අද (28) දිනයේ ජල කප්පාදුවක් : කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, කොළඹ 04, 05, 07 සහ 08

අද (28) දිනයේ ජල කප්පාදුවක් : කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, කොළඹ 04, 05, 07 සහ 08


අද (28) දිනයේ ජල කප්පාදුවක් : කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, කොළඹ 04, 05, 07 සහ 08

(28.04.2023 – 11:27 +0530 – hirunews.lk/sinhala)

අඹතලේ පවිත්‍රාගාරයේ සම්ප්‍රේෂණ නලයක් කැඩී යාම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

අද (28) රාත්‍රී 09:00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නෙ කෝට්ටේ සහ කඩුවෙල නගර සභා බල ප්‍රදේශ, මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශ, කොළඹ 04, 05, 07 සහ 08 යන ප්‍රදේශවලටයි ෴

+

+


කොල්ලකෑමකට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(28.04.2023 – 06:37 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දිනක දී මොරටුව නගරයේ දී කාන්තාවකගේ මුදල් පසුම්බියක්, රන් පෙන්ඩනයක් සහ ජංගම දුරකථනයක් කොල්ලකෑමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු (2) ඊයේ (27) රත්මලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මොරටුව පොලිසිය විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවයි.

මෙම සොරකම සඳහා යොදා ගන්නා ලද ත්‍රීරෝද රථය ද පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 22, 23 වයස්වල පසුවන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සොරකම් කරන ලද මුදල් පසුම්බිය, රන් පෙන්ඩනය සහ ජංගම දුරකථනය පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර සැකක‍රුවන් අද (28) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


චීනයෙන් මෙරටට නවීන තාක්ෂණයෙන් යුත් පිරිපහදු මධ්‍යස්ථානයක්

(28.04.2023 – 07:47 +0530 – hirunews.lk/sinhala)

චීන ආයෝජනයක් ලෙස දෛනිකව බොරතෙල් ටොන් 04 ක් පිරිපහදු කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් පිරිපහදු මධ්‍යස්ථානයක් මෙරට ස්ථාපිත කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් ඊයේ (27) බැහැදුටු අවස්ථාවේ දීයි.

ශ්‍රී ලංකාවේ දැනට ඇති බොරතෙල් පිරිපහදුව 1960 දශකයේ ස්ථාපිත කරපු ඉතා පැරණි එකක් බව සඳහන් කළ චීන තානාපතිවරයා යෝජිත නව පිරිපහදුව විවෘත කිරීමෙන් පසු මෙරට ඉන්ධන බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසක් සිදුවනු ඇති බව කියා සිටියා.

මෙම වසරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 120 ත්, 140 ත් අතර මුදලක් චීනය විසින් මෙරට ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ ඔස්සේ නව රැකියා අවස්ථා බිහිවනු ඇති බවයි ඔහු සඳහන් කළේ ෴


ඉන්දු – ලංකා සබඳතා නව මානයකට ගෙන යන මගී යාත්‍රා සේවය

(28.04.2023 – 07:56 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සමීපතම අසල්වැසියා වන ඉන්දියාව දෙරට අතර ගමනාගමන පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා දීර්ඝ කාලයක සිට අත්හිටුවා තිබූ මගී යාත්‍රා සේවාව (ෆෙරි) යළි ආරම්භ කිරීමට මේ වනවිට සූදානමින් සිටිනවා.

මෙම යාත්‍රා සේවාව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගමනාගමනය වඩාත් පහසු කරනු නොඅනුමානයි.

ශ්‍රී ලංකාවේ උතුරු අර්ධද්වීපයේ කන්කසන්තුරේ ඉන්දියාවේ කරෙයිකාල් අතර මගී යාත්‍රා සේවාවක් මැයි 15 වැනිදා සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර අවසන්.

එසේ තිබිය දී දෙරට අතර විවිධ වරායන් සම්බන්ධ කරමින් තවත් මගී යාත්‍රා සේවා දියත් කිරීමට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

වාර්තාවන්ට අනුව, තලෙයිමන්නාරම සහ කොළඹ සිට ඉන්දියාවේ තූත්තුකුඩිය දක්වා යාත්‍රා සේවා ආරම්භ කිරීමට බලධාරීන් සොයා බලමින් සිටිනවා.

තවද, කොළඹ – කොච්චි, ත්‍රිකුණාමලය – චෙන්නායි, සහ ගාල්ල – කොචින් නව මගී යාත්‍රා සේවා සඳහා හැකි මාර්ග ලෙස හඳුනාගෙන තිබෙනවා.

මේ අතර තමිල්නාඩු මහාමාර්ග සහ කුඩා වරාය අමාත්‍ය ඊ.වී. වේලු පවසා ඇත්තේ තව මාස කිහිපයකින් රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාව අතර කෙටි යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

ඒ අනුව තමිල්නාඩු සමුද්‍රීය මණ්ඩලය විසින් ඊට අදාල සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තාවක් අනුමැතිය සඳහා මධ්‍යම රජය වෙත යවා තිබෙනවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පාරු සේවා සම්පූර්ණයෙන්ම අලුත් සංකල්පයක් නොව, දෙරට අතර යටත් විජිත යුගයේ සිට පැවති ප්‍රවාහන සේවයේ පුනර්ජීවනයක්.

දකුණු ඉන්දියාවේ තූත්තුකුඩි නගරය හා ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ යා කරන මෙම යාත්‍රා සේවය ප්‍රථම වරට ආරම්භ කරන ලද්දේ 1914 දීයි.

කෙසේ වෙතත්, උතුරේ යුද ගැටුම් උත්සන්න වීම හේතුවෙන් 1982 දී එය අත්හිටුවනු ලැබුවා.

2009 සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු, මෙම ප්‍රවාහන සේවය නැවත ආරම්භ කිරීමට කිහිප වතාවක්ම උත්සාහ කළ නමුත් ඒ කිසිවක් සාර්ථක වූයේ නැහැ.

දශක හතරකට (4) අධික කාලයක් ආරක්ෂක හේතූන් මත අත්හිටුවා තිබූ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාව වසර ගණනාවක සාකච්ඡාවලින් පසුව යළි ආරම්භ කරන බව නිවේදනය කර තිබෙනවා.

යාපනය කන්කසන්තුරේ සහ ඉන්දියාවේ කරෙයිකාල් අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය මැයි 15 වැනිදා ආරම්භ කිරීමට නියමිතව ඇති බව මෙරට නාවික අමාත්‍යංශ තහවුරු කළා.

එක් මගියකුට කිලෝග්‍රෑම් 100 ක උපරිම ගමන් මලු දීමනාවක් සමඟින් ශ්‍රී ලංකා රුපියල් රු. 37,000 ක් පමණ වැය වෙතැයි අපේක්ෂා කෙරෙනවා.

කෲස් සේවාව ඉන්දීය බලධාරීන් විසින් කළමනාකරණය කරනු ලබන අතර ශ්‍රී ලංකාව මෙහෙයුම සඳහා පහසුකම් සපයයි.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසන පරිදි කන්කසන්තුරේ වරායේ මගී පර්යන්තයක් ඉදිකරමින් මගී යාත්‍රා සේවයට පහසුකම් සැලසෙනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) හා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන සම්පූර්ණ ඉදිකිරීම් සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 144 ක්.

නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය අතර මාර්තු 26 වැනිදා සාකච්ඡා කළ පරිදි, මගී යාත්‍රා සේවාව පහසු කිරීම සඳහා කන්කසන්තුරේ සහ කරෙයිකාල්හි ආගමන හා විගමන කාර්යාල දෙකක් (2) බැගින් පිහිටුවනු ඇති.

මෙම යාත්‍රාවක් හරහා එක් ගමන් වාරයක දී මගීන් 150 ක් රැගෙන යාමට බලාපොරොත්තු වන අතර පොන්ඩිචෙරි කරයිකාල් වරායේ සිට කන්කසන්තුරේ දක්වා ගමන් කිරීමට පැය හතරක (4) පමණ කාලයක් ගතවනු ඇති.

ගුවන් යානයකට වඩා අඩු වියදමකින් ගමන් කළ හැකි අතර වැඩි භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි බැවින් ගමනාගමනයේ යෙදෙන මගීන්ට වඩාත් කාර්යක්ෂම සහ පහසු වැඩපිළිවෙළක් ලෙස මෙම සේවාව හඳුන්වා දිය හැකියි.

ශ්‍රී ලංකාවේ දකුණු ඉන්දියාව සහ යාපනය සම්බන්ධ කරන පැරණි යාත්‍රා සේවාව පුනර්ජීවනය කිරීම ඉන්දු-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතාවල වඩාත් ධනාත්මක සහ ඵලදායී පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරන අතර එය ජාතීන් දෙක අතර ආර්ථික හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ ආගමික ස්ථාන නැරඹීම සඳහා සංචාරය කරන ශ්‍රී ලාංකිකයින්ට පහසු ප්‍රවාහන පහසුකම් සැපයීමට අමතරව ශ්‍රී ලාංකිකයින්ට ඉන්දියාවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමටද මෙම මගී යාත්‍රා සේවාව උපකාර වනු ඇති.

එපමණක් නොව, ශ්‍රී ලංකාවේ බිඳ වැටුණු ආර්ථිකය පුනර්ජීවනය ලැබීමට ද මගී යාත්‍රා සේවය ප්‍රයෝජනවත් විය හැකියි.

විශේෂයෙන්ම ඉන්දියානුවන් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා බැවින්, සංචාරක ව්‍යාපාරයේ උන්නතියට ද නව යාත්‍රා සේවය ප්‍රබල උත්ප්‍රේරකයක් වනු ඇති.

සංචාරක අත්දැකීම තවදුරටත් වැඩිදියුණු කළ හැකි හෝටල්, ආපනශාලා, සහ අනෙකුත් පහසුකම් වැනි ආධාරක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටද මගී යාත්‍රා සේවයට අවස්ථාව සැලසිය හැකියි.

තොටුපළ සේවාව මගින් සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීමට සහ කලාපීය සම්බන්ධතාව වැඩිදියුණු කිරීමට ද හැකිය.

දෙරටේම රජයන් මෙය යථාර්ථයක් බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යාත්‍රා සේවාවක ඇති විය හැකි ප්‍රතිලාභ අවබෝධ කර ගැනීමට කටයුතු කළ යුතුයි.

දෙරට අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීමේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යාත්‍රා සේවාව ද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු නොඅනුමානයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන දෙරටෙහිම බුදුදහම පිළිබඳ පොහොසත් ඉතිහාසයක් ඇති අතර, දෙරට අතර සංස්කෘතික හා ආගමික බැඳීම ශක්තිමත් කිරීමට තොටුපළ සේවාවට අවස්ථාවක් ලබා දිය හැකිය.

දෙරට අතර බෞද්ධ ස්ථාන පමණක් නොව හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගමික ස්ථාන සම්බන්ධයෙන්ද ආගමික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට මෙම යාත්‍රා සේවාව උපකාරී කර ගත හැකි වනු ඇති.

ආගමික උත්සව සහ සංස්කෘතික උත්සව සඳහා,මෙම ස්ථාන වෙත බැතිමතුන් සහ සහභාගිවන්නන් ප්‍රවාහනය කිරීමට මෙන්ම සංස්කෘතික හුවමාරුව සහ අවබෝධය ප්‍රවර්ධනය කිරීමට ද යාත්‍රා සේවාවට හැකියාව ලැබෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය සේවය ද මගී යාත්‍රා සේවය හා සම්බන්ධ කළ හැකි බවත්, එමගින් නිදහසට පෙර පැවති තත්ත්වය යළි පණ ගැන්වීමට හැකි බවත් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ ධනුෂ්කොඩි / රාමේෂ්වරම් සිට තලෙයිමන්නාරම දක්වා අතරමැදි පාරු ගමනක් සමඟින් කොළඹ-චෙන්නායි දුම්රිය ගමනක් නුදුරේදීම අත්විඳීමට හැකි වන්නේ නම් එය සංචාරක ආර්ථිකයට ඉතා ඵලදායී වනු ඇති.

මෙම මගී යාත්‍රා සේවාව ස්ථාපිත කිරීම හරහා මගීන්ට පමණක් නොව දෙරට අතර සබඳතා ඒ ඒ ක්ෂේත්‍රවල පවත්වාගෙන යාමට ද ඉවහල් වේ.

සමුද්‍රීය ප්‍රවාහනය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිලාභ ලබා ගත හැකි දෙරට අතර සමීප සබඳතා ප්‍රවර්ධනය කරයි.

එය විවිධ ගැටළු, පාරිසරික ගැටළු සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ සංවාදය සහ සහයෝගීතාවය සඳහා වේදිකාවක් සපයයි.

මෙම සේවාව ආරම්භ කිරීමෙන් බොහෝ රැකියා අවස්ථා උදාවන අතර මෙම සේවාවෙන් ඔබ්බට සලකා බැලීමේ දී දෙරට අතර පුද්ගලයින් සඳහා සෘජු හා වක්‍ර රැකියා අවස්ථා කිහිපයක් උත්පාදනය වනු ඇති.

එපමනක් නොව මෙමගින් ඉන්දියාවට එහි ආරක්ෂක අවශ්‍යතා සඳහා වැදගත් වන ඉන්දියන් සාගරයට සෘජු සම්බන්ධයක් සපයයි. අනෙක් අතට, කලාපයේ ආරක්ෂාව වැඩි කළ හැකි ඉන්දීය නාවික හමුදාවෙන් ශ්‍රී ලංකාවට ද මහත් ප්‍රතිලාභ ලබා ගත හැකි වනවා.

ලබන මස දී ඇරඹෙන ඉන්දු – ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවය ඉදිරියේ දී දෙරටටම වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති ෴


මාරවිල අධිකරණ සේප්පුවෙන් රුපියල් ලක්ෂ 22 කට අධික මුදලක් අතුරුදහන්

(28.04.2023 – 07:56 +0530 – hirunews.lk/sinhala)

මාරවිල දිසා අධිකරණයේ සේප්පුවේ තිබී රුපියල් ලක්ෂ 22 කට වඩා වැඩි මුදලක් අතුරුදහන් වී තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් එම අධිකරණයේම සේවය කරන ලිපිකරුවෙකු සහ ලිපිකාරිණියක මාරවිල පොලීසිය විසින් ඊයේ (27) දින අත්අඩංගුවට ගෙන තිබුණා.

අධිකරණ සේප්පුවේ තැන්පත් කර තිබූ රුපියක් 22,07,000 ක මුදලක් මෙලෙස අස්ථාන ගත වී ඇති බව එම අධිකරණයේ රෙජිස්ටාර්වරියක ලෙස සේවය කරන ශාරිකා මානෙල් වික්‍රමනායක පසුගිය මාර්තු 20 වැනිදා මාරවිල පොලීසිය වෙත පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය විසින් මෙම සිදුවීමට අදාලව විමර්ශණ කටයුතුවල දී අධිකරණයේ සේවයේ නියුතු කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ ලබා ගැනීමටයි පොලීසිය කටයුතු කර තිබෙන්නේ.

මාරවිල පොලීසිය සිද්දිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනවා ෴


රිළවුන්ගෙන් හා වඳුරන්ගෙන් සිදුවන හානිය වළක්වා ගැනීමට නව උපකරණයක්

(28.04.2023 – 08:14 +0530 – hirunews.lk/sinhala)

වගාවන්ට රිළවුන්ගෙන් හා වඳුරන්ගෙන් සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා නව උපකරකණයක් නිෂ්පාදනය කර තිබෙනවා.

මේ වන විට එහි පර්යේෂණ කටයුතු සිදුකරගෙන යන බවයි වාර්තා වන්නේ.

මෙම නව නිෂ්පාදනය ඉංජිනේරු මනතුංග ශෙරෝන් දීප්ති ජීවකාන්ත ද සිල්වා විසින් නිශ්පාදනය කර ඇති අතර එය නිෂ්පාදනය ලුනුවිල ජාතික පොල් පර්යේෂණ ආයතනයේ ඉල්ලීමක් මතයි ෴


කච්චතිව් දූපතේ බුදු පිළිමය ඉවත් කෙරේ

(28.04.2023 – 08:28 +0530 – hirunews.lk/sinhala)

කච්චතිව් දූපතේ නාවික හමුදාව විසින් තැන්පත් කළ කුඩා බුදු පිළිමය ඉවත් කර තිබෙනවා.

මෙම පිළිමය ඉවත් කරන ලෙස දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පසුගියදා විරෝධතාවල නිරතවූ අතර, සමාජ මාධ්‍යයෙන් ද එම පිළිමය සම්බන්ධයෙන් ප්‍රචාරයක් ලබාදී තිබුණා.

එබැවින් අදාළ පිළිමය එම ස්ථානයෙන් ඉවත් කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය සඳහන් කළේ.

මෙය ස්ථිර ඉදිකිරීමක් නොවන බවත්, කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටින නාවික භටයින් වන්දනා මාන කිරීම සඳහා එහි තැන්පත් කර තිබූ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ ෴


ගෝඨාභය, එස්.එම්.ට කළ තර්ජනයක් ගැන හෙළිදරව්වක්

(28.04.2023 – 08:32 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර තහනමට එරෙහිව අදහස් දැක්වුවහොත් අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තර්ජනය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන අනාවරණයක් කළා.

ඒ, ඊයේ (27) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දීයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *