යුක්රේනයේ හර්සොන් නගරය රුසියාව යටතට

යුක්රේනයේ හර්සොන් නගරය රුසියාව යටතට

*********************************************

යුක්රේනයේ හර්සොන් නගරය රුසියාව යටතට

(03.03.2022 – 14:05 +0530 – hirunews.lk/sinhala)

රුසියානු ආක්‍රමණය හමුවේ සිය නගරය රුසියානුවන්ට යටත් වූ බව යුක්‍රේනයේ ‘හර්සොන්’ නගරයේ නගරාධිපති ඉහෝර් කොලිකිෆ් (Ihor Kolykhaiev) පවසනවා.

රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් හරියටම සතියකට පසු රුසියානු හමුදාවන්ගේ ග්‍රහණයට සහමුලින්ම නතු වූ පළමු නගරය මෙයයි.

හර්සොන් නගරයේ නගරාධිපතිවරයා සිය නගර වැසියන් ගෙන් ඉල්ලා ඇත්තේ රුසියානු හමුදාවේ අණට අනුව කටයුතු කරන ලෙසයි.

එමෙන්ම සිය නගර වැසියන්ට හානි නො කරන ලෙසත් ඔහු රුසියානු හමුදාවන්ගෙන් ඉල්ලා තිබෙනවා.

ලක්ෂ 3 ට ආසන්න ජනගහනයක් වාසය කරන හර්සොන් කලාපය යුක්‍රේනයේ ඇති බෙහෙවින් කාර්මිකකරණය වූ නගර කලාපයක්.

මෙම ප්‍රදේශයේ යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන සපොරීසියා න්‍යෂ්ටික බලාගාරය ද පිහිටුවා ඇති අතර මේ වන විටත් එම න්‍යෂ්ටික බලාගාර සංකීර්ණය සම්පූර්ණයෙන්ම රුසියානු හමුදාවන් විසින් වටකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට රුසියානු යුද භටයින් සහ සන්නද්ධ රට රථ යුක්‍රේනයේ හර්සොන් නගරයේ ස්ථානගත කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

රුසියානු භටයින්ගේ මෙම ජයග්‍රහණයත් සමඟම යුක්රේන්යේ ප්‍රධාන වරාය සහ නාවික කඳවුර වන ඔඩෙස්සා, වෙත දැවැන්ත තර්ජනයක් සහ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට යුධ විශ්ලේෂකයින් අනතුරු හඟවනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විටත් ඔඩෙස්සා වරාය ආසන්නයේ රුසියානු යුධ නෞකා බොහොමයක් ස්ථානගත කර ඇති බවයි.

බොහෝ විට මෙම ප්‍රහාරය ගොඩබිමින් සහ දියෙන් එක්වර එල්ල වන ප්‍රහාරයක් විය හැකි බවටත් ඔවුන් අනතුරු අඟවනවා.

බදාදා රාත්‍රියේ රුසියානු නාවික හමුදාවට අයත් න්‍යෂ්ටික සබ්මැරීන ඇතුළු නාවික යාත්‍රා ක්‍රිමියා අර්ධද්වීපයේ පිහිටා ඇති රුසියානු නාවික හමුදා කඳවුරෙන් පිටත්ව ඇත්තේ ද ඔඩෙස්සා වරායට ප්‍රහාරයක් එල්ල කිරීමට බවයි මෙම විශ්ලේෂකයින් උපකල්පනය කරන්නේ.

බොහෝ විට මෙම වරාය සහ නාවික හමුදා කඳවුර ඉලක්ක කරගෙන සිදු කෙරෙන ප්‍රහාරයන් අද (03) දිනය තුළ දී සිදු විය හැකි බවටත් ඔවුන් පුරෝකතනය කරනවා.

බදාදා සවස් වන තෙක් නගරයේ පාලනය රුසියානු හමුදාවන්ට ලබා නො දී සිටීමට නගරවැසියන් සහ යුක්‍රේන හමුදා භටයන් දැවැන්ත ප්‍රතිරෝධයක් එල්ල කළ ද සංඛ්‍යාවෙන් ඉහළ රුසියානු හමුදාවන්ගේ ඉදිරි ගමන හමුවේ එය බිඳ වැටුණා ෴

+++++++++++++

බොරතෙල් මිල යළි වාර්තාගත ලෙස ඉහළට

(03.03.2022 – 14:21 +0530 – hirunews.lk/sinhala)

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල යළිත් වාර්තගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට brent වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 117.3 ක් ලෙසටයි.

මෙය 2014 වසරෙන් පසුව වාර්තා වූ වැඩිම මිල වීම විශේෂත්වයක්.

ඇමරිකානු WTI ඉන්ධන බැරලයක මිල දැක්වෙන්නේ ඩොලර් 114.5 ක් ලෙසටයි.

ඉතිහාසයේ වැඩිම අගයක් දක්වා ඉන්ධන මිල ඉහළ ගොස් ඇත්තේ 2008 වසරේ ජුනි මාසයේ වන අතර ඒ ඩොලර් 179.9 ක්.

මෑත ඉතිහාසයේ වැඩිම මිල සටහන් වූයේ, 2014 වසරේදීයි.

එම වසරේ මැයි මාසයේ බොරතෙල් බැරලයක මිල දැක්වුනේ ඩොලර් 121.40 ක් ලෙසටයි.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හමුවේ ලෝක වෙළඳ පොල තුල බොරතෙල් මිල වැඩිවීම සිදුවන බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් සැපයුම් ඇණහිටීම හමුවේ බොරතෙල් සංචිත මුදා හැරීමට අපොහොසත් වීම හේතුවෙන් , අඟහරුවාදා බොරතෙල් මිල 7% කින් පමණ ඉහළ ගියා.

එක්සත් ජනපදය සහ ජපානය ඇතුළත් ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) සාමාජිකයින්, බොරතෙල් බැරලයක් ඩොලර් 100 ඉක්මවා යාම හමුවේ තියුණු ලෙස මිල වැඩිවීම මැඩපැවැත්වීම සඳහා ඔවුන්ගේ සංචිතවලින් බොරතෙල් බැරල් මිලියන 60 ක් මුදා හැරීමට ද එකඟ වුණා.

එක්සත් ජනපදයේ බටහිර ටෙක්සාස් අතරමැදි (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 7.69 කින් හෝ 8.0% පමණ කින් ඉහළ යමින් 103.41 ක ස්ථාවර මිලක පැවතුණා. එය 2014 ජූලි මාසයෙන් පසු එහි වාර්තා වූ ඉහළම අගය වන අතර 2020 නොවැම්බර් මාසයෙන් පසු එහි විශාලතම දෛනික ලාභය ද උපයාගෙන තිබෙනවා.

වසර හතක (7) පමණ කාලයකින් පසු ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල මෙතරම් ඉහළ අගයක් දක්වා ගිය පළමු අවස්ථාව මෙයයි.

බටහිර රටවල ආර්ථික සම්බාධක සහ රුසියානු ගෑස් නල මාර්ගයක් අවහිර කිරීමේ පියවර මධ්‍යයේ පසුගිය සතිය මුලදී බොරතෙල් මිල ඉහල යාම ආරම්භ වුණා.

සෞදි අරාබියට පසු දෙවන (2) විශාලතම බොරතෙල් අපනයනකරු ලෙසට සැලකෙන්නේ රුසියාවයි ෴

+++++++++++++

හඬා වැටෙන රුසියානු සෙබලා

(03.03.2022 – 19:01 +0530 – hirunews.lk/sinhala)

රුසියානු සෙබලුන්ගේ චිත්ත ධෛර්යය දිනෙන් දින බිඳ වැටෙන බව යුක්රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කි පවසනවා.

‘මේ අය සුපිරි බලවතෙකුගේ රණශූරයන් නොවේ, මොවුන් ව්‍යාකූල, බියට පත් දරුවන්’; ජනාධිපති සෙලෙන්ස්කි රුසියානු හමුදා භටයින්ගේ චිත්ත ධෛර්යය ‘නිරන්තරයෙන් පිරිහෙමින් පවතින’ බව සඳහන් කරමින් කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුක්‍රේන නායකයා කියා සිටියේ රුසියාව විසින් වසර ගණනාවක් ලියා සැලසුම් කළ ඔවුන්ගේ සියලු සැලසුම් සතියක් තුළ දී බිඳ දැමීමට යුක්‍රේනයේ වැසියන් ජාතියක් ලෙස සමත් වූ බවයි.

ඒ සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව සිය රට වැසියන්ට ලබාදෙන බවත් ඔහු සඳහන් කළා.

රුසියානු හමුදාවන්ගේ ඉදිරි ගමනට ප්‍රතිරෝධය දැක්වූ නගරවල වීරෝධාර නිවැසියන් තමා අවංකවම අගය කරන බවත් ජනාධිපතිවරයා පැවසුවා.

මෙම ආක්‍රමණය ආරම්භයේ සිට මේ වන විට රුසියානු සොල්දාදුවන් 9,000 ක් පමණ මිය ගොස් ඇති බවත් ඔහු කියා සිටියා.

යුක්‍රේන ආක්‍රමණය ආරම්භ වූ දා සිට ජනාධිපති සෙලෙන්ස්කි දුන් නායකත්වය යුක්රේනියානුවන්ගේ සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ අතිශය ප්‍රශංසාවට ලක් වූනා.

මේ අතර යුක්රේනියානුවන්ට යටත් වූ රුසියානු සොල්දාදුවෙකු තම මව සමඟ දුරකථනයෙන් කතා කරන විට කඳුළු සලමින් සිටින වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස ප්‍රචාරය වුණා.

එම දර්ශනවල දැක්වෙන්නේ පුටින්ගේ හමුදාවේ තරුණ සටන්කරුවෙකු තම ආයුධය බිම හෙළීමෙන් පසු කාන්තාවන් පිරිසක් විසින් සනසන ආකාරය සහ තවත් කාන්තාවක් ඔහුට සිය දුරකථනය ඔස්සේ ඔහුගේ මවට කතා කිරීමට අවස්ථාව සලසා දෙන ආකාරයයි.

මෙහිදී තරුණ යුද සිරකරුවා සංවේදී වෙමින් කඳුළු සලන අයුරුත් එම වීඩියෝ පටය සටහන් වී තිබුණා.

එමෙන්ම එම තරුණ සොල්දාදුවා සිය මව ඇමතීමෙන් අනතුරුව ඇමතුම් ලබා දුන් කාන්තාව සොල්දාදුවාගේ මවට කතා කරමින් කියා සිටියේ ඇයගේ පුතා නිරෝගීමත්ව හොඳින් සිටින බවයි.

මෙලෙසින් බොහෝ විඩාපත් සහ අධෛර්යමත් වූ රුසියානු හමුදා භටයින් සටනින් පලා යමින් හෝ යුක්රේනයට යටත් වන බව වාර්තා වනවා.

මේ අතර රුසියානු හමුදාවන්ට ආහාර සහ ඉන්ධන හිඟ වීමට පටන්ගෙන ඇති අතර ඇතැම් රුසියානු හමුදා භටයන් මංකොල්ලකෑම්වලට පවා යොමු ව ඇති අතර තවත් සමහරු සටනෙන් මිදීමේ උත්සාහයෙන් තමන්ගේම හමුදා උපකරණ කඩා බිඳ දමන බවත් වාර්තා වනවා.

මේ අතර මේ වන විට අල්ලා ගත් යුද සිරකරුවන් පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා රුසියානු මව්වරුන්ට යුක්‍රේනය විසින් සෘජු දුරකථන අංකයක් ලබා දී තිබෙනවා.

ඊටත් අමතරව තමන්ගේ දරුවා යුක්රේනයේ යුද සිරකරුවෙකු ලෙස සිටින බව දන්නේ නම් පැමිණ ඔවුන් රැගෙන යාහැකි බවත් ඔවුන් දැනුම් දී තිබෙනවා.

යුක්රේනය ගත් මෙම ක්‍රියාමාර්ගය රුසියානු යුධ හමුදා සෙබළුන් සහ මොස්කව් පාලනය ද දැඩි ලෙස අපහසුතාවයට පත් කරන ලද තීරණයක් ලෙසයි ජාත්‍යන්තර යුද විශ්ලේෂකයින් හඳුන්වා දෙන්නේ.

+++++++++++++

දෛනික ඉන්ධන සැපයුම ඉහළ දැමීමට ඔපෙක් රටවල් තීරණය කරයි

(03.03.2022 – 21:20 +0530 – hirunews.lk/sinhala)

රුසියානු හමුදාව විසින් අත්පත් කර ගත් දකුණු යුක්රේනයේ ප්‍රධාන වරාය නගරයක් වන කර්සන් නගරයට ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

එහි නගරාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ රුසියානු හමුදා බලහත්කාරයෙන් නගර සභා ගොඩනැගිල්ලට ද ඇතුළු වී නගරයට ඇඳිරි නීතිය පැනවූ බවයි.

කර්සන් වරාය නගරයේ ජනගහනය දෙලක්ෂ අසූ දහසකට (2,80,000) අධික වන අතර, දරුණු ගැටුම්වලින් පසු රුසියානු හමුදාව ග්‍රහණයට ගත් පළමු (1) ප්‍රධාන නගරය ද එය බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

මේ අතර, රුසියානු – යුක්රේන අර්බුදය හමුවේ ලෝක ඉන්ධන සැපයුම දෛනිකව බැරල් හාරලක්ෂයකින් (4,00,000) අප්‍රේල් සිට ඉහළ දැමීමට ඔපෙක් රටවල් තීරණය කර තිබෙනවා.

2013 වසරෙන් පසු ප්‍රථම වරට ලෝක බොරතෙල් වෙළදපොළේ බැරලයක මිල ඇමරිකානු ඩොලර් 118 ට ළඟා වී ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

රුසියානු – යුක්රේන යුද උණුසුම ඉහල යාමත් සමඟ අද (03) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 116 ක් ලෙස සඳහන් වූ අතර, ඇමරිකානු තෙල් බැරලයක මිලද ඩොලර් 113 දක්වා ඉහල ගොස් තිබුණා ෴

+++++++++++++

දෙවැනි (2) වටයේ සාකච්ඡාවලින් අපේක්ෂිත ප්‍රතිඵල නෑ – මානුෂීය කොරිඩෝවකට එකඟතාවක්

(04.03.2022 – 06:38 +0530 – hirunews.lk/sinhala)

රුසියානු ආක්‍රමණය හමුවේ අවතැන් වන යුක්රේන සිවිල් වැසියන් ඉවත් කිරීම සඳහා මානුෂීය කොරිඩෝවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය ම අවබෝධයකට පැමිණ ඇතැයි වාර්තා වනවා. ඊයේ (03) පැවති දෙවන (2) වටයේ සාකච්ඡාවලදී යි මෙම තීරණයට එළඹ ඇත්තේ. කෙසේ වෙතත් සාකච්ඡාවලට එක්වූ යුක්රේන නියෝජිතයෙක් ප්‍රකාශ කර ඇත්තේ, රුසියාව සමඟ දෙවන (2) වටයේ සටන් විරාම සාකච්ඡාවලින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබුණු බවයි. බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබුණ ද සිවිල් වැසියන් ඉවත් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අවබෝධයකට පැමිණ ඇති බවයි ඔහු කියාසිටියේ. යුක්රේන ජනාධිපති උපදේශක Mykhailo Podolyak පැවසුවේ ගැටුම් හමුවේ අවතැන්වන සහ පීඩාවට පත්වන සිවිල් වැසියන් ඉවත් කිරීමට ඉඩ සැලසීම සඳහා දෙපාර්ශවය ම තාවකාලික සටන් විරාමයක් පිළිබඳ අවදානය යොමු කළ බවයි. ඒ අනුව අදාළ මානුෂීය කොරිඩෝව පිහිටා ඇති ස්ථානවල දී, ජනතාව ඉවත් කිරීමට අවස්ථාව ලබාදීම වෙනුවෙන් ගැටුම් නැවැත්වීමට හැකි වනු ඇති.

මෙහෙත් හෙළි නොකළ ස්ථානයක පැවති මෙම සාකච්ඡා, රුසියානු ආක්‍රමණයෙන් පසුව කිසියම් හෝ කරුණක් සඳහා දෙපාර්ශවය එකඟ වූ පළමු (1) අවස්ථාව මෙය ලෙසටයි ඉතිහාසයට එක්වන්නේ. එමෙන්ම දෙවන (2) සාකච්ඡා වටයේදී, දරුණුතම සටන් පවතින ස්ථානවලට ඖෂධ සහ ආහාර ලබාදීම සම්බන්ධයෙන් ද ඔවුන් අවබෝධතාවකට පැමිණ තිබුණා.

යුක්රේන ජනාධිපතිවරයා රුසියානු ජනපතිගෙන් සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටියේ යුද්ධය අවසන් කිරීමට ඇති එකම මාර්ගය මෙය බව පවසමින්. එමෙන්ම මෙම ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට ගුවන් යානා ලබාදෙන ලෙසට ද ඔහු බටහිරට රටවලින් ඉල්ලීම් කර තිබුණා. මාධ්‍ය හමුවකදී Volodymyr Zelensky විසින් Nato සංවිධානයට පැවසුවේ “ඔබට අහස වසා දැමීමට බලයක් නැතිනම් මට ගුවන් යානා දෙන්න” යනුවෙන්.

යුක්රේන පාර්ශවය චෝදනා කරන්නේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ආක්‍රමණය ලොව පුරා හෙළා දැකීමක් සිදු වුව ද එම සියලු දේ පසෙකට දමා, ඔහුගේ හමුදා මෙහෙයුම සැලසුමට අනුව සිදුවන බවටයි. ක්‍රෙම්ලිනය යුක්‍රේනයට එක හා සමානව සලකන්නේ නම් සහ සද්භාවයෙන් සාකච්ඡා කිරීමට පැමිණියහොත් කිව් සහ මොස්කව් අතර යුද්ධයෙන් මිදීමට මගක් සොයා ගත හැකි බව යුක්රේන ජනාධිපති Volodymyr Zelenskiy සඳහන් කර තිබෙනවා. පුටින් සමඟ විවෘත සංවාදයක් පැවැත්වීමට ද තමා කැමැත්තෙන් පසුවන බව රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කළා.

යුක්රේන හමුදා සහ සිවිල් වැසියන් රුසියානු ආක්‍රමණික හමුදාවට එරෙහිව සිය මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබනවා. ඊයේ (03) සවස වන විටත් කිව් අගනුවර සහ අනෙකුත් ප්‍රධාන නගර පැවතුණේ ඔවුන්ගේ පාලනය යටතේයි.

මේ අතර ගැටුම් හමුවේ යුක්රේනයේ විශාල පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ මිලියනයක පමණ ජනතාවක් මේ වන විට තම නිවෙස්වලින් පලා ගොස් ඇති බවයි. ජනතාව රැඳී සිටි නගර කිහිපයකට, ෂෙල් ප්‍රහාර සහ රොකට් ප්‍රහාර එල්ල වුණා. මිලියන 1.5 ක පමණ ජනගහනයක් සිටින යුක්රේනයේ දෙවන (2) නගරය වන මධ්‍යම ඛාර්කිව් සුන්බුන් බවට පත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. යුක්‍රේනයේ චර්නිහිව් හි ෂෙල් ප්‍රහාරවලින් හානි වූ තෙල් ගබඩාවෙන් දුමාරයක් නිකුත් වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම පර්යන්තයේ ඝන මීටර් 5000 ක ඩීසල් ගබඩා කර තිබුණා.

පුටින්ගේ ක්‍රියා කලාපය පිළිබඳ ලෝකයේ බොහෝ රටවල හෙළා දැකීම හෝ රුසියාවේ ආර්ථිකය දණගැස්වීම අරමුණු කරගත් ජාත්‍යන්තර ආර්ථික හා මූල්‍ය සම්බාධක කෙරෙහි ද ඔහු සැලකිල්ලක් නොදක්වන බවයි විචාරකයන්ගේ මතය වන්නේ. යුක්රේනයේ තම හමුදා මෙහෙයුම් සැලැස්මට අනුව සිදුවෙමින් පවතින අතර එහි හමුදා සාමාජියකන් වීරයන් ලෙසට ද රුසියානු ජනාධිපතිවරයා වර්ණනා කළා.

පසුගිය බ්‍රහස්පතින්දා රුසියාව යුක්රේනයේ ආක්‍රමණය ආරම්භ කිරීමේ සිට මේ වන විට මිලියනයකට අධික ජනතාවක් යුක්රේනයෙන් පලා ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා තිබෙනවා.

මේ අතර රුසියානු හමුදා යුක්රේනයේ දකුණු වෙරළ තීරයේ ප්‍රධාන වරාය නගරයක් වන Kherson හි පාලනය නතු කරගෙන ඇති අතර එය ඔවුන් භාරයට ගත් පළමු ප්‍රධාන නගරය වනවා. එමෙන්ම උපාය මාර්ගික වරාය නගරයක් වන Mariupol හි ෂෙල් වෙඩි ප්‍රහාර අඛණ්ඩව සිදුවන අතර රුසියානු හමුදා විදුලිය, ආහාර, ජලය ඇතුලු සැපයුම් විසන්ධි කර ඇති බවටයි එහි නගරාධිපතිවරයා පවසා ඇත්තේ. එමෙන්ම කිව් සිට සැතපුම් 70 ක් පමණ උතුරින් පිහිටි නගරයක් වන Chernihiv හි ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 22 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා.

මේ අතර යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියාව ගත් තීන්දුව යුද අපරාධයක් ලෙස සලකා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිවේදනය කළා. මේ අතර රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ද බහුතර ඡන්දයෙන් යෝජනාවක් සම්මත කර ගෙන තිබෙනවා.

මේ අතර ගතවූ පැය 24 තුළත් කීව් අගනුවර ඉලක්ක කර රුසියානු හමුදා මිසයිල සහ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ අතර, ඩීසල් ගබඩාවක්ද එහිදී විනාශ වුණා. යුක්රේනයේ කේසෝන් නගරයේ බලය රුසියානු හමුදා අත්පත් කර ගැනීමත් සමග රුසියානු හමුදාව අණට ගරු කරන ලෙස එහි නගරාධිපතිවරයා නගරවාසීන්ට දැනුම් දී තිබෙනවා.

යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ මහා මණ්ඩල සැසිවාරයක් කැඳවනු ලැබුවේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවකට අනුවයි. 1982 වසරෙන් පසු විශේෂ මහා මණ්ඩල සැසිවාරයක් කැඳවනු ලැබූ පළමු අවස්ථාව මෙය වීමත් විශේෂත්වයක්. ඒ අනුව රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව රටවල් 141 ක් ඡන්දය ප්‍රකාශ කළා. ආරක්ෂක කවුන්සිලයේදී යෝජනාවට ඡන්දය නොදුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය මහා මණ්ඩලයට ගෙනා යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්. රටවල් පහක් එහිදී යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා. ඒ රුසියාව, බෙලරුසය, එරිත්‍රියාව, උතුරු කොරියාව සහ සිරියාවයි. යුක්රේනය සහ රුසියානු නියෝජිතයින් අතර සාම සාකච්ඡා වටයක් පසුගියදා පැවැත්වුණේද බෙලරුස් දේශසීමාවේදී. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ චීනය ඇතුලු රටවල් 35 ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියා.

රුසියාව සිය ආක්‍රමණය වහාම නතර කළ යුතු බවත්, හමුදා ඉවත් කළ ගත යුතු බව සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූලව කටයුතු කළ යුතු බවටත් මෙම යෝජනාව මගින් ප්‍රකාශිතයි. ඡන්ද ප්‍රතිඵලය තිරය මත සටහන් වීමත් සමඟ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වූ නියෝජිතයන් සිය අසුන්වලින් නැගිට අත්පොලොසන් ගසමින් යෝජනාව සම්මත වීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කළා.

මේ අතර යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියාව ගත් තීන්දුව යුද අපරාධයක් ලෙස සලකා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ලබන සතියේ අරඹන බව ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිවේදනය කළා. ඒ ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය ඇතුළු රටවල් 38 ක් රුසියාවට එරෙහිව කරුණු ගොනු කිරීම හේතුවෙන්.

මේ අතර ජගත් මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කළේ, රුසියානු ආක්‍රමණය හේතුවෙන් ගතවූ දින 5 ක් තුළ සිවිල් වැසියන් 227 දෙනෙකු මිය ගොස් 525 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. එමෙන්ම ගැටුම්වලදී සිය සෙබලුන් 498 දෙනෙකු මිය ගිය බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පළමු වරට ඊයේ (03) නිවේදනය කළා. කෙසේ වෙතත්, යුක්රේන බලධාරීන් පවසන්නේ රුසියානු සෙබළුන් 5000 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි. මේ අතර, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙන්නේ, යුක්රේනයේ සෙබලුන් 2870 දෙනෙකු සිය ප්‍රහාරවලින් මිය ගොස් ඇති බවයි. තවත් 3800 ක් පමණ තුවාල ලබා ඇති බව සදහන් කරන රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ තවත් යුක්රේන සෙබලුන් 572 නෙකු සිය අත්අඩංගුවේ පසුවන බවයි.

මේ අතර යුක්රේනයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය පිහිටි සැපොරිෂියා නගරයේ පාලනය තමන් සතු කර ගත් බව රුසියාව දැනුම් දී තිබෙනවා. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පවසන්නේ එහි කාර්ය මණ්ඩලය විසින් තවදුරටත් බලාගාරයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරගෙන යන බවයි. රුසියානු ආරක්ෂක අංශ භාරයට පත්ව ඇති චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා යුක්රේන බලධාරීන් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ උපකාර ඉල්ලා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. යුක්රේනය සතු න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක 15 න් 6 ක්ම පිහිටා ඇත්තේ සැපොරිෂියා න්‍යෂ්ටික බලාගාරය තුළයි.

උද්ගතව ඇති යුදමය තත්ත්වය හමුවේ ඉහළ යන ඛනිජ තෙල් මිල හේතුවෙන් ඛනිජ තෙල් නිෂ්පාදනය ඉහළ නැංවීමේ සූදානමක පසුවන බව සවුදි අරාබිය ප්‍රමුඛ ඛනිජ තෙල් නිෂ්පාදන රටවල් පෙන්වා දෙනවා. එළැඹෙන අප්‍රේල් මාසය වන විට සිය දෛනික ඛනිජ තෙල් නිෂ්පාදනය බොර තෙල් බැරල් ලක්ෂ 4 කින් ඉහළ දමන බවයි ‘OPEC’ සංවිධානය පවසන්නේ.

මේ අතර, රුසියානු ගුවන් යානා සඳහා සිය ගුවන තහනම් කර ඇති පසුබිමක පවා වාරණ උල්ලංඝණය කරමින් රුසියාව සිය ප්‍රහාරක ජෙට් යානා සිය ගුවන් කලාපයේ පියාසර කරන බවට ස්වීඩනය චෝදනා කරනවා.

සාම සාකච්ඡා සඳහා එළැඹුණ ද රුසියාවට පනවා ඇති සම්බාධක ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව නැතැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසනවා. රුසියාවේ සහ බෙලරුසියානු ක්‍රීඩකයින්ට ශීත සෘතු ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගී වීම ද මේ වන විට තහනම් කර තිබෙනවා. ඒ පිළිබඳ අභියෝගයට ලක් කරමින් අභියාචනා ගොනු කරන බවටයි රුසියාව ප්‍රකාශ කර ඇත්තේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *