ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය රුසියාව විනාශ කළාද ?

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය රුසියාව විනාශ කළාද ?

*********************************************

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය රුසියාව විනාශ කළාද ?

(27.02.2022 – 21:26 +0530 – hirunews.lk/sinhala)

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන යුක්රේනයේ නිෂ්පාදිත Antonov-225 Mriya, යුක්රේන අගනුවර කිව් අසළ Hostomel ගුවන් තොටුපළ, රුසියානු ප්‍රහාරයකින් විනාශ වී ඇති බවට සැක පහළ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

එම ගුවන් යානයේ බවට සැක කෙරෙන ඡායාරූප කිහිපයක්ද මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා ෴

++++++++++++

රුසියානු ජනපති එරට න්‍යෂ්ටික හමුදා සීරුවෙන් තබයි

(27.02.2022 – 21:33 +0530 – hirunews.lk/sinhala)

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් බටහිර රටවල් දැඩි ලෙස සහ එකමුතුව ප්‍රතිචාර දක්වන පසුබිමක ඊට ප්‍රතිචාර වශයෙන් රුසියානු ජනාධිපති පුටින් එරට න්‍යෂ්ටික හමුදාව සීරුවෙන් තබා තිබෙනවා ෴

++++++++++++

රුසියාව ගැන යුරෝපා සංගමයෙන් දැඩි තීරණයක්

(27.02.2022 – 23:05 +0530 – hirunews.lk/sinhala)

යුරෝපා සංගමය රුසියානු ගුවන් යානා සඳහා සිය ගුවන් අවකාශය තහනම් කරන අතර පුද්ගලික ජෙට් යානා ඇතුළු රුසියානු මහ බැංකුවේ විදේශීය වත්කම් අත්හිටුවීම තීරණය කර තිබෙනවා.

එමෙන්ම කිසිදු රුසියානු ගුවන් යානයකට ගොඩබෑමට හෝ ගුවන් ගත වීමට ඉඩ ලබා නොදෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

මේ අතර යුක්රේනයට ආයුධ නැව්ගත කිරීම ඉතිහාසයේ පළමු වතාවට ආරම්භ කිරීමට අදහස් කර ඇති බවද යුරෝපීය සංගමය නිවේදනය කළා ෴

+++++++++++

රුසියානු ගුවන්යානාවලට යුරෝපා සංගම් රටවල ගුවන් කලාපය වැසේ – රුසියාව න්‍යෂ්ටික බලකායන් සීරුවෙන් තබයි

(28.02.2022 – 06:19 +0530 – hirunews.lk/sinhala)

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම හමුවේ යුක්‍රේනයට අවි සහාය ලබාදීමට යුරෝපා සංගමය තීරණයක් ගෙන තිබෙනවා.

එමෙන්ම තම ගුවන් කලාපය රුසියානු ගුවන් යානා සඳහා තහනම් කිරීමට මෙන්ම රුසියානු මාධ්‍ය ආයතන කිහිපයක විකාශන කටයුතු ද තහනම් කිරීමටයි එම සංගමය පියවර ගෙන ඇත්තේ.

රුසියාවේ සිටින තම පුරවැසියන්ට වහාම රටින් පිටව යන ලෙස ප්‍රංශය අවධාරණය කරනවා.

යුරෝපා සංගමය විසින් රුසියානු ගුවන් යානා සඳහා සිය සම්පූර්ණ ගුවන් සීමාව වසා දමන බව නිවේදනය කිරීමෙන් පසුවයි ප්‍රංශය මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

රුසියාව සහ යුරෝපය අතර ගුවන් ගමනාගමනය වෙනුවෙන් පැනවෙන සීමාවන් හේතුවෙන්, රුසියාව හරහා ගමන් කරන ප්‍රංශ ජාතිකයින් ඇතුළු සංචාරකයින්, අමුත්තන්, සිසුන්, වෘත්තිකයන් දැනට පවතින ගුවන් ගමන් මගින් ප්‍රමාදයකින් තොරව රට හැර යාමට කටයුතු සලසා ගන්නා ලෙසට ඔවුන් දැනුම් දී තිබෙනවා.

එමෙන්ම ඉදිරියේ දී රුසියාවට යාමට කර ඇති සැලසුම් ද කල් දමන ලෙසටයි ප්‍රංශය තම පුරවැසියන්ට උපදෙස් දී ඇත්තේ.

ගුවන් ගමන් අඩුවීමත් සමඟ, එක්සත් ජනපදය සහ ප්‍රංශය තම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ වහාම රුසියාවෙන් පිටවීම පිළිබඳ සලකා බලන ලෙසටයි.

යුරෝපා සංගමය රුසියානු ගුවන් යානා සඳහා ගුවන් ගමන් තහනමක් පනවා ඇති බව යුරෝපීය කොමිසමේ ප්‍රධානී නිවේදනය කළා.

රුසියාවට අයත්, රුසියානු-ලියාපදිංචි හෝ රුසියානු පාලනය යටතේ පවතින ගුවන් යානා සඳහා මෙම තහනම බල පැවැත්වෙනු ඇති.

ඒ අනුව රුසියාවේ පුද්ගලික ජෙට් යානා ඇතුළු සියලුම ගුවන් යානාවලට කිසිදු යුරෝපා සංගම් රටකට ගොඩබෑමට, ගුවන්ගත වීමට හෝ පියාසර කිරීමට හැකිවන්නේ නැහැ.

මේ වන විටත් එක්සත් රාජධානියේ ගුවන් සීමාව තුළ රුසියානු ගුවන් යානා තහනම් කර තිබෙනවා.

මෙම තීරණයට පෙර යුරෝපීය රටවල් කිහිපයක් තම ගුවන් සීමා රුසියාවට වසා දමමින් පැවතුණා.

ජර්මනිය පැවසුවේ තම තහනම මාස තුනක් පමණ පවතිනු ඇති බවයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ යුක්‍රේනයේ වෛද්‍ය කටයුතුවල යොදාගන්නා ඔක්සිජන් අඩු වෙමින් පවතින බවයි.

එමෙන්ම එල්ල වන දරුණු ප්‍රහාරය හමුවේ වුව ද පැමිණෙන පරිත්‍යාගශීලීන් හේතුවෙන් රුධිර බැංකුව නැවත පිරී ඇතැයි වෛද්‍යවරු ප්‍රකාශ කර තිබෙනවා.

රුසියාවේ රජය සතු ප්‍රවෘත්ති ආයතන වන ස්පුට්නික් සහ රුසියා ටුඩේ තහනම් කිරීමට ද යුරෝපා සංගමය කටයුතු කරන බව කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

මේ අතර පූර්ව කොන්දේසිවලින් තොරව රුසියාව සමග සාකච්ඡා කිරීමට සූදානම් බව යුක්‍රේනය පවසනවා.

යුක්‍රේන ජනාධිපති කාර්යාලය පැවසුවේ බෙලරූස් සහ යුක්රේන දේශසීමාවේ මෙම සාකච්ඡා පැවැත්වෙන බවයි.

“මෙම රැස්වීමේ ප්‍රතිඵලය ගැන මම ඇත්ත වශයෙන්ම විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඔවුන්ට අවස්ථාවක් දෙන්න, එවිට යුක්රේනයේ කිසිදු පුරවැසියෙකුටවත් කියන්න බෑ ජනාධිපතිවරයා ලෙස මම යුද්ධය නැවැත්වීමට උත්සාහ නොකළ බවට,” යනුවෙන් ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy) ප්‍රකාශ කර තිබෙනවා.

රුසියානු සහ යුක්‍රේන නිලධාරීන් සාකච්ඡා සඳහා බෙලරුස් දේශසීමා ආසන්න ස්ථානයකට රැස්ව සිටින බවටයි වාර්තා වන්නේ.

සාම සාකච්ඡා සඳහා රුසියාව විසින් බෙලරුස් රාජ්‍යය යෝජනා කළත් ඊට යුක්‍රේන ජනාධිපතිවරයා සිය ප්‍රසාදය පළ නොකිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් නැවත වරක් සිතා බැලීමට රුසියාව යුක්‍රේන වේලාවෙන් පස්වරු 3 වනතුරු කාලය ලබා දුන්නා.

ඒ අනුව උද්ගතව ඇති අර්බුදය සම්බන්ධයෙන් රුසියානු බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියෝජිත කණ්ඩායමක් පිටත් කර හැරීමට යුක්‍රේන ජනාධිපතිවරයා සිය එකඟත්වය පළ කළ අතර ඒ සඳහා තෝරා ගැනුණේ බෙලරූස් රාජ්‍ය දේශ සීමාවේ ප්‍රිපියත් ගංගාව ආසන්න ප්‍රදේශයක්.

මේ අතර රුසියාවේ න්‍යෂ්ටික ආරක්ෂක අංශ දැඩි සීරුවෙන් තැබීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පියවර ගෙන තිබෙනවා.

රුසියානු ජනපතිවරයා සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි ආකාරයෙන් යුද්ධය තීව්‍ර කරන බවයි ඇමරිකා එක්සත් ජනපදය චෝදනා කරන්නේ.

රුසියාවේ ආක්‍රමණයෙන් පසු යුක්රේනයට අවි ආයුධ යැවීමට යුරෝපා සංගමය තීරණයක් ගෙන තිබෙනවා.

එය මෙතෙක් ඉතිහාසයේ සිදු නොවූ පියවරක් බවටයි යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු යුරෝපීය රාජ්‍යයකට එල්ල වූ විශාලතම ප්‍රහාරය මෙය ලෙසටයි සැලකෙන්නේ.

මේ අතර රුසියානු ප්‍රහාරයෙන් පසු යුක්‍රේන හමුදා Kharkiv නගරය පාලනය කරන බව එහි ආණ්ඩුකාරවරයා පවසනවා.

මෙහිදී සිදු වූ ගැටුම්වලින් රුසියානුවන් 4,300ක් මිය ගිය බවටයි යුක්රේනය ප්‍රකාශ කරන්නේ.

කෙසේවෙතත් එම තොරතුරු මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නැහැ.

මේ අතර වසර තුනක කාලයක් සඳහා යුක්රේන සරණාගතයන් භාර ගැනීමට යුරෝපා සංගමයේ සියලුම සාමාජික රටවල් ඒකමතික තීරණයක් ගෙන තිබෙනවා.

ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසන්නේ යුරෝපය විශාල මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටින බවයි.

යුරෝපා සංගමය අනතුරු අඟවන්නේ රුසියානු ආක්‍රමණයෙන් යුක්රේනයේ අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයින් සංඛ්‍යාව මිලියන හතකට වඩා වැඩි විය හැකි බවටයි.

එම සංගමයේ මානුෂීය ආධාර සහ අර්බුද කළමනාකරණය පිළිබඳ කොමසාරිස් ජැනෙස් ලෙනාර්සික් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ “වසර ගණනාවකින් අපගේ යුරෝපීය මහාද්වීපයේ විශාලතම මානුෂීය අර්බුදය බවට පත්විය හැකි දේ මේ වන විට අත්දකිමින්” සිටින බවයි.

රුසියානු ආක්‍රමණය හමුවේ දැනට අවතැන් වූ යුක්රේන ජාතිකයන්ගේ සංඛ්‍යාව මිලියන හතකට වඩා වැඩි බවටයි එක්සත් ජාතීන්ගේ වාර්තා උපුටා දක්වමින් ඔහු පැවසුවේ.

යුක්රේන ජනතාව මිලියන 18 ක් පමණ පීඩාවට පත්වනු ඇතැයි අපේක්ෂා කරන අතර මිලියන හතරක් පමණ රට හැර යාමට අපේක්ෂා කරන බවට හෙළිකරගෙන තිබෙනවා.

මෙම තොරතුරු ඉතා දළ ඇස්තමේන්තු වුව ද, මෙවැනි හදිසි අවස්ථාවකට අප සූදානම් විය යුතු බවයි ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසන්නේ යුක්රේනයෙන් පලා යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වන විට 368,000 දක්වා ළඟා වී ඇති බවයි.

ඉන් බොහෝ දෙනෙකු පෝලන්තය, රුමේනියාව, හංගේරියාව, මෝල්ඩෝවා සහ ස්ලෝවැකියාව යන රටවලට ගොස් තිබෙනවා.

යුක්රේන දේශ සීමා ඔස්සේ රටින් නික්මීමට පැය 72 ක පමණ කාලයක් පුරා කිලෝමීටර් ගණනක් දුරට ජනතාව රැඳී සිටිනවා.

තවත් පිරිසක් පෝලන්තයට පලායන අතර දුම්රිය ස්ථාන තුළ දැඩි කලහකාරී තත්ත්වයක් දැකගැනීමට තිබුණා.

මේ අතර යුක්රේනයේ දෙවැනි විශාලතම නගරය වන කාර්කිව් නුවර බලය අත්පත් කරගැනීමට රුසියානු හමුදාව දරුණු සටනක නිරතවනවා.

එවන් පසුබිමක සන්නද්ධ රථ මගින් කිව් අගනුවර ආක්‍රමණයට පැමිණෙමින් තිබූ රුසියානු යුද රථ සිය ගණනක් යුක්රේන ආරක්ෂක අංශ විනාශ කර දමා තිබෙනවා.

මේ අතර ලොව විශාලතම ගුවන් යානයවන ඇන්ටනොව් AN 225 වර්ගයේ ගුවන් යානයක් රුසියානු හමුදා භට පිරිස් යුක්රේනයේ හොස්ටොමෙල් ගුවන් තොටුපොළේදී විනාශ කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රුසියානු හමුදා භට පිරිස් කීව් නගරයට ඇතුළුවීමට දරුණු යුද ගැටුම්වල නිරතවනවා. අගනගරයේ බලාත්මක ඇඳිරිනීතිය හමුවේ කිසිදු පුද්ගලයෙකුට නිවසින් බැහැරවීමේ අවසරයක් නැහැ.

එලෙස පිටවන පිරිස් රුසියානු හිතවාදීන් ලෙස නම්කරන බවයි යුක්රේන රජය පෙන්වා දී ඇත්තේ.

යුක්රේන අගනුවරට බල ශක්තිය සැපයෙන ප්‍රදේශ ආක්‍රමණය කර ගනිමින් ඒවා විනාශ කර බලශක්ති සැපයුම් අත්හිටුවීමට රුසියානු භට පිරිස් පියවර ගනිමින් සිටිනවා.

ඒ අනුව ඉන්ධන ගබඩාවක් සහ ගෑස් නල පද්ධතියක් පුපුරුවා හැරීමට ඔවුන් කටයුතු කර තිබුණා.

දරුණු යුද ගැටුම් හමුවේ යුක්රේනයේ දෙවන විශාලතම නගරයවන කාර්කිව් නුවරට මේ වන විට රුසියානු හමුදා භට පිරිස් ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එලෙස නගරයට ඇතුළු වූ රුසියානු හමුදා භටයින් වෙළෙඳ සැල් කොල්ලකන අයුරු දැක්වෙන සී.සී.ටී.වී. කැමරා දර්ශන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

රුසියානු හමුදාවන්ගේ ප්‍රධානතම අරමුණ වී ඇත්තේ කීව් අගනුවර බලය අත්පත් කරගැනීම වන අතර සන්නද්ධ රථ විශාල සංඛ්‍යාවක් මේ වන විට කිව් නගරයට දෙසට පැමිණෙමින් තිබෙනවා.

එලෙස නගරයට ඇතුළුවීමට උත්සාහ දරන සන්නද්ධ රථ විනාශ කිරීමට යුක්රේන ආරක්ෂක අංශ සහ කිව් නුවර ජනතාව පියවර ගෙන තිබුණා.

මේ අතර, ඩොලර් මිලියන 350 ක් වටිනා අවි ආයුධ යුක්රේනයට යැවීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් තීරණය කර තිබෙනවා.

යුද ටැංකි නාශක මිසයිලල ගුවන් යානා නාශක පද්ධති සහ වෙඩි නොවදින ආවරණ ඊට ඇතුළත්.

ජර්මානු රජය සඳහන් කළේ යුද ටැංකි නාශක අත්බෝම්බ 1000 ක් සහ ගොඩබිමේ සිට ගුවනට එල්ල කළ හැකි ස්ටින්ගර් මිසයිල 500 ක් හදිසි අවස්ථාවක් ලෙස සලකා යුක්රේනයට ලබාදෙන බවයි.

නෙදර්ලන්තයද යුක්රේනයට අවි ආයුධ ලබාදීමට තීරණය කර ඇති අතර නේටෝ සංවිධානය නැගෙනහිර යුරෝපයේ සිය භට පිරිස් ඉහළ නැංවීමට ද පියවර ගෙන තිබෙනවා.

රුසියානු ගුවන් හමුදා සඳහා ජර්මානු ගුවන් කලාපයද තහනම් කෙරුණා.

තවමත් රුසියානු රොකට් ප්‍රහාර කීව් අගනුවරට එල්ලවන අතර ප්‍රහාරවලින් පීඩාවට පත්වූ ජනතාව පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සටන් කිරීමට අවශ්‍ය යුද උපකරණ සහ ඉන්ධන ලබාදීමට ප්‍රංශයත් සිය එකඟතාව පළ කළා.

මේ අතර සිය රටවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හමුදාවට එකතුවීමට 2015 යුක්රේන රූ රැජින ලෙස කිරුළු පැළඳි 24 හැවිරිදි ඇනස්තාසියා ලෙනින් පියවර ගෙන තිබෙනවා.

මේ අතර ප්‍රහාර එල්ල කිරීමේදී සිවිල් වැසියන් හා දරුවන් ඉලක්ක කරගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් දියත් කළ යුතු බව ද යුක්රේන ජනාධිපතිවරයා ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

යුක්රේන ආරක්ෂක අංශ විශේෂ බුද්ධි මෙහෙයුමක් ඔස්සේ රුසියානු හමුදා ව්‍යර්ථ කිරීමටයි මේ වන විට ක්‍රියා කරමින් සිටින්නේ.

යුක්රේන ආරක්ෂක අංශ රුසියානු භටයන් 200 කට වැඩි සංඛ්‍යාවක් ද සිය භාරයට ගෙන තිබෙනවා.

එලෙස සිය භාරයට ගත් රුසියානු භටයන්ට සිය මව්පියන්ට දුරකථනය ඔස්සේ කථාකිරීමට අවස්ථාව ද ලබා දී තිබුණා.

රුසියානු හමුදා කිව් නගරයට ඇතුළුවීම වැළැක්වීමට පාලමක් මත සිට බෝම්බයක් පුපුරුවා ගනිමින් ජීවිතක්ෂයට පත් වූ යුක්රේන සොල්දාදුවා ජාතික වීරයෙක් ලෙස නම් කිරීමට යුක්රේන ජනපති ව්ලොදිමියර් සෙලෙන්ස්කි පියවර ගෙන තිබෙනවා.

මේ අතර, රුසියානු වෙබ් අඩවි 6කට සයිබර් ප්‍රහාරයක්ද එල්ලවී තිබෙනවා. එරට රාජ්‍ය රූපවාහිනී සේවාවේ වෙබ් අඩවියට පිවිසු හැකර්වරුන් එම නාලිකා මගින් යුක්රේන ගීත වාදනය කර තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යුක්රේනයේ අන්තර්ජාල සබඳතා රුසියානු ප්‍රහාර හමුවේ බිඳ වැටී තිබෙනවා.

මේ හේතුවෙන් යුක්රේන උප ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත ලොව බිලියනපතියෙක් වන ලොන්මස්ගේ ස්පේස් එක්ස් අභ්‍යාවකාශ මෙහෙයුම් සඳහා ස්ථාපිත ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා ඔස්සේ යුක්රේනයට අන්තර්ජාල පහසුකම් මේ වන විට සපයා දී තිබෙනවා.

මේ අතර උද්ගතව ඇති යුද ගැටුම් හේතුවෙන් මේ දක්වා මිය ගිය දහස් ගණනක රුසියානු හමුදා භටයින්ගේ මළ සිරුරු රුසියාවට ආපසු ලබාදෙන ලෙස යුක්රේනය රතුකුරු සංවිධානයෙන් ඉල්ලීම් කර තිබෙනවා.

මේ අතර රුසියාවේ යුක්රේන ආක්‍රමණයට එරෙහිව යුක්රේනය ජාත්‍යන්තර යුද අධිකරණයකට යාමේ සූදානමක පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුක්රේන නියෝජ්‍ය අගමැතිනි ඉරීනා වේරේස් චුක් එම සංවිධානයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මෙම මානුෂීය ගැටලුව විසඳීමට අවශ්‍ය සියලු දේ සිදුකරන ලෙසයි.

මේ අතර, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සුවිශේෂී සැසිවාරයක් කැඳවීමේ යෝජනාවක් සම්මත කර ගැනීම සඳහායි.

එවැන්නක් සඳහා මීට පෙර යෝජනාවක් ඉදිරිපත් වී තිබුණේ 1982 වසරේදීයි.

මෙවර මෙම හදිසි සමුළුව කැඳවා ඇත්තේ පවතින රුසියානු – යුක්රේන තත්ත්වය මැඩපැවැත්වීම සඳහා සාමය සඳහා එක්සත් වීම යන අරමුණ පෙරදැරි කරගෙනයි.

රුසියානු කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ලොක ප්‍රකට චෙල්සි පාපන්දු කණ්ඩායමේ හිමිකරු රෝමන් ඇබ්රිමෝවිච් සිය කණ්ඩායමේ භාරකාරිත්වය එම ක්‍රීඩා සමාජයේ සමාජ සත්කාර පදනම වෙත භාරදී තිබෙනවා.

ඒ රුසියානු යුක්රේන අර්බුද හමුවේ ඔහු දරණ තනතුරෙන් ඉවත්වන ලෙස විවිධ’පාර්ශ්ව ඔහුට බලපෑම් සිදුකර ඇති පසුබිමකයි.

නමුත් ඇතැමුන් පවසන්නේ ඔහුට එරෙහිව සම්බාධක පැනවීමට ඉඩකඩ පැවතීම හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි.

මේ අතර, පවතින තත්ත්වයට විරෝධය පළකරමින් ලතින් අමෙරිකාව, ජෝර්ජියාව ඇතුළු රටවල් කිහිපයක් රුසියාවට එරෙහිව විරෝධතාවල නිරතවුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *