ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය බ්‍රිතාන්‍යයට – බ්‍රිතාන්‍ය රියදුරු බලපත්‍රය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය බ්‍රිතාන්‍යයට – බ්‍රිතාන්‍ය රියදුරු බලපත්‍රය ශ්‍රී ලංකාවට


ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය බ්‍රිතාන්‍යයට – බ්‍රිතාන්‍ය රියදුරු බලපත්‍රය ශ්‍රී ලංකාවට

(10.06.2023 – 14:09 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍යයට රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඔවුන්ගේ රියදුරු බලපත්‍ර අදාළ රටවල භාවිත කළ හැකි වන ආකාරයට ගිවිසුමකට එළඹීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි රියදුරු බලපත් කොමසාරිස් වසන්ත ආරියරත්න කියා සිටියේ මෙම දෙපිරිසටම පෙර පුහුණු පරීක්ෂණයකට ඉදිරිපත් නොවී රියදුරු බලපත්‍රය භාවිත කිරීමේ හැකියාව පවතින බවයි.

ඉතාලියේ රැකියාවල නිරත වන ශ්‍රී ලාංකිකයින්ට මෙරට වලංගු රියදුරු බලපත්‍ර භාවිත කිරීමේ හැකියාව ලැබුණේ 2016 වසරේදියි.

ඒ, දෙරට අතර ඇති කරගත් ගිවිසුමකට අනුවයි ෴


ත්‍රෛලෝක විජයපත්‍ර රට පටවන්න අවසර

(10.06.2023 – 11:00 +0530 – hirunews.lk/sinhala)

අපනයනය සඳහා පමණක් ත්‍රෛලෝක විජය පත්‍ර කංසා පාදක නිෂ්පාදන සිදු කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුවේ නිර්දේශ මත අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබෙනවා.

ඒ සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පවතින නීතිරීති වලට අනුකූලව ත්‍රෛලෝක විජය පත්‍ර බෝගය වගා කිරීම හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කිරීම පිළිබඳ තාක්ෂණික මාර්ගෝපදේශ ලබා දීම හා නියාමන රාමුවක් සකස් කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවට පැවරෙන අතර ඒවා අපනයනයට අදාළ ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීම, ආයෝජන සැලැස්ම තීරණය කිරීම හා ක්‍රියාත්මක කිරීමේ කාල රාමුව සකස් කිරිම ඇතුළුව ආයෝජකයන් සමඟ එකඟතාවකට පැමිණීමේ කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත පැවරෙනු ඇති බවයි වාර්තා වී ඇත්තේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවතින භූමියක හෝ එවැනි භුමියක් නොමැති නම් රජයට අයත් භූමියක් ආයෝජන මණ්ඩලය වෙත පවරා ත්‍රෛලෝක විජය පත්‍ර වගා කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමටද රජය පියවර ගනු ඇතැයි ද සඳහන් ෴


කටුනායක ගුවන් තොටුපලේ ස්වයංක්‍රීය ආගමන විගමන පාලන පද්ධතියක් සඳහා ගිවිසුමක්

(10.06.2023 – 11:08 +0530 – hirunews.lk/sinhala)

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණෙන සහ පිටත්ව යන මගීන්ට කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා ස්වයංක්‍රීය ආගමන විගමන පාලන පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා සිංගප්පූරු සමාගමක් සමඟ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව මෙහි ආරම්භක අදියරයේදී පිටත්වීමේ පර්යන්තයේ ස්වයංක්‍රිය ආගමන විගමන පිවිසුම් කවුලු දෙකක් (2) ස්ථාපිත කිරීමට නියමිතයි.

ඉන් මාස අටකට (8) පසුව පැමිණීමේ පර්යන්තයේත් කවුලු දෙකක් (2) ස්ථාපිත කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

මේ සඳහා අවශ්‍ය මුලික පහසුකම් ආගමන විගමන දෙපාර්තමේන්තුව සපයනු ලබන අතර, සීමාසහිත ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම විසින් මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට නියමිතයි.

ලොව පුරා බොහෝ ගුවන් තොටුපල තුළ මෙවැනි ස්වයංක්‍රිය ආගමන පාලන පද්ධති ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ සඳහා මෙම ‘තලෙස් ඩිස්’ නම් සිංගප්පූරු සමාගමේ නිෂ්පාදිත උපකරණ භාවිතයට ගැනෙනවා ෴


කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට පුද්ගලයෙක් අත්අඩංගුවට

(10.06.2023 – 11:16 +0530 – hirunews.lk/sinhala)

කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට හම්බෙගමුව පොලීසියට විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකු සතුව තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පතක් සොයාගෙන තිබෙනවා.

තිස් දෙහැවිරිදි (32) මෙම සැකකරුගේ පසුම්බියේ මෙම හැඳුනුම්පත තිබී සොයාගත් බව හම්බෙගමුව පොලීසිය පවසනවා.

මෙවැනි හැඳුනුම්පතක් සැකකරු සන්තකයට ආවේ කෙසේදැයි සොයා වැඩිදුර විමර්ශන පොලිසිය සිදු කරන බවයි වාර්තා වන්නේ ෴


කතරගම ඇසළ පෙරහැරට වතුකරයෙන් සහභාගි වන පළමු කණ්ඩායම පාගමන ආරම්භ කරයි

(10.06.2023 – 12:21 +0530 – hirunews.lk/sinhala)

කතරගම ඇසළ පෙරහැරට වාර්ෂිකව පාගමනින් ගොස් සහභාගි වන වතුකරයේ පළමු කණ්ඩායම (10) දින හැටන් සිට ගමන ආරම්භ කර තිබෙනවා.

මේ මස (19) දින කතරගම ඇසළ පෙරහැර ආරම්භ කිරිමට නියමිත බවත්, ඒ සදහා සහභාගි වන වතුකරයේ පළමු කණ්ඩායම මෙසේ ගමන් ආරම්භ කල බවයි එම පාගමනට එක් වි සිටින වතුකරයේ බැතිමතුන් පවසා සිටියේ.

හැටන් , නුවරඑලිය , වැලිමඩ , බණ්ඩාරවෙල , වැල්ලවාය , ලුණුගම්වෙහෙර හරහා කිලෝමිටර් 240 ක් පාගමනින් ගමන් කරන මෙම කණ්ඩායම මේ මස (18) දින කතරගම පුජා භුමියට ළගා වන බවයි එම පාගමනට සහභාගි වි සිටින බැතිමතුන් පවසා සිටියේ.

දිනකට කිලෝමිටර් 20 – 25 අතර දුර ප්‍රමාණයක් පාගමනින් ගමන් කර එම ප්‍රදේශ වල තිබෙන වෙහෙර විහාරස්ථාන සහ හින්දු කොවිල් වල රාත්‍රි කාලයේ විවේක ගෙන ඉන් අනතුරු ඊට පසු දින යලිත් ගමන් ආරම්භ කරන බවයි වාර්තා වන්නේ ෴


2023 ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීමෙන් කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරියට

(10.06.2023 – 13:41 +0530 – hirunews.lk/sinhala)

ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීමේ 2023 ජුනි මස ඉදිරිපත් වූ ඵලදායිතාව පිළිබඳව පස්වන අදියරේ වාර්තාවට අනුව ලෝකයේ විශ්වවිද්‍යාල අතරින් 401 ත් 600 ත් කාණ්ඩයට පැමිණීමට කොළඹ විශ්වවිද්‍යාලය සමත්ව තිබෙනවා.

පසුගිය වසරේ විශ්වවිද්‍යාල වර්ගීකරණයේ කොළඹ විශ්වවිද්‍යාලයට හිමිව තිබුණේ 601 ත් 800 ත් අතර ස්ථානයක්.

මෙම වසරේ සමස්ත ශ්‍රේණිගත කිරීම් සදහා ලෝකයේ රටවල් හා කලාප 112 කින් විශ්වවිද්‍යාල 1591 ක් ඇතුළත් වූ අතර කොළඹ විශ්වවිද්‍යාලය අත්කර ගත් ජයග්‍රහණයට හේතුවී ඇත්තේ පසුගිය වසර කිහිපයේ පර්යේෂණ, ඉගැන්වීම්, ප්‍රජා මූලික අභිවෘද්ධිය සෙසු ක්ෂේත්‍රයන්හි දැක්වූ ක්‍රමික වර්ධනයයි ෴


ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් ජනතාවට දැනුම්දීමක්

(10.06.2023 – 14:01 +0530 – hirunews.lk/sinhala)

ස්වර්ණාභරණ උකස් කිරීමේදී බැංකු සහ මූල්‍ය ආයතන භාවිත කරන ‘ඩෙන්සි මීටරය’ මගින් ඒවායේ ගුණාත්මකභාවය නිවැරදිව නිර්ණය කළ නොහැකි බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා.

ඩෙන්සි මීටරයේ සටහන් වන වැරදි පාඨාංක හේතුවෙන් පාරිභෝගිකයින් සහ ස්වර්ණාභරණ නිමැවුම්කරුවන් අතර ගැටළු ඇතිවන බවට පැමිණිලි ලැබෙමින් පවතින බවයි එම අධිකාරියේ වටිනා ලෝහ විශ්ලේෂණය කිරීම හා මුද්‍රා තැබීම පිළිබද කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර ප්‍රකාශ කළේ.

ඕනෑම පුද්ගලයෙකුට රන් ආභරණවල අඩංගු කැරට් ප්‍රමාණය පරීක්ෂා කිරීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත ගොස් එම අධිකාරියේ මුද්‍රාව තැබූ සහතිකයක් ලබාගත හැකි බවද ඔහු කියා සිටියා.

එමඟින් උකස් ආයතන සහ මූල්‍ය ආයතන සමඟ ඇතිවන ගැටුම් මගහරවා ගැනීමට හැකිවන බවයි සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ෴


නීති විරෝධී මත්පැන් ලඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

(10.06.2023 – 14:04 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද – මාබිම ප්‍රදේශයේ දී ඊයේ (09) රාත්‍රියේ නීති විරෝධී මත්පැන් බෝතල් 90 ක් (ලීටර් 67.5ක්) සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සපුගස්කන්ද පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදී යි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 69 ක් වන මාබිම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු ජූනි මස 16 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කොට ඇපමත මුදා හැර තිබෙනවා ෴


ගතවූ මාස හතරේ ළමා හිංසන පැමිණිලි 3000 ක්

(10.06.2023 – 15:22 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ ගත වූ මාස 4 ක කාලය තුල ළමා හිංසනයන් සම්බන්ධ පැමිණිලි 3000 ක් වාර්තා වී ඇති බව ජාතික ළමා රක්ෂක අධිකාරිය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මේ පිළිබඳ සඳහන් කර සිටියා ෴


පොලිස් අණ නොතකා ධාවනය කල රථයේ බලපත්‍ර නොමැති ගවයින්

(10.06.2023 – 15:23 +0530 – hirunews.lk/sinhala)

පොලිස් අණ නොතකා ධාවනය කල කැබ් රථයකට අද (10) අළුයම හම්බන්තොට උඩමලල හංදිය අසලදී පොලිසිය වෙඩි තබා තිබෙනවා.

කැබ් රථය නතරකර ගැනීමෙන් පසුව එය පරීක්ෂා කිරිමේ දී බලපත්‍ර නොමැතිව ගවයින් ප්‍රවාහනය කරමින් සිටි බව හම්බන්තොට මූලස්ථාන පොලීසිය පවසනවා.

හම්බන්තොට මූලස්ථාන පොලිසියේ නිළධාරීන් රාත්‍රී ජංගම මුර සංචාරයේ යෙදී සිටින අවස්ථාවේ දී උඩමලල හංදිය අසලදී කැබ් රථයක් ධාවනය වෙමින් තිබූ අතර එය නතර කරන ලෙසට පොලිසිය අණ කලද පොලිස් අණ නොතකා කැබ් රථය ධාවනය කර තිබෙනවා.

වහා ක්‍රියාත්මක වූ පොලිස් නිළධාරීන් රාජකාරිය සඳහා යොදාගත් ටී-56 ගිනි අවිය යොදාගනිමින් අහසට වෙඩි තබා තිබෙන අතර, එම වෙඩි තැබීම සමඟ කැබ් රථය නතර කර එහි සිටි එක් පුද්ගලයෙක් එම අවස්ථාවේ දි පලාගොස් ඇති බවත්, කැබ් රථයේ රියදුරු හා කැබ් රථය එම අවස්ථාවේ දී පොලිස් අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසනවා.

එහිදී කැබ් රථයේ බලපත්‍ර නොමැතිව එළ හා මී වසු පැටියන් හතර දෙනෙක් (4) ප්‍රවාහනය කරමින් සිට ඇත බවයි අප වාර්තාකරු පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර කැබ් රථය අත්අඩංගුවට ගත් රියදුරුගේ බිරිඳට අයත් බව පොලිස් විමර්ශන වලදී හෙලි වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට මූලස්ථාන පොලිසිය පරීක්ෂන සිදු කර‍යි ෴


ඩෙංගු වසංගතය ගැන අනතුරු ඇඟවීම්

(10.06.2023 – 15:31 +0530 – hirunews.lk/sinhala)

ජූනි මාසය අවසානය වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු අධි වසංගත තත්ත්වයක් හටගැනීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මේ අතර රට තුළ ඩෙංගු හා කොවිඩ් පාලනය සඳහා අමාත්‍ය කමිටුවක් සහ විද්වත් කමිටුවක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත පත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

රට තුළ ඩෙංගු රෝගය හා කොවිඩ්-19 රෝගය පැතිරීම පාලනය සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් ජනාධිපතිවරයා පත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවට කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු ඇතුළු සාමාජිකයන් 08 දෙනෙකු අයත්.

මේ අතර ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම ඇති සාමාජිකයන් 11 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක්ද ඩෙංගු සහ කොවිඩ් රෝග පාලනය සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පත් කර තිබෙනවා.

මෙම විද්වත් කමිටුවට සහාය වීම සඳහා පළාත් මට්ටමින් අනුකමිටු 09 ක් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

මේ අතර කොවිඩ්-19 සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනයට අදාළ අමාත්‍ය කමිටුව අද (10) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වුණේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරීන් ද එම අවස්ථාවට කැඳවා තිබූ අතර රට තුළ ඩෙංගු මර්දන යාන්ත්‍රණය නිසි ලෙස ක්‍රියාත්මක වුවද පළාත් මට්ටමින් ජනතාව දැනුවත් කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාව එහිදී අවධාරණය වී තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *