රාජ්‍ය සංගීත සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස පැවැත්විණි

රාජ්‍ය සංගීත සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස පැවැත්විණි


රාජ්‍ය සංගීත සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස පැවැත්විණි

(07.03.2024 – 18:37 +0530 – sinhala.adaderana.lk)

වසර 06 කට පසුව රාජ්‍ය සංගීත සම්මාන උළෙල ඊයේ (06) නෙළුම් පොකුණ එළිමහන් රංග පීඨයේ දී පැවැත්විණි.

‘සුභාවිත සංගීත කලාවක හෙට දවස’ වෙනුවෙන් විශිෂ්ටතම නිර්මාණ සහ ශිල්පීන් ඇගයීම හා දිරිගැන්වීම ප්‍රධාන අරමුණ කරගනිමින් මෙම සම්මාන උළෙල පවත්වයි.

මෙහිදී ජීවිතයට එක් වරක් පමණක් ලැබෙන සංගීතාභිමානීය යාවජීව සම්මාන ප්‍රවීණ සංගීතවේදීන් වන ‘දේවානන්ද වෛද්‍යසේකර’ සහ ‘ඇන්තනී සුරේන්ද්‍ර’ යන මහත්වරු දෙපළට හිමිවීම විශේෂත්වයකි.

ළමා, කාන්තා සහ පිරිමි යන කාණ්ඩ යටතේ විවිධ අංශයන් ගණනාවක් යටතේ විශිෂ්ටතම සම්මාන, කුසලතා සම්මාන, ජූරියේ විශේෂ ඇගයීම් ආදී ලෙස සම්මාන සහ සහතික පත්‍ර මෙහිදී පිරිනැමිණි.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණි.

+


ශ්‍රී ලංකා තායිලන්තය නිදහස් වෙළඳ ගිවිසුමට එරෙහිව පෙත්සමක්

(07.03.2024 – 20:08 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා සහ තායිලන්තය අතර අත්සන් කර තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

‘ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සම්මේලනයේ’ සභාපති කපිල රේණුක පෙරේරා විසින් පෙත්සම ඉදිරිපත් කළා.

එහි වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, මුදල් හා වෙලද අමාත්‍යංශ වල ලේකම්වරු ඇතුළු 27 දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ඉකුත් ජනවාරි මස 24 වනදා ජනාධිපතිවරයාට අනුමැතිය ලබාදුන් බවයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් පෙබරවාරි මස 03 වනදා වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සහ තායිලන්ත නියෝජිතයින් අතර අත්සන් තබා ඇති බව පෙත්සම්කරු කියා සිටියා.

අදාල ගිවිසුමේ පිටපතක් මේ දක්වා ප්‍රසිද්ධියට පත් කර නොමැති බවත් එහි පිටපතක් ලබා දෙන ලෙස තොරතුරු පනත යටතේ රජයෙන් ඉල්ලීමක් කළද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණු බවත් ඔහු සඳහන් කළා.

යෝජිත ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම යටතේ බදු සහන රැසක් ප්‍රදානය කිරීමට නියමිත බව පවසන පෙත්සම්කරු බදු පැනවීම, බදු නිදහස් කිරීම සහ රාජ්‍ය මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් තීරණය ගැනීමේ පූර්ණ බලය පාර්ලිමේන්තුවට පමණක් පැවරී තිබෙන බව පෙන්වා දෙනවා.

එහෙත් අදාල ගිවිසුම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොමැති බවත් යෝජිත ගිවිසුම හරහා විශාල රාජ්‍ය ආදායමක් අහිමිවන අතර එය සෘජුවම රජයේ ඒකාබද්ධ අරමුදලට බලපෑමක් සිදු කරන බවත් පෙත්සම්කරු චෝදනා කළා.

විනිවිද භාවයකින් හා නීත්‍යානුකූල භාවයකින් තොරව අත්සන් කර තිබෙන මෙම ගිවිසුම හරහා ජනරජයේ ස්වෛරී භාවයටත්, ජාතික ආරක්ෂාවටත්, ආර්ථිකයටත් විශාල අනතුරක් සිදුවන බවත් පෙත්සම්කරු සඳහන් කරනවා.

මේ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් අදාල ගිවිසුම ක්‍රියාත්මක වීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා සිටියා.

ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කීර්තියට සහ ආර්ථිකයට සිදුවන හානිය වෙනුවෙන් රුපියල් බිලියන 02 ක මුදලක් ඒකාබද්ධ අරමුදලට බැර කරන ලෙස අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙන අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් සහ රජයේ නිලධාරීන් පිරිසකට නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම බල රහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඒ තුළින් සිදුවන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2 ක වන්දියක් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා ෴


දේශබන්දුගේ පත්වීමට එරෙහිව තවත් පෙත්සම්

(07.03.2024 – 16:57 +0530 – sinhala.adaderana.lk)

වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම නීති විරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 02 ක් ඉදිරිපත් කර තිබේ.

සමගි ජන බලවේගයේ නිරෝෂන් පාදුක්ක විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කළ අතර මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර විසින් තවත් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

එම පෙත්සම්බල වග උත්තරකරුවන් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ සාමාජිකයින්, නීතිපතිවරයා, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරුවෝ කියා සිටින්නේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විධිමත් අනුමැතියක් ලැබී නොමැති බවය ෴


ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

(07.03.2024 – 14:08 +0530 – sinhala.adaderana.lk)

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් බියගම, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු බියගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

66 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අදාළ පුද්ගලයා වෛද්‍යවරයෙකු වන සිය පුත්‍රයාගේ නම ව්‍යාජ ලෙස භාවිත කරමින් මෙම වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

සැකකරුගේ පුත්‍රයා ලියාපදිංචි වෛද්‍යවරයෙකු වන අතර ඔහු විසින් 2017 වසරේ දී අදාළ වෛද්‍ය මධ්‍යස්ථානය ලියාපදිංචි කර ඇති බව සඳහන්ය.

2023 වසරේ ජුලි මාසයේ දී ඔහු විදෙස්ගත වී ඇති අතර අනතුරුව ඔහුගේ පියා විසින් සිය පුත්‍රයාගේ නම ව්‍යාජ ලෙස භාවිතා කරමින් වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිට අදාළ වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


අම්බානි පුතුගේ මංගල උත්සවයට ගිය ලංකාවේ සූපවේදීන් යළි දිවයිනට

(07.03.2024 – 11:24 +0530 – sinhala.adaderana.lk)

ආසියාවේ ධනවත් ම පුද්ගලයා විසින් පවත්වනු ලබූ මංගල සාදයේ ආහාර පිසීම සඳහා ඉන්දියාවට ගොස් සිටි ලාංකීය සූපවේදීන් පිරිස අද (07) උදෑසන යළි දිවයිනට පැමිණියහ.

ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි මහතාගේ බාල පුත් ආනන්ත් අම්බානිගේ විවාහ මංගල උත්සවය පසුගිය දා අතිඋත්කර්ෂවත් අයුරින් ගුජරාටි ප්‍රාන්තයේදී පැවැත්වුණි.

එම විවාහ මංගල උත්සවයේ ආහාර පිසීම සඳහා ලංකාවේ සූපවේදීන් 13 දෙනෙකු එක්ව සිටි අතර, ඔවුන් Citrus හෝටල් සමූහය නියෝජනය කරමින් කොළඹ Citrus හෝටලයේ Ceylon Curry Club අවන්හල නියෝජනය කරන සූපවේදීන් පිරිසකි.

මෙම සූපවේදීන් පිරිස පාරිභෝගික ප්‍රතිචාර සහ ගූගල් ඇගයීම් සහ නිර්දේශ මත තෝරා ගෙන තිබිණි.

මොවුන් අවන්හල තුළ දී ලංකාවටම ආවේනික වූ ආහාරපාන, නවතම ක්‍රමවලට පිළියෙල කර පාරිභෝගිකයින්ට ලබාදී තිබේ.

මෙම සූපවේදීන් 13 දෙනා අතර එක් සූපවේදිනියක් ද ඇතුළත් වී සිටී.

මොවුන් මාර්තු 03 වනදා ආනන්ත් අම්බානිගේ විවාහ මංගල උත්සවයට සහභාගී වන පිරිස සඳහා දිවා ආහාරය පිළියෙල කර ඇති අතර, ඔවුන්ගේ ආහාර සඳහා ලැබුණු ප්‍රතිචාර හේතුවෙන් තවත් අතිරේක දිනයක් (1) ලෙස මාර්තු 04 වන මංගල උත්සව පැවති දින රාත්‍රියේ ද ආහාර පිළියෙල කරන වගකීම පැවරී තිබිණි.

මෙම විවාහ මංගල්‍යය උත්සවය ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ “ජාම්” නගරයේ දී අම්බානි මහතාට අයත් පෞද්ගලික සත්වෝද්‍යානයක දී පැවැත්වුණි.

විවාහ මංගල උත්සවය සඳහා ශ්‍රී ලාංකික සූපවේදීන්ට අමතරව එංගලන්තය, ඩුබායි, චීනය සහ ඉන්දියාව නියෝජනය කරමින් ද පිරිසක් එක්ව සිටියහ.

මෙම සූපවේදීන් පිරිස අද (07) උදෑසන 06:20 ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.

+++++++++

+


‘අස්වැසුම’ ප්‍රතිලාභ ක්‍රමවේදය හරහා දීමනා ගෙවීම ගැන මුදල් අමාත්‍යාංශයෙන් හදිසි තීරණයක්

(07.03.2024 – 09:49 +0530 – sinhala.adaderana.lk)

වෙනත් හැකියාවන් සහිත පුද්ගලයින්, හඳුනානොගත් වකුගඩු රෝගීන් සහ වැඩිහිටි ආධාර ලබන පුද්ගලයින් සඳහා වන ගෙවීම් ‘අස්වැසුම’ ප්‍රතිලාභ ක්‍රමවේදය හරහා සිදුකිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අප්‍රේල් මස පළමු වන දින (01) සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගෙවීම් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ආධාර ලබන වෙනත් හැකියාන් සහිත පුද්ගලයින් 410,000 ක් සඳහා මාසිකව රුපියල් 7,500 බැගින් දීමනාවක් ද වකුගඩු ආධාර ලබා පුද්ගලයින් 50,000 ක් සඳහා රුපියල් 7,500 බැගින් දීමනාවක් ද ලබාදීමට නියමිතය.

ඊට අමතරව වැඩිහිටි ආධාර ලබන පුද්ගලයින් 820,000 ක් සඳහා රුපියල් 3,000 බැගින් දීමනාවක් ද ලබාදීමට නියමිතව තිබේ.

මෙම දීමනා මේ වසරේ අප්‍රේල් මස පළමු වන දින (01) සිට 2025 වසරේ මාර්තු 03 වන දින දක්වා ගෙවීම් සිදුකළ යුතු බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය ෴


ළමා අපයෝජකයින්ගේ නම් ලැයිස්තුවක් ළඟදීම

(07.03.2024 – 08:06 +0530 – sinhala.adaderana.lk)

ළමා ලිංගික අපයෝජන චෝදනාවන්ට වරදකරුවන් වූ පුද්ගලයින්ගේ නාමලේඛනයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ‘ජාතික ළමා ආරක්ෂක අධිකාරිය’ පවසයි.

එම අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේ, අදාළ පුද්ගලයින්ගෙන් ළමුන්ට පවතින අවදානම පිළිබඳව සලකා බලා මෙම පියවර ගෙන ඇති බවය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උදය කුමාර අමරසිංහ මහතා මේ බව සඳහන් කළේය.

“ළමා අපයෝජන වැරදිවලට විශේෂයෙන්ම ලිංගික අපයෝජන වැරදිවලට වරදකරු වෙලා, දඬුවම් විඳලා නැවත ළමයි ඉන්න පරිශ්‍රයන්ට එන අය සාපේක්ෂව ළමයින්ට අවදානමක් තියෙනවා. ඒ නිසා මේවා සීමා කරන්න ක්‍රමවේදයක් හදන්න ඕනේ. අපි ක්‍රම කිහිපයක් මේ වනවිට යෝජනා කරලා තියෙනවා. ළමා ආරක්ෂක අධිකාරිය සැලසුම් කරගෙන යනවා ළමා අපයෝජන වරදකරුවන්ගේ ලේඛනයක් හදන්න. ඒ අය නිදහස් වුණත් අවශ්‍ය අයට විතරක් ඒ තොරතුරු ගන්න පුළුවන්.

දෙවනුව අපි සාකච්ඡා කරගෙන යනවා ලිංගික අපයෝජනයන් තුළ බරපතළ අපයෝජන සිද්ධිවලට වරදකරුවන් වන තැනැත්තන් දඬුවම් කාලය අවසන් කරලා ආවත් ඔවුන් දරුවන් සමග ඍජුවම ගනුදෙනු කරන පරිශ්‍රයන්ට ඇතුළු වීම සීමා කිරීමට හෝ වැළැක්වීමට නීතිමය ප්‍රතිපාදන ගෙන ආ හැකිද යන්න පිළිබඳව.”

පසුගිය වසර තුළ ළමුන් සම්බන්ධයෙන් සිදුවු ලිංගික අපයෝජන සිද්ධීන්වල යම් වර්ධනයක් පෙන්නුම් කරන බව ද උදය කුමාර අමරසිංහ මහතා එහිදි සඳහන් කළේය.

මේ අතර ලංකාව පුරා 2022 වර්ෂයේ අවුරුදු 18 ට අඩු වයසේ පසුවන ගැහැනු දරුවන් දූෂණ සිද්ධීන් 1,618 ක් වාර්තා වී ඇති අතර, මෙය 2023 වසර වෙන විට 1,639 ක් ලෙස දැක්වේ.

එමෙන්ම ලිංගික අතවර සිදුවීම් 2022 වසරේ දී 1,232 ක් වාර්තා වී ඇති අතර, 2023 වසරේ දී එවැනි සිදුවීම් 1,497 දක්වා ඉහළ ඉහළ ගොස් ඇතැයි ද උදය කුමාර අමරසිංහ මහතා පැවසීය.

ඊට අමතරව දරුවන්ගෙන් අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීමේ සිද්ධි 2022 වසරේ දී 13 කුත් 2023 වසරේ දී 22 කුත් වාර්තා වී ඇතැයි ඒ මහතා කියා සිටියේය.

+


උතුම් පෙම කර මතින් දරා ගෙන – අසරණ වූ සැමියා එක්ක ජීවිත සටන දිනන්න කැපවෙන උතුම් බිරිදක් (07.03.2024)

+


බීමට වතුර නැති තුම්පනේ ගම – එදිනෙදා වැඩ කරගන්න වතුර නෑ (07.03.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *