ලිට්රෝ ගෑස් සිලින්ඩරය 835 කින් වැඩි වෙයිද?

ලිට්රෝ ගෑස් සිලින්ඩරය 835 කින් වැඩි වෙයිද?

*********************************************

ලිට්රෝ ගෑස් සිලින්ඩරය 835 කින් වැඩි වෙයිද?

(12.03.2022 – 13:35 +0530 – hirunews.lk/sinhala)

ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 835 කින් ඉහළ නැංවීමේ අවශ්‍යතාවය පවතින බව ලිට්රෝ සමාගම පවසනවා.

එහි ආරංචි මාර්ග සඳහන් කළේ ඩොලරයේ වටිනාකම ඉහළ යාම සහ ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් එම මිල වැඩිකිරීමේ අවශ්‍යතාවය පවතින බවයි.

කෙසේ වෙතත් ලිට්රෝ ගෑස් මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව එම සමාගම සඳහන් කළා.

දැනට ලිට්රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,700 ක මිලකට අලෙවි වන අතර පවතින තත්ත්වය හමුවේ එය රුපියල් 835 කින් ඉහළ නැංවුවහොත් එය රුපියල් 3,235 ක් දක්වා ඉහළ යනු ඇති.

පවතින ඩොලර් අර්බුදය ආනයනික කිරිපිටි මිළ ගණන් සඳහා ද බලපෑමක් සිදුකර ඇති අතර, මිළ වැඩි කිරිම සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයකට එළඹ නොමැති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළා.

මේ අතර ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 30 කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පියවර ගැනීමත් සමග අද (12) පාන් අලෙවි කෙරුණේ රුපියල් 110 ක නව මිල යටතේ යි.

එමෙන්ම සෙසු බේකරි නිෂ්පාදන මිලද රුපියල් 10 කින් හෝ ඊට වැඩි අගයකින් ඉහළ නංවා ඇති බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා.

ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 40 කිනුත්, සෙරන්ඩිබ් සමාගම තිරිගු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 35 කිනුත් ඉහළ නැංවීමත් සමගයි පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිල ගණන් මෙලෙස ඉහළ නැංවීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පියවර ගත්තේ.

+++++++++++++++

බස් ගාස්තු සම්බන්ධයෙන් ලබන සතිය මුල විසඳුමක්

(12.03.2022 – 13:42 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් ගාස්තු සම්බන්ධයෙන් ලබන සතිය මුල දී විසඳුමක් ලබාදෙන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ බස් හිමියන්ට යම් සහනාධාරයක් හරහා ඩීසල් ලබාදිය හැකිදැයි මුදල් අමාත්‍යාංශය සමඟ ද සාකච්ඡා කරන බවයි.

+++++++++++++++

ඩීසල් මිල ඉහළ යාමෙන් බස් ධාවනය අඩාල වෙයි – ඉන්ධන සහනාධාරයක් ගැනත් සාකච්ඡා

(12.03.2022 – 15:58 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ දැමුව ද, බස් ගාස්තු ඉහළ දැමීමේ අදහසක් නොමැති බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමෙන් පසුව යම් සහනාධාරයකට අනුව, ශ්‍රී ලංගම ඩිපෝ හරහා ඉන්ධන සපයා ගාස්තුව නොවෙනස්ව පවත්වාගෙන යාමට උත්සාහ දරන බවයි ප්‍රවාහන අමාත්‍යවරයා කියා සිටියේ.

ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තු ඉහළ දැමීමක් හෝ ඉන්ධන සහනාධාරයක් ලබාදිය යුතු බවට බස් සංගම් ඉල්ලීමක් කළා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද ඉන්ධන මිල වැඩි කිරීමත් සමඟ බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවයි බස් සංගම් පෙන්වා දෙන්නේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩි කිරීමට කටයුතු කළා.

ලංකා අයි.ඕ.සී. සමාගම ද පෙරේදා (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු වර්ගයේ ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් ඉහළ නැංවීමට පියවර ගත්තා.

මෙලෙස ඉන්ධන මිල ඉහළ නැංවීම අදාළ ආයතන දෙකම (2) ඉතිහාසයේ වැඩිම අගයක් සහිතව සිදුකිරීම විශේෂත්වයක්.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ, ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ සංස්ථාව තවමත් ඩීසල් වලින් පාඩු ලබන බවයි.

ඉන්ධන මිල ඉහළ යාමත් සමග ක්ෂේත්‍ර රැසක අර්බුදකාරි තත්ත්වයක් මතුව තිබෙනවා. කෙසේ වෙතත් ලංකා අයි ඕ සී සමාගමේ ඔටෝ ඩීසල් මිලට සාපේක්ෂව සිපෙට්කෝ ඔටෝ ඩීසල් මිල පවතින්නේ රුපියල් 38 ක් අඩුවෙන්.

නව සංශෝධනයෙන් ඩීසල් සඳහා සුළු සහනයක් හිමිවී ඇත්තේ බස් කර්මාන්තයට හා ධීවර මෙන්ම කෘෂි ක්ෂේත්‍රවලටයි.

කෙසේ වෙතත්, ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බස් ගාස්තුව යළි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව බස් සංගම් පෙන්වා දෙනවා.

මේ අතර, ඩීසල් මිල ඉහළයාම හේතුවෙන් දිවයින පුරා බස්රථ ධාවනය අද (12) දිනයේ සැලකිය යුතු අන්දමින් අඩාල වූ බවයි බස් සංගම් පෙන්වා දුන්නේ.

මේ සඳහා රජය විසින් ඉදිරි දින දෙක (2) තුළ නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ද ඔවුන් කියා සිටියා.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ ගැටලු සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා කර ලබන සතිය මුලදී විසඳුමක් ඉදිරිපත් කරන බවයි.

ඉන්ධන මිල ඉහළ දැමීම අනුව, සිපෙට්කෝ පිරවුම්හල්වලින් ඔටෝ ඩීසල් සඳහා යම් සහනයක් ලැබුණ ද පෙට්‍රල් සඳහා එවැනි සහනයක් හිමි නොවන්නේ ලංකා අයි.ඕ.සී සහ සමාගම් වල පෙට්‍රල් මිල සමාන වීම හේතුවෙන්.

මේ නිසා ත්‍රිරෝද රථ ගාස්තුව ද හෙට (13) සිට පළමු (1) කිලෝමීටරය සඳහා රුපියල් 70 ක් සහ දෙවැනි (2) කිලෝමීටරයේ සිට රුපියල් 55 ක් ලෙස ඉහළ දැමීමට එම සංගම් කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් සිපෙට්කෝ ඉන්ධන මිළ ද ඉහළ දැමීමත් සමග ත්‍රිරෝද රථ රියදුරන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.

ධීවර ප්‍රජාව ද පෙන්වා දෙන්නේ නව ඉන්ධන මිලත් සමග තම ජීවනෝපාය ද අර්බුදයට ලක්ව ඇති බවයි.

+++++++++++++++

ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවුයේ විපක්ෂය කළ ඉල්ලීමකට – අමාත්‍ය ගාමිණි ලොකුගේ

(12.03.2022 – 18:20 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවුයේ විපක්ෂයත් වෙළෙද ප්‍රජාවත් පසුගිය කාලයේදී සිදුකළ ඉල්ලීමක් හේතුවෙන් බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ ප්‍රකාශ කර සිටිනවා.

කැස්බෑව නගර ශාලාවේ අද (12) පැවැති ලියවරුණ කාන්තා දින සැමරුම වැඩසටහනට එක්වීමෙන් පසු මාධ්‍යවෙදීන් නැගු පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

“වීපක්ෂය සහ වෙළෙද ප්‍රජාව පසුගිය කාලයේ ඉල්ලීමක් කළා ඩොලරය පාවෙන්න දෙන්න කියලා. ඒ අය මුදල් ඇමතිවරයාට, මහ බැංකු අධිපතිවරයාට දොස් කිව්වා. රජය කල්පනා කරලා පෙරේදා ඩොලරය පාවෙන්න දැම්මා. ඊයේ (11) වෙනකොට ඩොලරයක් රුපියල් 260 ක් බවට පත්වුණා. රුසියානු යුද්ධය නිසා තෙල් බැරලය ඩොලර් 130 ක් වුණා. ඒ පාඩුව දරන්න පුළුවන් කමක් නැහැ. අපි ගණනය කරලා බැලුවා කොච්චර පාඩුද කියලා අපිත් තීරණය කළා ඉන්ධන මිල ඉහළ දමන්න” අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙසේ අදහස් ප්‍රකාශ කර සිටියා,

“ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ඉරිදා දිනයේදීත් සිදුකරනු ලබනවා. පෝලිම් නැතුව ඉන්ධන ගන්න පුළුවන් නුමුත් භාණ්ඩ මිල වැඩිවෙන එක නවත්වන්න බැහැ. ඩොලරය මිල වැඩිවෙන කොට භාණ්ඩ මිල වැඩිවෙනවා. පසුගිය ආණ්ඩුව පාස්කු ප්‍රහාරය වුනාට පස්සේ ඉන්ධන ගත්ත දින 90, 250, 365 ණයට. දැන් අපට ඒවා ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා” අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර ඊයේ (11) දිනයේදී ශ්‍රී ලංකාවට ඉන්ධන රැගෙන ආ නෞකාවක් සඳහා ඩොලර් මිලයන 56 ක් ගෙවීමට සිදුවූ බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා. එම නෞකාවේ ඉන්ධන සඳහා ගෙවීමට තිබුනේ ඩොලර් මිලියන 42 ක් වුවත්, මිල වැඩිවීම හේතුවෙන් ඩොලර් මිලියන 56 ක් ගෙවීමට සිදුවූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

වැඩිවූ ඉන්ධන මිල හමුවේ බස් ගාස්තු පිළිබඳව හෙට (13) දිනයේදී සාකච්ජා කිරීමට නියමිතව ඇති බවද බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

විදුලිබල උත්පාදනය සඳහා ඉන්ධන ලබාදීම සිදුකරන බවත්, විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් තාප බලාගාර ක්‍රමවත් අයුරින් පාලනය කර ගැනීමක් සිදුකළහොත් ගැටලුවක් ඇති නොවන බවයි මෙහිදී බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේ.

ජනතාවට ආණ්ඩුව එපා වී නැති බවත් තවත් මාස 03 කින් ජනතාවට අවශ්‍ය සියලු දේ ලබාදීමට කටයුතු කරනු ලබන බවයි ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා කියා සිටියේ.

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස ඉහළට

(12.03.2022 – 14:15 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ වනවිට 75,42,346 දෙනෙකු බූස්ටර් මාත්‍රාව ලබාගෙන තිබෙනවා.

ඊයේ (11) දිනයේ පමණක් පුද්ගලයින් 15,073 දෙනෙකු මෙලෙස බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

+++++++++++++++

කොරෝනා ආසාදිතයින් 100 දෙනෙකු පූර්ණ සුවයට

(12.03.2022 – 15:17 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් 100 දෙනෙකු අද (12) දිනයේ දී සුවය ලබා තිබෙනවා. ඒ අනුව මෙරට වෛරසය ආසාදනය වී සුවය ලද සමස්ත සංඛ්‍යාව 6,18,797 ක්.

තවදුරටත් කොරෝනා ආසාදනය වී 20,205 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

සිදු වූ මරණ සංඛ්‍යාව 16,381 ක් ෴

තවත් කොරෝනා මරණ 9 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා මරණ ගණන 16,390 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 347 ක් මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 6,55,730 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

+

@@@ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය වීම @@@

රුසියන් අර්බුදය මැද වෙළෙඳ නෞකාවලටත් තර්ජන එල්ල වෙයි ද ?

(12.03.2022 – 07:09 +0530 – hirunews.lk/sinhala)

කළු මුහුදේ සහ අසෝව් මුහුදේ සිරවී සිටින වෙළෙඳ නැව් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට පහරදීමේ අවදානමකින් තොරව යාත්‍රා කිරීමට හැකි වන පරිදි ආරක්ෂිත සමුද්‍ර කොරිඩෝවක් නිර්මාණය කිරීමට එක්සත් ජාතීන්ගේ නැව් ඒජන්සිය උත්සාහ කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කළා.

ඒ ඊයේ (11) දිනයේ දී යි.

රුසියාවේ – මොස්කව් අගනුවර සිට ‘විශේෂ මෙහෙයුමක්’ පෙබරවාරි 24 වන දින යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියාව විසින් ඇරඹූ අතර, ඒ සඳහා සියලුම වෙළෙඳ නැව් ගමන් කරන මුහුදු කලාපවල මාර්ගයන් ද සීමා කරනු ලැබුවා.

යුක්රේන නාවික නිලධාරීන් රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ සටන්, මේ හේතුවෙන් විදේශීය ධජ සහිත යාත්‍රා 100 ක් සහ නාවිකයින් සිය ගණනක් යුක්‍රේන වරායවල අතරමං වූ බවයි.

ඊයේ (11) රුසියානු ගුවන් ප්‍රහාර මගින් යුක්රේනයේ තවත් නගර කිහිපයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල වුණා.

මොස්කව් නුවර සිට සියලුම හමුදා ප්‍රහාර තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත කිරීමට රුසියාව සූදානම් බව ද වාර්තා වනවා.

මේ බව නව චන්ද්‍රිකා ඡායාරූප මගින් හෙළිව ඇති අතර, යුක්‍රේනයේ කිව් අගනුවර වෙත ළඟා වන විශාල රුසියානු රථ පෙළක් නගරයෙන් පිටත නගර සහ ඇතුළත රැඳවීමටත් පියවර ගෙන තිබෙනවා.

ඊයේ (11) රාත්‍රිය වනවිට යුක්‍රේනයේ කිව් නුවර අවට යළිත් රුසියානු හමුදා පැමිණෙමින් වටලා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර යුක්රේනය සහ රුසියාව අතර පවතින යුද්ධයට තම රට මැදිහත්වුවහොත් එය තුන්වන ලෝක යුද්ධයක ආරම්භය විය හැකි බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.

ඒ අනුව ඔහු සඳහන් කර ඇත්තේ එම යුද්ධයට ඍජුව යුදමය මැදිහත්වීමක් සිදු කිරීමට අපේක්ෂා නොකරන බවයි.

මේ අතර යුක්රේනයට එරෙහි ප්‍රහාර රුසියාව පුළුල් කර ඇති අතර, යුක්රේනයේ ලුට්ස්ක්, ඉවානෝ -ප්‍රැන්කිව්ස්ක් සහ ගිනිපෝ නගරවලට ප්‍රහාර දැඩි වෙමින් පවතිනවා.

එමෙන්ම, යුද්ධයේ උපායමාර්ගික සන්ධිස්ථානයකට යුක්රේනය පැමිණ සිටින බව එරට ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළා.

ඒ, රුසියානු හමුදා කීව් අගනුවර අත්පත් කර ගැනීම සඳහා නැවත සංවිධාන වෙමින් සිටින බව අනාවරණ වීමත් සමඟයි.

චන්ද්‍රිකා ඡායාරූපවලින් ඊයේ (11) තහවුරු කළේ රුසියානු හමුදා දිසා කිහිපයකින් අගනුවර වටකර එය අත්පත් කරගැනීමට සූදානම් වන බවයි.

අගනුවර රෝහලකට සහ පාසල් රැසකට ද රුසියානු ප්‍රහාරවලින් හානි සිදුව ඇති බව යුක්රේන බලධාරින් ප්‍රකාශ කරනවා ෴

+++++++++++++++

යුක්රේනයේ ප්‍රධාන නගර කිහිපයක අදත් අනතුරු ඇඟවීමේ සයිරන් සංඥා

(12.03.2022 – 14:14 +0530 – hirunews.lk/sinhala)

යුක්රේන රුසියා යුද ගැටුම් පවතින පසුබිමක යුක්රේනයේ ප්‍රධාන නගර කිහිපයක අද (12) පෙරවරුවේ අනතුරු ඇඟවීමේ සයිරන් සංඥා නිකුත් වී තිබෙනවා.

ඒ අනුව කාර්කිව්, කීව් සහ සුමි යන නගරවල ප්‍රදේශ කිහිපයක එලෙස ගුවන් අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත ඒකරාශී වී තිබෙනවා.

චන්ද්‍රිකා ඡායාරූපවලින් ඊයේ (11) තහවුරු කළේ රුසියානු හමුදා කණ්ඩායම් කිහිපයකින් යුක්රේනයේ කීව් අගනුවර වටකර එය අත්පත් කරගැනීමට සූදානම් බවටයි.

අගනුවර රෝහලකට සහ පාසල් රැසකටද රුසියානු ප්‍රහාරවලින් හානි සිදුව ඇති බව සඳහන්.

මේ අතර යුද ගැටුම් ආරම්භ වූ දා සිට යුක්රේනයේ මිලියන 1.5 ක පිරිසක් පෝලන්ත දේශ සීමාවට පලාගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා ෴

+++++++++++++++

යුක්රේන අගනුවර ආසන්නයේ ගැටුම් උත්සන්න වෙයි

(12.03.2022 – 15:21 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයේ කීව් අගනුවරට වයඹ දෙසින් රුසියානු ගොඩබිම් හමුදා සහ යුක්රේන හමුදා අතර ගැටුම් උත්සන්න වී ඇති බව වාර්තා වනවා.

ඉදිරි දින කිහිපය තුළ අගනුවර ඉලක්ක කරගෙන ප්‍රහාර දියත් කිරීමේ අරමුණින් රුසියානු හමුදා එක්රැස් කරන බවයි බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

කාර්කිව්, චර්නිව්,සුමී සහ මරියුපොල් නගරවලද ගැටුම් පවතින අතර ඒවා වෙත රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාර අඛන්ඩව එල්ල වන බව සඳහන්.

මේ අතර, යුක්රේන උප අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ ගැටුම් පවතින නගරවලින් සිවිල් වැසියන් ඉවත් කර ගැනීමේ මානුෂවාදී වේදිකා අද (12) විවෘත කිරීමට හැකිවනු ඇති බවයි.

දින 12 ක් තිස්සේ රුසියානු හමුදා විසින් වටලා සිටින ගිණිකොණ දිග මරියුපොල්වලට එල්ල වු රුසියානු ප්‍රහාරවලින් සිවිල් වැසියන් 1582 දෙනෙකු මියගොස් ඇති බව නගර කවුන්සිලය මාර්ගගත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා ෴

+++++++++++++++

යුක්රේන අගනුවර අභියස දරුණු ගැටුම්

(12.03.2022 – 19:42 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයේ කීව් අගනුවරට වයඹ දෙසින් රුසියානු ගොඩබිම් හමුදා සහ යුක්රේන හමුදා අතර ගැටුම් උත්සන්න වී ඇති බව වාර්තා වනවා.

ඉදිරි දින කිහිපය තුල අගනුවර ඉලක්ක කරගෙන ප්‍රහාර දියත් කිරීමේ අරමුණින් රුසියානු හමුදා එක්රැස් කරන බවයි බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

කාර්කිව්, චර්නිව්,සුමී සහ මරියුපොල් නගරවලද ගැටුම් පවතින අතර ඒවා වෙත රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාර අඛන්ඩව එල්ල වන බව සඳහන්.

මේ අතර, යුක්රේන උප අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ ගැටුම් පවතින නගරවලින් සිවිල් වැසියන් ඉවත් කර ගැනීමේ මානුෂවාදී වේදිකා අද (12) විවෘත කිරීමට හැකිවනු ඇති බවයි.

දින 12 ක් තිස්සේ රුසියානු හමුදා විසින් වටලා සිටින ගිණිකොණදිග මරියුපොල් වලට එල්ල වු රුසියානු ප්‍රහාරවලින් සිවිල් වැසියන් 1582 දෙනෙකු මියගොස් ඇති බව නගර කවුන්සිලය මාර්ගගත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

මේ අතර, යුක්රේන ආක්‍රමණය නිසා බටහිර රටවල් පනවා ඇති සම්බාධක හේතුවෙන් අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය පෘථිවිය මතට කඩා වැටීමේ අවදානමක් පවතින බවට රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය රොස්කොමොස් අනතුරු ඇඟවීමක් කළා.

එහි ප්‍රධානී දිමිත්‍රී රොගෝසින් කියා සිටියේ එය නිවැරදි කක්ෂයට යොමු කිරීම පාලනය කරන රුසියානු කුටීරයේ මෙහෙයුම් සම්බාධක හේතුවෙන් අඩාල විය හැකි බවයි.

මේ නිසා ටොන් 500 ක් බරැති ගගන මධ්‍යස්ථානය සාගරයට හෝ පොලොව මතට කඩා වැටිය හැකි අතර, එය රුසියාව මත පතිත නොවන බවයි ඔහු ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *