මහා සඟ සමුළුවේදී රජයට ‘සංඝ ප්‍රඥප්තියක්’ පනවයි

මහා සඟ සමුළුවේදී රජයට ‘සංඝ ප්‍රඥප්තියක්’ පනවයි


මහා සඟ සමුළුවේදී රජයට ‘සංඝ ප්‍රඥප්තියක්’ පනවයි

(20.02.2026 – 17:49 +0530 – sinhala.adaderana.lk)

බුදුදහමට සහ මහා සංඝරත්නයට වර්තමානයේ එල්ල වෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පැවැති ‘මහා සඟ සමුළුව’ අද (20) පස්වරුවේ කොළඹදී පැවැත්විණි.

ඒ බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේදී ය.

එහිදී වර්තමානයේදී බුද්ධ ශාසනය, භික්ෂුන් වහන්සේ සහ ජනතාව මුහුණ දෙන සමාජීය අර්බුද සමනය කිරීම උදෙසා මෙරට සියලුම භික්ෂූන් වහන්සේලා සහ බෞද්ධ නායකයින් එක්ව ‘සංඝ ප්‍රඥප්තියක්’ ප්‍රකාශයට පත් කෙරිණි.

ඒ අනුව අදාළ ‘සංඝ ප්‍රතිඥාව’ සියලු හිමිවරුන්ගේ අත්සන් සහිතව ඉදිරියේදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමටද නියමිත බව මොරටුව, ලුනාව බෝධිරාජාරාමාධිපති, කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනාංශාධිපති පූජ්‍ය මහාචාර්ය අගලකඩ සිරි සුමන හිමියන් සඳහන් කළේය.

එම කරුණු 10 කින් යුත් සංඝ ප්‍රතිඥාව පහතින් :

  1. අර්හත් මහා මහින්ද මා හිමියන් වහන්සේ ශ්‍රී සද්ධර්මය රැගෙන විත් එය මේ භූමියෙහි ස්ථාපනය කිරීමේ දී එවකට ශ්‍රී ලංකාවේ රාජ්‍ය කළ දෙවන පෑතිස් මහරජාණන්ගේ පූර්ණ අනුග්‍රහයෙන් සිදුවූ බවත්, එදා සිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ බුද්ධාගම එකිනෙකට සම්බන්ධව පැවති බවත් එම සම්බන්ධය මත සදාචාරාත්මක දේශයක් ගොඩනැගීමේ වගකීම පාලකයාට මෙන්ම ආගමට පැවරුණු බවත් හා බුදු දහමේ ඉගැන්වීම් රාජ්‍යානුශාසනා කිරීමේ කාර්යභාරය ඓතිහාසිකව භික්ෂූන් වහන්සේ විසින් සිදු කර ඇති බැවින් මේ අයිතිය පිළිගන්නා ලෙස අපි රජයට අවධාරණය කර සිටිමු.
  2. පෙර රජදරුවන් විසින් සුරක්ෂිත කොට පෝෂණය කරන ලද බුදු දහමත් ඒ හා බැඳුණු සියලු සංස්කෘතීන් ද සිද්ධස්ථානය ආරක්ෂා කිරීමේ වගකීම උඩරට ගිවිසුමෙන් ද තහවුරුව, 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද සම්මත කොට අධිකරණය මගින් ද ‘බුද්ධ සාසනය’ යන්න නිර්වචනය කොට ඇති බැවින් මෙම ව්‍යවස්ථානුකූල අයිතිය රජය විසින් ආරක්ෂා කළ යුතු බව ද අපි රජයට අවධාරණය කර කියමු.
  3. ජාතියේ එක්සත්කමත්, සමගියත්, සහජිවනයත් රඳා පවතින්නේ ඓතිහාසිකව ගොඩනැගුණු ගිහි පැවිදි සම්බන්ධතාව නිසා බවත්, සොළීන්ට බටහිර කුමන්ත්‍රණකරුවන්ට මෙන්ම කොටි සංවිධානයට පවා මේ සම්බන්ධතාව විනාශ කරලන්නට නොහැකි වූ බවත්, විවිධ ස්වභාවික විපත් හා ව්‍යාධීන් සමනය කරලන්නට මෙම ගිහි පැවිදි සම්බන්ධතාව හේතු වූ බවත්, එය බිඳ දමන්නට විරසක කරන්නට සමාජ මාධ්‍ය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන විසින් ගෙන යන අදුරදර්ශී ක්‍රියාමාර්ග පරාජය කරන්නට රජය විසින් අවශ්‍ය කටයුතු යෙදිය යුතු බව අපි අවධාරණය කර කියා සිටිමු.
  4. අතීත පාලකයන් බුදු දහම කෙරෙහි මහත් ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් කටයුතු කළ බවද, නොබොහොසත්හු ලක්දිව රජ නොවිය යුතු බවට ශිලා ලේඛන ගත කර ඇති බැවින් ද, බුදු දහමින් නිර්දේශිත පරිදි බෞද්ධ දේශපාලන දර්ශනයට අනුගතව විශේෂයෙන් දසරාජ ධර්ම, සතර සංග්‍රහ වස්තු ක්‍රියාවට නංවමින් පාලනය කිරීමේ අවශ්‍යතාව ද, සතර අගතියෙන් තොරව රට පාලනය කිරීමේ අවශ්‍යතාව ද අපි ආණ්ඩුවට අවධාරණය කර කියා සිටිමු.
  5. අතීතයේ සිට ම බුද්ධ ප්‍රතිමාව ලංකාවේ සැදැහැවත් බෞද්ධ ජනතාවගේ මහත් ගෞරවයට ලක් වූ උතුම් පූජනීය වස්තුවක් වූ බව ද සමාධි, අවුකන, ගල් විහාර වැනි මහා නිර්මාණ පැරණි රජ දරුවන් මහත් පරිශ්‍රමයෙන් ඉදි කළේ ජනතාවගේ ශ්‍රද්ධාව දියුණු කරනු පිණිස බවත්, අද දක්වා මෙම ආගමික හා සංස්කෘතික උරුමයන් මහත් වන්දනාවට ලක් වන බවත්, එබැවින් බුද්ධ ප්‍රතිමාවට නිගරු වන කවර ආකාර හෝ ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව හෝ වෙනත් කවර සමාජ ආයතන විසින් හෝ සිදු නොකළ යුතු බවත්, ඊට අවශ්‍ය පියවර නීත්‍යානුකූලව ගත යුතු බවත් අපි ආණ්ඩුවට අවධාරණය කර කියා සිටිමු.
  6. බෞද්ධ අධ්‍යාපනයේ මූලස්ථානය අනුරාධපුර මහා විහාරය වන බවත්, එතැන් සිට භික්ෂුන් වහන්සේලා රටේ ජනතාවගේ ප්‍රධාන ආචාර්යයන් වහන්සේ වූ බවත්, එයින් සදාචාර සම්පන්න සිසු පරපුරක් ගොඩනැගුණු බවත්, උසස් සාහිත්‍ය කලාවන් රටට උරුම කරමින් භික්ෂුව අධ්‍යාපනිකව ඉටුකළ මෙහෙවර අගය කළ යුතු බවත්, විද්‍යෙදය, විද්‍යාලංකාර පිරිවෙන් අරඹා සහ ඒ ඔස්සේ විශ්ව විද්‍යාල දක්වා ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය දියුණු වු අයුරු පදනම් කොට නුතන පිරිවෙන් සහ පාසල් අධ්‍යාපනය ගොඩනැංවීම සිදු කළ යුතු බවත්, විෂය මාලා සංවර්ධනයේ දී බෞද්ධ අධ්‍යාපන මූලධර්ම කෙරෙහි සැලකිලිමත් විය යුතු බවත් අපි රජයට අවධාරණය කර කියා සිටිමු.
  7. පෙර ජනාධිපතිවරුන් විසින් අමාත්‍ය ධුරය දරමින් ක්‍රියාත්මක කරන ලද ‘බුද්ධ ශාසන අමාත්‍යාංශය’ මේ වනවිට නිසි අමාත්‍යවරයෙකු නොමැති වීමෙන් අකර්මණය වී දියාරු වී යන අවස්ථාවට පැමිණ ඇති බැවින් අමාත්‍යංශයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් සේවා සපයා ගැනීමට පැමිණෙන භික්ෂූන් වහන්සේලාට, බෞද්ධ ජනතාවට ඒවා කාර්යක්ෂමව ඉටු කර දීමට එහි නිලධාරීන් අපොහොසත්ව ඇති හෙයින් බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව කාර්යක්ෂම ආයතනයක් බවට පත් කරවන්නට අපි රජයට අවධාරණය කර සිටිමු.
  8. බෞද්ධයන්ගේ ප්‍රාර්ථනාවක් වන ‘දේවෝ වස්සතු කාලෙන’ නම් ගාථාවෙහි එන පරිදි රටෙහි ආර්ථික, දේශපාලන, සමාජයීය දියුණුවෙහි මූලික පදනම ලෙස සැලකෙන දැහැමි රාජ්‍ය පාලනයක් පිළිබඳ ජනතාවගේ ඓතිහාසික ප්‍රාර්ථනා මල්ඵල ගන්වන ලෙසින් රාජ්‍ය මෙහෙයවන ලෙස අපි රජයට අවධාරණය කරමු.
  9. බෞද්ධ පුරාවස්තු, පුජනීය ස්ථාන, විහාර, දේවාලගම් පෞද්ගලිකව භික්ෂූන්ගේ දේපල නොව රටේ ජාතියේ උරුමයන් වන බැවින් කවරාකාරයෙන් හෝ ඒවාට හානියක් නොවන පරිදි ආරක්ෂා කිරීමේ වගකීම රජයට පැවරී තිබෙන බව අපි අවධාරණය කර කියා සිටිමු.
  10. ශ්‍රී ලංකාවේ කවර තැනක හෝ භික්ෂුවට සීලාදී ගුණ ධර්මයන් වඩමින් ගෞරවනීය ලෙස තමාගේත් ලෝකවාසී ජනතාවගේත් මෙලොව පරලොව දෙකෙහි අභිවෘද්ධියට හේතුවන ලෙස පරාර්ථචර්යාවෙහි යෙදෙන විට උන් වහන්සේලාට නිග්‍රහ වන ලෙසින් අදහස් ප්‍රකාශ කිරීම, මත පැතිරවීම, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් විවිධ අපහාස උපහාසයට ලක් කිරීම්, චෝදනා කිරීම ආදී භික්ෂු ගෞරවය කෙලෙසන ආකාරයේ කටයුතු රාජ්‍ය යටතේ සිදු නොවිය යුතු බව අපි රජයට අවධාරණය කර කියා සිටිමු.

+++

+++

ජනපති සහ අගමැති කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉල්ලා අස්කරගත යුතුයි – මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි

(20.02.2026 – hirunews.lk)

ජනාධිපතිවරයා යාපනයේදී සහ අග්‍රාමාත්‍යවරිය මන්නාරමේදී කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉල්ලා අස් කර ගත යුතු බවත්, ඊට සමාව දීමට තමන් සූදානම් බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව අවධාරණය කළේ බුදු සසුනට හා භික්ෂුවට එරෙහි අභියෝගවලට මුහුණදීමේ අරමුණින් අද (20) කොළඹදී සංවිධාන කළ මහ සඟ සමුළුව අමතමින්.

මෙම සමුළුවේදී ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ යුතු කරුණු 10 ක් ඇතුළත් සංඝ ප්‍රඥප්තියක් ද ප්‍රකාශයට පත් කෙරුණා.

වර්තමානයේ සම්බුද්ධ ශාසනයට, මහා සංඝරත්නයට සහ බෞද්ධ සංස්කෘතියට එල්ලවන විවිධ තර්ජන පරාජය කිරීමේ අරමුණින් සංවිධාන කළ මහ සඟ සමුළුව කොළඹ බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී අද (20) පැවැත්වුණා.

ඊට දිවයිනේ නන් දෙසින් පැමිණි මහා සංඝරත්නය වැඩම කර සිටියා.

මෙම සමුළුව සඳහා පක්ෂ විපක්ෂ ඕනෑම දේශපාලඥයෙකුටද සහභාගීවීමට ඉඩ සලසා තිබූ අතර, ඒ අනුව ඊට හිටපු සහ වත්මන් මැති ඇමතිවරු පිරිසක් මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද එක්ව සිටියා.

අනතුරුව වත්මන් ආණ්ඩුව වෙත භාරදීම සඳහා වන සංඝ ආඥාව සහිත සන්නස් පත්‍රය වේදිකාවේ තැන්පත් කිරීමෙන් සඟ සමුළුවේ කටයුතු ආරම්භ වුණා.

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ යුතු කරුණු 10 ක් ඇතුළත් සංඝ ප්‍රඥප්තිය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් වෙත පිළිගැන්වීමෙන් අනතුරුව එය ප්‍රකාශයට පත් කෙරුණා.

+++

සංඝ සමුළුවට පෙර මහා සංඝරත්නය පැපිලියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙනට වැඩම කරයි

+++

සඝ සමුළුවට යාපනයෙන් සහ ගාල්ලෙන් හිමිවරු උදේම කොළඹට වැඩම කරවයි

+++

සංඝ සමුළුවට තව පැය කීපයයි නාමල් මාධ්‍ය කැඳවයි – ජේවීපි එකෙන් බුදු දහම රැක ගන්න ඕනේ

+++

ලාල් කාන්ත ! වනචාරියෝ 8000 ක් කොළඹට ආවා – මුරුත්තෙට්ටුවේ හිමි සඝ සමුළුව දෙවනත් කරයි

+++

සඝ සමුළුවට විපක්ෂ නායක සජිත් එයි – සජීවී දර්ශන සියල්ල මෙන්න බලන්න

+++

ජනාධිපති හා අගමැති අපෙන් සමාව ගන්න ඕන – සඝ සමුළුවේදී එළියට ආපු යෝජනා

+++

+


‘බාල ගල් අඟුරු මගඩියේ’ අලාභය රුපියල් කෝටි දස දහසක් (10,000) : ඩී.වී. චානක

(20.02.2026 – hirunews.lk)

බාල ගල් අඟුරු ටෙන්ඩරය නිසා රටට සිදුවන පාඩුව රුපියල් බිලියන සියයක් (100) නැතහොත් රුපියල් කෝටි දසදහසක් (10,000) බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී .චානක අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන කල් තැබීමේ අවස්ථාවේ විවාදයට එක්වෙමින්.

මෙම බාල ගල් අඟුරු ටෙන්ඩරය අවලංගු කිරීම සඳහා විෂය භාර අමාත්‍යවරයාට එම ගිවිසුම අනුව ඕනෑ තරම් ප්‍රතිපාදන තිබුණත් එය අවලංගු නොකිරීම බරපතල කාරණයක් බවද මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා.

එහිදී මන්ත්‍රීවරයා මෙසේද ප්‍රකාශ කළා :

“ගල් අඟුරු නෞකා දෙකක් (2) නොපැමිණියහොත් මෙම ගිවිසුම අවලංගු වන බව එම ගිවිසුමෙහි සඳහන් වනවා. දෙසැම්බර් මාසයේ පැමිණියේ එක (1) නැවයි. ජනවාරි මාසයේ පැමිණියේ නැව් හතරයි (4).

පෙබරවාරි මාසයේ දැනට ඇවිල්ලා තියෙන්නේ නැව් හතරක් (4) පමණයි. එතකොට මේ දක්වා ඇවිල්ලා තියෙන්නේ නැව් අටයි (8). හරි නම් නැව් පහළොවක් (15) එන්න ඕන. ඒක නිසා මේ නැව් ප්‍රමාද වීමෙන් පමණක් රුපියල් බිලියන 31 ක පාඩුවක් සිදුවෙලා තියෙනවා.”

දැනට මෙම බාල ගල් අඟුරු ටෙන්ඩරය හේතුවෙන් රුපියල් කෝටි හත්දාස් පන්සියයක (7500) පාඩුවක් සිදුවී ඇති බවත් මෙය රුපියල් කෝටි දස දහස (10,000) දක්වා වැඩිවන බවද මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා.

පාඩු වු මෙම මුදලින් රටේ සෑම ගොවි මහතෙකුටම රුපියල් 40 ක මුදලක් හැම වී කිලෝ එකකටම ලබාදීමට හැකියාව තිබූ බවත් සුහුරු පන්ති කාමර හතර (4) බැගින් රටේ සෑම පාසලකටම ලබාදීමට හැකියාව තිබූ බවත් මුළු රටේම මාර්ග කිලෝමීටර් හත්දාස් පන්සීයක් (7500) කාපට් කිරීමට හැකියාව තිබූ බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

මෙම බාල ගල් අඟුරු සිද්ධිය නිසා රටට සිදුවූ අලාභය රුපියල් කෝටි දස දහසක් (10,000) බවත් එය පියවා ගැනීම සඳහා 10% කින් විදුලි බිල වැඩි කිරීමට සූදානම් වන බවත් එම 10% යනු හරියටම රුපියල් කෝටි දස දහස (10,000) නිසා ආණ්ඩුවේ මේ සූදානම ඉතා පැහැදිලි වන බවද ඩී.වී. චානක මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

සමගි ජන බලවේග ප්‍රමුඛ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (20) උදෑසන පාර්ලිමේන්තු පිවිසුම අසලදී විරෝධතාවයක නිරත වුණා. ඔවුන් කියා සිටියේ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් සිදුකර අදාල පුද්ගලයින්ට දඬුවම් ලබාදෙන ලෙසයි.

+


රු. පනස්දාහක (50,000) අල්ලසක් ලබාගත්තැයි දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ ගුරු උපදේශකවරයෙක් රිමාන්ඩ්

(20.02.2026 – hirunews.lk)

රුපියල් 50,000 ක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ එම කාර්යාලයට අනුයුක්ත ගුරු උපදේශකවරයෙක් ලබන 03 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් . බෝදරගම අද (20) නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි මෙලෙස නියෝග කළා.

සේවය හැර ගොස් සිට නැවත සේවයට එක් වූ පුද්ගලයෙකුගේ පත්වීම් කාලය දීර්ඝ කර දීම සඳහා මෙම සැකකරුවන් දෙදෙනා (2) රුපියල් 50,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබෙන බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වූයේ.

අදාළ පුද්ගලයා කළ පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ අල්ලස් කොමිසමේ නිලධාරීන්, දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලය තුළදීම මෙම අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදී සැකකරුවන්ව අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් දැන්වුවා.

අත්අඩංගුවට ගත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ ගුරු උපදේශකවරයා දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අද (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *