‘බූස්සේ චප්පා’ ව්‍යාපාරිකයෙකුට තර්ජනය කරයි – “උඹව හිඟන්නෙක් කරනවා දැනගනින්”

‘බූස්සේ චප්පා’ ව්‍යාපාරිකයෙකුට තර්ජනය කරයි – “උඹව හිඟන්නෙක් කරනවා දැනගනින්”


‘බූස්සේ චප්පා’ ව්‍යාපාරිකයෙකුට තර්ජනය කරයි – “උඹව හිඟන්නෙක් කරනවා දැනගනින්”

(06.03.2024 – 22:11 +0530 – hirunews.lk/sinhala)

පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 5 ක කප්පම් මුදලක් ඉල්ලා මරණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට සිව් දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ ඩුබායි හී සැගව සිටින ‘විරාජ් තරංග’ හෙවත් ‘බූස්සේ චප්පා’ නැමති හඳුන්වන පුද්ගලයෙකු විසින් මෙම කප්පම් ඡාවාරම මෙහෙයවා ඇති බවයි.

‘බූස්සේ චප්පා’ නමැති මෙම පුද්ගලයා විසින් කප්පම් මුදල ඉල්ලා අදාළ ව්‍යාපාරිකායට තර්ජනය කරන හඩපටයක් ද මාධ්‍ය වෙත නිකුත් වි තිබුණා.

+


කට්ටි පැන්න ආණ්ඩුකාර පුත්‍රයා අධිකරණයට භාර වෙයි

(06.03.2024 – 22:16 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවත්ත හැව්ලොක් උද්‍යාන මාවතේ මහල් නිවාස සංකීර්ණයක දි තරුණියකට පහරදි බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්ගේ පුත්‍රයා අද (06) නීතිඥයින් මාර්ගයෙන් ගල්කිස්ස අධිකරණය හමුවට ඉදිරිපත් වුණා.

එහිදි කරුණු විමසා බැලු අධිකරණය රුපියල් ලක්ෂ 10 ක සරීර ඇප මත ඔහු මුදාහැරීමට පියවර ගත් අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය හමුවේ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට ද නියෝග කළා.

ඒ අනුව ‘මොහොමඩ් ඉෂාම් ජමල්දීන්’ නමැති එම පුද්ගලයා වැල්ලවත්ත පොලිසියට පැමිණ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දි තිබෙනවා.

හැව්ලොක් උද්‍යාන මාවතේ මහල් නිවාස සංකීර්ණයක දි පසුගිය 29 වැනිදා අලුයම එකට (01:00) පමණ එම පහරදීම සිදුකර තිබු අතර, පහරකෑමෙන් එම මහල් නිවාස සංකීර්ණයේ කුලි පදනම මත ලබා ගත් නිවසක තනිව වාසය කළ මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක හිමිකරුවෙකුගේ දියණියක් වන ‘අනිකා විලියම්සන්’ නමැති තරුණියක් තුවාල ලැබුවා.

+


ගමකටම පෙන්වූ ස්විට්සර්ලන්ත රැකියා සිහිනය – මාස 03 අවදානම් පුහුණුවකුත් දීලා (06.03.2024)

+


කල්පිටිය පොලිස් ස්ථානයේ හිටපු පොලිස් ස්ථානාධිපති මාර්තු 13 දක්වා රිමාන්ඩ්

(06.03.2024 – 22:16 +0530 – sinhala.adaderana.lk)

කල්පිටිය පොලිස් ස්ථානයේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා මාර්තු මස 13 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට අතවර කිරීමේ චෝදනාව යටතේ සැකකාර හිටපු ස්ථානාධිපති අද (06) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

පැමිණිලි පාර්ශ්වයට තර්ජනය කිරීම සහ බළපෑම් කිරීමේ චෝදනාව හේතුවෙන් වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලරත්න විනිසුරුවරිය මෙම නියෝගය ලබාදී තිබේ.

සැකකාර සැකකාර හිටපු ස්ථානාධිපති එම නඩුව කැඳවූ පෙබරවාරි මස 12 වනදා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් නීතිඥ නියෝජනයක් නොතිබීමද විශේෂත්වයකි.

ඊට පසුදින සැකකාර හිටපු ස්ථානාධිපති මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදී ඔහුව රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදාහැර තිබුණි.

ඊට අදාළ නඩුව වයඹ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණය යටතේ කුලියාපිටිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් පවත්වාගෙන යනු ලබයි.

එසේම සැකකාර හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා මේ වනවිට පොලිස් කොමිසමේ නිර්දේශ යටතේ පෙබරවාරි මස 15 දින සිට වැඩ තහනමට ලක්කර ඇත ෴


ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු මහමඟ ඇද වැටී මරුට

(07.03.2024 – 07:20 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු මහමඟ ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙළඳ සැලකට ගොස් යළි එමින් සිටියදී හදිසියේ ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ඔහු මෙසේ මියගොස් ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 60 ක් වන පන්නිපිටිය, ඇරැව්වල පදිංචි ව්‍යවහාරික විද්‍යා පීඨයේ, පරිගණක විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්.

ඔහු පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා මහරගම නගරයට ආසන්නයේ පිහිටි වෙළඳසැලකට ගොස් යළි නිවසට යාම සඳහා මහරගම – පිළියන්දල බස් මාර්ගයට පැමිණ ඇරව්වල දෙසට යමින් සිටියදී එක් වරම ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් යාබද විදුලි කණුවක් අල්ලාගෙන මඳ වේලාවක් සිට පසුව බිම ඇද වැටි ඇති බවද සඳහන් ෴


ළමා අපයෝජන ඉහළට

(07.03.2024 – 07:53 +0530 – hirunews.lk/sinhala)

වර්තමානය වන විට ළමා අපයෝජන සිද්ධීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව ජාතික ළමාරක්ෂණ අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ පවසනවා.

මේ අතර ළමා අපයෝජන නඩුවකට වරදකරු වූ ස්වේච්ඡා ගුරුවරයෙකු ලෙස කටයුතු කළ අවුරුදු 37 ක් වයසැති පුද්ගලයෙකුට වසර 12 ක බරපතල වැඩසහිත සිර දඬුවමක් නුවරඑලිය මහාධිකරණය ඊයේ (06) නියම කළා.

පසුගිය 2010 වසරේ ජනවාරි මාසයේ ක්ලෙන්ටන් ප්‍රදේශයේ පාසලක ස්වෙච්ඡා ගුරුවරයෙකු ලෙස සේවය කළ මොහු පහ (5) ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ බාල වයස්කාර දැරියක් අපයෝජනයට ලක් කර තිබුණා.

මෙම පුද්ගලයා නෝටන්බ්‍රිජ් ක්ලෙන්ටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම බදුල්ල කන්දකැටිය ප්‍රදේශයේ වයස අවුරුදු 15 යි මාස 8 ක දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 32 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙවන් පසුබිමකයි සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට යන ලිංගිකත්ව අධ්‍යාපනය සඳහා වන සමාජ මාධ්‍ය සත්කාර සේවාව පිළිබඳ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කොළඹදී ඊයේ (06) පැවැත්වනු ලැබුවේ ෴


ගල්නෑවේ දී සිසුවෙකු ඇතුළු පිරිසක් ගුරුවරුන් දෙදෙනෙකුට (2) පහර දෙයි

(07.03.2024 – 08:18 +0530 – hirunews.lk/sinhala)

පාසල් සිසුවෙකු ඇතළු තවත් පිරිසක් විසින් සිදු කළ පහරදීමක් හේතුවෙන් ගල්නෑව ජාතික පාසලේ ගුරුවරුන් දෙදෙනෙකු (2) තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ගල්නෑව පාසලේ සිසුන් දෙදෙනෙකු (2) අතර ඊයේ (06) ක්‍රිකට් පිත්තක් සම්බන්ධයෙන් ආරවුලක් හට ගෙන ඇති බවයි.

පසුව පාසලේ ක්‍රීඩා භාර ගුරුවරයා විසින් සිද්ධියට අදාළව එක (1) සිසුවෙකුට පහරදී ඇති අතර, සිසුවා අනතුරුව රෝහල්ගත වී තිබෙනවා.

ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පාසලේ ක්‍රිඩා භාර ගුරුවරයා සිසුවාගේ නිවස වෙත ගොස් ඇති අතර එම අවස්ථාවේදී නිවසේ සිටි පාසල් සිසුවෙකු ඇතුලු පිරිසක් ඔහුට පහරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම අවස්ථාවේදී ගල්නෑව ජාතික පාසලේ තවත් ගුරුවරියක් අදාළ නිවසට පැමිණ ඇත්තේ සිය පාසලේ ගුරුවරයාට සිදු වූ පහරදීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහායී.

එහිදී එම ගුරුවරියට ද නිවසේ සිටි පිරිස පහරදී තිබෙනවා.

පහරදීමට අදාළව පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදුන් තවත් පිරිස් සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴

+++++++++

+


‘හරක්කටා’ට පැන යාමට තැත් කිරීමේ සැළසුමට උදව් කළ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

(07.03.2024 – 09:14 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘නදුන් චින්තක’ හෙවත් ‘හරක්කටා’ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයාමට තැත් කිරීමේ අසාර්ථක උත්සහයකට ආධාර අනුබල දුන් පොලිස් සැරයන්වරයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දුරකතන දත්ත විශ්ලේෂන ඔස්සේ, සිදුකළ විමර්ශනයක දී මොහුව ඊයේ (06) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

‘හරක්කටා’ට පැනයාමට තැත්කල මෙහෙයුම විදෙස්ගතව මෙහෙයවූ ‘රුවන් චාමර’ හෙවත් ‘මිදිගම රුවන්’ නැමැත්තා සමග ද මෙම පොලිස් සැරයනවරයා වට්ස්ඇප් හරහා සම්බන්ධවෙමින් කටයුතු කර ඇති බවයි විමර්ශන වලින් අනාවරණ වී ඇත්තේ.

36 හැවිරිදි සැකකරු මිදිගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අහංගම දික්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.


යුද හමුදාවට අපහාස කළ පුවතක් පළ කළ වෙබ් අඩවියක හිමිකරුවෙකු රිමාන්ඩ්

(07.03.2024 – 10:03 +0530 – hirunews.lk/sinhala)

යුද හමුදාවට අගෞරව වන ආකාරයේ මෙන්ම ජාතික ආරක්ෂාවට බලපෑම් වන ආකාරයෙන් පුවතක් පළ කළ වෙබ් අඩවියක හිමිකරුවෙන් ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

පරිගණක අපරාධ අංශය ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු ඊයේ (06) අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපක් කිරීමෙන් අනතුරුවයි මෙලෙස රිමාන්ඩ් කෙරුණේ.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඔහුව මුදාහරින ලෙස ඇප ඉල්ලීමක් සිදු කර ඇති අතර මහේස්ත්‍රාත්වරයා එය ප්‍රතික්ෂේප කර තිබුණා ෴


නව විදුලි සබඳතා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමට අවස්ථාව

(07.03.2024 – 11:03 +0530 – hirunews.lk/sinhala)

නව විදුලි සබඳතාවක් ලබා ගැනීමේ දී අය කෙරෙන ගාස්තුව සදහා සහනයක් ලබා දීමට විදුලිබල මණ්ඩලය තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ඒ අනුව, ගාස්තුවෙන් 25% ක් මුලින් ගෙවා ඉතිරිය වාරික ලෙස ගෙවීමට අවස්ථාව ලබා දෙන බවයි ඔහු කියා සිටියේ.

කර්මාන්ත ශාලා සඳහා ද මෙම සහනය ලබාදෙන බව අමාත්‍යවරයා කියා සිටියේ සමගි ජනබලවේගයේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්. ධර්මසේන නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

එමෙන්ම, සුළු මුදලක් නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කළ පිරිස් සඳහා යළි විදුලි සබඳතාව ලබා ගැනීමේදී අය කෙරෙන ගාස්තුව රුපියල් 500 කින් මේ වසරේදී අඩු කරන බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර එහිදී කියා සිටියා.

රුපියල් 3000 ක්ව පැවති එම ගාස්තුව පසුගිය වසරේ රුපියල් 1300 දක්වා පහත දැමූ අතර, ඒ අනුව යළි විදුලිය ලබා ගැනීමේ ගාස්තුව රුපියල් 800 ක් වනවා ෴


ධාවනය වූ බසයේ රියැදුරු සිහිසුන්වීමෙන් සිදු වූ අනතුර

(07.03.2024 – 13:12 +0530 – hirunews.lk/sinhala)

ඇගලුම් සේවකයින් පිරිසක් රැගෙන වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක රියදුරු සිහිසුන්වීම හේතුවෙන් අද (07) උදෑසන මැදවච්චිය ප්‍රදේශයේ දී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් 13 දෙනෙකු ප්‍රථීකාර සදහා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

වව්නියාව ප්‍රදේශයේ පිහිටි අඟලුම්හලක් වෙත සේවකයින් රැගෙන යමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ ඇගලුම් සේවකයින් 40 ක් පමණ එම බස් රථයේ සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.

අදාළ බස් රථය ධාවනය කරමින් සිටියදී එහි රියදුරාට රියදුරු අසුනේ දීම සිදුවූ සිහිසුන්වීමකින් එම බස් රථය රියදුරුගේ පාලනයේ මිදී මැදවච්චිය ප්‍රදේශයේදී මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය කියයි.

ධාවනය වෙමින් තිබූ බස් රථය රියදුරාගේ පාලනයෙන් ගිලිහී ගොස් මාර්ගයෙන් ඉවතට පැන අසළ වූ නිවසක් සමග ඇති ගරාජයකට කඩා වැදීමෙන් අනතුර සිදුව තිබෙනවා.

සිදුව ඇති එම අනතුරින් එම නිවසේ හෝ ගරාජයේ කිසිවකුටත් ජීවිත හානියක් සිදුව නොමැති බවයි පොලිසිය පවසන්නේ.

එහෙත් එම බස්රථයේ ගමන් කරමින් සිටි ඇගලුම් සේවකයින් 13 දෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා ඇති අතර එම තුවාලකරුවන් ප්‍රතිකාර සදහා කඩිනමින් මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබෙනවා.

මැදවච්චිය රෝහලට ඇතුළත් කෙරුණ එම තුවාලකරුවන් අතරින් 07 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා මේ වනවිට අනුරාධපුර මහ රෝහල වෙත මාරුකර යැවීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇති අතර මැදවච්චිය පොලිස් රථවාහන අංශය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴

+

    ********************* ( නැවත මුල් පිටුවට ….. )

    ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

    ප්‍රතිචාරයක් ලබාදෙන්න

    ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *