‘සෙව්වන්දි’ මිද්දෙණි ගියේ ‘මතුගම ශාන්’ගේ සල්ලිවලින් – සී සී ඩීය අධිකරණයට කියයි
‘සෙව්වන්දි’ මිද්දෙණි ගියේ ‘මතුගම ශාන්’ගේ සල්ලිවලින් – සී සී ඩීය අධිකරණයට කියයි
(24.10.2025 – hirunews.lk)
‘ගනේමුල්ල සංජීව’ ඝාතනයේ ප්‍රධාන සැකකාරිය බව කියන ‘ඉෂාරා සෙව්වන්දි’ට මිද්දෙණියට පලා ගොස් සැඟව සිටීමට ප්‍රබල පාතාල සාමාජිකයකු වන ‘මතුගම ශාන්’ විසින් මුදල් ආධාර ලබා දී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ පැවසූවා.
පහළොස්වන (15) සැකකාර ‘ඉෂාරා සෙව්වන්දි’ හට පලා යාමට අධාර අනුබල දීම මත පසුගිය සතියේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) සහ සැකකාරියන් දෙදෙනෙකු (2) විවෘත අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය ඒ බව දන්වා සිටියා.
‘ගණේමුල්ල සංජීව’ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින අනෙක් සැකකරුවන් බන්ධනාගාර නිලධාරින් විසින් බුස්ස බන්ධනාගාරයේ සිට ‘ස්කයිප් තාක්ෂණය’ ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කළා.
සිද්ධියට අදාළ සැකකරුවන් නොවැම්බර් 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා එහිදි නියෝග කළා.
ඒ අනුව නඩුව කැඳ වූ අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිලධාරියා විමර්ශන පිළිබඳ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ කරුණු දැක්වීමක් සිදුකළා.
විමර්ශන නිලධාරියා පැවසූවේ, පහලොස්වන (15) සැකකාර ‘ඉෂාරා සෙව්වන්දි’ යන අයගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව අනාවරණය කර ගත් කරුණු මත විමර්ශන සිදුකරමින් පවතින බවයි.
ඒ අනුව සැකකාර ‘ඉෂාරා සෙව්වන්දි’ යන අයගෙන් සටහන් කර ගත් ප්‍රකාශ අනුව හත්වන (7) සැකකරුගේ නිවසේ වත්තේ වල දමා තිබූ ජංගම දුරකථන දෙකක් (2) සොයා ගත් බවත් එම දුකරථනයන් සම්බන්ධව ඉදිරි විමර්ශන මේ වනවිට සිදුකරමින් පවතින බවත් විමර්ශන නිළධාරියා අධිකරණයට දන්වා සිටියා.
23, 24, 25, 26 යන සැකකරුවන් සැකකාර ‘ඉෂාරා සෙව්වන්දි’ හට පලා යාමට සහය දී ඇති බවට විමර්ශන තුළින් කරුණු අනාවරණය වී ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නිළධාරියා කරුණු දක්වමින් පැවසූවා.
ඔහු පැවසූවේ, රෝහල් සේවිකාවක් ලෙස කටයුතු කළ 23 වන සැකකාරිය වන ‘දොන් ප්‍රියංගා’ යන අය ‘ඉෂාර සෙව්වන්දි’ව ඇයගේ යතුරු පැදියෙන් ඇයගේ නිවසට රැගෙන ඇවිත් තිබෙන බවයි.
‘ඉෂාරා සෙව්වන්දි’ව එම නිවසට රැගෙන යන අවස්ථාවේ 24 වන සැකකාර පොලිස් කොස්තාපලයෙකු ලෙස සේවය කළ ‘සමෝද’ යන අය එම නිවසේ සිටි ඇති බව පැවසූ විමර්ශන නිලධාරියා කියා සිටියේ රජයේ නිළධාරියෙක් ලෙස ඔහු විසින් අදාල සැකකාරිය ගැන තොරතුරු විමර්ශන නිළධාරින්ට ලබා දීමට කටයුතු කර නැති බවයි.
සැකකාර පොලිස් කොස්තාපල් හිතා මතා තොරතුරු ලබා දීමට කටයුතු නොකිරීම තුළින් ‘ඉෂාරා සෙව්වන්දි’ හට පලා යෑමට අධාර අනුබල දී ඇති බව විමර්ශන නිළධාරියා අධිකරණයට පවසා සිටියා.
23 වන සැකකාරියගේ නිවසේ ‘ඉෂාරා සෙව්වන්දි’ යන අය එක් (1) දිනයක් පමණත් රැඳී සිට ඇති බවත්, පසුව ව්‍යාපාරිකයකු වන 25 වන සැකකාර ‘සජිත් දිනූෂ’ යන අය වැලිපැන්න ප්‍රදේශයේ ඔහුගේ නිවසේ දින 52 කාලයක් සැකකාර ‘ඉෂාරා සෙව්වවන්දි’ රඳවා තබාගෙන සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් විමර්ශන නිළධාරියා අධිකරණයට දන්වා සිටියා.
පසුව 26 වන සැකකාරිය වන ‘රේණුකා ශාන්ති’ සහ ඇයගේ ස්වාමියා වන 27 සැකකාර ‘ආනන්ද උපාලි’ යන අය මොටර් රථයකින් ‘ඉෂාරා සෙව්වන්දි’ව මාතර ප්‍රදේශයට රැගන ගොස් පසුව මිද්දෙණිය ප්‍රදේශයේ ඔවුන්ගේ නිවසේ රඳවා තබාගෙන ඇති බවද විමර්ශන නිළධාරීන් අධිකරණයට අණාවරණය කර සිටියා.
මෙම කටයුතු සඳහා ප්‍රබල පතාල සාමාජිකයකු වන ‘මතුගම ශාන්’ විසින් මෙම මුදල් ලබා දී ඇති බවද විමර්ශන නිළධාරියා අධිකරණය හමුවේ හෙළි කළා.
ඉන්පසුව මෙම 26 වන සැකකාරිය සහ 27 සැකකරු විසින් මොටර් රථයකින් ‘ඉෂාරා සෙව්වන්දි’ යන අය මාන්කුලම් ප්‍රදේශයට රැගෙන ගොස් පසුව කිලිනොච්චියට ගොස් යාපනය හරහා පලා යාමට කටුයුතු සලස්වා දී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිළධාරියා අධිකරණයට පවසා සිටියා.
27 වන සැකකරු අද (24) දින අධිකරණයට ඉදිරිපත් කර නැති බවත් ඔහු මනුෂ්‍ය ඝාතන නඩුවකට අදාලව මේ වනවිට රක්ෂිත බන්ධනාගරයේ පසුවන බවත් ඉදිරි නඩු දින සැකකරුවකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ඔහු අධිකරණයට දැන්වූවා.
තවදුරටත් විමර්ශන සිදුවන බැවින් සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන විමර්ශන නිළධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
කරුණු සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පහළොස්වන (15) සැකකාර ‘ඉෂාර සෙව්වන්දි’ හට පැන යාම ආධාර අනුබල දීම යටතේ අධිකරණයට ඉදිරිපත් කර සිටින සැකකරුවන් සම්බන්ධව වෙන් වෙන් වශයෙන් දණ්ඩ නීතී සංග්‍රහය යටතේ චෝදනා ගොනු කරන ලෙස විමර්ශන නිලධාරීන්ට නියෝග කරමින් සැකකරුවන් නොවැම්බර් 07 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.
මේ අතර සිද්ධිය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගතව සිටි 7 වන සැකකාර ‘දමිත් අංජන නයනජිත්’ යන අය මහාධිකරණයෙන් ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ අනුව ඔහුගේ ඇප කොන්දේසි විවෘත අධිකරණය හමුවේ අද (24) කියවා දුන් අතර ඇප කොන්දේසි සම්පූර්ණ කළ පසු සැකකරු ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළා.
සැකකරු රුපියල් ලක්ෂ දෙකක (2) මුදල් ඇපයක්, රු. දස ලක්ෂයක (10) ශරීර ඇප තුනක් (3) මත මහාධිකරණ විනිසුරුවරයා මුදා හැර ඇති අතර සැකකරුගේ විදෙස් ගමන්ද තහනම් කර තිබෙනවා.
+++
‘සෙව්වන්දි’ ඇඬුවේ මේ බෝට්ටුවේ දී… ‘පද්මේ’ට නිරුවත් වීඩියෝ එවූ ප්‍රසිද්ධ රංගන ශිල්පිනිය කවුද?
+
‘ලොකු පැටී’ යි ‘කළු නෝනා’ යි එක්ක කපුවාගේ පැටිකිරිය
(24.10.2025 – hirunews.lk)
ගන්දර ප්‍රදේශයේ දේවාලයේ කපුවා ප්‍රබල පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන ‘ලොකු පැටී’ සහ ‘කළු නෝනා’ සමඟ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධව සබඳතා පවත්වා ඇති බව විමර්ශන වලින් අනාවරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (24) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ පැවසුවා.
සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ගන්දර ප්‍රදේශයේ පදිංචි ‘දිනේෂ් කුමාර’ නමැති පුද්ගලයෙක් අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරින් ඒ බව කියා සිටියා.
අන්තරාදායක මත්ද්‍රව්‍ය (54)ආ පනත යටතේ සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ සැකකරුට චෝදනා ගොනු කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ මෙම සැකකරු ප්‍රබල පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමඟ සබඳතා පවත්වා ඇති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව :
“ස්වාමීනී මෙම සැකකරු මෙම සිද්ධියේ පළමු වන (1) සැකකරුවන ‘ලොකු පැටී’ගේ කීමට මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සියලු දේ මෙහෙයවා තිබෙනවා. ‘ලොකු පැටී’ පමණක් නොව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ‘කළු නෝනා’ නමැති ප්‍රබල පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ තැනැත්තිය සමග ද සබඳතා පවත්වා ඇති බව ‘කළු නෝනා’ නමැත්තියගෙන් ලබා ගන්නා ලද ප්‍රකාශ වලින් තහවුරු වෙනවා. මෙම සිද්ධියේ දෙවන (2) සැකකරු වන මෙම කපුවාගේ ගිණුම් තුළ ‘ලොකු පැටී’ගේ මුදල් තැන්පත් කර ඇති බව ‘කළු නෝනා’ ලබා දුන් ප්‍රකාශ වල සඳහන්ව තිබෙනවා.
“ස්වාමීනි ‘කළු නෝනා’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියගේ මවගේ සහ ඥාති දියණියගේ ගිණුම්වල රු. ලක්ෂ හැත්තෑවක (70) මුදලක් තැන්පත් කළ බවටද ප්‍රකාශ ලබා දී තිබෙනවා. ස්වාමීනි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ‘ලොකු පැටී’ මත්ද්‍රව්‍ය විකිණීමෙන් පසු එම මුදල් මෙම දෙවන (2) සැකකරුගේ ගිණුම් වෙත තැන්පත් කළ ඇති බවයි විමර්ශනවලින් අනාවරණය වන්නේ.
“2024 දෙසැම්බර් මාසය වන විට රු. කෝටි 33 ක මුදලක් මෙම සැකකරුගේ බැංකු ගිණුම් තුළ දක්නට ලැබෙනවා. එම මුදල් ලබා ගැනීමක් සිදුකර නෑ. ස්වාමීනි මෙම සැකකරු චෙක්පත් මාර්ගයෙන් රු. කෝටි 30 ක මුදලක් වෙනම ලබාගෙන තිබෙනවා. මීට අමතරව තවත් රු. කෝටි තිහක (30) මුදලක් පෞද්ගලික ආයතනයකට බැර කර තිබෙනවා විදේශගත වීමට අවශ්‍ය කටයුතු සඳහා”
“ස්වාමීනි මෙම සැකකරු දේවාලයක් පවත්වාගෙන ගියාට ප්‍රකට ආදායමක් එම දේවාලය මගින් ලැබී නැහැ. මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධව තමයි මෙම රු. කෝටි 33 ක මුදල ලබාගෙන තිබෙන බව විමර්ශන වලින් මේ වන විටත් අනාවරණය වී තිබෙන්නේ. දේවාලයේ පෙරහැරට ලැබෙන ආධාර මුදල් එම දේවාලයේ වෙනත් සංගමයකට බැර වෙනවා මිසක් මොහුගේ පෞද්ගලික ගිණුමට බැර නොවන බව දක්නට ලැබෙනවා. ස්වාමීනි මෙම සැකකරු සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාරගත කර සිටින ප්‍රබල පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගෙන් තමයි ප්‍රකාශ ලබා ගැනීමට සිදුව තිබෙන්නේ. ඒ අනුව පැහැදිලි වෙනවා මොහු මත්ද්‍රව්‍ය ජාලය සමඟ බොහෝ සෙයින් සම්බන්ධතා පවත්වා ඇති බව.”
“ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය යටතේ රැදවුම් නියෝග මත ගිනි අවියක් තබා ගැනීම සම්බන්ධයෙන් ‘නාඋරුම්ගේ පද්ම කුමාර’ යන අය මේ වන විට දින අනුවක් (90) රඳවා තබාගෙන ප්‍රශ්න කරනවා. එම පුද්ගලයා ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දී තිබෙනවා. සිද්ධියට අදාළ මෙම දෙවන (2) සැකකරුට මත්ද්‍රව්‍ය ජාලයට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් චෝදනා ගොනුකර තිබෙනවා.”
“මෙම සැකකරුගේ ඇතැම් සහෝදරයන් ඇතුළු පවුලේ සමීපතයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වා තිබෙනවා. සැකකාර පුද්ගලයා දේවාලයක් පවත්වාගෙන ගොස් ඇති නමුත් ඉන් මුදල් උපයාගෙන ඇති බවට කරුණු අනාවරණය නොවන බවත් ඔහුගේ ගිණුම්වල තිබෙන මුදල් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වෙනවා. ඔහුගේ දේපළ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විමර්ශන සිදු කරමින් පවතින බවත් මේ වන විට ඔහුට අයත් බහු දින යාත්‍රා 2 ක් ඇතුළු යාත්‍රා 4 තිබෙනවා.”
“ඉකුත් 2020 හා 2024 යන කාල වකවානුව තුළ සැකකරුගේ ගිණුම්වලට රු. කෝටි තිහකට (30) අධික මුදලක් සංසරණය වී ඇති බවට කරුණු අනාවරණය වන බැවින් ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් විමර්ශන සිදු කරනවා. සැකකාර කපුවා ඩුබායිහි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග දුරකථනයෙන් සබඳතා පවත්වා තිබෙනවා.”
“ස්වාමීනී සැකකරු පෞද්ගලික ආයතනයක ගිණුම් තුනක් (3) හරහා රු. කෝටි දාහකට (1000) අධික මුදලක් සංසරණය කර තිබෙනවා. මෙම සැකකරුට ඇප ලබා දුන්නොත් සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල විය හැකියි. ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පවත්වන හෙයින් සාක්ෂිකරුවන් විනාශ කර දැමීම තුළින් විමර්ශන කටයුතු අඩාල වන්න පුළුවන් එම නිසා ස්වාමීනි සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලනවා” යනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්වුවා.
සිද්ධියට අදාළ සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කර සිටියේ, සැකකරු ගන්දර ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යමින් එම දේවාලයට ලද ආධාර ලෙස මෙම මුදල් බැංකු ගිණුමේ තැන්පත් කර ඇති බවයි. පාරම්පරික දේවාලයක් වන මෙම දේවාලයට බොහෝ පිරිස් පැමිණෙන බවද නීතිඥවරයා සඳහන් කරා. මගේ සේවා දායකයා මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ නොවන බැවින් ඇප මත මුදා හරින ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
සිද්ධියට අදාළ පළමුවැනි (1) සැකකරු ‘සූම් තාක්ෂණය’ ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් තිදෙනා ලබන 31 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර එදිනට ඔවුන් ‘සූම් තාක්ෂණය’ ඔස්සේ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා ෴
රට පැන්න මත්ජාවාරමුන්ගේ කැෂියර් කත අල්ලයි
(24.10.2025 – hirunews.lk)
මෙරටින් පලාගොස් විදේශගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකුට (2) සම්බන්ධ මූල්‍ය ගනුදෙනු මෙහෙයවූ බවට සැකකෙරෙන කාන්තාවක් කොළඹ 13 ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිදු කළ වැටලීමකදීයි.
සැකකාරිය 28 හැවිරිදි කාන්තාවක්.
මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් විශුද්ධිකරණය කිරීමේ ජාත්‍යන්තර ජාලයක් පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකාරිය, ජාවාරම්කරුවන් වෙනුවෙන් මෙරට මුදල් ගනුදෙනු සිදුකිරීම සඳහා දේශීය පෞද්ගලික බැංකුවල ගිණුම් දෙකක් (2) විවෘත කර ඇති බව පොලිසිය සඳහන් කළා ෴
රේගුව රඳවාගෙන සිටින BYD වාහන සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් නියෝගයක්
(24.10.2025 – bbc.com/sinhala/)
මේ වන විට ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින BYD වාහනවල මෝටර් ධාරිතාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස අභියාචනාධිකරණය අද (ඔක්: 24) රේගුවට නියම කළේ ය.
රේගුව විසින් ජාතික ආර්ථිකයට බදු මුදල් රැස් කරනු ලැබීම ඉතා වැදගත් වනවා සේ ම වාහනවල ගැනුම්කරුවන්ගේ මෙන් ම ආනයනික සමාගම්වල යහපත සම්බන්ධයෙන් ද අධිකරණයට සලකා බැලීමට සිදුවන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ ය.
එමනිසා, මෙම විමර්ශන කඩිනමින් අවසන් කළ යුතු බවත්, ඒ සඳහා සහය ලබා දෙන ලෙස පෙත්සම්කාර පාර්ශවයටත් විනිසුරුවරයා දැනුම් දුන්නේ ය.
ජෝන් කීල්ස් CG සමාගමේ පෙත්සම් විභාගය
රේගුව රඳවාගෙන සිටින සිය වාහන නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෝන් කීල්ස් CG සමාගම විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, මේ වන විට රඳවාගෙන සිටින වාහන සමාගම් ඇපකරයක් මත කොන්දේසිවලට යටත්ව මුදා හැරීමට හැකියාව තිබෙන බව ය.
මෙම විමර්ශන සඳහා පෙත්සම්සකාර සමාගම සහය දිය යුතු බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළේ ය.
පෙත්සම්කාර සමාගම මෙරටට ගෙන්වා තිබෙන වාහන ස්කෑන් පරීක්ෂණ පිළිබඳ වාර්තාවක් ලබන සඳුදා මෝසමක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කරන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.
කෙසේ වෙතත්, පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමීල් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, රේගුව විමෙම වාහන රඳවාගෙන තිබෙන ආකාරය නීතියට පටහැනි බව ය.
කෙසේ වෙතත්, පෙත්සම්කාර පාර්ශවය සහ වගඋත්තරකාර පාර්ශවය අතර දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කෙරුණත් මෙම වාහන ඇපකරයක් මත මුදා හැරීම සම්බන්ධයෙන් එකඟතාවක් ඇති වූයේ නැත.
ඒ අනුව, මෙම නඩුකරය සමථයට පත් කිරීමට තිබෙන හැකියාව පිළිබඳව ලබන 28 වන දා දැනුම් දෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.
අගෝස්තු 07 වන දා අභියාචනාධිකරණයේදී ඇති කර ගත් එකඟතාව
ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන සිටින BYD වාහන 991ක් කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය අගෝස්තු 07 වන දා අභියාචනාධිකරණය හමුවේ එකඟතාව පළ කළේය.
ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාළ වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෝන් කීල්ස් CG සමාගම ඉදිරිපත් කළ පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී මෙම එකගතාව පළ කෙරිණි.
ඒ අනුව අදාළ වාහනවල බදු අතර පවතින පරතරය ලෙස ගණනය කර තිබෙන රුපියල් 3,552,909,200/- (රුපියල් බිලියන 3.6 කට ආසන්න) මුදල රාජ්‍ය බැංකුවක ඇපකරයක් වශයෙන් පෙත්සම්කාර සමාගම ඉදිරිපත් කළ යුතු අතර එම ඇපකරය සඳහා අදාළ වන පොළිය පෙත්සම්කාර සමාගම ගෙවීමට එකඟ විය යුතු බවත් එම කොන්දේසිවල සඳහන් විය.
ඊට අමතරව අදාළ වාහනවල මෝටර් ධාරිතාව කිලෝ වොට් 100 ද නැතිනම් 150 ද යන්න නිගමනය කිරීම සඳහා පේරාදෙණිය හා මොරටුව විශ්වවිද්‍යාලවල තාක්ෂණික විශේෂඥයින් දෙදෙනෙකු (2), රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයෙකු (1), මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂඥ නිලධාරියකු (1) ඇතුළත් කමිටුවක් පත් කිරීම ද ඊට ඇතුළත් කොන්දේසියක් විය ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴