හදිසි නීතියට එරෙහි පෙත්සම් විභාගයට අවසර

හදිසි නීතියට එරෙහි පෙත්සම් විභාගයට අවසර

*********************************************

හදිසි නීතියට එරෙහි පෙත්සම් විභාගයට අවසර

(07.04.2022 – 15:33 +0530 – hirunews.lk/sinhala)

හදිසි නීති රෙගුලාසි වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 04 ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) අවසර ලබා දුන්නා.

මුර්දු ප්‍රනාන්දු , අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කළා.

ඊට අදාළව විරෝධතා තිබේ නම් ඒවා මැයි මස 20 වන දා හෝ ඊට පෙර ගොනුකරන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ජුනි මස 03 වන දා ගොනු කරන ලෙසත් නියෝග කරනු ලැබුවා.

අනතුරුව පෙත්සම ජුලි මස 15 වනදා විභාගය සඳහා කැඳවන ලෙසද නියෝග කෙරුණා.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ඩයස්, විදුලි සංදේශය නියාමන කොමිසම, පොලිස්පති, නීතිපති ඇතුළු පාර්ශව එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටිනවා.

මෙම පෙත්සම් සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේ දී පෙත්සමක් ඉදිරිපත් කර තිබූ මාධ්‍යවේදියෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් අධිකරණය හමුවේ කියා සිටියේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අප්‍රේල් මස 02 වනදා දිවයින පුරා ඇදිරි නීතිය පැනවූ බවයි.

අප්‍රේල් මස 03 වනදා ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීම මත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සමාජ මාධ්‍ය ජාල අවහිර කළ බව ද ඔහු සඳහන් කළා.

මෙවැනි නියෝගයක් විදුලි සංදේශ නියාමන කොමිසම වෙත නිකුත් කිරීමට බලය තිබෙන්නේ විෂය භාර අමාත්‍යවරයාට පමණක් යැයි සදහන් කළ ජනාධිපති නීතිඥවරයා සමාජ මාධ්‍ය ජාල අවහිර කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා විසින් විදූලි සංදේශ නියාමන කොමිසම වෙත කල නියෝගය මුලු‍මනින්ම නීතියට පටහැනි බව පෙන්වා දුන්නා.

මෙම සමාජ මාධ්‍ය අවහිර කිරීමේ ක්‍රියාවලිය යලි සලකා බලන ලෙස එවක අමාත්‍ය නාමල් රාජපක්ෂ ද සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පණිවිඩයක් නිකුත් කර තිබු බව ද ඔහු සඳහන් කළා.

හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ විගසම එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කළ යුතු වුවද එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර අප්‍රේල් මස 05 වනදා ඉවත් කර ගැනීමට කටයුතු කළ බව කී ඔහු මෙම ක්‍රියාවලිය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංගනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි ඉල්ලා සිටියේ.

හදිසි නීති රෙගුලාසි අභියෝගයට ලක් කරමින් තවත් පෙත්සම් තුනක් (3) ඉදිරිපත්ව තිබූ අතර ඊට අදාළව ද නීතිඥවරුන් කරුණු දක්වා සිටියා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජීව ගුණතිලක අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට යෙදුණු හදිසි නීති රෙගුලාසි අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බව ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පමණක් වගකීමට බැඳී සිටින බව කී ඔහු එහි නීත්‍යානූකූල භාවය පිළිබඳව පරීක්ෂා කිරීමේ බලය පැවරී තිබෙන්නේ පාර්ලිමේන්තුවට පමණක් බව කියා සිටියා.

ජන ජීවිතයේ පැවැත්වීමට සහ නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් එල්ල වී ඇතැයි ජනාධිපතිවරයා හැගී යන අවස්ථාවක හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාව තිබෙන බවත් ඔහු සඳහන් කළා ෴

***************************************

ආචාර්ය නන්දලාල් වීරසිංහ දිවයිනට

(07.04.2022 – 16:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස වැඩ භාරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආරාධනා කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන අර්ථ ශ්‍රාස්ත්‍රඥ ආචාර්ය නන්දලාල් වීරසිංහ මීට ටික වේලාවකට පෙර දිවයයිනට ළගාවූ බව වාර්තා වනවා.

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වාසය කළ හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා ජනාධිපතිවරයාගේ ආරාධනය මත අද (07) දිවයිනට පැමිණෙ බවට දැනුම්දී තිබුණා.

මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම ආර්ථික විශේෂඥයෙකු වන නන්දලාල් වීරසිංහ ඉන්දීය ආර්ථිකය බරපතල කඩාවැටීමකට ලක්වූ අවධියේ එම ආර්ථිකය කළමනාකරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පත් කළ කමිටුවේ ප්‍රධානියා ලෙසට ද කටයුතු කළා.

රට තුල පවතින වත්මන් තත්ත්වය මත කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමත් සමග පසුගිය සඳුදා හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාර දුන්නා.

ඒ අනුව, පුරප්පාඩු මහබැංකු අධිපති ධුරය සඳහා එහි හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉදිරි දින කිහිපය තුලදී පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ ෴

***************************************

225 වෙතට ඩලස්ගෙන් විශේෂ ලිපියක්

(07.04.2022 – 16:53 +0530 – hirunews.lk/sinhala)

පවතින ජනතා ගැටලුවලට නිර්පාක්ෂිකව විසඳූම් සෙවිය යුතු බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

225 වෙතටයි යන ශීර්ෂය යටතේ නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ජනතාව අරගලය පාරට ගෙන එනු ලැබුවේ නිර්පාක්ෂිකව බවයි.

කෙසේවෙතත් මෙම තීර්ණාත්මක මොහොතේ සිදුවෙමින් පවතින්නේ උත්තරීතර පාර්ලිමේන්තුවට ද නිගා දෙමින් ද්වේශ සහගතව බෙදෙමින් කෙරෙන වදන් හරඹයක් බව ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දෙනවා.

මෙම දේශපාලන ඛේදවාචකයේ විත්තිකරුවන් කවරෙක් ද යන්න පිළිබඳ කිසිවෙකුට හෝ සැකයක් මතවාදයක් ඇත්නම් ඔවුන් හඳුනාගත හැකි පහසුම ක්‍රියාමාර්ගය වනුයේ මෙරට සියලු විධායක ජනාධිපතිවරුන් විධායක ජනපති ක්‍රමය ආරම්භයේ සිට අද දක්වා සිටින සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්නාඩියක් ඉදිරියට යාම පමණක් බවයි එම ලිපියේ දක්වා ඇත්තේ.

ඩලස් අලහප්පෙරුම නිකුත් කළ සම්පූර්ණ ලිපිය පහතින් :

ප්‍රවෘත්ති නිවේදනය

225 වෙතටයි

ලෝක ප්‍රජාව 13 නපුරු අංකයක් ලෙස සලකයි. එමෙන්ම ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව 225 නපුරු අංකයක් ලෙස පිළිගන්නා පසුබිමක් මේ මොහොතේ නිර්මාණය වෙමින් පවතී. එයට ප්‍රධානතම හේතුවක් ලෙස මා දකින්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද තුළ ආරක්ෂිතව සිටිමින් අපි, අපගේ සහෝදර පුරවැසියාගේ අනාරක්ෂිතභාවය දෙස නොබැලීමයි. එම නිසා ඔහු හෝ ඇය අත්විඳින අනාරක්ෂිතභාවය හෝ පීඩිතභාවය අපට නොදැනෙයි.

30 වසරක යුද්ධය, සුනාමිය සහ කොරෝනා වසංගතය ගෙන ආ අභියෝග තුනටම වඩා බරපතල ආර්ථික අභියෝගයක් මැද අරගල කරන මහජනයා වෙනුවෙන් පෙනී සිටිය යුතුම මොහොතේ අපට අපගේ කාර්යභාරය ගැන හෝ නියෝජනය ගැන තෘප්තිමත් විය හැකිද?

විවිධ ප්‍රභේද හරහා වීදි පුරා ගලා යන්නේ ජනතාව පෙළන ඒ පීඩනයේ ප්‍රකාශනයි. තවමත් සාමකාමී ස්වරූපයෙන් විහිදෙන එම පීඩනයේ ප්‍රකාශන, ප්‍රචණ්ඩකාරී ප්‍රකාශනයක් ලෙස පරිවර්ථනය වීමට ඉඩ නොදීම මහජන නියෝජිතයන් ලෙස අපගේ ප්‍රමුඛතම වගකීමයි. ජනතාව අරගලය පාරට ගෙන ආවේ නිර්පාක්ෂිකවයි. ඒ ඔවුන්ගේ ගැටළු නිර්පාක්ෂික නිසයි. එබැවින් එයට විසඳුම් සෙවිය යුත්තේ ද නිර්පාක්ෂිකවය. එනමුදු මේ ඉතාමත්ම තීරණාත්මක මොහො‍තේදීත් සිදුවන්නේ උත්තරීතර පාර්ලිමේන්තුවට ද නිගාදෙමින් ද්වේශ සහගතව බෙදෙමින් කෙරෙන වදන් හරඹය යි.

අප රටට දරුණු ආර්ථික අවපාතයකට මුහුණ දීමට සිදුවන පෙර ලකුණු දකිමින්, එහි ප්‍රතිඵලයක් ලෙස ජනතා පීඩනය පුපුරා යන විභවයක් නිර්මාණය විය හැකි නුදුරු අනාගතයක් පුරෝකථනය කරමින්, මා පසුගිය අයවැයේ දී, එනම් මීට මාස හතර හමාරකට (4½) පෙර එම අවදානම ගැන සඳහන් කරමින් සහෝදර මහජන නියෝජිතයන්ගෙන් බැගෑපත් ඉල්ලීමක් කළා.

‘ඇයි අපි මෙතෙන්ට වැටුනේ? කවුද මේකට වගකියන්න ඕනේ? ඉතිහාසයේ තිබුණු කොළ පාට ආණ්ඩු ද? නිල් පාට ආණ්ඩු ද? නිල් රතු ආණ්ඩු ද? වර්තමාන ආණ්ඩුව ද? නැහැ. අපි සියලු දෙනාම සම සමව මෙහි විත්තිකරුවන් බවට පත්වෙලා තිබෙනවා. ජනතාව ඉදිරිපිට අපි 225 දෙනාම විත්තිකරුවෝ. අපි අපි අපි විසින්ම මෙහි වගකීම භාරගත යුතුයි. අපි වෙනුවෙන් අපි වගේම තමයි, මේ වගකීමත් භාරගන්න ඕනේ. ඉතින් අපි නිහතමානීව එහි වගකීම භාරගමු. අපි තවමත් පරක්කු නැහැ කියලා මම විශ්වාස කරනවා. අඩුගානේ අපේ අනාගතයේ නාමයෙන්, අද ඉන්න දරුවන්, මතු උපදින්න ඉන්න දරුවන් වෙනුවෙන් එතැනදි අපි 225 ම රටත් සමඟ හිටගමු. හැම පක්ෂයම විපක්ෂයේ ඉන්නකොට බෝසතුන් බවට පත්වෙනවා. ආණ්ඩුවට එනකොට දේවදත්තලා බවට පත්වෙනවා. අපි සියලුදෙනාම සාධාරණය කරන්න උත්සහ ගන්නේ එකිනෙකාට අඟිල්ල දික්කිරීමේ අප්‍රසන්න වගකීම් විරහිත ඉතිහාසයට විනා මේ ර‍ටේ අනාගතයට නොවේ. නමුත් ඉතිහාසයට හැරෙමින් ඇඟිලි දිගු කරමින් තවදුරටත් සිටීමේ වරප්‍රසාදයක් අප කිසිම කෙනෙකුට නැහැ. අඩුපාඩු සකස් කරගෙන, වැරදි හදාගෙන ඉදිරියට යෑම මිස අපට වෙන විකල්පයක් නැහැ. අප එක්ව ඉදිරියට නොයතොත් සිදුවන්නේ වෙන් වෙන්ව වැළලී යාමටයි.’

(උපුටා ගැනීම – හැන්සාඩ් වාර්තාව – 2021 නොවැම්බර් 19)

අද මෙරට තරුණ පරපුර 225 ම එපා කියමින් මොර නගමින් අපව ප්‍රතික්‍ෂේප කරන්නේ මේ කියමන සැබෑ කරමින්. අපේ පුරවැසියන්, ශ්‍රී ලාංකිකයන්, ඔවුන් තම රටට අසීමිතව ආදරය කරන උදාර ජන කොට්ඨාසයක්. එම නිසා මා දැඩිව විශ්වාස කරනවා මහජන නියෝජිතයන් ලෙසට අප එක්ව ජනතා විශ්වාසනීයත්වය දිනාගත හැකි හරවුම් ලක්ෂයකට පියවර තැබුවොත් ඔවුන් අප තේරුම් ගන්නා බව. තවමත් එයට ප්‍රමාද නැහැ. ජනතාවට සවන් දෙන්න, ජනතාවට ප්‍රතිචාර දක්වන්න, ජනතාවට සංවේදී වන්න, ජනතාවට උපකාරී වන්න, ජනතාවට සුභවාදී වන්න, ජනතාව දෙස විත්තිකරුවන් ලෙස නොව පැමිණිලිකරුවන් ලෙස බලන්න.

මෙම දේශපාලන ඛේදවාචකයේ විත්තිකරුවන් කවරෙක් ද යන්න පිළිබඳව කාට හෝ සැකයක් මතවාදයක් තිබේනම් ඔවුන් හඳුනාගත හැකි පහසුම ක්‍රියාමාර්ගය වනුයේ මෙරට සියලු විධායක ජනාධිපතිවරුන් විධායක ජනාධිපති ක්‍රමය ආරම්භයේ සිට අද දක්වා සිටින සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්නාඩියක් ඉදිරිපිටට යෑම පමණි.

මාගේ පාසැල් මැණියන්ගෙන් මා හට දායාද වූ උදෘත පාඨය උතුම් බුදු වදනක්. ‘අප්පමාදෝ අමතපදං’ එනම්, අප්‍රමාදව කටයුතු කරමු යන්නයි. නමුත් වැදගත් වන්නේ 225 වන අප එය අවබෝධ කරගන්නට තවත් ප්‍රමාද වනවා ද යන ප්‍රශ්නය පමණි. ගෞරවය, ආදරය නොමැති බලය විසින් ඉතිහාසය පුරාම ලොවට දී ඇති අමිහිරි, අප්‍රසන්න පණිවිඩ කියවා ගන්නට අප තවත් ප්‍රමාද විය යුතු නැත.

ඩලස් අලහප්පෙරුම,
මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,
2022 අප්‍රේල් මස 07 දින දීය.

***************************************

හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහගේ නිවසට පහරදුන් 8 දෙනාට ඇප

(07.04.2022 – 17:25 +0530 – hirunews.lk/sinhala)

හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහගේ නිවසට පහරදී අලාභ හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 8 දෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබෙනවා.

ඒ ඔවුන් පොළොන්නරුව අතිරේක මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු එස්.කේ. වික්‍රමරත්න හමුවට අද (07) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

ඒ අනුව, සැකකරුවන්ට වෙන් වෙන් වශයෙන් රුපියල් 20,000 බැගින් මුදල් ඇප මත මුදා හැරීමටයි අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

පසුගිය සඳුදා (04) රාත්‍රියේ පොළොන්නරුවේ පිහිටි හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහගේ නිවසට පුද්ගලයින් පිරිසක් විසින් පැමිණ පහරදී තිබුණා ෴

***************************************

ශ්‍රී ලංකා විද්‍යාතිවර්ධන සංගමයෙන් ජනපතිට ලිපියක්

(07.04.2022 – 18:18 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඉහළම පෙළේ විද්‍යාර්ථයින් 6000 කගේ සාමාජිකත්වයෙන් සැදුම්ලත් අග්‍රස්ථ සංවිධානයක් වන ‘ශ්‍රී ලංකා විද්‍යාතිවර්ධන සංගමයේ’ මහා මණ්ඩල සභාව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත විවෘත ලිපියක් යොමුකර තිබෙනවා.

පසුගිය මාස කිහිපයක් තිස්සේ රටේ සිදුවූ ආර්ථික අවපාතය ඒ සමග උද්ගත වූ සමාජ කැළඹීම හා දේශපාලන අස්ථාවරභාවය පිළිබඳ ඉතා කනගාටුවෙන් යුතුව විමසිලිමත් වු බවයි එම ලිපිය මගින් පෙන්වා සෙන්නේ.

මෙම බැරෑරුම් අවස්ථාවේ ඉතා ඉවසිලිවන්තව හා ගැටුම්කාරී තත්ව ඇති නොවන ලෙස කල් ගෙවන ලෙසට සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින අතර සාමකාමී උප්ඝෝෂණ කිරිමේ ජනතාවගේ අයිතියට ගරු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් මෙන්ම සියලු රාජ්‍ය පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කරනවා.

***************************************

පොල්දූව මංසන්ධියෙන් වැසුණු පාර්ලිමේන්තු මාර්ගය විවෘත වෙයි – අදත් (07) ප්‍රදේශ කිහිපයක විරෝධතා

(07.04.2022 – 18:21 +0530 – hirunews.lk/sinhala)

පොල්දූව මංසන්ධියෙන් තාවකාලිකව වසා දමා තිබූ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ පාර්ලිමේන්තුව දෙසින් වාහන පිටවන මංතීරුව අද (07) පස්වරුවේ යළි විවෘත කර තිබෙනවා.

අද (07) පෙරවරුවේ සිට ජීවන වියදම ඉහළ යාම ඇතුලු ගැටලු වලට එරෙහිව කලාකරුවන් ඇතුළු පිරිස් එම ස්ථානයේ විරෝධතාවයේ ද නිරත වුණා.

මේ අතර ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව ඇතුලු ජනතා ඉල්ලීම් මුල් කර ගනිමින් ප්‍රදේශ කිහිපයකදී විරෝධතා පැවැත්වුණා.

දඹුල්ල නගර සභාවට ද අද (07) පොලිස් ආරක්ෂාව යොදවා තිබුනේ එම නගර සභාව ඉදිරිපිට පැවති විරෝධතාවයක් හේතුවෙන්. කැකිරාව ප්‍රාදේශීය සභාව ඉදිරිපිටද අද (07) විරෝධතාවයක් පැවැත්වුණා.

මේ අතර, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගේ නාවලපිටියේ පිහිටි කාර්යාලය වෙත පැමිණි විරෝධතාකරුවන් පිරිසක් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

එසේම, දෙමටගොඩ පිහිටි ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඉදිරිපිටද අද (07) දහවල් විරෝධතාවයක් පැවැත්වුණා.

ඊට එක්ව සිටියේ අසල පිහිටි ඉන්ධන පිරවුම්හලෙන් ඩීසල් ලබා ගැනීම සඳහා දින ගණනක් පෝලීමේ රැඳී සිටි බස් සහ ලොරි රථ රියදුරන් පිරිසක්.

මේ අතර ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා පැවති විරෝධතාවයක් හේතුවෙන් කොළඹ, මහනුවර ප්‍රධාන මාර්ගය අද දහවල් කඩුගන්නාව ප්‍රදේශයෙන් මුලුමුනින්ම අවහිර වුණා.

එසේම, රෝහල් කිහිපයක වෛද්‍යවරු හෙද හෙදියන් හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (07) උද්ඝෝෂණ වල නිරත වුණේ රටේ වත්මන් තත්වයට විරෝධය පළ කරමින්.

නීතීඥවරුන් පිරිසක් ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරකින ලෙස ඉල්ලා මාවනැල්ල නගරයේදී විරෝධාවක නිරත වුණා. එමෙන්ම විදෙස් රටවල් කිහිපයක සිටින ශ්‍රී ලාංකිකයන්ද අද (07) විරෝධතා සංවිධාන කර තිබුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *