රුසියානු මිසයිලවලින් වෙළෙඳ නැව් දෙකකට (2) හානි

රුසියානු මිසයිලවලින් වෙළෙඳ නැව් දෙකකට (2) හානි

*********************************************

රුසියානු මිසයිලවලින් වෙළෙඳ නැව් දෙකකට (2) හානි

(26.02.2022 – 10:13 +0530 – hirunews.lk/sinhala)

කළු මුහුදේ ඔඩෙසා වරායේ නතර කර තිබූ වෙළඳ නෞකා දෙකකට (2) ද රුසියානු මිසයිල ප්‍රහාරවලින් හානි සිදු ව ඇති බවට යුක්රේනය චෝදනා කළා.

රුසියානු යුද නෞකා මඟින් එල්ල කළ එම මිසයිල මෝල්ඩෝවා රාජ්‍යයේ ලියාපදිංචි කළ රසායනික නෞකාවකට සහ පැනමාවේ ලියාපදිංචි තවත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට පතිත වී ඇති බවයි යුක්රේනය ප්‍රකාශ කළේ.

මීට පෙර ඔඩෙසා වරායට ඔබ්බෙන් වූ තුර්කියට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ද රුසියානු මිසයිල ප්‍රහාර වලින් හානි සිදු වූ බවට යුක්රේනය චෝදනා එල්ල කළා.

මේ අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු එරට රජයේ ඉහළ පෙලේ පුද්ගලයන්ට එරෙහිව සම්බාධක පැනවීමට එක්වන බව ඕස්ට්‍රේලියාව ද ප්‍රකාශ කළා.

මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යය එවැනි සම්බාධක පනවා තිබෙනවා ෴

++++++++++++

රුසියාවෙන් ෆින්ලන්තයට තර්ජනයක්

(26.02.2022 – 11:36 +0530 – hirunews.lk/sinhala)

යුක්රේන අර්බුදය මධ්‍යයේ ෆින්ලන්තය නේටෝ සංවිධානයට සම්බන්ධ වුව හොත් ‘බරපතළ යුධමය සහ දේශපාලන ප්‍රතිවිපාක’ ගැන රුසියාව අනතුරු අඟවා තිබෙනවා.

රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා , දැනට යුරෝපීය රටවල් 28 කින් සහ එක්සත් ජනපදය සහ කැනඩාව සමඟ සැදුම් ලත් මිලිටරි සන්ධානය වන නේටෝ සාමාජිකත්වය ලබා ගැනීම හානිකර ප්‍රතිවිපාක ඇති කළ හැකි බව පවසනවා.

මේ සතියේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ව, ෆින්ලන්ත අගමැති සන්නා මැරින් පැවසුවේ, ෆින්ලන්තයේ නේටෝ සාමාජිකත්වය පිළිබඳ විවාදය වෙනස් වනු ඇති බව යි.

මාධ්‍ය හමුවක දී පරිවර්තිත අදහස් දැක්වීමේ දී ඇය සඳහන් කළේ, ෆින්ලන්ත රජයේ මිලිටරි සන්ධානගත නොවීමේ ප්‍රතිපත්තිය උතුරු යුරෝපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමේ වැදගත් සාධකයක් ලෙස යි ෴

++++++++++++

මැයි මාසය වනවිට තෙල් බැරලයක් ඩොලර් 125 ඉක්මවන ලකුණු

(26.02.2022 – 12:55 +0530 – hirunews.lk/sinhala)

රුසියාව සහ යුක්රේනය අතර අර්බුදය හේතුවෙන් සැපයුමට බාධා එල්ල වුවහොත් ලබන මැයි මාසය වනවිට ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 125 දක්වා ඉහළ යනු ඇති බවට අනාවැකි පළ වනවා.

ගෝල්ඩ්මන් සාච් ඇමරිකානු ආයෝජන බැංකු සහ මූල්‍ය සේවාව පවසන පරිදි ඒ අනුව ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල සියයට 25 කින් පමණ ඉහළ යනු ඇති.

රුසියාව විසින් යුක්රේන ආක්‍රමණය ආරම්භ කළ පසුගිය බ්‍රහස්පතින්දා ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 105 දක්වා ඉහළ ගියා.

රුසියානු බලශක්ති කර්මාන්තය ඉලක්ක කරගත් සම්බාධක පැනවීමෙන් අනතුරුව එය, සමනය වීමක් දක්නට ලැබෙනවා.

කෙසේ නමුත් ලෝක වෙළඳපොල් තෙල් බැරලයක මිල තවදුරටත් පවතින්නේ ඩොලර් 100 කට ආසන්න අගයකයි ෴

++++++++++++

මව්බිම වෙනුවෙන් යුක්රේන සිවිල් කාන්තාවන් ද ආයුධ අතට ගනියි

(26.02.2022 – 13:11 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයේ කීව් අගනුවර, රුසියානු හමුදා ප්‍රහාරවලට ලක්වෙද්දී සාමය පිළිබඳ නව බලාපොරොත්තුවක් ඇති වී තිබෙනවා.

යුක්රේනය සහ රුසියාව සාම සාකච්ඡා පැවැත්විය හැකි වේලාවක් සහ ස්ථානයක් පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බව යුක්රේන ජනාධිපති වොල්ඩමියර් සෙලන්ස්කිගේ ප්‍රකාශකයා සඳහන් කළා.

යුක්රේනය සමඟ සාකච්ඡා කිරීම සඳහා සූදානම් බව රුසියාවද ඊයේ (25) ප්‍රකාශ කළ අතර, ඒ සඳහා යෝජනා කර තිබුණේ බෙලරුස් රාජ්‍යයේ මින්ස්ක් අගනුවර යි.

එහෙත් පෝලන්තයේ වෝර්සෝ නුවර යුක්රේනය විසින් යෝජනා කර තිබුණා.

යුක්රේනයේ කීව් අගනුවර අද (26) අලුයම් කාලයේ නැවතත් පිපිරුම් හඬ ඇසුණු අතර, නගරය වටා දරුණු ගැටුම් ඇවිලී ඇති බව වාර්තාවනවා.

නගර මධ්‍යයෙන්ද මෙලෙස දැවැන්ත පිපිරුම් වාර්තා වී ඇති අතර, කාලතුවක්කු හඬ සැතපුම් ගණනාවකට අසන්නට ලැබුණු බව විදෙස් වාර්තා සඳහන් කළා.

ජනාකීර්ණ නිවහන් සංකීර්ණ අසළ මෙන්ම කීව් සත්වෝද්‍යානය අවට ද මෙලෙස ගැටුම් ඇවිලී තිබෙනවා.

කීව් අගනුවර මෙලෙස දිසා කිහිපයකින් ප්‍රහාරවලට ලක්වන බව සඳහන්.

නගරයට විදුලිය සැපයෙන බලාගාරය ද රුසියානු හමුදා ඉලක්කයක් වන අතර, නගරයේ වීථිවල ගිනිගෙන දැවෙන වාහන රැසක් දක්නට ලැබී තිබෙනවා.

රුසියානු හමුදා නගර මධ්‍යයට ඇතුළු වුවහොත් ඔවුන් සමඟ වීථි සටන්වල නිරතවීම සඳහා යුක්රේන සිවිල් වැසියන් සන්නද්ධ ව සිටින බව ද වාර්තා වනවා.

එලෙස අවි ආයුධ රැගත් කාන්තාවන් ද වීථිවලට පිවිස සිටි අතර, ඔවුන් කියා සිටියේ තම මව් බිම රැකගැනීම වගකීමක් ලෙස සළකන බවයි.

යුක්රේනයේ කීව් අගනුවරින් ආරක්ෂිතව තමාව ඉවත් කර ගැනීම සඳහා ඇමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාව ජනාධිපති වොල්ඩොමයර් සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

ඇමෙරිකානු බුද්ධි සේවා උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය මේ බව අනාවරණ කළා.

ඇමෙරිකානු යෝජනාවට ප්‍රතිචාර දක්වමින් යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, යුද්ධය මෙහි පවතින බැවින් තමන්ට ආයුධ මිස සංචාරයක් අවශ්‍ය නොවන බවයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ රුසියානු හමුදා යුක්රේන අගනුවරට පාර්ශව කිහිපයකින් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරද්දී යි ෴

++++++++++++

යුක්රේනයට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 350 ක යුධ ආධාර

(26.02.2022 – 13:57 +0530 – hirunews.lk/sinhala)

රුසියානු ආක්‍රමණයට මුහුණ දී සිටින යුක්රේනය වෙත ඩොලර් මිලියන 350 ක් වටිනා යුධ ආධාර ලබාදෙන ලෙස ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

යුක්රේනයේ ආරක්ෂාව උදෙසා එම යුධ ආධාර සපයන ලෙසයි ජනපති බයිඩ්න් සිය රාජ්‍ය ලේකම්වරයා හරහා දන්වා ඇත්තේ.

රුසියානු ආක්‍රමණිකයාට එරෙහි ව සන්නද්ධ වීමට සහාය වන්නැ යි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ඉල්ලීමක් කර තිබූ අතර, ඒ අනුව, ඒ සඳහා පාර්ශවකරුවන්ගේ සහාය ලැබෙන බව පසු ව ඔහු කියා සිටියා.

මේ අතර, රුසියානු හමුදා ප්‍රකාශ කළේ, දකුණු දිග යුක්රේන නගරයක් වන මෙලිටොපොල් තමන් අත්පත් කර ගත් බව යි.

රුසියානු හමුදා විසින් කීව් අගනුවර ඇතුළු එරට ප්‍රධාන නගර වෙත කාල තුවක්කු සහ කෲස් මිසයිල ප්‍රහාර අඛණ්ඩ ව එල්ල කරන බව සඳහන් ෴

++++++++++++

සිවිල් වැසියන් 198 ක් මියගිය බව යුක්රේනය කියයි

(26.02.2022 – 17:19 +0530 – hirunews.lk/sinhala)

රුසියානු ප්‍රහාර වලින් මේ දක්වා තම සිවිල් වැසියන් 198 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යුක්රේනය ප්‍රකාශ කර තිබෙනවා.

මේ වනවිට දෙපාර්ශවයේ හමුදා අතර කීව් අගනුවර වීදි සටන් ආරම්භ වී ඇති අතර, දැඩි ගැටුම් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත්, රුසියාව මේ දක්වා සිදුවූ හානි පිළිබඳව නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

මිලියන 44 ක ජනතාවක් වෙසෙන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වන යුක්‍රේනය නීත්‍යානුකූල නොවන රාජ්‍යයක් බව පුටින් පවසන අතර, යුක්රේනියානුවන් පවසන්නේ තමන්ගේ වසර දහස් ගණනකට වැඩි ඉතිහාසයක් මකා දැමීමේ අරමුණින් රුසියාව මෙම ප්‍රහාර සිදු කරන බවයි.

යුක්රේනයේ කියෙව් අගනුවර රුසියානු මිසයිල ප්‍රහාරවලින් ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

රුසියානු හමුදා නගරයේ ආරක්ෂක වළල්ල බිඳ දැමීමට උත්සාහ කරන නමුත් මෙතෙක් එය සාර්ථක වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විශාල පිරිසක් ප්‍රදේශයෙන් පළා යමින් සිටින අතර රුසියානු ආක්‍රමණය ආරම්භ වූ දා සිට 100,000 ක පමණ පිරිසක් දැනටමත් පෝලන්තයට පැමිණ ඇති බවයි පෝලන්ත දේශසීමා ආරක්ෂක ඒජන්සිය පවසන්නේ.

යුක්රේනයේ යුද්ධයෙන් බේරෙන ඕනෑම අයෙකු රැගෙන යාමට සහ යාමට තැනක් නොමැති අයට තාවකාලික නවාතැන් දීමට පෝලන්තයේ රජය පොරොන්දු වී තිබෙනවා.

දේශසීමා මුරපොලවල් අසල මෝටර් රථ පෝලිම් ඇති බැවින්, පෝලන්තය එහි දේශසීමා ස්ථාන අටේදීම (8) මිනිසුන්ට පයින්ම දේශ සීමාව තරණය කිරීමට ඉඩ ලබාදී ඇතැයි සඳහන්.

මීට පෙර, පදිකයින්ට ගමන් කිරීමට අවසර ලැබුණේ මෙඩිකා හි එක් (1) ස්ථානයකට පමණයි.

පැමිණෙන පුද්ගලයින්ට ආහාර, වෛද්‍ය ආධාර සහ තොරතුරු ලබා ගත හැකි ස්ථාන දේශසීමා හරස් මාර්ග අසල පාසල් සහ ව්‍යායාම මධ්‍යස්ථාන යොදා ගනිමින් පිළිගැනීමේ මධ්‍යස්ථාන නවයක් (9) ස්ථාපිත කර තිබෙනවා.

මේ අතර ගිනිකොනදිග යුක්රේනයේ නගරයක් වන මෙලිටොපෝල් තම පාලනයට නතු කර ගත් බවට රුසියාව ප්‍රකාශ කර තිබෙනවා.

රුසියාවේ ප්‍රවෘත්ති වාර්තා සඳහන් කර ඇත්තේ අද (26) තම හමුදා අගනුවර වන කිව් ඇතුළු නගර කිහිපයකට කෲස් මිසයිල සහ කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ බවයි.

1,50,000 ක පමණ ජනගහනයක් වෙසෙන මෙලිටොපොල් සම්බන්ධයෙන් රුසියාව සිදු කළ එම ප්‍රකාශ පිළිබඳ අදහස් දැක්වීමට යුක්රේන බලධාරීන් පියවර ගෙන නැහැ.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරන මෙම පුවත තහවුරු වුවහොත්, බ්‍රහස්පතින්දා රුසියානු ආක්‍රමණය ආරම්භයෙන් පසු රුසියානුවන් විසින් අල්ලා ගත් පළමු සැලකිය යුතු ජනගහනයක් සිටින නගරය එය වනු ඇති.

මීට පෙර, යුක්රේන බලධාරීන් පැවසුවේ රුසියානු හමුදා කළු මුහුදේ සිට ගිනිකොන දෙසින් මරියුපෝල් වෙත මෙන්ම ඊසාන දෙසින් සුමි සහ නැගෙනහිරින් පොල්ටාවා වෙත කෲස් මිසයිල එල්ල කළ බවයි.

එක් (1) මිසයිලයක් නිවාස සංකීර්ණයකට වැදී ඇති අතර ගුවන් තොටුපල ආසන්න ප්‍රදේශයකට පහර දුන් බව කිව් බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

තුවාල ලැබූවන් හෝ මියගිය පුද්ගලයන් පිළිබඳ තොරතුරු වාර්තා වී නැහැ.

අද (26) අලුයම නගර මධ්‍යයේ රජයේ ගොඩනැගිලි අසල වෙඩි තැබීම් සිදු වූ බව රොයිටර් පුවත් සේවයේ වාර්තාකරුවෙකු සඳහන් කර තිබෙනවා.

ජනාධිපති Volodymyr Zelenskiy, ඔහුගේ Kyiv නුවර පිහිටි කාර්යාලයෙන් පිටත සිට වීඩියෝ පණිවුඩයක් නිකුත් කර තිබුණා.

“අපි ආයුධ බිම තියන්නේ නැහැ, අපි අපේ රාජ්‍යය ආරක්ෂා කරමු,” යනුවෙන් ඔහු ප්‍රකාශ කළා.

බටහිර රටවල රාජ්‍ය නායකයින්ගේ අනතුරු ඇඟවීම් වලින් පසුව, රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කළා.

තම අසල්වැසියාගෙන් තම රටට බරපතල තර්ජනයක් ඇති අතර එය ඉවත් කිරීමට තමාට සිදු වූ බව රුසියානු ජනාධිපති පවසා තිබෙනවා.

ඔහු අවධාරණ කළේ, නැගෙනහිර යුක්රේනයේ රුසියානු භාෂාව කතා කරන්නන්ට එරෙහිව ජන සංහාරයක් සිදු කළ යුක්රේනයේ නායකත්වය ප්‍රතික්ෂේප කළ යුතු බවයි.

කෙසේවෙතත් යුක්රේන බලධාරීන් මෙන්ම බටහිර මිත්‍ර රටවල් එම ​​චෝදනා පදනම් විරහිත ප්‍රචාරයක් ලෙස බැහැර කරනවා.

බටහිර රටවල් බැංකු අසාදු ලේඛනගත කිරීම සහ තාක්ෂණික අපනයන තහනම් කිරීම ඇතුළු සම්බාධක රාශියක් රුසියාවට එරෙහිව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අතර, රුසියාවේ යුක්රේන ආක්‍රමණය හෙළා දැකීමේ යෝජනාවක් ජගත් ආරක්ෂක මණ්ඩලය හමුවේ ඊයේ (25) පරාජයට පත්වුණා.

ඒ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු වන රුසියාව නිශේධ බලය භාවිත කිරීම හේතුවෙන්.

ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනා අතරින් 11 දෙනෙකු යෝජනාවට පක්ෂය ඡන්දය භාවිත කළ අතර, ඉන්දියාව චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

යුක්රේනය ඩොලර් බිලියන 6.4 ක ආරක්‍ෂාව සහ මානුෂීය ආධාර ඇමරිකාවෙන් ඉල්ලා සිට ඇති අතර ජෝ බයිඩන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත්තේ ඩොලර් මිලියන 350 ක ආරක්ෂක උපකරණ ඇතුලත් ආධාර නිකුත් කරන ලෙසටයි.

රුසියානු ආක්‍රමණයට මුහුණදී සිටින යුක්රේනය වෙත ඩොලර් මිලියන 350 ක් වටිනා යුධ ආධාර ලබාදෙන ලෙස ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

යුක්රේනයේ ආරක්ෂාව උදෙසා එම යුධ ආධාර සපයන ලෙසයි ජනපති බයිඩ්න් සිය රාජ්‍ය ලේකම්වරයා හරහා දන්වා ඇත්තේ.

රුසියානු ආක්‍රමණිකයාට එරෙහිව සන්නද්ධ වීමට සහය වන්නැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ඉල්ලීමක් කර තිබූ අතර, ඒ අනුව, ඒ සඳහා පාර්ශවකරුවන්ගේ සහය ලැබෙන බව පසුව ඔහු කියා සිටියා.

මේ අතර යුක්රේනයේ හමුදා ඉලක්ක වෙත එක ප්‍රහාර එල්ල කිරීමට තම හමුදා ගුවන් යානා සහ නැව් පදනම් කරගත් කෲස් මිසයිල භාවිතා කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

රුසියානු හමුදා යුක්රේනයේ යටිතල පහසුකම් ඉලක්ක වෙත පහර දී ඇති අතර ගුවන් යානා කිහිපයක් සහ යුධ ටැංකි විශාල ගණනක් මෙන්ම සන්නද්ධ හා කාලතුවක්කු වාහන විනාශ කර ඇති බවයි එහි සඳහන් වන්නේ.

යුක්රේන බලධාරීන් සිය පුරවැසියන්ගෙන් ඉල්ලා ඇත්තේ ඉදිරියට යන රුසියානුවන්ගෙන් කිව් නගරය ආරක්ෂා කර ගැනීමට සහය වන ලෙසටයි.

එක්සත් ජාතීන්ගේ වාර්තාවන්ට අනුව, ඇතැම් පවුල් නවාතැන්වල සැඟවී සිටි අතර ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ආරක්ෂාව සඳහා තම නිවෙස් හැර ගොස් තිබෙනවා.

යුක්රේනය ප්‍රකාශ කළේ රුසියානු සොල්දාදුවන් 1000 කට වැඩි පිරිසක් මිය ගිය බවයි.

කෙසේවෙතත් රුසියාව ජීවිත හානි සංඛ්‍යා පිළිබඳ තොරතුරු නිකුත් කර නැහැ.

මේ අතර රුසියානු හමුදාව ඉදිරියට පැමිණීම ප්‍රමාද කිරීමේ අරමුණින් පාලමක් පුපුරුවා හරිමින් දිවියෙන් සමුගත් යුක්රේන සෙබලෙකු පිලීබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුධ විරුවෙකු ලෙස හඳුන්වමින් ඔහු පිළිබඳ තොරතුරු යුක්රේන හමුදාව විසින් මේ වනවිට සමාජ මාධ්‍යයට ද එක්කර ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

ක්‍රිමියාව සහ උපාය මාර්ගික වැදගත්කමක් සහිත යුක්රේනයේ පතල් බිම් යා කෙරෙන අදාල පාලම මොහු විසින් පුපුරුවා හැරීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී තිබෙනවා.

රුසියානු හමුදා අදාළ සෙබලා දෙසට පැමිණෙමින් සිට ඇති අතර, බෝම්බය සවිකර ආරක්ෂිත ස්ථානයකට ඉවත්ව යාමට ප්‍රමාණවත් කාලයක් නොමැති බව වටහා ගත් එම සෙබලා තම අතෙහිම බෝම්බය පුපුරුවා හැර ගනිමින් පාලම විනාශ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ ෴

රුසියානු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ප්‍රංශ පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. ඒ, රුසියාවට එරෙහිව පනවා ඇති වෙළෙඳ සම්බාධක උල්ලංඝනය කරමින් ඉංග්‍රීසි ඕඩය හරහා යාත්‍රා කරමින් තිබියදීයි ෴

++++++++++++

යුක්රේන අගනුවර සටන් තවත් දරුණු වෙයි

(26.02.2022 – 19:58 +0530 – hirunews.lk/sinhala)

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් වෙත ගමන් කරමින් තිබූ රුසියානු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ප්‍රංශ නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

රුසියානු හමුදාව යුක්රේනයේ කීව් අගනුවරට ළගා වීමත් සමඟ එහි ගැටුම් තවදුරටත් උත්සන්න වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

යුක්රේනයේ ප්‍රධානතම ආර්ථික මර්මස්ථානය වන කීව් අගනුවරට රුසියානු හමුදා ළගා වීමත් සමග එහි දරුණු ගැටුම් හට ගෙන තිබෙනවා.

රුසියාව මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටින අතර කීව් අගනුවර දකුණු ප්‍රදේශයේ ගුවන්තොටුපල ද මේ වනවිට ඔවුන් වටකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කීව් අගනුවර ආක්‍රමණයට පැමිණෙන රුසියානු හමුදා ගත වූ පැය කිහිපය තුළ දී පමණක් සිවිල් වැසියන් 198 දෙනෙකු ඝාතනය කර ඇති බවට යුක්රේනය චෝදනා කළා.

මේ අතර, යුක්රේන ජනාධිපති වොල්ඩොමයර් සෙලෙන්ස්කි ප්‍රකාශ කරන්නේ රුසියානු හමුදා අකර්මන්‍ය කිරීමට හැකිවී ඇති බවයි.

මේ වනවිට රුසියානු හමුදා සතු ඉන්ධන සහ ආහාර අවසන් වෙමින් පවතින බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

යුක්රේන ජනාධිපතිවරයා උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කළේ රුසියානු හමුදා භට පිරිස් 2800 ක් මරණයට පත්ව ඇති බවයි.

එමෙන්ම, යුධ ටැංකි 80 ක්, හමුදා රථ 516 ක් සහ ගුවන් යානා 10 ක් මෙන්ම හෙලිකොප්ටර් 7 ක් ද විනාශ කිරීමට යුක්රේන හමුදාව සමත්ව ඇති බව යුක්රේන වාර්තා ප්‍රකාශ කළා.

කීව් අගනුවරින් ආරක්ෂිතව ඉවත් කර ගැනීම සඳහා ඇමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාව යුක්රේන ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇති බව ද අද (26) වාර්තා වුණා.

ඇමෙරිකානු යෝජනාවට ප්‍රතිචාර දක්වමින් යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ යුද්ධය මෙහි පවතින බැවින් තමන්ට ආයුධ මිස සංචාරයක් අවශ්‍ය නොවන බවයි.

මේ අතර, රුසියානු ආක්‍රමණයට මුහුණදී සිටින යුක්රේනය වෙත ඩොලර් මිලියන 350 ක් වටිනා යුධ ආධාර ලබාදෙන ලෙස ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර, රුසියානු හමුදා ප්‍රකාශ කළේ දකුණු දිග යුක්රේන නගරයක් වන මෙලිටොපොල් තමන් අත්පත් කර ගත් බවයි.

රුසියානු හමුදා විසින් කීව් අගනුවර ඇතුළු එරට ප්‍රධාන නගර වෙත කාලතුවක්කු සහ කෲස් මිසයිල ප්‍රහාර අඛන්ඩව එල්ල කරන බව සඳහන්.

යුක්රේනයේ හමුදාවට අයත් ගොඩනැගිලි 211 ක් විනාශ කළ බවත් මිසයිල ආරක්ෂණ පද්ධති 19 ක් සහ රේඩාර් පද්ධති 39 ක් රුසියානු ප්‍රහාර හමුවේ විනාශ වී තිබෙනවා.

රුසියානු හමුදාව ඉදිරියට පැමිණීම ප්‍රමාද කිරීමේ අරමුණින් පාලමක් පුපුරුවා හරිමින් දිවියෙන් සමුගත් යුක්රේන සෙබලෙකු පිළිබඳ පුවතක් ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ක්‍රිමියාව සහ උපාය මාර්ගික වැදගත්කමක් සහිත යුක්රේනයේ පතල් බිම් යා කෙරෙන අදාළ පාලම මොහු විසින් පුපුරුවා හැරීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී ඇත්තේ තම ජිවිතය ද පූජා කරමින්.

රුසියානු ප්‍රහාර මධ්‍යයේ කීව් අගනුවර උමං දුම්රිය ස්ථානයේ රැකවරණය ලබමින් සිටි ගර්භනී කාන්තාවක් දරු ප්‍රසූතියක් සිදුකිරීමේ පුවතක් ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර, රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් වෙත ගමන් කරමින් තිබූ රුසියානු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ප්‍රංශ නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා. ඒ යුරෝපා සංගමය රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක අනුවයි. බෝල්ටික් ලීඩර් නම් අදාළ නෞකාවේ මෝටර් රථ ප්‍රවාහනය කරමින් තිබූ බවයි වාර්තා වන්නේ. එය මේ වනවිට උතුරු ප්‍රංශයේ බෝලොන් සූමර් වරාය වෙත රැගෙන ගොස් තිබෙනවා ෴

++++++++++++

පුටින්ගෙන් තවත් රාජ්‍යයන් දෙකකට (2) රතු එළි

(26.02.2022 – 22:41 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයේ කීව් අගනුවර ආක්‍රමණය කිරීමට පැමිණෙන රුසියානු හමුදා ගෙවුණු පැය කිහිපය තුළ දී පමණක් සිවිල් වැසියන් 200 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට යුක්රේන බලධාරීන් චෝදනා කරනවා.

අද (26) දිනය තුළ දී රුසියානු හමුදා පූර්ණ වශයෙන් යුක්රේන අගනගරය ආක්‍රමණය කරනු ඇති බවටයි අනතුරු ඇඟවෙන්නේ.

කෙසේ වෙතත් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් යුක්රේන ජනාධිපතිවරයා පවසන්නේ යුක්රේන අගනුවර ග්‍රහණයට නැංවීමේ රුසියානු
සැලසුම පරාජය වන බවයි.

යුක්රේනයේ අගනුවර මෙන්ම ප්‍රධානතම අර්ථික මර්මස්ථානය ද වන කිව් නුවර ප්‍රදේශ රැසක් මේ වන විට රුසියානු හමුදා විසින් ආක්‍රමණය කර තිබෙනවා.

ගත වූ පැය 12 ක කාලය තුළ දී කිව් නගරයෙන් දරුණු පිපිරීම් ශබ්ද ඇසෙන අතර නගර සීමාවන් ආශ්‍රිතව දරුණු ගැටුම් ද ඇතිව ඇති බව සඳහන්.

මේ අද (26) පෙරවරුවේ කිව් අගනුවර මහල් 33 ක නිවාස සංකීර්ණයකට මිසයිල ප්‍රහාරයක් එල්ල වුණා.

කාර්සෝන්හි ගෑස් බලාගාරයකටත් රුසියානු හමුදා රොකට් ප්‍රහාරයක් එල්ල කළා.

රුසියානු හමුදා අගනගරය ආසන්නයේ රෝහලකටත් ගුවන් ප්‍රහාරයක් එල්ල කරන අයුරු ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කීව් නගරයේ සිටින සිවිල් වැසියන් තම නගරය ආරක්ෂා කර ගැනීමට ආයුධ සන්නද්ධව ඒකරාශී වී සිටින අයුරු දක්නට ලැබුණා.

කිව් අගනුවරට පිවිසි රුසියානු යුද ටැංකියක් මගින් මෝටර් රථයකට හානි සිදු කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍යයේ සංසරණය

සිද්ධියෙන් මෝටර් රථය සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, මෝටර් රථ රියදුරු ද බරපතළ තුවාල ලබා තිබෙනවා.

මේ වන විට රුසියානු පැරෂුට් භටයින් වැසිල්කිව් නගරයට පැමිණ තිබෙනවා.

එම ප්‍රදේශයේ සිට කිලෝ මීටර් 38 ක් දුරිනුයි යුක්රේන පාර්ලිමේන්තුව වන වර්කොව්නා රාධා පිහිටා ඇත්තේ.

ගෙවුණු පැය 12 තුළදී පමණක් කීව් නුවර සිවිල් වැසියන් 198 ක් රුසියානු හමුදා ප්‍රහාර හමුවේ ඝාතනයට ලක්ව තිබෙන බවයි වාර්තාවන්නේ.

රුසියානු ප්‍රහාර මධ්‍යයේ කියාෆ් උමං දුම්රිය ස්ථානයේ රැකවරණය ලබමින් සිටින ගර්භණී කාන්තාවක් එහිදී දරු ප්‍රසූතියක් සිදුකර තිබෙන බවයි වාර්තාවන්නේ.

තම ජීවිත බේරාගැනීම සඳහා යුක්රේන ජනතාව පෝලන්තයට පලායන බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ කීව් මේ වන විටත් ලක්ෂයක පමණ ජනතාවක් පෝලන්තයට පලාගොස් ඇති බවයි.

මේ අතර, බෙලරුසියාව දෙසින් කීව් නගරයට ඇතුල්වන රුසියානු භටයින් වැළැක්වීම සඳහා යුක්රේන නාවික භටයෙක් පාලමක් මත සිට බෝම්බයක් පුපුරුවාගනිමින් හමුදා යුද රථවල ගමන්මග අවහිර කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර රුසියාවේ යුක්රේන ආක්‍රමණය හෙළා දැකීමේ යෝජනාවක් ජගත් ආරක්ෂක මණ්ඩලය හමුවේ ඊයේ (25) පරාජයට පත් වුණා.

ඒ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු වන රුසියාව නිෂේධ බලය භාවිත කිරීම හේතුවෙන්.

ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් 15 දෙනා අතරින් 11 දෙනෙක් යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ අතර ලොව විශාලතම ආර්ථිකයන්ට හිමිකම් කියන චීනය සහ ඉන්දියාව මෙන්ම ලොව විශාලතම ඛනිජ තෙල් නිෂ්පාදකයෙක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිටීම කැපී පෙනුණා.

එවන් පසුබිමක යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි එරටින් ඉවත් කරගැනීමට සූදානම් බව අමෙරිකාව නිවේදනය කළා.

ඒ ජනාධිපතිවරයා ඇතුළු පවුලේ සාමාජිකයන් රුසියානු හමුදාවන්ගේ ඉලක්කයක් වී ඇති බවට පෙන්වා දෙමින්.

කෙසේ වෙතත් යුක්රේන ජනාධිපතිවරයා පවසන්නේ තමන් අවසන් මොහොත දක්වා සිය රටේ ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් වදින බවයි.

මේ අතර, රුසියානු යුද ටැංකි සඳහා ඉන්ධන ලබාගැනීමේ ගැටලුවක් මතුව ඇති බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ හේතුවෙන් රුසියානු යුද පෙරමුණේ බලය හීන වෙමින් පවතින බවයි යුක්රේන මාධ්‍ය පවසන්නේ.

මේ අතර, ස්වීඩනය සහ ෆින්ලන්තය නේටෝ හමුදාවන්ගේ සාමාජිකත්වය ලබාගතහොත් හානිකර ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අනතුරු අඟවනවා.

මේ අතර, කළු මුහුද තරණය කරමින් තිබූ ජපානයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට රුසියාව විසින් මිසයිල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එවන් පසුබිමක අධිසුඛෝපභෝගී භාණ්ඩ රැගත් රුසියානු නෞකාවක් ප්‍රංශ නාවික නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ රුසියානු – යුක්රේන අර්බුදය හේතුවෙන් යුරෝපා සංගමය විසින් සම්බාධක පැනවීම නිසයි.

බ්‍රිතාන්‍ය, ප්‍රංශය, රෝමය සහ ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් යුක්රේනයට සහය පළ කරමින් සිය රටවල් ප්‍රසිද්ධ ස්ථාන ආලෝකමත් කර තිබූ අයුරු ද දක්නට ලැබුණා.

රුසියාවේ යුක්රේන ආක්‍රමණයට එරෙහිව අතිඋතුම් ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ද සිය රටවල් අප්‍රසාදය පළකර තිබෙනවා.

“නිවැරදි දේශපාලනයක් ඇති කිසිම නායකයෙක් යුද්ධය තෝරාගන්නේ නැහැ” යනුවෙන් පාප්තුවන් ට්විටර් පණිවුඩයක් තබමින් සඳහන් කර තිබුණා.

මේ අතර රුසියාවේ සුප්‍රකට ටෙනිස් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රෙප්ලිව් සිය ඩුබායිහි පැවති තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පවතින යුදමය තත්ත්වයට සිය අසතුට ප්‍රකාශ කරමින් කැමරා කාචයේ සටහනක් තබන අයුරු විදෙස් මාධ්‍යයේ සටහන් වුණා.

මෙවන් පසුබිමක යුක්රේන රජය රුසියාව සමග සාම සාකච්ඡා පැවැත්වීම සඳහා සුදුසු ස්ථානයක් සහ වේලාවක් පිළිබඳව ද රුසියාව සමගින් සාකච්ඡා කරමින් සිටිනවා.

සාකච්ඡා පැවැත්වීම සඳහා රුසියාව විසින් යෝජනා කර තිබෙන්නේ බෙලරුසියානු අගනුවරයි.

කෙසේ වෙතත් යුක්රේනය ඒ සඳහා යෝජනා කර ඇත්තේ පෝලන්ත අගනුවරයි.

දෙරටම සමග ඉහළ සබඳතාවක් පවත්වන ඊශ්‍රායලය මෙම සාකච්ඡාවල මැදිහත්කරුවෙකු ලෙස සහභාගී කරවා ගැනීමටද යුක්රේනය යෝජනා කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *