ඩොලරය බහින්නේ ආර්ථිකය හැකිලෙන නිසා.. – උදය ගම්මන්පිල

ඩොලරය බහින්නේ ආර්ථිකය හැකිලෙන නිසා.. – උදය ගම්මන්පිල


ඩොලරය බහින්නේ ආර්ථිකය හැකිලෙන නිසා.. – උදය ගම්මන්පිල

(25.03.2024 – 13:20 +0530 – lankacnews.com)

ඩොලරයේ අගය කඩා වැටෙන්නේ ආණ්ඩුව මෙරට ආර්ථිකය සවිමත් කරන නිසා නොව මෙරට ආර්ථිකය හැකිලෙමින් තිබෙන නිසා බවත් මෙය අහිතකර තත්වයක් බවත් ‘පිවිතුරු හෙළ උරුමයේ’ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කරසිටියේ ‘පිවිතුරු හෙළ උරුමය’ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍යහමුවකට එක් වෙමිනි. එහිදී ‘පිවිතුරු හෙළ උරුමයේ’ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය :

“2024 ජනවාරි 01 දා රුපියල් 325 ක් වුණු ඩොලරය මාර්තු 22 වන විට රු303 දක්වා පහත වැටී තිබෙනවා. ඩොලරය කඩා වැටෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිලිතුරු බඳින ආණ්ඩුව කියන්නේ ආර්ථිකය සවිමත් වන නිසා ඩොලරය පහත වැටෙන බවයි. ඒක ඇත්තක් ද?

ආර්ථික විද්‍යාව අනුව ඩොලරයේ වටිනාකම පහත වැටෙන්නේ ප්‍රධාන වශයෙන් හේතු දෙකක් (2) මත. පළමු (1) හේතුව තමයි අපනයන ආදායම, සංචාරක ආදායම සහ විදේශ ප්‍රේෂණ වැඩි වෙලා ඩොලර් සැපයුම ඉහළ නැගීමෙන්. දෙවන (2) හේතුව තමයි ආනයන අඩු වෙලා ඩොලර් ඉල්ලුම පහත වැටීමෙන්. දැන් ඇත්තටම මොකද වෙලා තිබෙන්නේ? 2024 පෙබරවාරි මාසයෙන් අවසන් වුණු වසර තුල අපනයන ආදායම වැඩි වෙලා තිබෙන්නේ 1% යි. නමුත් ආනයන වියදම 18% කින් අඩු වෙලා. ආනයන අඩු වෙනවා කියන්නේ අපේ පරිභෝජනය අඩු වෙලා ආර්ථිකය හැකිලෙමින් තිබෙනවා කියන එකයි.

ගිය වසරට (2023) සාපේක්ෂව අමුද්‍රව්‍ය ආනයනය ඩොලර් බිලියන තුනකින් (3) අඩු වෙලා. යන්ත්‍ර සූත්‍ර වැනි ප්‍රාග්ධන භාණ්ඩ ආනයනය ඩොලර් බිලියන 2.6 කින් අඩු වෙලා. යන්ත්‍ර සූත්‍ර සහ අමුද්‍රව්‍ය වලට තිබෙන ඉල්ලුම අඩු වෙනවා කියන්නේ අපේ කම්හල් වැසී යමින් පවතින බවයි. ඇයි අපට මෙහෙම වුණේ?

ආණ්ඩුව වසර ගණනාවක් පුරා අඩු මිලට විදුලිය සහ තෙල් විකිණීමෙන් සිදු වුණු පාඩුව අය කර ගන්න පසුගිය වසර (2023) තුල දැවැන්ත ලෙස වගේම ඉතාම අසාධාරණ විධියට විදුලි බිල සහ තෙල් මිල වැඩි කිරීම නිසා කම්හල් හිමියන්ට මුලින්ම මුහුණ දෙන්න වුණේ ‘රෝල ගෙනියන්න’ අතේ සල්ලි නැති වීමයි. ආර්ථික විද්‍යා භාෂාවෙන් කියනවා නම් ‘කාරක ප්‍රාග්ධනය හිඟ වීම’. ඒ වගේම මේ වගේ දැවැන්ත බිල් ගෙවලා භාණ්ඩයක් හැදුවාම ඒවායේ නිෂ්පාදන වියදම හරිම ඉහලයි. ඒ නිසා අපේ භාණ්ඩ වලට ජාත්‍යන්තර වෙළඳපොලේ තරග කරන්න බැරි වෙලා විකිණෙන්නේ නැතිව යනවා. ඒ නිසා කර්මාන්ත වැසී යනවා.

ඉහත තත්වය යටතේ ඩොලරය අගය පහත වැටීමෙන් පෙනී යන්නේ ආර්ථිකය සවිමත් වෙනවා කියන එක නොවේ. අපේ කර්මාන්ත ක්ෂේත්‍රය බලවත් කඩා වැටීමකට ලක් වෙලා කියන එකයි” ෴

+

+++++++++++

‘බල පෙරලියක් – නව සන්ධානයක්’ – උත්තර ලංකා සභාගයේ මහරගම විශේෂ සමුළුව අමතමින් පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා කල කතාව. (2024.03.23)

23-03-2024

++++++++++++

23-03-2024

+


ප්‍රාථමික සිසුන්ට අද (25) සිට උදෑසන ආහාර වේල නොමිලේ

(25.03.2024 – 07:13 +0530 – hirunews.lk/sinhala)

පළමු (1) ශ්‍රේණියේ සිට පහ (5) ශ්‍රේණිය දක්වා සියලු පාසල් දරුවන්ට පාසලේදී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමේ වැඩපිළිවෙළ අද (25) සිට ආරම්භ කෙරෙනවා.

එම වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ සහභාගිත්වයෙන් නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයේදී අද (25) ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 07:30 ත් 08:30 ත් අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන ලෙසත්, පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන කටයුතු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

‘නීරෝගි, ක්‍රියාශීලී දරු පරපුරක්’ යන තේමාව යටතේ මෙවර 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක පාසල් ආහාර වැඩසටහන මඟින් පාසල් සිසුන් අතර පෝෂණ ගැටලු‍ අවම කිරීම, සිසුන්ගේ දෛනික පාසල් පැමිණීම වර්ධනය කිරීම, යහපත් ආහාර පුරුදු හා සෞඛ්‍ය පුරුදු වර්ධනය කිරීම, අධ්‍යාපන සාධන මට්ටම් වර්ධනය සඳහා දායක වීම සහ දේශීය ආහාර සංස්කෘතිය ගොඩනැඟීම යන මූලික අරමුණු 04 ඉටු කරගැනීමට අපේක්ෂිතයි.

එහිදී රජයේ පාසල් 9134 ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් හා 100 ට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු‍ම පාසල් ද ආවරණය වන පරිදි සිසුන් මිලියන 1.6 ක් මෙවර පාසල් ආහාර වැඩසටහනට ඇතුළත්.

මේ වන විට එක් ශිෂ්‍ය ආහාර වේලක් වෙනුවෙන් රජය සපයන රු. 85 ක මුදල, පවත්නා වෙළෙඳපොළ මිල ගණන් ඉහළ යෑමට සාපේක්ෂව රු. 110 දක්වා වැඩි කර ඇති බවයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ.


මුහුණු පොත හරහා තරුණියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලු 21 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

(25.03.2024 – 07:26 +0530 – hirunews.lk/sinhala)

තරුණියකගේ මුහුණු පොතට හොර රහසේ ඇතුළත් වී නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව පවසා ලිංගික අල්ලස් ඉල්ලු 21 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු තරුණියගෙන් ‘ආදරය කිරීමට’ ඉල්ලා ඇති අතර, එය ප්‍රතික්ෂේප කළ තිබෙනවා.

එවිට තරුණියට ඔහු ලින්ක් එකක් එවා ඇති අතර, නිරුවත් ඡයාරූප සකසා සමාජගත කර බව පවසා තර්ජනකර තිබෙනවා.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුට කිසිදු පරිගණක දැනුමක් නොමැති නමුත්, වෙනත් අයගේ සමාජ මාධ්‍ය ජාලාවලට පිවිසිමේ අපුරු හැකියාවක් ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුට විරුද්ධව ලිංගික අල්ලස් ගැනීමේ චෝදනා රැසක් පවතින බව විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා ෴


උත්සව සමය තුළ සහල් හිඟයක් මවාපෑමේ උත්සහයක්

(25.03.2024 – 08:02 +0530 – hirunews.lk/sinhala)

වැඩි ලාභ ලබා ගැනීමේ අරමුණින් මෝල් හිමියන් විසින් උත්සව සමය ඉලක්ක කර ගනිමින් වෙළඳ පොළේ සහල් හිඟයක් මවා පෑමට උත්සහ කරමින් සිටින බවට සහල් අලෙවි කරන්නන් චෝදනා කරනවා.

මේ වන විටත් ඇතැම් ප්‍රදේශවල වෙළඳපොළේ සම්බා සහ ‘කීරි සම්බා’ හිඟයක් පවතින බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම එම සහල්වර්ග 2 පාලන මිලකින් තොරව අලෙවි කිරීමටද ඇතැම් ව්‍යාපාරිකයින් පියවර ගෙන තිබෙනවා.

රජය විසින් ‘සම්බා’ සහල් කිලෝවක් රුපියල් 230 කටත් ‘කීරි සම්බා’ සහල් කිලෝවක් රුපියල් 260 කටත් අලෙවි කිරීමටයි නියම කර ඇත්තේ ෴


කිරිපිටි මිල අඩු වීමේ සහනය කිරි තේ කෝප්පයටත්

(25.03.2024 – 08:43 +0530 – hirunews.lk/sinhala)

ආනයනික කිරිපිටි මිල අඩු කිරීමත් සමග කිරි තේ එකක මිලද රුපියල් 5-10 ත් අතර අගයකින් අඩු කරන බව ‘සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය’ පවසනවා.

ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 2900 ත් රුපියල් 3100 ත් අතර මිලකට අලෙවි වන ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 150 කින් අඩු කරන බවයි වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.

ඒ අනුව රුපියල් 1000 ත් 1200 ත් අතර මිලකට අලෙවි වන ග්‍රෑම් 400 යේ ආනයනික කිරිපිටි පැකට්ටුවක මිලද රුපියල් 60 කින් අඩු වන බව ඔහු කියා සිටියා.

මේ අතර කිරිපිටි මිල අඩු කිරීමේ වාසිය සලකා බලමින් කිරි තේ කෝප්පයක මිලද අඩු කරන බවයි සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් ප්‍රකාශ කළේ ෴


විදේශ රැකියාවල නිරතවන්නන්ට සිදුවන අකටයුතුකම් දැනුම්දීමට ඩිජිටල් ක්‍රමයක්

(25.03.2024 – 09:29 +0530 – hirunews.lk/sinhala)

විදේශ රැකියාවල නියැලෙන ශ්‍රමිකයින් හා වෘත්තිකයින්ට යම් අවධානමක් හෝ අකටයුත්තක් සිදුවන්නේ නම් ඒ බව දැනුම්දීමට ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසනවා.

දැනටමත් ඔවුන්ගේ පැමිණිලි සහ ගැටලු දැනුම්දීමට තානාපති කාර්යාල අංක ලබාදී ඇති නමුත් ඩිජිටල්ගත ක්‍රමවේදය හරහා සමස්ත පද්ධතියම වෙනස් වන බවයි මාතලේ පැවති වැඩසටහනකට එක්වෙමින් විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සඳහන් කළේ.

මේ වනවිටත් ඊට අමත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා ෴


109 ක්‍ෂණික ඇමතුම් අංකයට ලැබුණු පැමිණිලි 477 ක විමර්ශන අවසන්

(25.03.2024 – 10:13 +0530 – hirunews.lk/sinhala)

ළමයින්ට සහ කාන්තාවන්ට සිදුවන හිංසන සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා ‘ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය’ තුළ ස්ථාපිත කළ 109 ක්‍ෂණික දුරකථන අංකයට ලැබුණු පැමිණිලි 477ක විමර්ශන අවසන් කර ඇති බව පොලිසිය පවසනවා.

පසුගිය ජනවාරි 04 වනදා සිට මාර්තු 10 වනදා දක්වා කාලය තුළ එම දුරකථන අංකයට පැමිණිලි 1077 ක් වාර්තා වී ඇති අතර, ඉන් පැමිණිලි 42 ක් සඳහා නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.

එසේම පැමිණිලි අටක් (8) සමථ මණ්ඩලය වෙත යොමුකර ඇති අතර, පැමිණිලි 550 කට අදාළව විමර්ශන කටයුතු සිදුකරමින් පවතිනවා.

පොලිස් ස්ථාන වෙත ගොස් පැමිණිලි කිරීමට නොහැකි නව යොවුන් වියේ දරුවන්ට රහස්‍යභාවය ආරක්ෂා වන පරිදි 109 ක්‍ෂණික ඇමතුම් අංකය හරහා පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පෙන්වා දුන්නේ ෴


සියලු විකිරණ ප්‍රතිකාර ඒකක අනිද්දා (27) එක්දින වර්ජනයක

(25.03.2024 – 11:09 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව රෝහලේ අධ්‍යක්ෂවරියගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් අනිද්දා (27) දිනයේදී දිවයින පුරා සියලුම විකිරණ ප්‍රතිකාර ඒකකවල එක්දින (1) සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල වෙත ලිපියක් යොමුකරමින් මේ බව දැනුම් දී ඇත්තේ එම සංගමයේ ප්‍රධාන ලේකම් ඊ. ධර්මකීර්ති විසින්.

එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ මඩකලපුව රෝහලේ අධ්‍යක්ෂවරිය විසින්, දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපි නොසළකා හැරීම හේතුවෙන් එම රෝහලේ සිදුකරන අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් දැඩි කරමින් මෙම එක්දින (1) සංකේත වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ෴


ඊශ්‍රායල් රැකියා පෙන්වා මුදල් ගෑරූ ‘දොස්තර’ දැලේ

(25.03.2024 – 11:17 +0530 – hirunews.lk/sinhala)

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිළධාරීන්ගේ නම් භාවිතා කරමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු ‘ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ’ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ 07, විජේරාම පෙදෙසේ පදිංචි සැකකරු කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් මාර්ගයෙන් විදේශ රැකියා ලබා දිය හැකි බව පවසා ඇති අතර, තමන් වෛද්‍යවරයකු බවද ප්‍රකාශකර ඇති බවයි වාර්තා වෙන්නේ.

එහිදී මුදල් ලබාගැනීම සඳහා මොහු නාරාහේන්පිට විදේශ රැකියා අමාත්‍යාංශයට හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ද පුද්ගලයන් කැඳවා තිබෙනවා.

සැකකරු එලෙස ගෙන්වාගත් පුද්ගලයන් 9 දෙනෙකුගෙන් රුපියල් 76,50,000 ක මුදලක් වංචා කර ඇති බව‍යි විමර්ශනවලදී හෙලි වී ඇත්තේ.

සැකකරු කොළඹ අංක 05, මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මෙම ජාවාරම සඳහා සහය වූ මොහුගේ බිරිඳ විමර්ශන නිළධාරීන් මඟහරිමින් සැඟව සිටින අතර, ඇය අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *