද නැවත රපෝර්තු කිරීමකින් තොරව තම රෙජිමේන්තු මධ්‍යස්ථාන සමග සම්බන්ධවීමෙන් මෙම පොදු සමා කාලය තුළදී නීත්‍යානූකූලව සේවයෙන් ඉවත්වීමට පහසුකම් සලසා දී ඇති බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ ෴


අඟහරුගේ ගවේෂණ කටයුතු සඳහා සිදුකරන පර්යේෂණයකට ශ්‍රීලාංකික විද්‍යාඥවරියක් ද තේරී ඇත

(18.04.2024 – 11:53 +0530 – sinhala.adaderana.lk)

අඟහරු ග්‍රහයාගේ ගවේෂණ කටයුතු සඳහා සිදුකරන පර්යේෂණයකට ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් ද තේරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නාසා ආයතනය මගින් හූස්ටන් හි පිහිටි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකර ඇති අඟහරු ග්‍රහයාගේ පාරිසරික ලක්ෂණ සහිත වාසස්ථානයක අදාළ මෙහෙයුම සිදුකෙරෙයි.

එම මෙහෙයුමේ කාර්ය මණ්ඩලය සඳහා සිව් (4) දෙනෙක් තෝරාගෙන තිබේ.

ඔවුන් වන්නේ ජේසන් ලී, ස්ටෙෆනි නවර්රෝ, ෂරීෆ් අල් රෝමයිති සහ ‘පියුමි විජේසේකර’ නම් ශ්‍රී ලාංකික විද්‍යාඥවරියකි.

ඔවුන් නාසා ආයතනයේ “Human Exploration Research Analog” ලෙස නම්කර ඇති මෙහෙයුම් කලාපයට මැයි 10 වනදා ඇතුළු වීමට නියමිතය. එතැන් සිට දින 45 ක කාලයක් ඔවුන් ගගනගාමීන් ලෙස කටයුතු කරන බව නාසා ආයතනය නිවේදනය කළේය.

නාසා ආයතනය මගින් සඳ, අඟහරු සහ අනෙකුත් අභ්‍යවකාශ කලාප වෙත ගගනගාමීන් යැවීමට පෙර ඔවුන්ට අවශ්‍ය පෙර පුහුණුව ලබාදීමට ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකර ඇති මෙම මෙහෙයුම් කලාපය භාවිත කරයි.

එමගින් ගගනගාමීන් ගේ කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම ලබාගැනීමට විද්‍යාඥයින්ට ද අවස්ථාව ලැබෙයි.

මෙම හුරුව සඳහා මේ වසරේ තෝරාගත් දෙවැනි (2) කණ්ඩායම මෙය වෙයි.

මෙම කණ්ඩායම සඳහා තෝරාගෙන ඇති ‘පියුමි විජේසේකර’, කැලිෆෝනියාවේ “NASA Ames” පර්යේෂණ මධ්‍යස්ථානයේ විකිරණ ජෛව භෞතික විද්‍යාගාරයේ පර්යේෂණ විද්‍යාඥවරියක් ලෙස කටයුතු කරන්නීය.


පයින් පහරදීමක් හේතුවෙන් මනුෂ්‍ය ඝාතනයක්

(18.04.2024 – 08:02 +0530 – sinhala.adaderana.lk)

කුරුවිට පොලිස් වසමේ කීරගල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් තවත් අයෙකුට සිදුකළ පයින් පහරදීමක් හේතුවෙන් ඝාතනයක් සිදුව තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (17) රාත්‍රී කාලයේ එම පුද්ගලයා බිමට වැටී සිහිසුන්ව රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවය.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 59 ක් වූ කීරගල, කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයාගේ නිවස ඉදිරිපිට ට පැමිණි බීමත් පුද්ගලයෙකු ගිනිපෙට්ටියක් ඉල්ලා ඇති අතර, එය ලබාදීමට ප්‍රමාදවීම හේතුවෙන් බීමත් පුද්ගලයා විසින් නිවැසියන්ට පරුෂ වචනයෙන් බැන වැදී ඇත.

එහිදී මියගිය පුද්ගලයා විසින් එසේ නොකරන ලෙසට පවසා තිබේ.

එවිට බීමත් පුද්ගලයා විසින් නිවෙස්හිමියාට පයින් පහරදී ඇති අතර, ඔහු බිම වැටී සිහිසුන්ව සිටිය දී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට කුරුවිට පොලීසිය පරීක්ෂණ සිදුකරයි ෴


යළි දෙපයින් නැගී සිටින දැවැන්තයා “ව්‍යවසායකත්වයකින් තොරව කිසිදු දියුණුවක් නෑ” (18.04.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *