සංචාරක වීසා මත මෙරටට පැමිණ ව්‍යාපාර කටයුතුවල නිරතවන සංචාරකයින් ගැන තොරතුරු හෙළිවේ

සංචාරක වීසා මත මෙරටට පැමිණ ව්‍යාපාර කටයුතුවල නිරතවන සංචාරකයින් ගැන තොරතුරු හෙළිවේ


සංචාරක වීසා මත මෙරටට පැමිණ ව්‍යාපාර කටයුතුවල නිරතවන සංචාරකයින් ගැන තොරතුරු හෙළිවේ

(07.03.2024 – 13:25 +0530 – hirunews.lk/sinhala)

සංචාරක වීසා මත මෙරටට පැමිණ ව්‍යාපාර කටයුතුවල නිරතවන සංචාරකයින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ, හබරාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ගාලු‍ කොටුව, සුන්දර උණවටුන හා මිරිස්ස වැනි සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන බොහෝමයක් දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවතීම හේතුවෙන් ගාල්ල ප්‍රදේශය මෙරට සංචාරක ආකර්ෂණය හිමි කරගත් ප්‍රදේශයන් අතරින් ප්‍රමුඛස්ථානයක් ගනු ලබනවා.

මේ නිසාම එම ප්‍රදේශවල බොහෝ පිරිස් සංචාරක කර්මාන්තයට අදාළ රැකියාවන්හි නිරත වන අතර සංචාරක නිකේතන, සංචාරක නවාතැන්පොළ මගින් ආදායම් උපයන පිරිස් බොහෝයි.

කෙසේ වෙතත්, සංචාරකයින්ට නවාතැන් ලබාදෙන නිවාස හා සංචාරක නිකේතන, ඇතැම් සංචාරකයින් විසින් කුලී පදනම මත මිලදී ගෙන ඒවා නැවත ඔවුන් විසින් විදෙස් සංචාරකයින් සඳහා කුලියට ලබාදීමේ ව්‍යාපාරයක් මේ වනවිට සිදුවනවා. මෙමගින් සිදුවන්නේ මෙරටට හිමිවීමට ඇති විදේශ මුදල් නැවතත් මෙරටින් විදේශයන්ට යාමයි.

මෙම ගැටලු‍ව මුල් කර ගනිමින් ගාල්ල – උණවටුන ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ නියැලෙන පිරිසක් අද (07) පාගමනින් හබරාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ සිය ගැටලු‍ව ඉදිරිපත් කළා. පසුව හබරාදූව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැමිණ විරෝධතාවක ද නිරත වූ ඔවුන් චෝදනා කළේ සංචාරක ව්‍යාපාරිකයන් තමන්ට බාධා එල්ල වන ආකාරයට ව්‍යාපාර කටයුතු සිදුකරන බවටයි.

++++++++++

+


‘මැතිවරණ නීතියට අනුව පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණයයි’ – නිමල් පුංචිහේවා කියයි

(07.03.2024 – 13:17 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේ දී පාර්ලිමේන්තු මහමැතිවරණයක් පැවැත්වුවද පවතින නීතියට අනුකූලව ජනාධිපතිවරණය පැවැත්වීම අනිවාර්ය බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති නීතිඥ නිමල් පුංචිහේවා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර ඊයේ (06) පැවති මානව හිමිකම් කොමිෂන් සභාවේ වැඩසටහනකට එක්වෙමින්.

මේ අතර, මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත පිළිබද දේශපාලන පක්ෂ දැනුවත් කිරීමේ වැඩමුළුව ඊයේ (06) දෙවන දිනටත් මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වුණා.

ඉන් අනතුරුව, මාධ්‍ය වෙත අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ මැතිවරණ නීතියට අනුකුලව මේ වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බවයි ෴


ඉන්ධන ගැන නැවත සුබ ආරංචියක්

(07.03.2024 – 13:48 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ ඉන්ධන අළෙවි කිරීමේ අනුමැතිය ලැබුණු ඇමෙරිකානු සමාගමක් වන ‘ෂෙල් – ආර්එම් පාක්ස්’ සමාගම ආනයනය කරන පළමු ඉන්ධන නැව ලබන 19 වැනිදා කොළඹ වරායට ළගාවීමට නියමිත බව එම සමාගම පවසනවා.

ලොව ප්‍රමුඛ ඛනිජ තෙල් නිෂ්පාදන ආයතනයක් වන ‘ආර්.එම්. පාර්ක්ස් සහ ෂෙල්’ එක්ව ඉන්ධන පිරවුම්හල් 200 ක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

එම ඉන්ධන පිරවුම්හල් තුළ ‘සුපිරි වෙළෙඳසැල්’ සහ ‘විදුලි වාහන ආරෝපණය කිරීමේ පහසුකම්’ ඇතුළු පහසුකම් රැසක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවටයි වාර්තා වන්නේ ෴


අධික හිරු එළියෙන් ඇස් ආරක්ෂා කර ගන්නැයි ජනතාවට උපදෙස්

(07.03.2024 – 14:02 +0530 – hirunews.lk/sinhala)

අධික හිරු එළියත් සමග ඇති වන පාරජම්බූල කිරණ මගින් ඇස් ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව පියවර ගත යුතු බව අක්ෂි විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග පවසනවා. ඇය කියා සිටියේ මෙමගින් අන්ධභාවයට පවා පත්විය හැකි බවයි ෴


‘රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ’ (කෝපා) සභාපති ධුරය ලසන්ත අලගියවන්නට

(07.03.2024 – 14:21 +0530 – hirunews.lk/sinhala)

‘රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ’ සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න තේරී පත්ව තිබෙනවා.

‘රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව’ පාර්ලිමේන්තුවෙහි ඇති මූල්‍ය කාරක සභා දෙකෙන් (2) එකකි.

එය ‘තේරීම් කාරක සභාව’ විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරුන් දොළොස් දෙනකු (12) ගෙන් සමන්විතවන අතර මෙම කාරක සභාවේ කාර්යය වන්නේ පොදු විය හියදම් සඳහා පාර්ලිමේන්තුව විසින් දෙනු ලබන මුදල් ඒ ඒ කටයුතුවලට යෙදැවුණු අන්දම දැක්වෙන ගිණුම් පරීක්ෂා කිරීමයි.

ස්ථාවර නියෝග 125 යටතේ සාමාජිකයින් 31 දෙනෙකුගෙන් සමන්විත මෙම කාරක සභාව, එක් එක් පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදීම ස්ථාපිත කෙරෙන අතර එය පාර්ලිමේන්තුවේ පක්ෂ සංයුතිය පිළිබිඹු කරන අතර එහි ගණපූරණය 04 ක් ෴


‘කෝප්’ සභාපති ධුරය රෝහිත අබේගුණවර්ධනට

(07.03.2024 – 14:58 +0530 – hirunews.lk/sinhala)

‘රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ’ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන වැඩි ඡන්දයෙන් තේරී පත්වී තිබෙනවා.

මීට පෙර එම කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරයි.

මීට අමතරව ‘රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ’ සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යළි පත් කෙරුණු බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴


අයිස් මත්ද්‍රව්‍ය 3kg සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(07.03.2024 – 15:32 +0530 – hirunews.lk/sinhala)

අයිස් මත්ද්‍රව්‍ය 3kg කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වත්තල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම වැටලීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴


ලංකාව තුළ දඩාවතේ යන බල්ලන් ලක්ෂ 62 ක්

(07.03.2024 – 15:39 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව තුළ දඩාවතේ යන බල්ලන් ලක්ෂ 62 ක් පමණ සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (07) පැවති පාර්ලිමේන්තුවේ දී.

මේ හේතුවෙන් සංචාරක ප්‍රදේශවල බරපළ තත්ත්වයක් බවට පත් වී ඇති බවයි සඳහන් වන්නේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ සඳහා කඩිනම් විසඳුමක් සෙවිය යුතු බවයි ෴


පානදුර පාසලක තේ විස වීමෙන් ගුරුවරියන් 6 දෙනෙකු රෝහලට

(07.03.2024 – 15:42 +0530 – hirunews.lk/sinhala)

පානය කළ තේ විස වීමෙන් පානදුර – දියමන්ති ජුබිලි විද්‍යාලයේ ගුරුවරියන් 6 දෙනෙකු පානදුර රෝහලට ඇතුළත්කර තිබෙනවා.

විවේක කාලයේදී තේ පානය කර ඇති අතර ඊට භාවිත කළ ‘සීනි බෝතලයකට කිසියම් බෙහෙත් පෙත්තක් මිශ්‍ර වී ඇති බවටයි’ පොලිසිය පවසන්නේ.

සීනි බෝතලය රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියමිත බව ද පොලිසිය ප්‍රකාශ කළා ෴


සෑම කාන්තාවන් 8 දෙනෙකුගෙන් එක් (1) අයෙකුට පියයුරු පිළිකාවක්

(07.03.2024 – 17:42 +0530 – hirunews.lk/sinhala)

මෙරට ජීවත් වන සෑම කාන්තාවන් 8 දෙනෙකුගෙන් එක් (1) අයෙකුට පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් පවතින බව වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක පවසනවා.

වෛද්‍ය ලංකා ජයසූරිය මේ පිළිබඳව සඳහන්කර සිටියේ මහනුවර පැවති උත්සවයකට සහභාගී වෙමින්.

එහිදී ඇය පවසා සිටියේ වසරකට මෙරට කාන්තාවන් 1,095 ක් පියයුරු පිළිකා හේතුවෙන් මරණයට පත්වන බවයි.

එමෙන් ම 5,475 දෙනෙකු පියයුරු පිළිකාවට ගොදුරුවන බව‍යි ඇය වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

සංවර්ධනය නොවු රටවල අඩු ප්‍රමාණයකින් ලෙසත් , සංවර්ධනය වු රටවල වැඩි ප්‍රමාණයක් ලෙසද පියයුරු පිළිකාවන්හි ව්‍යාප්තිය ලොවපුරා විවිධ වෙනවා.

1970 සිට පියයුරු පිළිකාවන් වාර්තා වීම සැලකිය යුතු අන්දමට ඉහල ගොස් ඇති අතර මේ සඳහා ප්‍රධානතම හේතු සාධකය වන්නේ බටහිර රටවල්වල ඇති නවීනපන්නයේ ජීවන ක්‍රමය බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ ෴


පොතුහැර ප්‍රදේශයේදී බිහිසුණු අනතුරකින් තිදෙනෙක් (3) ජීවිතක්ෂයට

(07.03.2024 – 17:56 +0530 – hirunews.lk/sinhala)

පොතුහැර, බුළුගොල්ල හංදිය ප්‍රදේශයේදී එළවලු ප්‍රවාහන ලොරියක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී අද (06) අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් සිව්දෙනෙකු (4) බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තිදෙනෙකු (3) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සඳහන් වන්නේ.

මේ පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


‘හූති’ ප්‍රහාරයට ලක් වූ වෙළඳ නෞකාවේ සිටි 21 දෙනෙකු බේරා ගනී

(07.03.2024 – 18:28 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය නාවික හමුදාව විසින් ‘හූති’ මිසයිල ප්‍රහාරයකට ලක් වූ වෙළඳ නෞකාවේ සිටි 21 දෙනෙකු බේරා ගැනීමට සමත්ව තිබෙනවා.

ශ්‍රී ලාංකිකයින් දෙදෙනා (2) ද ඒ අතර සිටින බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

බාබඩෝස් ධජය සහිතව භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබු නෞකාවක් ඉලක්කර යේමනයේ ඒඩ්න් වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේදි ‘හූති’ කැරලිකරුවන් විසිනස් මෙම ප්‍රහාරය එල්ලකර තිබුණා.

යේමනයේ ඒඩන් නගරයේ සිට නිරිත දෙසින් නාවික සැතපුම් 50 ක් පමණ දුරකදි එම ප්‍රහාරය සිදුව තිබු තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මෙරට වේලාවෙන් අද (07) අලුයම පහට (05:00) පමණ එම ප්‍රහාරය එල්ලවි තිබු අතර, ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඉන්දියා, වියට්නාම් සහ පිලිපීන ජාතිකයින්ගෙන් සමන්විත කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 දෙනෙක් සිට තිබෙනවා.

එමෙන්ම, නෞකාවේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂකයින් තිදෙනෙකු (3) සිට ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකුම (2) ශ්‍රී ලාංකිකයින්.

විදෙස් මාධ්‍යවලට අනුව ප්‍රහාරයෙන් එම නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු (3) මිය ගොස් තවත් සිව් දෙනෙක් (4) තුවාල ලබා තිබෙනවා.

ප්‍රහාරයේ වගකීම භාරගනිමින් ‘හූති’ හමුදා ප්‍රකාශක, යාහ්යා සාරියා සඳහන් කළේ ගාසා තීරයේ පවතින ඊශ්‍රයල් – හමාස් යුද ගැටුම්වලදි පලස්තීනුවන්ට සහාය පළ කිරීමේ අරමුණින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි ෴

++++++++++

+


‘හරක්කටා’ සහ ‘කුඩු සළිඳු’ ඉල්ලපු දේ

(07.03.2024 – 20:03 +0530 – hirunews.lk/sinhala)

තමන්ට ප්‍රකාශයක් සිදු කිරීමට අවශ්‍ය බවත් රැදවුම් නියෝග අවසන් බැවින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන ‘කුඩු සළිඳු’ සහ ‘හරක්කටා’ කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔවුන් මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් සැකකරුවන් පරීක්ෂා කිරීම සඳහා අද (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදීයි.

එමෙන්ම ‘හරක්කටා’ මහේස්ත්‍රාත්වරයාට එම අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත්තේ තමන්ට විශේෂ යමක් පැවසීමට ඇති බවයි.

තමන් උණ රෝගයෙන් පෙලෙන බවයි ඔහු එහිදී සඳහන් කර ඇති අතර අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබෙනවා.

එමෙන්ම රුඳවුම් නියෝග අවසන් නම් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් පිටතට සැකකරුවන් රැගෙන යන අවස්ථාවලදී අධිකරණය දැනුවත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබුණා.

එසේම පිටතට රැගෙන අවස්ථාවලදී නීතිඥවරුන්ගේ සහයක් ලබා දෙන ලෙසටද දැනුම් දී තිබෙනවා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේ සැකකරුවන් රඳවා සිටින ස්ථානවල සී.සී.ටී.වී. කැමරා 4 න් 1 ක් සැකකරුවන් ආවරණය වන පරිදි සවිකර ඇති බවයි.

මේ අතර ‘හරක්කටා’ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයාමට තැත් කිරීමේ අසාර්ථක උත්සහයකට ආධාර අනුබල දුන් මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුද ඊයේ (06) අත්අඩංගුවට ගනු ලැබුවේ දුරකතන දත්ත විශ්ලේෂණ ඔස්සේ, සිදුකළ විමර්ශනවලට අනුවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *