හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු ඇතුළු ප්‍රබල පෙළේ දේශපාලනඥයන් 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු ඇතුළු ප්‍රබල පෙළේ දේශපාලනඥයන් 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන


හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු ඇතුළු ප්‍රබල පෙළේ දේශපාලනඥයන් 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන

(19.06.2025 – divaina.lk)

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු ඇතුළු ප්‍රබල පෙළේ දේශපාලනඥයන් 26 දෙනකු විසින් අයථා ලෙස ඉපයූ බව කියන රුපියල් කෝටි ගණනක දේපළ රජයට පවරා ගැනීම සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් විමර්ශන ආරම්භ කර ඇත.

මෙම දේශපාලනඥයන්ගේ සහ හිටපු ආරක්ෂක ප්‍රධානියාගේ දේපළ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන මේ වනවිටත් ආරම්භ කර ඇති අතර මෙම දේපළ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශ ගැනීමේ කටයුතු ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.

අයථා ඉපයීම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන හිටපු ආරක්ෂක ප්‍රධානියා වන්නේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියාව සිටි ‘ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා’ ය. විමර්ශන පවත්වන අනෙකුත් දේශපාලනඥයන් ගේ නම් මෙසේය.

මහින්ද යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, චාමර සම්පත් දසනායක, දිලුම් අමුණුගම, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, කංචන විජේසේකර, සාගල රත්නායක, තිස්ස කුට්ටිආරච්චි, වජිර අබේවර්ධන, මහීපාල හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, මනුෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ්, තුෂාර සංජීව පතිරණ, හර්ෂණ රාජකරුණා, ශානක්‍ය රාසමානික්‍යම්, පිල්ලෙයාන්, එච්.එම්. චන්ද්‍රසේන, ශාන්ත අබේසේකර.

මෙම දේශපාලනඥයන්ගේ සහ හිටපු හමුදා ප්‍රධානීන්ගේ අයථා දේපළ ඉපයීම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඒවා පවරාගෙන පසුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විමර්ශන නිලධාරියෙක් කියා සිටියේය.

හේමන්ත රන්දුණු

+++

+


ලිංගික අතවරයක් සිදු කළ, සැකකාර වෛද්‍යවරයාව පෙරට්ටුවේදී හඳුනා ගනියි

(18.06.2025 – dasathalankanews.com)

මීගමුව, රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි සීදූව ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණියකට ලිංගික අතවරයක් සිදු කළේ යැයි චෝදනා එල්ල වූ මීගමුව රෝහලේ සේවයේ නියුතු ව සිටි වෛද්‍යවරයාව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළා.

එම හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී එකී තරුණිය විසින් මෙම සැකකාර වෛද්‍යවරයාව හඳුනා ගැනුණු බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

ඒ අනුව මෙම සැකකාර වෛද්‍යවරයාව මේ මස 20 වැනිද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහෙස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා නියෝග කළේ.

මීගමුව රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි මෙම තරුණියට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව තිබුණේ, ඒ අවස්ථාවේ දී රෝහලේ බාහිර රෝගී අංශයේ සේවයේ නියුතුව සිටි මෙම සැකකාර වෛද්‍යවරයාගෙනි.

එහිදී එම තරුණියට ප්‍රතිකාර කිරීමේ මුවාවෙන් තරුණියට ලිංගික අතවරයක් සිදු කළේ යැයි කියන එම සිදුවීම වාර්තා වී තිබුණේ පසුගිය මාර්තු 31 වැනිදායි.

ඒ අනුව පසුදින එනම් අප්‍රෙල් මස 01 වැනිදා මෙම තරුණිය විසින් මීගමුව රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරිය වෙත ද මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණා.

මෙම තරුණිය අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ පරීක්ෂණ 02කට ද පෙනී සිට ඇති අතර ඉන් එක් පරීක්ෂණයක් මීගමුවේ ද, අනෙක් පරීක්ෂණය කොළඹ දී ද සිදුකර තිබුණු බවයි පැවසුණේ.

සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් මීගමුව රෝහල් පාර්ශ්වයෙන් සහ රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශ්වයෙන් ද වෙන වෙනම පරීක්ෂණ ක්‍රියාත්මක වූ අතර මෙම වෛද්‍යවරයාට අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

දින 60 ක් එනම් මාස 02 ක පමණ කාලයක් සැකකාර වෛද්‍යවරයා පොලිසිය සහ අධිකරණය මඟහැර කට්ටි පනිමින් සිට ඇති බව ද වැඩිදුරටත් වාර්තා වුණා.

කෙසේ වුව ද පසුගිය 02 වැනිදා මෙම සැකකාර වෛද්‍යවරයා මෝසමක් ඉදිරිපත් කර අධිකරණයට භාර වුණා.

ඒ අනුව එදින සිට දින 14 ක් හෙවත් සති 02 ක කාලයක් එම වෛද්‍යවරයාව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කළා.

වෛද්‍යවරයාව හඳුනා ගැනීමේ පෙරටුවකට පසුගිය 16 වැනි දින ඉදිරිපත් කර තිබුණු අතර එම පෙරට්ටුවේදී එම තරුණිය විසින් මෙම වෛද්‍යවරයාව හඳුනාගත් අතර ඔහුව 20 වැනි දින දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අධිකරණය විසින් නියෝග කළා ෴


තවත් ඩෙංගු මර්දන සතියක් – මරණ 14 ක් – රෝගීන් 26,000 පනී

(19.06.2025 – 08:00 +0530 – sinhala.adaderana.lk)

ලබන 30 වැනිදා සිට ජුලි මස 05 වැනිදා දක්වා දිස්ත්‍රික් 16 ක මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, පවතින නිරිත දිග මෝසම් වර්ෂාපතන තත්ත්වයත් සමඟ මදුරු ඝනත්වය ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය කිරීම සඳහා මෙම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය මේ බව සඳහන් කළාය.

“දිස්ත්‍රික්ක 16 ක සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 111 ක නැවතත් මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරනවා. මෙහිදී අවධානම් පරිශ්‍රවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කරන්න අපේ කණ්ඩායම් එනවා. එහිදී ඔබ අපරික්ෂාකාරී ලෙස මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගියොත් රතු නිවේදන නිකුත් කිරීම සහ නීතිමය කටයුතු සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.”

මේ අතර දිවයින පුරා ඩෙංගු රෝගීන් 26,000 කට අධික පිරිසක් මේ වන විට වාර්තා වි ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළාය.

මේ වනවිට ළමා මරණ එකක් වාර්තා වී ඇති අතර, රෝගීන්ගෙන් 45% ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇතැයි ද සමරවීර මහත්මිය පැවසුවාය.

“ලංකාව පුරා ඩෙංගු රෝගීන් 26,775 ක් සහ ඩෙංගු මරණ 14 ක් සිදුව තිබෙනවා. බස්නාහිර, නැගෙනහිර, සබරගමුව සහ දකුණු පළාත්වල රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙනවා.”


ගිහි අධිකරණයකින් භික්ෂුණී සසුන ස්ථාපිත කෙරේ (18.06.2025)

+


දරුවන් භාවිතයෙන් මූල්‍ය අපරාධ කරන වංචනිකයෝ (18.06.2025)

+


ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු වාහන 73,400 ක් ලියාපදිංචියට

(19.06.2025 – hirunews.lk)

වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා යතුරුපැදි ඇතුලු වාහන 73,400 අධික වාහන ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පවසනවා.

ඔහු සඳහන් කළේ, ඉන් වැඩිම සංඛ්‍යාවක් යතුරුපැදි වන අතර එම සංඛ්‍යාව 58,94ක් බවයි.

ඊට අමතරව මෝටර්රථ 7,500 ක් සහ ත්‍රිරෝද රථ 1,666 ක් ද ලියාපදිංචි කර තිබෙනවා.

ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි කිරීම පසුගිය මාසය තුළ සිදු වූ බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ ෴


‘ඉෂාරා සෙව්වන්දි’ රටින් පැන්න බවට සිරස්තලයක් ලියූ මාධ්‍යවේදියෙකුට ප්‍රකාශයක් ලබාදෙන ලෙසට කැඳවීමක්

(18.06.2025 – dasathalankanews.com)

‘ගණේමුල්ල සංජීව ඝාතනය’ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන නීතිඥවරියක වෙසින් උසාවි භූමියට පැමිණ සිටි ‘ඉෂාරා සෙව්වන්දි’ රටින් පිට වූ බවට පළ වූ ලිපියක් මත ප්‍රශ්න කිරීම සඳහා රජයේ ප්‍රසිද්ධ පුවත්පතක කතුවරයෙකු සහ මාධ්‍යවේදියෙකු යන අයට ‘කොළඹ දිසා අපරාධ කොට්ඨාසය’ට ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන බී39368//01/2025 නඩුවේ නියෝගයකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය කර ඇති කරුණු වාර්තා කිරීමක් මත ජුනි 16 වැනිදා මෙම නියෝගය නිකුත් කර තිබුණා.

‘පොලිස් ඇස වසා ඉෂාරා සෙව්වන්දි තීනියාවලින් ඩුබායි පැන්න හැටි’ යන සිරස්තලය යටතේ එම ලිපිය පළ කර තිබෙනවා.

පෙබරවාරි 19 වැනිදා කොළඹ අලුත්කඩේ අංක 05 අධිකරණ ශාලාවේදී ‘සංජීව කුමාර සමරරත්න’ නොහොත් ‘ගණේමුල්ල සංජීව’ගේ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණ කොට්ඨාසය විමර්ශනයක් සිදු කරගෙන යන බවත්, ඒ මත කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට කරුණු වාර්තා කළ බවත් එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වනවා ෴


හිටපු ඇමති කෙහෙළියගේ අනෙක් දියණියන් දෙදෙනා (2) සහ බෑණා කෙනෙකු (1) අල්ලස් කොමිසමට

(19.06.2025 – hirunews.lk)

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකෙරෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අනෙක් දියණියන් දෙදෙනා (2) සහ එක් (1) දියණියකගේ ස්වාමිපුරුෂයෙකු ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (19) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණ තිබෙනවා.

එමෙන්ම ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා වීහේන සහ දියණියක් වන චන්දුලා රමලි රඹුක්වැල්ල ඊයේ (18) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගැනුණා.

පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මොවුන්ව ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

කෙසේ වෙතත් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් බන්ධනාගාර ගතකෙරුණා ෴

+++

+++

+++

+


විදේශීය දුම්වැටි තොගයක් සමග හයදෙනෙකු (6) කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට

(19.06.2025 – hirunews.lk)

රුපියල් එක් කෝටි විසිහය ලක්ෂයක් (1,26,00,000) වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළේ ‘හරිත මාවත’ ඔස්සේ රැගෙන යාමට තැත් කළ ගුවන් මගීන් 06 දෙනෙකු අද (19) ගුවන් තොටුපොළ රේගු නිලධාරී සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් අතරින් සිව් (4) දෙනෙකු පිරිමින් වන අතර, ඉතිරි දෙදෙනා (2) කාන්තාවන් බවටයි වාර්තා වෙන්නේ.

එමෙන්ම අදාළ කාන්තාවන් දෙදෙනා (2) ගෙන් එක් අයෙකු (1) විදේශීය කාන්තාවක්. ඔවුන් සියලු දෙනා ඩුබායි, සාජා සහ බැංකොක් යන ගුවන් තොටුපොළවල සිටයි මෙසේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත්තේ.

මොවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම විදේශීය නිෂ්පාදිත ‘මැන්චෙස්ටර්’ වර්ගයේ දුම්වැටි 84,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 420 ක් සඟවා ගෙන සිටියදීයි රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් රේගු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා ෴


Starlink උපාංග කට්ටල 112 ක් දැනටම ලංකාවට එවලා; ළඟදීම වැඩ පටන් ගන්න ලෑස්තියි

(19.06.2025 – hirunews.lk)

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් සතියක කාලයක් සිදුකරන අධීක්‍ෂණ මෙහෙයුම්වලින් අනතුරුව ස්ටාර්ලින්ක් (Starlink) හි ‘සැටලයිට් බ්‍රෝඩ්බෑන්ඩ්’ සේවාවන් ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව එහි අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) බන්දුල හේරත් පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ප්‍රකාශයක් නිකුත් කරමින්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, මේ වන විට, Starlink විසින් තාක්ෂණික උපාංග කට්ටල 112 ක් එවා ඇති බවත්, ඉන් පළමු 12 දැනට ඔවුන්ගේ ගනුදෙනුකරුවන් අතර බෙදා හරිමින් පවතින බවයි.

ඒ අනුව එම අධීක්ෂණ සතිය අවසන් වූ පසු, ශ්‍රී ලංකාවේ Starlink හි මෙහෙයුම් තවදුරටත් පහසු කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගන්නා බව ද ඔහු පවසනවා.

එහි දී ඔහු සඳහන් කරන්නේ, තාක්ෂණික උපාංග කට්ටල බෙදාහැරීමෙන් පසු, තාක්ෂණික සහ ආරක්‍ෂිත අඛණ්ඩතාවෙන් යුතුව එම සේවාව සපයන්නේ දැයි විදුලි නියාමන කොමිෂන් සභාව සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් අධීක්ෂණය කළ යුතු බවත්, එහිදී අධීක්ෂණය කරන්නේ තාක්‍ෂණය, ආරක්ෂාව සහ පාරිභෝගික සේවාව නිවැරදි ආකාරයෙන් ලබාදෙන්නේ ද යන්න බවයි ෴


බූස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට දරාගන්න බැරි වද දීලා | සුදේශ් නන්දිමාල් මානව හිමිකම් කොමිසමට පැමිණිලිකරයි (18.06.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *