සෞඛ්‍ය ලොක්කන්ට GMOA විරෝධය.. තීන්දුවක් ගන්න විධායක සභාව කැඳවයි..

සෞඛ්‍ය ලොක්කන්ට GMOA විරෝධය.. තීන්දුවක් ගන්න විධායක සභාව කැඳවයි..


සෞඛ්‍ය ලොක්කන්ට GMOA විරෝධය.. තීන්දුවක් ගන්න විධායක සභාව කැඳවයි..

(21.08.2025 – 18:20 +0530 – lankacnews.com)

‘රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය’ (GMOA) විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි :

= මාධ්‍ය නිවේදනය =

වෛද්‍ය ස්ථාන මාරු ගැටලු විසඳීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් එකඟ වූ තීරණ ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් පැහැර හැරීම හේතුවෙන් උද්ගත වී ඇති ගැටලු.

රටේ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහ අඛණ්ඩ සෞඛ්‍ය සේවාවක් සලසා ගැනීමේ දි, වෛද්‍යවරුන් රෝහල් වලට අනුයුක්ත කිරීමේදී ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කිරීම, ස්ථාන මාරු මණ්ඩල හරහා විනිවිදභාවයකින් යුතුව කාර්යක්ෂමව සහ ප්‍රමාදයකින් තොරව සිදු කිරීම අනිවාර්ය හා ප්‍රමුඛතම කාර්යයක් වේ. එම ක්‍රියාවලියේ නෛතිකභාවය ආයතන සංග්‍රහය, රාජ්‍ය සේවා කොමිසන් සභාවේ කාර්ය පටිපාටිගත නීති සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ චක්‍රලේඛ මගින් තහවුරු කර ඇත.

පසුගිය කාලය තුලදි සෞඛ්‍ය අමාත්‍යංශය තුල ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථානමාරු, දුෂ්කර සේවා ස්ථාන මාරු, පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ ලැයිස්තු ඇතුලු ප්‍රධාන ස්ථාන මාරු කටයුතු සියල්ලම පාහේ අක්‍රමික, අත්තනෝමතික සහ නිත්‍යානුකූල නොවන ලෙස ස්ථාන මාරු මණ්ඩල නොසලකා හරිමින් සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් විසින් සිදු කරගෙන යන ලදී.

දිගින් දිගටම මෙම ක්‍රියාවලියේ අනීතික ස්වභාවයත්, ස්ථාන මාරු ලැයිස්තු වල සිදු වී තිබු බරපතල වැරදිත් ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ පාර්ශවයෙන් පෙන්වා දුන්නත් සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් ඒවා නිවැරදි කිරීමට හෝ නිවැරදි ක්‍රමවේදයට සිදු කිරීමට කටයුතු නොකිරීම නිසා අප හට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා යොමු වීමට සිදු විය.

නමුත් සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සිදු වූ සාකච්ඡාවන්හි දි ඉහත ක්‍රියාවලියේදි සිදු වී ඇති වැරදි සහ නිත්‍යානුකූල නොවන තත්ත්වය අවබෝධ කරගැනීම සමඟ එම ස්ථාන මාරු කටයුතු නිසි ක්‍රමවේදයට මාරු මණ්ඩල හරහා සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන්ට නියෝග කරන ලදී.

එහිදි, නිකුත් කර තිබු පශ්චාත් සීමාවාසික ලැයිස්තුවට දින දිගුවක් ලබා දීමට ද, සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරින් හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු මණ්ඩලයේ සහභාගිත්වයෙන් පශ්චාත් සීමාවාසික ලැයිස්තු නැවත සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම ද, සියලු පාර්ශවයන්ගේ එකඟතාවයෙන් දුෂ්කර සේවා ලැයිස්තුව නැවත සලකා බැලීම ද, ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුවේ ඇති අක්‍රමිකතා නිවැරදි කිරීම ද යන කාරණා කඩිනමින් ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ එකඟතාවය ලැබිණි.

එම සාධනීය එකඟතාවයන් සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් ක්‍රියාත්මක කිරීමේ පදනම මත ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවන ලදී.

එහි ප්‍රතිඵලයක් ලෙස පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ පුරප්පාඩු ලැයිස්තුවේ ගැටලු සම්පූර්ණයෙන්ම පාහේ නිවැරදි කිරීමට අපට හැකි වී ඇත. එය ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ සහ සමස්ත වෛද්‍ය ප්‍රජාවම ලද ජයග්‍රහණයක් ලෙස අප දකින අතර මුලින් පල කර තිබු අත්තනෝමතික හා දෝෂ සහිත ලැයිස්තුව වෙනස් කිරීම මඟින්ම සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය සහ නොසැලකිල්ල මැනවින් ප්‍රදර්ශනය කරයි.

නමුත් දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුවෙන් පුරප්පාඩු 134 ක් සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් අත්තනෝමතිකව ඉවත් කිරීම නිසා සිදු වූ ගැටලුව නිවැරදි කිරීමට තවමත් සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් මැලිකමක් දක්වයි. මින් ඉහතදීත් අප විසින් සඳහන් කල පරිදි මින් සිදු වන්නේ ඉහත කී දිවයින පුරා පවතින දුෂ්කර සේවා ස්ථාන ලෙස ගැනෙන රෝහල් 134 ක් වැසියාමේ තර්ජනයට ලක් වීමයි.

වාර්ෂික ස්ථාන මාරු හරහා ස්ථාන මාරු ලැබ තමන්ගේ නියමිත ස්ථානයට යා ගත නොහැකිව රැඳී සිටින සමස්ත වෛද්‍යවරුන් ගණන 10,000 කට ආසන්න වේ. එවන් පසුබිමක් තුල 2025 වර්ෂයේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව ප්‍රකාශයට පත් කරන්නේ දැඩි ප්‍රමාදයකින් පසුව වන අතර එහි තිබූ පුරප්පාඩු 78 ක ප්‍රමාණයක් ‘රාජ්‍ය සේවා කොමිසන් සභාවේ’ අනුමැතියකින් තොරව හොර රහසේ ලැයිස්තුවෙන් ඉවත් කර තිබේ. එය පවතින නීතිගත ක්‍රමවේදයට පටහැනි බව ‘රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ’ ද මතයයි. මේ වන විට එය නිවැරදි කිරීමට අප විසින් දිගින් දිගටම ඉල්ලීම් කල ද සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් නීති විරෝධි ලෙස එම වරද නිවැරදි කිරීම සිදු කිරීමෙන් බැහැරව සිටියි.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නියෝගයන් ද කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් මේ වන විට අත්තනෝමතිකව සහ අනීතික ලෙස තම පුද්ගලික ලාබ ප්‍රයෝජන සහ අරමුණු මුල් කරගනිමින් වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලියම අඩපණ කරවමින් රට තුල රෝගී සත්කාර සේවාව අඩපණ කිරීමට කටයුතු කරමින් සිටියි.

මෙම නිලධාරීන්ගේ වගකීම් විරහිත සහ අසමත් ක්‍රියාවලියේ අරමුණ වනුයේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජය ජනතාව ඉදිරියේ අපහසුතාවයට සහ අප්‍රසාදයට පත් කිරීමද යන සැකය මතු වී ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ගේ අකාර්යක්ෂම සහ අත්තනෝමතික හැසීරිම පිළිබඳ ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ’ බලවත් විරෝධය ප්‍රකාශ කර සිටින අතර ඊට විරුද්ධත්වය පල කරමින් ස්ථාන මාරු ක්‍රියාවලිය නිසි නිත්‍යානුකූල ක්‍රමවේදයට සිදු කිරීමට බල කරමින් එලඹෙන අගෝස්තු 25 වනදා සඳුදා දින පෙ.ව. 08:00 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ’ විධායක සභාව විසින් තීරණය කරන ලදී. ඊට සමගාමිව හෙට (22) දිනයේදී රට පුරා හදිසි ශාඛා සමිති රැස්වීම් පවත්වා එහිදි ගන්නා තීරණ සමාලෝචනය කරමින් ඉදිරි පියවර තීරණය කිරීමට ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව’ එළඹෙන සදුදා දිනයේදි (25) කොළඹදී රැස් වීමට ද නියමිතය.

සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් ක්‍රියාත්මක කරමින් පවතින අනීතික සහ අත්තනෝමතික වැඩපිළිවෙල නවත්වා ස්ථානමාරු ක්‍රියාවලියේ නෛතිකභාව, පාරදෘශ්‍යභාවය සහ කාර්යක්ෂමතාවය තහවුරු කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු වගකිව යුත්තන් වහාම මැදිහත්විය යුතු බව අපගේ විශ්වාසයයි ෴

+++

+


සෝමරත්න දිසානායකට අපහාස කළ සැකකරු අධිකරණයේදී සමාව ගනී

(21.08.2025 – hirunews.lk)

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ‘සෝමරත්න දිසානායන මහතා’ ලෙස පෙනී සිටිමින් චිත්‍රපටවල රඟපෑමට අවස්ථාව සලසා දෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ පට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් එම සිද්ධියේ සැකකරු අද (21) අධිකරණයේදී ඒ මහතාගෙන් සමාව අයැද සිටියා.

දිසානායක මහතාට සිදුවූ අපහාසය හා අපකීර්තිය සම්බන්ධයෙන් තමා ප්‍රසිද්ධිය මාධ්‍ය ඔස්සේ සමාව අයැද සිටීමට වුවද කැමති බව එම සැකකරු අධිකරණය හමුවේ පැවසුවා.

ඒ, මෙම සිද්ධයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග ඉදිරියේ කැදැවූ අවස්ථාවේදී.

එම සැකකරු සිය නීතිඥවරයා මඟින් අධිකරණයේදී මෙලෙස සමාව ඉල්ලා සිටියා.

සැකකරු බන්ධනාගාරය මඟින් අද (21) අධිකරණයට ඉදිරිපත් කළ තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාර පුද්ගලයා ඒ බව කියා සිටියේ සිය නීතිඥවරයා මගින් අධිකරණය හමුවේ කරුණු දක්වමින්.

පැමිණිලිකාර සෝමරත්න දිසානායක මහතා වෙනුවෙන් නීතිඥ මනෝජ් ගමගේ මහතා පෙනී සිටිමින් කියා සිටියේ සැකකාර පුද්ගලයාගේ මෙම ක්‍රියාව තුළින් සෝමරත්න දිසානායක මහතාගේ කීර්තිනාමයට බරපතල හානි සිදුව ඇති බවයි.

‍සැකකරු වරද පිළිගැනීමට සූදානම් වුවත්, තම සේවාදායකයා ඔහුගෙන් වන්දි මුදලක් බලාපොරොත්තු නොවන බව ද නිතීඥවරයා සදහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු රුපියල් මිලියනයක ශරීර ඇපයක් මත මුදා හරිමින් සැකකරුට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරුණා.

මෙලෙස ඇප මත මුදා හැරුණේ පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංච ඉසුරු මධුමාල් (26) නැමති තැපැල් සේවකයෙක්.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සෝමරත්න දිසානායක මහතා සදහන් කර තිබුණේ, කිසියම් පුද්ගලයකු තමන්ගේ ඡායාරූපය යොදා සකස් කර ගත් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් හරහා කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ පට ගෙන්වාගෙන තමාගේ කීර්ති නාමයට අපහාසයක් හා අපකීර්තියක් කර ඇති බවය ෴


බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල වෙඩි තබා ඝාතනයක්

(21.08.2025 – hirunews.lk)

බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසලදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු (1) වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි තැබීම අද (21) පස්වරුවේ සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴

+++

+


තැපැල් සේවකයන් වැඩට නාවොත් තනතුර අතහැර ගියා සේ සලකනවා : තැපැල්පති කියයි

(21.08.2025 – hirunews.lk)

තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයන්ගේ නිවාඩු අගෝස්තු 17 සිට අවලංගු කර ඇති බැවින් සියලුම සේවකයන් වහාම සේවයට වාර්තා කරන ලෙසට තැපැල්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් නිවාඩු ලබා සිටින සේවකයන් ඒ බව තහවුරු කිරීමට රජයේ වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවද එම නිවේදනයේ සඳහන්.

මේ අතර, නිවාඩු අනුමැතියකින් තොරව සේවයට වාර්තා නොකරන නිලධාරීන් සඳහා 2025 අගෝස්තු මාසයේ වැටුප් ගෙවීම සඳහා මුදල් නිදහස් නොකරන බවද භාණ්ඩාගාරය විසින් දැනුම් දී ඇත් ඉබවයි තැපැල්පතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

තවද, සේවයට වාර්තා නොකරන නිලධාරීන් කාර්ය පටිපාටික රීතීන් හි XV වන පරිච්ඡේදයේ විධිවිධාන අනුව, ‘තනතුර අතහැර ගියා සේ’ සලකා කටයුතු කිරීමට සිදුවන බවට තැපැල්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කරනු ලබනවා.

එම නිවේදනය පහතින් :


පාස්කු විමර්ශනයේ පරීක්ෂණ පැලවත්තෙන්පටන් ගන්න – නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර

(21.08.2025 – hirunews.lk)

පාස්කු විමර්ශනයේ පරීක්ෂණ පැලවත්තේ පිහිටි ජාතික ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයෙන් ආරම්භ කරන ලෙස නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.

අද (21) දින මහරගම නව ජනතා පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම ඒ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුගීෂ්වර බණ්ඩාර මෙසේද පැවසුවා :

“අපි දැක්කා ඊයේ (20) මේ රටේ 6 වැනි විධායක ජනාධිපතිවරයා වෙච්ච මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා බරපතල හෙළිදරව්වක් කරා. එතුමා කිව්වා ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු එතුමත් දන්නවා; මේ රටේ බුද්ධි අංශත් දන්නවා; මේ රටේ ආරක්ෂක අංශත් දන්නවා; හැබැයි කිසි කෙනෙකුට ඔහුව අත්අඩංගුවට ගන්න කිසිම දෙයක් කරන්න බෑ’ කියලා. මුළු රටම බලන් ඉන්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුද? මේ පාස්කු ප්‍රහාරය සැලසුම් කළේ කොහොමද කියලා. විශේෂයෙන්ම මේ මාලිමා ආණ්ඩුව බලයට ආවේ පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු හෙළිකරනවා කියන පොරොන්දුව ජනතාවට ලබා දෙමින්. මේ ආණ්ඩුව දුන්න පොරොන්දු 1329 න් ප්‍රධානතම පොරොන්දුව තමයි පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු රටට හෙළිකරන බව ප්‍රකාශ කිරීම. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දන්නවා නම් අපි ගරු ජනාධිපතිතුමාට කියනවා වැඩේ පහසුයි මෛත්‍රිපාල ජනාධිපතිතුමත් එක්ක යන්න කාදිනල් හිමිපාණන් ළඟට, ගිහිල්ලා මේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුද කියලා දැනගන්න. ‘පාස්කු විගඩම’ නතර කරන්න කාලෙ හරි කියලා අපි ජනාධිපතිතුමන්ට කියන්න කැමති.

ඒවගේම නලින්ද ජයතිස්ස ඇමතිවරයාට කියනවා , ‘ඊයේ (20) මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ කතාවෙන් අපිට කිසියම් රටක් ගැන ඉඟියක් ලැබුණා’කියලා. එතකොට මේ කාරණය ගැනම මීට පෙර නලින්ද ජයතිස්ස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියනවා ඔව් මේ පාස්කු ප්‍රහාරයට ඉන්දියාව සම්බන්ධයි කියලා. පෙරේදා පැවැති රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නලින්ද ජයතිස්ස මාධ්‍ය ප්‍රකාශකතුමා, කැබිනට් අමාත්‍යවරයා කියනවා එතුමා එහෙම දෙයක් කිව්වේ නෑ කියලා. දැන් අද මාලිමා ආණ්ඩුවේ ඇමතිවරුන්ට අමතක වීමේ රෝගය වැලදිලා තියෙනවා. ඒ නිසා නලින්ද ජයතිස්ස මහත්තයෝ ! කරුණාකරලා මේක තවදුරටත් කොලේ වහල ගහන්න හදන්නැතුව පාස්කු ප්‍රහාරයේ මේ ඇතිවෙච්ච තුවාලය මේ සැරව-ඕජස් ගලන තුවාලේ තව තවත් කොනිත්ත කොනිත්ත ඉන්නේ නැතුව මේ සම්බන්ධ විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්න.

ගරු කාදිනල් මැල්කම් හිමිපාණන්ට ඉතාමත් ගෞරවයෙන් අපි මතක් කරනවා ‘පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණත්වයක් අපිට මේ ආණ්ඩුව තුළින් බලාපොරොත්තු වෙන්න බෑ’ කියලා. මොකද මේ ආණ්ඩුවේ තමයි මේ පාස්කු ප්‍රහාරයට අදාළ මුදල් වියදම් කරපු ‘ඒබ්‍රහම්’ ඉන්නේ. ඔහු මාලිමා ආණ්ඩුවේ ජාතික ලැයිස්තුවේ හිටපු මන්ත්‍රීවරයෙක්. මේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන හෝටල් දෙකක (2) මරාගෙන මැරුණේ ‘ඊබ්‍රහම්ගේ දරුවෝ දෙන්නා’. ඔවුන් ‘පැළවත්ත මූලස්ථානය’ට සම්බන්ධයි. පාස්කු ප්‍රහාර ගැන තොරතුරු ලබා දිලා තියෙද්දි ඒ ගැන ක්‍රියාත්මක නොවුන රවී සෙනවිරත්න, ශානි අබේසේකර පැලවත්ත මූලස්ථානයට සම්බන්ධයි.

පාස්කු ප්‍රහාරය වෙන වෙලාවේ නැගෙනහිර ආඥාපති විදියට හිටපු ‘අරුණ ජයසේකර’ පැලවත්වට සම්බන්ධයි. ඒක හින්දා ගරු මැල්කම් රන්ජිත් හිමිපාණන් පාස්කු ප්‍රහාරයේ විමර්ශනය ආරම්භ කළ යුත්තේ වෙන කොහෙන්වත් නෙමෙයි ‘පැලවත්ත මූලස්ථානයෙන්’ කියන එක අපි තරයේ ප්‍රකාශ කර සිටිනවා” ෴


මාලිමාවෙන් මහා වංචාවක් සිදුවෙලා – මෙන්න සාක්ෂි (21.08.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *