යුක්රේනයේ තවත් ඉන්දීය ශිෂ්‍යයෙකු වෙඩි පහරට ලක්වෙයි

යුක්රේනයේ තවත් ඉන්දීය ශිෂ්‍යයෙකු වෙඩි පහරට ලක්වෙයි

*********************************************

යුක්රේනයේ තවත් ඉන්දීය ශිෂ්‍යයෙකු වෙඩි පහරට ලක්වෙයි

(04.03.2022 – 10:11 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයේ කීව් හි සිටින ඉන්දීය ශිෂ්‍යයෙකු අගනගරයෙන් පලායාමට තැත් කිරීමේ දී වෙඩි පහරට ලක්ව ඇති බවට වාර්තාවනවා.

තුවාල ලැබූ ශිෂ්‍යයා නගර මධ්‍යයේ පිහිටි රෝහලකට ඇතුළත් කර ඇති බවයි ඉන්දීය අමාත්‍යවරයෙකු වන වී.කේ. සිං සඳහන් කළේ.

ඔහු යුක්රේනනයේ සිටින ඉන්දියානුවන් පිළිබඳව සොයාබැලීම සඳහා අසල්වැසි රටවල් වෙත යවනු ලැබූ සිව් (4) පුද්ගල ඉන්දීය අමාත්‍ය කමිටුවේ සාමාජිකයෙක්.

මෙම සිද්ධිය වාර්තාවන්නේ, යුක්රේනයේ දෙවන (2) විශාලතම නගරය වන කාර්කිව් වෙත එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් කේරළයේ ශිෂ්‍යයෙකු ජීවිතක්ෂයට පත්වී දින කිහිපයකින් අනතුරුවයි.

අමාත්‍ය වී.කේ. සිං වැඩිදුරටත් සඳහන් කළේ, රුසියානු ප්‍රහාරයට ලක්ව ඇති යුක්රේනයේ තවත් ඉන්දීය සිසුන් 1,700 ක් පමණ ඉවත් කරගැනීමේ අපේක්ෂාවෙන් සිටින බවයි.

එහි දී කීව් අගනුවර සිටින ඉන්දියානුවන්ට ප්‍රමුඛත්වයක් හිමිවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා ෴

++++++++++++

යුක්රේන න්‍යෂ්ටික බලාගාරයේ ගින්න නිවයි

(04.03.2022 – 12:51 +0530 – hirunews.lk/sinhala)

රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරවලට ලක් වූ යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන සපොරිෂ්යා බලාගාරයේ ගින්න මේ වනවිට පාලනය කර ඇති බව යුක්රේන බලධාරීන් ප්‍රකාශ කළා.

අඛන්ඩව එල්ලවන ප්‍රහාර හේතුවෙන් ගින්න නිවීම දුෂ්කර වුවත් අද (04) උදෑසන ගිනි නිවන භටයන් ඒ කරා ළඟාවූ අතර, මේ වනවිට ගින්න මුළුමනින්ම නිවා දමා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

චර්නෝබිල් මෙන් තවත් න්‍යෂ්ටික අනතුරකට මුල්විය හැකිව තිබූ මෙම සිද්ධිය පිළිබඳව ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරියේද අවධානය යොමුවුණා.

මේ අතර යුක්රේනයේ කීව් හි සිටින ඉන්දීය ශිෂ්‍යයෙකු අගනගරයෙන් පලායාමට තැත් කිරීමේ දී වෙඩි පහරට ලක්ව ඇති බවට වාර්තාවනවා.

තුවාල ලැබූ ශිෂ්‍යයා නගර මධ්‍යයේ පිහිටි රෝහලකට ඇතුළත් කර ඇති බවයි ඉන්දීය අමාත්‍යවරයෙකු වන වී.කේ. සිං සඳහන් කළේ.

ඔහු යුක්රේනනයේ සිටින ඉන්දියානුවන් පිළිබඳව සොයාබැලීම සඳහා අසල්වැසි රටවල් වෙත යවනු ලැබූ සිව් (4) පුද්ගල ඉන්දීය අමාත්‍ය කමිටුවේ සාමාජිකයෙක්.

යුක්රේනයේ දෙවන (2) විශාලතම නගරය වන කාර්කිව් වෙත එල්ලවූ ෂෙල් වෙඩි ප්‍රහාරයකින්ද කේරළයේ ශිෂ්‍යයෙකු ජීවිතක්ෂයට පත්වුණා ෴

යුක්රේන අර්බුදය හේතුවෙන් එළවළු තෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, එය, ලොව ප්‍රධානතම එළවළු තෙල් පාරිභෝජකයෙකු වන ඉන්දියාවට බලපා ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කළේ. ලොව ප්‍රධානතම පිසුම් තෙල් වර්ග හතරෙන් එකක් වන සූර්යකාන්ත තෙල් ගෝලීය සැපයුමෙන් සියයට 75 ක්ම ලැබුණේ යුක්රේනයෙන් ෴

++++++++++++

යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයේ පාලනය රුසියාව අතට

(04.03.2022 – 13:18 +0530 – hirunews.lk/sinhala)

රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරවලට ලක්වූ යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන සපොරිෂ්යා බලාගාරයේ පාලනය මේ වනවිට රුසියානු ආරක්ෂක අංශ අතට පත්ව තිබෙනවා.

යුක්රේන සහ රුසියානු මාධ්‍ය වාර්තා කළේ රුසියානු භට කණ්ඩායම් මේ වනවිට බලාගාර පරිශ්‍රයට පැමිණ ඇති අතර, ඔවුන් එය අක්‍රීය කිරීමටයි කටයුතු කර ඇත්තේ.

රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරවලට ලක්වූ මෙම බලාගාරයේ හටගත් ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබූ අතර, චර්නෝබිල් මෙන් තවත් න්‍යෂ්ටික අනතුරකට මුල්විය හැකිව තිබූ මෙම සිද්ධිය පිළිබඳව ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරියේ ද අවධානය යොමු වුණා ෴

++++++++++++

යුක්රේන යුද්ධය ලෝක ආර්ථිකයේ ඛේදවාචකයක් විය හැකියි – ලෝක බැංකුව

(04.03.2022 – 14:12 +0530 – hirunews.lk/sinhala)

යුක්රේන යුද්ධය ගෝලීය ආර්ථිකයේ ඛේදවාචකයක් විය හැකි බවට ලෝක බැංකුව අනතුරු අඟවනවා.

ලෝක බැංකු ප්‍රධානී ඩේවිඩ් මල්පාස් කියා සිටියේ, උද්ධමනය දැනටමත් කැපී පෙනෙන ලෙසින් වර්ධනය වෙමින් පවතින නිසා යුද්ධය ආරම්භ වී ඇත්තේ දුෂ්කර කාලයකදී බවයි.

කෙසේ නමුත්, මෙහි දී මිනිස් ජීවිත අහිමි වීම විශාලතම හානිය ලෙස ලෝක බැංකු ප්‍රධානියා හැඳින්වූවා.

ලෝකයේ ආහාර මිල, යුද්ධය හේතුවෙන් තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, එය ලොව දුප්පත්ම රටවල ජනතාව තවදුරටත් දුෂ්කරතාවන්ට පත්කරනු ඇති බවයි ඔහු කියා සිටියේ.

රුසියාව සහ යුක්රේනය යන රටවල් දෙක ම ලොව විශාලතම ආහාර නිෂ්පාදකයින් වීම ඊට හේතුවක්.

ගෝලීය සූරියකාන්ත තෙල් සැපයුමෙන් 60% ක් මෙම රටවල් දෙකෙන් (2) සැපයෙන අතර, ලොව තිරිඟු අපනයනයන්ගෙන් 29% ක් පමණ සිදු කරන්නේ රුසියාව සහ යුක්රේනය යි.

මේ නිසා තිරිඟු පිටි මිල මේ වනවිටත් වසර 14 කින් ඉහළ ම අගයට පැමිණ අවසන්.

යුරෝපා සංගමයේ විදුලි සැපයුමෙන් 39% ක් ඉන්ධන දහනයෙන් ජනනය කෙරෙන අතර, ඒ සඳහා විශාලතම තෙල් සහ ගෑස් සැපයුම්කරු වන්නේ රුසියාව යි ෴

++++++++++++

සෙලෙන්ස්කි ඝාතන‍යට දැරූ වෑයම් තුනක් (3) වරදියි – යුක්‍රේනයෙන් පුටින්ට ඇරයුමක්

(04.03.2022 – 22:50 +0530 – hirunews.lk/sinhala)

පවතින යුක්‍රේන – රුසියානු යුද අර්බුදය මත යුක්‍රේන ජනාධිපති වොලොදමීර් සෙලෙන්ස්කි ඝාතනයට දැරූ උත්සාහයන් තුනකින් ඔහු දිවි ගලවාගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම උපක්‍රමශීලී අයුරින් සංවිධානය කෙරුණු ජනාධිපති ඝාතන රැල්ල පසුගිය සතිය පුරාවට ම සිදු ව ඇති බවටත් තොරතුරු හෙළි ව තිබෙනවා.

ජනපති සෙලෙන්ස්කි ඝාතනය සඳහා විශේෂ වූ කුලී හමුදාවන් වැනි වූ කණ්ඩායම් දෙකක් රුසියාව විසින් යොදවා තිබුණා.

ඔවුන්ගෙන් එක් කණ්ඩායමක් ක්‍රෙම්ලිනයේ අත්වාරු ලබන වැග්නර් නමැති කණ්ඩායමක් වන අතර, චෙචන් නමැති කුලී හේවා කණ්ඩායම් දෙකක් ද ඒ සඳහා යොදා තිබූ බවටයි ටයිම්ස් සඟරා පෙන්වා දෙන්නේ.

රුසියානු ජනරජයේ ෆෙඩරල් හෙවත් සන්ධීය ආරක්ෂක සේවය තුළ යුද විරෝධී කණ්ඩායම් සහ බලඇණි විසින් යුක්‍රේන ජනපති ඝාතන ත්‍රිත්ත්වයම වළක්වා ඇති බව ද වාර්තා වනවා.

යුක්‍රේනයේ අගනගරය වන කිව් නුවර පරිශ්‍රයේ වැග්නර් නමැති කුලී හේවා කණ්ඩායම සෙලෙන්ස්කි ඝාතනයට රැඳී සිට ඇති අතර, ඔවුන්ගේ සැලසුම් වී ඇත්තේ කුමන හෝ මිලේච්ඡ ක්‍රියාවකින් යුක්‍රේන ජනපති ඝාතනය කරලීමයි.

එම කුලී හේවා හමුදාව ගැන යුක්‍රේන ජනාධිපති ආරක්ෂක අංශ සරලව පවසා ඇත්තේ එම හමුදාව “අමුතු” කොට්ඨාසයක් බවයි.

එමෙන්ම යුක්‍රේන ආරක්ෂක අංශ පැවසුවේ, කදිරොවයිට්ස් ලෙස හැඳින්වෙන ප්‍රභූ පැලැන්තියේ යැයි සැලකිය හැකි විශේෂ බලකායක් මෙම ඝාතන රැල්ලේ මූලාසනය හොබවන බවයි.

යුක්‍රේන ජාතික ආරක්‍ෂක සහ ආරක්‍ෂක කවුන්සිලයේ ප්‍රධානී ඔලෙක්සි ඩැනිලෝ පැවසුවේ “අපගේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කදිරොවයිට්වරුන් විසින් සෘජුවම සිදු කිරීමට නියමිතව තිබූ විශේෂ මෙහෙයුම පිළිබඳව අපි හොඳින් දනිමු..” යනුවෙනි.

එමෙන්ම මෙම ඝාතනය සාර්ථක වූ විට ආරක්ෂිතව සහ සූක්ෂ්ම අයුරින් කිව් අගනුවරින් පිටත් වීමට රුසියානු විශේෂ බලකායන් පැමිණෙන තෙක් ඔවුන්ට බලා සිටීමට ද උපදෙස් ලැබී තිබූ බවට ද තොරතුරු යුක්‍රේන ආරක්ෂක අංශ වෙත අනාවරණ වී තිබෙනවා.

කෙසේවෙතත් රුසියානු කුමන්ත්‍රණකාරී බලකායන් විසින් යුක්‍රේන අගනගරය ද මේ වනවිට ආක්‍රමණය කර ඇති අතර, තැන තැන විසිරුණු 400ක පමණ කණ්ඩායමක් ඔවුන් සතුව ජනපති සෙලෙන්ස්කි ඝාතනයට සම්බන්ධ බවට ද කරුණු හෙළි ව තිබෙනවා.

මේ අතර යුක්‍රේන – රුසියානු යුද අර්බුදය සමථයකට පත් කිරීමට අදත් දෙවැනි වටයේ සාකච්ඡා පැවැත්වුණේ රුසියාවේ සහ යුක්‍රේන නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන්.

ඒ බෙලරුස් දේශ සීමාවේ දී යි.

එහෙත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවදුරටත් ඔවුන් දෙපාර්ශ්වයට ඒකමතික තීන්දුවකට ප්‍රවිශ්ට වීමට නොහැකි වී ඇති බවයි.

එමෙන්ම යුක්‍රේන ජනාධිපති වොලොදමීර් සෙලෙන්ස්කි ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සමග අද මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවා.

සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ, තම රටට කිසිදු අයුරකින් රුසියාවට පහරදීමට හෝ එරට වැසියන් විනාශ කිරීමට අවශ්‍ය නොවන බවයි.

මේ නිසා වහාම ඉක්මනින් යුද ගැටුම් අවසන් කිරීමට තමන් සමග මුහුණට මුහුණ සංවාදයකට පැමිණෙන ලෙසටත්, තමන්ට අනිවාර්යයෙන්ම ව්ලැද්මීර් පුටින් සමග හමුවී හෝ සාකච්ඡා කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළා.

තවදුරටත් අහිංසක මිනිසුන්ගේ ජීවිත විනාශ කොට, අත් පා අහිමි කොට යුද ගිනිදැල් නිවා දැමීමෙන් කිසිදු යහපතක් සිදු නොවන බව ද යුක්‍රේන ජනපති වැඩිදුරටත් කියා සිටියා.

++++++++++++

විරෝධතාවයේ නිරතවන්නැයි යුක්රේන ජනපති රුසියානුවන්ට කියයි – රුසියාවේ ෆේස්බුක් තහනම්

(05.03.2022 – 06:39 +0530 – hirunews.lk/sinhala)

යුරෝපා කලාපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය ලෙසට සැලකෙන Zaporizhzhia බලාගාරය රුසියාව විසින් අත්පත් කර ගැනීමට විරෝධතා දක්වන ලෙසට යුක්රේන ජනාධිපති Volodymyr Zelenskiy රුසියානුවන්ගෙන් ඉල්ලීමක් කරනවා.

පවතින ගැටුම් අතරතුර Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයේ ගොඩනැගිල්ලක් රුසියානු හමුදා විසින් ගිනිබත් කළ බවයි යුක්රේන බලධාරීන් සිකුරාදා ප්‍රකාශ කළේ.

එමගින් සිදුවිය හැකි න්‍යෂ්ටික ව්‍යසනයක් පිළිබඳ භීතියක් ද මතු කරමින් යුක්රේනය මෙම හෙළිදරව්ව සිදු කළ අතර පසුව ගින්න නිවා දමා තිබෙනවා.

1986 වසරේ අප්‍රේල් 26 වනදා සිදු වූ ලොව දරුණුතම න්‍යෂ්ටික ව්‍යසනය ලෙස සැලකෙන චර්නොබිල් ව්‍යසනයේ දී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද සිහි කැඳවමින් යුක්රේන ජනපතිවරයා රූපවාහිනී සංවාදයකට එක්වූ අවස්ථාවේ රුසියානු ජනතාවගෙන් මෙම ඉල්ලීම සිදු කළා.

“රුසියානු ජනතාවනි, ඔබ මහ මගට බැස ඔබට ජීවත් වීමට අවශ්‍ය බව පැවසිය යුතුය, ඔබට විකිරණශීලී වායු දූෂණයෙන් තොරව පෘථිවියේ ජීවත් වීමට අවශ්‍ය බව පැවසිය යුතුය. රුසියාව කොහේදැයි විකිරණ නොදනී. එමෙන්ම විකිරණ ඔබේ රටේ දේශසීමා කොතැනදැයි නොදනී.” යනුවෙන් යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මේ අතර යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට රුසියාව කළ ප්‍රහාරය නොසැලකිලිමත් බව හේතුවෙන් සිදු වූවක් බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක දී ඇමරිකා එක්සත් ජනපදය පවසා තිබෙනවා. “දෙවියන් වහන්සේගේ කරුණාවෙන්, ඊයේ රාත්‍රියේ ලෝකය න්‍යෂ්ටික ව්‍යසනයකින් යන්තමින් වැළකුණා”, ‍යනුවෙනුයි ඇමරිකා තානාපති ලින්ඩා තෝමස්-ග්‍රීන්ෆීල්ඩ් කියාසිටියේ.

ඇතැම් ගොඩනැගිලිවලට ෂෙල් ප්‍රහාර එල්ල වීමෙන් පසුව රුසියානු හමුදා බලාගාරය අත්පත් කර ගත් අතර, යුක්රේනය පවසන්නේ මෙම ප්‍රහාරවලින් මරණ හා තුවාල සිදුව ඇති බවයි.

මෙම ප්‍රහාරයේදී විකිරණශීලී ද්‍රව්‍ය කිසිවක් නිකුත් නොවූ අතර බලාගාරය ආරක්ෂිත බව ජාත්‍යන්තර නිරීක්ෂකයින් පවසා තිබෙනවා.

යුක්රේනය තුළ න්‍යෂ්ටික බලාගාර 05ක් ඇති අතර ඉන් යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය සැපරීෂියා බලාගාරයයි.

හටගත් දරුණු ගැටුම්වලදී රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයක් එම බලාගාරයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයකට එල්ල වීම හේතුවෙන් ගින්නක් ද හටගත්තා. මෙම ප්‍රතික්‍රියාකාරකය දැනට භාවිතයට නොගන්නා එකක්වන නමුත් එහි න්‍යෂ්ටික ඉන්ධන ගබඩා කර තිබෙන බවටයි වාර්තාවන්නේ. කෙසේවෙතත් බලාගාරය ආශ්‍රිතව න්‍යෂ්ටික විකිරණශීලී මට්ටම මේ වන විට පවතින්නේ සාමාන්‍ය අගයකයි.

යුක්රේනයේ බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක් සපුරාලන මෙම න්‍යෂ්ටික බලාගාරයේ පූර්ණ පාලන බලය මේ වනවිට රුසියානු හමුදා නතු කර ගෙන තිබෙන අතර විදෙස් වාර්තා පවසන්නේ මේ වනවිට එය ක්‍රියාවිරහිත කර ඇති බවයි. යුක්රේනයේ චානෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ පාලනය ද මේ වනවිට පවතින්නේ රුසියානු හමුදා භාරයේයි. යම් හෙයකින් මෙම බලාගාරවල පිපිරීමක් සිදු වුවහොත් එය යුරෝපා කලාපයේ සිදුවන දරුණුතම ජන සංහාරය වනු ඇති බවටද බිය පළ කෙරෙනවා.

මේ අතර තම ගුවන් සීමාවේ රුසියානු යුද ගුවන් යානා තහනම් කරන ලෙසට යුක්රේනය කළ ඉල්ලීම නේටෝ සංවිධානය ප්‍රතික්ෂේප කර තිබෙනවා. නමුත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ක්‍රියාමාර්ගවලට එරෙහිව තවත් සම්බාධක පැනවීමටයි ඔවුන් පොරොන්දු වී ඇත්තේ. යුක්රේන ජනාධිපති Volodymyr Zelenskiy පසුගිය පෙබරවාරි 24 වන දා රුසියානු හමුදා ආක්‍රමණය කළ තම රට පුරා පියාසර තහනම් කලාපයක් ප්‍රකාශයට පත් කරන ලෙස නේටෝව වෙත ඉල්ලීමක් කර තිබුණා. යුක්රේනයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පැවසුවේ අප මෙම ගැටුමේ කොටස්කරුවන් නොවන බවයි. මෙම ගැටුම් යුක්රේනයෙන් ඔබ්බට පැතිරී යාම වැළැක්වීමට තමන්ට වගකීමක් ඇති බවයි ඔහු බ්‍රසල්ස් හි පැවති නේටෝ සංවිධාන රැස්වීමකින් පසුව පැවසුවේ.

පැවති සෝවියට් ජනරජයක් වන යුක්රේනයට යුරෝපා සංගමයට සහ නේටෝ සංවිධානයට එක්වීමේ අවශ්‍යතාව පවතිනවා. කෙසේවෙතත් රුසියාව යුක්රේනයේ එම අවශ්‍යතාව සලකනු ලබන්නේ එය තම ආරක්ෂාවට තර්ජනයක් ලෙසටයි. ඒ හේතුව මතයි රුසියාව මෙලෙස යුක්රේනය ආක්‍රමණය කරමින් සිටින්නේ. රුසියානු හමුදා ඔවුන්ගේ ප්‍රහාරය ආරම්භයෙන් පසු ජනාකීර්ණ ප්‍රදේශ සහ සිවිල් ජනතාවගේ යටිතල පහසුකම් ඉලක්කවලට ෂෙල් ප්‍රහාර එල්ල කර ඇති අතර න්‍යෂ්ටික බලාගාරයක් ද අත්පත් කර ගත්තා.

මේ අතර යුක්රේනයේ ගැටුම් හමුවේ පීඩාවට පත්ව පලා යන ජනතාවට බ්‍රිතාන්‍යයේ තම ඥාතීන් හමුවේ රැඳී සිටිය හැකි වීසා බලපත්‍ර කාලය මාස 12 සිට වසර තුනක් (3) දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. එරට ස්වදේශ කටයුතු ලේකම් ප්‍රීති පටෙල් පැවසුවේ මෙය යුද්ධයෙන් පලා යන අයට ස්ථිර ආරක්ෂිත බවක් සහ රැකියාවක් සොයා ගැනීමට වැඩි අවස්ථාවක් ලබා දෙන බවයි. කෙසේ නමුත් කම්කරු පක්ෂයට අවශ්‍ය වන්නේ එක්සත් රාජධානියේ කිසිදු ඥාතියෙකු නොමැතිව යුක්රේන සරණාගතයින් ඇතුළත් කිරීම සඳහා යෝජනා ක්‍රමය පුළුල් කිරීමයි.

මේ අතර රුසියාව පසුගිය සතියේ යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු මිලියනයකට අධික පිරිසක් යුක්රේනය හැර ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

මේ අතර බ්‍රහස්පතින්දා දිනයේ යුක්රේනයේ උතුරු නගරයක් වන චර්නිහිව් හි රුසියානු ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 47 දෙනෙකු මිය ගිය බව යුක්රේනය පවසනවා.

මේ අතර යුක්රේනයේ පවතින ගැටුම් මධ්‍යයේ රුසියාව තම රට තුල ෆේස්බුක් භාවිතය තහනම් කර තිබෙනවා. රුසියාවේ සන්නිවේදන කටයුතු භාර ප්‍රධානියෙකු ප්‍රකාශ කර ඇත්තේ මෙම තහනම ගෙන එනු ලැබුවෙව් තම මාධ්‍යවලට පනවා ඇති සීමාවන්ට ප්‍රතිචාරයක් වශයෙන් බවයි.

2020 වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට ෆේස්බුක් සමාගම විසින් රුසියානු මාධ්‍යවලට සහ තොරතුරු සම්පත්වලට වෙනස් ආකාරයකින් සැලකීමේ සිදුවීම් 26 ක් ඇති බව ද එම නිලධාරියා සඳහන් කර තිබෙනවා. ට්විටර් ද ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක් සමඟ ෆේස්බුක් ද රුසියාවේ සීමා වී තිබුණා. භාවිතය සීමා කර තිබුණද, මෙතෙක් ෆේස්බුක් රට තුළ සම්පූර්ණයෙන්ම අවහිර කර තිබුණේ නැහැ.

මේ අතර රටින් පිටවීමට අවශ්‍ය යුක්රේන වැසියන් සඳහා පහසුකම් සැලසීමට රුසියානු සහ යුක්රේන නියෝජිතයන් අතර පැවති දෙවන වටයේ සාම සාකච්ඡාවලදී එකඟතාව පළ වී තිබෙනවා. යුක්රේන නියෝජිතයන් සහ රුසියානු නියෝජිතයන් අතර දෙවන (2) වටයේ සාම සාකච්ඡා පැවැත්වුණේ බෙලරුසියානු දේශ සීමාවේදී කෙසේ වෙතත් පවතින යුද තත්ත්වය නිමා කිරීමක් සඳහා එහිදී කිසිදු එකඟතාවකට පැමිණ නැහැ. කෙසේවෙතත් යුක්රේනයෙන් පිටත්වීමට අවශ්‍ය ජනතාව වෙනුවෙන් සාමකාමී සහ ආරක්ෂාකාරී මානුෂීය කොරිඩෝවක් නිර්මාණය කිරීම සඳහා දෙපාර්ශ්වයම එකඟත්වයකට පැමිණ තිබෙනවා.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පෙන්වා දෙන්නේ යුක්රේනය සිය යුද බලය අතහරින තෙක් සිය ආක්‍රමණයන් අත් නොහරින බවයි. එවන් පසුබිමක යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කේ ජාත්‍යන්තර මාධ්‍යවේදීන් පිරිසක් සමග සාකච්ඡාවකට එක්වුණා. ඒ සඳහා ඔහු පුටුවක් අතැතිව පැමිණීම ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ වන විට යුක්රේනයේ දකුණු දිග ප්‍රදේශවල බලය අත්පත් කර ගැනීම සඳහා රුසියානු හමුදා දරමින් සිටින්නේ විශාල ප්‍රයත්නයක්. මුහුදු මාර්ග ඔස්සේ යුක්රේනයට සැපයෙන විදෙස් ආධාර අවහිර කිරීම ඔවුන්ගේ අවශ්‍යතාවයි. කීව් නුවර බලා සැතපුම් 40 ක් පමණ දිග රුසියානු යුද රථ පෙළක් තවදුරටත් ගමන් කරමින් පවතින ආකාරය ද වාර්තා වුණා.

මේ අතර යුද ගැටුම් හේතුවෙන් විනාශ වු යුක්රේනයේ සිහිනය ලෙස හැඳින්වූ ලොව විශාලතව භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන ඇන්ටනෝව් 225 ගුවන් යානයේ දර්ශන විදෙස් මාධ්‍ය ඊයේ (04) වාර්තා කළා. විනාශයට පත්වූ යානය සම්බන්ධයෙන් රුසියානු මාධ්‍යවේදිනිය සජීවී වාර්තාකරණයේ නිරතවන අතරතුරත් හොස්ටෙමෙල් ගුවන් තොටුපොළේ දරුණු ගැටුම් පැවතියේ ප්‍රහාරාත්මක සහ බිහිසුණු අන්දමින්.

මේ අතර රුසියාවේ යුක්රේන ආක්‍රමණය සහ සිදුවන මානුෂීය නීති උල්ලංඝනය කිරීම සැලකිල්ලට ගනිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී විවාදයක් සහ ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතයි. එමෙන්ම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා යුක්රේන ජනාධිපතිවරයාට පවසා ඇත්තේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය යළිත් වතාවක් රැස්වන බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *