යුක්‍රේන දේශ සීමාවේ සිර වූ ශ්‍රී ලාංකිකයින් පෝලන්ත දේශ සීමාවට

යුක්‍රේන දේශ සීමාවේ සිර වූ ශ්‍රී ලාංකිකයින් පෝලන්ත දේශ සීමාවට

*********************************************

යුක්‍රේන දේශ සීමාවේ සිර වූ ශ්‍රී ලාංකිකයින් පෝලන්ත දේශ සීමාවට

(01.03.2022 – 12:46 +0530 – hirunews.lk/sinhala)

බෙලරුස් දේශසීමාවේ පැවති රුසියානු – යුක්රේන පළමු වටයේ සාම සාකච්ඡා විසඳුමකින් තොරව ඊයේ (28) අවසන් වුණා.

මේ අතර, ආක්‍රමණයන්ගෙන් දිවි බේරා ගැනීම සඳහා යුක්රේනයේ වෙසෙන ජනතාවගෙන් ලක්ෂ 5 කට අධික සංඛ්‍යාවක් පෝලන්ත දේශසීමාවට පලා ගොස් ඇති බවයි දැනට අනාවරණ වී ඇත්තේ.

මේ අතර, යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් 6 දෙනෙකු ද ඊයේ (28) පෝලන්ත දේශසීමාවට පැමිණි බව පෝලන්ත ශ්‍රී ලංකා තානාපතිනි ධම්මිකා කුමාරි සේමසිංහ ප්‍රකාශ කළා.

රුසියානු සහ යුක්රේන නියෝජිතයන් අතර බෙලරූස් රාජ්‍යයේ දේශසීමා ප්‍රදේශයේ පැවති සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වුණේ පැය 5 කට පමණ පසුවයි.

නියෝජිතයන් මේ වනවිට ඔවුන්ගේ අගනගර වෙත ගොස් ඇති අතර, රුසියානු රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේ නැවත හමුවීමට දෙපාර්ශ්වයෙන්ම, එකඟත්වයක් පළ වූ බවයි.

එම දෙවන (2) වටයේ සාකච්ඡා ඉදිරි දින කිහිපය තුළ පැවැත්වෙනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, ආක්‍රමණය අවසන් කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් කොන්දේසි පෙළක් ඉදිරිපත් කර තිබෙනවා.

යුක්රේනය නිරායුධකරණය සහ මධ්‍යස්ථ ප්‍රතිපත්තියකට එළඹීම මෙන්ම ක්‍රිමියාවේ රුසියානු ආධිපත්‍යය පිළිගැනීම ඊට ඇතුළත් වනවා.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරිමට ප්‍රධාන හේතුවක් වූයේ එරට නේටෝ සංවිධානයට එක්වීම වළක්වාලීමයි.

මේ නිසා යුද්ධය අවසන් කිරීම සඳහා ජනාධිපති පුටින් යුක්රේනයෙන් මෙන්ම බටහිර කඳවුරෙන් ද ආරක්ෂක සහතිකයක් අපේක්ෂා කරනවා.

මේ අතර, සන්නද්ධ රථ, යුද ටැංකි, ඇතුළත් සැතපුම් 40 ක් පමණ දිග රුසියානු යුද රථ පෙළක් කීව් අගනුවර වෙත ඇදෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

යුක්රේනයේ දෙවන (2) විශාලතම නගරය වන කාර්කිව් වෙත ඊයේ (28) එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් සිවිල් වැසියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

කීව් අගනුවරෙන් ද සයිරන් හඬ අඛණ්ඩව අසන්නට ලැබුණු බවයි විදෙස් වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ.

එවන් පසුබිමක යුක්රේනයේ ජනතාව තවමත් ආයුධ සන්නද්ධව තම නගර රුසියානු සෙබළුන්ගෙන් බේරා ගැනීමට වෙහෙස දරනවා.

පවතින තත්ත්වය මැඩපැවැත්වීම සඳහා යුක්රේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන කිරා රුඩික් දේශපාලනය පසෙකලා යුද බිමට යාමට තීරණය කර ඇත්තේ රට බේරා ගැනීම සඳහායි.

ඇය පවතින තත්ත්වය පිළිබඳව සිදුකළ ප්‍රකාශයක් මේ වනවිට විදෙස් මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්කර තිබෙනවා.

“අපිට ඕනේ වුණේ හැමදේම හොඳින් විඳින්න දෙන්න අපේ දරුවන්ට. ඔවුන්ට දුප්පත්කම, බඩගින්න නොදැනී තියන්න. ඒත් අද ඔවුන්ට සිද්ධ වෙලා තියෙන්නේ බෝම්බවල බයට මුහුණ දෙන්න. අපි ඔවුන්ව ආරක්ෂා කරන්න අසමත් වුණා. දැන් අපේ දරුවෝ දන්නවා ඇඟිලිවල ලේ වර්ගය පෙන්නලා බෑග් එක ළඟින් තියාගෙන සයිරන් නාදය ඇහැනකොට ආරක්ෂිත ස්ථානවලට යන්න.”

එමෙන්ම, යුක්රේන දරුවෙකු යුද්ධය නවතා දෙන ලෙස ඉල්ලමින් හඬ වැටෙන ආකාරය ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

“අපේ මිනිස්සු ගොඩක් යුද්ධය නිසා මැරෙනවා. අපි හැමෝම බයෙන් ජීවත් වෙන්නේ. කරුණාකරලා මේ යුද්ධය නවත්තලා දෙන්න.”

මේ අතර, රුසියාවේ යුක්රේන ආක්‍රමණය හෙළා දකිමින් මෙතෙක් මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුරෝපා සංගමයේ රටවල් වන ස්විට්සර්ලන්තය සහ පින්ලන්තය ද රුසියාවට එරෙහි සම්බාධක පැනවීමට පියවර ගෙන තිබෙනවා.

මේ නිසා විශේෂයෙන් ස්විට්සර්ලන්තයේ බැංකු පද්ධතිය හරහා සම්බාධක මඟ හැරීමට රුසියාවට ඉඩ නොලැබෙන අතර ස්විස් බැංකුවල රුසියානු වත්කම් අත්හිටුවීමට ද පියවර ගැනුණා.

මේ අතර, කැනඩාව ප්‍රකාශ කළේ රුසියාවෙන් බොරතෙල් ආනයනය වහා අත්හිටුවීමට තීරණය කළ බවයි.

ජී-7 කණ්ඩායමේ නායකයන් සමඟ සාකච්ඡාවල නිරත වූ බ්‍රිතාන්‍යය අගමැති බොරිස් ජොන්සන් කියා සිටියේ ජාත්‍යන්තර සම්බාධක හමුවේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ යුක්රේන ආක්‍රමණය අසාර්ථක වනු ඇති බවයි.

මේ අතර ඊයේ (28) ඇරඹුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ දී මූලිකවම අවධානය යොමු කෙරුණේ ද රුසියාවේ යුක්රේන ආක්‍රමණය පිළිබඳවයි.

එහිදී රුසියාවට එරෙහිව යෝජනාවක්ද මානව හිමිකම් සමුළුව සම්මත කර ගනු ලැබුවා.

වසර 40 කට පසු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සුවිශේෂී සැසිවාරයක් ඊයේ (28) කැඳවා තිබුණේ ආරක්ෂක මණ්ඩලය සම්මත කරගත් යෝජනාවක් අනුවයි.

සමුළුව ආරම්භයේදීම විනාඩියක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරමින් යුක්රේනයේදී මියගිය පිරිස් සිහිපත් කිරීමට පියවර ගත්තා.

එහිදී සමුළුවේ සභාපති ධුරය දැරූ මාලදිවයින විදේශ ඇමති අබ්දුල්ලා ෂාහිඩ් පළමු කතාව සිදු කරමින් ප්‍රකාශ කළේ හැකි ඉක්මනින් යුක්රේන – රුසියා යුද අර්බුදයට විරාමයක් අවශ්‍ය බවයි.

මේ අතර මහා මණ්ඩල සැසිවාරය අමතමින් එක්සත් ජාතීන්ගේ යුක්රේන නිත්‍ය නියෝජිතයා පැවසුවේ රුසියානු හමුදා වහාම තම රටින් පිටවීමට අවශ්‍ය පියවර ගැනීමට මැදිහත්කරුවෙකු ලෙස යුරෝපා සංගමය ක්‍රියාකිරීමට කටයුතු කරන ලෙසයි.

මේ අතර, යුද්ධය නිසා යුක්රේනයේ අතමංවී සිටින ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු පෝලන්තයට පැමිණ ඇති බව එරට ශ්‍රී ලංකා පෝලන්ත තානාපතිනි ධම්මිකා කුමාරි සේමසිංහ පවසනවා.

පෝලන්තයේ සිට හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ ශ්‍රී ලංකාවට ඒමට කැමැත්ත පළ කළ පිරිස් අතරින් සිසුවියක් හෙට (02) දිනයේදී මෙරටට පිටත්කර එවීමට කටයුතු කරන බවයි.

++++++++

රුසියන් ප්‍රහාරයකින් යුක්‍රේනයේ දී ඉන්දීය ශිෂ්‍යයෙකු ජීවිතක්ෂයට

(01.03.2022 – 15:12 +0530 – hirunews.lk/sinhala)

අද (01) උදෑසන රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකට හසුවීමෙන් යුක්‍රේනයේ කාර්කිව් නගරයේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටි ඉන්දීය සිසුවකු මියගොස් ඇති බව වාර්තා වනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ යෙහෙලියක වන තවත් ඉන්දීය ශිෂ්‍යාවක් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා ඇත්තේ නවීන් ශේකර්අප්පා නම් සිය මිතුරා උදෑසන ඔහු රැඳී සිටි උමං දුම්රිය මගේ සිට පිටතට පැමිණ එහි සිටි අනෙක් මිතුරන්ට ආහාරයට යමක් රැගෙන යාමට උත්සාහ දරා ඇති බවයි.

එම අවස්ථාවේදී එම ප්‍රදේශයට එල්ල කෙරුණු රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයට මෙම කර්නාටක සිසුවා හසු වී තිබෙනවා.

යුක්‍රේනය සහ රුසියාව අතර යුද ගැටුම් ඇවිලීමෙන් පසුව යුක්‍රේනයේ අධ්‍යාපනය ලබමින් සිටි විදේශික ශිෂ්‍යයකු මියගිය බවට වාර්තා වූ පළමු අවස්ථාව ද මෙයයි.

යුක්‍රේනයේ විදේශ සිසුන් බොහෝ දෙනකු උසස් අධ්‍යාපනය ලබන අතර, යුක්‍රේනය සහ රුසියාව අතර යුද ගැටුම් ඇවිලීමත් සමග එම සිසුන් ඉවත් කර ගැනීමට රටවල් රැසක් පියවර ගත්තා.

කෙසේ වෙතත් මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන් විසි දෙහැවිරිදි (22) මෙම ඉන්දියානු සිසුවාත් සමග සිටි අනෙක් පිරිස මේ වන විට කාර්කිව් නගරයෙන් පිටතට ගමන් අරඹා ඇති බවයි වාර්තා වන්නේ.

යුක්‍රේනයේ ඉන්දීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 16,000 කට අධික සංඛ්‍යාවක් උසස් අධ්‍යාපනය හදාරන බව ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශය පවසනවා ෴

+++++++++

යුක්‍රේන ප්‍රතිප්‍රහාර හමුවේ රුසියානු භටයින් 5700 ක් මියයද්දී, යුක්රේන ජනාධිපතිවරයා යුරෝපා පාර්ලිමේන්තුව හඬවයි

(01.03.2022 – 18:41 +0530 – hirunews.lk/sinhala)

යුක්රේන රුසියානු යුද ගැටුම් හේතුවෙන් මේ වන විට රුසියානු හමුදා භටයින් 5,700 ක් මිය ගොස් ඇති බව යුක්‍රේනය පවසනවා.

කෙසේ නමුත් මේ වන විටත් යුක්‍රේනයේ අග නගරය වන කිව් නගරය ඉලක්ක කරගනිමින් රුසියානු සෙබළුන් දස දහස් ගණනකින් සමන්විත සැතපුම් හතළිහක් (40) පමණ දිගු වූ හමුදා පෙළගැස්මක් පවතින අතර රුසියාව විසින් අඛණ්ඩව යුක්‍රේනයේ කිව් අගනගරයට සහ කාර්කිව් නගරයට එල්ල කරන ෂෙල් වෙඩි සහ මිසයිල ප්‍රහාර වල අඩුවක් නැහැ.

විශේෂයෙන්ම යුක්‍රේනය චෝදනා කරන්නේ රුසියානු ආරක්ෂක හමුදාවන් විසින් යුක්‍රේන සිවිල් වැසියන් පදිංචිව සිටින නිවාස සංකීර්ණ සහ ප්‍රදේශ ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බවයි.

මේ අතර රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාර මාලාවක් හේතුවෙන් යුක්‍රේනයේ ඔක්ට්‍යකා ප්‍රදේශයෙදී යුක්‍රේන හමුදා භටයින් 70 ට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බව වාර්තා වනවා.

යුක්රේනයේ නවතම තත්වය සඳහන් කරමින් එරට ආරක්ෂක බලධාරීන් පවසන්නේ මේ වන විට ගැටුම් හේතුවෙන් රුසියානු සෙබළුන් 5700 යුක්‍රේන හමුදා ප්‍රහාර හමුවේ මියගොස් ඇති බවයි.

මෙම ප්‍රහාරවලින් තුවාල ලැබූ සංඛ්‍යාව ඊට වඩා බොහෝ වැඩි බවත් යුක්‍රේනය ප්‍රකාශ කරනවා.

මේ අතර බ්‍රිතාන්‍ය අගමැති බෝරිස් ජොන්සන් මේ වන විට යුරෝපයේ සංචාරයක නිරත වනවා.

ඒ යුක්‍රේනයේ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් යුරෝපීය නායකයින් සමග සාකච්ඡා පැවැත්වීමටයි.

ඔහු මෙම සාකච්ඡා සඳහා පෝලන්තය සහ එස්තෝනියාවට යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර බෝල්ටික් කලාපයේ මතුවී ඇති මෙම යුධ ගැටුම් සම්බන්ධයෙන් අදහස් දක්වන අයර්ලන්ත විදේශ අමාත්‍ය සයිමන් කොවේනි පවසා සිටියේ යුක්රේනයේ සිදු කෙරෙන රුසියානු යුද අපරාධ පිළිබඳ ‘අවිවාදාත්මක සාක්ෂි’ ඇති බවයි.

අයර්ලන්තයේ ඩබ්ලින්හි දී මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේ, ‘රුසියාවේ මැදිහත්වීමෙන් යුක්‍රේනයේ යුද අපරාධ සිදුවෙමින් පවතින බවට අවිවාදිත සාක්ෂි ඇති අතර යුක්‍රේන නගර ගනනාවක ම්ලේච්ඡ ප්‍රහාර දියත් කිරීම සහ එම නගරවල ජීවත්වන සිවිල් වැසියන් හිතාමතාම ඉලක්ක කිරීම වැනි අවිවාදිත සාක්ෂි දුටු’ බවයි.

මේ අතර එක්සත් රාජධානියේ විදේශ ලේකම්වරයා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ප්‍රකාශ කළේ ‘රුසියානු ප්‍රහාර හේතුවෙන් තුවාල ලබන මියයන, යුක්‍රේන සාමාන්‍ය වැසියන් සම්බන්ධයෙන් මෙන්ම මේ වන විට ගම් බිම් අතහැර පලා යමින් සිටින 500,000 කට අධික යුක්‍රේන වැසියන්ගේ මානසික පීඩාවන් සම්බන්ධයෙන්ද පුටින් වගකිව යුතු’ බවයි.

මෙම පලා යන්නන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වන බවත් විදේශ ලේකම්වරයා එහිදී අවධාරණය කළා.

ඇය පැවසුවේ ‘ලේ ඇත්තේ පුටින්ගේ අතේ. ඒවා අහිංසක යුක්රේන වැසියන්ගේ පමණක් නොව, යුක්රේනයේ දී ඝාතනය කෙරුණු රුසියානු හමුදා භටයින්ගේ ලේ පවා ඔහුගේ දෑතේ තැවරී ඇති’ බවයි.

මේ අතර යුක්‍රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කි බ්‍රසල්ස් නුවර එක්රැස් වුනු යුරෝපා පාර්ලිමේන්තුව ඇමතුවා.

යුක්රේනයේ රහසිගත ස්ථානයක සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ යුරෝපා පාර්ලිමේන්තුව අමතමින් ඔහු සංවේදී කතාවක් කරමින් කියා සිටියේ යුරෝපා සංගමයට බැඳීම සඳහා සිය රට සිදු කර ඇති ඉල්ලීමට වහාම සාධනීය ප්‍රතිචාර දක්වන ලෙසටයි.

සිය රටේ ජනතාව මේ වන විට නිදහස සඳහා සිය ජීවිතයෙන් ගෙවිය හැකි ඉහළම මිළ ගෙවමින් සිටින බවත් සිය රටේ ජනතාවත් යුරෝපා ජනතාව හා සම තත්වයේ සැලකීමට තවත් කල් ගත නොකරන ලෙසත් ඔහු සංවේදී ලෙස ඉල්ලා සිටියා.

රුසියානු ආරක්ෂක හමුදාවන් ඉතා කෲර ලෙස සාමාන්‍ය ජනතාව සහ විශේෂයෙන්ම කුඩා දරුවන් ඉලක්ක කරමින් ඔවුන්ගේ ප්‍රහාර සිදු කරන බව යුක්රේන ජනාධිපතිවරයා පැවසුවේ අතිශය හැඟීම්බර වයි.

“ඔවුන් ඊයෙත් (28) මගේ රටේ සාමාන්‍ය ජනතාව ඉලක්ක කරමින් රොකට්,ෂෙල් වෙඩි සහ මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල කළා.

මගේ රටේ දරුවන් දැන් සිටින්නේ ඉතාම භීතියෙන්.

මේ වන විට මේ ගැටුම් නිසා ජීවිතය අහිමි කරගෙන ඇති දරුවන් සංඛ්‍යාව 16 ට වැඩියි.

ඔවුන් අපේ රටේ නිදහස වෙනුවෙන් ගෙවිය හැකි ඉහළම මිල ගෙවමින් සිටිනවා.”

යුක්‍රේන ජනාධිපති වරයාගේ මෙම කතාව පරිවර්තනය කළ නිලධාරියා පවා මෙහිදී අතිශයින් සංවේදී වූ බවයි වාර්තා වන්නේ.

ඔහු යුක්‍රේන ජනාධිපති වරයාගේ මෙම ප්‍රකාශයන් හරහා කෙතරම් සංවේදී වූවාදැයි කිවහොත් ඇතැම් අවස්ථාවල දී ජනාධිපතිවරයාගේ ප්‍රකාශයන් පරිවර්තනය කිරීමට පවා නොහැකි තත්ත්වයකට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ෴

+++++++++

යුක්රේන අගනුවර රුසියාව අතට පත්වන ලකුණු

(01.03.2022 – 19:40 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයේ කීව් අගනුවර මේ වනවිට රුසියාව අතට පත්වීමේ අවදානමකට ලක්ව ඇති බව යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළා.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

යුක්රේනයේ දෙවන විශාලතම නගරය වූ කාර්කිව් වෙත එල්ලවූ රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරවලින් එරට නිදහස් චතුරස්‍රයේ පිහිටි පරිපාලන ගොඩනැගිල්ල විනාශ වී තිබෙනවා.

මෙම ප්‍රහාරවලින් ඉන්දීය ශිෂ්‍යයෙකුද මියගොස් ඇති බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ. අද උදෑසන මෙම ප්‍රහාරය එල්ලවී තිබූ අතර, එහිදී කර්ණාටක ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු වන මෙම ශිෂ්‍යයාද මියගිය බව තහවුරු කළ හැකි බව විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කළා.

යුක්රේනයේ අධ්‍යාපනය ලබමින් සිටි ඉන්දීය සිසුන් 1,600 ක් පමණ ඉවත් කරගනු ලැබුවද තවදුරටත් එහි අතරමංවී සිටින සංඛ්‍යාව 16,000 ක් පමණ වන බව සඳහන්.

මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ රුසියානු හමුදා තවදුරටත් යුක්රේනය ආක්‍රමණය කරමින් සිටින නිසා කීව් අගනුවර සිටින තම වැසියන්ට වහාම ඉවත්වන ලෙස ඉන්දියාව දැනුම් දී තිබූ පසුබිමකයි.

කාර්කිව් නගරයට එල්ල වූ මිසයිල ප්‍රහාර වලින් සිවිල් වැසියන් 11 දෙනෙකු පමණ මිය ගොස් ඇති අතර යුක්‍රේනයේ කර්සෝන්, චර්නිහිව් ඇතුලු තවත් නගර රැසකටම මිසයිල ප්‍රහාර එල්ල වන බව සඳහන්.

ගත වූ දින 5 තුල රුසියාව විසින් කාර්කිව් නගරයට රොකට් ප්‍රහාර 56 ක් සහ කෘස් මිසයිල 153 ක් එල්ල කර තිබෙනවා. පවතින තත්වය හමුවේ කාර්කිව් නගර වැසියන් නගරයෙන් පලා යමින් සිටිනවා.

මෙවන් තත්වයක් තුල රුසියානු ගුවන් යානා පියාසර කිරීම වැලැක්වීම සඳහා පියාසර කල නොහැකි කලාපයක් නම් කරන ලෙස යුක්‍රේන ජනාධිපතිවරයා බටහිර රටවලින් ඉල්ලීමක් කළා.

කෙසේ වෙතත් එම ඉල්ලීම ඇමරිකාව ප්‍රතික්ෂේප කර ඇති අතර ඊට දායකත්වය දැක්වුවහොත් පවතින තත්වයට ඇමරිකාව ඝෘජුව දායකත්වය ලබා දුන් බවට චෝදනා එල්ල වන බවද ඇමරිකාව පෙන්වා දී තිබෙනවා

බටහිර තර්ජනයෙන් රුසියානු කලාපය නිදහස් කර ගන්නා තුරු මෙම මෙහෙයුම අත්නොහරින බවයි රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ලැව්රොව් ප්‍රකාශ කර ඇත්තේ. කෙසේ වෙතත් මෙලෙස සිවිල් වැසියන් ඝාතනය කිරීම යුධ අපරාධයක් බව යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි පෙන්වා දී තිබෙනවා.

කාර්කිව් ප්‍රහාරය සිතා මතා සිදුකල ජන සංහාරයක් බවටයි ජනාධිපතිවරයා චෝදනා කර ඇත්තේ. ඔහු මේ බව කියා සිටියේ යුරෝපා පාර්ලිමේන්තුව අද (01) අමතමින්.

මේ අතර සැතපුම් 64 ක් පමණ දුරට විහිදුනු රුසියානු සන්නද්ධ රථ පෙළ යුක්‍රේනයේ අඟනුවර බලා ළගාවෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර හොලිවුඩ් පුරයේ සුප්‍රකට සිනමා සමාගම් සිය නවතම චිත්‍රපට රුසියානු සිනමාශාලා වෙත නිකුත් කිරීම අත්හිටුවා ඇති බවද අද (01) වාර්තාවුණා.

රුසියානු රජයට අයත් සහ සහය පළ කරන යූ ටියුබ් නාලිකා කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කිරීමට ගූගල් සමාගම පියවර ගෙන තිබෙනවා.

මේ අතර යුක්රේනයේ සිටින සිසුන් දෙදෙනෙකු (2) ඇතුළුව ශ්‍රී ලාංකිකයින් 40 දෙනෙකු යුක්රේන – පෝලන්ත දේශසීමාව හරහා ඉවත් කර ගැනීමේ කටයුතු සිදුකරමින් පවතින බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

පෝලන්තයේ වොර්සෝ සහ තුර්කියේ අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් මෙම කටයුතු සිදුකරමින් පවතින බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කළේ.

එමෙන්ම, බෙලරූසයේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන 8 කට අධික සංඛ්‍යාවක මෙරට සිසුන් 1556 ක් ඇතුළුව ශ්‍රී ලාංකිකයින් 1600 කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර, ඔවුන් සමග මොස්කව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළා ෴

++++++++

රුසියාව විසින් කියෙව්හි රූපවාහිනී කුළුණකට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් 05 දෙනෙකු මරුට

(01.03.2022 – 22:47 +0530 – hirunews.lk/sinhala)

රුසියානු හමුදා එල්ලකළ මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ කියුව් නගරයේ පිහිටි රූපවාහිනී සංඥා කුළුණක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

යුක්‍රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසුවේ ඒ හේතුවෙන් රූපවාහිනී සංඥා සඳහා බාධා ඇතිවී තිබෙන බවයි.

මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ කියුව් නගරයේ මර්මස්ථාන වෙත පහරදීමට කටයුතු කරන බවයි.

මේ වනවිට යුක්‍රේන වැසියන් 6,60,000 ක් පමණ එරටින් පළාගොස් ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළා.

එම ගණන මිලියන 4 දක්වා වැඩි වියහැකි බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *