අවුරුදු කෑම මේසයේ මිල ඉහල යයි

අවුරුදු කෑම මේසයේ මිල ඉහල යයි

*********************************************

අවුරුදු කෑම මේසයේ මිල ඉහල යයි

(11.04.2022 – 16:54 +0530 – hirunews.lk/sinhala)

සිංහල දෙමළ අලුත් අවුරුද්ද ආසන්නයේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් මෙන්ම රසකැවිලිවල මිල ගණන්ද ඉහළ යාම හේතුවෙන් මේ වනවිට පාරිභෝගිකයින් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා.

රසකැවිලි සකස් කිරීම සඳහා ප්‍රධාන වශයෙන් අවශ්‍ය කරන පොල්තෙල්, මුංඇට, සීනි, බිත්තර ඇතුලු අනෙකුත් ද්‍රව්‍යවල මිල ගණන් මේ වනවිට පවතින්නේ ඉහළ මට්ටමකයි.

පොල්තෙල් බෝතලයක් රුපියල් 700 ත් 800 ත් අතර මිලකටත්, මුං ඇට කිලෝග්‍රෑමයක් රුපියල් දහස (1000) දක්වා ඉහළ ගොස් ඇති බව වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළා.

එමෙන්ම වෙළඳපොලේ අලෙවි කෙරෙන නිෂ්පාදිත රස කැවිලිවල මිල ගණන්ද මේ වනවිට විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

කොණ්ඩ කැවුම්, අතිරස සහ මුං කැවුමක මිල රුපියල් 70 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පෙර වර්ෂවල කැවුමක මිල පැවතියේ රුපියල් 40 ක මිලකට යි.

කැවුම්වල මිල මෙන්ම කොකිසක මිලද රුපියල් 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම පැණි වළල්ලක මිල ද රුපියල් 60 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

මීට පෙර පැණි වළල්ලක් වෙළඳපොලේ අලෙවි වූයේ රුපියල් 35 ත් 40 ත් අතර මිලකට යි.

ආස්මි මිල ගණන්ද රුපියල් 120 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මීට පෙර එය පැවතියේ රුපියල් 90 ක මිලකට යි.

අලුවා කෑල්ලක මිලද රුපියල් 35 සිට 50 දක්වා ඉහළ ගොස් ඇති බවයි රසකැවිලි අලෙවිකරුවන් සඳහන් කළේ.

කැවිලි පෙවිලි නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන මූලික අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් සිය නිෂ්පාදනවල මිල ඉහළ දැමූ බවයි රසකැවිලි නිෂ්පාදකයින් සහ අලෙවි කරන්නන් සඳහන් කළේ.

බේකරි හිමියන්ගේ සංගමය පසුගියදා අනාවරණ, කළේ කේක් කිලෝග්‍රෑමයක මිල අද වනවිට රුපියල් දහස (1000) ඉක්මවා ඇති බවයි ෴

***************************************

කසළ බැහැර කිරීමට නිසි වැඩපිළිවෙළක් – ගොවියන්ටත් කාබනික පොහොර

(11.04.2022 – 13:46 +0530 – hirunews.lk/sinhala)

කසළ බැහැර කිරීමට නිසි වැඩපිළිවෙළක් නොමැතිකම සහ කාබනික පොහොර ප්‍රමාණවත් පරිදි ගොවීන්ට නොලැබීම.

මේ, එකිනෙකට වෙනස් මාතෘකා 2 ක් වුවත් පසුගිය සමයේදී මෙරට දැඩි කතාබහකට ලක්වූ ක්ෂේත්‍ර 2 ක් බවට පත්වුණා.

එම ගැටලු දෙකටම (2) විසඳුමක් ලබාදුන් පුවතක් පිළිබඳවයි මේ තොරතුරු.

අම්පාර යනු මෙරට සෙසු සියලු දිස්ත්‍රික්ක මෙන්ම කැලි කසළ ගැටලුවෙන් පීඩා විඳින ප්‍රදේශයක්.

කසළ බැහැර කිරීමට නිසි ස්ථානයක් මෙන්ම නිසි වැඩපිළිවෙළක් නොමැතිවීම ඊට ප්‍රධානතම හේතුවයි.

මෙම තත්ත්වය හමුවේ එම ප්‍රදේශයේ පාරිසරික ගැටලු ඇතුළු අර්බුද ගණනාවක් මතුවුණා.

අම්පාර දිස්ත්‍රික්කයේ විවිධ පළාත් පාලන ආයතන විසින් විවිධ ස්ථානවලට බැහැර කෙරෙන කැලි කසළ ආහාරයට ගැනීම සඳහා අලින් පැමිණීමත් ඉන් අනතුරුව විවිධ රෝගාබාධවලට ගොදුරු වී එම සතුන් මියයාමේ සිද්ධිත් පසුගිය සමයේ වාර්තා වුණා.

ඊට අමතරව, මෙලෙස කසළ ආහාරයට ගැනීමට පැමිණෙන වනඅලින් අවට ගම්මානවලට පහර දීම ද මෙම ප්‍රදේශයේ ජනතාව මුහුණ තවත් ගැටලුවක්.

කෙසේ වෙතත් මේ වනවිට එම ගැටලුවවලට පිළියමක් ලෙස අඩ්ඩලච්චේනෙයි අෆ්රොෆ් නගර්හිදී අඩ්ඩලච්චේනෙයි ප්‍රාදේශීය සභාවේ දායකත්වය ඇතිව ඝන අපද්‍රව්‍ය කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත්තේ ගොවිතැනට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනයද අරමුණු කර ගනිමින්.

අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි අඩ්ඩාලච්චේනයි, අම්පාර, සමන්තුරෙයි ඇතුළු පළාත් පාලන 8 කින් බැහැර කෙරෙන කසළ මෙම ස්ථානයේදී කාබනික පොහොර බවට පත්වෙනවා.

***************************************

‘අයි රෝඩ්’ සැලසුම් මග නවතියි

(11.04.2022 – 13:48 +0530 – hirunews.lk/sinhala)

මෙරට සංවර්ධනය කළයුතු බොහෝමයක් මාර්ග පිළිසකර කිරීමට බාධාවක් වී ඇත්තේ මුදල් ප්‍රතිපාදන නොමැතිකමයි.

නමුත් මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබුණත් වසර 2 ක් පුරා පිළිසකර නොකෙරුණු මාර්ගයක් පිළිබඳවයි මේ විමසා බැලීම.

කොළඹ දිස්ත්‍රික්කයට අයත් අවිස්සාවේල්ල – පුවක්පිටිය – වේරගොල්ලවත්ත ප්‍රධාන මාර්ගයයි මේ.

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ‘අයි රෝඩ්’ ව්‍යාපෘතිය යටතේ එහි කිලෝමීටර් 1.5 ක ප්‍රමාණයක් සංවර්ධනය කිරීම 2020 වසරේ ජුනි මාසයේදී ඇරඹෙන්නේ රුපියල් මිලියන 47 ක් වැය කරමින්.

මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කර මේ වනවිට වසර 2 කට ආසන්න කාලයක් ගතවී ඇතත් කොන්ත්‍රාත් සමාගම වසර 2 ක් පුරාවට සිදුකර ඇත්තේ වරින් වර පැමිණ මාර්ගය මැනගෙන යාම පමණක් බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

මාර්ගයේ ගමන් කිරීමට නොහැකි සේ සැදුණු වළවල් ප්‍රදේශවාසීන් පස් යොදා තාවකාලිකව සකස් කර වසා ඇත්තේ වෙනත් කිසිදු විකල්පයක් නොමැති නිසාවෙනි.

මීට අමතරව, මෙම මාර්ගයේම පිහිටි අතුරු මාර්ගයක් වන කිලෝමීටර් 2 ක දිගින් යුත් වේරගොල්ල කන්ද විහාර මාර්ගය ද අබලන්ව ඇති ආකාරය ද දක්නට ලැබෙනවා.

මීට මාස 10 කට පෙර ආරම්භ කර ඇති එහි සංවර්ධන කටයුතු නාම පුවරුවකට පමණක් සීමා වී ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

පවුල් 500 කට ආසන්න පිරිසක් ජීවත් වන මෙම ගම්මානයේ ජනතාව මේ හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

මුදල් ප්‍රතිපාදන පවා වෙන් කළ මෙම මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ජනතා සුවසෙත සඳහා යෙදවීම බලධාරීන් සතු වගකීමක් නොවන්නේද?

***************************************

අස්වැන්න සරු වුවත්, අලෙවිය වියවුල් වූ විලච්චියේ වට්ටක්කා

(11.04.2022 – 13:51 +0530 – hirunews.lk/sinhala)

පසුගිය කාලය පුරා පොහොර අර්බුදය ඇතුළු විවිධ ගැටලු හේතුවෙන් ගොවිතැනට උදාවී තිබුණේ එතරම් සුබ කාලයක් නම් නොවෙයි.

එවන් අර්බුද මැද දුක් මහන්සියෙන් වගා කරගත් වට්ටක්කා අස්වැන්න අලෙවි කර ගත නොහැකිව තැවෙන ගොවීන් පිරිසක් පිළිබඳ අපට වාර්තාවුණේ විලච්චිය ප්‍රදේශයෙන්.

පොහොර අර්බුදය ඇතුළු අනේක විධ ගැහැට විඳිමින් අනුරාධපුර – විලච්චිය ප්‍රදේශයේ ගොවින් වගා කළ වට්ටක්කා වගාවේ ඵලදාව අසීරු තත්ත්වයකට ලක් ව තිබෙනවා.

සිංහල – දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ඔවුන් මෙම අස්වැන්න නෙලා ගත්තේ දහසකුත් එකක් බලාපොරොත්තු පොදි බැඳගනිමින්.

නමුත් ඔවුන් නෙලාගත් මේ අස්වැන්න තවමත් නිවෙස්වෙල ගොඩගසාගෙන සිටීමට සිදුව ඇත්තේ මේ දිනවල වට්ටක්කා සදහා නිසි වෙළදපොලක් නොමැති කමින් බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

මේ දිනවල රටේ පවතින ආර්ථික දේශපාලන වාතාවරණය හමුවේ මොවුන් වෙන කවරදාකටවත් වඩා අද තවත් අසරණ භාවයට පත්ව සිටිනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ තම වට්ටක්කා අස්වැන්න විකුනාගැනීම සදහා පහසුකම් සලසා දෙන ලෙසයි.

***************************************

ලෝරන්ස් ඔලිවියර් රංගන සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකිකයෙකුට සම්මානයක්

(11.04.2022 – 19:23 +0530 – hirunews.lk/sinhala)

ලන්ඩනයේ ඊයේ (10) පැවති කීර්තිමත් ලෝරන්ස් ඔලිවියර් රංගන සම්මාන ප්‍රදානයේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු වන හිරාන් අබේසේකර සමත්වුණා.

ඒ, ඔහු රඟපෑ ‘ලයිෆ් ඔෆ් පායි’ වේදිකා නිර්මාණයේ ‘පායි’ ගේ චරිතය රඟපෑම වෙනුවෙන්.

නෞකාව බිඳී අතරමං වන යෞවනයෙකු සහ බෙංගාල ව්‍යාඝ්‍රයෙකු වටා ගෙතුණු ගවේෂණාත්මක වෘතාන්තයක් වන ‘ලයිෆ් ඔෆ් පායි’ හොලිවුඩ් සිනමා පටයක් ලෙසද එළිදැක්වුණා.

හිරාන් අබේසේකරට සම්මාන හිමිවුණේ ‘ලයිෆ් ඔෆ් පායි’ වේදිකා රංගනය වෙනුවෙන්.

ලෝරන්ස් ඔලිවියර් සම්මාන ප්‍රදානය සිදුකරනු ලබන්නේ ලන්ඩන් රංගන සමාජය විසින්.

ඒ අනුව මෙය ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙකු අන්තර්ජාතික තලයේදී ජයග්‍රහණය කළ ඉහළම සම්මානය ලෙස සැළකිය හැකියි.

සිය ජයග්‍රහණයෙන් අනතුරුව වේදිකාවේදී අදහස් දැක්වූ හිරාන් අබේසේකර සිංහල බසින් සිය ශ්‍රී ලාංකික සහෘදයන් ආමන්ත්‍රණය කිරීමටද අමතක කළේ නැහැ ෴

***************************************

ඉදිරි පැය 36 තුළත් වැසි කාලගුණයක්

(11.04.2022 – 17:28 +0530 – hirunews.lk/sinhala)

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් දිවයින ආශ්‍රිතව පවතින බැවින් ඉදිරියටත් වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව ඉදිරි පැය 36 තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුර සහ උතුරුමැද පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි.

සෙසු ප්‍රදේශවලට මිලිමීටර 75 වැඩි වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ ෴

***************************************

තවත් කොවිඩ් මරණ 3 ක්

(11.04.2022 – 16:23 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 3 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16,492 ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (10) තහවුරු කළ මෙම මරණ අතර එක් (1) කාන්තාවක් සහ පිරිමින් දෙදෙනෙක් (2) වනවා.

ඔවුන් සියලුදෙනාම වයස අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේයි.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා වෛරස් ආසාදිතයන් 6,62,592ක් හඳුනාගෙන ඇති අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 6,42,508 ක්.

3595 දෙනෙකු රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා ෴

++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 65 ක්

(11.04.2022 – 17:52 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 65 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,62,657 ක් ලෙසටයි.

මෙරටින් කොරෝනා මරණ 16,492 ක් ද වාර්තාවී ඇති අතර ඒ අද වාර්තා කළ මරණ 3 ද සමගින් ෴

***************************************

https://www.youtube.com/watch?v=b2WfwdUSUPw
12-04-2022
11-04-2022
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ food prices. When I was a kid kavun, athiraha, aluwa, 5 cents a piece, moong kavun 7 cents, aasmee 10 cents. Present day prices indicate that the value of the ruppee is a joke, a cent totally useless. Coconut oil @ 7-800 Rs per bottle (i.e. 500 ml) or moong @ 1000 Rs per kg absolutely unjustified. These are local or regional products, moong imported from India or home grown, so why these exhorbitant prices? For the readers information, in UK cooking oil is about one GBP per 500 ml (i.e. 400 Rs) and moong about 2 GBP per kg (i.e. 800 Rs) that is half the price quoted in Sri Lanka. The avergae wage in UK is 20 times that of Sri Lanka. Therefore it is impossible for local people to bear these food prices with their pittance of wages. It shows that the government is totally mismanging the economy and the prices, allowing the cronies of ruling deshapaaluwos to make irrational and unjustifiable profits. It is all wrong. This government and its leaders are rogues or if not incompetent idiots. They do not know how to govern country and its economy, wasting hard earned foreign exchange to support their personal whims.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *