රුසියානු – යුක්‍රේන සාම සාකච්ඡා එකඟත්වයකින් තොරව අවසන් – සාකච්ඡා අතරත් යුක්‍රේනයට ප්‍රහාර

රුසියානු – යුක්‍රේන සාම සාකච්ඡා එකඟත්වයකින් තොරව අවසන් – සාකච්ඡා අතරත් යුක්‍රේනයට ප්‍රහාර

*********************************************

රුසියානු – යුක්‍රේන සාම සාකච්ඡා එකඟත්වයකින් තොරව අවසන් – සාකච්ඡා අතරත් යුක්‍රේනයට ප්‍රහාර

(01.03.2022 – 06:22 +0530 – hirunews.lk/sinhala)

යුක්‍රේනය සහ රුසියාව අතර පැවති සාකච්ඡා අවසන් විසඳුමක් නොමැතිව නිමාවට පත් වී තිබෙනවා.

ගැටුම අවසන් කිරීම සඳහා යුක්රේන සහ රුසියානු බලධාරීන් බෙලරුස්හි දී සාකච්ඡාවලට එක්වුණා.

එහිදී දෙපාර්ශ්වයම තවදුරටත් සාකච්ඡා කිරීමට එකඟ වී ඇති අතර ඉදිරි දින කිහිපය තුළ නැවත ඔවුන් හමුවීමට නියමිතව ඇති බවයි රුසියාව ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර දෙපාර්ශ්වය සාකච්ඡා සඳහා රැස්වීමට පෙර යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි රුසියානු හමුදාවලින් ඉල්ලා සිටියේ ආයුධ බිම තබන ලෙසටයි.

කෙසේවෙතත් ඊට රුසියාවෙන් යහපත් ප්‍රතිචාරයක් හිමිවූයේ නැහැ.

රුසියානු හමුදා යුක්‍රේන ආක්‍රමණය සඳහා මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙසට යොදාගත්, රුසියාවේ සමීප ශක්තිමත් මිත්‍ර රටක් ද වන බෙලරූස් දේශ සීමාවේදී දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වුණා.

යුක්‍රේන මෙම සාකච්ඡාවල දී ප්‍රකාශ කර තිබුණේ වහාම සටන් විරාමයක් ඇති කර ගැනීමට සහ රුසියානු හමුදා තම රටින් ඉවත් කර ගැනීමට අවශ්‍ය බවයි.

එමෙන්ම කඩිනමින් යුරෝපා සංගමයේ සාමාජිකත්වය තම රටට ලබාදෙන ලෙසට ද ඔහු ඉල්ලීමක් කර තිබුණා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ක්‍රෙම්ලිනය අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දෙවන වටයේ සාකච්ඡාවලට පෙර රටවල් දෙකෙහිම නියෝජිතයන් ඉහළ නිලධාරීන්ගේ වැඩිදුර උපදෙස් සඳහා තම තමන්ගේ අගනුවර වෙත පිටත්ව යාමත් සමඟ සාකච්ඡා අවසන් වූ බවයි යුක්‍රේන ජනාධිපති උපදේශක මයිහයිලෝ පොඩොල්යාක් උපුටා දක්වමින් විදෙස් ප්‍රවෘත්ති ආයතන වාර්තා කළේ.

මේ අතර යුක්‍රේනයට එරෙහි රුසියානු ආක්‍රමණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් තම මිත්‍ර රටවල ජනාධිපතිවරුන් සමඟ දුරකතන මාර්ගයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව අනාවරණය වනවා.

කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ, යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන්, යුරෝපීය කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්, ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගි, ජපානයේ අගමැති ෆුමියෝ කිෂිඩා, නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටොල්ටන්බර්ග්, පෝලන්තයේ ජනාධිපති Andrzej Duda, රුමේනියානු ජනාධිපති Klaus Ihannis සහ එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් මීට එක්ව ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මෙහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් හෙළි වී නැහැ.

මේ අතර රුසියානු ආක්‍රමණය ආරම්භ වූ පසුගිය බ්‍රහස්පතින්දා සිය නෞකාවකට යටත් වීම ප්‍රතික්ෂේප කළ යුක්රේන ආරක්ෂක භට පිරිසක් රුසියානු හමුදා විසින් සමූළ ඝාතනය කළ බවට තොරතුරු වාර්තා වුණා.

කෙසේවෙතත් යුක්රේන නාවික හමුදාව පවසන්නේ පළමු දිනයේ Zmiinyi (Snake) දූපත ආරක්ෂා කරමින් සිටියදී ඝාතනය කළ බවට සැලකෙන සොල්දාදුවන් 13 දෙනා ජීවතුන් අතර සිටින බවයි.

මෙම දේශසීමා ආරක්ෂකයින් මියගොස් ඇති බවට වාර්තා වීම හමුවේ යුක්රේන ජනාධිපතිවරයා විසින් ඔවුන්ට ගෞරව පුද කිරීමට ද කටයුතු කරනු ලැබුවා.

කෙසේවෙතත් ඊයේ (28) සඳුදා දින, යුක්රේන නාවික හමුදාව ෆේස්බුක් සටහනක් මගින් තහවුරු කළේ ‘අපේ සහෝදරයන් ජීවතුන් අතර සහ හොඳින්’ යනුවෙන්.

අදාළ දිවයිනේ සිටි දේශසීමා ආරක්ෂකයින් සහ නාවික භටයින් අවස්ථා දෙකක (2) දී නිර්භීතව රුසියානු ආක්‍රමණිකයින්ගේ ප්‍රහාර මැඩපවත්වා ඇති අතර ඔවුන් සතුව තිබූ උණ්ඩ අවසන් වීම හමුවේ අඛණ්ඩව සටන් කිරීමට නොහැකි වී ඇති බව එම සටහනේ සඳහන් වනවා.

රුසියානු හමුදා ප්‍රදීපාගාර කුළුණු, ඇන්ටෙනා ඇතුළු එම දිවයිනේ යටිතල පහසුකම් සම්පූර්ණයෙන් විනාශ කර දැමූ අතර ප්‍රධාන පාලක මධ්‍යස්ථාන සමඟ සන්නිවේදන සබඳතා විසන්ධි කළ බව එහි වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම ප්‍රහාරයෙන් පසු යුක්රේන රජය විසින් මානුෂීය මෙහෙයුමක් සඳහා අදාළ දිවයිනට එවූ සෝදිසි සහ ගලවා ගැනීමේ නෞකාවක කාර්ය මණ්ඩලය රුසියානු හමුදා නීති විරෝධී ලෙස රඳවා තබාගෙන සිටින බවට යුක්රේන නාවික හමුදාව චෝදනා කරනවා.

මේ අතර යුක්රේනයේ දෙවන නගරය වන Kharkiv වෙත එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරවලින් විශාල පිරිසක් මිය ගිය බව යුක්‍රේන බලධාරීන් පවසනවා.

තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බවයි යුක්රේන අභ්‍යන්තර අමාත්‍යාංශය සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය කර ඇත්තේ.

රුසියානු ආක්‍රමණයේ පස්වන (5) දිනයේදී මෙම ප්‍රහාරය එල්ල වූයේ දෙපාර්ශ්වයේම නියෝජිතයන් බෙලරූස් හි දී සාකච්ඡා පවත්වමින් සිටින අවස්ථාවේ දී වීම විශේෂත්වයක්.

රුසියාව යුක්රේනයට පෙරමුණු කිහිපයකින් පහර දෙමින් සිටිය ද යුක්‍රේන ප්‍රතිප්‍රහාර හේතුවෙන් රුසියානු හමුදාවල ගමන මන්දගාමී වී තිබෙනවා.

සමාජ මාධ්‍යවල හුවමාරු වන ඇතැම් වීඩියෝවල කාර්කිව් වෙත රොකට් ප්‍රහාර එල්ලවන ආකාරය දක්නට ලැබෙනවා.

ඇතැම් ආරක්ෂක විශ්ලේෂකයින් ප්‍රකාශ කළේ නාගරික ප්‍රදේශවලට පොකුරු බෝම්බ ප්‍රහාර ද එල්ල කර ඇති බවටයි.

කෙසේවෙතත් ජනාකීර්ණ ප්‍රදේශවලට පහරදෙන බවට එල්ල වන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කරනවා.

රුසියාවේ මෙම ප්‍රහාරය හෙළා දැකීම සඳහා එක් වූ බටහිර රටවල් සම්බාධක මාලාවකින් ප්‍රතිචාර දැක්වීමත් සමඟ රුසියාව ඉතා හුදකලා තත්ත්වයකට සහ ආර්ථික ගැටලුවලට මුහුණ දී සිටින බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

එවැනි තත්ත්වයක් මත වුව ද රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ කළ ආක්‍රමණය පිළිබඳ යළි සිතා බැලීමට සූදානමක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ගැටුම් මැද රුසියාව සිය න්‍යෂ්ටික සන්නද්ධ ඒකක දැඩි සීරුවෙන් තැබීමට පියවර ගැනීම ද ජාත්‍යන්තරව දැඩි කතා බහට ලක්ව ඇති කරුණක්.

මේ අතර යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව්හි ඊසාන දිග කොටසේ සාමාන්‍ය ජනතාව වෙසෙන ප්‍රදේශවලට ද රුසියානු හමුදා ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාරවලින් විශාල පිරිසක් මිය ගිය අතර තවත් පුද්ගලයන් සිය ගණනක් තුවාල ලැබූ බවයි යුක්‍රේන හමුදාව පවසන්නේ.

මේ අතර යුක්රේනයේ යුද්ධයෙන් බේරීම සඳහා 5,00,000 කට අධික ජනතාවක් තම නිවෙස් අතහැර පලා ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා.

මේ අතර කිව් හි Ohmadyt ළමා රෝහලක අපිරිසිදු බිම් මහලේ, මව්වරුන් සහ ළදරුවන් මෙන්ම වැඩිහිටියන් තාවකාලික ඇඳන් සහ බ්ලැන්කට් මත වැතිර සිටිනවා.

රුසියාව විසින් යුක්‍රේන ආක්‍රමණය කිරීමෙන් පසු තම පවුල් සමඟ නිවසට යාමට හෝ අගනුවරෙන් පලා යාමට නොහැකි තරමට අසනීප වී සිටින වැඩිහිටියන් සහ දරුවන් ද, අර්බුදය හමුවේ ජීවිතය හැඩගස්වා ගනිමින්, එලෙස වැතිර සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රෝහල් කාර්ය මණ්ඩලය, රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල කම්පනය බෙදාහදා ගැනීමට එක්ව සිටිනවා. විශාලතම රෝහල වන Ohmadyt හි සාමාන්‍යයෙන් රෝගීන් 600 ක් දක්වා පහසුකම් පවතිනවා.

රුසියානු සහ යුක්රේන හමුදා අතර ඇති වූ ගැටුම් හමුවේ කියෙව් අවට ප්‍රදේශවල ෂෙල් වෙඩි ප්‍රහාරවලට ගොදුරු වූ කුඩා ළමුන් හතර දෙනෙකු (4) තුවාල සඳහා ප්‍රතිකාර ලබා තිබෙනවා.

එක් අයෙකු බරපතළ තත්ත්වයේ පසුවන බවයි රෝහල් වාර්තා සඳහන් කළේ.

මේ අතර රුසියාව යුක්රේනයේ සිදුකරන ආක්‍රමණය හේතුවෙන් ලෝක පාපන්දු පාලන ආයතනය වන Fifa සහ යුරෝපයේ පාලන ආයතනය වන Uefa රුසියානු සමාජ ශාලා සහ ජාතික කණ්ඩායම් සියලුම තරඟවලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර යුක්‍රේනයට යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් එම සංගමයේ නායකයින් මාර්තු මාසයේ පැවැත්වෙන සමුළුවකදී සාකච්ඡා කිරීමට සූදානම් වනවා.

යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (28) ප්‍රකාශ කළේ දෙරට අතර පවතින ගැටුම් අවසන් කිරීම සම්බන්ධයෙන් රුසියාව සමඟ සාකච්ඡා කිරීමේදී මෙම ගැටලුව යුක්රේනයට වැදගත් කරුණක් වූ බවයි.

යුක්‍රේනයට යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාදෙන ලෙසට වන නිල ඉල්ලීමට අත්සන් කළ බව යුක්රේන ජනාධිපති Volodymyr Zelenskiy සඳුදා ප්‍රකාශ කළා.

මේ අතර තම ගුවන් සේවා අංශය ඉලක්ක කර ගනිමින් විවිධ රටවල් පැනවූ සම්බාධකවලට ප්‍රතිචාර වශයෙන් යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27 ද ඇතුළුව රටවල් 36 ක ගුවන් සේවා සඳහා රුසියාව සිය ගුවන් සීමාව වසා දමා තිබෙනවා.

ඒ අනුව යුරෝපා කලාපයේ සිට ආසියානු කලාපයට යාම වෙනුවෙන් ලොව විශාලතම රට හරහා පියාසර කරන ගුවන් සමාගම්වලට මෙම ගුවන් ගමන් තහනම බලපානු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ හේතුවෙන් එම ගුවන් යානාවලට නව මාර්ග සොයා ගැනීමට සිදුවනු ඇති බවයි විචාරකයන්ගේ මතය වන්නේ.

රුසියාවේ ගුවන් සේවා අධිකාරියෙන් හෝ එරට විදේශ අමාත්‍යාංශයෙන් විශේෂ අවසරයක් ලබා ගන්නේ නම්, සුවිශේෂී අවස්ථාවල දී එම ගුවන් සීමාව භාවිතය සඳහා අවසර දිය හැකි බව රුසියානු ගුවන් ගමන් බලධාරීන් පවසා තිබෙනවා.

රුසියාවේ මෙම තහනම ඇල්බේනියාව, ඇන්ගුයිලා, ඔස්ට්‍රියාව, බෙල්ජියම, බල්ගේරියාව, බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්, ජර්මනිය, ජිබ්‍රෝල්ටා, හංගේරියාව, ග්‍රීසිය, ඩෙන්මාර්කය, කැනඩාව, ක්‍රොඒෂියාව, සයිප්‍රසය, චෙක් ජනරජය, එස්තෝනියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්සි, අයර්ලන්තය, අයිස්ලන්තය අයත් වනවා. ඉතාලිය, ලැට්වියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මෝල්ටා, නෙදර්ලන්තය, නෝර්වේ, පෝලන්තය, පෘතුගාලය, රුමේනියාව, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය සහ එක්සත් රාජධානිය ද ඊට අයත්.

මේ අතර යුක්රේන ජනාධිපති Volodymyr Zelenskiy ඊයේ (28) බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සමග දුරකථනයෙන් සාකච්ඡා කර තිබෙනවා.

එහිදී ඉදිරි පැය 24 යුක්‍රේනයට තීරණාත්මක වනු ඇති බවට කරුණු හුවමාරු වූ බවටයි අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශකයෙකු කියා සිටියේ.

මේ අතර කිව් නගරයේ ජනතාව ජීවත්වන ගොඩනැගිලිවලට රුසියානු මිසයිල ප්‍රහාර එල්ල වී ඇතැයි යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසනවා.

මීට පැය කිහිපයකට පෙර රොකට් ප්‍රහාරයකින් පස් මහල් ගොඩනැගිලි තුනක් (3) විනාශ වූ බවයි එම අමාත්‍යාංශයේ ෆේස්බුක් පිටුවේ සඳහන් වන්නේ.

කෙසේවෙතත් රුසියානු හමුදා යුක්රේනයේ ආක්‍රමණය කළ ද ඔවුන්ට මෙතෙක් කිසිදු ප්‍රධාන ජයග්‍රහණයක් ලබාගැනීමට හැකි වී නැහැ.

රුසියාව කිසිදු යුක්රේන නගරයක් අත්පත් කර ගෙන නොමැති අතර, යුක්රේනයේ ගුවන් සීමාව පාලනය කරන්නේ ද නැහැ.

රුසියානු හමුදා Kyiv නගර මධ්‍යයේ සිට දළ වශයෙන් කිලෝමීටර් 30 ක් පමණ දුරින් රැඳී සිටි බවයි වාර්තා වන්නේ.

රුසියාව යුක්‍රේනයේ තම ක්‍රියාකාරකම් ‘විශේෂ මෙහෙයුමක්’ ලෙස හඳුන්වනු ලබනවා.

එය සැලසුම් කර ඇත්තේ භූමිය අත්පත් කර ගැනීමට නොව තම අසල්වැසියාගේ මිලිටරි හැකියාවන් විනාශ කිරීමට මෙන්ම භයානක ලෙස සැලකෙන දේ අල්ලා ගැනීමට බවයි රුසියානු රාජ්‍ය මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මේ අතර රුසියාවට ‘සුදුසු සම්බාධක සහ සීමාවන්’ පැනවීමට සූදානම් බව එරට එහි විදේශ ඇමති පවසනවා.

එම සම්බාධක අතර යුක්රේනයේ ජනතාවට එරෙහිව රුසියාව භාවිතා කරන සියලු භාණ්ඩ සඳහා බැංකු සහ මූල්‍ය ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම අපනයන පාලනයන් ද අයත් බවයි විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

සිංගප්පූරුව ආසියානු කලාපයේ මූල්‍ය මධ්‍යස්ථානයක් සහ ප්‍රධාන ජාත්‍යන්තර නාවික මධ්‍යස්ථානයක් වන අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවලට අනුකූල වන ආකාරයෙන් කටයුතු කරනවා.

නමුත් කලාතුරකින් අවස්ථාවක ඇතැම් රටවලට එරෙහිව ඔවුන් සම්බාධක නිකුත් කරනු ලබනවා.

රුසියාවට එරෙහිව සුදුසු සම්බාධක සහ සීමා පැනවීමට සිංගප්පූරුව තවත් එවැනි සම්බාධක පනවන රටවල් සමඟ ඒකාබද්ධව ක්‍රියා කිරීමට අදහස් කරන බවයි විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් පාර්ලිමේන්තුවට පැවසුවේ.

රුසියාවේ ආක්‍රමණය පිළිගත නොහැකි සහ ජාත්‍යන්තර සම්මතයන් දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් ලෙසට ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර යුක්රේනයේ සටන් ආරම්භ වී පළමු දින හතර (4) තුළ රුසියානු සොල්දාදුවන් 5,000 කට වැඩි පිරිසක් මිය ගිය බව කිව් ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද ප්‍රකාශයක දැක්වෙන්නේ රුසියානු හමුදා භටයින් 5,300 ක් පමණ මිය ගොස් ඇති අතර යුක්රේන හමුදා විසින් යුධ ටැංකි 191 ක්, ප්‍රහාරක ජෙට් යානා 29 ක්, හෙලිකොප්ටර් යානා 29 ක් සහ සන්නද්ධ වාහන 816 ක් විනාශ කර ඇති බවයි.

++++++

රුසියාව සිය න්‍යෂ්ටික බලය තර කරයි

(01.03.2022 – 07:53 +0530 – hirunews.lk/sinhala)

බෙලරූස් දේශ සීමාවේ සාම සාකච්ඡා විසඳුමකින් තොර ව අවසන් වූ මොහොතක දී රුසියාව සිය න්‍යෂ්ටික හමුදා බලය තර කර තිබෙනවා.

මේ අතර, රුසියානු සහ යුක්රේන නියෝජිතයන් අතර බෙලරූස් රාජ්‍යයේ දේශසීමා ප්‍රදේශයේ පැවති සාකච්ඡා ඉක්මන් විසදුමකින් තොරව අවසන් වී තිබෙනවා.

නියෝජිතයන් මේ වන විට ඔවුන්ගේ අගනගර වෙත ගොස් ඇති අතර, රුසියානු රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේ නැවත හමුවීමට දෙපාර්ශවයෙන්ම එකඟත්වයක් පළ වූ බවයි.

එම දෙවන (2) වටයේ සාකච්ඡා ඉදිරි දින කිහිපය තුළ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිත යි.

මේ අතර, ආක්‍රමණය අවසන් කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් කොන්දේසි පෙළක් ඉදිරිපත් කර තිබෙනවා.

යුක්රේනයේ නිරායුධකරණය සහ මධ්‍යස්ථ ප්‍රතිපත්තියකට එළඹීම මෙන්ම ක්‍රිමියාවේ රුසියානු ආධිපත්‍යය පිළිගැනීම ඊට ඇතුළත්.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරිමට ප්‍රධාන හේතුවක් වූයේ එරට නේටෝ සංවිධානයට එක්වීම වළක්වාලීමයි.

මේ නිසා යුද්ධය අවසන් කිරීම සඳහා ජනපති පුටින් යුක්රේනයෙන් මෙන්ම බටහිර කඳවුරෙන් ආරක්ෂක සහතිකයක් අපේක්ෂා කරනවා.

මේ අතර, සන්නද්ධ රථ, යුද ටැංකි, ඇතුළත් සැතපුම් 40 ක් පමණ දිග රුසියානු යුද රථ පෙළක් කීව් අගනුවර වෙත ඇදෙන බව චන්ද්‍රිකා ඡායාරූප මගින් තහවුරු වී තිබෙනවා.

එමෙන්ම, ප්‍රහාරක හෙලිකොප්ටර් රථ පෙරටුකොට ගත් රුසියානු ගොඩබිම් හමුදා බෙලරූස් රාජ්‍යයේ දකුණු දෙසින් යුක්රේන දේශසීමා වෙත පැමිණෙමින් සිටින අතර එම රථ පෙළ ද සැතපුම් 20 ක් පමණ දිගට දිස්වෙන බවයි චන්ද්‍රිකා ඡායාරූප මගින් පෙනී ගොස් ඇත්තේ.

මේ අතර, යුක්රේනයේ දෙවන (2) විශාලතම නගරය වන කාර්කිව් වෙත ඊයේ (28) එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් සිවිල් වැසියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

කීව් අගනුවර ද සයිරන් හඬ අඛණ්ඩව අසන්නට ලැබුණු බවයි විදෙස් වාර්තාකරුවන් සඳහන් කළේ.

එමෙන්ම, රුසියාව විසින් ජගත් සම්මුතියක් මගින් තහනම් කළ ‘වැකියුම් බෝම්බ’ යුක්රේන යුද්ධය සඳහා යොදා ගන්නා බවට චෝදනා එල්ල වනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ යුක්රේන තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළ අතර, මෙම බෝම්බ රුසියාව විසින් චෙච්නියා යුද්ධයේදී භාවිත කළ බවයි වාර්තා වන්නේ.

‘වැකියුම් බෝම්බ’ භාවිතයට එරෙහි ජගත් සම්මුතිය ද රුසියාව හෝ යුක්රේනය අත්සන් තබා නැහැ.

රුසියාව විසින් යුක්රේන ආක්‍රමණයේ දී යුද අපරාධ සිදු කරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර යුද අධිකරණය විසින් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සදහන්.

රුසියාවේ යුක්රේන ආක්‍රමණය හෙළා දකිමින් මෙතෙක් මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුරෝපා සංගමයේ රටවල් වන ස්විට්සර්ලන්තය සහ පින්ලන්තය ද රුසියාවට එරෙහි තහංචි පැනවීමට පියවර ගෙන තිබෙනවා.

මේ නිසා විශේෂයෙන් ස්විට්සර්ලන්තයේ බැංකු පද්ධතිය හරහා සම්බාධක මග හැරීමට රුසියාවට ඉඩ නොලැබෙන අතර ස්විස් බැංකුවල රුසියානු වත්කම් අත්හිටුවීමට ද පියවර ගැනුණා.

මේ අතර, කැනඩාව ප්‍රකාශ කළේ, රුසියාවෙන් බොරතෙල් ආනයනය වහා අත්හිටුවීමට තීරණය කළ බවයි. ජී-7 කණ්ඩායමේ නායකයන් සමග සාකච්ඡාවල නිරත වූ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් කියා සිටියේ, ජාත්‍යන්තර සම්බාධක හමුවේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ යුක්රේන ආක්‍රමණය අසාර්ථක වනු ඇති බවයි.

++++++

ටොයොටා මෝටර් රථ කම්හලට සයිබර් ප්‍රහාරයක්

(01.03.2022 – 07:56 +0530 – hirunews.lk/sinhala)

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ජපානයේ ටොයොටා මෝටර් රථ නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

මේ නිසා මෝටර් රථ 13,000 ක් පමණ නිෂ්පාදනය නතර වී ඇති බවයි වාර්තා වන්නේ.

ටොයොටා මෝටර් රථ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් කොටස් සහ ඉලෙක්ට්‍රොනික උපාංග සැපයුම සයිබර් ප්‍රහාරය හේතුවෙන් නතර වීම ඊට හේතුවයි.

ජපානය ද යුක්රේන ආක්‍රමණයට ප්‍රතිචාර දක්වමින් රුසියාවට එරෙහි සම්බාධක පැනවීමට තීරණය කළ අතර, මේ නිසා සයිබර් ප්‍රහාරය රුසියානු හැකර්වරුන් විසින් සිදු කරන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

++++++

රුසියාවට සහ බෙලරූස් රාජ්‍යයට ජාත්‍යන්තර ක්‍රීඩා තහනමක්

(01.03.2022 – 07:42 +0530 – hirunews.lk/sinhala)

රුසියාවේ යුක්රේන ආක්‍රමණයට ප්‍රතිචාර දක්වමින් රුසියානු සහ බෙලරූස් රාජ්‍යයේ ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට හා නිලධාරීන්ට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ජාත්‍යන්තර තරඟ තහනමක් පැනවීමට නිර්දේශ කර තිබෙනවා.

එහි විධායක මණ්ඩලය මෙම තීරණයට එළඹී ඇත්තේ රුසියාව විසින් ඔලිම්පික් සටන් විරාමය උල්ලඝංනය කිරීම සැලකිල්ලට ගනිමින්.

බීජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලට දින 7 කට පෙර ඇරඹුණු එම සටන් විරාමය අවසන් වන්නේ එහි පැරාලිම්පික් උළෙල නිම වී දින 7 කින් අනතුරුවයි.

ඒ අනුව යුක්රේන ආක්‍රමණය හේතුවෙන් රුසියාවේ සහ ඊට සහය දක්වන බෙලරූස් රාජ්‍යයේ ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරඟ සඳහා ආරාධනා නොකරන ලෙස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනවලින් ඉල්ලා සිටිනවා.

එමෙන්ම, එම රටවල ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල සංවිධාන නොකරන ලෙසයි තවදුරටත් දැනුම් දී ඇත්තේ.

ඒ අනුව රුසියාව සහ බෙලරූස් රාජ්‍යයේ ජාතික කණ්ඩායම් සහ ක්‍රීඩා සමාජ ජාත්‍යන්තර පාපන්දු තරගාවලි වලින් ඉවත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ යුරෝපීය පාපන්දු සම්මේලනය ඊයේ (28) තීරණය කළා.

මේ නිසා රුසියාවට ලෝක කුසලාන පාපන්දු සුදුසුකම් ලැබීමේ තරඟවලට ද සහභාගි වීමට නොහැකි වනු ඇති.

+++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *