රත්මලානේ දී පොලීසිය වෙඩිතැබූ වෑන් රථය ගැන කරුණු හෙළිවෙයි
(25.10.2025 – 22:16 +0530 – sinhala.adaderana.lk)
රත්මලානේ දී අද (25) පස්වරුවේ අණ නොතකා ධාවනය කළ වෑන් රථයට පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබේ.
අදාළ වෑන් රථය ප.ව. 05:25ට පමණ පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයේ සිට පැමිණ ඇති අතර, මොරටුව කටුබැද්ද හරහා පැමිණෙමින් තිබියදී බස්නාහිර දකුණ රථවාහන කොට්ඨාසයට අනුයුක්ත රථවාහන නිලධාරීන් රථය නවතන ලෙස දැනුම් දී ඇත.
කෙසේ නමුත් එම රථය අණ නොතකා ඉදිරියට ධාවනය වී ඇති අතර, ඒ හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් පසුපස හඹා ගොස් තිබේ.
එහිදී රත්මලාන බෙලෙක්කඩේ හංදිය ප්‍රදේශයේදී රථයේ ඉදිරිපස රෝදයට හා පසුපස රෝදයකට පොලීසිය වෙඩිතබා ඇති අතර, එහිදී ද රථය නොනවත්වාම ධාවනය කර ඇත.
කෙසේ නමුත් රත්මලාන දුම්රියපොළ ඉදිරිපිට දී වෑන් රථයේ රියදුරු රථය නවත්වා පලායෑමට උත්සාහ දරා තිබේ.
එහිදී ඔහු බිම ඇද වැටීමෙන් මුඛය ආසන්නයේ තුවාල සිදුව ඇති අතර, ඒ හේතුවෙන් 1990 ගිලන්රථ සේවාව මගින් ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පැවසීය.
පොලීසිය විසින් රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහු ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි සංචාරක ප්‍රවාහන කුළී ගමන් රියදුරෙක් බවය.
මෙම වාහනය පිළියන්දල සිට රත්මලාන දුම්රියපොළ අසල දක්වා ගමන්කිරීමේදී මාර්ගයේ ධාවනය කරන ලද රථ වාහන කිහිපයක් ද අනතුරට ලක්කරමින් පැමිණ ඇති බවටද මේ වනවිට තොරතුරු අණාවරණය වී ඇත.
ඉහත වාහනයේ ලියාපදිංචි අයිතිකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණ පොලීසිය විසින් සිදුකරනු ලබයි.
+
‘බැකෝ සමන්’ගෙන් අල්ලස් ගත් ඌවේ හිටපු ප්‍රවාහන බලධාරියෙකු ගැන තොරතුරු හෙළිවෙයි
(25.10.2025 – 19:21 +0530 – sinhala.adaderana.lk)
තමාට අයත් සුඛෝපභෝගී බස් රථයක් මොනරාගල – කොළඹ මාර්ගයේ ධාවනය කිරීම සඳහා ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු ඔහුගෙන් මාසිකව රුපියල් ලක්ෂ තුන හමාරක (3½) අල්ලස් මුදලක් ලබාගත් බව ‘බැකෝ සමන්’ අනාවරණය කර තිබේ.
ඒ අනුව එම සභාපතිවරයා ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ඉදිරි සතියේදී බස්නාහිර උතුර පළාත් අපරාධ කොට්ඨාසය වෙත කැඳවීමට නියමිතය.
‘කෙහෙල්බද්දර පද්මේ’ සමග ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ ‘බැකෝ සමන්’ නැමැත්තා මේවන විට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි.
ඔහුට අයත් රුපියල් කෝටි 8 කට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගී බස් රථ 2 ක් සොයා ගැනීමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය පසුගියදා සමත් වුණේ ඒ අනුවය.
ඔහු හෙළි කර ඇත්තේ මෙම බස් රථ දෙකෙන් එකක් කොළඹ – මොනරාගල මාර්ගයේ ධාවනය සඳහා බලපත්‍රයක් සකස් කර ගැනීම වෙනුවෙන් ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයෙක් තමාගෙන් රුපියල් ලක්ෂ තුනහමාර (3½) බැගින් අල්ලස් මුදලක් මාසිකව ලබාගත් බවය.
එම බලපත්‍රය ඉකුත් මාර්තු මාසයේ කල් ඉකුත් වී ඇති අතර එහිදී හිටපු සභාපතිවරයා ‘බැකෝ සමන්’ගේ පාර්ශ්වයට දන්වා ඇත්තේ ‘ප්‍රශ්නයක් වුණොත් මම බලාගන්නම්; බස් එක දුවන්න’ යනුවෙනි.
‘බැකෝ සමන්’ අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහුගේ මස්සිනා මෙම මුදල් ගනුදෙනු සියල්ල සිදුකර ඇති අතර ඒ අනුව පසුගිය මාසයේදී ද හිටපු සභාපතිවරයාගේ ගිණුමට එම මුදල බැර කර ඇති බව සඳහන් වේ.
ඌව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයාට එම තනතුර අහිමි වීමෙන් පසුවත් ඔහුට එම මුදල ලබාදුන් බවත් ඒ තමාට කළ උපකාරය වෙනුවෙන් බවත් ‘බැකෝ සමන්’ පවසා ඇත.
මේ පිළිබඳ ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා හිටපු සභාපතිවරයා ඉදිරි සතියේදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත කැඳවීමට නියමිතය.
+
තව ටික දවසකින් ලෙඩ්ඩුන්ට දෙන්න බෙහෙත් දොස්තරලා ළඟ නෑ – 2025-10-26
+
‘දෙරණ රොටිය’ට පාතාලෙන් ප්‍රහාරයක් ? (25.10.2025)
+
එදා ජෙප්පො කියපු බොරු අපට නොතේරුණේ ඇයි ? (25.10.2025)
+
මේ ඉන්නෙත් ඒ අනුර කුමාර දිසානායකම ද ? මේ තියෙන්නෙ ඒ පොර්ට් සිටියම ද ? (25.10.2025)
+
ශ්‍රී ලංකා දිනය නිමිත්තෙන් ලෝකය හෙලවෙන තීන්දුවක්! (25.10.2025)
+
ඕලුගල ලංකාවට ගෙනාවේ ඇත්ත සෙව්වන්දි ද ? – ලසන්ත මරණ බවට බුද්ධි තොරතුරක් සති තුනකට කලින් පොලිස්පතිට (25.10.2025)
+
බඹරු තිදරු පියාගේ ජීවිතය අරගෙන යති
(26.10.2025 – hirunews.lk)
බගවන්තලාව පොලිස් වසමට අයත් ‘කැම්පියන් ලින්ෆෝඩ් වතුයායේ’ තෘණ කැපීමට ගිය වතුකම්කරුවකු බඹර ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (26) දිහවල් 1 ට පමණ එල්ල වූ බඹර ප්‍රහාරය හේතුවෙන් එම පුද්ගලයා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒසේ බඹර ප්‍රහාරයෙන් මීය ගොස් ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් ‘කැම්පියන් ලින්ෆෝඩ් වතුයායේ’ කරුපන් ගුණ්ඩු නමැති 69 හැවිරිදි තිදරු පියෙක්.
නිවසේ ඇති කරන එළදෙනුන්ට තෘණ කැපීම සඳහා ගොස් සිටියදී ඒ අසල විශාල ගසක බැද තිබූ බඹර කූඩුවක වද කඩා ගැනීමට උකුස්සකු කළ පහර දීම නිසා ඇවිස්සුණු බඹරුන් එම පුද්ගලයාට පහර දී ඇති බවයි අනාවරණය වන්නේ.
බඹර ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයාගේ සිරුර ඥාතීන් සහ එම වතුයායේ වතු කම්කරුවන් එක්ව බගවන්තලාව ප්‍රදේශීය රෝහල වෙත භාර දී තිබෙනවා.
සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන බව ද බගවන්තලාව රෝහල් ආරංචි මාර්ග පැවසුවා ෴
නාවික හමුදාව සිදුකළ සාර්ථක මෙහෙයුමකින් ප්‍රධාන යන්ත්‍ර අක්‍රියව දකුණු මුහුදේ ආපදාවට පත් MV INTEGRITY STAR වෙළඳ නෞකාවේ කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව මුදා ගනියි
(26.10.2025 – news.navy.lk)
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, නාවික සැතපුම් 100 ක පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී, ප්‍රධාන යන්ත්‍ර අක්‍රීයවී ආපදාවට පත්ව, ජීවිත අවදානමට ලක්ව සිටි, MV INTEGRITY STAR වෙළද නෞකාවේ කාර්ය මණ්ඩලය, නාවික හමුදාව සිදුකළ සාර්ථක සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුමකින් නිරුපද්‍රිතව මුදාගැනීමෙන් අනතුරුව අද (2025 ඔක්තෝබර් 26) උදෑසන හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි.
ඒ අනුව, මෙම MV INTEGRITY STAR වෙළඳ නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර අක්‍රියව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ගැඹුරු මුහුදේ ආපදාවට පත්ව ඇති බවට, නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රිය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත ලද දැනුම් දීමක් මත, ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත, ශ්‍රී ලංකා නාවික හමුදාව එම මුහුදු ප්‍රදේශයේ සෙවීම් හා මුදා ගැනීමේ මෙහෙයුමක් සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව අනුයුක්ත කෙරිණි.
එහිදී, ආපදාවට පත් MV INTEGRITY STAR වෙළද නෞකාවේ සිටි ඉන්දීයානු, තුර්කි සහ අසර්බයිජාන් ජාතිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලය සමුදුර නෞකාව මඟින් නිරුපද්‍රිතව මුදාගැනීමෙන් අනතුරුව, මෙලෙස අද දින (2025 ඔක්තෝබර් 26) ඉදිරි කටයුතු සඳහා හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි.
එමෙන්ම, කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ආපදාවට පත් වෙළඳ නෞකාවේ සහය වෙනුවෙන්, MV MORNING GLORY වෙළද නෞකාව එම මුහුදු ප්‍රදේශයේ සූදානම්ව රැඳී සිටින ලද අතර, එමඟින් සමුද්‍රීය ආපදාවකදී සහයෝගිතාව දැක්වීම සඳහා වූ කැපවීම ද එහිදී පිළිබිඹු විය.
තවද, මුහුදේදී ආපදාවට පත් නෞකා සහ යාත්‍රාවන්හි නාවික ප්‍රජාවගේ ජීවිත බේරාගැනීම සඳහා සම්මත කර ඇති ජාත්‍යන්තර සම්මුතීන් වෙත, දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට ඇති ජාත්‍යන්තර බැඳීමට අනුව, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කළාපයේ මෙන්ම, ජාත්‍යන්තර මුහුදේ යාබද සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කළාපයන්හිදීද ආපදාවට පත්වන, නාවික හා ධීවර ප්‍රජාව වෙත අවශ්‍ය සහන සැලසීම සඳහා, ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටියි.
කාසල් වීදියේ කාන්තා රෝහලෙන් අලුත් බලාපොරොත්තුවක්
(26.10.2025 – hirunews.lk)
කාසල් වීදියේ කාන්තා රෝහලේ ශුක්‍රාණු බැංකුවේ ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට අමතරව ඩිම්බ නොමැති කාන්තාවන් වෙනුවෙන් ඩිම්බ පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන සඳහන් කළා.
දරුඵල බලාපොරොත්තුවෙන් සිටින ඇතැම් කාන්තාවන්ට දරුවෙක් හදාගැනීමට තරම් සක්‍රීය තත්ත්වයේ ඩිම්බ නොමැතිවීම හේතුවෙන් ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ වැටෙන බවත් මේ වන විට එම බලාපොරොත්තු මල්ඵල ගැන්විම සඳහා නිරෝගි ඩිම්බ පවතින කාන්තාවන්ගෙන් ඩිම්බ ලබාගැනීම මෙහි ක්‍රියාවලිය බවත් වෛද්‍යවරයා පැවසුවා.
පසුව එම කාන්තාවගේ ඩිම්බ අදාල කාන්තාවගේ සැමියාගේ ශුක්‍රාණු සමඟ බාහිර පරිසරය තුළ විශේෂ මාධ්‍යයක සංසේචනය වීමට සලස්වා වැටුණු කළලය මවගේ ගර්භාෂයේ තැන්පත් කිරිමක් සිදුකරයි.
IVF (In Vitro Fertilisation) තාක්ෂණය භාවිත කරමින් දරුවන් නොමැති තරුණ විවාහකයින් සඳහා මෙම විශේෂ වැඩ පිළිවෙල ඉදිරි දිනයකදී ආරම්භ කරන බව ද අධ්‍යක්ෂවරයා පැවසුවා.
මෙම ඒකකයට අවශ්‍ය ගොඩනැගිල්ල, පුහුණු කාර්ය මණ්ඩල මේ වන විට සූදානම් කර ඇති අතර, මේ සඳහා වෛද්‍යවරුන්ට විදේශයන්හිදි මේ සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබා දුන් බවද පෙන්වා දෙන අධ්‍යක්ෂවරයා තවත් උපකරණ කීපයක් IVF මධ්‍යස්ථානය වෙත ලබා ගත යුතු බවද පැවසුවා.
පරිත්‍යාගශීලීන්ට වුවද මෙම උපකරණ ලබා දිය හැකි බැවින් ඒ සඳහා තමා හා සම්බන්ධ වී අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළා.
මෙය වසර 2018 දී මෙය ආරම්භ කිරීමට තීරණය කර තිබුණත්, ඒ මොහොතේ සිට මේ දක්වා විවාහක යුවළ 1700 ක් පමණ එම සේවාවට ලියාපදිංචි වී ඇති බවත් තවත් පිරිස් ලියාපදිංචි වීමට ඉල්ලුම් කර ඇති බවත් වාර්තා වෙනවා.
දරුවෙකු බිහි කළ හැකි වයස ඉක්මවා යාමට පෙර ලියාපදිංචි වි ඇති කාන්තාවන්ට දරුවෙකු ලබා දීමට IVF මධ්‍යස්ථානය කඩිනමින් විවෘත කරන බවත් මේ වන විට ජනාධිපතිවරයාගේද අවධානය මේ කෙරෙහි යොමු වී තිබීමෙන් මෙය ඉක්මනින් ආරම්භ කර අවශ්‍ය සේවාවන් ලබා දීමට හැකිවනු ඇති බවට තමා විශ්වාස කරන බවත් අධ්‍යක්ෂ දන්තනාරායන පැවසුවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴