‘කුසුම් කුමාර මෙන්ඩිස්’ නොහොත් ‘මංජු’ ගේ හිසටම එල්ල වූ වෙඩිල්ල – CCTV

‘කුසුම් කුමාර මෙන්ඩිස්’ නොහොත් ‘මංජු’ ගේ හිසටම එල්ල වූ වෙඩිල්ල – CCTV


‘කුසුම් කුමාර මෙන්ඩිස්’ නොහොත් ‘මංජු’ ගේ හිසටම එල්ල වූ වෙඩිල්ල – CCTV

(01.03.2024 – 21:52 +0530 – sinhala.adaderana.lk)

‘කොස්ගොඩ සුජී’ නම් පාතාල කල්ලි සාමාජිකයාගේ ඥාතී සහෝදරයෙකු අද (01) අදහවල් අහුංගල්ලේදී වෙඩි තබා ඝාතනය කර තිබේ.

‘ලොකු පැටී’ නම් අපරාධකරුගේ පාර්ශ්වය විසින් බෙලිඅත්තේ පංච (5) පුද්ගල ඝාතනයට පළිගැනීමක් ලෙස මෙය සිදුකර ඇති බවට සැක කරන බව ආරක්ෂක අංශ පවසයි.

අහුංගල්ලේදී අද (01) දහවල් 12:30 ට පමණ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු (2) මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

රිවෝල්වර් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර තිබූ අතර වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබුණේ ඉදිකෙරෙමින් පවතින වෙළෙඳසැලක් අසල සිටි පුද්ගලයෙකි.

මේ වෙඩික්කරුවන් ප්‍රහාරය සඳහා පැමිණෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළකි.

වෙඩික්කරු අදාළ වෙළඳසැල අසලට පැමිණ යතුරුපැදියෙන් බැස අනතුරුව නැවත ඒ වෙත ගොඩ වේ.

පසුව වෙළෙඳසැල තුළ සිටි අයෙක් පැමිණ යම් කිසි දෙයක් පවසා එම ස්ථානයෙන් දිවයෑමත් සමග වෙඩික්කරු ‍වෙළෙඳසැල තුළට දිව ගොස් එක් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අනතුරුව හිස් පතොරම් කොපුවද රැගෙන වෙඩික්කරු යතුරුපැදියේ නැග පළා යයි.

වෙඩි තැබීම සිදුකර පළා යන අයුරුද CCTV කැමරාවක සටහන්ව තිබිණි.

වෙඩි ප්‍රහාරය එම පුද්ගලයාගේ හිසටම එල්ල වී තිබූ අතර ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබිණි.

එලෙස ඝාතනයට ලක්ව තිබුණේ ‘කුසුම් කුමාර මෙන්ඩිස්’ නොහොත් ‘මංජු’ නම් 45 හැවිරිදි කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙකි.

බෙලිඅත්තේ පංච (5) පුද්ගල ඝාතනයේදී ජීවිතක්ෂයට පත් වූ ‘රෝයල් බීච් සමන්’ ඝාතනයට පළිගැනීමක් ලෙස ‘පොඩි පැටී’ නම් පාතාල කල්ලි සාමාජිකයා විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට සැක කරන බවද ආරක්ෂක අංශ පවසයි.

කෙසේවෙතත් පොලීසිය පවසන්නේ ඝාතනයට ලක් වූ පුද්ගලයාට කිසිදු අපරාධමය චෝදනාවක් ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බවය.

සිද්ධිය සම්න්ධයෙන් පොලීසිය හා පොලිස් විශේෂ කාර්යය බළකාය ඇතුළු පාර්ශ්ව රැසක් විමර්ශන සිදුකරයි.

https://www.youtube.com/watch?v=21IVAQoWf-s

+


අහුන්ගල්ල – කරිජ්ජපිටිය අමුණ අසල ඇළේ ගිල්වා තිබී හමු වූ අබිරහස් ‘ස්කූටිය’

(02.03.2024 – 06:32 +0530 – sinhala.adaderana.lk)

අහුන්ගල්ල – කරිජ්ජපිටිය අමුණ අසල ඇළේ ගිල්වා තිබූ ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් සොයාගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ ගගල්දුව උපකඳවුරේ කණ්ඩායමක් විසින් එය සොයාගෙන ඇත.

පසු ව එය අහුන්ගල්ල පොලිස් නිලධාරින් හා එක් ව ගොඩගෙන තිබේ.

මෙම යතුරුපැදිය අද (01) දහවල් අහුන්ගල්ල නගරයේ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය දැයි සෙවීමට විමර්ශනය සිදු කෙරෙමින් පවතියි.


මනාල යුවළත් අතරමං කළ ඩිෆෙන්ඩර් අනතුර

(01.03.2024 – 22:04 +0530 – sinhala.adaderana.lk)

අද (01) පස්වරුවේ කඩුවෙල – මාළඹේ ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ.

කඩුවෙල – මාළඹේ ප්‍රධාන මාර්ගයේ කඩුවෙල මහ නගර සභාව ඉදිරිපස දී මෙම අනතුර සිදු ව ඇති අතර, මනාල යුවළක් රැගත් ඩිෆෙන්ඩර් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක සහ යතුරු පැදියක ගැටීමෙන් අනතුර සිදු ව ඇත.

තුවාලකරුවන් රෝහල්ගත කර ඇති අතර, අනතුර සිදුකළ ඩිෆෙන්ඩර් රථයයේ රියදුරා, මනාල යුවළ ද අතරමඟ දමා පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත් ලද තොරතුරක් මත පොලීසිය විසින් ඩිෆෙන්ඩර් රථය පොලිස් භාරයට ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

++++++++

මධු­ස­ම­යට යමින් සිටි යුව­ළට රිය අන­තු­ර­කින් බර­ප­තළ තුවාල

(02.03.2024 – 07:49 +0530 – hirunews.lk/sinhala)

කඩු­වෙල කොත­ලා­වල ප්‍රදේ­ශයේ උත්සව ශාලා­වක පැවති විවාහ මංග­ල්‍ය­ය­කින් අන­තු­රුව මධු­ස­මය ගත කිරීම සඳහා පිටත්ව යමින් සිටි මනාල යුව­ළක් රැගත් ඩිෆෙ­න්ඩර් වර්ගයේ රථ­යක් කඩු­වෙල නගර සභාව අස­ලදී වෑන් රථ­යක සහ යතු­රු­පැ­දි­යක ගැටීමෙන් බර­ප­තළ තුවාල ලැබූ මනාල යුවළ සහ තවත් දෙදෙ­නකු ඊයේ (01) සවස රෝහ­ල්ගත කර තිබෙනවා.

අන­තු­රත් සමඟ ඩිෆෙ­න්ඩර් රථයේ දොර ඇරී මනාල යුවළ පිට­තට විසි වී ඇති අතර, ඒ සම­ඟම ඩිෆෙ­න්ඩ­රය රියැ­දුරා විසින් වේග­යෙන් ඉදි­රි­යට පදවා තිබෙනවා.

එවිට මනාල යුවළ ඩිෆෙ­න්ඩ­ර­යට යට වී ඇති බවටයි වාර්තා වන්නේ.

එම යුව­ළගේ තත්ත්වය බර­ප­තළ බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

+


හක්කපටස් පුපුරා කුඩා දරුවෙකුට බරපතළ තුවාල

(01.03.2024 – 19:01 +0530 – sinhala.adaderana.lk)

ඉංගිරිය, රයිගම්පුර ප්‍රදේශයේ හක්කපටස් එකක් පුපුරා යෑමෙන් කුඩා දරුවෙක් බරපතළ තුවාල ලබා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ එම අවස්ථාවේ දී තවත් දරුවන් දෙදෙනෙකුට (2) සුළු තුවාල සිදුව ඇති බවය.

බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර ඇත්තේ 7 හැවිරිදි දරුවෙකි.

දරුවන් සෙල්ලම් කරමින් සිටිය දී ටයර් එකක් තුළ තිබී හක්කපටස් හමුව ඇති අතර, ඔවුන් එය තැලීමට යෑමේ දී පුපුරා ගොස් ඇතැයි වාර්තා වේ ෴


පිදුරුගොඩට ගිනි ඇවිළී ඊට මැදිවූ පුද්ගලයෙක් මරුට

(01.03.2024 – 14:55 +0530 – sinhala.adaderana.lk)

පිදුරුගොඩක හටගත් ගින්නකට වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

හොරණ මොරගහහේන පොලිස් වසමේ තලගල තල්ගහවත්ත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩකරමින් සිටි පුද්ගලයෙකු අද (01) පෙරවරුවේ මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණදී ඇත.

මොරගහහේන පොලීසිය පැවසුවේ මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙකු බවය.

මියගිය පුද්ගලයා මෙම නිවසේ මඩුවක් සකස් කිරීම සඳහා පැමිණ තිබුණි.

ඒ අනුව නිවසේ හිමිකරු විසින් ඔහුට කටයුත්තක් පවරා එම ස්ථානයෙන් බැහැරට ගොස් ඇති තිබේ.

ඔහු නැවත පැමිණෙන අවස්ථාවේදී පිරිදුරුගොඩ ඇවිලෙමින් තිබෙන අයුරු දැක එය නිවාදැමීමට උත්සාහ කිරීමේදී එම පිදුරුගොඩ තුළ අදාළ පුද්ගලයා වැටී සිටිනු දැක ඇත.

පසුව කඩිනමින් ඔහුව ඉන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණත් ඒ වනවිට එම පුද්ගලයා මියගොස් සිට ඇති බව පොලීසිය පවසයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර මොරගහහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

“මම දැක්ක සැණින් ගිනිගොඩට පැන්නා… එයාව අත්දෙකෙන් මෙහාට ඇදගෙන ආවා” යැයි එහි සිටි පුද්ගලයා සාක්ෂි දෙමින් පොලීසියට පවසා තිබුණි ෴


නිලන්ත ජයවර්ධනට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලා පෙත්සමක්

(01.03.2024 – 14:17 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

සමාජීය හා සාමායික කේන්ද්‍රය, එහි අධ්‍යක්ෂ ගරු ජූඩ් වර්නන් රොහාන් සිල්වා පියතුමා සහ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයකු බවට පත් වූ දේවගේ සූරාජ් නිලංග යන අය විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති නිලන්ත ජයවර්ධන සහ නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, 2019 වසරේ අප්‍රේල් මස 21 වනදා යෙදී තිබූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු වගඋත්තරකාර නිරන්ත ජයවර්ධන වෙත ලැබී තිබූ බවය.

විදේශීය බුද්ධි සංවිධානයකින් 2019 වසරේ අප්‍රේල් මස 04 වනදා එම තොරතුර නිලන්ත ජයවර්ධනට ලැබී තිබූ බවත් ඔහු ඒ පිළිබඳව දැනුවත්ව සිටි බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකළ නඩු විභාගයේදී සාක්ෂිවලින් අනාවරණය වූ බවත් පෙත්සමේ සඳහන් වේ.

එසේම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා පත්කරනු ලැබූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින්ද වගඋත්තරකාර නිලන්ත ජයවර්ධන මෙම සිද්ධියට සෘජුව වගකිය යුතු බව නිර්දේශ නිකුත් කර තිබෙන බවත් එහි පෙන්වා දී තිබේ.

ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වගඋත්තරකාර නිලන්ත ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන්ද වරදකරු කෙරුණු බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ ඒ වෙනුවෙන් රුපියල් මිලියන 75 ක වන්දියක් ගෙවන ලෙස සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියෝග කර තිබූ බවත් පෙත්සමේ සිහිපත් කර තිබේ.

එසේම වගඋත්තරකාර නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජාතික පොලිස් කොමිසමට නියෝග කළ බවත් පෙත්සමේ සඳහන් වේ.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර ගැනීම නිලන්ත ජයවර්ධන විසින් පැහැර හැර ඇති බව තහවුරු කරන සාක්ෂි කොපමණ ඉදිරිපත් වී තිබුණත් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වගඋත්තරකරුවන් විසින් මෙතෙක් කටයුතු කර නොමැති බවත් පෙත්සම්කරුවෝ චෝදනා කළහ.

ඒ අනුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගඋත්තරකාර නිලන්ත ජයවර්ධනට එරෙහිව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව නිලන්ත ජයවර්ධන අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගෙන නීතියෙ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ ෴


අද (01) දෙන ‘පේපරේ’ ඊයේ (29) රෑ සමාජ මාධ්‍යයේ

(01.03.2024 – 12:58 +0530 – sinhala.adaderana.lk)

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් අද (01) දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ පාසල් වර්ෂ අවසාන වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් ඊයේ (29) රාත්‍රියේ සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ගුරුවරුන් පිරිසක් අද (01) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළේය.

2023 වසර සඳහා වන වර්ෂ අවසාන ඇගයීම් විභාග මේ දිනවල බස්නාහිර පළාතේ පාසල් සිසුන් සඳහා පැවැත්වෙයි.

ඒ අනුව අද (01) පැවැත්වීමට සැලසුම් කර තිබුණේ 10 සහ 11 ශ්‍රේණිවල සිසුන් සඳහා විද්‍යාව විෂය සඳහා වන විභාගය යි.

කෙසේවෙතත් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන 10 ශ්‍රේණියේ විද්‍යාව පළමු (1) ප්‍රශ්න පත්‍රය සහ 11 ශ්‍රේණියට අදාළ විද්‍යාව දෙවැනි (2) ප්‍රශ්න පත්‍රය ඊයේ (29) රාත්‍රී 7 ත් 8 ත් අතර කාලයේදී සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට තොරතුරු වාර්තා විය.

ඒ හෝමාගම, මොරටුව සහ ගම්පහ ප්‍රදේශවලිනි.

එමෙන්ම අද (01) සිසුන්ට ලැබී ඇත්තේ ද ඊයේ (29) රාත්‍රියේ මෙලෙස සමාජ මාධ්‍යයේ හුවමාරු වූ ප්‍රශ්න පත්‍රම බව වාර්තා වේ.

+


පානදුර කැලඹූ ගින්න

(01.03.2024 – 09:45 +0530 – sinhala.adaderana.lk)

පානදුර සමගි මාවත ප්‍රදේශයේ තීන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

පානදුර උතුර, සමගි මාවත ප්‍රදේශයේ පිහිටි තීන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඊයේ (29) රාත්‍රියේ ගින්න හටගෙන තිබුණි.

මොරටුව මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකය මගින් ගින්න මැඩපවත්වා තිබේ.

ගින්නෙන් කිසිඳු පුද්ගලයෙකුට හානියක් සිදුවී නොමැති බවද වාර්තා වෙයි.

ගින්නෙන් සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්නට හේතුව සොයා විමර්ශන සිදුකරයි.

+


සාහසික පළිගැනීමක්…”ඔය ත්‍රීවිල් එකටම දාලා අපිටත් ගිනි තිබ්බා නම් ඉවරයි මහත්තයෝ…” (01.03.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *