රුසියානු යුක්රේන ගැටුම ගැන ඉරාන ආධ්‍යාත්මික නායකයාගෙන් ඇමරිකාවට චෝදනා

රුසියානු යුක්රේන ගැටුම ගැන ඉරාන ආධ්‍යාත්මික නායකයාගෙන් ඇමරිකාවට චෝදනා

*********************************************

රුසියානු යුක්රේන ගැටුම ගැන ඉරාන ආධ්‍යාත්මික නායකයාගෙන් ඇමරිකාවට චෝදනා

(02.03.2022 – 06:42 +0530 – hirunews.lk/sinhala)

රුසියාව යුක්රේන ආක්‍රමණය කිරීම වහාම නතර කළ යුතු බව ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි පවසනවා.

මෙම ගැටුම ඇමරිකා එක්සත් ජනපදය විසින් නිර්මාණය කළ එක්ක බවටයි ඔහු චෝදනා කළේ.

පසුගිය සතියේ බ්‍රහස්පතින්දා යුක්රේනය ආක්‍රමණය කළ රුසියාව, වසර ගණනාවක් බටහිර සම්බාධකවලට යටත්ව සිටින ඉරානයේ මූලෝපායික හවුල්කරුවෙක් වනවා.

ඉරානය සහ වොෂින්ටනය දශක ගනනාවක් තිස්සේ සතුරන් වන අතර ඉරානය සහ රුසියාව අතර පවතින වෙළඳ සබඳතා ඉතා ගැඹුරු බවයි ආධ්‍යාත්මික නායකත්වය පෙන්වා දෙන්නේ.

“ඇමරිකා එක්සත් ජනපද පාලන තන්ත්‍රය අර්බුද නිර්මාණය කරනවා, එමෙන්ම ඔවුන් ලෝකයේ විවිධ අර්බුදවලින් පෝෂණය වන අතර යුක්රේනය මෙම ප්‍රතිපත්තියේ තවත් ගොදුරක්,” යනුවෙන් කමේනි රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් සදහන් කර තිබෙනවා.

“මගේ මතය අනුව, යුක්රේනය එක්සත් ජනපදය විසින් නිර්මාණය කරන ලද අර්බුදවලට ගොදුරු වී තිබෙනවා, මෙහිදී ඉගෙන ගත යුතු පාඩම් දෙකක් තිබෙනවා. එක්සත් ජනපදයේ සහ බටහිර බලවතුන්ගේ සහයෝගය මත යැපෙන රාජ්‍යයන් එවැනි රටවල් විශ්වාස කිරීමට නොහැකි බව දැන කටයුතු කළ යුතුයි.” යනුවෙන් ඉරාන ආධ්‍යාත්මික නායකත්වය ප්‍රකාශ කළා.

මේ අතර රුසියාවට කිසිදු ආර්ථික සම්බාධකයක් පැනවීමට කටයුතු නොකරන බව මෙක්සිකෝව පවසනවා.

එරට ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, තමන්ට ලොව සියලු ම රටවල් සමග හොඳ හිත පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය බවයි.

මේ අතර යුක්රේනය ආක්‍රමණය කරන රුසියානු හමුදා විසින් කිව් අගනුවර රූපවාහිනී කුළුණකට ප්‍රහාරයක් එල්ල කළා.

එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් ඇති බවයි යුක්රේන බලධාරීන් පවසන්නේ.

මෙම ප්‍රහාරය එල්ල වූයේ රුසියාව කිව් අගනුවර ඉලක්ක වෙත පහර දීමට සූදානම් වන බවට ජනතාවට අනතුරු අඟවා මොහොතකට පසුවයි.

එම අනතුරු ඇගවීම මගින් කියා සිටියේ තාක්ෂණික මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන අතර එවැනි ස්ථාන අවට සිටින ජනතාවට ඉවත්ව සිටින ලෙසටයි.

රුසියානු සන්නාහ සන්නද්ධ රථ විශාල පෙළක් ද අඛණ්ඩව නගරය දෙසට ගමන් කරමින් සිටිනවා.

රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියේ, යුක්රේනයේ ආරක්ෂක සේවය විසින් භාවිතා කරනු ලබන කිව්හි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බවයි.

මිලියන තුනක ජනගහනයක් සිටින නගරයේ එම ඉලක්ක පිහිටා ඇත්තේ කොතැනද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් ලබාදී නොමැති අතර, එවැනි ස්ථාන අසල පදිංචිකරුවන්ට ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් වන ලෙස අනතුරු අඟවනු ලැබුවා.

කිව් නගරාධිපතිවරයා විසින් නගරයේ රූපවාහිනී කුළුණ ගිනිදැල්වලින් ගිලී තිබෙන, පුද්ගලයන් පස් දෙනෙකුට මරු කැඳ වූ අවස්ථාව දැක්වෙන වීඩියෝවක් ප්‍රකාශයට පත් කළා.

මේ අතර යුක්රේන ජනාධිපති ව්ලොදමීර් සෙලෙන්ස්කි අඟහරුවාදා ප්‍රකාශ කළේ, සටන් විරාමයක් පිළිබඳ අර්ථවත් සාකච්ඡා ආරම්භ කිරීමට පෙර රුසියාව යුක්‍රේනයේ නගරවලට බෝම්බ හෙලීම නතර කළ යුතු බවයි.

පෙරේදා පැවති පළමු වටයේ සාකච්ඡාවලින් සුළු ප්‍රගතියක් ලබා තිබීම ඊට හේතුවයි.

දැඩි ආරක්‍ෂාවක් සහිත පරිශ්‍රයක පැවති එම සාකච්ඡාවේ දී රුසියානු ගුවන් හමුදාව නැවැත්වීම සඳහා පියාසර තහනම් කලාපයක් පනවන ලෙස යුක්රේන පාර්ශවය නේටෝ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටි අතර, මෙය ගැටුම් වැළැක්වීමේ පියවරක් වන අතර රුසියාව සමඟ නේටෝ සංවිධානය අර්බුදයකට ඇද දැමීමට අදහස් නො කරන බව ද ප්‍රකාශ කර තිබෙනවා.

රුසියානු හමුදා ඉදිරියට යද්දී යුක්‍රේන අගනුවර හැර යාම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇතැයි ද සදහන්.

රුසියාව සමඟ වැඩිදුර සාකච්ඡා සඳහා ඔහුගේ කොන්දේසි සකස් කරමින්, සෙලෙන්ස්කි විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ “අවම වශයෙන් මිනිසුන්ට බෝම්බ හෙලීම නතර කර, සාකච්ඡා මේසයේ වාඩි වීම අත්‍යාවශ්‍ය බවයි.”

මේ අතර සම්බාධක පැනවීමෙන් යුක්රේන ආක්‍රමණයට රුසියාව ගෙන ඇති තීරණයට කිසිදු බලපෑමක් නොවන බව රුසියාවේ ධනවත්ම ව්‍යාපාරිකයෙකු පවසනවා.

කෝටිපති බැංකුකරුවෙකු වන මිහායිල් ෆ්‍රිඩ්මන් නම් එම ව්‍යාපාරිකයා ලන්ඩනයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ මෙම යුද්ධය රුසියාව සහ යුක්රේනය යන දෙපාර්ශවයටම ඛේදවාචකයක් බවයි.

කෙසේවෙතත් ඔහු මෙම ගැටුම සම්බන්ධයෙන් සෘජු විවේචන කිරීමෙන් වැළකී ඇත්තේ ඉන් පුද්ගලිකව තමාට පමණක් නොව කාර්ය මණ්ඩලයට සහ සගයන්ටද අවදානමක් විය හැකි බව පවසමින්.

මේ අතර යුක්රේනයේ දෙවන නගරය වන කාර්කිව් හි මධ්‍යම චතුරශ්‍රයට රුසියානු මිසයිල ප්‍රහාරයක් ද එල්ල වුණා.

එහි විශාල පිපිරීමක් ද සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියානු දේශසීමාව අසල නගරයේ පිහිටි ප්‍රාදේශීය රාජ්‍ය මූලස්ථානයකට ද මිසයිලය හේතුවෙන් හානි සිදුව තිබෙනවා.

මීටර් 1.4 ක උසකින් යුත් නගරයක් වන කාර්කිව් යුක්රේනයේ තාක්ෂණික අගනුවර ලෙස ද හඳුන්වනු ලබන අතර එහි ජනාකීර්ණ නේවාසික ප්‍රදේශවලට ද ප්‍රහාර එල්ල වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

කාර්කිව් නගරයට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් 10 දෙනෙකු මිය ගිය බවටයි වාර්තා වන්නේ.

තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

තවත් පිරිසක් සුන්බුන්වලට සිරවී සිටියදී බේරාගෙන තිබෙනවා.

මේ අතර ඊසානදිග ඔක්ටිර්කා නගරයේ රුසියානු කාලතුවක්කු ප්‍රහාරයකින් යුක්රේන සොල්දාදුවන් 70 ක් මිය ගොස් තිබෙනවා.

යුක්රේන ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව කියා සිටියා.

මේ අතර යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි යුරෝපීය පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයට එක්වෙමින් විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ කළ සිය ප්‍රකාශය මගින් ඔහු අවධාරණය කළේ කිසිවෙකුට තමන් බිඳ දැමිය නොහැකි බවයි.

එහිදී යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිතයන් ද සංවේදී වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තම රටේ සිදු වෙමින් පවතින්නේ ඛේදවාචකයක් බවත් තම භූමිය, ජනතාවගේ නිදහස සහ ජීවිතය වෙනුවෙන් සටන් කරන බවත් ඔහු අවධාරණය කළා.

ඔහු පැවසුවේ අපි යුක්රේන ජාතිකයන් බැවින් කිසිවෙකුට බිඳ දැමිය නො හැකි බවයි.

රුසියාව යුක්රේනයේ කුඩා දරුවන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති අතර ඊයේ දිනයේදී ළමුන් 16 දෙනෙකු මිය ගිය බව ඔහු පවසනවා.

යුක්රේන ජනාධිපතිවරයා යුරෝපා සංගම් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියේ තමන් සමඟ එකට සිටින බව ඔප්පු කර පෙන්වන ලෙසටයි.

යුක්රේනය පලවා නොහැර සැබෑ යුරෝපීයයන් බව ඔප්පු කරන ලෙස ද ඔහු කියාසිටියා.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිය කතාව ඉදිරිපත් කළ සෙලෙන්ස්කිට පාර්ලිමේන්තු නියෝජිතයන් අත්පොළසන් දුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යුක්රේනයේ පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව විවාද කෙරෙන යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරය ආරම්භයේදී දර්ශන මේ වන විට මාධ්‍යවලට නිකුත් වී තිබෙනවා.

එය ආරම්භ වූයේ යුක්‍රේන තානාපතිවරයාට ප්‍රශංසා කිරීමත් සමඟින්.

එමෙන්ම පාර්ලිමේන්තුවේ නියෝජිතයන් යුක්‍රේන ධජය සහිත ටී ෂර්ට් පැළඳ සිටියා.

යුරෝපීය පාර්ලිමේන්තුවේ සභාපති රොබර්ටා මෙට්සෝලා ඊට සම්බන්ධ වූ ජනාධිපති සෙලෙන්ස්කිට ස්තූතිය පළ කළා.

“නැගී සිටීමේ අරුත ලොවට පෙන්වා දීම ගැන ජනාධිපතිතුමනි ඔබට ස්තුතියි.

උදාසීන භාවයේ අන්තරායන් ගැන අපට මතක් කර දීම ගැන ඔබට ස්තුතියි,” ඇය සිය දේශනයේදී යුක්රේනය ආරක්ෂා කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ වීරත්වය ප්‍රශංසාවට ලක් කර තිබෙනවා.

ඇය මෙහිදී ප්‍රකාශ කළේ යුරෝපා සංගමයේ සාමාජිකයෙකු වීමට යුක්රේනයේ ඉල්ලීම පාර්ලිමේන්තුව පිළිගන්නා අතර එය යථාර්ථයක් බවට පත් කිරීමට කටයුතු කරන බවයි.

රුසියානු ප්‍රහාරයන් හමුවේ වුව ද යුක්රේන අගනුවර වන කිව් තවමත් පවතින්නේ ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ රජය යටතේයි.

එමෙන්ම යුක්රේන හමුදා සහ සිවිල් වැසියන් රුසියානු ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් කිරීමට සූදානම්ව සිටිනවා.

රුසියානු සන්නද්ධ රථ විශාල පෙළක් යුක්රේනයේ කිව් අගනුවර දෙසට ගමන් කරමින් පවතින ආකාරය චන්ද්‍රිකා ඡායාරූපවල දැක්වෙනවා.

එම චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව රුසියානු යුධ ටැංකි සහ ඉන්ධන ට්‍රක් රථ මහා මාර්ගයක් දිගේ සැතපුම් 40 ක් (කිලෝමීටර් 60 ක්) පමණ දුර පෝලිමක් වශයෙන් උතුරු ප්‍රදේශයේ සිට කියෙව් නගරයට ඇදෙන ආකාරය දැක්වෙනවා.

මේ අතර යුරෝපා සංගමයේ, ඇමරිකා එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍යයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ගේ කතාව අතර ඉවත්වී ගොස් තිබෙනවා.

ලැව්රොව් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතනු ලැබුවේ යුරෝපා සංගම් රාජ්‍යයන් රුසියානු ගුවන් යානා සඳහා යුරෝපා කලාපීය රටවල ගුවන් සීමා තහනම් කිරීමට පියවර ගැනීම හේතුවෙන්.

යුරෝපා සංගමයේ රටවල් එම තීරණය ගැනීමත් සමග රුසියානු විදේශ අමාත්‍යවරයා ඔහුගේ පැමිණීම අවලංගු කර තිබුණා.

මේ අතර රුසියාව ම්ලේච්ඡ හා විචක්ෂණශීලී ආකාරයකින් යුක්රේනයට ප්‍රහාර එල්ල කරන බවට එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් චෝදනා කරනවා.

යුක්රේන ජනතාවගේ සටන් කිරීමට ඇති කැමැත්ත සහ බටහිර රටවල අධිෂ්ඨානය රුසියානු ජනාධිපතිවරයා අවතක්සේරු කර ඇති බවයි අගමැතිවරයා පැවසුවේ.

පෝලන්තයේ සංචාරයක දී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එක්සත් රාජධානිය මානුෂීය ආධාර සඳහා පවුම් මිලියන 220 ක් වෙන් කර ඇති බවයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් රුසියාව නෙරපා හරින ලෙස ඉල්ලා සිටීම සඳහා එක්සත් රාජධානිය සලකා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් එම තොරතුරු මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නැහැ.

රුසියානු ආක්‍රමණය හමුවේ යුක්රේනයේ ජනතාව පලා යමින් සිටින අතර ඔවුන්ගෙන් පිරිසක් එක්සත් රාජධානියට ගෙන්වා ගත හැකි බව බොරිස් ජොන්සන් පවසා තිබෙනවා.

එක්සත් රාජධානියේ පදිංචි යුක්රේන ජනතාවගේ සමීප ඥාතීන්ට රටට පැමිණීමට ඉඩ සලසන යෝජනා ක්‍රමය සඳහා වැඩිහිටි දෙමාපියන්, 18 ට වැඩි දරුවන් සහ සහෝදර සහෝදරියන් ඇතුළත් කිරීමට නීති සංශෝධනයක් ද සිදු කිරීමට අපේක්ෂිතයි.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් මිලියන හතක (7) පමණ ජනතාවක් අවතැන් වී ඇතැයි සැලකෙන අතර ලක්ෂ 5 කට අධික ජනතාවක් රට හැර ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

280,000 කට වැඩි පිරිසක් මේ වන විට පෝලන්තයට ඇතුළු වී ඇති අතර, සරණාගතභාවය ලබා ගැනීමකින් තොරව වසර තුනක් දක්වා යුක්රේන සරණාගතයින්ට රටට ඇතුළු වීමට අවස්ථාව ලබාදීමට යුරෝපා සංගම් සාමාජිකයින් එකඟ වී තිබෙනවා.

සඳුදා එක්සත් රාජධානියේ ප්‍රතිපත්තිය ගෙනහැර දක්වමින් ස්වදේශ කටයුතු ලේකම් ප්‍රීති පටෙල් පාර්ලිමේන්තුවට පැවසුවේ, වීසා නීතිවල වෙනස්කම් සිදු කර එක්සත් රාජධානියේ පදිංචි වී සිටින ඕනෑම පුද්ගලයෙකුට තම කලත්‍රයින්, සිවිල් සහකරුවන්, දිගුකාලීන අවිවාහක සහකරුවන් සහ දරුවන් ඇතුළු ඔවුන්ගේ ආසන්නතම යුක්රේන පවුලේ සාමාජිකයන් රැගෙන ඒමට ඉඩ ලබා දෙන බවයි.

මෙමගින් පුද්ගලයින් 100,000 කට පමණ උපකාර කළ හැකි බවටයි ප්‍රකාශ වී ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවන්ට අනුව, මේ දක්වා 500,000 වඩා සිවිල් වැසියන් යුක්රේනයෙන් පලා ගොස් තිබෙනවා.

රුසියානු ආක්‍රමණය හේතුවෙන් මිලියන හතරක පමණ ජනතාවක් රට හැර යාමට උත්සාහ කළ හැකි බවටයි යුරෝපා සංගමය ඇස්තමේන්තු කර ඇත්තේ.

යුක්රේන අර්බුදය හමුවේ පළා යන ජනතාවට ආරක්ෂාව සැපයීම වෙනුවෙන් යුරෝපා සංගමයේ රටවල් සරණාගතයින් සඳහා වන නීති ද ලිහිල් කර තිබෙනවා.

යුක්රේන ජනතාව රුසියානු ආක්‍රමණය හමුවේ දේශසීමා හරහා බටහිරින් පිහිටි අසල්වැසි රටවල් වන පෝලන්තය, රුමේනියාව, ස්ලෝවැකියාව, හංගේරියාව සහ මෝල්ඩෝවා වෙත පැමිණෙමින් සිටිනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවන්ට අනුව පෝලන්තය මේ වන විට සරණාගතයින් 280,000 කට අධික සංඛ්‍යාවක් භාරගෙන ඇති අතර එරට රජය පවසන්නේ දිනකට තවත් 50,000 ක් පමණ පැමිණෙන බවයි.

තුවාල ලැබූ යුක්රේන ජාතිකයන් ප්‍රවාහනය කිරීම සඳහා පෝලන්තය වෛද්‍ය දුම්රියක් ද සූදානම් කරමින් සිටින අතර ඔවුන් යැවීමට රෝහල් 1230 ක් සූදානම් කරමින් පවතිනවා.

විශේෂයෙන් 2014 වසරේ රුසියාව විසින් ක්‍රිමියාව තම පාලනයට නතු කර ගත් දින සිට යුක්රේන ජනතාව මිලියනයකට වඩා පිරිසක් මෑත වසරවල පෝලන්තයේ පදිංචි වී සිට තිබෙනවා.

අනෙකුත් රටවල් සම්බන්ධයෙන් ගත් කල, එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවන්ට අනුව ඉරිදා දිනය වන විට හංගේරියාව යුක්රේන වැසියන් 71,158 ක් භාරගෙන තිබූ අතර රුමේනියාව 43,184 ක් භාරගෙන තිබෙනවා.

මෝල්ඩෝවා 41,525 ක්, ස්ලෝවැකියාව 17,648 ක්, වශයෙන් යුක්රේන වැසියන් භාරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ස්ලෝවැකියාව පවසන්නේ මේ වන විට දිනකට සරණාගතයින් 10,000 කට අධික සංඛ්‍යාවක් භාර ගන්නා බවයි.

රුසියානු ආක්‍රමණය හමුවේ පළා යන යුක්රේන සරණාගතයින්ට අසල්වැසි රටවලට යාමට ලිපි ලේඛන අවශ්‍ය නොවන නමුත් ඔවුන්ගේ අභ්‍යන්තර හෝ විදේශීය ගමන් බලපත්‍ර, ඔවුන් සමඟ ගමන් කරන දරුවන්ගේ උප්පැන්න සහතික සහ වෛද්‍ය ලියකියවිලි තිබීම වඩාත් සුදුසු බවටයි දන්වා ඇත්තේ.

සරණාගත භාවය ලබා ගැනීමට, ඔවුන් යුක්රේන පුරවැසියන් හෝ විදේශීය සිසුන් වැනි යුක්රේනයේ නීත්‍යානුකූලව ජීවත් වන පුද්ගලයන් විය යුතුයි.

මෙලෙස සරණාගතයින් ලෙසට පළා යන ජනතාව කිලෝමීටර් 15 (සැතපුම් 10) දක්වා දිගු පෝලිම්වල රැදී සිටිමින් ඇතැම් දේශ සීමා තරණයට දින ගණනාවක් ගතකර තිබෙනවා.

බොහෝ දෙනෙකුට යුක්රේනයේ නගරවලින් ඔවුන්ව රැගෙන යන දුම්රියවලට නැගීමට ද නොහැකි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සරණාගතයින් පිළිගන්නා රටවල් ඔවුන්ට අවශ්‍ය ආහාර,ඖෂධ, වෛද්‍ය පහසුකම්, ළමුන්ට අධ්‍යාපන පහසුකම් ඇතුලු සියලු අවශ්‍යතා ලබාදීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසන්නේ එක්සත් රාජධානියට යුක්රේන සරණාගතයින් 200,000 ක් ලබා ගැනීමට හැකි බවයි.

යුක්රේන ජාතිකයින්ට එක්සත් රාජධානියට පැමිණිය හැක්කේ බ්‍රිතාන්‍ය ජාතිකයන් වන ඥාතීන් සිටී නම් පමණක් බවටයි රජය මීට පෙර පවසා තිබුණේ.

කෙසේවෙතත් ගැටලුව උග්‍ර වීම හමුවේයි සරණාගතයින් සඳහා වන නීති ලිහිල් කිරීමට බ්‍රිතාන්‍ය තීරණය කර ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව මේ වනවිට යුක්රේනයේ අවම වශයෙන් 160,000 ක පමණ ජනතාවක් අවතැන්ව සිටින අතර ඔවුන් ගැටුම් හමුවේ පලා ගොස් ඔවුන්ගේම රට තුළම අවතැන් වී තිබෙනවා.

යුරෝපා සංගමය විශ්වාසය පළ කරන්නේ එම අගය මිලියන 7 දක්වා ඉහළ යා හැකි අතර යුක්රේන ජාතිකයන් මිලියන 18 ක් යුද්ධයෙන් පීඩාවට පත්වනු ඇති බවයි.

මෙම තොරතුරු ඉතා දළ ඇස්තමේන්තු වුවද සංඛ්‍යාත්මකව ගත් කළ ඉතා විශාල වන බැවින් මෙවැනි හදිසි අවස්ථාවක් සඳහා සූදානම් විය යුතු බවයි යුරෝපා සංගමයේ මානුෂීය ආධාර සහ අර්බුද කළමනාකරණය පිළිබඳ කොමසාරිස් ජැනෙස් ලෙනාර්සික් ප්‍රකාශ කළේ ෴

++++++++

න්‍යෂ්ටික ගැටුමක් අත ළඟ ද ? – කිව් නගරය රුසියාව අල්ලයි ද ?

(02.03.2022 – 09:02 +0530 – hirunews.lk/sinhala)

රුසියානු ‍න්‍යෂ්ටික සබ්මැරීන ආක්ටික් සයුරට යාත්‍රා කරද්දී අන්තර් මහද්වීපික මිසයිල සයිබීරියාවේ ස්ථානගත කර ඇති බව වාර්තා වනවා.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් දිගින් දිගට ම විවේචනාත්මක පුවත් සහ තොරතුරු වාර්තා කළ රුසියානු ගුවන් විදුලි සේවාවක විකාශනය අත්හිටුවීමට රුසියානු බලධාරීන් තීරණය කර තිබෙනවා.

මෙම ගුවන්විදුලි සේවාවේ බලධාරීන් පවසන්නේ රුසියානු ආරක්ෂක අංශ නිලධාරීන් සහ රාජ්‍ය තන්ත්‍රයේ ඉහළ පෙළේ පුද්ගලයින්ගෙන් තමන්ට දිගින් දිගටම දැඩි බලපෑම් සහ තර්ජන එල්ල වූ බවයි.

කෙසේ වෙතත් ඊයේ (01) යුක්රේනයේ කිව් අගනුවර රූපවාහිනි කුළුණට ප්‍රහාර එල්ල කිරීමත් සමග අදාළ රුසියානු ගුවන්විදුලි සේවාවේ විකාශන කටයුතු ද අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රුසියානු න්‍යෂ්ටික සබ්මැරීන යුධ අභ්‍යාසයක් සඳහා පිටත් වී ඇති බව වාර්තා වනවා.

මෙම යුද අභ්‍යාස සඳහා රුසියාව සතු විශාලතම න්‍යෂ්ටික සබ්මැරීන එක් වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සබ්මැරින් යාත්‍රා රුසියානු ආක්ටික් සාගර කලාපය කරා පිටත් ව ගොස් තිබෙනවා.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, බැරන්ට් මුහුදු කලාපය හරහා ඔවුන් මෙම නාවික හමුදා අභ්‍යාසයට එක්වන බවයි.

මීට පෙර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඔහුගේ න්‍යෂ්ටික විශේෂ බලකාය සීරුවෙන් තැබීමට කටයුතු කළා.

මේත් සමගම සයිබීරියාවේ හිමෙන් වැසීගිය වනාන්තර කලාප තුළ රුසියානු අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල රැගත් හමුදා ඛණ්ඩ ස්ථානගත කරමින් සිටින බවයි රුසියානු ආරක්ෂක අංශ සඳහන් කළේ.

කෙසේ වෙතත් ඔවුන් මෙම ස්ථානගත කිරීම සිදු කර ඇත්තේ, කොතැන ද යන්න සම්බන්ධයෙන් කිසිදු හෙළිදරව්වක් සිදු කර නැහැ.

මේ අතර යුක්රේනයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, බොහෝ විට ඉදිරි දින දෙක (2) තුළ දී යුක්රේනය අගනුවර වන කිව්හි පාලනය රුසියානු සන්නද්ධ හමුදා අත්පත් කරගනු ඇති බවට යි.

යුක්රේනයේ කිව් අගනුවර වැටලීමේ අරමුණෙන් දස දහස් ගණනක් රුසියානු සෙබළුන් සහ අවි ආයුධ රැගත් සැතපුම් හතළිහක් (40) පමණ දිගු රිය පෙළක් මේ වන විටත් යුක්රේනයේ කිව් අග නගරය බලා ගමන් කරමින් සිටිනවා.

මේ අතර ඊයේ (01) යුක්රේනයේ කිව් අග නගරයේ පිහිටා තිබූ යුක්‍රේන රූපවාහිනී සම්ප්‍රේෂණ කුළුණට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් පස් දෙනෙකු (5) මිය ගොස් ඇති බව යුක්රේන ආරක්ෂක අංශ වාර්තා කරනවා.

මෙම මිසයිල ප්‍රහාරය එල්ල වූයේ, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් යුක්‍රේනයේ යුද්ධ උපාය මාර්ගික වශයෙන් වැදගත් සහ ආරක්ෂක ස්ථානගත කිරීම්වලට ප්‍රහාර එල්ල කරන බව දැනුම් දී ටික වේලාවකට පසුව යි.

රුසියානු ආරක්ෂක අංශ විසින් එම ප්‍රදේශ අවට සිටින සිවිල් ජනතාවට වහාම ඉවත්වන ලෙස දැනුම් දුන්නා.

නමුත් එම සිවිල් ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත් වීමට අවකාශයක් පවා නොදෙමින් මෙම ප්‍රහාර එල්ල කළ බවට යි චෝදනා එල්ල වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *