රු. ලක්ෂ 12 ක අල්ලසක් ගත් ගොවිජන සේවා නිෂ්පාදන සහකාරයෙකු අත්අඩංගුවට
රු. ලක්ෂ 12 ක අල්ලසක් ගත් ගොවිජන සේවා නිෂ්පාදන සහකාරයෙකු අත්අඩංගුවට
(17.10.2025 – hirunews.lk)
වගා ඉඩමකට අක්කර බදු ගෙවූ බවට කුවිතාන්සියක් ලබාදී අවශ්‍ය කටයුතු කිරීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 35 ක මුදලක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 12 ක් ලබාගත් බව කියන සිද්ධියකට අදාලව දියළුම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙකු අල්ලස් කොමිසම විසින් ඊයේ (16) අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
මෙම සැකකරු රුපියල් ලක්ෂ 10 ක මුදලක් මින් පෙරදීද පැමිණිලිකරුගෙන් ලබාගෙන ඇතැයි ද අල්ලස් කොමිසම සඳහන් කරනවා.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඇතිලිවැව නගරයේ අවන්හලක් තුළ දී බවද අල්ලස් කොමිසම පවසනවා.
මහව ප්‍රදේශයේ පුද්ගලයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙහි විමර්ශනය ආරම්භ කළ බවද අල්ලස් කොමිසම පවසනවා.
අනවසරයෙන් අල්ලාගෙන වගා කටයුතු සිදු කරන ලද අක්කර 20 ක පමණ ප්‍රමාණයක රජයේ ඉඩමකින් අක්කර 12 ක පමණ ප්‍රමාණයක් පැමිණිලිකරු වෙත වගා කටයුතු සිදු කිරීම සඳහා එම ඉඩමට පැමිණිලිකරු මඟින් අක්කර බදු ගෙවූ බවට කුවිතාන්සියක් ලබා දී ඒ සඳහා අවශය කටයුතු සිදු කර දීමට මුලින් රු. ලක්ෂ 35 ක මුදලක් ඉල්ලා එයින් පසුව රු. ලක්ෂ 10 ක මුදලක් ලබාගැනීම සහ ඉතිරි රු. ලක්ෂ 25 ක මුදලින් රු.1,200,000 ක (රුපියල් ලක්ෂ දොළහක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු වැල්ලවාය ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
මෙරට පාස්පෝට් හිමියන්ටත් කටුනායකදී ඊ-ගේට්ස් පහසුකම්
(17.10.2025 – hirunews.lk)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (BIA) විසින් ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍ර හිමියන් සඳහාම සුවිශේෂී ලෙස ස්වයංක්‍රීය දේශසීමා පාලන (ABC) ඊ-ගේට්ස් (e-Gates) හඳුන්වා දී තිබෙනවා.
මෙම නවීන තාක්ෂණය මගින් මගීන්ට වඩාත් වේගවත් සහ ආරක්ෂිත ආගමන විගමන නිෂ්කාශන අත්දැකීමක් ලබා දෙනු ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.
මෙය ශ්‍රී ලංකාවේ සුහුරු සංචාරණ සහ ඩිජිටල් දේශසීමා කළමනාකරණය කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලබනවා.
ඒ අනුව, මෙම නව පහසුකම භාවිත කිරීමට සුදුසුකම් ලබන සංචාරකයින්ට පූර්ව ලියාපදිංචි වීමෙන් පහත සරල පියවර තුන අනුගමනය කරමින් බාධාවකින් තොරව ගමන් කළ හැකියි.
- පියවර 01 – එක් වරක් ලියාපදිංචි වීම (One-time registration)
- පියවර 02 – අවශ්‍ය ජෛවමිතික දත්ත ලබා දීම (Obtain required biometrics)
- පියවර 03 – ඊ-ගේට්ස් හරහා ඔබේ සුහුරු ගමන ආරම්භ කරන්න (Start your smart travel through e-gates)
මෙමගින් ආගමන කවුන්ටරවල රැඳී සිටින කාලය අවම කර, ගමන් කටයුතු වඩාත් කාර්යක්ෂම කරනු ඇති ෴
මහපොළ ශිෂ්‍යත්ව අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කෙරේ
(17.10.2025 – hirunews.lk)
2024 – 2025 අධ්‍යයන වර්ෂය සඳහා සාමාන්‍ය ප්‍රවේශය යටතේ විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබූ සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාර අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව ලබන 31 වැනිදා දක්වා අයදුම් කිරීමට හැකියාව පවතින බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ.
මීට පෙර ඒ සදහා ලබා දී තිබූ කාලය ලබන සදුදායින් (20) අවසන් වීමට නියමිතව තිබුණා ෴
කුඩු ඇල්ලූ පොලිස් ලොක්කා කුඩු කළ ආණ්ඩුවේ මෙහෙයුම. ගම්මන්පිලට අරවින්ද දුන් හයිය (18.10.2025)
+
‘ඩිලන්ත මාලගමුව’ට එරෙහි බහා තැබූ නඩුව යළි කැඳවයි.. විනිසුරුට එරෙහි විමර්ශණයකුත්..
(18.10.2025 – 14:10 +0530 – lankacnews.com)
මාස හතරක (4) කාලයක් ඇතුළත ඇමරිකානු ඩොලර් ලක්ෂ අටක (8) මුදලක් ආපසු ලබාදෙන බවට ගිවිසුම් අත්සන් කර සුපිරි නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ජපන් ජාතිකයකුගෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ හයක (6) මුදලක් ලබාගෙන වංචා කිරීමේ චෝදනා යටතේ සුපිරි මෝටර් රථ ධාවන ශූර ‘ඩිලන්ත මාලගමුව’ ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකුට (4) එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව ලබන නොවැම්බර් 20 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
2008.02.01 වැනිදා හා 2008.03.03 වැනිදා කාලය අතරතුර දී ජපන් ජාතිකයකු වන සොෂුකි හයාෂි නමැත්තාගෙන් එකී මුදල ලබාගෙන වංචා කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් 2015 වසරේ දී විත්තිකරුවන් සිවුදෙනකුට (4) එරෙහිව එම නඩුව පවරා තිබිණි.
සිතාසි නිකුත් කර එකී විත්තිකරුවන් කැඳවා නඩුව ආරම්භ කළ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගත් පූර්වගාමි මහාධිකරණ විනිසුරුවරයකු නඩුව ඉදිරියට පවත්වාගෙන යෑම අත්හිටුවා නඩුව බහා තැබීමට නියෝග කොට තිබිණි.
ඒ පිළිබඳව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ විරෝධතා සලකා බැලූ අධිකරණ සේවා කොමිෂන් සභාව එකී මහාධිකරණ විනිසුරුවරයාට ස්ථාන මාරුවක් ලබාදී තිබිණි. එලෙස එකී නඩුව බහා තැබීම බැලූ බැල්මට දෝෂ සහගත බවට නිගමනය කළ අධිකරණ සේවා කොමිෂන් සභාව මේ වනවිට සේවය අත්හිටුවා ඇති එකී පූර්වගාමි මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ යටතේ විමර්ශනයක් ආරම්භ කිරීමටත් එලෙස අනීතික ලෙස බහා තැබුවේ යැයි කියන නඩුව යළි විභාගයට ගැනීමටත් පියවර ගෙන තිබිණි. ඒ අනුව පෙර කී පූර්වගාමි මහාධිකරණ විනිසුරුවරයා විසින් මුදාහැර තිබූ ‘ඩිලන්ත මාලගමුව’ ඇතුළු විත්තිකරුවන් සිතාසි නිකුත් කර අධිකරණයට කැඳවා නැවත නඩු විභාගය පැවැත්වීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කළ නියෝගයක් අනුව එම නඩුව වසර ගණනාවකට පසුව (16දා) කැඳවිණි.
සිය සේවාදායකයාට පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දීමට ශ්‍රී ලංකාවට පැමිණීමේ හැකියාවක් නොමැති බැවින් සූම් තාක්ෂණය ඔස්සේ සාක්ෂි දීමට ඔහු සූදානම් බව පැමිණිලිකාර ජපන් ජාතිකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වන එම ජපන් ජාතිකයාගෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබාගනෙ තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට නියෝග කළ විනිසුරුවරිය එම නඩුව යළි ලබන නොවැම්බර් 20 වැනිදා කැඳවීමට නියෝග කළාය.
ඒ.ජේ.ඒ. අබේනායක
සති 2 ක් තිස්සේ රාජ්‍ය සේවයේ ඔන්ලයින් සේවා ගණනාවක් අඩපණයි
(18.10.2025 – hirunews.lk)
මෙරට රාජ්‍ය සේවයේ ඩිජිටල් සේවා සඳහා පහසුකම් සපයන ‘ලංකා ගවර්න්මන්ට් ක්ලවුඩ් සේවාවේ’ ඇතිවූ බිඳවැටීම හරහා කිසිදු දත්ත හානියක් හෝ ආරක්ෂක ක්‍රමවේදවලට බලපෑමක් නොවන බව ‘තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය’ තහවුරු කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ මෙම බිඳවැටීම මගින් ජනතාවට ඇතිවන අපහසුතා අවම කිරීමට විකල්ප ක්‍රම හඳුන්වාදී ඇති බවයි.
මෙරට රාජ්‍ය ඩිජිටල් සේවා රැසකට පහසුකම් සපයනු ලබන්නේ ‘ලංකා ගවර්න්මන්ට් ක්ලවුඩ් සේවාව’ ඔස්සේයි.
එය පාලනය වන්නේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය මගින්. එම පද්ධතිය, දැනට දින 14 කට අධික කාලයක සිට බිඳ වැටී තිබෙනවා.
රජයේ වෙබ් අඩවි 40 කට අධික සංඛ්‍යාවක් මේ සමඟ අක්‍රිය වී ඇති තිබෙන බව සඳහන්.
මේ හේතුවෙන් රාජ්‍ය ආයතන කිහිපයක මාර්ගගත (ඔන්ලයින්) සේවාවන්වලට ද මෙමගින් බලපෑම් එල්ල වී තිබෙනවා.
ඒ අනුව රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ උප්පැන්න විවාහ සහ මරණ සහතික නිකුත් කිරීමේ පද්ධතිය, පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිෂ්කාශන සහතික පද්ධතිය, වාණිජ දෙපාර්තමේන්තුවේ නිෂ්පාදිත රට සහතික නිකුත් කිරීමේ මාර්ගත පද්ධතිය ද ඒ අතර වන බවයි තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය සඳහන් කළේ.
මීට අමතරව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් පද්ධතිය, ඊ – පළාත් පාලන පද්ධතිය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති මණ්ඩලය ඇතුළු තවත් ආයතන කිහිපයක වෙබ් අඩවි ද ඊට අයත්.
බස්නාහිර පළාත හැර, ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඔන්ලයින් ආදායම් බලපත්‍ර පද්ධතිය අක්‍රිය වී ඇති බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය සඳහන් කළද බස්නාහිර පළත තුළත් එම වෙබ් අඩවිය අක්‍රියවී තිබෙන බවට පැමිණිලි ලැබී ඇතැයි සඳහන්.
එම සේවාවන් යථාතත්වයට පත් කිරීමේ වගකීම පැවරෙන තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය හෙවත් අයිසිටීඒ (ICTA) වෙබ් පිටුවද අක්‍රිය වී තිබෙනවා.
මෙරට රාජ්‍ය ආයතන වෙපිටුවල දිගුව වන gov.lk සහිත වෙබ් ලිපිනයන් වෙත පිවිසීමේදී අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් වනවා. එහි දැක්වෙන්නේ ‘ප්‍රහාරකයින් ඔබගේ තොරතුරු සොරකම් කිරීමට උත්සාහ කරනවා විය හැකියි’ යනුවෙන්.
රාජ්‍ය සේවයේ ඩිජිටල් සේවාවන් බිඳවැටීම පිළිබඳ අදහස් දක්වන තොරතුරු තාක්ෂණ පර්යේෂක ‘ආචාර්ය සංජන හත්තොටුව’ මෙලෙස පැවසුවා.
“දැන් අපි දන්නේ නැ කවදද මේක ආයෙමත් එන්නේ කියලා? මොනවද වෙලා තියෙන්නේ කියලවත්. ඒ කියන්නේ වගකීමෙන් කවුරුවත් කියලා නෑ මොනවද වෙලා තියෙන්නේ කියලා. අපි දැනගත්ත විදිහට .. යම්කිසි විදිහකට ICTA එක LGC (Lanka Government Cloud) එක සංක්‍රමණය කරන කාල වකවානුවක මාස ගාණක් තිස්සේ ‘ඩේටා ක්ලවුඩ් කොන්ත්‍රාත්තු’ කළමනාකරණය කරලා නැති හින්දා තමයි මේ උපකල්පනය කරන්න පුළුවන් මේක වෙලා තියෙනවා කියලා. ලංකාව 2025 තියෙන මූලික සාකච්ඡාවක් තමයි මේ ඩිජිටල්කරණය. ඩිජිටල්කරණයේ පදනමක් තමයි මහජන විශ්වාසය. එතකොට මේ වගේ දෙයක් පළවෙනි වතාවට නෙමෙයි වෙලා තියෙන්නේ. 2021 වුණා, 2023 වුණා, දැන් වෙලා තියෙනවා. කිසිම වගවීමක් නැහැ. කවුරුවත් කියන්න නෑ මොකද මේකට වුණේ කියලා. එතකොට ඩිජිටල්කරණය කියලා අපිට නුදුරු අනාගතයේ යම් යම් දේවල්, හොඳ දේවල් වෙනවා කියලා ඉදිරිපත් කිරීමක් කෙරුවත් ආණ්ඩුවෙන්, යථාර්ථය තමයි අද මේ ඩිජිටල්කරණය ගැන ජනතාවට තියෙන විශ්වාසය අඩපණ වෙලා තියෙනවා. සරල ප්‍රශ්නවලට උත්තර නැහැ. දස දහස් ගණනක්, සුමානයක් තිස්සේ අසරණ වෙලා තියෙනවා. මොකද ඒගොල්ලන් අර අනූගණන්වල කළා වගේ ‘පත්තර ෆෝම්ස්’ තමයි පුරවන්න සිද්ධ වෙලා තියෙන්නේ. LGC අඩපණ වුණාට පස්සේ මේ වෙබ්සයිට්වල තියෙන දත්ත ටික සුරක්ෂිත වෙලා තියෙනවා කියලා ICTA නිවේදනය කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ පොරොන්දු කඩවුණාට පස්සේ ඒගොල්ලන්ම කියනවා මේ දත්ත සුරක්ෂිතයි කියලා. ඉතින් ඒක ඇත්තට මම හිතන්නේ නෑ මනා රාමුවක් කියලා මේ ඩිජිටල්කරණය කරගෙන යන්න. ඉතින් අපිට ඊට වඩා සෘජුව වගවීමකින් පැහැදිලි කිරීමක් කරන්න ඕනේ මින් ඉදිරියට මේ වගේ දෙයක් නොවෙන්න නම් මොනවද අරන් තියෙන ක්‍රියාමාර්ග කියලා.”
මෙය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවද එම ICTA ආයතනය පවසනවා.
ජනතාවට ඇතිවන අපහසුතා අවම කිරීම සඳහා විකල්ප ක්‍රමවේද හඳුන්වාදී ඇති අතර ‘රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව’ නිවේදනය කළේ සහතික පිටපත් හෝ මුල් සහතිකපත් නිකුත් කළ ‘ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්’ ලබාගැනීමේ හැකියාව පවතින බවයි.
මේ අතර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ දත්ත පද්ධතිය අක්‍රිය වී ඇති බැවින්, පද්ධතිය නැවත සකස් කරන තුරු බස්නාහිර පළාත හැර දිවයිනේ අනෙකුත් පළාත්වල වාහන ආදායම් බලපත්‍ර සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය සාධාරණ සහනය අවස්ථානෝචිතව රියැදුරන් වෙත ලබාදීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
+
සෙව්වන්දිට හැංඟෙන්න උදව් කළ තවත් දෙදෙනෙක් (2) දැලේ
(18.10.2025 – hirunews.lk)
සංවිධානාත්මක අපරාධකරුවකු වූ ‘සංජීව කුමාර සමරරත්න’ නොහොත් ‘ගණේමුල්ලේ සංජීව’ නමැත්තාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය වන ‘ඉෂාරා සෙව්වන්දි’ට සැඟව සිටීමට සහ රටින් පලා යාමට ආධාර අනුබල දුන් තරුණියක ඇතුළු දෙදෙනෙක් (2) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (17) මෙම සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 45 ක් වන මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ වයස අවුරුදු 26 ක් වන මිද්දෙණිය ප්‍රදේශයේ පදංචි තරුණියක් බවද පොලිස් මූලස්ථානය පවසනවා.
අළුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී ඉකුත් පෙබරවාරි මස 19 වන දින සිදුවූ ‘ගණේමුල්ලේ සංජීව ඝාතනය’ සම්බන්ධයෙන් ‘ඉෂාරා සෙව්වන්දි’ නමැති සැකකාරියට සැඟව සිටීමට සහාය වීම මොවුන්ට දෙදෙනාට (2) එල්ලවූ චෝදනාවන්.
අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය කොළඹ අපරාධ කොට්ඨාසයේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බව පොලිස් මූලස්ථානය සඳහන් කළා ෴
+++
‘ඉෂාරා’ දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ – වළදමා තිබීයදී දුරකතනයත් සොයා ගනී
(18.10.2025 – 18:56 +0530 – sinhala.adaderana.lk)
නේපාලයේ දී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ ‘ඉෂාරා සෙව්වන්දි’ව දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබේ.
පොලීසිය සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යංශය විසින් මෙම අවසරය ලබා දී ඇත.
මේ අතර ‘ඉෂාරා සෙව්වන්දි’ භාවිත කළ ජංගම දුරකතනය ගම්පහ ප්‍රදේශයේ වළදමා තිබියදී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සොයාගෙන තිබේ.
ඒ ඇයගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරුවලට අනුවය.
‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන කොළඹ දිසා අපරාධ විමර්ශන කාර්යාංශය අද දිනයේදීත් ඉෂාරා සේව්වන්දිව විමර්ශනයක් සඳහා ඉන් පිටතට රැගෙන ගියේය.
මේ අතර ඇයට ගණේමුල්ල සංජීව ඝාතනයයෙන් අනතුරුව නවාතැන් ලබාදුන් වැලිපැන්නේ නිවසෙහි හිමිකාරියගෙන් කොළඹ අපරාධ විමර්ශන නිලධාරීන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ.
52 හැවිරිදි එම කාන්තාව මතුගම රෝහලේ උපස්ථිකාවක ලෙස සේවය කළ අයෙක් වන අතර ‘මතුගම ශාන්’ කලක සිට හඳුනන අයෙක් බව ද ඇය පොලිසිය හමුවේ පවසා ඇත.
‘ගණේමුල්ල සංජීව’ ඝාතනය වූ දින ඔහු විසින් ලබාදුන් දුරකතන ඇමතුමකට අනුව සැකකාරිය යතුරුපැදියකින් අලුත්ගම ඩිපෝව අසලට ගොස් ‘ඉෂාරා සෙව්වන්දි’ව රැගෙන වැලිපැන්නේ නිවසට පැමිණ තිබේ.
පොලිසිය පැවසුවේ, ඊට පසුදින උදෑසන නැවත ‘ඉෂාරා’ව යතුරුපැදියක නංවාගෙන නිවසින් බැහැර කර ඇති බවය.
ඒ අනුව ඇයව පැය 72 ක රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කරනු ලබයි.
එමෙන්ම අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් කොස්තාපල් අදාළ කාන්තාවගේ බෑණා බව පොලිසිය පැවසුවේය.
ඔහු ‘ඉෂාරා සෙව්වන්දි’ සැඟවී සිටි නිවසේම පදිංචිව සිට තිබේ.
‘ඉෂාරා’ සම්බන්ධයෙන් සියලු තොරතුරු දැන සිටියදීත් වගකිවයුතු පොලිස් නිලධාරියෙකු වශයෙන් ඔහු ඒ සම්බන්ධයෙන් කිසිඳු ආරක්ෂක අංශයක් දැනුවත් කර නොමැත.
ඒ අනුව තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් හා ‘ඉෂාරා’ට අපරාධයෙන් පසුව නවාතැන් පහසුකම් ලබාදීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.
එමෙන්ම කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරන ‘ගම්පහ බබා’ නැමැත්තා ‘කෙහෙල්බද්දර පද්මේගේ’ පියාගෙන් ‘පද්මේ’ව හඳුනාගත් බව සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී අනාවරණ වී ඇත.
ඔහු විමර්ශන නිලධාරින් හමුවේ පවසා ඇත්තේ, තමන් ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ මත්ද්‍රව්‍ය ජාලයට ද සම්බන්ධ වී සිටි බවය.
‘ගම්පහ ඔස්මන්’ නැමැත්තා ඝාතනය කිරීමට උත්සහා කළ අවස්ථාවේදී වෙඩික්කරුවන් පැමිණි කැබ් රථය ‘පද්මේ’ගේ උපදෙස් මත තමන් සතුව තබාගත් බවද සැකකරු පවසා තිබේ.
මේ අතර ‘නුගේගොඩ බබී’ නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී බස්නාහි උතුර අපරාධ කොට්ඨාය ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවස අසළ වළදමා තිබූ ජීව අත්බෝම්බයක් හා ජීව උණ්ඩ 10 ක් සොයාගත් බව පොලිසිය පැවසුවේය ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴