14 හැවිරිදි පාසල් සිසුවියක්, සමූහ දූෂණයට ලක් කළ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

14 හැවිරිදි පාසල් සිසුවියක්, සමූහ දූෂණයට ලක් කළ දෙදෙනෙකු (2) අත්අඩංගුවට


14 හැවිරිදි පාසල් සිසුවියක්, සමූහ දූෂණයට ලක් කළ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(18.03.2024 – 20:23 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවියක කලක සිට සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙකු (2) ලබන 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය අද (18) මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ, යාපනය හංදිය ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කරණවෑමියෙකු සහ මිහින්තලේ පාර – කොහිලකොටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුයි.

මෙලෙස දූෂණයට ලක් වී ඇත්තේ, දැල් පන්දු, පා පන්දු, ක්‍රිකට් සහ එල්ලේ පාසල් මට්ටමින් ජාතික තරග වලට සහභාගි වී ජයග්‍රහණ හිමි කර ගත් දැරියක බවටයි අනාවරණය වී ඇත්තේ.

පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ, පුද්ගලයින් පිරිසක් විසින් මෙම දැරිය සමූහ වශයෙන් දූෂණයකරනු ලබන බවට ලද තොරතුරකට අනුව ඇයව පොලිස් භාරයට ගෙන සිදු කළ විමර්ශනයකින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් කරණවෑමියාගේ යාපනය හංදියේ පිහිටි කොන්ඩා කපන ස්ථානයේ පිටුපස කාමරයක දී සැකකරුවන් මෙම අපරාධය සිදු කර ඇති බවට අනාවරණ වී ඇති බව දැනුම් දුන් පොලිසිය, දැරිය දූෂණයට ලක් කළ තවත් සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද කියා සිටියා.

ඔවුන් අතර එක්තරා පොලිස් ස්ථානයන ළමා හා කාන්තා කාර්යංශයක සේවය කරන උප පොලිස් පරික්ෂකවරියකගේ 70 හැවිරිදි පියා ද සිටින බවයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ.

+


අධික උණුසුම හමුවේ පාසල් ක්‍රීඩා උත්සව කල් දමන්න උපදෙස් පත්‍රිකාවක්

(18.03.2024 – 13:11 +0530 – hirunews.lk/sinhala)

මේ දක්වා පවත්වා නොමැති පාසල් ක්‍රීඩා උත්සව අවුරුදු නිවාඩුවෙන් පසු පැවැත්වීමට අදාළ උපදෙස් අඩංගු උපදෙස් පත්‍රිකාවක් අද (18) පළාත් බලධාරීන් මගින් පාසල් වෙත නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ අද (18) පැවති වැඩසටහනකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරියටත් බලපානු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ, ලබන 21 වනදා සිට 24 වන දින දක්වා දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සුළු වැසි තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි.

මේ අතර, සෞඛ්‍ය අංශ පවසන්නේ අධික උණුසුම් කාලගුණයත් සමඟ පරිසරයේ දූවිලි අංශු ඉහළ යාම හේතුවෙන් දරුවන්ගේ ශ්වසන රෝග ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව, පවතින උණුසුම් තත්ත්වය මගහරවා ගැනීම සඳහා ජලය සහ ලවණ අඩංගු ස්වාභාවික දියර වර්ග ලබාදීමට කටයුතු කරන ලෙස ළමා රෝග විශේෂඥ දීපාල් පෙරේරා ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ කෘත්‍රිම දියර වර්ග දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද ලබාදීමෙන් වළකින ලෙසයි.


යාපනයේ ‘සීනිකැකිරි’ මිල ඉහළට

(18.03.2024 – 18:22 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල උතුරේ පවතින දැඩි හිරු රශ්මියත් සමඟ යාපනයේ ‘සීනිකැකිරි’ වලට ඉහළ ඉල්ලුමක් හා ඉහළ මිලක් නියම වී තිබෙනවා.

වෙනත් කාලවලදී කිලෝ එකක් රුපියල් 120 ට අලෙවි වූ සීනිකැකිරි කිලෝවක් මේ දිනවල මිල රුපියල් 300 ත් 400 ත් අතර මිලක් ගන්නා බවයි වාර්තා වෙන්නේ.

මේ නිසා උතුරේ සෑම දිස්ත්‍රික්කයකම පහේ සීනිකැකිරි වගා කිරීමට එම පළාත්වල ගොවියෝ වාර්ෂිකව පුරුදු වී සිටිනවා.

ඉතා හොදින් සීනිකැකිරි ගෙඩි පැසුණු පසුව ඒවා පුපුරන්නට පටන් ගන්නා නිසා ගොවියන් ඒවා කොළපත් හෝ වෙනත් ආවරණ වලින් අසුරා වෙළඳපොලට රැගෙන යන බවයි වාර්තා වෙන්නේ.

දැඩි හිරු රශ්මිය පතිත වන කාලයට උතුරේ වැසියෝ මෙම සීනිකැකිරි වැඩි වශයෙන් පාරිභෝජනයට ගෙන ඔවුන්ගේ පිපාසය නිවා ගන්නා අතර සීනිකැකිරි ජලයේ දිය කොට සීනි දමා පානයක් වශයෙන්ද, පලතුරක් වශයෙන් සහ කෑමක් වශයෙන්ද ඔවුන් ආහාරයට ගන්නා බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴


සේවයේ නිර­තව සිටි­යදී පොලි­සියේ තිදෙ­නෙක් (3) රට රැකි­යා­වවලට ගිහින්

(18.03.2024 – 19:34 +0530 – hirunews.lk/sinhala)

නාරා­හේ­න්පිට පොලිස් ස්ථාන­යට අනු­යු­ක්තව සේවයේ නිර­තව සිටි පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යකු, තෙල්දෙ­ණිය පොලිස් ස්ථාන­යට අනු­යු­ක්තව සේවයේ නිර­තව සිටි උප පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­යකු සහ හෝමා­ගම පොලිස් ස්ථාන­යට අනු­යු­ක්තව සේවයේ නිර­තව සිටි පොලිස් කොස්තා­ප­ල්ව­ර­යකු පොලිස් සේවයේ නිර­තව සිටින අතරතුර හොර රහසේ රට රැකි­යා­වක් සොයා විදෙ­ස්ග­තව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙම නිල­ධා­රීන් තිදෙ­නාට (3) සේවය අත­හැර යාමේ නියෝග නිකුත් කිරී­මට නුගේ­ගොඩ සහ කොළඹ දකුණ කොට්ඨා­සය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රී­වරු පෙරේදා (15) පිය­ව­ර­ගෙන ඇති බවටයි තවදුරටත් වාර්තා වන්නේ.

පොලිස් සේවයේ නිරත පොලිස් නිල­ධා­රීන් රැසක් පසු­ගිය කාලය පුරා­වට මේ ආකා­ර­යට රටින් පිටව ගොස් තිබූණා.

ඒ අතර වඩාත් අව­ධා­න­යට යොමු­වූයේ ‘පොලිස් ක්‍රීඩා කොට්ඨා­සයේ’ නිල­ධා­රීන් පිරි­සක් ‘ජාත්‍ය­න්තර පොලිස් සංග­මයේ’ සමු­ළු­ව­කට සහ­භා­ගි­වී­මට ගොස් අතු­රු­ද­න්වී­මයි ෴


2024 වසරේ වැඩිම උෂ්ණත්වය ගතවූ පැය 24 තුළ දී

(18.03.2024 – 20:37 +0530 – hirunews.lk/sinhala)

2024 වසරේ මේ දක්වා වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 38.5 පසුගිය පැය 24 තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

මේ අතර අධික උණුසුම් කාලගුණ තත්වය හමුවේ පළමු (1) පාසල්වාරයේ පැවැත්වීමට සැළසුම් කර ඇති වාර්ෂික ක්‍රීඩා උත්සව, තරග ඇතුළු විවිධ එළිමහන් ක්‍රියාකාරකම් කල් දැමීමට අදාළ උපදෙස් පත්‍රිකාවක් අධ්‍යාපන අමාත්‍යාංශය අද (18) යළි විදුහල්පතිවරුන් වෙත නිකුත් කළා.

ඒ පාසල් සිසුන් ක්‍රීඩා හා එළිමහන් ක්‍රියාකාරකම් යොදාගැනීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් වෛද්‍යවරුන් කර ඇති පැහැදිළි කිරීම් සලකා බලමින්.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති උපදෙස් පත්‍රිකාවෙන් දැනුම්දී ඇත්තේ, සිසුන්ගේ සෞඛ්‍ය සහ ජීවිතකාරක්ෂාව උදෙසා විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන ලෙසයි.

සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 මට්ටමේ පවතිනවා.

නමුත් ගෙවුණු පැය 24 තුළ කුරුණෑගලින් වාර්තා වූ උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 38.5 සාමාන්‍ය සිරුරේ උෂ්ණත්වයත් අභිබවා ගොස් තිබුණා.

උණුසුම ඉහළ යාමෙන් පාසල් සිසුන් ද පත්ව ඇත්තේ දැඩි අසිරුතාවකටයි ෴


‘ඔයා මට හොඳ තාත්තා කෙනෙක්, ඒ වගේම හොඳ යාළුවෙක්’ සෝ සුසුම් දහසක් මැද කැනඩාවේ ලාංකික පවුල අවසන් ගමන් යයි

(18.03.2024 – 21:47 +0530 – hirunews.lk/sinhala)

කැනඩාවේ ඔටාවාහි දී ඝාතනය කෙරුණු මව සහ දරුවන් සිව්දෙනා (4) ඇතුළු ශ්‍රී ලාංකිකයින් 06 දෙනාගේ අවසන් කටයුතු මෙරට වේලාවෙන් ඊයේ (17) රාත්‍රියේ සිදු කෙරුණා.

ඒ, ඔවුන්ගේ පවුලේ සමීපතම ඥාතීන්, හිතවතුන් ඇතුළු 100 කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන්.

එමෙන්ම තුවාල ලබා රෝහල්ගතව සිටි මෙම පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ ප්‍රථම වරට එම අවස්ථාවේ මාධ්‍ය හමුවේ පෙනී සිටියා.

කැනඩාවේ ඔටාවා හී බාර්හෙවන් ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලක මව සහ දරුවන් සිව්දෙනා (4) ඇතුළු ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු ඝාතනය කෙරුණේ පසුගිය 06 වැනිදා රාත්‍රියේදීයි.

ඝාතනය සම්බන්ධයෙන් 19 හැවිරිදි ‘ෆැබ්‍රියෝ ද සොයිසා’ නමැති ශ්‍රී ලාංකික සිසුවෙක් අත්අඩංගුවට ගැණුනු අතර ඔහු මේ වනවිට බන්ධනාගාරගත කර සිටිනවා.

එම පවුලේ පියා වූ ධනුෂ්ක වික්‍රමසිංහ තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

ඝාතනයට ලක් ව තිබුණේ පවුලේ මව වූ 35 හැවිරිදි දිලන්තිකා දර්ශනී ඒකනායක සහ ඇයගේ දරුවන් වූ හත් (7) හැවිරිදි ඉනුක වික්‍රමසිංහ , 04 හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, දෙහැවිරිදි (2) රිනායා වික්‍රමසිංහ සහ මාස දෙකක් (2) වයසැති බිලිඳියක වන කේලි වික්‍රමසිංහයි.

එමෙන්ම එම පවුලේ සමීපතමයෙකු වූ 40 හැවිරිදි ගාමිණි අමරකෝන් ද මෙහිදී ඝාතනයට ලක්වුණා.

ඝාතනය සිදුවී දින 10 කට පසු අවසන් කටයුතු සඳහා දේහයන් ඥාතීන්ට භාරදුන් අතර අවමංගල්‍ය උත්සවය මෙරට වේලාවෙන් ඊයේ (17) රාත්‍රී 10:30 ට ඔටාවා හී ඉන්ෆිනිටි කන්වෙන්ෂන් ශාලාවේදී ආරම්භ වුණා.

ඝාතන සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි එම පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ ප්‍රථම වරට එම අවස්ථාවේ මාධ්‍ය හමුවේ පෙනී සිටියා.

ධනුෂ්ක වික්‍රමසිංහගේ පියා සහ සහෝදරයෙකු අවමංගල්‍ය උත්සවයට එක්ව සිටි අතර සිය බිරිඳ සහ දරුවන්ගේ දේහයන් ඉදිරියේ ධනුෂ්ක වික්‍රමසිංහ සංවේදී වූවා.

මෙම අවස්ථාවට මියගිය අයගේ පවුලේ ළඟම ඥාතීන්, හිතවතුන්, ඔටාවා හී නගරාධිපතිවරයා, පොලිස් ප්‍රධානියා සහ කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හර්ෂ කුමාර නවරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හර්ෂ කුමාර නවරත්න සඳහන් කළේ මෙවැනි අදහසක් :

“මේ ශෝකාකූල අවස්ථාවේදී මම දෙයක් කියන්න කැමතියි. ජීවිතය රැකගනිමින් ඉදිරියට යන සමහර අයට ජීවිතේ වරදින තැනුත් එනවා. මම අවංකවම සතුටු වෙනවා මේ වගේ ඛේදනීය අවස්ථාවක හැමෝම එකට එකතුවීම ගැන.”

මෙම සිද්ධියේදී ඝාතනයට ලක් වූ 40 හැවිරිදි ගාමිණී අමරකෝන්ගේ බිරිඳ සහ දියණිය zoom තාක්ෂණය ඔස්සේ එක්වෙමින් සිය ශෝකය පළ කළා.

මියගිය ගාමිණී අමරකෝන්ගේ බිරිඳ සඳහන් කළේ මෙවැනි අදහසක් :

“මට තවමත් දැනෙනවා අපි එකට එකතුවෙලා ගතකරපු කාලයන් ගැන. අපි එකතු කරපු ඒ හැම මතකයක්ම අපේ හදවත්වල රැඳිලා තියේවි.

මියගිය ගාමිණී අමරකෝන්ගේ වැඩිමහල් දියණිය ඇගේ ශෝක පණිවුඩය අවමංගල්‍ය සභාවට ඉදිරිපත් කරන අවස්ථාවේදී පැමිණි සිටි බොහෝ දෙනෙක් සංවේදී වුණා.

“ඔයා මට හොඳ තාත්තා කෙනෙක්. ඒ වගේම හොඳ යාළුවෙක්. අම්මාට හොඳ සැමියෙක්. තාත්තේ ඔයා නැති අඩුව අපි හැමෝටම දැනෙනවා. තාත්තේ කොහේ හිටියත් පරිස්සමින් ඉන්න.”

ඉන් අනතුරුව මතක වස්ත්‍ර පූජා කිරීම හා පාංශුකූලය සිදු කෙරුණා.

ඒ ඔටාවා හී හිල්ඩා ජයවර්ධනාරාමයේ පූජ්‍ය මහගම සුනීත හිමිගේ ප්‍රධානත්වයෙන්.

එමෙන්ම වෙනත් ආගම්වල නියෝජිතයින් ද මීට එක්ව සිටියා.

මේ අතර මියගිය පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහගේ ශෝක පණිවිඩය ඔහු වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබුවේ කැනඩාවේ බෞද්ධ කොංග්‍රසයේ සභාපති නාරද කොඩිතුවක්කු විසින්.

“මගේ ආදරණීය බිරිඳ දර්ශනී, මගේ සිඟිත්තන් වූ ඉනුක, රියානා, අශ්විනී සහ කේලි මට අහිමි වීම ගැන මම දැඩි ලෙස කම්පාවට පත්වෙලා ඉන්නේ. ඒ වගේම මගේ මිත්‍රයෙකු වූ ගාමිණීගේ වියෝව ගැන මම කම්පාවට පත්වෙනවා. එමෙන්ම මේ සිද්ධිය වූ දින සිට මේ දක්වා උදව් උපකාර කළ සියලු දෙනාටත් මම මේ මොහොතේ ස්තූතිවන්ත වෙනවා.”

අනතුරුව දේහයන් මිහිදන් කිරීම සඳහා රැගෙන ගියේ‍ පැමිණ සිටි සියලු දෙනාගේ හදවත් කම්පා කරමින්.

+++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *