ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාව : හිටපු සෞඛ්‍ය ලේකම් දෙසැම්බර් 27 තෙක් රිමාන්ඩ් – අත්අකුරු පරීක්ෂාවටත් නියෝග – සෞඛ්‍ය අතිරේක ලේකම්ගේ කාර්යාලයටත් සීල්

ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාව : හිටපු සෞඛ්‍ය ලේකම් දෙසැම්බර් 27 තෙක් රිමාන්ඩ් – අත්අකුරු පරීක්ෂාවටත් නියෝග – සෞඛ්‍ය අතිරේක ලේකම්ගේ කාර්යාලයටත් සීල්


ඉමියුනොග්ලොබියුලින් එන්නත් වංචාව : හිටපු සෞඛ්‍ය ලේකම් දෙසැම්බර් 27 තෙක් රිමාන්ඩ් – අත්අකුරු පරීක්ෂාවටත් නියෝග – සෞඛ්‍ය අතිරේක ලේකම්ගේ කාර්යාලයටත් සීල්

(19.12.2023 – dinamina.lk)

ප්‍රමිතියෙන් තොර ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් (ප්‍රතිදේහ එන්නත්)’ මිල දී ගැනීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ‘ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත’ ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය ඊයේ (18) නියෝග කළාය. ප්‍රමිතියෙන් තොර ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් (ප්‍රතිදේහ එන්නත්)’ මෙරටට ගෙන්වා රජයේ මුදල් රුපියල් ලක්ෂ 1400 ක් පළමු සැකකාර ‘සුදත් ජානක ප්‍රනාන්දු’ යන අයට ගෙවූ බවට හිටපු සෞඛ්‍ය ලේකම්වරයාට චෝදනා එල්ල වී ඇත.

මේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ලේකම්වරයා ඊයේ (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙණෙවිය සිදු කළ පැය ගණනාවක දීර්ඝ දේශනයෙන් අනතුරුව හයවන (6) සැකකරු ලෙස අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ඉදිරිපත් වන කරුණු පිළිබඳ අධිකරණය සෑහීමකට පත් වන බව කියමින් මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළාය.

එමෙන්ම ‘සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ඖෂධ සැපයුම් නියාමන) සමන් රත්නායක’ ගේ නිල කාමරය ඉබි යතුරු දමා ආරක්ෂිතව තබන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අද (19) පෙරවරු 09:00 සිට සවස 05:00 දක්වා එම නිල කාමරය පරීක්ෂා කර සැකකටයුතු ලේඛන ඇත්නම් ඒවා සිය භාරයට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නාය. එමෙන්ම එම කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය සියලු සහාය ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග නිකුත් කළ අතර මෙම නියෝගය ලබා දෙන අවස්ථාවේ වේලාව පස්වරු 08:20 පසුවී ඇති බැවින් එම නියෝග සියල්ල දුරකතන මාර්ගයෙන් ලබා දෙන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළාය.

සැකකාර හිටපු සෞඛ්‍ය ලේකම්වරයාගේ අත්අකුරු පරීක්ෂා කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ඊට අදාළ කටයුතු කරන ලෙස රජයේ සැකකටයුතු ලේකම්වරයාට නියෝග කළාය.

සිය නියෝගය දක්වමින් මහේස්ත්‍රාත්වරිය මෙසේ සඳහන් කළාය :

“මෙම ක්‍රියාපටිපාටිය අද (19) දින දක්වාම නීත්‍යනුකූල රාමුවක් තුළ මෙහෙයවනු ලැබුවා. සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් රජය වෙන්කොට තිබූ රජයේ මුදල් රුපියල් ලක්ෂ 1400 ක් අවභාවිත වී තිබෙන බවට කරුණු ඉදිරිපත් වුණා. පළමු (1) සැකකරුට එම මුදල් ගෙවීම සිදුකර ඇත්තේ මනුෂ්‍ය ශරීරයට එන්නත් කිරීමට කිසි ලෙසකින්වත් නිර්දේශ නොවූ කිසිදු ඖෂධමය වටිනාකමක් නැති ක්ෂුද්‍රජීවී පරීක්ෂණය අසමත්, ඖෂධයක් ලෙස හුවාදක්වමින් කටයුතු කළ බවට කරුණු තහවුරු වෙනවා. ජනරජය කුමන හෝ හේතුවක් මත මූල්‍යමය වශයෙන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණදී තිබූ අවස්ථාවක ජනරජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම පොදු දේපොළ පනත යටතේ ගැනෙන බරපතළ වරදක්. එසේ නොවන්නට මනුෂ්‍ය ශරීරයට එන්නත් කිරීමට නුසුදුසු අදාළ එන්නත් මාත්‍රා මනුෂ්‍ය ශරීරයට එන්නත් කිරීමෙන් මනුෂ්‍ය ජීවිත අන්තරාදායක තත්ත්වයකට පත්ව තිබෙනවා. සැකකාර භාවයක් ආරෝපණය කිරීමට කටයුතු කළ බවට වාර්තා ඉදිරිපත් වී නැහැ. 1 සිට 5 දක්වා සැකකරුවන් සාධාරණ හේතු දැක්වීමක් සිදු කිරීමට අසමත් වීම හෝ ඔවුන්ගේ බාහිර රාජකාරිය වගකීමකින් තොරව කටයුතු කිරීම එම ක්‍රියාකලාපය මත ගම්‍ය වන ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාදාමය සාක්ෂි ලෙස මෙහිදී ආරෝපණය වෙනවා.

හිටපු සෞඛ්‍ය ලේකම්වරයා සිය අත්සන් තබා ලබා දී ඇති නියෝග, උපදෙස් සහ ඉදිරිපත් කළ වාර්තා මත ආරෝපණය වන්නේ ඔවුන්ගේ සැකකාරභාවයයි. ඒ අනුව ඔහු 6 වැනි සැකකරු ලෙස නම් කරමින් ඔහුගේ ක්‍රියාකලාපය ‘ඉන්දීය ණය යෝජනා’ ආරම්භ කර අවසානය දක්වා සැක සහිත බවට අධිකරණය තීරණය කරන අතර, වැය ශීර්ෂයක් යටතේ කැබිනට් අනුමැතිය ලබා නොගෙන මෙම මුදල් ගෙවීම තුළින් ඔහුගේ සාපරාධී ක්‍රියාකලාපය පිළිබිඹු කරමින් ක්‍රියාකොට ඇති බවට බැලූ බැල්මට පෙනී යන බව අධිකරණයේ මතය බව මෙහිදී අවධාරණය කරනවා.”

සැකකාර හිටපු සෞඛ්‍ය ලේකම්වරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇතුළු නීතිඥ මඬුල්ල ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය ඉදිරි දින ඇප සම්බන්ධයෙන් සලකා බලන බවට දැනුම් දෙමින් සැකකරු ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළාය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙණෙවිය මෙසේ ප්‍රකාශ කළාය :

“සැකකාර හිටපු සෞඛ්‍ය ලේකම්වරයා 6 වන සැකකරු ලෙස මෙම නඩුවේ නම් කිරීමට අවසර ඉල්ලා සිටිමි. ඔහුගේ ක්‍රියාකලාපය අපරාධමය වරදේ ස්වභාවය 2022-06-16 වැනි දින භාණ්ඩාගාර ලේකම්වරයාගේ සාක්ෂි මඟින් ඉදිරිපත් වෙනවා. කොවිඩ් සමයේ ක්‍රියාවලිය යටතේ කැබිනට් මණ්ඩලයෙන් සිදු කළ ඉල්ලීමට අවසර ලැබී නෑ. අවසර ලැබී තිබෙන්නේ භාණ්ඩාගාර ලේකම්වරයාගේ උපදේශන මාලාවට යටත්ව එය සිදු කරන ලෙසට. ඒ බව 6 වන සැකකාර හිටපු සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියකින් දැනුම් දී තිබෙනවා. හදිසි ප්‍රසම්පාදන කමිටුවේ ලේකම්වරයා ඔහුයි. 2022 මාර්තු මාසයේ ‘ඉන්දීය ණය යෝජනා ක්‍රමය’ යටතේ ඖෂධ ගෙන්වීමට අනුකමිටුවක් පත්කර තිබෙනවා. ප්‍රධාන කමිටුව අනුකමිටුව සමඟ සම්බන්ධ වී කටයුතු කළ යුතුයි. ගැණුම්කරුවකු තෝරා ගැනීමෙන් පසුවයි ප්‍රසම්පාදන කටයුතු සිදුවන්නේ. 2022 සැප්තැම්බර් මාසයේ මිල කැඳවීම් සිදු කරනවා. ඔක්තෝබර් 22 වන විට මිල කැඳවා අවසන්. සෞඛ්‍ය ඇමැතිවරයා සැප්තැම්බර් 26 කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් මඟින් ‘ඉන්දීය ණය යෝජනා ක්‍රමය’ යටතේ ඖෂධ මිල දී ගැනීමට අවසර ඉල්ලනවා. අවසර ලැබෙන්නේ ඔක්තෝබර් 04 වැනිදා. ඊට පෙර දින එනම් ඔක්තෝබර් 03 වැනි දින මේ සැකකරු මිල කැඳවීම් කර ඔක්තෝබර් 03 එය වසා දමා තිබෙනවා. සැප්තැම්බර් 30 වැනිදා පස්දෙනකු (5) ගෙන් යුත් තාක්ෂණික ඇගැයීම් කමිටුවක් පත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කළ සාමාන්‍ය පරිපාලන නිලධාරි ඇතුළු සාක්ෂි මඟින් තාක්ෂණික කමිටුව සලකා බලා තිබෙන්නේ මිල හා දිනය පමණක් බව සනාථ වී තිබෙනවා. දිනය හෝ මිල අනුව ඖෂධයක තත්ත්වය විමසා බලන්න බැහැ. සැකකරු මේ කර තිබෙන්නේ බරපතළ අපරාධමය වරදක්. මේ පස්දෙනා (5) අනුමැතිය ලබා දී තිබෙන්නේ ගැණුම්කරුවන් කිහිපදෙනෙක් තෝරාගන්න. පළමු (1) සැකකාර ‘සුදත් ජානක ප්‍රනාන්දු’ එහි එක් අයෙක්. අදාළ ප්‍රසම්පාදනය තෝරාගත් බවට දැනුම් දෙන ලිපිය යොමුවන විට ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය (WOR) නැහැ. එන්.එම්.ආර්.ඒ. එක දැනුම් දෙනවා ලේඛනය නොමැතිව මුදාහරින ලෙස. ඊට ඩොලර් 130 ක් අය කරනවා. සැප්තැම්බර් 02 වැනිදා එන්.එම්.ආර්.ඒ. විධායක අධ්‍යක්ෂවරයා ‘මිනිට්’ එකක් ගහනවා මේ සම්බන්ධව. ඔක්තෝබර් 28 ‘නියෝජ්‍ය අධ්‍යක්ෂ සෞඛ්‍ය සේවා’ යන අයට ලිපියක් යොමු කරනවා WOR සහතිකය නොමැතිව භාවිත කරන ලෙස දන්වා. එහි පළමු (1) සැකකරු තෝරාගත් බව දැනුම් දී තිබෙනවා.

ඉන්දීය මුදල් ගෙවිය යුතු වුවත් ඔක්තෝබර් 28 ගෙවා තිබෙන්නේ ලංකාවේ මුදල්. ඒ බවට රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ සාක්ෂි තිබෙනවා. ‘ඉන්දීය ණය යෝජනා ක්‍රමය’ භාවිත කර රජයේ මුදල් ගෙවන ලෙස අවසරයක් ලබා දී නැහැ. කුමන කැබිනට් මණ්ඩල අනුමැතියට යටත්ව ද කුමන මුදල් රෙගුලාසි යටතේ මේ මුදල ගෙවා තිබේ ද යන්න විමර්ශනය කළා. ප්‍රධාන ගිණුම් නිලධාරියාගේ අවසරය වැය ශීර්ෂය යටතේ ගෙවීමට ලබාගත යුතුයි. මහා භාණ්ඩාගාර අවසරය දී නැහැ. මෙහි වගවීම පාරදෘශ්‍යභාවය කුමක් ද? සැකකාර හිටපු සෞඛ්‍ය ලේකම්වරයා ‘ඉක්මනින් මුදල් ගෙවන්න’ කියා සටහන් තබලා. මුදල් ගෙවන්න, රුධිර පට්ටිකා ලබාගන්න අවසර දීලා. සැකකරුගේ ආදර්ශ අත්සන් ලබාගෙන සැක කටයුතු ලේකම්වරයා වෙත යොමු කරන්න අවසර ලබා දෙන්න. අපරාධමය වැරදිවලට අදාළව සාවද්‍ය මනස ක්‍රියා කර නැහැ. ඒ බව ප්‍රකාශය ලියන විටම පෙනී ගොස් තිබෙනවා.

‘සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ඖෂධ සැපයුම් නියාමන) සමන් රත්නායක’ මහතාගේ නිල කාමරය පරීක්ෂා කරන්න සෝදිසි වරෙන්තුවක් ලබා දෙන්න. 2022 සැප්තැම්බර් 26 සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ගෙන්වීමට අවසරය ඉල්ලුවත් දේශීය මුදල් භාවිත කරන්න අවසර ලැබී නැහැ. ඒ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදු කරනවා. සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටිනවා.”

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා : “මුල සිටම සැකකරු අපරාධමය වරදක් කළ බව සනාථ කරන්න ප්‍රයත්න දැරුවා. ද්වේෂසහගතව අපරාධමය මනසකින් එය සිදු කළාද යන ප්‍රශ්නය මතු වෙනවා. 2022 මැයි මාසය වන විට මේ රටේ ඖෂධ හිඟයක් තිබුණා. මුදල් නොමැතිව බංකොලොත් රටක් ලෙස තිබුණේ. ඖෂධ, ආහාර, තෙල් හිඟයක් තිබුණා. රජය යම් යම් ප්‍රතිපත්ති ගත්තා. මැයි මාසයේ කැබිනට් පත්‍රිකාවක් යොමුකර තිබුණේ කොවිඩ් කාලයේ ඖෂධ ගෙන්වූ ආකාරයට ප්‍රසම්පාදන සිදු කරන්න. දේශපාලනඥයන් බේරාගන්න වෙන අතකට වරද පටවනවා. සියුම්ව බලලා රජයේ සේවකයන් සිරගත කර තිබෙනවා. ඖෂධ 182 ක හිඟයක් තිබුණා. සැපයුම්කරුවන් 800 ක් පමණ ඉදිරිපත් වී තිබුණා. සමහර ඇණවුම් ප්‍රතික්ෂේප වුණා. අඩුම මුදලක් තිබූ සමාගමට ඇණවුම් ලැබුණා. WOR සහතික නිකුත් කිරීම අපේ වගකීමක් නොවේ. අසත්‍ය ලේඛන බව කියනවා. ඒ බව අපි දන්නේ නැහැ. රාජ්‍ය නිලධාරීන් රැවටීමට ලක්වෙලා. ෆොටෝ කොපි මත තීරණ ගෙන තිබෙනවා.”

මහේස්ත්‍රාත්වරිය : “රැවටෙන්නේ කෙසේ ද? ඊට අදාළ ලේඛන ඉදිරිපත් වී තිබෙනවා.”

ජනාධිපති නීතිඥවරයා : “වෛද්‍ය සැපයීම් අංශය එම ලේඛන නිවැරැදි ද කියා බලා නැහැ. සාමාන්‍ය ක්‍රමවේදය යටතේ මාස ගණනාවක් යනවා. මින්පසු සියලු ලේකම්වරු ගිහින් පහළ නිලධාරීන් සිදු කරන ක්‍රියා සොයා බලන්න වෙයි. ලේකම්වරයා පමණක් සිටීම ප්‍රමාණවත්. යම් යම් වැරැදි සිදු නොවූවා කියා මා කියන්නේ නැහැ. වගකීම තියෙන්නේ වෛද්‍ය සැපයීම් අංශයේ. මේ නඩුවේ සිද්ධිමය කරුණුවලට අවධානය යොමු කළ යුතුයි. ඇමැතිතුමාවත් අල්ලගන්න කියයි. එහෙම කිරීම සුදුසු නැහැ. සාපරාධී චේතනාවක් තිබෙනවා නම් එය වැරැදියි. මනුෂ්‍ය ජීවිත බව ඇත්ත. මින් රජයේ නිලධාරීන් පීඩාවට පත්වෙනවා. තමාගේ වැඩේ ඇරෙන්න ‘බූරුවාගේ වැඩෙත්’ කරන්න කියයි. ඉන්දීය ණය යෝජනා ක්‍රමය දෙසැම්බර් මාසයේ අවසන් වුණා.”

මහේස්ත්‍රාත්වරිය : “අනුමැතිය නොමැතිව මුදල් ගෙව්වේ කොහොමද?”

ජනාධිපති නීතිඥවරයා : “ඇමැතිවරයා මෙම ඖෂධ ගෙන්වන්න කියනවා. ඒ අවස්ථාවේදී ඇණවුම් කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය නියෝග ලබා දුන් බවට කරුණු තිබෙනවා. සාමාන්‍ය මිල දී ගැනීමේ ක්‍රමයට තිබුණු මුදල්වලින් ගෙවා තිබෙනවා. මුදල් නොගෙන්වොත් මේ අය මැරුණේ බෙහෙත් නැතිව කියා කියනවා. නොකරත් වැරදිකාරයා, කළත් වැරදිකාරයා. ඒ මත සිට අපව රිමාන්ඩ් කිරීම සුදුසු නැහැ.”

සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාර හිටපු සෞඛ්‍ය ලේකම්වරයා ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ අතර, ඇප සම්බන්ධයෙන් සලකා බැලීම එදිනට සිදු කරන බවට දැනුම් දුන්නාය ෴

++++++++

කෙහෙළියත් අත්අඩංගුවට ගන්න

(19.12.2023 – mawbima.lk)

ප්‍රමිතියෙන් තොර ‘ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත්’ මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල හා හිටපු සෞඛ්‍ය ලේකම් ජානක චන්ද්‍රගුප්ත අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ඇතුළු පිරිසක් පොලිස් මූලස්ථානයට ඊයේ (18) පැමිණිල්ලක් කළහ.

පැමිණිල්ල කිරීමෙන් පසුව කොටුව අපරාධ පරීක්ෂණ මූලස්ථානය ඉදිරිපිටට පැමිණි මෙම පිරිස හිටපු සෞඛ්‍ය ලේකම්වරයා අනුමැතිය දුන් බව කියන ලේඛන කිහිපයක්ද මාධ්‍යට පෙන්වමින් අදහස් දැක්වූහ. ඒ අවස්ථාව වනවිට හිටපු සෞඛ්‍ය ලේකම් ‘ජානක චන්ද්‍රගුප්ත’ ප්‍රකාශයක් දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියේය. හිටපු සෞඛ්‍ය ලේකම් ජානක චන්ද්‍රගුප්ත ඖෂධ තුනක් (3) ආනයනය සඳහා පසුගිය ජුනි 25 වැනි දින ඖෂධ සමාගමකට ලිපියක් යොමුකර ඇතැයිද ඔහු අත්අඩංගුවට ගැනීමට එම ලේඛනය පමණක් වුව ප්‍රමාණවත් යැයි ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර’ මහතා එහිදී කීවේය. මෙම පිරිස අත්අඩංගුවට ගැනීම පමා කරන්නේ මන්දැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කළේය ෴

+++++++++

‘කෙහෙළියගේ නම කියන්නේ නැතුව තමන් සිරබත් කනවා’ කියලා හිතනවා නම් , ඒක ඒ අයගේ තෝරාගැනීම (19.12.2023)

+

+


ටෙලිකෝම් එකේ ජංජාලයක් – සේවක සංගම් අනතුරු අගවයි (18.12.2023)

++++++++++

ටෙලිකොම් සේවකයින් අඛණ්ඩ වර්ජනයක

(19.12.2023 – 15:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවකයින් අඛන්ඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

අද (19) සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන් මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇත්තේ එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ ක්‍රියාකාරීත්වයට විරෝධය පළ කරමින්.

වරප්‍රසාද සහ දීමනා නිසි පරිදි සිදු නොකරන ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කල යුතු බවයි වර්ජනයේ නිරත එම ආයතනයේ සේවකයින් පවසන්නේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද ඔවුන් මෙම ඉල්ලීම් සඳහා වර්ජනවල නිරත වුවද ඊට ස්ථිර විසදුමක් නොලැබීම හේතුවෙන් මෙම අඛණ්ඩ වර්ජනය ආරම්භ කර තිබෙනවා ෴


උතුරේ පාසල් වැසේ

(19.12.2023 – 11:36 +0530 – hirunews.lk/sinhala)

අධික වර්ෂාව හේතුවෙන් උතුරේ පාසල් 29 ක් දින නියමයක් නොමැතිව අද (19) සිට වසා දමා තිබෙනවා.

මෙලෙස වසා දමා ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයේ පාසල් 09 ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් 02 ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් 09 ක් සහ වවුනියාව දිස්ත්‍රික්කයේ පාසල් 09 ක්.

අදාළ පළාත්වල වැසියන් වර්ෂාව හේතුවෙන් විපතට පත් වී ඇති අතර රජයේ පාසල් ගොඩනැගිලි කීපයක පවත්වා ගෙන යන සුබ සාධන කඳවුරු නිසා මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මේ අතර උතුරේ දැනට ක්‍රියාත්මක පාසල් වලට යාමට නොහැකිව ගංවතුර මධ්‍යයේ සිටින පාසල් සිසුන්ට යුද හමුදාව විසින් ගමනාගමන පහසුකම් සලසා ඇති බවයි වාර්තා වන්නේ ෴


රුපියල් කෝටි 30 කට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස ගෙනා සැකකරුවන් අත්අඩංගුවට

(19.12.2023 – 10:47 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 30 කට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත් කළ සැකකරුවන් 4 දෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ භාණ්ඩ තොගය සමඟ ලැප්ටොප් පරිගණක, ජංගම දුරකථන 81 ක් මෙන්ම විදේශීය මත්පැන් සහ දුම්වැටි ඇතුළු විද්‍යුත් උපකරණ තොගයක්ද පවතී බවයි අනාවරණය වන්නේ ෴


කතරගම දේවාලයේ චූටි කපුරාල CCDයට භාරවෙයි

(19.12.2023 – 10:13 +0530 – hirunews.lk/sinhala)

රුහුණු කතරගම දේවාලයේ රන් බන්දේසිය අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සැකකරුවන් දෙදෙනා (2) ගෙන් එක් අයෙක් වන ‘සමන් ප්‍රියන්ත’ නොහොත් ‘චූටි කපුරාල’ නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසයට (CCD) භාර වූ බවයි පොලීසිය පවසන්නේ.

රුහුණු කතරගම මහ දේවාලයට ‘පාතාල නායක අංගොඩ ලොක්කා’ගේ බිරිඳ විසින් දරුවන්ගේ අපලයට පූජා කළ රත්‍රං පවුම් 38 ක් බැරැති රත්‍රං තැටිය අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව මහ දේවාලයේ ප්‍රධාන කපු මහතා සහ දේවාලයේ ගබඩාව භාර කපු මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබුණා.

මෙම රන්තැටිය අතුරුදන් වීම සම්බන්ධව රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ‘ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර’ විසින් 2021 ඔක්තෝබර් මාසයේදී පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකින් පසුව විමර්ශන සඳහා එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබුණා ෴

(19.12.2023 – 17:37 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයට පූජා කළ පවුම් 38 කින් යුත් රන් තැටියක් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එහි ගබඩාව භාර කපුමහතා ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ ඔහු අද (19) තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී රුපියල් ලක්ෂ පහ (5) බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත ඔහු මුදාහැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

ඊට අමතරව සෑම මසකම අවසන් ඉරුදින කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.

කොළඹ අපරාධ කොට්ඨාසය වෙත අද (19) පෙරවරුවේ භාරවීමෙන් අනතුරුවයි ඔහු අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *