විනිමය අනුපාත වෙනස හමුවේ ඩොලරය රුපියල් 229 ත් ඉක්මවයි

විනිමය අනුපාත වෙනස හමුවේ ඩොලරය රුපියල් 229 ත් ඉක්මවයි

*********************************************

විනිමය අනුපාත වෙනස හමුවේ ඩොලරය රුපියල් 229 ත් ඉක්මවයි

(08.03.2022 – 19:41 +0530 – hirunews.lk/sinhala)

මහබැංකුව මගින් නම්‍යශීලි විනිමය අනුපාතයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඩොලරයක විකුණුම් මිල අද (08) රුපියල් 229.99 දක්වා ඉහළ ගියා.

ඩොලරයක ගැණුම් මිල වූයේ රුපියල් 225. 20 ක්.

කෙසේ වෙතත් මහ බැංකුව විශ්වාසය පළ කරන්නේ ඩොලරයේ අගය රුපියල් 230 සීමාව නොඉක්මවනු ඇති බවටයි.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණ කිරීමට මහබැංකුව ඊයේ (07) තීරණය කරනු ලැබුවා.

විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීබවක් ඇති කිරීම සඳහා මෙලෙස ඇමරිකානු ඩොලරයක අනුපාතය රුපියල් 230 දක්වා ඉහළ නංවන බවයි මහබැංකුව නිවේදනය කළේ.

බාහිර කම්පනවල දැඩි බව සහ දේශීය ආර්ථිකයේ මෑතකාලීන ප්‍රවනතා සැලකිල්ලට ගනිමින් එවැනි ආර්ථික තත්ත්වයන්ට මුහුණදීම සඳහා මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය මගින් පසුගිය 04 වන දා පුළුල් ප්‍රතිපත්ති මාලාවක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ප්‍රතිපත්ති පොලී අනුපාතික, ණය කාඩ්පත්, උකස් පොලී ආදිය ඉහළ නැංවූයේ ඊට අනුකූලවයි.

උද්ධමනය, විදේශීය අංශය සහ මූල්‍ය අංශයේ ස්ථායිතාව උදෙසා තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව මහබැංකුව එහිදී ප්‍රකාශ කළා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙලෙස විනිමය අනුපාතිකයෙහි නම්‍යශීලීතාවකින් ගනුදෙනු කිරීම සදහා වෙළදපොළට ඉඩ සලසා දෙන බවයි මහබැංකුව ප්‍රකාශ කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගියදා නිර්දේශ කළේ වෙළඳපොල අගය මත විදේශ විනිමය පවත්වාගෙන යා යුතු බවයි.

ඒ අනුව මෙරට විදේශ විනිමය වෙළඳපොල අගයට ගැළපෙන පරිදි නිදහස් කිරීමට මහ බැංකුව ඊයේ (07) රාත්‍රියේ පියවර ගත්තා.

රුපියලට සාපේක්ෂව ඩොලරය සඳහා ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරමින් ඩොරලයක අගය රුපියල් 229.99 ක් දක්වා ඉහළ ගියේ ඒ අනුවයි.

මෙලෙස ඩොලරයේ අගය ඉහළ යාමට සාපේක්ෂව සෙසු රටවල විනිමය අනුපාතිකයන්ද ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමක විකුණුම් මිල ද ඉහළ ගොස් ඇත්තේ රුපියල් 302.92 ලෙසින්.

එහි ගැණුම් මිල වන්නේ රුපියල් 294.06 ක්.

මහබැංකුව ප්‍රකාශයට පත් කළ විනිමය අනුපාතිකවලට අනුව අද (08) යුරෝ 1 ක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 254.37 ක් ලෙසින්. යුරෝවක ගැනුම් අනුපාතය රුපියල් 244.48 ක්.

මීට අමතරව ඕස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 170.15 ක් ලෙසත්, කැනේඩියානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 180.90 ක් ලෙසත්, චීන යුවාන් හෙවත් රෙන්මින්බි විකිණුම් අනුපාතය රුපියල් 36.71 ක් ලෙස අද (08) සටහන් වුණා.

එමෙන්ම බහරේන් ඩිනාරයක අනුපාතය රුපියල් 536 ක් ලෙසත්, කුවේට් ඩිනාරයක් රුපියල් 665 ක් ලෙසත් ඕමාන් රියාලයක් රුපියල් 524.90 ක් ලෙසත් සටහන් වූ අතර, සෞදි රියාල් එකක අනුරූපිත අනුපාතිකය රුපියල් 53.86 ක් ලෙස සටහන් වුණා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් විනිමය අනුපාතිකය රුපියල් 55.01 ක් ලෙස සටහන් වූ අතර, කටාර් රියාල් එකක මිල සටහන් වූයේ රුපියල් 55.30 ක් ලෙසින්.

මේ අතර පවතින ආර්ථික තත්වය හමුවේ ගෑස්, විදුලිය හා ඉන්ධන යන ක්‍ෂේත්‍ර සඳහා මිල සූත්‍රයක් අවශ්‍ය බව ජාතික වානිජ මණ්ඩලය ප්‍රකාශ කළා.

මේ අතර විගමනික ශ්‍රමිකයන් විසින් මෙරටට ප්‍රේෂණය කරනු ලබන ඇමරිකානු ඩොලරයක් වෙනුවෙන් දැනට ගෙවන රුපියල් 10 ක දිරි දීමනාව රුපියල් 38 දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.

විගමණික ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණය දිරිමත් කිරීම, ඔවුන්ගේ සේවය ඇගයීම සහ ඔවුන්ගේ යැපෙන්නන්ට වැඩි ආර්ථික ප්‍රතිලාභ ලබාදීම අරමුණු කරගෙනයි මෙම තීරණයට එළඹ ඇත්තේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල සඳහන් කළේ මෙම තීරණයට එළඹියේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 202 ක් ලෙස පැවති අවස්ථාවේදී බැවින් පවතින විනිමය අනුපාතය අනුව විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා ලබාදෙන්නේ අමතර රුපියල් අටක් (8) පමණක් බවයි.

ඒ අනුව එම ප්‍රේෂණ සඳහා ඇමරිකානු ඩොලරයකට රුපියල් 238 ක් හිමිවනවා.

මේ අතර කොරෝනා ව්‍යාප්තියෙන් පසු ජාතික ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සහ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ඇතුළු දේශීය ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ස්ථාපිත, ආර්ථික සභාව සති පතා කැදවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සභාපතීත්වයෙන් පිහිටුවා ඇති ආර්ථික සභාවට අග්‍රාමාත්‍යවරයා, මුදල්, වෙළද, මහාමාර්ග, කෘෂිකර්ම, වැවිළි කර්මාන්ත යන අමාත්‍යවරුන් මෙන්ම මහබැංකු අධිපතිවරයා, ඇතුලු 11 දෙනෙකු ඇතුළත්.

***************************************

අත්‍යවශ්‍ය ස්ථානවලට විදුලිය ලබාදීමට විශේෂ මෙහෙයුම් මැදිරියක්

(08.03.2022 – 19:55 +0530 – hirunews.lk/sinhala)

විදුලිය අත්‍යවශ්‍ය ස්ථාන වෙත අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි කප්පාදුවකින් තොරව විදුලිය ලබාදීම සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කරන ලෙස විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ විදුලිබල අමාත්‍යංශය, ලංකා විදුලි බල මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුලු රාජ්‍ය ආයතන කිහිපයක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග විදුලිබල අමාත්‍යංශයේ අද (08) පැවති සාකච්ඡාවකදීයි.

අදත් (08) උදෑසන 8 සිට රාත්‍රී 11 දක්වා කාලය තුල අවස්ථා 2 ක් යටතේ E සහ F යන කළාප දෙකට පැය 7½ ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන අතර සෙසු කළාප සඳහා පැය 3 ක විදුලි කප්පාදුවක් සිදුවනවා.

මේ අතර පවතින ඩීසල් හිඟය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල අදත් (08) දිගු පෝලිම් පැවති බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා.

***************************************

හෙට (09) දිනයේ විදුලි කප්පාදු සිදු කරන වේලාවන් මෙන්න

(08.03.2022 – 19:59 +0530 – hirunews.lk/sinhala)

හෙට දිනයේ විදුලි කප්පාදු සිදු කරන වේලාවන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ඒ – බී – සී – ඩී – ඊ – එෆ් – ජී – එච් – අයි – ජේ – කේ සහ එල් කලාප සඳහා පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා පැය 2½ ක විදුලි කප්පාදුවක් සිදුවනවා.

එමෙන්ම එම කලාප සඳහා පස්වරු 6 සිට රාත්‍රී 11 දක්වා පැය 1 යි මිනිත්තු 15 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමටද නියමිතයි.

පී – කිව් – ආර් – එස් – ටී – යු – වී – ඩබ්ලිව් යන කලාප සඳහා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා පැය 2 ක විදුලි කප්පාදුවක්ද පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා පැයක (1) විදුලි කප්පාදුවක් ද සිදුකිරීමට නියමිතව තිබෙනවා ෴

***************************************

කොත්තුවට පේටන්ට් අයිතිය

(08.03.2022 – 20:17 +0530 – hirunews.lk/sinhala)

කොත්තුව සඳහා පේටන්ට් අයිතිය ලබා ගත යුතු බව ආචාර්ය චරිත හේරත් පවසනවා.

අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව සදහන් කළා.

***************************************

ජනපති ආර්යා අයෝමා රාජක්ෂගේ මව අභාවප්‍රාප්ත වෙයි

(08.03.2022 – 22:20 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියගේ දයාබර මෑණියන් වූ පද්මා දේවි පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ෆ්‍රෙස්නෝ හිදී යි.

මිය යන විට පද්මා දේවි පීරිස් මහත්මියගේ වයස අවුරුදු 89 ක්.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙන බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ ෴

***************************************

@@@ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය වීම @@@

මෝදිගෙන් සෙලෙන්ස්කිට ඇමතුමක්

(08.03.2022 – 06:50 +0530 – hirunews.lk/sinhala)

රුසියානු රොකට් ප්‍රහාර හමුවේ තවත් යුක්රේන තෙල් ගබඩා සංකීර්ණ දෙකක් ගිනිගෙන ඇති බව වාර්තා වනවා.

මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යුක්රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කි හට දුරකථන ඇමතුමක් ද ලබා දී තිබෙනවා.

එහි දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යුක්‍රේන ජනාධිපතිවරයාට පවසා ඇත්තේ, හැකි වහාම දෙරට අතර සාම සාකච්ඡා සඳහා යොමුවිය යුතු බවයි.

ඉන්දීය රජය සෑම විට ම ලෝක සාමය අගය කරන බවත් මෙම ගැටුම ද සාමකාමී මාවතක් ඔස්සේ විසඳා ගනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් එහි දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

මෙම දුරකථන සාකච්ඡාවේ දී මේ වන විට යුක්රේනයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් එරට ජනාධිපතිවරයා විසින් පැහැදිලි කිරීමක් සිදු කර ඇති අතර, සිදු ව ඇති මානව විනාශය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය කනගාටුව පළකර ඇති බවයි ඉන්දීය රජය විසින් නිකුත් කළ වාර්තාවක දැක්වුණේ.

එමෙන්ම යුක්රේන රාජ්‍යය තුළ උසස් අධ්‍යාපනය හැදෑරූ විසි දහසකට (20,000) අධික ඉන්දීය සිසු සිසුවියන් නැවත සිය රට ගෙන්වා ගැනීම සඳහා මෙම අසහනකාරී අවස්ථාවේ යුක්රේන රජය දැක්වූ සහයෝගයට ස්තුතියි කිරීමටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහි දී අමතක කර නැහැ.

එමෙන්ම තවදුරටත් යුක්‍රේනය තුළ රැඳී සිටින ඉන්දීය සිසු සිසුවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බලන ලෙසටත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යුක්රේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර ඊයේ (07) එල්ල කළ රොකට් සහ ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ සයිටොමීර් සහ චර්නිකිෆ් ප්‍රදේශයේ තිබූ තෙල් ගබඩා සංකීර්ණ 2 කට හානි සිදු වී තිබෙනවා.

මෙයින් එක් රොකට් ප්‍රහාරයක් එල්ල වූ සයිටොමීර් තෙල් ගබඩා සංකීර්ණයේ පැට්‍රෝල් ඝන මීටර දහයක (10) සංචිතයක් තිබූ බවයි වාර්තා වන්නේ.

එම තෙල් ගබඩා සංකීර්ණය ප්‍රහාරය එල්ල වූ සැනින් ගිනි ගෙන ඇති අතර එම ගින්න පාලනය කිරීම සඳහා යුක්‍රේන ගිනි නිවන ඒකක හතරක් (4) කටයුතු කරන බවටත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම අනෙක් ප්‍රහාරය හේතුවෙන් චර්නිකිෆ් තෙල් ගබඩා සංකීර්ණයේ තවත් ඉන්ධන තොගයක් ගබඩා කර තිබූ ටැංකියකට සහ හිස් ඉන්ධන ටැංකි 2 කට දැඩි හානි සිදුවී ඇති අතර, එම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් සිවු (4) දෙනකුට ද තුවාල සිදු වී ඇති බවයි යුක්‍රේන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙම ප්‍රහාරයත් සමඟ ගබඩාව අවට පදිංචිකරුවන් වහා ම එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට කටයුතු කළ අතර, දෙවැනි (2) ප්‍රහාරය එල්ල වූ චර්නිකිෆ් තෙල් ගබඩා සංකීර්ණයේ ගබඩා කර තිබූ ඉන්ධන තොගය කොපමණක් ද යන්න මෙතෙක් වාර්තා වී නැහැ.

මේ අතර යුධ විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ, මේ වන විට රුසියාව විසින් යුක්රේනයේ ඛනිජ තෙල් ගබඩා සෘජුව ම ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි.

මේ අනුව ඔවුන් විශ්වාසය පළ කරන්නේ, ඉදිරියේ දී යුක්‍රේනය තුළ බරපතළ ඉන්ධන හිඟයක් ඇති කර ඒ හරහා යුක්‍රේන සන්නද්ධ හමුදාවන්ට සහ එරට පරිපාලනයට බරපතළ පීඩනයක් එල්ල කිරීම ඔවුන්ගේ ඉලක්කය වී ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මේ වන විටත් යුක්‍රේනයේ ප්‍රධාන න්‍යෂ්ටික බලාගාරය ඇතුළු තෙල් ගබඩා සංකීර්ණ රැසකටත් රුසියානු රොකට් සහ ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් බරපතළ හානි සිදු ව ඒවා ගිනි ගනිමින් ඇති බවයි.

මේ අතර යුරෝපා සංගමයේ සාමාජිකත්වය ඉල්ලා සිටී යුක්රේනය, මෝල්ටාව සහ ජෝර්ජියාවේ සාමාජික ඉල්ලුම් පත්‍ර වහා ම සලකා බැලීමට යුරෝපා සංගමය තීරණය කර ඇති බවත් වාර්තා වනවා.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට එක් ප්‍රධාන හේතුවක් ලෙස ජාත්‍යන්තර දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ, යුක්‍රේනය යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට දැරූ උනන්දුව බවයි.

කෙසේ වෙතත් මෙම නව තත්ත්වය හේතුවෙන් බොහෝවිට රුසියානු ආක්‍රමණය තවත් දැඩි විය හැකි බවට යි දේශපාලන විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ ෴

++++++++++++

තුන්වන (3) වටයේ සාකච්ඡාවත් නිශ්ඵලයි – යුක්රේන නගරවලට රුසියානු ප්‍රහාර අඛණ්ඩව

(08.03.2022 – 08:19 +0530 – hirunews.lk/sinhala)

රුසියානු සහ යුක්රේන නියෝජිතයින් අතර බෙලරූස් රාජ්‍යයේ දේශසීමා ප්‍රදේශයක දී ඊයේ (07) තුන්වන (3) වරටත් පැවති සාකච්ඡා මගින් ද ප්‍රායෝගික සටන් විරාමයක් ඇති කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

සාකච්ඡා සුබවාදී බව යුක්රේනය ප්‍රකාශ කළ ද රුසියානු නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ව්ලැදිමීර් මෙඩින්ස්කි සඳහන් කළේ සාකච්ඡාවල සිය අපේක්ෂවන් සපුරාගත නොහැකි වූ බවයි.

මීළඟ වටයේදී කැපී පෙනෙන ඉදිරි පියවරකට එළඹීමට හැකි වනු ඇතැයි ඔහු කියා සිටියා.

රුසියාව විසින් මීට පෙර ප්‍රකාශයට පත් කළ සටන් විරාම දෙකක්ම (2) සාර්ථක නොවූයේ සිවිල් වැසියන් රුසියානු ෂෙල් ප්‍රහාරවලට ගොදුරුවීම හේතුවෙන්.

නැවතත් එම තත්ත්වය දක්නට ලැබෙන අතර කීව් අගනුවර, මරියුපොල්, සුමි සහ කාර්කිව් නගරවල ගැටුම්වලට මැදි වූ සිවිල් වැසියන් ඉවත් කර ගැනීම දුෂ්කර වී ඇති බවයි යුක්රේනය ප්‍රකාශ කළේ.

සිවිල් වැසියන් ඉවත් කර ගැනීම සදහා මානුෂවාදී වේදිකා රුසියාව විසින් ප්‍රකාශයට පත් කළ ද එලෙස ඔවුන්ට ඉවත්වීමට ලබා දී ඇති මංපෙත් රුසියාව හෝ ඔවුන්ගේ අනුගාමික බෙලරූස් රාජ්‍යය වෙත ඇදෙන බව පසුව අනාවරණ වුණා.

මේ නිසා ආක්‍රමණිකයාගේ භූමිය වෙත යොමු වූ එම වේදිකා යුක්රේනය ප්‍රතික්ෂේප කළා.

මේ අතර, රුසියාව විසින් යුක්රේන ආක්‍රමණයේදී මධ්‍යයතන යුගයේ යොදා ගත් යුද ක්‍රමෝපාය භාවිත කරන බවට යුක්රේන නීතිවේදීන් ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ ඊයේ (07) කරුණු දැක්වූවා.

නගර වටලා සැපයුම් අවහිර කොට ජනයා දුර්වල කරමින් ඒවා අත්පත් කර ගැනීම මෙ ක්‍රමෝපායයි ෴

++++++++++++

නෙට්ෆ්ලික්ස් සහ ටික් – ටොක් රුසියාවෙන් නික්මෙයි

(08.03.2022 – 10:10 +0530 – hirunews.lk/sinhala)

යුක්රේන ආක්‍රමණය හෙළා දකිමින් රුසියාව සමග ව්‍යාපාරික සබඳතා අත්හැරීමට ජාත්‍යන්තර බහුජාතික සමාගම් රැසක් මේ වනවිටත් පියවර ගෙන ඇති අතර, නෙට්ෆ්ලික්ස් සිනමා මාධ්‍ය නාලිකාව සහ ටික්ටොක් වීඩියෝ හුවමාරු සමාජ මාධ්‍යය ඊට එක් වී ඇති නව සන්නාමයන්ට ඇතුළත්.

රුසියානු ජාතික මාධ්‍ය සමූහය සමග සිය මෙහෙයුම් පවත්වාගෙන යන නෙට්ෆ්ලික්ස්හි රුසියානු ග්‍රාහක සංඛ්‍යාව මිලියනයක් පමණ වනවා.

ඊට පෙර වෝල්ට් ඩිස්නි, පැරමව්න්ට්, සෝනි කෝපරේෂන් සහ වෝනර් මීඩියා ආදී හොලිවුඩ් සිනමා සමාගම් සිය චිත්‍රපට රුසියාවේ ප්‍රදර්ශනය අත්හිටුවනු ලැබුවා.

ටික්ටොක් සමාජ මාධ්‍යය රුසියානු මෙහෙයුම් අත්හිටුවා ඇත්තේ, ව්‍යාජ පුවත් ලෙස රුසියාව හඳුන්වන නව නීතිය ඊට බලපෑමේ අවදානම හේතුවෙන්.

එම නීතිය මඟින් යුක්රේන යුද්ධයට එරෙහි විවේචකයන් නිහඬ කිරීමට ජනපති පුටින් උත්සාහ දරන බවට යි බටහිර රටවල් චෝදනා කරන්නේ.

රුසියානු රජය පසුගිය සිකුරා දා එරට තුළ ෆේස්බුක් සමාජ මාධ්‍යය ද අවහිර කරනු ලැබුවා.

සැම්සුන්, නයික්, ඇපල් ආදි ජාත්‍යන්තර සන්නාමයන් රැසක්ම මේ වනවිට රුසියාවෙන් නික්මී අවසන් ෴

+

තවත් රුසියානු හමුදා සෙන්පතියෙකු යුක්රේනයේදී ජීවිතක්ෂයට

(08.03.2022 – 16:34 +0530 – hirunews.lk/sinhala)

යුක්රේන ආක්‍රමණයේ නිරත තවත් රුසියානු හමුදා ජෙනරාල්වරයෙකු කාර්කිව් නගරය ආසන්නයේදී යුක්රේන හමුදා ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

යුක්රේන බුද්ධි අංශ ප්‍රකාශ කරන පරිදි ඔහු ආක්‍රමණය ආරම්භයේ සිට මියගිය දෙවැනි (2) සෙන්පතියා වනවා.

මෙලෙස මියගිය මේජර් ජෙනරාල් විටාලි ගර්සිමොව් රුසියානු 41 වන හමුදා බල ඇණියේ අණදෙන නිලධාරියායි.

කෙසේ නමුත් මෙලෙස සිය හමුදා සෙන්පතියෙකු මියගිය බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය මෙතෙක් තහවුරු කර නැහැ. මේ අතර රුසියාව සමඟ ඇති කරගත් එකඟතාවට අනුව සුමි නගරයේ සිරවී සිටි සිවිල් වැසියන් මානුෂවාදී වේදිකාව හරහා ඉවත් කරගැනීම ආරම්භ වූ බව යුක්රේන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා.

ඒ අතර යුක්රේනයේ අධ්‍යාපනය ලැබූ ඉන්දියානු ශිෂ්‍යයන්ද සිටින බව සඳහන් ෴

+

රුසියානු ආක්‍රමණයට එරෙහිව විදේශීය භටයින් 20,000 යුක්‍රේනය සමඟ අත්වැල් බැඳගනී

(08.03.2022 – 17:32 +0530 – hirunews.lk/sinhala)

රුසියානු හමුදා ආක්‍රමණයට එරෙහිව යුක්රේනය සමඟ එක්ව සටන් කිරීමට විදේශීය ස්වේච්ඡා සටන්කරුවන් 20,000 කට ආසන්න පිරිසක් අත්සන් කර ඇති බව යුක්රේන ආරක්ෂක බලධාරීන් ප්‍රකාශ කරනවා.

යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා පසුගිය ඉරිදා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ රටවල් හෙලි කිරීමට නොහැකි විදේශීය අයදුම්කරුවන් 20,000 ක් පමණ මේ වන විට සිය සටන හා එක්ව සිටින බවයි.

“ලෝකයේ රටවල් 52 ක පළපුරුදු යුධ ප්‍රවීණයන් සහ ස්වේච්ඡා සේවකයන් අප සමග අත්වැල් බැඳගෙන තිබෙනවා සත්තකින්ම මෙය ඔවුන්ගේ අධිෂ්ඨානය සහ ආශාවයි” යනුවෙන් මෙම මාධ්‍ය හමුවේ දී විදේශ අමාත්‍යය කුලේබා කියා සිටියා.

රුසියානු හමුදා විසින් කිසිදු සාධාරණ පදනමකින් තොරව සිය රට ආක්‍රමණය කිරීමට එරෙහිව සටන් කිරීමට කැමති සටනේ පළපුරුදු ඕනෑම කෙනෙකුට යුක්‍රේන හමුදාව සමඟ එක් විය හැකි බවට යුක්‍රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කි පසුගිය සතියේ ‍ප්‍රසිද්ධියේ කියා සිටියා.

ඔහුගේ මෙම ප්‍රකාශයත් සමග එයට අනුගත වූ විදේශ සටන්කරුවන් මෙම ආරාධනාවට යහපත් ප්‍රතිචාරයක් මේ වන විට දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස යුක්රේන සටනට එක් වන කිසිදු සටන්කරුවකු හට එම රටට ඇතුළුවීමට වීසා ලබා ගත යුතු වන්නේ නැහැ.

එම සියලු අවශ්‍යතා මෙම විශේෂ සටන් කරුවන් වෙනුවෙන් ඉවත් කර තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා නැවත රූපවාහිනිය හමුවේ පෙනී සිටි යුක්‍රේන ජනාධිපතිවරයා කියා සිටියේ තමන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් මේ වන විට 16,000 ක පමණ හමුදාවක් රුසියානු ආක්‍රමණ කරුවන්ට එරෙහිව සටන් වැදීම සඳහා යුක්‍රේන හමුදාව සමග එක් වී ඇති බවයි.

යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශ ෆේස්බුක් හි විදේශීය ස්වේච්ඡා සේවකයන් සඳහා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ඔබ යුක්රේන් ජාතිකයෙකු නොවුනද, රුසියානු ආක්‍රමණයට එරෙහිව ඔබ යුක්‍රේනය සමග සිට ගන්නේ නම්, ඒ සටන් හා එක්වීමට ඔබට අවකාශ ඇතිි බවයි.

මෙම නිවේදනයත් සමග යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය පවසා සිටියේ සිය හමුදා ඒකක සඳහා එක්වීමට සටන් අදත්දැකීම් ඇති විශේෂ සෙබළුන්ට විවෘතව ආරාධනා කරන බවයි.

එහි වැඩිදුරටත් මෙසේද සටහන් වී තිබුණා “මෙය ක්‍රියා කිරීමට කාලයයි! යුක්රේනයේ සන්නද්ධ හමුදාවන් සමග එරට භෞමික ආරක්‍ෂාව පිළිබඳ ජාත්‍යන්තර හමුදා ඒකකයට සම්බන්ධ වන්න! ඔබට දොරටු විවෘතයි” ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *