ඉන්දියානු කතුන් එක්ක හවුලේ මාල කඩන කාන්තා කල්ලිය පස්සේ පොලිසිය පන්නයි : දැනටමත් 08 ක් අත්අඩංගුවේ

ඉන්දියානු කතුන් එක්ක හවුලේ මාල කඩන කාන්තා කල්ලිය පස්සේ පොලිසිය පන්නයි : දැනටමත් 08 ක් අත්අඩංගුවේ


ඉන්දියානු කතුන් එක්ක හවුලේ මාල කඩන කාන්තා කල්ලිය පස්සේ පොලිසිය පන්නයි : දැනටමත් 08 ක් අත්අඩංගුවේ

(20.08.2025 – hirunews.lk)

මෙරට ප්‍රධාන කෝවිල් හා දේවස්ථානවල පැවැත්වෙන වාර්ෂික උත්සවවලට පැමිණෙන බැතිමතුන්ගේ රන් මාල කඩා ගැනීම වෙනුවෙන්ම සංවිධානගතවූ ඉන්දියානු ජාතික කාන්තාවන් දෙදෙනකු (02) ගෙන්සමන්විත කාන්තාවන් 08 දෙනකුගේ කල්ලියක් කොටුකර ගැනීමට යාපනය පොලිසිය සමත්වී තිබෙනවා.

උතුරු – නැගෙනහිර පළාත් ආශ්‍රිත දේවස්ථාන සහ කෝවිල් උත්සව සමයේදී ඉන්දියාවේ සිට එම කාන්තාවන් දෙදෙනා (02) සමඟ තවත් කතුන්ද ඇතුළත් පික්පොකට් කල්ලියක්ම පැමිණෙන බව බුද්ධි අංශ සඳහන් කරන්නේ.

මෙම කල්ලිය මඩු දේවස්ථානයේ වාර්ෂික උත්සවය, නල්ලූර් කෝවිලේ උත්සවය, කෝනේෂ්වරන් කෝවිලේ උත්සවය, තලවිල මංගල්‍යය ආදී උත්සව ප්‍රධාන වශයෙන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන බව ද බුද්ධි අංශයේ උසස් නිලධාරියෙක් පවසනවා.

උතුරු සහ නැගෙනහිර පළාත්වල කාන්තාවන් මෙවන් උත්සව සඳහා රන් භාණ්ඩ වැඩි ප්‍රමාණයක් පැළඳ පැමිණීමේ ප්‍රවණතාවක් ඇති බවත් එය ඔවුන්ගේ සම්ප්‍රදායක් බවත් එම නිලධාරියා සඳහන් කරනවා.

පූජාවන් පැවැත්වෙන අවස්ථාවන්වලදී ඇතිවන තෙරපීම් අස්සේ මෙම සංවිධානාත්මක කාන්තා කල්ලිය විසින් රන් මාල කඩා ගැනීම්වල නිරතව සිටින බවත් ඊට පිරිමි පුද්ගලයින් ද සහය දෙන බවත් එම නිලධාරියා පවසනවා.

මඩු දේවස්ථානයේ පැවති උත්සවයේදී පවා කාන්තාවන් 10 දෙනකුට වැඩි පිරිසකගේ රන් මාල කඩාගෙන තිබුණු බවත් එම රන් භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 75 ඉක්මවා තිබුණු බවත් සඳහන් වනවා.

ඒ සම්බන්ධයෙන් පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් (02) සහ කාන්තාවන් සිව් දෙදෙනෙක් (04) ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබ තිබෙනවා.

යාපනයේදී අත්අඩංගුවට ගත් කාන්තාවන් හා මඩු හීදී අත්අඩංගුවට ගත් කණ්ඩායම අතර සම්බන්ධයක් ද පවතින බව පෙනී ගොස් ඇතැයි කියයි.

ඉන්දියානුවන්ට අමතරව අත්අඩංගුවට ගත් සෙසු කාන්තාවන් ‘රොඩී සහ අහිකුණ්ඨික’ ජන කොට්ඨාශවල අය බවද අනාවරණය වී තිබෙනවා.

ඔවුන් හලාවත සහ තඹුත්තේගම පිහිටි ‘අහිකුණ්ඨික හා රොඩී ගම්මාන’වල ජීවත්වන අය බවද අනාවරණය වෙනවා.

ඉන්දියාවේ සිට මාල කඩන්නට පැමිණෙන කාන්තාවන් ඇතුළු පිරිස් ද මෙම ජන කොට්ඨාශයටම අයත් අය වීමද විශේෂිතය ෴


රුපියල් 70 ක පානීය ජල බෝතලයක් රු. 200 කට අලෙවි කළාට රු. 500,000 ක දඩයක්

(20.08.2025 – hirunews.lk)

රුපියල් 70 ක් වටිනා පානීය ජල බෝතලයක් රුපියල් 200 කට අලෙවි කිරීමට එරෙහිව රුපියල් 500,000 ක දඩයක් නියම කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (20) මෙම දඩය නියම කරනු ලැබුවා.

මෙම දඩය නියම කර ඇත්තේ ‘පෝට් සිටි වෙරළ තීරයේ පිහිටි පෞද්ගලික ආයතනයකට’යි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදු කළ වැටලීමකින් පසුව මෙම නඩුව ගොනුකර තිබෙනවා ෴


වසන්තටයි රවීටයි නඩු තියෙන උසාවි වල නඩුකාරවරු මාරු කරලා |චාමර කළ හෙලිදරව්ව | බිමල් ගැස්සිලා නැගිටියි (20.08.2025)

+


‘ඩීඅයිජී’ බිරියගේ නිදන් සිද්ධියේ විමර්ශන සීඅයිඩියට පවරන්න නියෝග

(20.08.2025 – hirunews.lk)

නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරිය ඇතුළු සැකකරුවන් පිරිසක් නිදන් වස්තු ලබාගැනීමට කැනීම් කළැයි කියන සිද්ධියට අදාළ පරික්ෂණ ‍වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේ නිදන් හෑරී‍මේ සිද්ධියට අදාළ නඩුව මෝසමක් මගින් අධිකරණය හමුවේ කැදැවූ අවස්ථාවේදීයි.

මෙම සිද්ධියට අදාළ විමර්ශන භාරගන්නා ලෙසට තම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය දැනුම් දී ඇතැයි මෙහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිය මෝසම මඟින් අධිකරණයට දැනුම් දුන්නා.

මෙහි සැකකරුවන් කැණීම් සිදුකර ඇති ස්ථාන පුරා විද්‍යා වටිනාකමක් ඇති භූමියක් ද යන්න සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තා කැදවන ලෙසටද මෙහිදී අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරිය ඇතුළු සැකකරුවන්ගෙන් අනුරාධපුර බන්ධනාගාරය තුළට ගොස් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සලසන ලෙසට මෙහිදී අධිකරණය අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග නිකුත් කළා.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ ප්‍රසාද් ධර්මසේන පැවසුවේ අදාළ දේවාලය ඇතුළත අඩි 4 ක් පමණ ගැඹුරට කැනීම් කර වලක් හාරා ඇත්තේ පුද පූජා පවත්වන අවස්ථාවන්වලදී ආතුරයා එම වළ තුළට බැස්සවීම සඳහා බවයි.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුසිල් සිරිවර්ධන මහතා අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සිද්ධියේ විමර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුවේ සැකකරුවන් අතර උසස් පොලිස් නිලධාරියකුගේ බිරියක සිටීම නිසා බවයි.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී නියෝජ්‍ය පොලිස්පතිවරයකු විමර්ශන නිලධාරීන්ට දුරකතන ඇමතුම් ලබා දුන්නේද යන්න සම්බන්ධයෙන් විමර්ශනය සදහා දුරකතන සමාගම් කිහිපයකට අධිකරණයෙන් නියෝග නිකුත් කෙරැණේ ඉකුත් නඩු දිනයේදීයි.

මෙහි සැකකරුවන් ලබන 26 වැනිදා තෙක් රක්ෂිත භාරයේ තැබීමට ද අධිකරණයෙන් නියෝග නිකුත් වී තිබෙනවා.

මෙහිදී රක්ෂිත බන්ධනාගාර ගතව ඇත්තේ, නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරියක බව කියන වේයන්ගොඩ මල්වාන පදිංචි ඩී. ඒ. ඉන්ද්‍රානී කුමාරි දිසානායක, අනුරාධපුර ශ්‍රාවස්තිපුර පදිංචි එච්. එම්. එරන්ද ඉන්දික සිරිවර්ධන, ගිරාදුරුකෝට්ටේ පදිංචි ආර්. එම්. ගුණරත්න, දැරණියගල විද්‍යාල මාවත, තිහගහවත්ත පදිංචි ආර්. එම්. චම්පික කුමාර, කුරුණෑගල යන්තම්පලාව පදිංචි කේ. එම්. නිලන්ත රත්නායක පදවි ශ්‍රි තිස්සපුර පදිංචි ඊ. එම්. අනුර පද්මසිරි, වරකාපොල, දම්මලදෙණිය පදිංචි අමීර් මුස්තාන් සහ බදුල්ල කරදගහමඩආරව පදිංචි එම්. පද්මසිරි දිසානායක යන සැකකරුවන්.

පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්. එම්. ජයවීරගේ උපදෙස් මත නඩු කටයුතු මෙහෙයුම් අංශයේ උප පොලිස් පරික්ෂකවරුන් වන එච්. එම්. හේරත් වන්නිනායක සහ එස්. නන්දසේන යන නිලධාරින් පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥ ප්‍රමාද් ධර්මසේන සහ නීතිඥ සුසිල් සිරිවර්ධන අධිකරණයේ පෙනී සිටියා ෴

නිදන් හෑරීමක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය නියෝජ්‍ය පොලිස්පති බිරිඳක් ඇතුළු අට (8) දෙනෙකුගේ කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට පෙර නිධානය හෑරූ බව කියන ස්ථානයට නියෝජ්‍ය පොලිස්පති සැමියා පැමිණ ගොස් ඇති බවට සැකකරන තොරතුරු රැසක් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමට ලැබී තිබෙනවා.

ඒ බව තහවුරුකර ගැනීමට ආරක්ෂක කැමරා පරීක්ෂාවක්ද මේ වන විට සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේ.

පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරියගේ නියෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නිදන් හෑරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වනු ලබයි.

එම විමර්ශනයේදී සාක්ෂිකරුවන්ට බලපෑමක් ඇති නොවීම සඳහා නියෝජ්‍ය පොලිස්පති සැමියා කොළඹින් වෙනත් ස්ථානයකට වහාම මාරුකරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක්කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

බිරිඳ ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා විට නියෝජ්‍ය පොලිස්පති සැමියා අනුරාධපුරයේ රැඳී සිටි බව මෙන්ම නිධානය හෑරූ බව කියන ස්ථානයට යන බව කල් තියා පැහැදිලිවම නියෝජ්‍ය පොලිස්පතිවරයා දැන සිට ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන කණ්ඩායමට පෙනී ගොස් තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුරය බලා ගමන්කර ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඔහුට ලබාදී ඇති වාහනයකින්.

ඒ සම්බන්ධයෙන් පොලිස් රියදුරාගෙන් වැදගත් කරුණු රැසක් අනාවරණයකර ගැනීමට හැකිවනු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

නිදන් හෑරීමක් සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති බිරිඳ සමඟ අත්අඩංගුවටගත් සෙසු සැකකරුවන් සහ නියෝජ්‍ය පොලිස්පති සැමියා අතර ඇති සම්බන්ධකම් ගැනද දුරකථන ජාල විශ්ලේෂණයක් මගින් ද තොරතුරු රැස්කරමින් තිබෙනවා ෴


බොරැල්ලේ මාර්ගයක කොටසක් ගිලා බැසීම හේතුවෙන් ගමනාගමන කටයුතු සීමා කෙරේ

(21.08.2025 – hirunews.lk)

බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී.එස්. සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට අවහිරතාවයක් සිදුව තිබෙනවා.

එම හේතුවෙන් කොළඹ දෙසට ඇතුළුවන මාර්ගය භාවිතා කරන රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව භාවිතා කළ හැකි විකල්ප මාර්ග –

මොඩල්ෆාම් හන්දිය හරහා කොළඹට ඇතුළු වන වාහන මොඩල්ෆාම් හන්දියෙන් කනත්ත වටරවුම දෙසට ගමන් කර බේස්ලයින් මාර්ගයට පිවිසිය හැක.

රාජගිරිය දෙස සිට කොළඹට ඇතුළු වන වාහන ආයුර්වේද වටරවුමෙන් කොටා පාර ඔස්සේ කොළඹට ඇතුළු විය හැක.

කොළඹ දෙස සිට මොඩල්ෆාම් හන්දිය හරහා ශ්‍රී ජවර්ධනපුර මාර්ගය දෙසට ගමන් ගන්නා වාහන ඩී.එස්. සේනානායක හන්දියෙන් වමට හැරී බොරැල්ල හන්දිය හරහා කොටා පාර ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයට පිවිසිය හැක ෴

+++

කොළඹ ගිලා බැස්ස පාර තවත් ගිලා බසී ?? මෙන්න දැන් එළිය ආ දර්ශන පෙල (21.08.2025)

+


ආයුධ හංගපු අයට කමාන්ඩෝ සලින්තගෙන් රුපියල් 30,000 ක්

(20.08.2025 – hirunews.lk)

බොරැල්ල සහස්පුර, සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේදී පසුගිය 07 වැනිදා වෙඩි තබා තරුණයින් දෙදෙනෙකු (2) ඝාතනය කර තවත් තිදෙනෙකුට (3) තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු (1) කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අදාළ වෙඩි තැබීම සඳහා වෙඩික්කරු ප්‍රවාහනය කළ යතුරුපැදිකරු මෙම පුද්ගලයා වන බවයි.

මොහු ‘බොරැල්ලේ චූටා’ යන නමින් හඳුන්වන අතර මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතක් (7) රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබෙනවා.

පොලිසිය පැවසුවේ කඩවත ප්‍රදේශයේ ලැගුම්හලක සැඟව සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බවයි.

ඔහු පවසා ඇත්තේ ‘වනාතේ දුමින්ද’ගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සිදුකළ බවයි.

වෙඩික්කරු අතරමඟ දී යතුරු පැදියට නංවාගත් බවත්, වෙඩි තැබීමෙන් අනතුරුව ඔහු යළි දමා ගිය බවත්, මෙම පුද්ගලයා සම්බන්ධයෙන් තමන් නොදන්නා බවත් ඔහු වැඩිදුරටත් පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් ‘බොරැල්ල චූටා’ නමැත්තාගේ සමීපතමයන් තිදෙනෙකු (3) මීට පෙරද අත්අඩංගුවට ගත්තා.

මේ අතර, මීගමුව සහ ගනේමුල්ල ප්‍රදේශවලදී මත්ද්‍රව්‍ය, ගිනි අවි සහ ජීව උන්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා විසින් ලබාදුන් ප්‍රකාශ මත තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර, යුද හමුදා හිටපු සාමාජිකයෙකු ද වන අතර, පොලිසිය පැවසුවේ එම ගිනි අවි සහ ජීව උණ්ඩ ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ සමීපතමයෙකු වන ‘කමාන්ඩෝ සලින්ත’ විසින් ඔවුන්ට ලබාදී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණ වී ඇති බවයි.

‘කමාන්ඩෝ සලින්ත’ගේ දැනුම්දීම මත එම ආයුධ අවශ්‍ය මොහොතකදී ලබාගැනීම සඳහා සඟවා තැබු බවත්, ආයුධ සඟවා තබා ගැනීම වෙනුවෙන් එක් සැකකරුවෙකුට මාසිකව රුපියල් 30,000 ක ගෙවීමක් සිදුකර ඇති බවත්, අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට පත් වූ සැකකරුවන්ට මත්ද්‍රව්‍ය අළෙවිකිරීම සඳහා ද කොමිස් මුදලක් ලබා දී ඇති බව පොලිසිය සඳහන් කළා ෴


හෝමාගම මන්ත්‍රී ඝාතනය කළ වෙඩික්කරු දකුණෙන් අල්ලයි

(20.08.2025 – hirunews.lk)

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන ‘ශාන්ත මුදුන්කොටුව’ට පසුගිය 12 වෙනිදා මීගොඩ ආටිගල මාර්ගයේදී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු හඳුනාගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඔහුව අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

දකුණු පළාත තුළ සිදුකළ මෙහෙයුමකින් අත්අඩංගුවටගත් එම වෙඩික්කරු ඩුබායි හී රැදී සිටින බව කියන පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ‘ලලිත් කන්නන්ගර’ නොහොත් ‘බස් ලලිත්’ගේ කොන්ත්‍රාත් වෙඩික්කරුවෙක් ලෙස කටයුතු කරන අයෙක් බවයි ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී ඇත්තේ.

යුද හමුදාවේ ද සේවයේ නිරතව සිට ඇති මෙම වෙඩික්කරු ‘ලලිත් කන්නන්ගර’ විසින් ලබාදුන් කොන්ත්‍රාත් අනුව හෝමාගම හා ඒ අවට ප්‍රදේශ ආශ්‍රිතව වෙඩි තැබීම් රැසක් සිදුකර ඇති බව ද ප්‍රශ්න කිරීම්වලින් දැනට අනාවරණය වී තිබෙනවා.

කොස්ගම හා හෝමාගම සිදුවූ වෙඩි තැබීම් දෙකක (2) තොරතුරු මේ වන විට හෙළිවී තිබෙනවා.

මේ හැරුණු කොට තවත් වෙඩි තැබීම් ඇතුළු අපරාධ රැසක තොරතුරු මෙම සැකකරුගෙන් හෙළිකර ගැනීමට හැකිවනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරනවා ෴


හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් CID අත්අඩංගුවට

(20.08.2025 – hirunews.lk)

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ 2022 වසරේ මැයි මස 09 වැනිදා ගාලුමුවදොර පැවැත් වූ අරගලයට සම්බන්ධ වූ පිරිසට පහරදීම සම්බන්ධයෙන්.

මෙම සිදුවීමට අදාළව තමන් අත අඩංගුවට නොගෙන අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඔහු මීට පෙර කොටුව අධිකරණයෙන් කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප වී තිබෙනවා ෴

+++

+


කෙතරම් අවවාද කළත් නිසි මගට නොඑන මත්ස්‍ය වෙළෙඳසැලක්

(20.08.2025 – 16:34 +0530 – sinhala.adaderana.lk)

බණ්ඩාරවෙල බදුල්ල ප්‍රධාන මාර්ගයේ දික්අරාව ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ මත්ස්‍ය වෙළෙඳසැලකින් මත්ස්‍ය අපද්‍රව්‍ය මාර්ගයට හා පරිසරයට බැහැර කිරීමෙන් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් හටගෙන තිබේ.

ඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවය.

අදාළ ව්‍යාපාරික ස්ථානය මගින් කිසිදු බියක් හෝ සැකයක් නොමැතිව මත්ස්‍ය අපද්‍රව්‍ය සහ අපිරිසිදු ජලය බාහිර පරිසරයට මුදාහරින බවට පැමිණිළි රැසක් ලැබී ඇති බවද ඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිශ්ශංක විජේවීර මහතා පැවසීය.

මෙම ව්‍යාපාරික ස්ථානය මගින් තොග හා සිල්ලර මිලට මත්ස්‍ය අලෙවිය සිදුකරන බවත් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සම්බන්ධයෙන් අවස්ථා රැසකදී එහි හිමිකරුට උපදෙස් හා අවවාද දී තිබෙන බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කළේය.

ඒ අනුව මෙම ගැටලුව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන ලෙසට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ද උපදෙස් දී තිබෙන බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.

මීට මාස කිහිපයකට පෙර මෙම ව්‍යාපාරික ස්ථානයේ කළ වැටලීමෙන් පරිභෝජනයට නුසුදුසු රුපියල් ලක්ෂ 25 පමණ වටිනා නරක් වූ මත්ස්‍යන් විනාශ කිරීමටද පියවර ගෙන ඇත.

මෙම ව්‍යාපාරික ස්ථානය ප්‍රධාන මාර්ගයේ අවදානම් සහගත වංගුවක් අසල පිහිටා තිබෙන බවත් එම ස්ථානය අවට විශාල වශයෙන් වාහන නවතා තැබීමෙන් අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් ඒ පිළිබඳව බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාටත් කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාටත් දැනුම් දුන්නත් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවද හෙතෙම කීවේය.

මේ අතර මෙම ව්‍යාපාරික ස්ථානය සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අමාත්‍යංශයට හා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයටද පැමිණිලි කිහිපයක්ම සිදුකර ඇති බවත් වාර්තා වෙයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *