වාසු, ජනපතිට ලියයි

වාසු, ජනපතිට ලියයි

*********************************************

වාසු, ජනපතිට ලියයි

(06.03.2022 – 19:34 +0530 – hirunews.lk/sinhala)

තමන් ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීම් සඳහා සහභාගි නොවන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා.

එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (06) රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් මගින් හෙට (07) දැනුම්දෙන බවයි.

අමාත්‍ය තනතුරුවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළට සාධාරණය ඉටුවන තුරු තමන් අමාත්‍ය ධුරයේ කටයුතු වලින් වැළකී සිටින බවයි අමාත්‍ය වාසුදේව නානයක්කාර ආණ්ඩුවේ හවුල් පක්ෂවල නායකයින්ගේ සහභාගිත්වයෙන් පසුගිය සිකුරාදා (04) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ.

වාසුදේව නානයක්කාර අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් කියා සිටියේ අමාත්‍ය ධුරයෙන් ඉවත් නොවී එම වරප්‍රසාද භුක්ති විදීම ජනතාවට කරන හානියක් බවයි.

***************************************

වැරදි කරන රියදුරන්ගේ දඩ පත්‍රිකාව නිවසටම

(06.03.2022 – 16:47 +0530 – hirunews.lk/sinhala)

පොලිස් සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසය මඟින් රථ වාහන වැරදි සම්බන්ධයෙන් නිවසටම දඩ පත්‍රිකාවක් යැවීමේ ක්‍රියාදාමය කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, මොටර් රථ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව එක්ව අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

කොළඹ නගරය ආවරණය වන පරිදි මංසන්ධි 33 ක සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසය මඟින් නිරීක්ෂණය කිරීම සිදුකරනු ලබනවා.

ජනතාව සහ දේපළවල ආරක්ෂාව ප්‍රධාන තේමාව කරගත් මෙම කොට්ඨාසය මඟින් අපරාධයක් සිදුවීමට ඇති හැකියාව නැති කිරීම, අපරාධයක් නිරික්ෂණය කර පියවර ගැනීම, අපරාධයක විමර්ශන කටයුතු සඳහා සහභාගි වීම වැනි කටයුතු එම ඒකකය මඟින් සිදුකරනු ලබන අතර රථ වාහන වැරදි නිරීක්ෂණය කිරීම ද මෙමඟින් සිදුකෙරෙනවා ෴

***************************************

ගාල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ රැදවියෙකු හදිසියේ මිය යයි

(06.03.2022 – 17:37 +0530 – hirunews.lk/sinhala)

මොහු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු වන අතර හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (05) කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි මෙලෙස මිය ගොස් ඇත්තේ.

මෙම රැදවියා පසුගිය 3 වන දා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබුණේ අධිකරණය මග හැරීමේ චෝදනා මත වරෙන්තු ලබා සිටියදියි ෴

***************************************

ප්‍රේම සබදතාවට එරෙහි වූ මවට දියණිය මිටියකින් පහර දෙයි

(06.03.2022 – 19:44 +0530 – hirunews.lk/sinhala)

ප්‍රේම සබඳතාවට එරෙහි වීම මත තම මවගේ හිසට දියණියක් මිටියකින් පහර දීමේ පුවතක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

17 හැවිරිදි දියණියගේ පහරදීමෙන් තුවාල ලැබූ මව මේ වනවිට බේරුවල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බේරුවල – කාලවිල කන්ද ප්‍රදේශයේ පදිංචි දියණියක් තම මවට මිටියකින් හිසට පහරදී ඇත්තේ ප්‍රේම සබදතාව නතර කරන ලෙසට අවවාද ලබාදීම නිසා ඇතිවූ හිත් අමනාපයකින්.

සිද්ධිය සම්බන්ධයෙන් 17 හැවිරිදි දියණිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

රුපියල් දෙකක් (2) ඉල්ලා උක් ගොවීන් අඛණ්ඩ සත්‍යග්‍රහයේ

(06.03.2022 – 19:54 +0530 – hirunews.lk/sinhala)

උක් කිලෝවක් සඳහා රුපියල් 2 ක අතිරේක මුදලක් ලබා දෙන ලෙස ඉල්ලමින් සෙවනගල සීනි කර්මාන්තශාලාව වෙත උක් සැපයුම නතර කරමින් ගොවීන් පිරිසක් සත්‍යග්‍රහයක නිරත වනවා.

දින 4 ක් මුළුල්ලේ සිදුකරන මෙම සත්‍යග්‍රහය හේතුවෙන් කර්මාන්තශාලාව පසුගිය දා වසා දැමුණා.

කෙසේ වෙතත්, ගොවීන් පෙන්වා දෙන්නේ පාලනාධිකාරිය විසින් තම ඉල්ලීම් වලට ඇහුම්කන් නොදෙන බවයි.

සෙවනගල සීනි කර්මාන්තශාලාවේ සභාපති ජානක නිමල්චන්ද්‍ර සඳහන් කළේ, ගොවීන්ගේ ඉල්ලීම අනුව මුදල් වැඩි කිරීමට කටයුතු කළහොත් රුපියල් මිලියන 1800 ක අතිරේක වියදමක් දැරීමට සමාගමට සිදුවන බවයි.

එමෙන්ම, පසුගිය දා වසා දැමුණු කර්මාන්තශාලාව තුල නැවතත් උක් ඇඹරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි ඔහු කියා සිටියේ ෴

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

බූස්ටර් එන්නත ගැන යළි සිහිකැඳවීමක්

(06.03.2022 – 08:11 +0530 – hirunews.lk/sinhala)

ලබන අප්‍රේල් 30 වනදාට පෙර කොරෝනා ප්‍රතිශක්තිකරණ බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය යළි ජනතාවට සිහි කැඳවීමක් කරනවා.

මේ අතර භූමදානය කරන කොරෝනා මරණ ප්‍රවාහනය කිරීමේ කටයුතු රජය මගින් සිදුකිරීම අත්හිටුවා ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

තවත් කොරෝනා ආසාදිතයන් 639 ක් ඊයේ (05) වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 6,49,632 ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,321 ක් දක්වා ඉහළ ගියේ ඊයේ (05) වාර්තා වූ කොරෝනා මරණ 14 ත් සමගයි.

එමෙන්ම ලබන අප්‍රේල් 30 වනදා සිට පොදු ස්ථානවලට ඇතුලු වීමට පූර්ණ එන්නත්කරණය සහතික කළ කාඩ්පත අනිවර්ය කර ඇති බැවින් ඊට පෙර බූස්ටර් මාත්‍රාව ලබාගෙන පූර්ණ එන්නත්කරණයට ලක්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ ඊයේ (05) සිට ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කොරෝනා ආසාදනය වී දින 7 කින් පසුව මිය යන පුද්ගලයෙකුගේ මරණය කොරෝනා මරණයක් ලෙස නොසලකන බවයි.

ඒ අනුව එම මරණවල අවසන් කටයුතු නිරෝධායන නීතිවලින් පරිබාහිරව සාමාන්‍ය ක්‍රමවේද යටතේ සිදුකළ හැකි බව ඔහු සඳහන් කළා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ කොරෝනා මරණ භූමදානය කිරීමේ දී ඒවා ප්‍රවාහනය කිරීම රජය මගින් තවදුරටත් සිදු නොකරන බව යි ෴

+++++++++++++

තවත් 8319 ක් සුවය ලබයි

(06.03.2022 – 14:32 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 8319 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,18,141 ක් ලෙසටයි.

මේවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 15,170 ක්.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 6,49,632 ක් වාර්තාවී තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 16,321 ක් ෴

තවත් කොරෝනා මරණ 10 ක් මෙරටින් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරටටින් වාර්තා වන මුළු කොරෝනා මරණ ගණන 16,331 ක් ෴

අද (06) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 508 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුලු කොරෝනා ආසාදිතයින් ගණන 6,50,140 ක් ෴

+

@@@ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය වීම @@@

ගුවන් යානා 80 ක් සමග ඉන්දියාවේ දැවැන්ත මානුෂීය මෙහෙයුම

(06.03.2022 – 06:50 +0530 – hirunews.lk/sinhala)

‘ඔපරේෂන් ගංගා’ වැඩසටහන යටතේ රුසියා – යුක්රේන යුද ගැටුමට මැදි වූ ඉන්දියානුවන් 2,200 දෙනෙක් අද (06) පෙරවරුවේ යළි ඉන්දියාව වෙත ළඟා වීමට නියමිත බව වාර්තා වනවා.

ඉන් යානා පහක් හංගේරියාවේ බුඩාපෙස්ට්, යානා හතරක් රුමේනියාවේ සිචාවා සහ යානා දෙකක් (2) පෝලන්තයේ රෙෂොෆ් නගරවලින් පිටත් වනවා.

ඔපරේෂන් ගංගා වැඩසටහන ආරම්භ කෙරුණු පෙබරවාරි 26 වැනිදා සිට මේ දක්වා ඉන්දීය ගුවන් හමුදාවට අයත් C17 යානා 7 ක් ඇතුලු මුදා ගැනීමේ ගුවන් මෙහෙයුම් 43 ක් ක්‍රියාත්මක කර ඇති අතර ඉන්දියානුවන් 9364 දෙනෙක් නිරුපද්‍රිතව සිය මව්බිම කරා නැවත පැමිණියා.

යුක්රේනයේ සිරවූ ඉන්දියානුවන් ඉවත් කිරීම සඳහා ඉන්දීය රජය ඔපරේෂන් ගංගා වැඩසටහන යටතේ ගුවන් මෙහෙයුම් 80 ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණේ රුමේනියාව, හංගේරියාව, ස්ලෝවැකියාව සහ පෝලන්තය යන රටවල සිටයි.

කිසිදු බාධාවකින් තොරව ඉවත් කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා 20 දෙනෙකුට වැඩි අමාත්‍ය කමිටුවක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් පත් කරනු ලැබ තිබෙනවා.

මුදා ගැනීමේ මෙහෙයුම් අධීක්ෂණය හා සම්බන්ධීකරණය සඳහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් හංගේරියාව, රුමේනියාව, ස්ලෝවැකියාව සහ පෝලන්තය යන රටවලට ජෝතිරාදිත්‍ය සින්ඩියා, හර්දීප් සිං පූරි, කිරන් රිජිජු සහ වී.කේ. සිං යන අමාත්‍යවරුන් සිව්දෙනා (4) පිටත් කර යවනු ලැබුවා.

ඔපරේෂන් ගංගා යටතේ හංගේරියාව, රුමේනියාව, ස්ලෝවැකියාව සහ පෝලන්තය යන රටවලින් පැමිණෙන ඉන්දියානුවන් දිල්ලි සහ මුම්බායි ගුවන් තොටුපළේදී සම්බන්ධීකරණයට තවත් අමාත්‍යවරු පිරිසක් පත් කර තිබෙනවා.

ගත වූ කාලය තුළ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඔපරේෂන් ගංගා සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර්, විදේශ ලේකම් හර්ෂ් ශ්‍රින්ග්ලා සහ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවොල් සමග ඉහළ පෙළේ සාකච්ඡා වට තුනක් (3) පවත්වා තිබෙනවා.

එයාර් ඉන්දියා, එයාර් ඉන්දියා එක්ස්ප්‍රස්, ඉන්ඩිගෝ, ස්පයිස් ජෙට්, විස්තාරා, ගෝ එයාර් යන වාණිජ ගුවන් සමාගම් සහ ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් යානා ඔපරේෂන් ගංගා සමග එක්ව සිටිනවා.

රුමේනියානු අගනුවර වන බුකරෙස්ට් සිට එයාර් ඉන්දියා ගුවන් ගමන් 14 ක්, එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් ගමන් අටක් (8), ඉන්ඩිගෝ ගුවන් ගමන් හතක් (7), ස්පයිස් ජෙට් ගුවන් යානයක් (1), විස්තාරා ගුවන් ගමන් තුනක් (3) සහ ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් ගමන් දෙකක් (2) ඇතුළත් වන පරිදි මුදා ගැනීමේ ගුවන් ගමන් වාර 35 ක් සැලසුම් කර තිබෙනවා.

හංගේරියාවේ බුඩාපෙස්ට් අගනුවර සිට ගුවන්යානා 28 ක් පිටත් වීමට නියමිතයි.

ගුවන් ගමන් 15 ක් ‘ගෝ එයාර්’ වෙතින්ද, නවයක් (9) ඉන්ඩිගෝ වෙතින්ද, දෙකක් (2) එයාර් ඉන්දියා වෙතින්ද, ඉන්දීය ගුවන් හමුදාව සහ ස්පයිස් ජෙට් එක් ගුවන් වාරය (1) බැගින් ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පෝලන්තයේ රෙෂොෆ් සිට ගුවන් ගමන් නවයක් (9) සැලසුම් කර ඇති අතර, ඊට ඉන්ඩිගෝ වෙතින් 8 ක් සහ ඉන්දියානු ගුවන් හමුදාවෙන් එක් (1) ගුවන් ගමන් වාරයක් ඇතුළත්.

රුමේනියාවේ සිචාවා වෙතින් ගුවන් ගමන් පහක් (5) සහ ස්ලෝවැකියාවේ කොෂිස වෙතින් ගුවන් ගමන් තුනක් (3) පිටත් වීමට නියමිතයි.

මෙම ගුවන් ගමන් වාර 80 මගින් ආසන්න වශයෙන් අතරමං වූ ඉන්දියානුවන් 17,000 ක් පමණ යුක්රේනයෙන් ආරක්ෂිතව ඉවත් කෙරනු ඇති.

ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කරන එකම රට ඉන්දියාවයි.

යුක්රේනයේ අතරමංව සිටින ඉන්දියානු ජාතිකයන් ඉවත් කිරීම අධීක්ෂණය කිරීම සඳහා ස්ලෝවැකියාවට ගොස් සිටින අමාත්‍ය කිරන් රිජිජු පවසන්නේ යුද ගැටුමට මැදිවූ අවසන් ඉන්දීය පුරවැසියා ද ආරක්ෂිතව ඉවත් කරන තුරු තමන් පිටත්ව නොයන බවයි.

“අපගේ ප්‍රමුඛතාවය සියලු දෙනා ආරක්ෂිතව ඉවත් කිරීමයි. සෑම ඉන්දියානුවෙකුම ආරක්ෂිතව ඉවත් කරන බවට අපි දැනටමත් අපගේ සහතිකය ලබා දී තිබෙනවා. එය අග්‍රාමාත්‍යවරයාගේ මඟ පෙන්වීමයි. කාවවත් දාලා යන්නේ නැහැ. යුද කලාපයේ ඉන්න අයට යම් යම් බලපෑම් තියෙනවා. වෙඩි තැබීම්, බෝම්බ ප්‍රහාර එල්ල වෙන නිසා අපේ තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයටවත් එම ප්‍රදේශවලට ළඟා වෙන්න බැහැ. ඉතින් අමාරුයි. ඉවත් කිරීම ලේසි නැහැ. තත්වය හරිම අභියෝගාත්මකයි. නමුත් තවමත්, අපි උත්සාහ කරමින් සිටිනවා.” යුක්රේන දේශසීමාව තරණය කිරීමෙන් පසු ස්ලෝවැකියාවේ කොෂිස වෙත ළඟා වූ ඉන්දීය සිසුන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් අමාත්‍යවරයා පැවසුවා.

අමාත්‍යවරයා තැබූ ට්විටර් සටහනක දැක්වුණේ යුක්රේනයේ සිට පැමිණි සිසුන්ගේ මුහුණුවල තිබුණු සහනය දැකීම සතුටක් බවයි.

කෙසේ වෙතත්, සටන් විරාමයකින් තොරව යුද කලාපයේ සිටින පුද්ගලයින් ඉවත් කිරීම දුෂ්කර බව රජය පවසනවා.

අදාළ පාර්ශ්වයන්ගෙන් ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම ලේකම්, අරින්දම් බාෂි පැවසුවා.

යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු යුක්‍රේන ජනාධිපති වොල‍දිමීර් සෙලෙන්ස්කි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ දුරකථනය ඔස්සේ සාකච්ඡා කළ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යුක්රේනයේ රැඳී සිටින ඉන්දියානුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන්ම ඔවුන් ආරක්ෂිතව ඉවත් කර ගැනීම පිළිබඳ අවධානය යොමු කළා.

රුසියානු හමුදා යුක්රේනයේ හමුදා මෙහෙයුම් දියත් කළේ පෙබරවාරි 27 වනදායි.

ආක්‍රමණයේ 10 වැනි දිනය වන විට යුක්රේන නගර වෙත රුසියාවේ ඉදිරි ගමන තීව්‍ර වී තිබෙනවා.

රුසියානු හමුදා යුක්රේනයේ කීව් අගනුවර වෙත ආසන්න වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන අනුව යුද ගැටුම් හේතුවෙන් මේ දක්වා සිවිල් වැසියන් 358 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව සහ යුරෝපා සංගමයේ සාමාජික රටවල් ආක්‍රමණය හෙළා දකිමින් රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පැනවීමට ද කටයුතු කළා.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සමග පැවති සාකච්ඡාවකදී යුක්රේන ජනාධිපති වොල‍දිමීර් සෙලෙන්ස්කි, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ගෙන් ඉල්ලා සිටියේ තමන් සමඟ සාකච්ඡාවකට එක්වන ලෙසයි. යුද්ධය නිමා කළ හැකි වන්නේ එමඟින් පමණක් බවයි සෙලෙන්ස්කි පවසන්නේ.

එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියේ දත්ත අනුව රුසියාව සිය ආක්‍රමණය දියත් කළ දා සිට මිලියන 1.3 කට අධික ජනතාවක් යුක්රේනයෙන් පලා ගොස් තිබෙනවා.

බොහෝ දෙනෙක් පෝලන්තයේ සහ අනෙකුත් අසල්වැසි රටවලට රැකවරණය පතා පැමිණ සිටිනවා.

මේ අතර රුසියාව යුක්රේනයට එල්ල කළ ප්‍රහාරයේදී සිදුවූවා යැයි කියන අයිතිවාසිකම් කඩකිරීම් හෙළා දැකීමට සහ ඒවා විමර්ශනය කිරීම සඳහා විමර්ශන කොමිසමක් පිහිටුවීමට ගෙන එනු ලැබූ යෝජනාවක් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කර ගැණුනා.

මීට අමතරව රුසියානු ආක්‍රමණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කැඳවනු ලැබූ එක්සත් ජාතීන්ගේ විශේෂ මහා මණ්ඩලයේදී ද රුසියාවට එරෙහිව රටවල් 141 ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කරමින් යෝජනාවක් සම්මත කර ගත්තා.

රුසියාව සිය ආක්‍රමණය වහාම නතර කළ යුතු බවත්, තම හමුදා ඉවත් කළ ගත යුතු බවත් සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූලව කටයුතු කළ යුතු බවට මෙම යෝජනාව ගෙන එනු ලැබුවා ෴

+++++++++++

පුටින්ගෙන් බටහිර රාජ්‍යයන් වෙත රතු එළියක්

(06.03.2022 – 07:10 +0530 – hirunews.lk/sinhala)

තම හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් බටහිර රටවල් විසින් පනවන ලද සම්බාධක ‘යුද ප්‍රකාශ කිරීමකට සමාන’ බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.

එමෙන්ම යුක්රේනයට ඉහළින් පියාසර තහනම් කලාපයක් පැනවීමට කිසිවෙක් හෝ දරන ඕනෑම උත්සාහයක් මෙම සන්නද්ධ ගැටුමට සහභාගීත්වයක් ලෙස සලකන බවටයි රුසියානු ජනාධිපතිවරයා අනතුරු අඟවා ඇත්තේ.

රුසියාවේ හදිසි නීතියක් හෝ යුද නීතියක් හඳුන්වා දෙන බවට වන ප්‍රකාශ ද ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ අතර රුසියානු හෙලිකොප්ටර් යානයක් යුක්රේන හමුදා මිසයිල ප්‍රහාරයකින් විනාශ වූ බවට දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වනවා.

කෙසේවෙතත් රුසියානු පාර්ශ්වයෙන් ඒ පිළිබඳ කිසිදු ප්‍රකාශයක් මෙතෙක් නිකුත් කර නැහැ.

රුසියාව සහ යුක්රේනය අතර ගැටුම ගෝලීය ආර්ථිකයට ‘දැඩි බලපෑමක්’ ඇති කරන බවට IMF අනතුරු අඟවා තිබෙනවා.

දින 10 කට පෙර රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භයේ සිට, බටහිර රටවල් රුසියාවට සම්බාධක රාශියක් පනවා තිබෙනවා.

ජනාධිපතිවරයාගේ විදේශ වත්කම් අත්හිටුවීම සහ රුසියානු බැංකු ගණනාවක් ස්විෆ්ට් ජාත්‍යන්තර ගෙවීම් පද්ධතියෙන් බැහැර කිරීම ද ඊට ඇතුළත් ෴

+++++++++++

ඉරාන න්‍යෂ්ටික ගිවිසුමටත් රුසියාවෙන් කොන්දේසි

(06.03.2022 – 09:26 +0530 – hirunews.lk/sinhala)

ඉරානය සහ මහ බලවතුන් අතර න්‍යෂ්ටික ගිවිසුම යළි පණගැන්වීම සඳහා පැවැත්වෙන සාකච්ඡාවල දී රුසියාව විසින් නව කොන්දේසියක් ඉදිරිපත් කර තිබෙනවා.

රුසියාව එලෙස ඇමරිකාවෙන් සහතියක් ඉල්ලා සිටීම ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ස්ථාපිත කිරීම තවත් පමාවීමට හේතුවනු ඇති බව සඳහන් ෴

+++++++++++

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවත් ඉහළට යන ලකුණු

(06.03.2022 – 10:30 +0530 – hirunews.lk/sinhala)

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම සහ ඒ හේතුවෙන් රුසියාවට පැනවුණු සම්බාධක ගෝලීය ආර්ථිකය කෙරෙහි දැවැන්ත බලපෑමක් සිදුකරනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එමෙන්ම යුද්ධය ආරම්භවීමට පෙර යුක්රේනය ඉල්ලා තිබූ ඩොලර් මිලියන 1.4 ක ණය මුදල එළඹෙන සතියේ අනුමත කිරීමට නියමිත බවයි එමඟින් සඳහන් කළේ.

ගෝලීය බලශක්ති සහ ආහාර මිල ගණන් ඉහළ යාමෙන් ලොව දුප්පත් ගෘහස්ථයන් දැනටමත් දැඩි පීඩාවකට ලක්ව ඇති බව මූල්‍ය අරමුදල පෙන්වා දෙනවා.

රුසියාවේ යුක්රේන ආක්‍රමණය තුළින් ඇතිවී තිබෙන ආර්ථික හානිය ද අතිමහත්.

රුසියාවට පැනවුනු ස්විෆ්ට් මුදල් හුවමාරු තහනම ඇතුලු සම්බාධක හේතුවෙන්ද ගෝලීය ආර්ථිකයට බලපෑම් එල්ලවන බව මූල්‍ය අරමුදලේ අදහසයි.

මේ අතර, යුද්ධය නිසා ලෝක වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල මේ වනවිටත් ඩොලර් 120 ට ආසන්න වී ඇති අතර, එය නුදුරේදීම ඩොලර් 150 දක්වා ඉහළ යනු ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *