මගීන්ගෙන් මුදල් පසුම්බි සොරා ගන්නා ගැබිනි හෙරියන් 3 ක් අත්අඩංගුවට

මගීන්ගෙන් මුදල් පසුම්බි සොරා ගන්නා ගැබිනි හෙරියන් 3 ක් අත්අඩංගුවට


මගීන්ගෙන් මුදල් පසුම්බි සොරා ගන්නා ගැබිනි හෙරියන් 3 ක් අත්අඩංගුවට

(25.03.2024 – 17:05 +0530 – hirunews.lk/sinhala)

බස්වල ගමන් කරන මගීන්ගේ මුදල් පසුම්බි, රන් ආභරණ ඇතුළු දේපල සොරකම් කිරීමේ ජාවාරමක නිරතවූ කාන්තාවන් තිදෙනකු (3) රුපියල් ලක්ෂයකට (100,000) වැඩි මත්කුඩු , සහ කොල්ලකන ලද රුපියල් ලක්ෂ දෙකකට (200,000) ආසන්න රන්මාලයක් සමග අනුරාධපුර පොලිසිය විසින් අද (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනාම (3) ගැබිනි කාන්තාවන් බවයි පොලිසිය සඳහන් කළේ. ඔවුන් තඹුත්තේගම, කුඩාගම සහ ඉංගිරිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 20- 30 ත් අතර වයස්වල පසුවන්නන් බව සඳහන් ෴


රාජ්‍ය සේවකයන්ගේ රුපියල් 10,000 වැටුප් වර්ධකය අප්‍රේල් මස වැටුපට

(25.03.2024 – 17:28 +0530 – hirunews.lk/sinhala)

2024 අයවැය මගින් පොරොන්දු වූ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ රුපියල් 10,000 ක වැටුප් වර්ධකය අප්‍රේල් මස වැටුපට එකතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එම මුදල අප්‍රේල් 10 ට පෙර ගෙවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

එමෙන්ම අඩු ආදායම්ලාභින්ට සහනයක් ලෙසත්, ගොවීන්ට වී සඳහා ලබාදෙන මුදල ඉහළ නැංවීමට මග පෙන්වීමත් අරමුණු කරගෙන සිදු කරන වැඩ පිළිවෙළ අනුව අප්‍රේල් මාසයේ ලබාදෙන සහල් කිලෝ 10 ක ප්‍රමාණය එම මස 10 වන දිනට පෙර ලබාදීමටත් කටයුතු කරන බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

එමෙන්ම විශ්‍රාමිකයින් සඳහා වැඩිකළ රු. 2,500 ක මුදල ද අප්‍රේල් මාසයේ සිට ලබාදෙන බවයි අමාත්‍යවරයා එහිදී පවසා සිටියේ ෴


Location – හොරණ පාදුක්ක මාර්ගය (25.03.2024)

+


කැබ් රථ – මෝටර් රථ අනතුරින් හතර දෙනෙකු (4) රෝහලට

(25.03.2024 – 19:12 +0530 – hirunews.lk/sinhala)

අම්පාර මුවංගල මාර්ගයේදි කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටිමෙන් සිව්දෙනෙකු (4) තුවාල ලබා අම්පාර මහා රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසනවා.

කැබ් රථය හිගුරාන දෙස සිට අම්පාර දෙසට ධාවනය කර ඇති අතර, මොටර් රථය මාර්ගය අයිනේ නවතා තිබී ඇත.

කැබ් රථයේ ටයරයක හුලං බැසිම නිසා රියදුරුට එය පාලනය කිරිමට නොහැකිව කැබ් රථය මොටර් රථය උඩට ගොස් නැවති මෙම අනතුර සිදුව තිබෙනවා.

කැබ් රථයේ ගමන් ගත් සිව්දෙනෙකු (4) මෙසේ තුවාල ලබා රෝහල්ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

+++++++++

+


‘හිරු CIA’ හෙළිකළ කුණු මාළු කන්ටේනර් ගැන සීඅයිඩී පරීක්ෂණයක්

(25.03.2024 – 19:33 +0530 – hirunews.lk/sinhala)

‘හිරු CIA’ රට හමුවේ හෙළිකළ මිනිස් පරිභෝජනයට නුසුදුසු මත්ස්‍ය තොග සහිත බහලුම් 102 ක් රට තුළට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන ලෙස කෝපා කමිටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

ඊට අදාළ වාර්තාව මාසයක් ඇතුළත කෝපා කමිටුව හමුවට ඉදිරිපත් කරන ලෙසයි එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න එම දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත්තේ.

මිනිස් පරිභෝජනයට නුසුදුසු මත්ස්‍යයින් තොගයක් ටින්මාළු ලෙස ජනතාව වෙත මුදාහැරීමේ කූට ජාවාරමක් සිදුවන බව ‘හිරු CIA’ 2022 වසරේ සැප්තැම්බර් 01 වැනිදා රට හමුවේ අනාවරණයක් කළා.

එහිදී හෙළිදරව් වුණේ සී-ෂෙල්ස් සිට තායිලන්තය දක්වා මත්ස්‍ය තොග රැගත් බහලුම් 102 ක් සහිත නෞකාවක් ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේදී අනතුරකට ලක්ව ඇති අතර එම නෞකාව මෙරට වරාය තුළට රැගෙනවිත් එහි තිබූ බහලුම් 98 ක් ‘දියර පොහොර නිෂ්පාදනය’ සඳහා ශ්‍රී ලංකා රේගුව සහ ආනයනය අපනයන පාලකවරයා විසින් ව්‍යාපාරිකයෙකුට නිකුත් කර ඇති බවයි.

කෙසේ වෙතත් ‘හිරු CIA’ සාක්ෂි සහිතව හෙළි කළේ එලෙස රේගුවෙන් නිකුත් කර ඇති මත්ස්‍ය තොග දියර පොහොර නිෂ්පාදනයට රැගෙන යන මුවාවෙන් ‘ටින්මාළු නිෂ්පාදනය’ සඳහා යොදා ගැනීමට දරන උත්සහයයි.

ඒ අනුව ‘හිරු CIA’ මැදිහත්වීමෙන් මිනිස් පරිභෝජනයට නුසුදුසු මත්ස්‍ය තොග කිලෝග්‍රෑම් 5,000 ට අධික ප්‍රමාණයක් සොයා ගැනීමටත් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරවීමටත් හැකි වුණා.

එවන් පසුබිමක මෙම මිනිස් පරිභෝජනයට නුසුදුසු මත්ස්‍ය බහලුම් සම්බන්ධ සිද්ධිය කෝපා කමිටුවේ ද අවධානයට ලක් වන්නේ මේ වසරේ ජනවාරි 26 වැනිදායි.

එහිදී මේ සම්බන්ධයෙන් සොයාබැලීමට කමිටුවක් පත් කිරීමටත් සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් සපයන ලෙසටත් කෝපා කමිටුව නිර්දේශ කළා.

ඉන් මාස 2 කට පසු කෝපා කමිටුව පසුගිය 20 වැනිදා රැස්වූ අතර එහිදී තීරණය කෙරුණේ නරක් වූ මත්ස්‍ය තොග සහිත බහලුම් 102 රට තුළට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

+


සියලුම දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

(25.03.2024 – 20:17 +0530 – hirunews.lk/sinhala)

එළැඹෙන මහ සිකුරාදා (29) සහ පාස්කු ඉරිදා (31) දිනවලදී සියලුම දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් සපයන බව පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් පවසනවා.

ඒ අනුව ප්‍රජා පොලිස් කමිටු මෙන්ම අදාළ දේවස්ථානවල පියතුමන්ලා හා සංවිධායකවරුන් සමග ඒකාබද්ධව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිවරයා විසින් සියළුම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

එමෙන් ම දිවයිනේ සියළුම මූලස්ථාන පොලිස් පරීක්ෂවරුන් සහ ස්ථානාධිපතිවරුන් හෙට (26) සහ අනිද්දා (27) තම පොලිස් වසමට අයත් සියලු කතෝලික, ක්‍රිස්තියානි හා වෙනත් දේවස්ථාන වෙත පෞද්ගලිකව ගොස් ඒවායේ පියතුමන්ලා සහ එම දේවස්ථානවල පරිපාලන සාමාජිකයින් හමුවි මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම සකස්කර ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴


පොල්වතුර අපනයනයෙන් රුපියල් මිලියන 3,439 ක ආදායමක්

(25.03.2024 – 20:42 +0530 – hirunews.lk/sinhala)

2024 පෙබරවාරි මාසයේ පොල් වතුර අපනයනයෙන් රුපියල් මිලියන 3,439 ක ආදායමක් උපයා තිබෙනවා.

පසුගිය වසරේ 2023 පෙබරවාරි මාසය හා සැසදීමේ දී එය රුපියල් මිලියන 734 ක ඉහළ යාමක් බවයි පොල් සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ.

පෙර වසරේදී (2023) පොල් වතුර අපනයනයෙන් උපයා ගත් මුදල රුපියල් මිලියන 2,705 ක් ෴


පාසල් සිසුවියක් දූෂණ කළ අයියා මලෝ ඇතුළු හතරක් (4) අල්ලන්න විමර්ශන

(25.03.2024 – 21:13 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 14 හැවිරිදි පාසල් සිසුවියක අපයෝජනයට ලක් කළ සැකකරුවෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධියට අදාළව සහෝදරයන් දෙදෙනෙකු (2) ඇතුළු තවත් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම දැරිය, දෙමාපියන් විසින් අධ්‍යාපන කටයුතු සිදු කර යාම සඳහා ලබා දී තිබූ ජංගම දුරකතනය ඔස්සේ මුහුණු පොතෙන් මොවුන් සියලුදෙනාම හඳුනා ගෙන තිබීම විශේෂත්වයක් ෴

+++++++++

+


පාරිභෝගිකයන්ට අනතුරු ඇඟවීමක්

(25.03.2024 – 22:06 +0530 – hirunews.lk/sinhala)

ළඟ ළඟ උදාවන අවුරුදු සමයේ විවිධ භාණ්ඩ අළෙවිකරන ස්ථාන තුළින් පාරිභෝගික ජනතාව යම් රැවටීමකට ලක් වීටම ඉඩකඩ පවතින බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

උත්සව සමයේ ක්‍රියාත්මක ‘සේල්’ නමින් හඳුන්වා භාණ්ඩ අලෙවි කරනු ලබන ස්ථානවලින් භාණ්ඩ මිලදී ගැනීමේ දී මෙම තත්ත්වය උදාවිය හැකි බවයි එම අධිකාරිය පැවසුවේ.

එම අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර ප්‍රකාශ කළේ කල් ඉකුත් වීමට ආසන්න භාණ්ඩවල තොරතුරු වෙනස් කර උත්සව සමයේ අලෙවි කිරීම් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි ෴


‘රැවුල් කුමාර’ සඟවා ගෙන සිටි ෆෝන් එක STF භාරයට

(25.03.2024 – 12:37 +0530 – sinhala.adaderana.lk)

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ‘රැවුල් කුමාර’ නම් සංවිධානාත්මක අපරාධකරු සන්තකයේ තිබී ජංගම දුරකථනයක් පොලිස් වි‍ශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (24) දින බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශය A කොටසේ හදිසි සෝදීසි කිරීමක් සිදුකර ඇත.

එහිදී මෙම සැකකරු සතුව තිබී සිම්පතක්, ජංගම දුරකථනයක්, චාජර් හා අමතර බැටරියක් පොලිස් භාරයට ගෙන ඇත.

වැඩිදුර විමර්ශන සඳහා එම ජංගම දුරකථනය සහ අනෙකුත් දෑ විශේෂ කාර්ය බළකාය නිලධාරීන් භාරයේ තබා ඇති බව වාර්තා වේ ෴


විශාල මුදලක් සහිතව බිම වැටි තිබු පසුම්බියක් අයිතිකරු සොයා බාර දෙයි..

(25.03.2024 – 17:30 +0530 – lankacnews.com)

හැටන් ජුම්මා මුස්ලිම් පල්ලිය ඉදිරිපිට ගේට්ටුව අසල වැටි තිබු රු. පනස් අටදහසක (58,000) මුදලක් සහිත මුදල් පසුම්බියක් හැටන් පොලිසිය හරහා අයිතිකරු වෙත ලබාදිමට හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ යාඥාව සදහා පැමිණි පුද්ගලයෙකු කටයුතු කර ඇත.

හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ පදිංචි අබ්දුල් රහිම් මොහොමඩ් ටජ්මිල් නැමති පුද්ගලයා රාමසාන් උපවාසය අවසන් කර ආපසු පල්ලියෙන් පිටතට යන අවස්තාවේ පල්ලියේ ප්‍රධාන ගේට්ටුව අසල වැටි තිබු පාර්සලයක් අහුලාගෙන එය පරික්ෂා කිරිමේදි එම පර්සලය තිබු රු. පනස් අටදහසක (58,000) මුදලක් සහිත මුදල් පසුම්බියක් සහ එහි අයිතිකරුගේ හැදුනුම්පත, බැංකු කාඩ්පත් සහ වටිනා ලියකියවිලි කිහිපයක් තිබි හමු වි ඇත.

පසුව පාර්සලය අහුලාගත් පුද්ගලයා විසින් එම පාර්සලය රැගෙන විත් හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලය දැනුවත් කර එම පාර්සලය හැටන් මුලස්ථාන පොලිසිය වෙත එදිනම භාර දි ඇත.

හැටන් පොලිසිය විසින් එම පාර්සලයේ අයිතිකරුව සොයාගෙන ඇති අතර ඔහු හැටන් බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.ඒ. ධර්මරත්න යන අයයි.

හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා විසින් පාර්සලයේ අයිතිකරු (23) දින හැටන් පොලිස් ස්ථානය වෙත කැදවා එම පාර්සලයේ අයිතිකරුට එය භාර දිමට එම පාර්සලට අහුලාගත් තරුණයා ඉදිරිපිට කටයුතු කෙරිණ.

තමන් වෙත අයිති නොවන දෙයක් අහුලාගෙන එය නියම අයිතිකරු වෙත භාර දිමට කටයුතු කල ‘අබ්දුල් රහිම් මොහොමඩ් ටජ්මිල්’ට සිය ස්තුතිය පුද කිරිමට හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ඇතුණ පොලිස් නිලධාරින් කටයුතු කෙරිණ.

රංජිත් රාජපක්ෂ


මෛත්‍රීට පාස්කු ලණුව දුන් යකඩ මිනිසා එළියට…

(26.03.2024 – 14:10 +0530 – lankacnews.com)

‘හිරු සලකුණ’ වැඩසටහනට එක් වූ ‘පිවිතුරු හෙළ උරුමයේ’ නායක ‘නීතිඥ උදය ගම්මන්පිල මහතා’ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට අභියෝගයක් එල්ල කළේය.

ගෝඨාභය රාජපක්ෂ විසින් රචිත කෘතියෙහි උදය ගම්මන්පිල සහ බැසිල් රාජපක්‍ෂ අතර පෞද්ගලික ආරවුලක් තිබූ බවට නගන චෝදනා ප්‍රතික්ෂේප කළ ගම්මන්පිල මහතා එසේ පෞද්ගලික ආරවුලක් තිබුණේ නම් ඒ ආරවුල කුමක්දැයි ‘සලකුණ’ වැඩසටහන හා දුරකථන මාර්ගයෙන් එක්වී ප්‍රකාශ කරන ලෙස හිටපු ජනපතිවරයාට අභියෝග කළේය. නමුත් එම වැඩසටහන පුරාවට ම හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ‘සලකුණ’ වැඩසටහන හා සම්බන්ධ නොවීය.

ගෝඨාභය රාජපක්ෂ විසින් රචිත කෘතියෙහි ඇති වැරදි සහගත තැන් ගණනාවක් පිළිබඳව තමන් ඔහුට කෙටි පණිවිඩ මාර්ගයෙන් දැනුම් දුන් බව ප්‍රකාශ කළ පිවිතුරු හෙළ උරුමයේ නායකයා එම අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ ඔහුට ලබා දුන් පිළිතුරු ද මෙම වැඩසටහන තුළදී හෙළිදරව් කළේය.

මේ වන විට මහත් ආන්දෝලනයට ලක්ව ඇති මෛත්‍රිපාල සිරිසේන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය ගැන අදහස් දැක්වූ නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ මේ අවධියේ මෛත්‍රීපාල සිරිසේනට සමීපව සිටින ‘බෝම්බ චෝදන සහිත යකඩ මිනිසෙකු’ විසින් ලබාදුන් තොරතුරු පදනම් කරගෙන ඔහු මෙම ප්‍රකාශය සිදුකරන්නට ඇති බවයි.

මීට අමතරව වත්මන් දේශපාලන පිටියේ විවාදාත්මක කරුණු රැසක් සම්බන්ධයෙන් ගම්මන්පිල මන්ත්‍රීවරයා මෙහිදී අදහස් දැක්වීය.

සම්පූර්ණ වැඩසටහන :

Hiru TV Salakuna Live | Udaya Gammanpila | Episode 426 | 2024-03-25

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *